මේ සතියේ පොලිටිකල් ගොසිප් (නොවැම්බර් 08 සිට 16 දක්වා)
පහුගිය සතියේ වැඩිපුරම අපේ දේශපාලන කතිකාවේ කතාබහට ලක්වුණු කාරණා තිබුණේ දෙකයි. එකක් මේ ආණ්ඩුවේ 2026 අයවැය. අනිත් එක තමයි ලබන 21 වෙනිදා නුගේගොඩ පැවැත්වෙන විපක්ෂයේ මහා ජන හමුව...
මේ සතියේ පොලිටිකල් ගොසිප් (නොවැම්බර් 08 සිට 16 දක්වා)
සරුංගල් නූල
ගැන දයාසිරි කියන කතාව...
පහුගිය සතියේ වැඩිපුරම අපේ දේශපාලන කතිකාවේ කතාබහට ලක්වුණු කාරණා තිබුණේ දෙකයි. එකක් මේ ආණ්ඩුවේ 2026 අයවැය. අනිත් එක තමයි ලබන 21 වෙනිදා නුගේගොඩ පැවැත්වෙන විපක්ෂයේ මහා ජන හමුව...
අයවැය ගැනනම් ඉතින් කතා කරන්න මාතෘකාම ගොඩයිනේ. ඒ හින්දම මේ දවස්වල පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡාවත් බොහොම උණුසුම්.
අයවැය දවසේ අනුර කුමාර පැය හතරහමාරක් කතා කර කර ගණන් මිනුම් කිව්ව විතරක් නෙවෙයි, විපක්ෂයේ ඉන්න සමහරුන්ටත් එක එක චරිත සහතික දුන්න බවයි දැක්කේ. සමහර ඒව නං හරියට ඈහුනෙත් නෑ...
අන්න ඒ වගේ ඇහිච්ච නැති කාරණාවක් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දයාසිරිගෙන් විමසුවේ දයාසිරි මාධ්‍යවේදියෝ කීපදෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ ආලින්දයේ කයියක් ගහගෙන ඉන්නකොට...
''මොකක්ද බන් අයවැය වෙලාවෙ... ජනාධිපති උඹ දිහා බල බල කියපු ''සරුංගල්'' කතාවේ තේරුම..?''
''ඇයි ඒක උඹට ඇහුනෙ නැද්ද?''
''ඇහුනෑනේ... මට බාගෙට නින්ද ගිහිල්ලයි හිටියේ? හිනාවෙන සද්දෙට ඇහෑරුනේ''
''එක වුණේ එයා මොනවද සජිත් ගැන කිය කියා ආවා. හොරු එක්කත් ආශ්‍රය කරනවා.... හොදයි... ඔය වගේ දේවල්. ඒ අස්සේ කවුදෝ ඇහුවා... ඇයි දයාසිරි දයාසිරි... දයාසිරි ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි කිව්වේ, දයාසිරි ඉතිං සරුංගලේ වගේනේ. හුළඟ හමන කොට එහාටත් යනවා මෙහාටත් යනවා කියලා... තව මොනවද කිව්වා බං මට හරියට තේරුනේ නෑ කෑගැහිලි සද්දෙ හින්දා. අනිත් එක මොන යකාටද ඔය පැය හතරහමාරක් කියපුවා මතක. මටත් වෙලාවකට හිතුණා රනිල්ද මේ කතා කරන්නේත් කියලා...''
''අර අර්ජුනාත් එකපාරක් නින්දෙන් නැගිටලා ඇස් පොඩි කර කර බැලුවලු හීනයක්ද මේ... නැත්නම් රනිල්ද මේ කියලා.''
''ඔව් ඉතිං... රනිල් කතා කරන ඒවනේ ඔය කිව්වෙ... jvp නායකයෙක් ඉස්සර කියපු කතා නෙමෙයිනේ...''
''අර සරුංගල් කතාවට උත්තරයක් දුන්නේ නැද්ද මන්ත්‍රීතුමා...'' එහෙම ඇහුවේ මාධ්‍යවේදියෙක්.
