පොලිටිකල් ගොසිප් (2026 නව වසර)
මේ සති හතරක කාලය ඇතුලත ආපදාවෙන් විනාශ උණ යටිතල පහසුකම් ආයෙත් පරණ තත්ත්වයට ගෙන එන්න රජයේ ඉදිකිරීම් සේවාවන්ට පුළුවන් උනා. යුද හමුදාවේ සහ පොලිසියේ උදව්වත් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ උදව්වත් නොමදව ලැබෙද්දී ස්වේච්ඡා සංවිධානවල සහභාගීත්වයත් එක්ක මහා මාර්ග පද්ධතියේ තිබුණ සියලුම සම්බන්ධතා පරණ තත්ත්වයටම නෙවුවත් සතුටුදායක තත්ත්වයකට හදන්න පුළුවන් උණා. තවමත් කුමක් කරන්නද කියලා හිතාගන්න බැරි තත්ත්වයක තියෙන කඳුකර දුම්රිය මාර්ග පද්ධතියේ ඇතැම් තැන්වල ප්‍රශ්න විසදලා යම් යම් කොටස්වල දුම්රිය දුවන්න පවා රජයට පුළුවන් උනා...
පොලිසියක් ගොසිප් (2026 නව වසර)
ආපදාවෙන් වැටුණ රට
යළි ගොඩගන්න මෙහෙයුම...
2025 අවුරුද්ද ගෙවිලා ගිහින් තවත් අලුත් අවුරුද්දක් උදාවුනේ කලබලකාරී උණුසුම් වාතාවරණයක් මැද. “දිට්වා සුළි කුණාටුව” කේන්ද්‍ර කරගෙන සිද්ද උණ ආපදාවලට මාසයක් පිරුණේද ඒ අතර.
මේ සති හතරක කාලය ඇතුලත ආපදාවෙන් විනාශ උණ යටිතල පහසුකම් ආයෙත් පරණ තත්ත්වයට ගෙන එන්න රජයේ ඉදිකිරීම් සේවාවන්ට පුළුවන් උනා. යුද හමුදාවේ සහ පොලිසියේ උදව්වත් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ උදව්වත් නොමදව ලැබෙද්දී ස්වේච්ඡා සංවිධානවල සහභාගීත්වයත් එක්ක මහා මාර්ග පද්ධතියේ තිබුණ සියලුම සම්බන්ධතා පරණ තත්ත්වයටම නෙවුවත් සතුටුදායක තත්ත්වයකට හදන්න පුළුවන් උණා. තවමත් කුමක් කරන්නද කියලා හිතාගන්න බැරි තත්ත්වයක තියෙන කඳුකර දුම්රිය මාර්ග පද්ධතියේ ඇතැම් තැන්වල ප්‍රශ්න විසදලා යම් යම් කොටස්වල දුම්රිය දුවන්න පවා රජයට පුළුවන් උනා...
ඒ අතරෙ විපතට පත් ජනතාව ආයෙත් පදිංචි කිරීම් සහ ඔවුන්ගේ ආපදාවල පාඩුවලට වන්දි ගෙවීම්ද ක්‍රමානුකූලව කරන්න රජයේ අංශවලට පුළුවන් උනා. ජනාධිපතිතුමා 2025 අවුරුද්දේ අවසානය දින දහය ඇතුලතද දැඩි අවධානය යොමු කරලා මේ ගැන සොයා බලන්න ගියා.
ඒ නිසා අවුරුද්දේ අවසාන දින දෙක තුන ඇතුලත ජනාධිපති අනුර කුමාර දිසානායක ඉඳලා තිබුණේ බලවත් සේ කාර්යබහුල තත්ත්වයක. ඔහු බාරයේ තියෙන අමාත්‍යාංශවල ප්‍රගතිය සොයා බලලා අවසාන ප්‍රගති සමාලෝචන රැස්වීම්වලටද මේ දින දෙක තුන ඇතුලත සහභාගී වෙන්න ජනාධිපතිතුමාට සිද්ද උනා. ඒ අතර අවුරුද්දේ අවසානය උන නිසා, ජනාධිපතිතුමාට සහභාගී වෙන්න සිද්ද උන උත්සව සහ ප්‍රිය සම්භාෂණවලද අඩුවක් තිබුණේ නෑ. ඒ අතර සහභාගී වෙන්න ඕනම අවමගුල් උත්සව දෙකක්ද තිබුණ නිසා ජනාධිපතිතුමාගේ කාර්යබහුලකම තවත් වැඩි උනා...
රජය පොහොසත් කළාට
ජනපති කරපු ස්තූතිය...
පහුගිය 30 වැනිදා උදෙන්ම ජනාධිපති ලේකම්තුමාට සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් කීපදෙනෙකුට කතා කළ ජනාධිපතිතුමා ඒ දවසට යෙදුණු වැඩ රාජකාරි ගැන සාකච්ඡා කළා. මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන තුනක ප්‍රගති සමාලෝචන රැස්වීම් තුනකට සහභාගී වෙන්න ජනාධිපතිතුමාට ඒ දවස ඇතුලත සිද්ද උනා...
“මේ අතරෙ මට අද කොහොමහරි ලතා අක්කගේ මළ ගෙදරට ගොඩ වෙන්නත් ඕනා. මේ සමාලෝචන රැස්වීම් අතරෙ ඔයාල ඒ ගමනත් මතක තියාගන්න”. ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
ඒ අනුව ඒ දවස මුලින්ම ජනාධිපතිතුමා සහභාගී උනේ කොටුවේ රේගු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තිබුණ රේගුවේ රැස්වීමටයි... රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. අරුක්ගොඩ ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ රැස්වීමට ඇවිල්ලා හිටියා...
