කේතුමතී රාජ්‍ය සිහිනය හා ඌරන්ගේ පාලන සමය

ජෝන් ඕවල්, සිය නිර්මාණය මගින් අනාගත ලෝකයේ දේශපාලනය සහ සමාජයන් තුළ සිදු වන්නට නියමිත සිදුවීම් අනුමානයෙන් යුතුව දැනගෙන සිටියේය. බලය, පාලනය, ජාතිය, පංතිය යනාදිය රැක ගැනීමත්, සමානාත්මතාවය මෙන්ම අසමානාත්මතාවය රැකීමත් යන කාරනා අතර "ගොවිපොලේ අරගලය" දිග හැරෙන්නේය.

Jan 5, 2026 - 22:51
 73
කේතුමතී රාජ්‍ය සිහිනය හා ඌරන්ගේ පාලන සමය

කේතුමතී රාජ්‍ය සිහිනය

හා ඌරන්ගේ පාලන සමය

“වින්ස්ටන්.... කියනවා බලන්න, යම් කිසි කෙනෙක් තමන් සතු බලය තව කෙනෙක් මත පතුරවන්නේ කොහොමද කියලා...  ?”


“සර්, ඔවුන් දුකට පත් කරන්න ඕනෑ.”


“ආන්න හරි..තමුන් හරි... හොදටම දුක් විදින්න සලස්වලා...ඊළගට  ?”


“දුක් වින්දින්න සලස්වන එක විතරක් මදි සර්... අවනත වෙන එක ප්‍රමාණවත් නෑ. මිනිසුන් ගර්හිත බවට පත් කරලා වේදනා විදින්න සලස්වලා, බලය කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා පෙන්වන්නත් ඕනෑ...”


“ආන්න නියම උත්තරේ ලැබුනා... තමුසෙ නම් හරියටම ඒක කිවුවා...”


“උන්ගේ මොළ කීතු කීතුවලට කඩලා, ඉරා දමලා, ඊට පස්සේ බලය තියෙන කෙනාගෙ තීරණවලින් කල්පනා කරන දේවල් (ස්වරූපයන්) උන්ගේ ඔලු ගෙඩිවලට ඔබන්න ඕනෙ. එහෙම නෙවෙයි ද..? කියනවා බලන්න.”


“ඔවු සර්. ඒක එහෙම තමයි කරන්න ඕනෑ.”


“ගොවිපලේ විප්ලවය” පොතේ එන මේ දෙබස දිහාවට අපේ නෙත් යොමු කෙරෙන්නේ හේතුවක් ඇතිවය. මේ වන විට අපි අත්විදින “දේශපාලන ඉසිඹුව” අපට ගෙන එන අවිනිශ්චිත බව තේරුම් ගැනීමට සිදුවී ඇති නිසාය.  “ගොවිපලේ විප්ලවය” වැනි පොත්  මේ වනවිට අපේ රටේත් බිහිවිය යුතු නිසාය.


1945 අගෝස්තුවේ, එංගලන්තයේ දී Animal farm කෘතිය එලි දකින්නේ “ජෝන් ඕවල්” නම්වූ එහි රචකයා මරණය අභිමුව සිටිය දීය. 


ජෝන් ඕවල්, සිය නිර්මාණය මගින් අනාගත ලෝකයේ දේශපාලනය සහ සමාජයන් තුළ සිදු වන්නට නියමිත සිදුවීම් අනුමානයෙන් යුතුව දැනගෙන සිටියේය. බලය, පාලනය, ජාතිය, පංතිය යනාදිය  රැක ගැනීමත්, සමානාත්මතාවය මෙන්ම අසමානාත්මතාවය රැකීමත් යන කාරනා අතර ගොවිපොලේ අරගලය දිග හැරෙන්නේය.


එංගලන්තයේ විලිංටන් සමීපයේ ජෝන් නැමැති කෲර පාලකයෙකු පවත්වා ගෙන යන ගොවිපොලකි. පාලනය ඉතා දුර්වල එකකි. එයින් පීඩාවට පත්වන ගොවිපොලේ සතුන් අරගලයක් දියත් කරයි. එහි අවසානයේ පාලකයා සහ පවුල පලවා හැර සතුන් විසින් ගොවිපොලේ අයිතිය පවරා ගනී.


ඉන් පසුව ගොවිපොල පාලනය කරන්නේ සතුන් විසිනි. සිටින්නේ සතුන් පමණි ඒ සියලුම සතුන්ගේ ඒකමතික තීරණය අනුව පාලකයින් ලෙස ඌරන් දෙදෙනෙකු පත් කර ගනී. 


“ස්නෝ බෝල්” සහ “නැපෝලියන්” ඒ පාලකයින් දෙදෙනාය. මිනිසුන් නැති සතුන්ගේ රටේ දැන් නායකයෝ ඌරන් දෙදෙ‍ෙනකි.                                                                                                                                                                                                                                                                                          


පාලනය සියතට ගන්නා මේ සූකරයින් දෙදෙනා සුලු කාලයක් යන තුරු ගොවිපොල ඉතා හොදින් පාලනය කරන අතර, අනතුරුව නව ප්‍රභූ පැලන්තියක් ද නිර්මාණය කරගනී. 


ඉන් පසු උදා වන්නේ මහා මර්ධනකාරී පාලනයකි. අරගලයට නායකත්වය දුන් ස්නෝ බෝල්වද පන්නා දැමූ “නැපෝලියන්” සූකර නායකයා අවසානයේදී  ඒකාධිපතියෙකු බවට පත් වේ. 


