අනුර - හරිනි ආණ්ඩුවේ ඝණ, ද්‍රව, වායු, ප්‍රතිසංස්කරණය.
මෙම මාතෘකාවට මුළ වන්නේ, අධ්‍යාපනය සම්බන්ධව උද්ගතව පවතින “අවුල” වියවුලක් කරගන්නා උගතුන්ගේ කරුණු පැහැදිලි කරන වීඩියෝවකි. එහි අප රටේ අගමැතිවරිය සහ ඇමැතිවරු කිහිප පොලක්ම වේ. ඊට අමතරව අධ්‍යාපන බලධාරීන් ද සිටී.
අනුර - හරිනි ආණ්ඩුවේ
ඝණ, ද්‍රව, වායු, ප්‍රතිසංස්කරණය.
(ජෝන්ට ඉගැන්වීමට පෙර ජෝන් දන්නා දේවල් ගැන විමසා සිටීම කළ යුතුමය.)
මෙම මාතෘකාවට මුළ වන්නේ, අධ්‍යාපනය සම්බන්ධව උද්ගතව පවතින “අවුල” වියවුලක් කරගන්නා උගතුන්ගේ කරුණු පැහැදිලි කරන වීඩියෝවකි. එහි අප රටේ අගමැතිවරිය සහ ඇමැතිවරු කිහිප පොලක්ම වේ. ඊට අමතරව අධ්‍යාපන බලධාරීන් ද සිටී.
විවාද සම්පන්න වන එම මාධ්‍ය හමුවේදී, සහභාගී වූ ජනමාධ්‍ය විසින්, නගන ප්‍රශ්ණ හමුවේ, ලැබෙන පිලිතුරුවල “දිළිදු බව” විද්‍යාමාන වන්නට පටන් ගනී. එවිට පෙනෙන්නේ, පැනය යොමු කර සිටින්නේ එකෙකුටය, පිළිතුරු දෙන්නේ තවකෙකුය, යන්න ය.
එම මාධ්‍ය හමුවේදී, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්දව රට තුළ පැන නැගී තිබෙන අර්බුදයට අදාළ කරුණු, විවාදයට ලක් වේ. එහි වීඩියෝ ප්‍රචාරයන් 2026 ජනවාරි 05 සදුදා අපර භාගයේදී අන්තර්ජාලයට එකතු වී තිබුනි.
“දරුවකු පරිසරයේ පවතින පදාර්ථයන් හදුනා ගැනීමට යොමු කරන” ඉගැන්වීමක් සම්බන්දව එම මාධ්‍ය හමුවේ ප්‍රශ්න කිරීමක් සිදු වේ. එය පෙළ පොතක තිබෙන පාඩමක් අනුව සිදු කෙරෙන ප්‍රායෝගික යොමු කිරීමකි.
ළමයා පංතියෙන් එලියට යවා ඔහුට ඝණ, ද්‍රව, වායු ගැන හදුනාගන්නට අවස්ථාව ලබා දේ. එහෙත්, පංති කාමරයෙන් එලියට යන දරුවා බාහිර පරිසරයේ දී ඝණ, ද්‍රව යන ද්විත්වය මිස “වායු” ස්වභාවය හදුනා නොගනී.
ප්‍රශ්න නගන්නා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන ප්‍රශ්නය වන්නේ, එම ප්‍රායෝගික යොමු කිරීමෙන් ළමයා වායු හදුනා ගන්නේ කෙසේද කියාය. පෙල පොත් සම්පාදනයට දායක වූ අධ්‍යාපන බලධාරින්ගෙන් ඊට ලැබෙන පිළිතුර කදිමය.
එනම්, “ළමයා එය හදුනා නොගැනීම යනු” ඉගෙනුම වේ.
අමාත්‍ය මණ්ඩලය කඩිමුඩියේ මැදිහත්වෙමින් තව දුරටත් එය පැහැදිලි කරන්නට උත්සාහ ගනී. යළි පංති කාමරයට එන ළමයාට ඔහු නොදුටුවේ යැයි කියන “වායු”
ගැන ඉගැන්වීමට ගුරුවරයාට අවස්තාව ලැබේ. නව ප්‍රතිසංස්කරණය තුළ ඇත්තේ මේ ආකාරයේ ප්‍රායෝගික ඉගැන්වීමකි.
