සියඹලාපිටිය මොනවද කලේ..?

අපේ රටේ පවත්වන දැවැන්තම ජවසම්පන්න වොලිබෝල් තරගාවලි දෙකෙන් එකක් වන "dialog ජනාධිපති රන් කුසලාන" වොලිබෝල් තරගාවලියේ ලංකාවේ හතරදිග් භාගයෙන් ආ සියලුම කණ්ඩායම් පරාජය කරමින් අවසන් වටයට තරඟ වදින්න තේරුනේ සබරගමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ලේ කණ්ඩායම් දෙකක්. දැන් අද ශූරයෝ හා අනුශූරයෝ තෝරන්න අවසන් මහා තරගය තියෙන්නෙත් මේ දෙගොල්ලා අතර.

Nov 1, 2025 - 10:43
 94
සියඹලාපිටිය  මොනවද කලේ..?

සියඹලාපිටිය 

මොනවද කළේ..?

බුලිත ප්‍රදීප් කුමාර

අද අලුත් දවසක්. අලුත් මාසයක් ආරම්භ වෙන දවස. මීට පෙර කවදාවත්ම නොවුන අලුත් දෙයක් නිසැකවම සිදුවන දවස. ඒක හින්දා උදේ පාන්දරින්ම මේ සටහන ලියා තබා අවසන් කරන්න මම කල්පනා කළා.

ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව බව ඇත්ත. ඒත් වොලිබෝල් කියනකොටම මතක් වෙන්නේ "ගම්පහ සියනෑතරු" නෙවෙයිද... ඔව්... ලංකාවේ මොන තරගාවලිය කොතන තිබ්බත් ගිහිල්ල තරඟ වදින ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ශූරතාවය නැත්නම් අනුශූරතාවය අරගෙන එන එක කාලයක් තිස්සේ පුරුද්දක් කරගෙන තිබුණා.

ඊට පස්සේ ඔය ගෞරවය බස්නාහිරින් වයඹ පැත්තටත් පැතිරිලා ගියා. ගම්පහට අමතරව වෙන්නප්පුව, නාත්තණ්ඩිය පැත්තෙනුත් තරුණයෝ ඇවිත් තරග කරලා ශූරතාවය හෝ අනුශූරතාව අරන්ගියා.

ඔන්න ඕක තරමක් වෙනස් වුණේ දේශපාලඥයෝ ඇවිත් volleyball බලධාරියෝ වෙලා volleyball ක්‍රීඩාවට නව පනක් දෙන ගමන් තම තමන්ගේ රාජ්‍ය ආයතනවලත් volleyball කණ්ඩායම් හදන්න පටන් ගත්තට පස්සේ. සියඹලාපිටියලා ඩිලාන්ලා ඩලස්ල ගැන කියවෙන්නේ ඔතනදි. විශේෂයෙන්ම එයාලා ඇමතිවරු වෙලා ඉඳිද්දි වරායේ, සීටී බී එකේ, විදුලි බල මණ්ඩලයේ, ලංගමයේ, දුමිරියේ වගේ ආයතන රැසක වොලිබෝල් කණ්ඩායම් හදලා ශූරතාවන් දිනා ගත්තා. හැබැයි ඉතින් මේ ආයතනවල රස්සාවල් අරන් ක්‍රීඩා කළෙත් අර ගම්පහින්, වෙන්නප්පුවෙන්, නාත්තන්ඩියෙන්, මාරවිලින්, දන්කොටුවෙන් කොච්චිකඩෙන්, හංවැල්ලෙන් බිහිවුන තරුණ තරුණියන්ම තමයි. කොහොම වුණත් ශූරතාවන් ඉතුරු වුනේ අන්තිමේ බස්නාහිර, නැත්නම් වයඹ.

ඔන්න ඔය නියතය බිඳලා ශූරතාව හා අනුශූරතාව දෙකම වයඹෙන් බස්නාහිරින් ගිලිහිලා මුල් වරට සබරගමුවට යන ඓතිහාසික අවස්ථාව තමයි මේ. ඇත්තම කියනවනම් දැනටත් ඒක ගිහින් ඉවරයි. ඒ මොකද අපේ රටේ පවත්වන දැවැන්තම ජවසම්පන්න වොලිබෝල් තරගාවලි දෙකෙන් එකක් වන "dialog ජනාධිපති රන් කුසලාන" වොලිබෝල් තරගාවලියේ ලංකාවේ හතරදිග් භාගයෙන් ආ සියලුම කණ්ඩායම් පරාජය කරමින් අවසන් වටයට තරඟ වදින්න තේරුනේ සබරගමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ලේ කණ්ඩායම් දෙකක්. දැන් අද ශූරයෝ හා අනුශූරයෝ තෝරන්න අවසන් මහා තරගය තියෙන්නෙත් මේ දෙගොල්ලා අතර.