“මේ අවුරුද්දේ අපෙන් අපේක්ෂා කළේ රුපියල් බිලියන 2115ක ආදායමක්. අන්තිමේ ඒ ඉලක්කය ඉක්මවලා තවත් රුපියල් බිලියන 300ක අතිරේක ආදායමක් ලබන්නත් අපිට මේ අවුරුද්දේ පුළුවන් උනා ජනාධිපතිතුමාගේ මගපෙන්වීම නිසයි...” රේගු අධ්‍යක්ෂතුමා එහෙම ජනාධිපතිව මුරුංගා ගහේ උඩම අත්තේ තියලා ගණන් මිනුම් එක්ක තමන්ගේ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සටහන් කරද්දී ජනාධිපතිතුමා කිව්වේ මේ ඉතිහාසයේ වාර්තාගත ලාභය සහ ආදායම රේගු දෙපාර්තමේන්තුව ලබාගෙන තියෙන්නේ නිවැරදි මගපෙන්වීම සහ නිලධාරීන්ගේ අප්‍රතිහත කැපවීම මත කියලයි...
මේ නිල සාකච්ඡාව සහ රැස්වීම අවසානයේ සේවකයන්ට සහ නිලධාරීන්ට තමන් අබියසට ඇවිල්ලා කතාබහ කරන්නත් සුභ පැතුම් කරන්නත් අවස්ථාවක් සලසලා තිබුණෙත් විශේෂයි...
ජනාධිපතිතුමා ඒ රැස්වීමෙන් පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමාලෝචන රැස්වීමට සහභාගී උනා. ඒකත් මේ අවුරුද්දේ ඉතිහාසයේ වාර්තාගත ලාභයක් සනිටුහන් කළ ආයතනයක්. මේ අවුරුද්ද ඇතුලත රුපියල් බිලියන 2203ක් ආයතනයෙන් උපයලා තියෙන බව පෙන්නලා දුන් නිලධාරීන් ඒක අපේක්ෂිත ඉලක්කයට වඩා බිලියන 33ක වැඩිවීමක් පෙන්නුම් කරන බව පෙන්නුවා.
ජනාධිපතිතුමා එතනදී ඒ වාර්තාගත ලාභය ලබාගන්න ඇප කැපවීම ගැන සියල්ලන්ටම ස්තුති කළා. අවුරුදු 93ක ඉතිහාසය තුල ලැබුණු ඉහළම ජයග්‍රහණය ඒක කියලා කිව්වා.
ඊට පස්සේ ආයතනයේ සියලුම නිලධාරීන් සහ සේවකයන් හමුවුණ ජනාධිපතිතුමා ඔවුන් එක්ක වෙන් වෙන්ව තනි තනිව කතාබහ කරන්න ඒක අවස්ථාවක් කරගත්තා. ඉහළ නිලධාරීන් ජනාධිපතිතුමා වටකරගත්තත් ජනාධිපතිතුමා ඒ අතරින් ඉවත්වෙලා ගොස් සාමාන්‍ය සේවකයන් මුණගැසිලා කතාබහ කළා...
ජනපති සමග පින්තූරයට ආ
කාන්තාවකට වෙච්චි දෙයක්...
ඔය අතර විශේෂ සිද්ධියක් සිද්ද උනා. දේශීය ආදායම් කාර්යාලයේ පවිත්‍රතා අංශයේ වැඩ කරන එක්තරා මැදිවියේ කාන්තාවක් දුරකථනයක්ද අත ඇතිව ජනාධිපතිතුමා ඉන්න දෙසට කිට්ටුවෙන්න උත්සාහ කළේ ජනාධිපති අනුර දිසානායක එක්ක “සෙල්ෆි ඡායාරූපයක්” ගන්න. ඒත් එතන හිටපු ඉහළ නිලධාරිනියක් ඇයව පසෙකටත් තල්ලු කරලා දැම්මා. තවත් කීපදෙනෙක් ඇයට දොස් නැගුවේ ඇය තමන්ගේ රැකියාවේ සීමාව ඉක්මවලා කටයුතු කිරීම ගැන...
ඒ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙක් ඒ සිද්ධිය දැකලා ඇයට ජනාධිපතිතුමා ළඟට කිට්ටුවෙන්න ඉඩ සලසලා දුන්නා. ඇයව දැක්ක සැණින් තමන්ගේ සමීප ඥාතියෙක් කිට්ටු කරගන්නාක් මෙන් ජනාධිපතිතුමා ඇයට ආචාර සමාචාර කරලා ඇය එක්ක කතාබහ කරමින් ඉතාම සමීපව ඇයට ඡායාරූපයක් ගන්නත් ඉඩ සලසලා දුන්නා...
ජනාධිපතිතුමා සහභාගී උන ඊළඟ රැස්වීම තිබුණේ රාජගිරිය සුරා බදු දෙපාර්තමේන්තු කාර්යාලයේ. ඒ ආයතනයත් පහුගිය අවුරුද්දේ වාර්තාගත ලාභයක් ලැබුණ ආයතනයක් ලෙස කැපී පෙනුණා. අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 227.2ක් උනත් ලබාගත්ත ආදායම රුපියල් බිලියන 231.3ක් බව නිලධාරීන් ආඩම්බරයෙන් පෙන්නුවා...
