මේ සතියේ පොලිටිකල් ගොසිප් (දෙසැම්බර් 21 සිට 28)

මේ ගෙවී යන්නේ අවුරුද්දේ අවසන් දින කිහිපය. එ් කියන්නේ නත්තල් සතිය. නත්තල කියන්නේ ම උත්සව සතියක්. ඒත් මෙවර මුළු රටම මුහුණ දුන්න නාය යෑම්, ගංවතුර ආපදා නිසා, මේ රටේ කිතුණුවන්ට උත්සව පවත්වන්න ඉඩකඩක් තිබුණේ නෑ. ඒ නිසා ඔවුන් දේව මෙහෙයන්ට විතරක් ප්‍රමුඛත්වය දීලා, වෙනදාට වඩා සරලව, සන්සුන්ව නත්තල් ගත කළා කියලා කිව්වොත් වැරදි නෑ...

Dec 28, 2025 - 12:50
Dec 29, 2025 - 18:34
 54
මේ සතියේ පොලිටිකල් ගොසිප් (දෙසැම්බර් 21 සිට 28)

මේ සතියේ පොලිටිකල් ගොසිප්

(දෙසැම්බර් 21 සිට 28)


මේ ගෙවී යන්නේ අවුරුද්දේ අවසන් දින කිහිපය. එ් කියන්නේ නත්තල් සතිය. නත්තල කියන්නේ ම උත්සව සතියක්. ඒත් මෙවර මුළු රටම මුහුණ දුන්න නාය යෑම්, ගංවතුර ආපදා නිසා, මේ රටේ කිතුණුවන්ට උත්සව පවත්වන්න ඉඩකඩක් තිබුණේ නෑ. ඒ නිසා ඔවුන් දේව මෙහෙයන්ට විතරක් ප්‍රමුඛත්වය දීලා, වෙනදාට වඩා සරලව, සන්සුන්ව නත්තල් ගත කළා කියලා කිව්වොත් වැරදි නෑ...


කොහොමත් නත්තල් එක්කම 2025 අවසාන දවස් ටික බොහෝ දේශපාලඥයෝ දේශපාලන කටයුතුවලින් ඈත්වෙලා ගත කරන්න සැලසුම් කරගෙන හිටියා. දේශපාලන අධිකාරියේ වැඩවලට වගේම අනිත් ආයතනික කටයුතුවලටත් මේ උත්සව සමයේ ලැබුණු නිවාඩුව නිසා, මුදල් හදල් තියෙන බොහෝ දෙනා කරන්නේ විදේශගත වෙන එක. නැත්නම් ගමන් බිමන් යන එක. ඒත් නුවරඑළිය, බණ්ඩාරවල, බදුල්ල, මහනුවර වගේ, අවුරුද්ද අවසානයේ නිවාඩු ගත කරන්න බොහෝ දෙනා තෝරගන්න සංචාරක ගමනාන්තත් මේ දවස්වල පවතින යහපත් නැති නිසා නත්තල වගේම, දෙසැම්බර් 31 රෑට එළබෙන අලුත් අවුරුද්දත් සරලව ගත කරන්න බොහෝ දෙනා සිතුවා...


මේ අතර සුපුරුදු විදියට එජාප නායක රනිල් වික්‍රමසිංහ පසුගිය නත්තල් දවස ගතකරන්න දියතලාවේ තියෙන තමන්ගේ “පවුලේ නිවාඩු නිකේතනයට” ගියා, කලින්ම සැලසුම් කරලා. ඒ නිසා පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලත් ලොකු අඩුවක් තිබුණා.


හදිසියේම ජනාධිපති 
පාර්ලිමේන්තු ගියේ ඇයි...


ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 19 සිකුරාදා විශේෂයෙන් පාර්ලිමේන්තුවට ගියා. ඔහු එහි ගිහින් කැපී පෙනෙන කටයුතු දෙකකට නායකත්වය දුන්නා. එකක් අත්‍යවශ්‍ය කාරණයක්. ස්වාභාවික විපත්වලින් අනතුරට පත්වුණු අයටයි, දේපල අහිමි වුණු අයටයි මෙවර ගෙවන්න වෙච්ච වන්දි ප්‍රමාණය සුළු පටු නෑ. ඒ වගේම ආපදාවෙන් විනාශ වුණු යටිතල පහසුකම්... 