හැබැයි ඉතින් දන්නවද ඒකේ විශේෂත්වය. අද දවසේ මේ දෙගොල්ලන්ගෙන් කවුරු ශූරයෝ වුණත් කවුරු අනුශූරයෝ වුණත් කප් එක ගන්නෙ දෙන්නෙක්. ගෞරවය ගන්නේ පාසැලක්. පාසැල නම් රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලය. මේ කණ්ඩායම් දෙකේ ඉන්නේ එම පාසලේ ශිෂ්‍යයෝ හා ආදි ශිෂ්‍යයෝ. 

විශේෂම කාරණාව තමයි මේ කණ්ඩායම් දෙකම හැදුවේ එකම ගුරුවරයෙක්. එකම පුහුණුකරුවෙක්. ඒ තමයි ලංකාවේ ඉන්න අති දක්ෂ වොලිබෝල් පුහුණුකරුවකු වන  ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂක චමින්ද  ජයරත්න. එතකොට එයාගේ පිටිපස්සෙන් ඉඳගෙන එයාට රාජසිංහය දාලා වෙන කොහේවත් යන්න නොදී ළමයින්ගෙත් දුක සැප බලාගෙන ඔවුන්ටත් අවශ්‍ය ක්‍රීඩා උපකරණ හැකි පරිදි සපයමින් මේ සියල්ල පසුපස හිටපු යෝධ ශක්තිය තමයි ඔහු. ඔහු තමයි හිටපු අමාත්‍ය ආචාර්ය රංජිත් සියබලාපිටිය.

මීට දින දෙකකට කලින් රාත්‍රියේ මට මේ හැමෝම මුණගැහුනේ හරිම ලස්සන තැනක. කොළඹින් ටිකක් ඈත දැරණියගල පැත්තෙ කඳු ගැටයක් මුදුනේ තිබුණු සුන්දර නිකේතනයක (ඉලුක්තැන්න) එක්තරා හමුවක් තිබුණා. ඒ හමුවෙදි සිදුවුණේ මේ ජයග්‍රාහී කණ්ඩායම් දෙකට සුබපතන්න හිටපු ඇමති සියඹලාපිටිය රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරපු එක. අවසන් මහා තරගයට අඳින්න පාට දෙකකින් ටී ෂර්ට් තොගයක් හා ක්‍රීඩා භාණ්ඩ කිහිපයක් ඔහු මෙහිදී ක්‍රීඩකයන්ට පරිත්‍යාග කළා. ඒක හරි සුන්දර හමුවක්.

මම මුලදී ප්‍රශ්නයක් ඇහුවනේ... සියඹලාපිටිය මොනවද කළේ කියලා.  හරි නම් ඒක අහන්න ඕන සියඹලාපිටිය volleyball ක්‍රීඩාවට මොනවද කළේ කියලයි. ඔන්න ඔය ප්‍රශ්නෙට ඒ වෙලාවේ නිසි උත්තරය දුන්නේ කණ්ඩායම් දෙකේ පුහුණුකරු පොලිස් පරීක්ෂක චමින්ද ජයරත්න...

ඔහු කොණක ඉඳලා ඉස්සර ගම්පහට වයඹට බස්නාහිරට පමණක් සීමා වෙලා තිබුණු වොලිබෝල් ක්‍රීඩාවෙ ගෞරවය  රුවන්වැල්ලට අරගෙන ආපු අසීරු දුෂ්කර කැපකිරීම් සහගත, ඒත්  ලස්සන ගමන ගැන පැහැදිලි කිරීමක් කළා.

"සියඹලාපිටිය සර්ව කවුරුත් දන්නෙ දේශපාලඥයෙක් විදිහට. හැබැයි ඒ දේශපාලනඥයා ඇතුළෙ අසමසම වොලිබෝල් ක්‍රීඩකයෙකු හිටපු විත්තිය බොහෝ දෙනා දැනගෙන හිටියේ නෑ. ඒ ක්‍රීඩකයා තමන්ගේ ගෙවත්තේ වොලිබෝල් කෝඩ් එකක් හදාගෙන ගමේ කොල්ලොත් එක්ක වොලිබෝල් ගැහුවා. ඊට පස්සේ වොලිබෝල් ක්‍රීඩාව කොළඹ රාජකීය විද්‍යාලයට ගෙනිච්චා. ඊටත් පස්සේ වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගෙනිච්චා. ජාතික වොලිබෝල් සංගමයේ සභාපති වුණා. ඊට පස්සේ වොලිබෝල් ක්‍රීඩාව තමන් සේවය කරපු රාජ්‍ය ආයතන ඇතුලට ගෙනිච්චා. ඊටත් පස්සේ "දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය" ඔස්සේ තරගාවලියක් රට වටේටත් ගෙනිච්චා. අන්න ඒ අවස්ථාවේ තමයි "රුවන්වැල්ලේ රාජසිංහය" මුල් කරගෙන වොලිබෝල් ජාතික කණ්ඩායමක් හදන්න එතුමා මට අතහිත දුන්නේ. අනුග්‍රහය සොයා දුන්නේ. මම වැඩ කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ උණත් හංවැල්ල දාලා මට කොහෙවත් යන්න එතුමා ඉඩ දුන්නේ නෑ.