“ආයතනය දූෂණයෙන් තොර උනා. නිලධාරීන් කැපවීමෙන් වැඩ කළා. ඒකයි වාර්තාගත ලාභයක් පෙන්නුම් කිරීමේ රහස. හැබැයි මේ බදු සම්බන්ධයෙන් අපිටත් හිතන්න දෙයක් තියෙනවා. සුරා බදුවල ‘වක්‍ර බද්ද’ යම් තරමකින් අඩු කරන්න පුළුවන් නම් වක්‍ර බදුවලට අහුවෙන මත්පැන් පාරිභෝගිකයන්ටත් යම් සහනයක් ලැබේවි...” ජනාධිපතිතුමා ඒ කතාව ඉතාම පරිස්සමින් කියන හැටි දැකගන්න පුළුවන් උනා.
මේ සියලුම රාජකාරිවලට පස්සේ ඒ දවස හැන්දෑවේ ලැබුණ විවේකයකින් ජනාධිපතිතුමා ‘ජයරත්න රෙස්පෙක්ට්’ මල් ශාලාවේ තැන්පත් කරලා තිබුණ සුප්‍රකට කලාකාරිනී ලතා වල්පොල මැතිනියගේ දේහයට අවසන් ගෞරව දක්වන්නත් ගියා.
ලතා වල්පොල මැතිනියගේ දියණිය ධම්මිකා වල්පොල ජනාධිපති අනුරගේ හොඳ හිතවතියක්. ඇගේ සැමියා සුප්‍රකට ගිටාර්වාදක මහින්ද බණ්ඩාරද අනුර කුමාර හොඳින් හඳුනනවා. අමිත් වල්පොලද හිතවතෙක්. ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වලා මේ සියලුම දෙනා හමුවෙමින් ඉතාම සමීපව ටික වෙලාවක් කතාබහ කරමින් හිටියා.
ලතා වල්පොල මැතිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිද්ද උනේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි. 31 වැනිදා රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්තුව ඒ උත්සවයේදී සංවිධායකයන් විසින් වල්පොල මැතිනිය වෙනුවෙන් ප්‍රධාන ගුණකථනය කරන්න භාරදීලා තිබුණේ නදීක ගුරුගේ නම් සංගීතවේදියාටයි. ඔහු කතාව පටන්ගෙන ටික වෙලාවක් යනකොටම කලාකරුවන් අතරින් ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පලවෙන්න ගත්තා...
“ඉස්සර නම් මේ වගේ වැදගත් මනුස්සයෙක්ගෙ මළ ගෙදරක මේ වගේ කතාවක් කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ කෙනෙක්. මේ බලන්න මේ කියන දේවල් මෙලෝ යකෙකුට තේරෙනවද කියලා. මේක හොඳයි උපාධි නිබන්ධයකට...
අර මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු වෙලාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් ඇවිල්ලා ගුණකථනය කාල දැම්මා. අද එයාගේම අනිත් එකක් ඇවිල්ලා මෙතන හානවා... ආණ්ඩුවට වෙන උගත්තු නැද්ද මං දන්නෑ මේ වගේ වැදගත් වැඩකට යොදන්න...” ඒ කතාව ඒ කලාකරුවා නිර්භයව කිව්වේ එතන හිටපු මාධ්‍යවේදීන් කීපදෙනෙක්ම ඉස්සරහයි...
එජාපෙ - සජබෙ එකතුවට
සජිත් සමඟ සාකච්ඡාව..
ඉදිරි දේශපාලන කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක කඳවුරක් යටතට ගෙන එන්න එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණ කොළ එළි සංඥාව සජිත් ප්‍රේමදාසද පහුගියදා පිළිගෙන තිබුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ඒ සඳහා පත්කළ කමිටුවත් සජිත් ප්‍රේමදාසත් අතර හමුවක් පහුගිය සතියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්තුවා.
එක්සත් ජාතික පක්ෂයෙන් මේ සාකච්ඡාවට රුවන් විජේවර්ධන අඛිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක සහභාගී උන බව කියනවා. ඒත් සමගි ජන බලවේගයෙන් ඒ සඳහා ඇවිල්ලා තියෙන්නේ සජිත් විතරක් වීම විශේෂයි...
කතාබහ කෙරුණේ කුමක්ද කියන කාරණාව පැහැදිලි උනත් එහිදී හතරදෙනා සාකච්ඡා කළේ කුමන තීන්දු තීරණ ගැනද කියලා පිටස්තර පාර්ශවයකට කරුණු හෙළිදරව් වුණේ නෑ. ඒත් එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයන් තිදෙනා පොදුවේ පෙන්නලා දුන්නේ වත්මන් ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ දේශපාලන කටයුතුවලදී මේ සාකච්ඡාවන්හි ප්‍රගතිය ඉදිරියේදී කාටකාටත් දැක බලාගන්න පුළුවන් වෙයි කියලයි...
කොහොමහරි සජිත් ප්‍රේමදාස ඒ ගැන තමන්ගේ “එක්ස්” ගිණුමේ සටහනක් තබලා පෙන්නලා දීලා තියෙන්නේ "අපගේ මාතෘ භූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායි සහ කාර්යක්ෂම ලෙස සාකච්ඡා කරගන්න පුළුවන් නව්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ, ඵලදායී සහ ධනාත්මක සාකච්ඡාවක් පැවැත්තුව බවටයි. ඒත් ඔහු එහෙම සටහනක් තබලා කියන්න උත්සාහ කරලා තියෙන අදහස ගැන හරියාකාරව සන්නිවේදනය උනාද කියලා සැකයි.
සජිත්ගේ අදහස එහෙම ව්‍යාකූල තත්ත්වයක තිබුණත් සමගි ජන බලවේගයට සම්බන්ධ තවත් කීපදෙනෙක් පහුගිය දිනක මේ ගැන කතාබහ කළා...
