විමල්ගේ අභියෝගයට උත්තරය වන්නිගෙන්...

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුගිය 11 වනදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වෙත බරපතල චෝදනාවක් එල්ල කළේ ය. ඒ ඔහු විසින් "ශ්‍රී ලංකා පොලිසිය නැමැති මේ රටේ දීර්ඝ ඉතිහාසයක් සහිත ආයතනය" මේ වනවිට ''ජනතා විමුක්ති පෙරමුණේ පොලිසිය'' බවට පරිවර්තනය කරමින් තිබෙනවා කියා ය.

Oct 16, 2025 - 21:23
 131
විමල්ගේ අභියෝගයට  උත්තරය වන්නිගෙන්...

වෙබ් වැකිය



ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුගිය 11 වනදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වෙත බරපතල චෝදනාවක් එල්ල කළේ ය. ඒ ඔහු විසින් "ශ්‍රී ලංකා පොලිසිය නැමැති මේ රටේ දීර්ඝ ඉතිහාසයක් සහිත ආයතනය" මේ වනවිට ''ජනතා විමුක්ති පෙරමුණේ පොලිසිය'' බවට පරිවර්තනය කරමින් තිබෙනවා කියා ය.
 
ඒ හා බැඳුණු තවත් චෝදනාවක් ති‍බිණි. පොලීසිය ඇතුළේ තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට "අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව'' බවට පත්වෙමින් තිබෙනවා කියාත් විමල් කීවේ ය. ඔහු ඒ කතාව නම් කීවේ ආණ්ඩුවේ මැති ඇමතිවරු කීප දෙනෙක්ම පහුගිය දිනවල පෝලිමේ අපහාස පැමිණිලි ගොනු කරන්නට සී. අයි. ඩියට ගිය නිසා වන්නට ඇත. විපක්ෂයේ මන්ත්‍රීවරු හා දේශපාලඥයෝ පහුගිය දිනවල කළ ප්‍රකාශවලින් "තමන්ට හා තම පවුල්වල අයට" අපහාස වූයේ යැයි ආණ්ඩුව පැත්තෙන් ඇසුණු අදෝනා එකක් දෙකක් නම් නොවේ.
  
කෙසේ වෙතත් විමල් ඉහත කී චෝදනා දෙක එල්ල කරමින් පොලිස්පතිවරයාට බරපතළ අභියෝගයක් ද කළේය. අභියෝගය නම් සුළුපටු නැත.

"පොලිස්පතිතුමනි, ඔබතුමා ඔය නිල ඇඳුම අඳින්නේ විලි වහගන්න පමණක් නම් කමක් නෑ. එහෙම නැත්තං ඔය නිල ඇඳුම අඳින්නේ රාජකාරියේ ''ගෞරවය ඉෂ්ට කරන්න'' නම් ඔයිට හොඳයි ඔය නිල ඇඳුම අන්දන්න පඹයෙකුට. පඹයෙකුට බැරි නම් පොලිසියේ ඉන්න හොඳ කොස්තාපල්වරයෙක් හොයාගෙන අන්න එයාට අන්දන්න. ඔහු ඒ රාජකාරිය ඔබට වඩා හොඳින් කර පෙන්වාවි..."

විමල්ගේ එම අභියෝගයෙන් පසුව රටේ බොහෝ දෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුව පීර පීරා සොයන්නට වූයේ පොලිස්පතිවරයාගේ නිල ඇඳුම අන්දන්නට හොඳ කොස්තාපල්වරයෙකු සිටිනවාද කියා සොයා ගන්නට ය... එවන් හොඳ කොස්තාපල් කෙනෙක් සෙවීම නොමල ගෙයකින් අබමිටක් සොයනවාටත් වඩා අසීරු ය. කොතරම් අසීරුද යත්, හොඳ වන්නටත් ඕනෑ ය. එඩිතර වන්නටත් ඕනෑ ය. යකාටවත් බය නැති වන්නටත් ඕනෑ ය. දේශපාලන බලපුළුවන්කාරකම් හමුවේ නීතිය නමන්නේ නැති වෙන්නටත් ඕනෑ ය. අපක්‍ෂපාතී වන්නටත් ඕනෑ ය. ඉතින් දැන් එවන් කෙනෙක් සොයා ගන්නේ කෙසේද. පොලිස්පතිවරයා දහඅතේ කල්පනා කරන්නට වූවා නිසැක ය.      