දෙපාර්තමේන්තුවෙන් මාව කොහේ හරි තැනකට ට්‍රාන්සර් කරනකොට මෙතුමා ගිහිල්ලා මාව අරගෙන ඇවිල්ලා ආයෙත් රුවන්වැල්ලේ වොලිබෝල් පුටුවේ වාඩි කරවනවා. අන්න එහෙම කැපකිරීම් කරලා හදාගත්තු කණ්ඩායම් දෙකක් තමයි අද මේ අප ඉදිරියේ ඉන්නේ..." 

එච්චරක් නෙවෙයි. චමින්ද තව ගොඩක් දේවල් කිව්වා. දේශපාලනය ගැනත්. සමහරුන් අප්‍රමාන ලෙස පළාතේ දේශපාලන බලධාරියාගෙන් උදව් උපකාර ප්‍රයෝජන ලබාගෙන අන්තිම වතාවේ අහක බලපු හැටි. ගඟෙන් දිය දෝතක් බීලා මුහුදට ආවඩපු හැටි. ඔන්න ඕවත් කිව්වා. ‍‍

මේ සියලු විස්තර හිනා වෙලා උපේක්ෂාවෙන් අහගෙන හිටපු සියඹලාපිටියත් අන්තිමේ කතාවක් කළා. රුවන් වැල්ලට චමින්ද වගේ පුහුණුකරුවෙක් තියාගන්න රාජ්‍යතන්ත්‍රය එක්ක සටන් කරපු හැටි. ඒ විතරක් නෙවෙයි ක්‍රීඩකයන්ට අසීරු ඉලක්ක දීලා ඒව ජයග්‍රහණය කලොත් බස් එකක් දෙනවා, නූතන පන්නයේ ක්‍රීඩාගාරයක් හදලා දෙනවා වගේ පොරොන්දු දීල ඒවා හැබෑ කරපු හැටි. ඔව්... ඔන්න ඕවා දෙක තුනක් කියවුනා. දැන් රාජසිංහයට බස් එකක් තියනවා. ඒ වගේම නූතන පන්නයේ ක්‍රීඩාගාරයක් ඉදි වෙනවා. බස් එකට නම් ආදි ශිෂ්‍යයොත් ලොකු අනුග්‍රහයක් දැක්වූවා කියලත් කියන්න ලෝභ වුණේ නෑ.

ඔන්න ඔය අතර අන්තිමේ චමින්දව පුහුණුකරු හැටියට තියාගන්න ආණ්ඩුවත් එක්ක ගහපු ගැටයක් ගැණත් පළමු වතාවට හෙළිදරවක් කළා...

"පොලිස් දෙපාර්තමේන්තුව නිලධාරියෙක් එක දිගට එකම තැන කොහොමටවත් තියන්නේ නෑ. මම කොච්චර බේරගත්තත් එක් අවස්ථාවක් ආවා මෙයාව ට්‍රාන්සර් කරන්නම සිද්ධ වුණ. චමින්ද රුවන්වැල්ලෙන් ගියා. 

අන්න ඒ වෙලාවේ ලංකාවේ බුද්ධි අංශ ආණ්ඩුවට "අධි තර්ජිත දේශපාලඥයින්ගේ" නම් ලැයිස්තුවක් දීලා තිබුණා. මතකයිනෙ එකපාරක් කොටි සංවිධානය ජනාධිපති මහින්ද මැතිතුමාටත් මටත් අනතුරක් කරන්න කොළඹ බී. එම්. අයි. සී. එච් එකට පවා ආවා.
 
ඔන්න ඔය ලැයිස්තුවේ මම හිටියේ නමවෙනියට. මට අවස්ථාව තිබුණා මට විශ්වාසවන්ත  ඕනම පොලිස් නිලධාරියෙක් ලංකාවෙ කොහේ හිටියත් මගේ ප්‍රභූ ආරක්ෂක සේවාවට බඳවාගන්න. දන්නවද මම ඉල්ලුවේ කවුද කියලා. මම ඉල්ලුවේ මෙන්න මේ චමින්ද ජයරත්නව. එයාව ගෙනත් මම මගේ ආරක්ෂාවට තියාගත්තේ නෑ. මගේ ආරක්ෂාවට නිලධාරියෙක් අඩුකරගෙන මම එයාව එව්වේ ඕගොල්ලන්ට පුහුණු කරන්න..."

රංජිත් සියඹලා පිටිය volleyball වලට මොනවද කළේ කියන කතාවට ඒ උත්තරේම හොඳටම ඇති කියලයි මට නම් හිතෙන්නේ.

කොහොම වුණත් සටහන ඉවර කරන්න වෙලාව හරි. අවසන් මහා තරගය තව ටිකකින් ආරම්භ වේවි. අවසන් මහා තරඟයෙන් කවුරු දින්නත් මොකද ඉතින්. එක්කො පාසල එක්කෝ ආදි ශිෂ්‍යයෝ. ගෞරවය පාසැලට. කප් එක චමින්දට. සතුට සියඹලාපිටියට.

ඡායාරූප - හේමන්ත ගලිගමුව

What's Your Reaction?

Like Like 5
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0