''නෑ නෑ... මං එකට උත්තර දෙන්නේ සිකුරාදා. මං කියනව උන්දැට කවුද සරුංගලේ.... සරුංගලේ නූල එක එක්කෙනාගේ අතින් අතට ගිය හැටි... හැත්තෑ ගනංවල ඉඳලාම මං කියන්නම්කො...'' දයාසිරි එහෙම කියලා එතනින් එහාට යන්න ගියා...
කළුවිතාරණ වගේ
බැට් කරන චාමර...
චාමර සම්පත් පහුගිය දවස් වල පාර්ලිමේන්තුවෙත් කතා කරන්නේ හරියට අර රොමේෂ් කලුවිතාරණ “ටිරෝන් ප්‍රනාන්දු එකේ” හතර වටේටම නෙලනවා වගේ කියලයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කතාව...
ඇයි ඉතින් ආණ්ඩුවටත් ගහනවා. ජනාධිපතිටත් ගහනවා. වසන්ත සමරසිංහටත් ගහනවා. ඒ අස්සෙ තමන්ගේ පක්ෂයේ නිමල් සිරිපාටයි රෝහිත අභේගුණවර්ධනටයි ඔක්කෝටම නෙලලා දානවා. මොකක්ද මේ වැඩේ තේරුම කියලා ඔන්න ඇතුලේ කතාව...
''මෙයා දැන් ඊට වඩා ආණ්ඩුවේ ඇමතිවරුන්ට උපදෙස් දෙන්නත් පටන් අරන්නේ...'' එහෙම කිව්වේ ළඟ හිටපු තව මන්ත්‍රීවරයෙක්.
''අපොයි උන්ගනී අපෙන් උපදෙස්. උද්දච්ච හැත්ත. අපෙන් උපදෙස් ගත්තනං ඔයවගේ කෙලව ගන්නේ නෑ....''
''ඇයි අර කිව්වේ... වෙළඳ ඇමතිටයි කෘෂිකර්ම ඇමතිටයි එකතුවෙන්න. එකතුවෙලා වැඩසටහනක් හදන්න. අල ගලවන කාලෙට මෙහෙම කරන්න. ලූණු ගලවන කාලෙට මෙහෙම කරන්න කියලා.. ඒවා උපදෙස් නෙවෙයිද... ඒ අස්සෙ අර ගෙදරට වෙලා ඉන්න නිමල් සිරිපාල උන්නැහේටත් නෙලලා දානවා කෙලවගෙන ගෙදරට වෙලා ඉන්නවා කියලා. ''
“ඇයි රෝහිතටත් ඇරලා දැම්මේ මේ පාර ගත්ත ඡන්ද ගාන කියලා. තා පොඩ්ඩක් එහේ මෙහේ වුනානං රෝහිත ගෙදර, රාජිත ඇතුළේ කියලා...”
''මම කිව්වේ ඒ බම්බුවක් නෙවෙයි... ඔය රෙකෝඩ් ගහල පාර්ලිමේන්තුවේ දිස්ත්‍රික්කෙ පළවෙනියා වෙලා පාර්ලිමේන්තුවට ආපු එවුන් ජනතාව වෙනුවෙන් වැඩ කරේ නැත්නම් අන්න උන්ට ඊළඟ වතාවේ වෙන දේ තමයි මම පෙන්නලා දුන්නේ උදාහරණ සහිතව. උඹලත් උඹලට ලැබෙන වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුළේ හරවත් දෙයක් කියන්නේ නෑ. අපි කියන දේවල් වල අංකොන් හොය හොය අපේ එවුන් එක්ක අපිව කොටවන්න හදනවා... වරෙන් බය යන්න...''චාමර එහෙම කියලා යන්න කතා කරේ සුජීවට...