වැඩි දවසක් ගියේ නැත. ගල්කිස්ස උසාවියේදී අප හිතවත් නීතීඥ ගුණරත්න වන්නිනායක පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ඒ අසීරු උදව්ව ඉටුකර දුන්නේය. පොලිස්පතිකම භාර දෙන්නට තරම් ඉතාමත් සුදුසු, ඉතාමත් කාර්යක්ෂම, ඉතාමත් දක්ෂ, ඉතාමත් නීතිගරුක, ඉතාමත් කාර්යශූර ඉතාමත් අවංක පොලිස් නිලධාරියෙක් ගුණරත්න වන්නිනායක සොයා දුන්නේය.

ගුණරත්න වන්නිනායකගේ එම ‘‘අනභිභවනීය’’ සොයා ගැනීමට පෙර අම්ම තාත්තා, ගමේ හා පවුලේ උදවිය මෙන්ම රාජකාරි ස්ථානයේ පිරිස පමණක්  දැන සිටි මේ පොලිස් කොස්තාපල්වරයා දැන් මුළු රටම දන්නා කෙනෙක් ය. රට පුරාම ජනප්‍රිය තරුවක් ය. පොලිස්පතිතුමාටත් දැන් කිසිත් බයක් නැත. විමල් පොලීසියේ නැතැයි කියා සිතූ පොලිස් කොස්තාපල්වරයා දැන් ඔහු සතු ය. 

ගුණරත්න වන්නිනායක ඒ අසීරු මෙහෙයුම සිදු කරනු ලැබුවේ පසුගිය සතියේ ගල්කිස්ස උසාවි භූමියේ සිදුවූ අලකලංචිය ඔස්සේ ය. ගල්කිස්ස උසාවියේ නඩු අසන දිනවල නීතිඥවරු මෝටර් රථවල නැගී උසාවි භූමියට ඇතුළුවීම සහ පිටවීම සාමාන්‍ය කාරණාවකි. කිසිවෙකුගෙන් මෙතෙක් ඊට බාධාවක් සිදුවී නැත්තේය. එහෙත් එදා ඒ තත්ත්වය තරමක් වෙනස් විය.

ගුණරත්න වන්නිනායක එදා ගිය රථයේ ඉදිරි ආසනයේ සිටින කනිෂ්ඨ නීතිඥයාට ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරියා යම් පණිවිඩයක් දුන්නේය.  ඒ සමගම මෝටර් රථයේ  නීතිඥයින් හා ගේට්ටුවේ පොලිස් නිලධාරියා අතර බහින්බස්වීම ආරම්භ විය. ඉන් පසු මහත් කලබැගෑනියකි. පොලිස් නිලධාරියා තමන්ට නීතිඥයින් බැන්නේ යැයි කියයි. මෝටර් රථය ඇතුලේ සිටි ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥයෝ ඒ පොලිස් නිලධාරියා ඉදිරිපස අසුනේ උන් නීතිඥයාට පහර දුන්නේ යැයි කියති. ඇත්ත නැත්ත කුමක්දැයි උසාවියම බලාගන්නවා ඇත. එහෙත් අපට පෙනෙන්නේ මේ සිදුවීම පොලිස්පතිවරයාට මේ රටේ හොඳම හොඳ පොලිස් කොස්තාපල්වරයා සොයා දීමේ මෙහෙයුමේ එක් ජවනිකාවක් හැටියට ය. 