ඔන්න ඕවට රජයට මේ මොහොතේ ලොකු පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගන්න ඕනේ වුණා. ජනාධිපති සිකුරාදා පාර්ලිමේන්තුවට එනන එක හේතුවක් ඒක. ඒත් ඒ යෝජනාව ඉදිරිපත් කරනකොටම ආණ්ඩුවට විපක්ෂයෙන් එල්ල වුණු දැඩි අභියෝගයි විවේචනයිවලට උත්තර දෙන්නත් ජනාධිපතිට ඕනේ වුණා. ජනාධිපති සිකුරාදා පාර්ලිමේන්තුව අමතලා ඒ දෙකම ඉටු කළා.


අලුතින් රුපියල් බිලියන 500ක අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරලා ඒක සම්මත කරගත්තා. ඊට අමතරව විපක්ෂයට දෙන්න ඕනේ උත්තර ටික සිතැගි පරිදි දුන්නා...


කතාවේ අගමුල අහන්න, 
දයාසිරි චාමරව සොයයි...


ඔන්න ඕකට පාර්ලිමේන්තුව රැස්වුණු වෙලාවේ, දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා චාමර සම්පත් ව හමුවෙන්න උත්සාහ කළා.


ඔහුට ඕනේ වුණේ, ඊට කලින් දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබුණු උත්සවයකදී චාමර කළ කතාවේ අගමුල විමසලා දැනගන්න. ඒත් ඒ මොහොතේ 
චාමර දයාසිරිට මුහුණ නොදී මගහැර ගියා කියලා කියනවා...


ඊට කලින් සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ කාර්යාලයේ රැස්වීලා තනතුරු කීපයක පුරප්පාඩු පුරවුවා. එකක් උප සභාපති තනතුර ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂට දුන්නා. දෙවැන්න එතෙක් හිස්ව තිබුණු ජාතික සංවිධායක තනතුර චාමර සම්පත්ට දුන්නා.


ඒ අවස්ථාවේ චාමර කතා කරලා දයාසිරිට දැඩි විවේචනයක් එල්ල කළා. පක්ෂයේ නායකයෝ මීට කලින් මේ තනතුර “තමන්ටත් හොරෙන් දයාසිරිට” දෙන්න සූදානම්ව හිටියා කියලා, දයාසිරිට ඒක භාරගන්න බැරි වුණා කියලා, අවසානයේ තමන්ට ආවා කියලා සභාව මැද කියලා දැම්මා...


"දයාසිරි ශ්‍රී ලංකා එකේ මේ තනතුර ගත්තොත්, ඊට පහුවදාම එයාට සජබේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීකම අහිමිවෙනවා..." එහෙමයි චාමර ටිකක් කැත විදියට කියලා දැම්මේ...


මේ කතාව ආරංචි වෙනකොට දයාසිරි සිටියේ ඩුබායිවල සංචාරකයක. ඔහු ටෙලිෆෝන් එකෙන් චාමරට කතා කළා...


"මොකක්ද අර තමුසේ මං ගැන කියලා තිබුණු හතර බීරි කතාව..."


“අනේ බුදු රත්තරනේ, මම ඕක කියන්න හිටපු කතාවක් නෙවෙයි. ඒත් ඉතින් ඔය කතාව ඔහොම කියන්න කියලා අපේ මහ එකාලා බලකරානේ...” චාමර කියලා දැම්මා.


“මම ඡන්දෙ ඉල්ලුවේ “ටෙලිෆෝන්” එකෙන් බව ඇත්ත. ඒ වෙලාවේ උඹටයි මටයි ඡන්දෙ ඉල්ලන්න පක්ෂයක් තිබුණද? ඒ වෙලාවේ මම සජබින් ඡන්දෙ ඉල්ලුවේ සජිත් එක්ක “ගිවිසුමක්” අත්සන් කරලා. එයා මට ලිඛිතව දීලා තියෙනවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීකෙනෙක් බව පිළිගන්නවා කියලා.


අනිත් එක උඹ ඡන්දෙ ඉල්ලලා තියෙන්නේත් රනිල්ගේ “සිලින්ඩරෙන්” නේ. එහෙම මිනිහෙක් මට ඇද කුද කියන්නේ...”