මේ කතාබහ ඇති උනේ ලක්ෂ්මන් ෆොන්සේකාට අයිති හෝකන්දර ප්‍රදේශයේ නිවසේ. ඒ නිවසේ දානමය පුණ්‍යකර්මයක් පැවැත්තුව අතර ඊට විපක්ෂයේ විවිධ පක්ෂවලට අයිති දේශපාලඥයෝ පිරිසක් ඇවිල්ලාත් හිටියා. සුජීව සේනසිංහ, ටිරාන් අලස්, මහේෂ් සේනානායක, හර්ෂණ රාජකරුණා, චරිත අබේසිංහ ඇතුළු පිරිසක් එතන හිටියා. ඔවුන් දේශපාලනයේ ආගිය තොරතුරු කතා කරමින් සාකච්ඡාව පටන් ගත්තා...
“දේශපාලනයට එනකොට මට වෙඩිත් වැදුණා, පළාත් සභාවලට මම මුලින්ම ඉල්ලන වෙලාවේ. මාව මේකට ඇදලා දැම්මේ රනිල්. හැබැයි මම ඡන්දේ ඉල්ලනවා කියන එක මං දැනන් හිටියේ නෑ.” සුජීව අතීත කතාවක් මතක් කරමින් කිව්වා..
දේශපාලනයේ පරිණත දේශපාලඥයෝ මහේෂ් සේනානායක සහ චරිත අබේසිංහට අවවාද කරමින් තව තව කතා කියමින් හිටියා...
“මට ආඩම්බරයි උඹල ගැන. උඹලා හරිම දක්ෂයි. දක්ෂයි එඩිතරයි. තරුණයෝ හැටියට දේශපාලනයේදී හරිම සටන්කාමියි. ඒ වුනාට මල්ලි මම ඒක අවවාදයක් දෙන්නම්... තමන්ගේ ආර්ථිකය, ආදායම් මාර්ගය බිඳවට්ටගෙන කවදාවත් දේශපාලනය කරන්න එන්න එපා. මං මේ දේශපාලනයෙන් ආදායම් ලබන්න කියනවා නෙවෙයි. දේශපාලනය කරන හැම තරුණ දේශපාලඥයෙක්ම තමන්ට කියලා ආදායම් මාර්ගයක්, ව්‍යාපාරික ප්‍රවේශයක් වෙනම පවත්වාගෙන යන්න ඕන. ආර්ථික හයිය නැතුව දේශපාලනය කරන්න බෑ...”
සුජීව, චරිතලාට මහේෂ්ලාට කී අවවාදය ටිරාන්ද අනුමත කළා. ඒ අතර කතාබහ වර්තමාන රජයේ දුර්වලතා සහ විපක්ෂයේ කාර්ය භාරය පැත්තට බර උනා.
“දැන් කොහොමද දෙගොල්ල එකතුවෙන එක...” එතන හිටපු වෙනත් අයෙක් ප්‍රශ්නය මතුකළේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාව ගැනයි...
“අපි නං එකෙන්ම ඉන්නේ දෙගොල්ලා ඉතා ඉක්මනින් එකතු වෙන්න ඕන කියන තැන....” සුජීව කිව්වා...
“සජිත්ට නායකත්වය දෙන්නත් රනිල් දැන් කැමතියිනේ...”
“මං නම් හිතන්නේ මේ ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්න නම් ඔය දෙගොල්ලෝ විතරක් එකතු වෙලා බෑ. සජිත් විපක්ෂ නායක නිසා නායකත්වය ගත්තට කමක් නෑ. හැබැයි පොහොට්ටුව ගැන අවතක්සේරු කරලා බෑ.. ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් වෙන්න නම් විපක්ෂයේ අද ඉන්න ශ්‍රී ලංකා එක, පොහොට්ටුව, එජාපය, සජඹය සහ අනෙකුත් ලොකු කුඩා පක්ෂ හැම එකක්ම එක වහලක් යට එක බලවේගයක් හැටියට ගොනු වෙන්ඩ ඕන...” ඒ කිව්වේ ටිරාන්...
“ඔව් ඉතින්...ඒක එහෙම වෙන්න එපායැ. ආණ්ඩුව, මේගොල්ලෝ බලය අරන් තියෙන්නේ එහෙම ලේසියෙන් අතාරින්න නෙවෙයි... ඒගොල්ලන්ට අභියෝගයක් වෙන විදියට විපක්ෂය ශක්තිමත් වෙන්න ඕන...” මහේෂ් සේනානායකද එහෙම කියමින් ඒ කටයුත්තේදී විපක්ෂයේ සමගිය වෙනුවෙන් ලක්ෂ්මන් ෆොන්සේකාට කරන්න පුළුවන් කාර්යභාරය ගැන කතා කළා...
පැරදුන අයවැය
යළි දිනපු හැටි...
කොළඹ නගර සභාවේ අයවැය යෝජනාව පරාජය උනේ මේ ඊයේ පෙරේදායි... ආණ්ඩුවට ඡන්ද 57යි. විපක්ෂයට 60යි.
කොළඹ නගර සභාව කියන්නේ ලංකාවේ පළාත් පාලන ආයතනවල මර්මස්ථානය ලෙස සැලකෙන එකක්. ඒ නිසා කොළඹ නගර සභාව තමන්ගේ දේශපාලන ග්‍රහණයෙන් මිදිලා යෑම ආණ්ඩුවට බලවත් තර්ජනයක්. ඒ නිසා නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්ට විතරක් නෙවෙයි, අගමැතිනි හරිනිටත් ජනාධිපති අනුරටත්, මේක බරපතල ලජ්ජාවට කාරණාවක් උනා ...