භෞතික විද්‍යාවේ හැදින්වීම අනුව පදාර්ථයක ව්‍යූහය පවත්නා ස්වභාවයන් තුනක් ඇත. ඒවා නම් ඝණ ස්වාභාවය, ද්‍රව ස්වභාවය සහ වායු ස්වභාවය යන ත්‍රිත්වාකාරයයි.
මේ පැරැණි ඉගැන්වීම මෙසේ පවතිද්දී, අද වන විට මීට අමතරව තවත් ස්වාභාවයක් පවතින්නේ යැයි නවීන භෞතික විද්‍යාව තුළ තර්කයක් මතුවෙමින් තිබේ.
එම ස්වභාවය “ජෙල්” ආකාරයක ස්වභාවය කි.
ඉතා ඈත වේද පුරාණයන් තුළ පවා මේ කියන පදාර්ථයන් ගැන ඉගැන්වීම් වේ. ඒ සදහන් කිරීම්වල කියැවෙන්නේ, “පඨවි, ආපෝ, තේජෝ, වායෝ” කියා ය. එහි ව්‍යූහයන් සතරක් ගැන කියන්නේ වුවත්, බටහිර විද්‍යාව කතා කරන්නේ “ඝණ, ද්‍රව, වායු” පිළිබඳව පමණි.
භෞතික විද්‍යාව මේ ව්‍යූහයන් පෙන්නුම් කර සිටින්නේ “ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ”ව සහ “ගෝචර නුවන” පාදක කර ගෙන වේ. එහෙත්, ඉන්ද්‍රීයයන්ට හසු නොවන “ශක්තීන් සහ ව්‍යූහයන්” මෙලොව කොතෙක් ඇතිද..? ඒවා අතර “මිනිස් මනස” යනු අබැටක් පමණ නොවේද ?
බටහිර ඉගැන්වීමට අනුව, යම් පදාර්ථයක් තුළ “ස්කන්ධය සහ පරිමාව” තිබිය යුතුය. එය සරලව කියන්නේ නම්, යම් දෙයකට, කිසියම් “බරක් සහ විශාලත්වයක්” ඇත්නම් එය පදාර්ථයකි. වායුව සම්බන්ධයෙන් ගත් විට එය බැලුන් බෝලයක පිරවූ කල, ඊට බරක් සහ ප්‍රමාණයක් ලැබෙන බැවින් එයත්, පදාර්ථයක් බව පිලිගනු ලැබේ.
අනෙක් ඒවා, එනම් ඝණ සහ ද්‍රවවලට බර සහ ප්‍රමාණ දක්නට ලැබේ. එබැවින් ඒවාද පදාර්තයන්ය. එහෙත්.....
පෙරදිග හින්දු ඉගැන්වීමේ සදහන් වන, “උණුසුම හෝ සිසිල,”එය පදාර්ථයක් සේ සැලකෙන්නේ ද..? නැත. ඊට හේතුව වන්නේ, බරක් හෝ ප්‍රමණයක් ලෙස එය හසු කර ගැනීමට භෞතික විද්‍යාවට අසමත් වීමයි.
පෙරදිග දර්ශනය සමග බටහිර විද්‍යාව සන්සංදනය කරන විට පැන නගින මෙබදු අවකාශයන් අප්‍රමාණය. එසේ වන්නේ, ඉන්ද්‍රීයයන් ගෙන් ඔබ්බෙහි තිබෙන “පෙරදිග දැනුම් සම්භාරය” මහා සාගරය තරම් වන නිසාය.
ගොඩබිම තරම් වූ “බටහිර විද්‍යාව” අවතක්සේරුවට ලක් කිරීම නොකළ යුතු වුවත්, එහි සීමාවන් සහ උස් මුදුන් පැහැදිලිය. සාගරයේ “විශාලත්වය මෙන්ම ගැඹුර” ඊට වෙනස් ය. නොපෙනෙන්නේ ය.