දයාසිරි එහෙම දොස් කියනකොට චාමර ටෙලිෆෝන් එක කට් කළා කියලා කියනවා. ඔය කතාවෙන් පස්සේ චාමර තාම දයාසිරිට හරියට මූණ දීලා නෑ...


බාල ඉන්දියන් ඖෂධ 
නීතිගත වුණේ මෙහෙම...


පසුගිය දවස්වල මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ සැපයීම ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ලංකාවට ගෙන්වන ඖෂධ අතර බාල, විෂ සහිත ඉන්දියන් ඖෂධ තියෙනවා කියලා චෝදනාව පසුගිය ආණ්ඩු ගණනාවකටම එල්ල වුණා, අපිට මතකයි නේ. 


ප්‍රමිතියෙන් තොර ඒ වගේ ඖෂධ භාවිතයෙන් මීට කලින් රෝගීන් මැරුණු අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ සෑම වෙලාවකම සිදුවුණේ පවතින ආණ්ඩුවට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වීම. ඒ වගේ අවස්ථාවල ඇමතිවරු හිරේ ගිය සිද්ධිත් කීපයක් තියෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ආවේ, මීට කලින් බාල ඖෂධ ගෙන්වලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ඇති කළ ආණ්ඩුවලට දැඩි විවේචන ගෙනෙල්ලා, ඒක රහසක් නෙවෙයි...


ඒත් පසුගිය දවස්වලත් ඉන්දියන් පන්නයේ බාල ඖෂධ භාවිතයෙන් රෝගීන් කීපදෙනෙක් රෝහල්වල මැරුණා. විපක්ෂය ඒකට දැඩි විවේචන ගෙනල්ලා පෙන්නුවේ, එදා ඉන්දියන් බාල ඖෂධ ගෙන්වීම වැරදි කියලා පෙන්නලා ජනතාව ආකර්ෂණය කරගෙන බලයට ආපු ආණ්ඩුවත් දැන් ඉන්දියන් බාල ඖෂධ නීතියානුකූලව ගෙන්වනවා කියලා...

පසුගිය 20 දා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මේ ගැන දැඩි විවේචනයක් කරලා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්තුවා...


“ඉස්සර ආණ්ඩු ලංකාවට ඖෂධ ගෙන්වනකොට අනුගමනය කළේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය. බ්‍රිතාන්‍ය හෝ ඇමරිකන් ප්‍රමිතියෙන් හැර වෙනත් ඖෂධ ගෙන්වීම බරපතළ වැරැද්දක්. ඒක නිසා ඇමතිවරු හිරේ ගියා...


දැන් මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඉන්දියාව එක්ක “රහසිගත ගිවිසුම් හතක්” අත්සන් කළා, ජනතාවට නොදන්වා. ඒ අතර එකක් තමයි “ඉන්දියන් පාමකෝපියා” කියලා, ඉන්දියන් ප්‍රමිතියේ ඖෂධ පිළිගැනීමේ ගිවිසුම. ඒකෙන් ඉන්දියන් බාල ඖෂධ පිළිගත්තා විතරක් නෙවෙයි, සෞඛ්‍ය ඇමති ඖෂධවලට පාලන මිලක් දාලා, හොඳ ඇමරිකන්, බ්‍රිතාන්‍ය ඖෂධ ගෙන්වීමට වැට බැන්දා.


දැන් අපේ වෙළඳපොලේ තියෙන්නේ ඉන්දියන් පන්නයේ ඖෂධ විතරයි. ඒවා අපිරිසිදුයි, සෞඛ්‍ය සම්පන්න නෑ කියලා ලෝකෙම දන්නවා. ගෙවල්වල හදන, අපද්‍රව්‍ය මුසුවෙන ‍බාල බෙහෙත්. අද ඒක නිසා කාන්තාවෝ දෙන්නෙක් මැරුණා. රෝහල්වල රෝගීන් අසාත්මිකතාවලින් පෙළෙනවා. ඖෂධ ගෙන්වන සමාගමම ඖෂධ වර්ග නමයක් දැනටමත් හොරෙන් වෙළදපොලෙන් ඉවත් කරගෙන..."