“මේක අපි නැවත දිනන්නම ඕන...” ඒ තමයි පැලවත්තේ තීන්දුව.
ආණ්ඩුවේ ප්‍රබලයෝ දෙවැනි වර ඡන්ද විමසීමේදී නගර සභාව ‘දිනවීමේ මෙහෙයුම් කටයුත්ත’ සුනිල් වටගලට බාර දුන්නා. නගර සභිකයන් හමුවෙලා ඔවුන් එක්ක සාකච්ඡා කරලා වරද නිවැරදි කිරීමේ වගකීම භාරගත්තේ ඔහු...
විපක්ෂය පැත්තෙන්, වටගලගේ මෙහෙයුමට හාත්පසින්ම විරුද්ධ මෙහෙයුම දියත් කළේ මුජිබර් රහුමාන්. අවසානයේ විපක්ෂයට ඡන්දය දුන් මන්ත්‍රීවරු 60 දෙනා අතර ‘විපක්ෂ පක්ෂවලට’ විශ්වාසවන්ත මන්ත්‍රීවරු යිටියේ 57යි.. තුන්දෙනෙක් ෂුවර් නැහැ. දෙන්නෙක්ම ‘ටෙලිෆෝන් ඕෆ්’ කරගෙන ආගිය අතක් නෑ...
“ෂුවර් එකටම උන් දෙන්නා එදාට එන්නෙ නෑ... ඒ වුණත් අපට එක ඡන්දයක් වැඩියි. කොහොමහරි ඒක රැකගන්න ඕන...” මුජිබර් කිව්වා.
ඒ තීරණාත්මක ඡන්දයේ හිමිකරු උනේ මුස්ලිම් කොංග්‍රසයේ ‘සොහාරා බුහාරි’ මන්ත්‍රීතුමියයි. මුජිබර් නිෂාන් කාරියප්පර්ගේ මාර්ගයෙන් ඇයට පණිවිඩ පිට පණිවිඩ යැව්වා. ඒ අතරෙ වටගලගේ කණ්ඩායමද සොහාරා බුහාරි මන්ත්‍රීතුමිය වටකරන්න ගත්තා.
පළාත් සභාවේ විපක්ෂ නායකයි මුස්ලිම් කොංග්‍රසයේ නායකයකුයි 30 වැනිදා රෑත් ඇයගේ ගෙදර...
“බයවෙන්ඩ එපා විපක්ෂ නායකතුමා... අපේ පක්ෂෙන් මට දැන්නුවා කරන්න ඕන දේ. මම පක්ෂෙ තීන්දුවට පිටින් යන්නෙ නෑ. මුජිබර් මන්ත්‍රීතුමාටත් කියන්ඩ. බයවෙන්න එපා කියලා...”30 වෙනිදා උදේ වෙනකොටත් ඇය කිව්වේ ඔය ටිකමයි.
“අනිත් දෙන්න ආගිය අතක් නෑ. හැබැයි ඒ දෙන්න නාවත් සොහාරා බුහාරිගේ ඡන්දෙන් විපක්ෂය දිනුම්. ආණ්ඩුවට 57යි අපට 58යි. හැබැයි ඉතින් වටගල කොයිවෙලේහරි ඉන්ජක්ෂන් එක ගහලා බුහාරිව ඒ පැත්තට බාගනිද දන්නෑ....” කියලම තමයි මුජිබර් විශ්වාස කළේ...
ඡන්දය විමසන වෙලාවේ මයික්‍රෝපෝණය අතින් අතට ගියා. මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීතුමාට පස්සේ බුහාරි මන්ත්‍රීතුමිය. යෝජනාවට විපක්‍ෂයි කියලා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ඡන්දෙ දීලා බුහාරිගේ අතට මයික්‍රොපෝනය දුන්නා. කවුරුත් බලන් හිටියේ සොහාරා බුහාරි දිහායි. ඇඟෙන් ඡන්දය විමසලා හිටියා. විපක්ෂයේ කට්ටියම තක්බීර් කරමින් ඇය යෝජනාවට “පාක්‍ෂයි” කියලා ඡන්දය ප්‍රකාශ කළායි....
ඒ අනුව සුනිල් වටගල - ව්‍රායි කැලි බල්තසාර් ඇතුළු මෙහෙයුම් කණ්ඩායමට කොළඹ නගර සභාව දිනලා ආයෙත් වරක් ජය පැන්බීමේ අවස්ථාව උදාවුණා.
බුහාරි මන්ත්‍රීතුමීට ඡන්දෙ දීලා අනිත් පැත්තට ගෙදර යන්න වුණේ නෑ... මුස්ලිම් කොංග්‍රසයේ ඉහළ නායකත්වය ඇගේ පක්ෂ සාමාජිකත්වය විනාඩි ගණනක් ඇතුලත අත්හිටවලා තිබුණා.
“ඕව කරාට වැඩක් නෑනේ... එතුමියට මන්ත්‍රීකම නැතිවුණා කියලා පාඩුවක් නැතුව ඇති. ඇයි දෙයියනේ මිලියන් ගණනක් හම්බුවෙනවා කියනවනේ...” මුජිබර් රහුමාන්ට එහෙම කිව්වේ මාධ්‍යවේදියෙක්...
“පිස්සුද... ඔය මිනිස්සුන්ට එච්චර සල්ලි දෙන්න ඕනෙ නෑ... පෙනනුවම ඇති. ඔය කියන ගාන අපි වියදම් කළා නම් තව හත් අට දෙනෙක් ඒ පැත්තෙන් මේ පැත්තට ගන්නත් තිබුණා...” කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය ගැන ඒ කිව්වේ මුජිබර්යි....
