''ඔබ වැරදියි - මමයි හරි... අන්න ඒක පිළිගන්න.''
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි මහා සමුළුව අමතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය "ඇමරිකාව සියල්ලට පළමුව" යන ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වේදිකාවට ගෙන එමින් "ශක්තිමත් ජාතික ස්වෛරීත්වය" සහ "ශක්තිමත් දේශසීමා" වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු සිය කතාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය මිත්‍ර රටවල් සහ පවතින ගෝලීය ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක් කළේය. ට්‍රම්ප් මහතා, නීතිවිරෝධී සංක්‍රමණ සහ විවෘත දේශසීමා ප්‍රතිපත්ති "බටහිර යුරෝපයේ මරණය" වනු ඇතැයි අනතුරු අඟවමින්, සංක්‍රමණිකයන්ට සහාය දීම මගින් සංවිධානය ආක්‍රමණවලට අනුබල දෙන බවට චෝදනා කළේය. තවද, ඔහු දේශගුණික විපර්යාස සංකල්පය සහ "හරිත බලශක්ති වංචාව" ලොවට සිදුකළ විශාලතම ප්‍රෝඩාව ලෙස හඳුන්වමින්, රටවල් පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වී සාම්ප්‍රදායික බලශක්තිය වෙත නැඹුරු විය යුතු බව අවධාරණය කළේය. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ, යුරෝපීය රටවල් රුසියානු බලශක්ති මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු බවත්, රුසියාවට එරෙහිව ඇමරිකාව "බලවත් තීරුබදු වටයක්" පැනවීමට සූදානම් බවත්ය. මීට අමතරව, පලස්තීන රාජ්‍යය ඒකපාර්ශ්විකව පිළිගැනීමට දැඩිව විරුද්ධ වූ ට්‍රම්ප් මහතා එය හමාස් ත්‍රස්තවාදීන්ට දෙනු ලබන ත්‍යාගයක් වනු ඇතැයි ප්‍රකාශ කළේය. සමස්තයක් ලෙස, ඔහුගේ කතාව ගෝලීය සහයෝගීතාව වෙනුවට තනි ජාතීන්ගේ අවශ්‍යතා පෙරට ගත් නව ලෝක පිළිවෙළක් සඳහා බලපෑම් කරන්නක් විය.
''අපට ඕන මේ ලෝකය හදන්න. ඒකට ඔබත් එකඟ වන්න''
හරිත ගුණසේකර
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි සැසිවාරයේ මහා සමුළුව පසුගිය සතියේ ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී ආරම්භ විය. ලෝකයේ රටවල් හා රාජ්‍යයන් 193ක ලෝක නායකයින් සාමාජිකයන් ලෙස සහභාගී වන එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ මිහිපිට පවතින බලවත්ම හා විශාලතමය අන්තර්ජාතික සංවිධානය ලෙස අවිවාදයෙන් පිළිගැනෙයි. එහෙත් මහා සමුළුව අමතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙවර කරන ලද කතාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියෝගයක් බඳුය. ඔහු මතභේදාත්මක අදහස් කීපයක් ම ඉතා උණුසුම්ව පවසමින් සිය කතාව අවසන් කළේ ලොව බොහෝ රටවලට, ලෝක නායකයන්ට මෙන්ම සංවිධානවලට ''නැවත හිතන්නට'' අවශ්‍ය සමාජ දේශපාලන උත්තේජනයක් හා දර්ශනයක් සපයමිනි. මේ එම කතාවේ සාරගර්භ සාක්ෂිප්තයකි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන්නට පැමිණියේ නැවත ධුරයට පත්වීමෙන් පසු පළමු වතාවටය. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය හුරු පුරුදු ශෛලියෙන් යුතුව ''ඇමරිකාව සියල්ලට පළමුව'' යන ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වේදිකාවට ගෙන එමින් ලෝක නායකයන් ඉදිරියේ අභියෝගාත්මක කතාවකක් පවත්වන ලදී. ඔහු ඇමරිකාවේ ''ආර්ථික හා දේශපාලන ශක්තිය'' ඉස්මතු කළ අතර, ඒ සමඟම ''එක්සත් ජාතීන්ගේ සංවිධානය'', ''යුරෝපීය මිත්‍ර රටවල්'' සහ පවතින ''ගෝලීය ප්‍රතිපත්ති'' දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
ට්‍රම්ප් මහතාගේ කතාවේදී, ඔහු අනෙකුත් ජාතීන් වෙත ඉදිරිපත් කළ ප්‍රධාන අභියෝග හා අවවාද කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබුණි. මෙම ප්‍රකාශයන්, පවතින ලෝක ක්‍රමය සහ ගෝලීය සහයෝගීතාවය විවෘත ප්‍රශ්න කිරීමක් විය.