''මෙන්න මෙයා තමයි ලගින් වාඩිවෙලා ඉඳලා එකෙක්කෙනාට ෂොට් ගහන්න උදව් කරන්නේ නම් මතක් කර කර...'' මන්ත්‍රීවරු සුජීව දිහා බල බල එහෙමත් කිව්වා. හිනාව අස්සේ ඔය කතාව ඉවර වෙලා මන්ත්‍රීවරු විසිරිලා ගියා.
ආණ්ඩුව අවුස්සන්න
සුජීව තියපු ගින්න....
පහුගිය දිනවල අයවැයේ විවාදයේදී කැපී පෙනෙන කතා සියල්ලම පැමිණියේ විපක්ෂය පැත්තෙන්...ඒක රහසක් නොවේ. විවාදයේදී රජයට දැඩි විවේචන වලට මුහුණපාන්නට සිදුවුණා. ඒ අතර විහිළු කතා පමණක් නොවෙයි, යම් යම් අයව දැඩි උපහාසයට ලක් කළ කතාද සිදුවිය. ඒ අතර උපහාස කතා කිහිපයක් මෙසේ ය....
එංගලන්තයට යෑම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබුණු ආර්ථික පන්තියේ (economy class ) ගුවන් ටිකට්පත් වලින් ඇමැතිවරුන් හතර දෙනකු ව්‍යාපාරික පන්තියේ (business class) ගොස් ඇති බව සුජීව සේනසිංහ පාර්ලිමේන්තුවේදී කියලා දැම්මා. ඒ කතාව ලැව් ගින්නක් වගේ පැතිර ගියා.
“ඒ ඇමැතිවරු හතර දෙනා එකොනොමි ක්ලාස් ආසනවල වාඩි වෙලා විදුලි බුබුළු නිවා දමපු වෙලාවේ බිල්ලෝ වගේ බිස්නස් ක්ලාස් අසුන්වලට ගිහින්...”
“එයාර් හොස්ටර්ස්ලත් බය වෙලා භූතයෝ හතරක් යනවා කළුවරේ කියලා” යැයි සුජීව කීවේ මුළු සභා ගැබම සිනාවේ ගිල්වමිනි.
මේ විදියට මන්ත්‍රිවරුන්ට ලැබෙන ආරාධනා පත්‍රය හා ගුවන් ටිකට්පත් පාර්ලිමේන්තුව පරීක්ෂා කරන්නට ඕනෑ යැයි සුජීව යෝජනා කළේ මේ වගේ විහිලු සහගත වැඩ දවසින් දවස එකින් එක වාර්තා වෙමින් තියෙන නිසා.
නාමල් ඉස්සෙනවාට වඩා
අනුර හොඳයිද..?
21 වෙනිදාට නුගේගොඩ තියෙන රැළියෙන් නාමල් රාජපක්ෂ ''දේශපාලනිකව අප් වෙයි'' කියලා සමහර පක්ෂවල අභ්‍යන්තරයේ ගැටලුවක්ලු. අන්න ඒක ගැන පහුගිය දවස්වල විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුලේ ලොකුවට කතාව...
''සජිත්ට තියෙන ප්‍රශ්නෙ ඒකම නෙවෙයි. ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් සජිත්ට ඉස්මතු වුනා කියලා අපි දැන් දන්නවා. ඒක නිසා අපි දැන් ඒ ගැන කතා නොකර ඉමු. '' පොහොට්ටුවේ ඉහළම තැනකින් සෙසු අයට ඒ වගේ උපදෙසක් ලැබුණ නිසා සජිත් ගැන කතා කිරීම නතර වුණා...
ඒත් ඉතින් විමල් වීරවංශ රැළියට නොයන එක ගැනනම් කාටත් දුකයි. මොකද විපක්ෂයෙන් පවත්වන ඕනම රැළියක් ඉවර කරන්න වේදිකාවේ අවසානයට නග්ගවන උද්වේගකර කථිකයා විමල් බව ඔය කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා.