කතරගම පුදබිමට ආ
අනිත් දෙවියා කවුද...
නාමල් තමන්ගේ තාත්තා මෙන් සියල්ලට පලමුව 31 දා රෑ කතරගම පුදබිම බලා පිටත්වුණේ නව වසරේ අරඹන්න සූදානම්කරලා තිබුණ සැලැස්ම සඳහා කතරගම දෙවිඳුන් ඇතුළු ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලබාගන්න...
නාමල් විතරක් නෙවෙයි. ඒ සුවිශේෂී රෑ රාජපක්ෂ පවුලේ සියලුම දෙනා කතරගම ගියා.... චමල් රාජපක්ෂ, සශින්ද්‍ර රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, යෝෂිත සහ රෝහිත ආදී සියලු දෙනා එතනයි...
සාමාන්‍යයෙන් දෙසැම්බර් 31 වැනිදා දවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන නායකයන්ටද ඉතාමත්ම වැදගත් දවසක්. පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් කතරගම පුදබිමේ පිරිතක් කියන්න ආරම්භ කළා. එදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 63ක් තිස්සේ කතරගම පුදබිමේ 31 වැනිදා රෑ ඒ පිරිත කියනවා. කලක් ඒක නොකඩවාම කළේ මහින්දයි. මහින්දගෙන් පස්සෙ අද වෙනතුරු ඒ වගකීම බාරගෙන නොපිරිහෙලා ඉටුකරන්නෙ මහින්ද අමරවීරයි.
ඔය පිරිත වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල, විජයදාස රාජපක්ෂ, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් ඇතුළු දේශපාලඥයෝ රැසක්ම ඇවිල්ලා හිටියා.. ඔවුන්ගේ දේශපාලන බල ප්‍රදේශවලින් ඒ පිරිත සඳහාම ඇවිල්ලා හිටපු පිරිසක්ද හිටියා.
මහින්ද මහත්තයා මුලින්ම කිරිවෙහෙරට ගොස් එතන තිබුණ පහන් පූජාවට සහභාගීවෙලා ඇවිල්ලා බස්නායක නිලමේතුමාගේ ‘වලව්ව’ ළඟ ‘අභිනවාරාම විහාරස්ථානයට’ වෙලා විවේකීව කාලය ගතකළා. පූජා භූමියේ හිටපු බැතිමතුන් එක්කත් කතාබහ කරමින් අභිනවාරාමයට එන ගමන තරමක් දුෂ්කර උනා. මන්දයත් ඒ මොහොතේම කතරගම පුදබිමට ඇවිල්ලා හිටපු බැතිමතුන් මහින්ද මහත්තයා දැක්කම කතරගම දෙවියන් දැක්කා මෙන් ප්‍රීති ප්‍රබෝධයට පත්වෙලා ඔහු ළඟට ඇවිල්ලා කතාබහ කරන්න පටන්ගත්ත නිසායි.
මේ පන්සලේ මහින්ද මහත්තයා වෙනුවෙන් සියලු පහසුකම් සූදානම්කරන්න ලොකු හාමුදුරුවෝ කපුදුවේ සරණතිස්ස හිමි කටයුතු සංවිධානය කරලා තිබුණා.
මහින්ද මහත්තයා අභිනවාරාමයේ විවේකීව ඉන්න බව ආරංචි උන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි නායකයෝද එක්කෙනා දෙන්නා ඒ දෙසට ඇදෙන්න ගත්තා. මුලින්ම නිමල් සිරිපාල විජයදාස රාජපක්ෂ ආදී අය ඇවිල්ලා මහින්ද මහත්තයා එක්ක සතුටු සාමීචියේ යෙදෙමින් කතාබහ කරමින් හිටියා... ඒ අතර ලසන්ත අලගියවන්න මහින්ද අමරවීර ආදීහුද ඇවිල්ලා ඒ කතාබහට එක්වුණා...
මටත් පිරිතට ආවනං හොඳයි... කොහෙද එළියට බැහැල ඇවිදින්න බැහැනෙ... අපිට ආදරේ කරන මිනිස්සු ඇවිල්ල බදාගන්න හදනවා. සමහර වෙලාවට මාව පෙරලගෙන වැටෙයි කියලා මට බයයි...” මහින්ද නිමල් සිරිපාලට කිව්වා..
“සර් මෙතන්ට වෙලා හිටියත් ඒක අපට ආශිර්වාදයක්...”
චාමර සම්පත් ලොකු සෙනඟක් එක්ක පුදබිමට ඇවිල්ලා බලන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ටික අතුරුදහන්යි චාමර සොයාබලනකොට ඒ සියලුම දෙනා පාහේ ඉඳලා තිබුණේ අභිනවාරාමයේයි. මහින්ද මහත්තයා ඇවිල්ලා තියෙන බවත් අනෙකුත් සියලුම දෙනා මහින්ද මහත්තයා එක්ක කතාකරන්න පන්සලට ගිහිල්ලා තියෙන බවත් දැනගත්ත ඔහුට ඒ දෙසට යන්න සූදානම්වෙනකොට අනිත් අය මන්ගේ මන්ත්‍රීතුමා මේ කොහේ යන්නේ දැයි විමසලා හිටියා....