කෙසේ වෙතත් ප්‍රශ්නය දුරදිග ගියේ ය. පොලිස් නිලධාරියකුගෙන් අනීතික ලෙස පහරක් කෑවා නම් නීතිඥයෙකු හැසිරෙන ආකාරය ගැන කියන්නට අපිට අත්දැකීම් නැත. එහෙත් ඒ කනිෂ්ඨ නීතිඥයා වෙනුවෙන් ඔහුගේ ජ්‍යෙෂ්ඨයා හෙවත් ගුණරත්න වන්නිනායක පරළ වීම ඉහත කී මෙහෙයුමේ තවත් ජවනිකාවක කොටසක් ලෙසම ලඝුකර තේරුම් ගැනීම යුක්ති යුක්ත නැත. එතනින් එහාට ජවනිකා සියල්ල මෙහෙයුමේ පිටපතින් ඔබ්බට ගොස් සිදුවූවා යැයි මම සිතන්නට කැමති ය. 

ඒ එතනින් ඔබ්බට සිදුවූ සියල්ල තම තමන්ගේ ''ස්මාර්ට් සෙලියුලර් දුරකථනවල'' සටහන් කරගත් උසාවියේ උන් ''පුරවැසි මාධ්‍යවේදීන්'' අපේ රටේ සමාජ මාධ්‍ය භාවිතාවේ ''භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස'' රිසිසේ භුක්ති විඳිමින් අදාළ සිදුවීමට උපරිම ප්‍රසිද්ධියක් ලබා දෙන්නට පටන් ගත්තේ ය.
බැලූ බැල්මට මේ සිද්ධියට අදාළ වීඩියෝ පට අශෝභනය. වෙනදා රූපවාහිනී කැමරාවක් ඉදිරියට පැමිණ, උසාවියේ කතාබහට ලක්වන නඩුවක් හෝ සිද්ධියක් ගැන මාධ්‍යවලට පැහැදිලි කර දෙන, විවරණ සපයන ගුණරත්න වන්නිනායක නම් ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා එම වීඩියෝවේ මෙදා තම රියදුරු මහතාට ප්‍රසිද්ධියේ ''බූරුවා යැයි කියමින්'' බැණ වැදුණු සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමාටත් වඩා බහුශ්‍රැත ලෙස ජාතිය අමතයි... අහිංසක පෙනුමක් ඇති අදාල පොලිස් නිලධාරියා ඒ බැනුම් ඉවසාගෙන නොඅලස්ව තම රාජකාරියේ නියැළෙයි. එය නරඹන ලක්ෂ සංඛ්‍යාත සමාජ මාධ්‍ය ප්‍රේක්ෂක ගණයාගේ හඳුන්පොත කීං ගාන්නට පටන් ගනියි. ඔවුන් හැඟුම්බර වෙයි. ඔවුන්ගේ පක්ෂපාතීත්වය අසරණ අහිංසක පෙනුමැති අප පොලිස් නිලධාරියා වෙතටය. ඔවුහු කොන්දේසි විරහිතව ගුණරත්න වන්නිනායකට එරෙහිව අවි අමෝරාගන්නට පටන් ගනියි. අනතුරුව දිගින් දිගටම ගුණරත්න වන්නිනායක දුෂ්ටයා වෙයි. ‘‘කලුකෝට් කාරයාට පහර දුන්නේ යැයි’’ කියා චෝදනා ලබන පොලිස් කොස්තාපල්වරයා ‘‘වීරයා’’ බවට පත්වෙයි. ඉදින් එහි අවසානයේ සිදුවූයේ කුමක් ද.
 
අවසානයේ සිදුවූයේ විමල්ගේ අභියෝගයට මුහුණ දෙන්නට හැකි ගනයේ අවංක කාර්ය ශූර නීතිගරුක එඩිතර පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස්පතිතුමාට මුණගැසීම හා අවුරුදු තිස් පහක කාලයක් සමාජයට වැඩදායී නීතිඥයෙකු ලෙස කීර්ති නාමයක් දිනාසිටි ගුණරත්න වන්නිනායක නමැති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාව සමාජ මාධ්‍යකරුවන් විසින් කුරුසයේ තබා ඇණ ගසනු ලැබීමය.