විමල්ට අමතරව සමගි ජන බලවේගයේ චමල් සංජීව වෛද්‍යවරයාත් මේ ගැන විශේෂ හෙළිදරව්වක් කළා... මේ හෙළිදරව්වලින් රටේ ඖෂධ ක්ෂේත්‍රයේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඉන්දියන් රාජ්‍ය තන්ත්‍රිකයෝ මේකෙන් කැලඹුණා කියලාත් කියනවා.


ඒ අතර දේශපාලන කරළියේ තව කතාවක් පැතිරුණා. මේ “ඖෂධ ප්‍රශ්නය ඕනෙවට වඩා ඉස්මතු කරලා රටේ ආන්දෝලන ඇති නොකරන්න” කියලා ඉන්දියාවට සම්බන්ධ පාර්ශ්වයන් අපේ විපක්ෂයේ පක්ෂවලින් ඉල්ලුවා කියලා...


ඒ කතාවේ සත්‍යතාවයක් තියෙනවද නැද්ද කියලා සැකයි. ඒත් ප්‍රතිඵලය ගැන සැකයක් නෑ. විමල්ගේයි චමල්ගේයි හෙළිදරව්වලින් පස්සේ විපක්ෂයේ කිසි පක්ෂයක් බාල ඖෂධ ගැන වචනයක්වත් කතා නොකරන තත්ත්වයට ආවා.


මේ අතර තවත් දෙයක් වුණා. සමගි ජන බලවේගයේ ලිපි ශීර්ෂයකින් මාධ්‍යවලට ලිපියක් ආවා, “ඖෂධ ප්‍රතිපත්තිය ගැන චමල්ගේ හෙළිදරව්ව ඔහුගේ පුද්ගලික මතයක්, පක්ෂයේ ස්ථාවරය නෙවෙයි” කියලා.


ඒ ලිපිය සමගි ජන බලවේගයෙන් එවපු එකක් නෙවෙයි කියලා පස්සේ මත පළවුණා. ඒත් ඇත්ත කතාව තමයි, කොහොමහරි විපක්ෂයේ පක්ෂ බාල ඖෂධ ගැන 
කතාව නැවැත්තුවා.


ඒ අතර තව දෙයක් වුණා. ඉන්දියන් රජයේ විශේෂ රාජ්‍ය දූතයෙක් වන “ජයශංකර් මෙනන්” ලංකාවට ආවා, ජනාධිපති අනුරව හමුවුණා. ඔහු හදිසියේ ආවේ කවදාවත්? ආපදාවෙන් විපතට පත් අයට ආධාර දෙන්නද? මිත්‍රත්වය පළ කරන්නද? නැත්නම් බාල ඖෂධ නිසා මතුවෙන ඉන්දියන් විරෝධයට සංහිඳියාවක් ඇති කරන්නද? මේක පසුගිය සතියේ දේශපාලන කරළියේ සාකච්ඡා වුණා.


අනුර හදිසියේම
දියතලාවට ගියේ ඇයි...


ජනාධිපති අනුර පසුගිය සති අන්තයේ හදිසියේ දියතලාව ගියා. හේතුව දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යාලයේ 100 වෙනි විසිර යෑමේ පෙළපාලියට සේනාධිනායකයා විදියට සහභාගි වෙන්න ආරාධනා ලැබුණු නිසා.


ජනාධිපති ඒකට ගිහින්, නිල උත්සවයෙන් පස්සේ හමුදා ප්‍රධානීන් එක්ක විවේකීව රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළා. ව්‍යසනයේදී යුද හමුදාවේ මෙහෙවරට ප්‍රශංසා කළා.


ආපදා ප්‍රදේශ කීපයක් බලලා ජනාධිපති කොළඹ ආවා...


චීනෙන් දැමූ සාටකයට
ඇමති බිමල් කරපු දේ...

පසුගිය සතියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නායකයෙක් ලංකාවට ආවා. චීන ජනාධිපතිටයි අගමැතිටයි පස්සේ සිටින ප්‍රබලයා ඔහු කියලා තමයි බොහෝ දෙනාගේ මතය.


ඔහුගේ පැමිණීම නිමිත්තෙන් ප්‍රිය සම්භාෂණයක් සූදානම් කළ චීන තානාපති කාර්යාලය, අපේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන්ටයි නියෝජිතයන්ටයි ආරාධනා කළා, අඟහරුවාදා හවස ෂැන්ග්‍රිල්ලා හෝටලයට එන්න කියලා.