''විමල්ටත් තියෙන්නෙ අභ්‍යන්තර ප්‍රශ්නයක්. හිටියනං හොඳයි... නායකයො බිහිවෙන්නේ මේ වගේ වේදිකාවන් උඩ මිසක් පක්ෂ කාර්යාල ඇතුළේ කෙරෙන අභ්‍යන්තර සාකච්ඡා ඇතුළෙ නෙවෙයි.'' පොහොට්ටුව ඇතුලෙ කෙරුණු ඔය සාකච්ඡාවත් එතනින් එහාට නම් ගියේ නැහැ. මොකද කවුරුත් විමල්ට ආදරෙයි.
''නෙළුම් මාවතේ ඔය සාකච්ඡා යන අතරේ නාමල් පහුගිය සඳුදා ඩාර්ලි පාරේ ශ්‍රී ලා නී ප මූලස්ථානයට ගියේ 21 වෙනිදා රැළිය ගැන ශ්‍රී ලංකා එකත් එක්ක අභ්‍යන්තර සාකච්ඡාවකට... තනියම නෙවෙයි, සංජීව, චානක හා ජොන්ස්ටන් එක්ක. sri lanka එකෙනුත් නිමල් සිරිපාල අනුරයාපා චාමර සම්පත් ලසන්ත අලගියවන්න දුමින්ද දිසානායක ඇවිත් හිටියේ...
රැළියේ ඇතුලාන්තය හා සංවිධානය ගැන නාමලුයි සංජීවයි පැහැදිලි කිරීමක් කලා. හිතුවට වඩා ලොකු සෙනගක් එයි කියලයි නාමල්ගේ අදහස.
නාමල් හරි... මිනිස්සු මටත් කතා කළා. මට පේන්නෙ ලොකු නැචුරල් ක්‍රවුඩ් එකක් එන්න පුළුවන්. එහෙම කිව්වේ අනුරයාපා...
ඔන්න ඔය අතරේ දුමින්ද දිසානායක මේ රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම ගැන පැහැදිලි කිරීමක් කලා. දුමින්දගේ පැහැදිලි කිරීම කොච්චර විධිමත්ද කියනවනම් කාටවත් එතනින් එහාට කතා කරන්න දෙයක් තිබ්බෙත් නැති තරම්.
නාමල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට ආවේ කාලෙකට පස්සේ. වටපිට බලනකොට තාමත් මහින්ද රාජපක්ෂගේ පින්තූරේත් නායකයන්ගේ පින්තූර අතර..
''සර්ගෙ ෆොටෝ එක තාම නිසි තැන තියෙනවා. ඒ විදිහටම...'' ලසන්ත නාමල්ගේ කනට කරලා වගේ කියනකොට නාමල් සිනාසුනේ සතුටින්..
ප්‍රතිපත්තිමය
එකගතාව..?
නාමල්ට බදාදත් මේ රැස්වීම ගැන තවත් සාකච්ඡාවකට යන්න වුණා. සාකච්ඡාව තිබුනේ කොළඹ මල් පාරේ රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේ... නාමල් විතරක් නෙවෙයි. පොහොට්ටුව වෙනුවෙන් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සංජීව ඉදිරිමාන්න ඒකට ගිහින් තිබුනා...
''සමහර නායකයෝ ප්‍රතිපත්තිමය එකඟතාවන් නෑ කියලා මේ රැස්වීමට සහභාගී නොවීමට අදහස් කරලා තියෙනවා. ජනපීඩක ආණ්ඩුවලට එරෙහිව ලෝක දේශපාලනයේ ''විපක්ෂයේ බලවේග'' එකට එකතුවෙලා වැඩ කරල තියෙන්නේම, තම තමන්ගේ ප්‍රතිපත්තිමය වෙනස්කම් තියාගෙන තමයි. විපක්ෂයේ හැමෝම එක ප්‍රතිපත්තියකට එන දවස එනතුරු බලන් හිටියොත් ආණ්ඩුවට එරෙහිව නැගිටින්න, මේ ආණ්ඩුව මේ රටට මොනව කරල තියෙයිද දන්නේ නෑ... ජනතාවට දීපු පොරොන්දුයි ජනතා අපේක්ෂාවනුයි මේගොල්ල පොළොවටම සමතලා කරලා ඉවර කරලා තියේවි....'' නාමල් කිව්වා.