එහෙත් ගුණරත්න වන්නිනායක යනු ඒ ආකාරයට සිදුවීමක් වූ පමණකින්ම සමාජ මාධ්‍යයේ නඩු අසා සමාජ මාධ්‍යයෙහිම තීන්දුවක් දී සමාජ මාධ්‍යයේම දඩුකදේ ගැසිය යුතු පුද්ගලයකු දැයි කල්පනා කරන්නට මා ඔබට ඉඟි කිහිපයක් සපයා දෙන්නට කැමැත්තෙමි.

මන්ද... මා දන්නා ගුණරත්න වන්නිනායක ඉතිහාසයේ කවර දිනකවත් ආණ්ඩු පක්ෂවල වුවමනා එපා කම් ඉටුකරන්නට ගිය වර්ගයේ චරිතයක් සිය නමට පසු පසින් ලියා ගත් පුද්ගලයෙකු නොවීමය. මා ඔහුව දන්නේ, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලැබූ අවධියේ පටන්ය. 

එවකට ඔහු කටයුතු කළේ කොළඹ නීති පීඨය කේන්ද්‍ර කරගෙන විශ්වවිද්‍යාල දේශපාලනයේ නිරත වී සිටි වාමවාදි ශිෂ්‍ය ව්‍යාපාරයක් වන ''ස්වාධීන ශිෂ්‍ය සංගමයට'' සමගාමීව ය. සින්දු ලියන ධම්මික බණ්ඩාරලා පොත් ලියූ සන්නස්ගලලා මහාචාර්ය නලින් සමග නිතර නිතර වාදවලට පැටලුණු ''වමා'' හෙවත් නිර්මාල් රංජිත් දේවසිරිලා ඔහුගේත් සමකාලීන මිතුරෝ ය. ගෙවිඳු කුමාර්තුංගලා, දයාසිරි ජයසේකරලා, රංජිත් සෝමවංසලා, විමලවීර දිසානායකලා දිලිත් ජයවීරලා, කරුණාරත්න පරණවිතානලා අනුර වීරසේකරලා, රාහුල සේනානායකලා මෙන්ම ලියනගේ අමරකීර්තිලා ඔහුගේ පසමිතුරු පිළ නියෝජනය කළා මට මතක ය. ඒ කාලයේ ඒ තරම් ලොකු ‘‘වැඩ්ඩෙකු නොවුවත්’’ අද නියෝජ්‍ය ඇමතිවරයෙකුව සිටින සුනිල් වටගල එම පසමිතුරු පිළේ සිටියා ද පැහැදිළි මතකයක් නැත.

විශ්වවිද්‍යාල සමයේදීත් බලයේ සිටි ආණ්ඩු සමග බරපතල විවේචනයක සිටි ගුණරත්න වන්නිනායක කළු කෝට් ඇද නීතිඥයෙකු වූ පසුවත් එම ප්‍රතිපත්තිය දිගින් දිගටම වෙනස් නොකර සිටියේ ය. 