ඉතින්, අපට තිබෙන්නේ අපේ පෙරදිග උරුමය පළමු තැනෙහි ලා ගෙන, බටහිර ත්‍යාගය දෙවන තැනට පත් කර ගැනීම ය. නොපෙනෙන වායුව ඉගැන්වීමට ක්‍රමයක් තියෙන බව අපි දනිමු.
ළමයාගේ නාසය මිරිකාගෙන මොහොතක් සිටින්නට සැලස්වීමෙන් වායුව කුමක්දැයි පහසුවෙන් කියා දිය හැකිය. මේ සංකල්පයන් ඉගැන්වීමෙන් ද, මේවා හදුනා ගැනීමට කාලය මිඩංගු කිරීමෙන් ද, වැඩක් වෙතත්.... අපගේ ළමා පෙළ යොමු කළ යුතුව ඇත්තේ, පරිසරය විදින ගමන් ඉගෙනුම ලබන, හැකියාවන් සහ අවබෝධය පිරි මිනිසුන් තනන, අධ්‍යාපනයක් වෙතට ය.
එවැනි උපායන් සහිත උගැන්මකට මෙරටේ දරුවන් යොමු කිරීමේ උවමනාව ඉතා තදින් මතුව ඇත. එය අවිවාදිතය.
මෙරටේ ගම්බද දරුවන් පවා, අද සිය ගෙවත්තේ හෝ මිදුලේ තිබෙන පේර ගසේ ඇති, පේර ගෙඩියක් කඩා ගෙන නොකන මට්ටමට වැටී සිටිති. තැඹිළි ගෙඩියේ වතුර ටික වීදුරුවකට දමා බීමට දිය යුතුය. ඒ තුළ කුමක් ඇතිදැයි නොපෙනෙන බැවින් බීම බටයක් තුළින් උරා බීමට පවා මැලි වේ.
දේශීය එලවලු සහ පලතුරු රස පිලිකෙව් කරති. ඔවුන්ගේ මනස එසේ නිර්මාණය වූයේ පංති කාමරයෙන් පිටට ගෙන ගොස් “සංකල්පීය අධ්‍යාපනයක්” ලබා දීමෙන් නොවේ. ආන්න ඒ වෙනස සිදු වූ උත්ප්‍රේරකය හදුනා ගැනීමට කවුරුත් උත්සාහ කළ යුතුය. අධ්‍යාපනය ගැන කතා කරන උගතුන් නොපමාව වීදුරු කුටි වලින් සහ ශීත කාමර වලින් බැස එලියට පැමිණ, දරුවන් දන්නා දේ මොනවා දැයි විමසිය යුතුය.
(ජෝන්ට ඉගැන්වීමට පෙර ජෝන් දන්නා දේවල් ගැන විමසා සිටීම කළ යුතුමය.)
රසකාරක හා වර්ණක යෙදූ අයිස් පැකට් කෑමටත්, පැනි බීම බොන්නටත්, ඒවාගේම, අයිස් ක්‍රීම්, කුකුල් මස්, බයිට්, බිස්කට්, චොක්ලට් ආදියටත්, කොත්තු, ප්‍රයිඩ් රයිස්, පීට්සා සංස්කෘතියටත් දරුවන් යොමු වී සිටින්නේ, කෙසේදැයි වැඩි දුරටත් සෙවීම වටින්නේය.
බලධාරීන් මේවා ඉගෙන නොගෙන කෙසේ ප්‍රතිසංස්කරණ කරයිද, ඊට සමත් වේද ?