සාකච්ඡාවට රනිල් එක්ක සාගල රෝසි, සුනේත්‍රා, පක්ෂයෙන් ඇවිත් හිටියා. පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිලත් එතන.
unp එකේ කාර්යාලයට ගම්මන්පිල ඇවිත් සාකච්ඡාවක් කරන එක ගැන, ඇතුළෙම පොඩි කසු කුසුවක් ගියා.
''ගම්මන්පිල කවද්ද යූ ඇන් පී එකේ වැඩවලට ආවේ... මේවා පුදුම හිතෙන දේවල්...''
''එහෙම හිතන්න එපා. සමහර විට මම යූ ඇන් පී එකේ වැඩවලට සහභාගී වෙලා ඇත්තේ ඇත්තෙ ඕගොල්ලො පක්ෂයට එන්නත් කලින් වෙන්න පුුලුවන්...'' ගම්මන්පිල එහෙම කියනකොට පක්ෂයේ තරුණයෝ කීපදෙනෙක් ඒක දිහා විමතියෙන් බැලුවා. මේ මනුස්සයා මේ මොනවද කියන්නේ කියලා වගේ...
''නෑ නෑ.... මම කියපු එක ප්‍රහේලිකාවක් කරගන්න ඕන නැහැ. මම යූ ඇන් පි එකේ කැන්වසින් යන්න පටන් අරන් තියෙන්නේ මං ඉපදෙන්නත් කලින් අම්මගේ බඩේ ඉන්න කාලේ ඉඳන්...
ඒ මොකද දන්නවද... ඒ කාලේ නාවලපිටියේ යූඇන්පි සංවිධායක තමයි අපේ මාමා. මාමගෙ වැඩවලට මගේ අම්මා මාව බඩේ තියාගෙන තමයි කැන්වසින් ගිහින් තියෙන්නේ....'' ගම්මන්පිල හැඩ කරලා ඒ කතාව කියනකොට රනිල් විතරක් නෙවෙයි, ඔක්කොම බඩ අල්ලගෙන හිනා වෙන්න පටන් ගත්තා...
ඔන්න ඔය අතරේ නාමල් සහ සාගල රැස්වීමේ ප්‍රවාහන සැලසුම් ගැන රහසිගත තොරතුරු ටිකක් හෙළිදරව් කළා. රැස්වීම්වලට සමහර තැන්වලින් දෙගොල්ලන්ගෙම සෙනග එකට ගේන්නයි කතා බහ උණේ...
“දැනටමත් බස් අයිති කාරයන්ට ලෙඩ අදින්න පටන් අරන් පොලීසියයි මාර්ගස්ත ප්‍රවාහන අධිකාරායයි දාගෙන. බස්කාරයෝ දැන් බයවෙලා....” සංජීව කිව්වා.
“බස් වැඩිකරගන්න එපා... බස්එකක එන සෙනග ගාන වැඩිකරන්න. ඒ වගේම හයිවේ එනවානං හිටගෙන යන්න අරින්න එපා. මගදි අල්ලයි...” ඒ කිව්වේ නාමල්.
''රැලියට කලින් ඊළඟ රැස්වීමේ මම කැමතියි සිරිකොත ඇතුලේ තියන්න....'' නාමල් ඉලක්ක කරලා ඔය කතාව කිව්වෙ සාගල.
''හරි කමක් නෑ. මං කවදාවත් සිරිකොත ඇතුලට ගිහිල්ල නෑ. එහෙනම් අපි පළවෙනි වතාවට කළු කෝපි එකක් බිබී සිරිකොත ඇතුලේ සාකච්ඡා කරමුකෝ...'' නාමල් එහෙම කියන කොට ඒ සතුටට රනිල්ගේ කාර්යාලය ඇතුළෙ හිටපු සමහරු අප්පොඩිත් ගහන්න පටන් ගත්තා කියලයි ආරංචිය...
කලම්බු රිපෝටර්.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