එතනින් ආරම්භ කළ තම වෘත්තීය නීතිඥ ජීවිතය තුළ ඔහු කවර කලෙකවත් ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකු නොවී ය. ඉතිහාසය පුරාම අපේ සමාජයට ආන්දෝලනාත්මක අත්දැකීම් සැපයූ නඩු කටයුතු සලකා බලන්න. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැවූ අවස්ථාවේ ඔහු ක්‍රියාකළේ ශිරාණිගේ ආත්මාර්ක්ෂකයා හා ප්‍රකාශකයා හැටියට ය. එවකට සමාජයට ඔහුව පෙනුණේ රාජපක්ෂ ආණ්ඩුව සමගද බය නැතිව හැප්පුන වීරයෙක් ලෙසය. සරත් ෆොන්සේකාට මුහුණ පාන්නට වූ නඩු කටයුතුවලදී ඔහු සිටියේ ෆොන්සේකාගේ පැත්තේ ය. තාජුඩීන් සිද්ධියේදී තාජුඩින්ගේ පැත්තේ ය. ලසන්ත වික්‍රමතුංගගේ සිද්ධියේදී දිගින් දිගටම ඔහු සිටියේ ලසන්තගේ අයිතිවාසිකම් වෙනුවෙනි. මේ ආදි වශයෙන් පහුගිය අවුරුදු තිහක තිස්පහක ඉතිහාසය පුරාම ඔහු පෙනී සිට තිබුණේම යම් අසාධාරණයකට ලක් වූයේ යැයි ඔහු විශ්වාස කළ පාර්ශවය වෙනුවෙන් බව රහසක් නොවේ.

ඒ සෑම අවස්ථාවකම සාලිය පීරිස්, අතුල රණගල, සුනිල් වටගල, ඇතුළු මාධ්‍ය ඉදිරියට පැමිණ කතාබහ කරන හිතවත් සුවිශේෂී නීතිඥයෝ රැසක් ගුණරත්න වන්නිනායක සමඟ කටයුතු කළහ. සෑම අවස්ථාවකම මාධ්‍යවලට උදව් කරමින්, මාධ්‍ය සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින්, මාධ්‍යවලට නඩු කටයුතුවල ගැටලු ඇති තැන් පහදා දෙමින්, සමාජශීලීව සමාජයේ කටයුතු කළ පුද්ගලයකු ලෙස ගුණරත්න වන්නිනායක පිළිගත යුතු ය.

එහෙත් පහුගිය දින කිහිපය පුරාම ජාතික මාධ්‍ය අරගත්තෙත්, සමාජ මාධ්‍ය අරගත්තෙත්, පොදුවේ සමාජය අරගත්තේත් අර අහිංසක පෙනුමක් ඇති පොලිස් නිලධාරියාගේ පාර්ශවය පමණක් බව සක්සුදක් සේ පැහැදිලි ය.

කවුරුන් හෝ හිතාමතා කුමක් හෝ සමාජ සන්දර්භයක් හෝ සමාජයේ ඇතිවෙමින් පවතින ප්‍රවණතාවක් හෝ සමාජයේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වන මාතෘකාවක් යටපත් කරන්නට මේ සිද්ධිය දඩවීමා කරගත්තේ දැයි දැන් අපට සැකයක් තිබේ. එමෙන්ම මේ සිද්ධිය වුවමනාවටත් වඩා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කරන බවත් කළමනාකරණය කරන බවත් තේරුම් ගන්නට අසීරු නැත.

සතියකට පෙර සමාජයේ තිබූ උණුසුම් මාතෘකා ගණනාවක් අපට මතක ය. එකක් වූයේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකගේ සිද්ධියයි. අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ‘‘ව්‍යවස්ථාදායක සභාව’’ විසින් එම තනතුරට පත් කරනු ලැබූයේ ආණ්ඩුවේ ඇමතිවරයකු විසින් බොරු තොරතුරු ලබාදී ව්‍යවස්ථාදායක සභාව මුලා කරනු ලැබීමකින් අනතුරුව බව පසුගිය සතියට පෙර සතියේ ‘‘පිවිතුරු හෙළ උරුමයේ’’ නායක උදය ගම්මන්පිල ලොකු හෙළිදරව්වක් කළේය. ගම්මන්පිල දිනවකවානු ද සහිතව ඒ පිළිබඳව හෙළිදරව්ව කළේ ආණ්ඩුවේ ඇමතිවරයකු ව්‍යවස්ථාදායක සභාව නොමග ඇරපු බවට ව්‍යවස්ථාදායක සභාවේම සාමාජිකාවක වන නීතිය පිළිබඳ මහාචාර්යවරියක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දුන් දිව්රුම් පෙත්සමක පිටපතක් ද අත අත තබා ගෙන ය.