ප්‍රධාන ආරාධිතයා ඇමති බිමල් රත්නායක. ආණ්ඩුවෙන් ඊට අමතරව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ආවා. ඒ හැර සජිත් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, රන්ජිත් මද්දුම බණ්ඩාර, සාගර කාරියවසම්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, තිලංග සුමතිපාල වගේ දේශපාලඥයෝ පිරිසක් ඇවිත් හිටියේ...


උත්සවයට කලින් චිත්‍ර ප්‍රදර්ශනයක් තිබුණා. ඒක බලලා ශාලාවට එන අමුත්තන්ට චීනයෙන් වටිනා “සුදු සේද රෙදි සළුවක්” කරට පැළදවූවා, හරියට අපි මල්මාලයක් දානවා වගේ. ඒක සාටකයක් වගේ පෙනුණා...


මෛත්‍රී ඇතුළු පිරිස ඒක දාන් එනකොට දුමින්ද දිසානායක විහිළුවක් කළා: " සාටක දේශපාලනය එපා කියලයි පහුගිය දවස්වල රැල්ල ගියේ... අපට ආයි පාරක් සාටකය පැළඳගන්න වුණා එහෙනං..."


“අපිට නං කමක් නෑ, මේ සමගි ජන බලවේගයෙන් මහලේකම්තුමාත් සාටකයක් පැළඳගෙන ඉන්නේ..." ඩළස් රන්ජිත් මද්දුම බණ්ඩාර පෙන්නලා කිව්වා.


"හැබැයි එක අතකින් මේකත් සාටකයක් තමයි..." කියලා ඔවුන් සිනාසුණා...


මේ අතර බිමල්, මෛත්‍රී, දයාසිරි එක ලඟ අසුන්වල වාඩි වුණා...


“චීනෙ කොහොමහරි අපි ඔක්කොටම සාටකය දැම්මා එහෙනම්...” දයාසිරි මෛත්‍රීට කිව්වා තමන්ගේ රෙදිකඩ පෙන්නලා...


“අපි සාටකය දැම්මේ අද ඊයේ නෙවෙයි, බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ ඉඳලා. ඒක කමක් නෑ කියමු... බිමල් ඇමතිතුමත් සාටකය දාගෙන ඉන්නේ...”


ඒක ඇහුණු බිමල් ටිකක් කලබල වුණා, බිම බලාගෙන රෙදිකඩ ඇදලා අතට ගත්තා කාටවත් නොදැනෙන්න.


උත්සවය පටන් ගත්තාම චීන අමුත්තා මුලින්ම කතාවක් කළා. ලංකාවේ දේශපාලඥයන්ටත් කතා පහක් තිබුණා: බිමල්, සජිත්, මෛත්‍රී, රිශ්වි සාලි හතරදෙනා මුලින්...


ඔවුන් හතරදෙනාම චීනයෙන් ලැබුණු උදව්වලට කෘතඥතාව පළ කළා, චීන - ලංකා මිත්‍රත්වය ගැන කතා කළා... විශේෂයෙන්ම බිමල්...


චීනයේ හොඳ නරක 
සාගර කියා දුන්නලු...


අවසන් කතාව සාගර කාරියවසම්ගේ. ඔහුගේ කතාව ටිකක් වෙනස්...


“චීන-ලංකා මිත්‍රත්වය දැඩියි, ගොඩක් පරණයි. පාහියන් හිමියන්ගෙන් පටන් ගෙන කෙරුණ ගණුදෙනු ගැන සාධක ඉතිහාසය සපයනවා. රබර්-සහල් ගිවිසුම තමයි එක සන්ධිස්ථානයක්. කූටප්‍රාප්තිය මහින්ද ජනපතිතුමාගේ කාලේ. එතුමා චීනයෙන් උදව් අරගෙන ලොකු සංවර්ධනයක් කළා: හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, නොරොච්චෝලේ, නෙළුම් කුළුණ, පෝට් සිටි...


ඒත් ඒකාලේ විපක්ෂයෙන් ලොකු විරෝධයක් ආවා, මේවා ආර්ථිකය විනාශ කරනවා කියලා. රට චීන කොලනියක් කරන්න හදනවා කියලා එදා ආණ්ඩුව විවේචනය කළා... ඒත් මට අද සතුටුයි, එදා ඒ විවේචනය කළ අය අද මේක අගය කරනවා. විශේෂයෙන් ජවිපෙ, ඒ සංවර්ධන කටයුතු පිළිගෙන චීනය සමග අද ඔවුන් ඉදිරියට යනවා. චීන මිත්‍රත්වයට එකඟයි...”