“කතරගම දෙයියෝ ඔන්න ඔය දේවාලෙ වැඩ ඉන්නවා. ඒ දෙයියෝ වඳින්න තමයි අපි ආවේ... අනිත් එක අපේ ප්‍රධාන කර්තව්‍යයෙන්ම පිරිත් පින්කමක් පැවැත්වීමනේ... දැන් තව දෙවි කෙනෙක් මේ පන්සල ඇතුලේ ඉන්නවා. අපේ කට්ටිය ඔක්කොම ඒ දෙවියො වැඳ පුදාගන්න ගිහිල්ලා එතන. මමත් මෙහෙමම ගිහිල්ලා ඒ දෙවියොත් වැඳගෙන එන්නම්...” කියමින් චාමර සම්පත්ද ඒ විහාරස්ථානයට ගොඩවෙලා මහින්ද මහත්තයා හමුවෙලා කතාබහ කරමින් ඔහුගේ ආශිර්වාදය ලබාගත්තා...
“මේ ඉන්නේ අපේ අලුත් ජාතික සංවිධායකතුමා... මට ආරංචි උනා වැඩේ... තානාන්තරය හම්බුනාට පස්සේ අදනෙ මේ ඉස්සර වෙලාව හමුවුණේ...” කියමින් මහින්ද මහත්තයාද චාමරට සුභ පතමින් ඔහු එක්ක කතාබහ කළා...
අභිනවාරාමය විහාරාධීපති හිමියෝ දන්වලා හිටියේ ඇවිල්ලා ඉන්න අමුත්තන් සියලුම දෙනා වෙනුවෙන් තමන්ගේ විහාරස්ථානයේ රෑ භෝජන සංග්‍රහය සූදානම්කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ සියලු දෙනාටද මහින්ද මහත්තයා සමගින් කලකට පස්සේ රෑ භෝජනය ගන්න අවස්ථාවක් උදාවුණා. ඊට පස්සේ එකිනෙකා පිරිත් පින්කම් වැඩ කටයුතුවලට අවශ්‍යතාව පරිදි පිටත්ව ගියා....
ඉතාම කලකට පස්සේ නිදහසේ තමන්ගේ පැරණි දේශපාලන මිතුරන් සමගින් දීර්ඝ දේශපාලන සාකච්ඡාවක නිරතවෙමින් හිටපු මහින්ද ජනාධිපතිතුමා රෑ දොළහ ආසන්නවෙනකොට නැගිටලා හිටියේ දේවාල භූමියට මහ පූජාව සඳහා යන්නයි. ඒත් එතැන් සිට දේවාල භූමියට මහ සෙනඟ අතරින් එන ගමන ලේසි පහසු උනේ නෑ. මහින්ද මහත්තයා දැක්ක සැණින් බැතිමතුන් පොදිකකා මහින්ද මහත්තයා ළඟට කිට්ටුවෙන්න උත්සාහ කළා.... ඒ සෙනඟ පාලනය කරන්න දැන් ඉන්න ආරක්ෂකයින් දෙතුන්දෙනාටම අමාරු උනා.... දේවාල භූමියේදී ජනතාව මහින්දව වටකරගෙන කතාබහ කරන්න ගත්තා...
“දැන් ඔයාල ඔය විදියට තල්ලුකරගෙන මගේ ළඟට එනකොට මාත් එක්කම තල්ලුවෙලා එළියට යයි. එතකොට වෙන්නේ මහා පූජාවට කලින් ඔයාලටත් දේවාලෙට යන්න බැරිවෙන එක. මටත් යන්න බැරිවෙන එක. ඒක නිසා අපි ටිකක් ඈත්වෙමින් දේවාලෙට ගිහින් එමු නේද... පස්සෙ කතාබහ කරමුකෝ අපි...” කියමින් මහින්ද මහත්තයා කාරුණිකව කරපු ආයාචනයට බැතිමතුන්ගේ ප්‍රතිචාර ලැබුණ නිසා වෙලාවට කලින් මහා දේවාලයේ පූජාවට කිට්ටුවෙන්න මහින්ද මහත්තයාටද පුළුවන් උනා...
මහා පූජාව ඉවරවෙලා ටික වෙලාවකට පස්සේ ශෂින්ද්‍ර ඇතුළු කීපදෙනෙක් පිරිත් පින්කමට පිටත්ව ගිය අතර මහින්ද මහත්තයා ආයෙත් අභිනවාරාමයට ගොඩවෙලා ටික වෙලාවක් ඉඳලා ආපසු කාල්ටන් නිවසට පිටත්ව ගියා.
2026 වසරට
ජනපති වැඩ අරඹයි...
ජනාධිපති ජනවාරි පලවෙනිදා උදෙන්ම තමන්ගේ කාර්යාලයට ගොස් අලුත් අවුරුද්දේ වැඩ කරන්න පටන්ගත්තා. කාර්යාලයේ වැඩකරන තමන්ගේ සේවක මණ්ඩලය එක්ක කතාබහ කරමින් වැඩ ආරම්භ කළ ජනාධිපතිතුමා ඊට පස්සේ උදෙන්ම මහනුවර බලා පිටත්ව ගියා... උදෙන්ම දළදා වහන්සේ වැඳපුදාගන්න ඔහුට පහසුකම් සූදානම්කරලා තිබුණා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල එක්ක ගොස් දළදා වහන්සේ වැඳපුදාගැනීමෙන් පස්සේ සිරිත් පරිදි මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක්ක ගැනීම ජනාධිපතිතුමාගේ ප්‍රමුඛ කටයුත්ත උනා. උන්වහන්සේලා හමුවෙලා උන්වහන්සේලාගේද ආශිර්වාද ඇතිව අනුනායක හිමිවරුන්ද හමුවෙලා උන්වහන්සේලාගෙනුත් ආශිර්වාදය ලබලා ජනාධිපතිතුමා මහනුවර පූජාපිටියේ තවත් සුවිශේෂී ස්ථානයකට ගියා...