ප්‍රධාන කොට, මේ රටට අවශ්‍ය ඉගැන්වීම් දෙකක් ඇත. සිංහල බස ඉතා හොදින් උගන්වන අතර තුර, අනෙක් ඉගැන්වීම් දෙක නොපමාව ම, එකතු විය යුතුය. ඉන් පළමු වැන්න වන්නෙ, “පාලි” භාෂාව ඉගැන්වීම ය. දෙවැන්න අන් කිසිවක් නොව, ඉංගිරිසිය යි. පෙනෙන භෞතික දේ ඉංගිරිසියෙන් ඉගෙන ගැනීම පමණක් නොව, නොපෙනෙන දෙයත් දරුවන් ඒ තුළින් ඉගෙන ගනු ඇත.
වසං කර ඇති ඉතිහාසය, සංස්කෘතිය, සාහිත්‍යය, ලිංගිකත්වය ගැන දැනුම, නිවැරදි ධර්මය, දර්ශනය, විද්‍යාව, ආර්ථිකය, දේශ පාලනය, සමාජමය කාරනා යන සියල්ල, දරුවන් ඉදිරියට අන්තර්ජාලය ගෙනැවිත් හමාරය. එනමුත්, දරුවන් සතු කුශලතාවය අල්පය. ඒ වරද දරුවන්ගේ නොවේ.
දරුවෝ අන්ධයින් සේ අදුරේ අත පත ගාමින් නන්නත්තාර වෙති. ඔවුන්ගේ ඇස් ඉදිරියට පැමිණ තිබෙන ලෝකය දකින්නට උන්ට පෙනීම නැත. උන්ගේ දෙනෙත් අන්ධ නොවූයේ නම්, ක්‍රි:පූ: අට වැනි සියවසේදී, බුදුන් ගේ කාලයටත් වසර එකසිය ගනනකට පෙර, “හෝමර් නම් කවියා” ග්‍රීසියේ සිටිය වග උන් දැන ගනු නිසැකය. “ඉලියට් සහ ඔඩිසි” යන නාට්‍යයක් ගැන උන් සොයා ගනු ඇත.
“ඇල්ල ඔඩිසි” සංචාරක දුම් රියට “ඔඩිසි”නම ආවේ කොහෙන්දැ’ යි උන් දැන ගනු ඇත.
හෝමර්ගෙන් පසු, ඉන් වසර හාර සියයක් ගෙවුනු කාලයේ, ලොව ජීවත් වූ අවංකම මිනිසාව හමු වෙනු ඇත. අසූ වැනි වියේ සිටි ඒ මහල්ලා ට, පාලකයින් විසින්, (නීතියට මුවා වී)වස දී මරා දැමූ වග ළමයින් සොයා දැන ඉගෙන ගනු ඇත.
බුදුන් පිරිනිවනින් වසර පන්සිය හතලිස් ගනනක් ගෙවී ගිය තැනේදී, රජෙකුගේ අණ කිරීමකින් ජන සංගණනයක් සිදුව තිබූ බවද උන් විමසා දැන ගනු ඇත. එකල උපන් දරුවෙකු ඉන් තිස් තුන් වසරක් යද්දී අපහාසාත්මක මරණයකට ලක් කළේ පූජකයින් සහ “හෙරෝද්” නම් රජෙකු ත්, “පිලාත්” නම් ආන්ඩු කාරයෙකුත් බව, දරුවන් දැන ගනු ඇත.
“පොන්තියස් පිලාත්” ලා අදත් මේ ලොව සිටින්නේද කියා ළමයින් විමසිලි මත් වනු ඇත. අදින් වසර 2026 කට ඉහත දී සිය ජීවිතයේ විසි හය වැනි වියේ සොදුරු තාරුන්‍ය, මනුශ්‍යයින්ගේ විමුක්තිය වෙනුවෙන් යොමු කරමින් සිටි “තරුණ යේසුස්” ගැන දරුවන් දැන ඉගෙන ගනු ඇත.
ඒ තරුණයාව නිරපරාදේ ඝාතනය කළේ සමාජයේ බලවතුන් බව දරුවන් අවබෝධ කර ගන්නවා ඇත. මේ සියල්ලම පමණක් නොව, “ඇනිමේෂන් වීඩියෝ දසුන්” සමග ළිංගික අධ්‍යාපනයද අපූරුවට ලබා ගන්නවා ඇත. ළිංගිකත්වය ඇතුලාන්තයේ ගැඹුරු සංවේදනයන් ගැන විෂය දැනුම, සුරාන්තයේ (සුරතාන්තයේ) දිග පළල, නිසි කළ එළඹි විට විද්‍යාත්මකව අවබෝධ කර ගන්නවා ඇත.