එය මොන තරම් බලසම්පන්න හෙළිදරව්වක්  වුවත් ‘‘කොස්තාපල් - නීතිඥ  හුටපටය’’ නිසා එම මාතෘකාව සමාජ කතිකාවෙන් යටපත් වී ගියේ ය.

ඒ හා සමානවම විමල් වීරවංශ ‘‘පුවක්දණ්ඩාවේ සනා’’ නැමති පුද්ගලයෙක් ගැන හෙළිදරව්වක් කරමින් දකුණු රටේ ‘‘මත්කුඩු හා අයිස් ජාවාරම්’’ සමග පැවති ‘‘දේශපාලන සබදතා’’ ගැන මාධ්‍ය ඉදිරියේ ලොකු හෙළිදරව්වක් කළා අපට මතක ය. මේ නිසා ඔහුට තංගල්ල පොලිසියට කට උත්තරයක් දෙන්නට පවා යන්නට සිදුවූ බව වෙනම කතාවකි. එහෙත් එම කතිකාවද සමාජයෙන් යටපත් වී ගියේ මේ ‘‘පොලිස් නීතිඥ අලකලංචිය’’ නිසාය.

නව කැබිනට් සංශෝධනය තුළ බිමල් රත්නායකට සිය අමාත්‍ය ධූරයේ පැත්තක්ම නාය ගියේ ඇයිදැයි කියා ලොකු කතාබහක් සමාජයේ ඇතිවන්නට පටන් ගත්තේ ය. එම කතාබහ ද ලත් තැනම ලොප් වී ගියේ ගල්කිස්ස උසාවියේ මේ පලහිලව්ව නිසා ය.

චාමර සම්පත් පසුගිය දිනෙක අමාත්‍ය වසන්ත සමරසිංහගේ විදේශ සංචාරයක් ගැන යම් හෙළිදරවක් කළේය. ඒ පිළිබඳ කරුණු සමාජයේ කතා බහට ලක්වන්නට පටන් ගත්තා පමණි. එම කතාබහ ද යටපත්ව ගල්කිස්ස උසාවියේ සිදුවීම පිළිබද කතා බහ නිසා ය.

නැවත වතාවක් උදය ගම්මන්පිළ පසුගිය දිනක පාර්ලිමේන්තුවේ කතානායකවරයා ‘‘වංගුවක් ගසමින්’’ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ ‘‘විශ්වාස භංග යෝජනාව’’ යටගැසූ ආකාරය ගැන හෙළිදරව්වක් කළේ ය. ගල්කිස්ස උසාවියේ ජවනිකාව නිසා ඒ කතාබහද යටපත් වී ගියේ ය...

මාතෘකාවකින් තවත් මාතෘකාවක් යටපත් කිරීම පහුගිය කාලය මුළුල්ලේම අපේ සමාජයේ සිදුවූ බවට අත්දැකීම් බොහෝමයක් අපට දැන් තිබේ. එම මාතෘකාවන් යටපත් කිරීම හා යටපත් වීම තුළ වාසි සැලසෙන්නේ කාටදැයි සමාජය දැන් සැලකිළිමත්ය.  සමාජ කතිකාවේ ඇති මාතෘකාවක් යටපත් වී ගිය විට ඉන් වාසිය සැලසෙන්නේ කාට දැයි තේරුම් ගැනීමට තරම් අප සමාජයේ සාමාජිකයෝ දැන් බුද්ධිමත් පමණක් නොව, අත්දැකීම්ද වලින්ද පොහොසත් ය.
 