''දේශසීමා ආරක්ෂාව සහ සංක්‍රමණික අර්බුදය''
ට්‍රම්ප් මහතා සිය කතාවේදී අනෙකුත් ජාතීන්ට කළ ප්‍රධානතම අවවාදය වූයේ ''නීතිවිරෝධී සංක්‍රමණය'' සහ ''විවෘත දේශසීමා ප්‍රතිපත්ති'' පිළිබඳවය."ඔබ නීතිවිරෝධී ලෙස ඇමරිකාවට පැමිණියහොත්, ඔබව සිරගත කරනු ලබනවා හෝ ඔබ පැමිණි තැනටම ආපසු යවනු ලබනවා." ඔහු දැඩි සේ කියා සිටියේය. එපමණක් නොව, ඔහු මෙම ප්‍රතිපත්තිය අනෙකුත් රටවල් අනුගමනය කළ යුතු බවට බල කළේය.
''යුරෝපයට කළ අනතුරු ඇඟවීම''
විවෘත දේශසීමා ප්‍රතිපත්තිය අනුගමනය කිරීම "බටහිර යුරෝපයේ මරණය" වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. ජර්මනිය, ඔස්ට්‍රියාව, ග්‍රීසිය වැනි රටවල සිරගෙවල්වල විදේශිකයන්ගෙන් ඇති බව පෙන්වා දෙමින් ඒ අගය ඉහළ ප්‍රතිශතයක් පැවතීම උපුටා දක්වමින්, එමඟින් ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය ඔහු පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය "ආක්‍රමණ නැවැත්වීම වෙනුවට, ඒවා ''මූල්‍යනය කරන" බවට ඔහු බරපතල චෝදනාවක් එල්ල කළේය. සංක්‍රමණිකයන්ට මුදල්, ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබා දීමෙන් ඔවුන්ට ''ඇමරිකාවේ දේශසීමා ආක්‍රමණයට'' අනුබල දෙන බව ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.
''බලශක්ති සහ දේශගුණික විපර්යාස පිළිබඳ මතභේදාත්මක ස්ථාවරය''
''හරිත බලශක්ති වංචාව'' (green energy scam) සහ ''දේශගුණික විපර්යාස පිළිබඳ සංකල්පය" ලොවට සිදුකළ ''විශාලතම ප්‍රෝඩාව" ලෙස හැඳින්වූ ට්‍රම්ප් මහතා, සියලු ජාතීන්ට ''පැරීසියේ දේශගුණික ගිවිසුම'' වැනි හරිත ප්‍රතිපත්තිවලින් ඉවත් වන ලෙස දැඩිව බල කළේය.
''ඔබ හරිත බලශක්ති වංචාවෙන්' ඉවත් නොවන්නේ නම්, ඔබේ රට අසාර්ථක වනු ඇති බව මම ඔබට කියනවා."මෙම හරිත ප්‍රතිපත්ති නිසා යුරෝපීය රටවල් විනාශ වෙමින් පවතින බවත්, බලශක්ති මිල අධික වීම නිසා වායුසමීකරණ යන්ත්‍රයක් පවා භාවිතා කළ නොහැකිව, යුරෝපයේ වසරකට 175,000කට අධික පිරිසක් අධික උෂ්ණත්වය නිසා මිය යන බවත් ඔහු පැවසීය. තමා පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කර ගත් බව සිහිපත් කළ ඔහු,''සාම්ප්‍රදායික බලශක්තියේ වැදගත්කම'' පෙන්වා දුන්නේය. "drill baby drill" ප්‍රතිපත්තිය යටතේ ඇමරිකාව නැවතත් බලශක්ති නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වූ බව කියා සිටියේය.''ශක්තිමත් දේශසීමා'' සහ ''සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන්'' යනු ශක්තිමත් රටකට අත්‍යවශ්‍ය කරුණු බව ඔහු අවධාරණය කළේය.