පහුගියදා සිද්ධ වුණ නායයෑම් අනතුරු නිසා නිවාස අහිමි වුණ විශාල පිරිසක් ඒ පූජා පිටියේ සහන කඳවුර තුළ එවෙලෙත් රැඳිලා හිටියා.. තමන්ගේ නිවාසවල පිළිසකර කටයුතු කිරීමෙන් පස්සේ වැඩි පිරිසක් නිවෙස් බලා ගිහිල්ලා හිටියත් සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වුණ පවුල් සැලකිය යුතු සංඛ්‍යාවක් ඒ පූජා පිටියේ සහන කඳවුර තුල රැඳිලා හිටියා. ජනාධිපතිතුමා එහෙ ගොස් ඔවුන් එක්ක කතාබහ කරමින් ඔවුන්ගේ බිය සැක සංකා දුරුකර දැමීමට කටයුතු කළා. නිවාස අහිමි උනවුන්ට ඒ හා සමාන නිවාස හැකි ඉක්මනින් සුදුසු ස්ථානවල සකසලා දීලා ඔවුන්ව ආරක්‍ෂාකාරීව නිවෙස්වල පදිංචි කරන බවට ජනාධිපතිතුමා සහතික උනා.
ඊට පස්සේ ජනාධිපතිතුමාට ඕන වුණේ අනෙකුත් නිකායන් දෙකෙහි මහනාහිමිවරු හමුවී ඇශිර්වාදගන්න මීරිගමටත් කොළඹටත් එන්නයි...
ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජනවාරි පලවෙනිදා තමන්ගේ චාරිකාව දෙවුන්දර පුදබිමේ සිට ආරම්භ කළා. එතැනින් පස්සේ කොළඹ එන ගමනේදී ඔහු සීනිගම දේවාලයටද ගොඩවෙන්න අමතක කළේ නෑ. ඊට පස්සේ දළදා වහන්සේ වැඳගන්න නාමල් මහනුවර බලා පිටත්ව ගියා....
ජනාධිපති අනුර කුමාර ප්‍රමුඛ අනිකුත් දේශපාලඥයෝ එහෙම නිදහසේ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් අලුත් අවුරුද්දේ වැඩ පටන්ගත්තත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට නම් එහෙම වන්දනා මාන කටයුතුවලට මානසික නිදහසක් තිබුණේ නැති තරම්. කොහොමටත් ඇය නිරාගමික බව ප්‍රකටයි. ඒ වෙනකොට ඇය මහ බරපතල ප්‍රශ්නයකට මුහුණ පාලා හිටියා...
5 වැනිදා සිට සියලු පාසැල් ආයෙත් අරඹන්න අගමැතිනිය අධ්‍යාපන ඇමතිනිය ලෙස තීරණයක් ගෙන තිබුණා. නුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය ප්‍රදේශවල පාසැල් ගණනාවක තවමත් ආපදාවට පත් ජනතාව පදිංචිවෙලා ඉන්න ‘සහන කඳවුරු’ පවත්වාගෙන යනවා. ඉතින් එහෙම තත්ත්වයක 5 වැනිදා සිට පාසැල් පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නය එක පැත්තක තියෙනවා.
ඒත් අගමැතිනිය බරපතල තත්ත්වයකට මුහුණ පෑවේ ඒ ප්‍රශ්නය නිසා නෙවෙයි. ඇය විසින් මේ අවුරුද්දේ 5 වැනිදා සිට පාසැල්වලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හඳුන්වලා දීලා ඒක ක්‍රියාවට නගන්න තීන්දුවක් ගෙන තිබුණා. එහෙම අලුතින් සකසන ලද පාඨමාලාවන්හි තියෙන ගැටලු කීපයක් සම්බන්ධයෙන් මේ දවස්වල ඇයට මුහුණ පාන්න සිද්දවෙලා තියෙන ප්‍රශ්නය බරපතලයි.
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක තියෙනවා කියන වරදක් නිසා දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්නකාරී වාතාවරණයක් ඇතිවෙලා. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් ‘සමරිසි අධ්‍යාපනය’ අපේ රටේ කුඩා දරුවන්ගේ විෂය මාලාවලට එකතුකරන්න, සමරිසිම අවශ්‍යතා වෙනුවෙන් පෙනීසිටින අගමැතිනිය පියවර ගෙන තියෙනවා කියලා සමාජයෙන් නැගෙන චෝදනාව නිසා වත්මන් රජයටද ලොකු ගැටලුවක් මතුවුණා.
පහුගියදා සමාජයෙන් නැගුණ චෝදනාවලට උත්තර දෙමින් අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවා පිළිගත්තේ එහෙම වරදක් සිද්දවෙලා තියෙන බව. වරද සිදුකරන්න අණ දුන්නේ කවුරු උණත්, ඒ වරද සිදුවෙන්න උත්තේජනය සපයලා තිබුණේ කවුරු උණත් අවසානයේ ඒ වරදට වගවීමට සිද්දවුණේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තියෙන ‘ජාතික අධ්‍යාපන ආයතනයේ’ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්යවරියට. ඒ වරද තමන් පිට පටවාගෙන ඒ උගත් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්යවරිය අවසානයේ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා.
අගමැතිනි හරිනී අමරසූරිය මේ අවුරුද්ද පටන්ගන්න වෙලාවෙම මුහුණ දීලා තිබුණේ එ් වගේ ප්‍රශ්න පිට ප්‍රශ්න පැනනැගුණු බරපතල අර්බුදයකට.
කලම්බු රිපෝටර්
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