ගුණරත්න වන්නිනායක හා කොස්තාපල් ජවනිකාවද දැන් අපේ සමාජ කතිකාවේ යටපත්වන අගිස්සට පැමිණ තිබෙන බව පෙනෙයි. දැන් සමාජ මාධ්‍යයේ කතා බහට මාතෘකා වී ඇත්තේ නේපාලයේ සීතල කඳුමුදුනක හුදෙකලාව සිටි ‘‘සෙව්වන්දියකට පෙම් බැඳි වීර කාව්‍යයක’’ ‍තොරතුරු ය.

ගල්කිස්ස උසාවියෙන් එදා  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ කාර්යශූර, දක්ෂ, එඩිතර පොලිස් නිලධාරියා පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.  මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ලබා දුන්නේ ය. ඇප ලබා ගත් කොස්තාපල්වරයා පිළිගන්නට පැමිණ සිටි ජනගඟද පුදුම සහගතය. මේ උදාර කොස්තාපල්වරයා උසාවියෙන් ඇප ලබාගෙන ඔල්වරසන් හඬ මැද ඒ ජනතා පෙළපාලියේ කරමතින් පිටව ගියේ පොලිස්පතිකමට නොව, මතු දිනක තමන්ට උරුම දේශපාලන බල ප්‍රදේශයෙන් පළාත් සභා මැතිවරණයේදී මහ ඇමතිකමට වුව තරග වදින්නට තමන්ට දැන් සුදුසුකම් ඇතැයි කියන අන්දමේ උද්දාමයකිනි. 

ඒ කෙසේ වෙතත් කොස්තාපල්වරයාත් ගුනරත්න වන්නිනායක නීතිඥවරයාත් අතර ආරවුල ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍යතාවක් දෙපාර්ශවයටම නැත්තේ ඇයි දැයි සලකා බැලිය යුතු ය.  මේ අලකලන්චිය තුළින් පොලිස් නිලධාරියාට කෙසේ වෙතත් මෙතෙක් දිනක් සමාජයේ පොදු ජනතාව අතර රැඳෙමින්, ඔවුන්ගේ හඬට පන්නරයක් වෙමින් කටයුතු කළ ගුණරත්න වන්නිනායකට නම් මේ සිද්ධිය තුළින් සිදුවූයේ බරපතළ අසාධාරණයක් බව සුප්‍රකට නීතිවේදීන්ගේ හා උගතුන්ගේ මතයයි.  

එහෙත් අද ඔහුට සිදුවී ඇත්තේ තමන්ට සිදුවූ අගතිය හෝ අසාධාරණය වෙනුවෙන් උසාවි යන්නට නොවේ.  උසාවි භූමියේ අසංවර ලෙස හැසිරෙමින් උසාවියට හා යුක්තිය විසඳන ආයතන පද්ධතියට අපහාස කිරීම වෙනුවෙන් නීතිය ඉදිරියේ පෙනී සිටින්නට ය. නිවසට ගොස් නීතිඥවරයාව අත්අඩංගුවට ගන්නට පවා පොලීසියේ උත්සාහයක් පැවතුණු බව කියවේ. ඊට පෙර ඔහු නීතිය හමුවට ගියේය. ඒ මඟින් ඔහුට ඇප ලබා දුන් බව නම් සැබෑ ය. එහෙත් පරීක්ෂණවල නිමාවක් නැති බව පෙනෙන්නට වූයේ ඊට පසුවත් ඔහුට කට උත්තර ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නයි දන්වා තිබීම නිසා ය... 

උසාවියේදී නීති තර්ක මතු කරමින් කතා ගොතන හා ගොතන ලද කතා දිග හරින ගුණරත්න වන්නිනායක නීතිඥතුමාට නම් දැන් මේ ප්‍රශ්නයෙන් ගැලවී සිටීම පහසු වන්නේ නැත. මන්ද ඔහු මෙවර හැප්පී ඇත්තේ ආණ්ඩුවක් සමග නොව, පොලිසිය සමඟ ය. ‍ඒ පොලීසිය කාගේදැයි විමල් වීරවංශගෙන් අසා සැක හැරගත හැකිය.

කලම්බු රිපෝටර්

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 1
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0