සාගරගේ කතාව චීන අමුත්තා හිස සල සලා අහගෙන හිටියා.


නිල කටයුතු ඉවර වෙලා සම්භාෂණ වෙලාවේ බොහෝ දෙනා සාගරට ප්‍රශංසා කළා: "නියම පොයින්ට් එකක් මතුකළේ. විපක්ෂයේදි විවේචනය ලේසියි, ආණ්ඩුව ගත්තම වගකීමෙන් කටයුතු කරන්න වෙනවා."


මේ අතර දයාසිරියි උදය ගම්මන්පිලයි වෙනම කතාවක: උදය අවවාද කළා දයාසිරිට ඉක්මනින් ශ්‍රීලනිපෙ නඩු පටලැවිලි විසඳලා තනි පක්ෂයක් වෙන්න. හැමෝටම එක්වන්න එක වහළයක් හදන්න...


මේ උත්සවයේ විශේෂය වුණේ එජාපෙන් කිසිම කෙනෙක් පැමිණ නොසිටීම. දෙමළ පක්ෂවලත් කිසිවෙකු නෑ. ඒ ගැනත් අමුත්තෝ කතාබහ වුණා.


නත්තල් දා උදේම 
ජනපති ගිය ගමන...


සාමාන්‍යයෙන් දේශපාලඥයන්ට නත්තල් දවසේ උත්සව ගොඩයි. ඒත් ජනාධිපති අනුර නත්තල් දා උදෙන්ම උත්සවයක් නොවන ගමනක් ගියා. ඔහුගෙ පස්සෙන් නලින්ද ජයතිස්ස ඇමතිත් ගියා...


දෙන්නා ගියේ කිරිබත්ගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ ප්‍රවීණ රංගනවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ නිවසට, එතුමන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න.


මියගිය සතිස්චන්ද්‍ර ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ වැඩිමල් සහෝදරයා. ඔවුන්ගේ පවුලේ සහෝදර සහෝදරියෝ ගොඩක්, බොහෝමයක් කලාකරුවෝ. ඉතින් මළගෙදරට පහුගිය දවස්වල නිවසේ සෙනග ගොඩයි, දේශපාලඥයෝයි කලාකරුවෝයි රසිකයොයි ප්‍රේක්ෂකයොයි ඔක්කොම.


ඒත් ජනාධිපති එන බව නිවසේ කිසිවෙකු දැනගෙන හිටියේ නෑ, ආරක්ෂාවක් සකසලා තිබුණේත් නෑ. ඔහු සරලව නිවසට ගොඩවෙලා දේහයට ගෞරව දක්වලා, ඉදිරිසිංහ මැතිනියටයි පුතාලටයි දියණියටයි කණගාටුව පළ කළා. විශේෂ කාමරයට (වී අයි පී) නොගිහින් එළිමහන් ප්‍රදේශයේ තිබුණ මඩුවේ පුටු පේළියක වාඩි වුණා. එතන තමයි එ වෙනකොටත් ඇවිත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටියේ.


ජනාධිපතිවරු දෙදෙනා කිසි ඇයි හොදයියක් නෑ කියලා තමයි රටේ කතාව ගියේ. ඒත් ඒ දෙන්නා ළග වාඩිවී ඉතා සුහදව කතාබහ කළා. නලින්ද නම් ඒකට හවුල් වුණේ නැහැ.


කොහොමටත්  අනුර කුමාර දිසානායක ඉස්සරත් මෛත්‍රිපාල සිරිසේන එක්ක හරි යාලුයි. ටික වෙලාවක් ඔන්න ඔහොම කතා කර කර හිටපු දෙන්නා විසිරිලා ගියා. ඇයි ඉතින් නත්තල් දවසෙ කාට කාටත් රාජකාරී වැඩියිනේ... එතන ලොකුවට දේශපාලන කරුණු ගැන කතාවක් තිබිලා නෑ. ආ ගිය තොරතුරු තමයි ඉතින්… වෙන මොනවද..?

කලම්බු රිපෝටර්

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0