''යුක්රේනයට එරෙහි රුසියානු තීරුබදු සහ යුද්ධ අවසන් කිරීම''
ගෝලීය ගැටුම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ට්‍රම්ප් මහතා, යුක්රේන යුද්ධය පිළිබඳව සිය මිත්‍ර රටවලට සහ රුසියාවට පැහැදිලි ''අභියෝගාත්මක පණිවිඩ'' කිහිපයක් නිකුත් කළේය.
''යුරෝපීය ජාතීන්ට කරන ලද අවවාදය'' වැදගත්ය. යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව සූදානම් නොවන්නේ නම්, ''යුරෝපීය රටවල් රුසියානු බලශක්තිය මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු බවට'' ඔහු බල කළේය.
රුසියාව මෙහිදී යුද්ධය අවසන් කිරීමට අසමත් වුවහොත්, රුසියාවට එරෙහිව "බලවත් තීරුබදු වටයක්" පැනවීමට ඇමරිකාව සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය. යුක්රේන ගැටුම තමාගේ පාලනය යටතේ නම් කිසිදාක ඇති නොවන්නට ඉඩ තිබූ බවට ද ඔහු විශ්වාසය පළ කළේය.
''පලස්තීන රාජ්‍යය පිළිගැනීමට එරෙහි ස්ථාවරය''
මෑතකාලීනව ලෝක දේශපාලනයේ උණුසුම්ම මාතෘකාවක් වන ''පලස්තීන රාජ්‍යය ඒකපාර්ශ්විකව පිළිගැනීමේ'' උත්සාහයන්ට ට්‍රම්ප් මහතා දැඩිව විරුද්ධ විය. "පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට උත්සාහ කිරීම යනු ඔක්තෝබර් 7 වන දා ප්‍රහාරය වැනි ම්ලේච්ඡ ක්‍රියා සිදුකළ හමාස් ත්‍රස්තවාදීන්ට දෙනු ලබන ත්‍යාගයක් වනු ඇත."ඔහු කීවේය. ඔහු ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියේය.
''ඇමරිකාවේ ස්වර්ණමය යුගය සහ ගෝලීය විවේචන''
ට්‍රම්ප් මහතා සිය කතාව ආරම්භ කළේ ඔහුගේ පරිපාලනය යටතේ ඇමරිකාව ළඟා කරගත් ''ආර්ථික ශක්තිය'' පිළිබඳව පුරසාරම් දොඩමිනි. කොටස් වෙළඳපොළේ වාර්තාගත වර්ධනයක්, ''උද්ධමනය පරාජය කිරීම'' සහ ''වැටුප් වසර 60කින් වාර්තා වූ වේගවත්ම වර්ධනය'' පෙන්නුම් කිරීම ඔහු එහිදී ප්‍රධාන වශයෙන් ඉස්මතු කළේය.
''එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන'' එම සංවිධානයට "දැවැන්ත විභවයක්" තිබුණද, එය ''දක්ෂතාවයෙන් තොරව'' ක්‍රියාත්මක වන බවත්, කරන්නේ "හිස් වචන" සහිත ලිපි යැවීම පමණක් බවත් ඔහු චෝදනා කළේය.
තමා ධුරයට පත්වී කෙටි කලක් තුළ "කිසිදා අවසන් කළ නොහැකි" යැයි පැවසූ ''යුද්ධ හතක් අවසන් කළ බව'' ඔහු ප්‍රකාශ කළේය. ''ඊශ්‍රායලය-ඉරානය'', ''කොසෝවෝ-සර්බියාව'' වැනි ගැටුම්ද ඊට ඇතුළත් විය.
සමස්තයක් ලෙස ගත් විට, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එක්සත් ජාතීන්ගේ වේදිකාව භාවිතා කළේ ගෝලීය සහයෝගීතාව වෙනුවට ''තනි ජාතීන්ගේ ස්වෛරීත්වය'' සහ ''ශක්තිමත් ජාතික අවශ්‍යතා'' පෙරට ගත් නව ලෝක පිළිවෙළක් සඳහා ලෝක නායකයන් වෙත බලපෑම් කිරීමටය. ඔහුගේ දැඩි වචන සහ මතභේදාත්මක ස්ථාවරයන් හේතුවෙන් මෙම කතාව ගෝලීය වශයෙන් පුළුල් අවධානයක් දිනා ගත්තේය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