අවශ්‍ය වන්නේ ඉංගිරිසි දැනුම ය. තුනේ පන්තියට පමණක් ඉගෙන් ගත්තා යයි කියන මාර්ටින් වික්‍රමසිංහයෝ ලොව දිනූවේ ආචාර්ය උපාධිවලින් නොව, ඉංගිරිසියෙනි. ළමයින්ට ඉගැන්විය යුතු වන්නේ එබදු පුද්ගලයෙක් බවට පත් වෙන මාර්ගය පමණි.
අනෙක් අතින්, පාලි භාශාවෙන් නොපෙනෙන “සිත” ගැන ඉගෙන ගැනීමට දරුවන් යොමු කළ යුත්තේය. වායුව නොදුටුවෙමි’ යි, කියමින් පංති කාමරයට එන දරුවා කවුරුන් ද..? නොපෙනෙන සිතකින් සිතන පතන “මනුශ්‍ය බව” නොවේ ද ?තමුන් තුළ තිබෙන, නොපෙනෙන “සිත” වායුවට වඩා බලවත් බවත්, මිනිස් ලොව, “විමුක්තිය හෝ චිරස්ථිතිය” උදා කරනු ලබන්නේ සිතිවිලි බවත්, විනාශයට මග තනන්නේ ද ඒ නොපෙනෙන “සිත” බවත් දරුවාට කියා දීම වඩා වැදගත් නොවන්නේ ද ?
බෞද්ධ දර්ශනය සහ පාලි බස අනිවාර්‍යයෙන්ම, මේ රටේ මිනිසුන් ඉගෙන ගත යුතුය. පාලි අර්ථ විග්‍රහයෙන් තොරව ගාථා කියවීම හේතු කොට ගෙන “සිංහලයා අන්ධ භක්තිකයෙකු” වී හමාරය.
“වායුව” ඇතිද නැතිද සොයන්නට පෙරාතුව, අපි “ධම්ම පදය” පෙරලා බලමු. එහි සිතේ ස්වභාවය කෙසේ සදහන් වී තිබේද, සොයමු. සිතක් ඇතිද, එවැන්නක් නැතිද යන්න විමසමු.
ධම්ම පදයේ චිත්ත වග්ගයේ පස්වන ගාථාවේ මුල් පද දෙකෙහි මෙසේ සදහන් ව ඇත්තේය.
“දුරඞගමං එකවරං
අසරීරං ගුහාසයං...”
බොහෝ දුර යනෙන, තනිව හැසිරෙන, නොපෙනෙන “සිත”
ගුහා ගතව සිටින්නේ, හැඩයක් හෝ රුවකින් තොර බවින් ය.
සිත නැතිව උගැන්මක් ඇත්තේ ද ? වායුව නැතිව පැවත්මක් ඇත්තේ ද ?
නොපෙනෙන වායුව ගැන උගන්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට, නොපෙනෙන සිත මග හැරී ගොස් තිබෙන බව පෙනෙන්නේ ය.
ප්‍රතිසංස්කරණ ය ට ලක් විය යුතු වන්නේ, අධ්‍යාපනය නොව වෙනත් විශාල දෙයක් බව හැගෙන්නේ ය. වැටහෙන්නේ ය.
පෙනෙන්නේ ය. අවබෝධ වන්නේ ය.
මෙම ලිපිය ආරාධිත විශේෂ ලියුම්කරුවෙකු විසින් ලියන ලදී.
මෙහි පලවන "අදහස් හා අන්තර්ගතය" ඔහුට අනන්‍ය ඔහුගේ අදහස් බව
කරුණාවෙන් සලකන්න.
කලම්බු රිපෝටර්
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