හරිම අපූරු ව්‍යවස්ථාවක් හදුන්වා දෙන නැපෝලියන්, එහි කරුනු හතක් සදහන් කරයි. ඒවා නම්....


1. දෙපයින් යන ඕනෑම සතෙක් සිය හතුරෙකි.
2. සිවුපා ඇති ඕනෑම දෙයක් සහ පියාපත් ඇති දෙයක් ඇත්තේ ද ඒවා සිය මිතුරන් වේ.
3. කිසිම සත්වයෙකු ඇදුම් ඇදීම නොකළ යුතුය.
4. ඇදන් මත කිසිවෙකු නිදා ගැනීම නොකළ යුතුය.
5. කවර කලෙකවත් මත් පැන් පානය නොකළ යුතුය.
6. කිසිම සතෙක් වෙනත් සතෙකු නොමැරිය යුතුය. 
7. සියලුම සතුන් සමාන වේ.


බැලූ බැල්මට ව්‍යවස්ථාව කදිමය. සැනසිලි දායකය. එහෙත් කෙටි කාලයක් ගත වෙද්දී, කැරලි නායකයින් සිය ඕනෑ එපා කම් මත ව්‍යවස්ථාව වෙනස් කරති.


නව ව්‍යවස්ථාව තුළ ඇත්තේ කාරනා හතරකි. ඒවා නම්...


1.  ඇද ඇතිරිලි සහිත ඇදක කිසිම සතෙකු නිදා නොගත යුතුය.
2. කිසිම සතෙකු අධික ලෙස මත් පැන් පානය නොකළ යුතුය.
3. හේතුවක් නොමැතිව, කිසිම සතෙකු අනෙකෙකු නොමැරිය යුතුය.
4. සියලුම සතුන් සමාන වන නමුත්, සමහර සතුන් අනෙක් උන්ට වඩා සමානය.


මෙසේ කටයුතු සිදුවන මොහොත උදාවෙද්දී... ගොවිපොලේ “පරණ හිමිකරු”ගේ අගය වටහා ගැනීමට අනෙකුත් සතුන් සමත් වේ. එහෙත් ඔහු ඒ වන විටත් මිය ගොසින්‍ ය.


පාලකයින්ගේ සැහැසිකම් සහ කෲර ගති උලුප්පා පෙන්වමින් ඒ වෙනුවට විමුක්තිය උදා කරන්නෙමු’යි කියා යම් පිරිසක් තමන් වෙත ලබා ගන්නා “පාලන බලය”අවසානයේ යන්නේ මෙන්න මේ තැනටය. 


ජෝන් ඕවල් නමින් රචනාවේ යෙදුනු, “එරික් ආතර් බ්ලෙයාර්” විසින් ලෝකයට අවධාරණය කර සිටියේ මේ යථාර්ථයයි. එය කෙතරම් සත්‍යවාදී දැයි යන්න තහවුරු වූ සිදුවීම්, මෑත කාලයේ විවිධ සමාජයන් හි ඉස්මතුවී තිබේ.


යහපත් සමාජ සංස්ථාවන් සහ පාලනයන් නොයෙක් පුද්ගලයින්ගේ ක්‍රියාවන් නිසා විනාශය කරා ගමන් ගන්නා බව නොරහසකි. එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව සමගම පාලනය විනාශයට පත් වන ආකාරය ජෝන් ඕවල් කදිම ලෙස පෙන්වා දෙනු ලබන්නේය.


රටක වේවා යම් සමාජයක වේවා මේ සංසිද්ධිය කවදා කොතැනක වුවත් සිදුවිය හැකිය. අරගලයකින් පසුව නිර්මාණය වන, “සාධනීය විප්ලවීය සමාජ වටිනාකම්” ගැන ජනතා බලාපොරොත්තු දැල් වී දිලෙන්නේ වුවත්, සිදු වන්නේ අනෙකකි.


ඒ සියලු වටිනාකම් මග හැරී ගොස්, විනාශ මුඛයට පත් වී, ඒ වෙනුවට ඉතා කුරිරු ම්ලෙජ්ජ ඒකාධිපති වියරුව නැගී සිටිනු ලබන්නේය. ඇනිමල් ෆාම් ප්‍රබන්ධයෙන් අප වෙත ගෙන එන පාඩම වන්නේ එයයි.


ස්නෝබෝල් ලා මෙන්ම, නැපෝලියන්ලා සෑම තැනම හිදී. කෙසේ හෝ අවස්ථාව හිමි කර ගැනීමට විවිධ උපක්‍රම අත් හදා බලමින් ප්‍රයෝගකාරීව කටයුතු කරති.


වඩා හොද පාලනයක් ගැන සිහින දකින මිනිසුන් කොතැනත් හිදින බැවින්, නැපෝලියන් ලා, ස්නෝබෝල් ලා ඉතා ශූර ලෙස ඒ බලාපොරොත්තු සහිත සමාජයන් තමුන් වෙතට හරවා ගනී.


එනමුත්, “උටෝපියානු සිහිනය”එසේත් නැති නම් අප පතන “කේතුමතී රාජ්ජය”මේ මනුස්ස ලෝකයේ පහල නොවන්නේය.


ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුළ, ඉතා පහසුවෙන් “ඇනිමල් ෆාම්” පන්නයේ  උගුල් ඇටවීම කළ හැකිය. 


ඒ මන්ද යත්, කතිර ගැසීමෙන් එහා ගිය දේශපාලනය අවබෝධයක් නැති පුරවැසියන් එම සමාජයේ බහුතර පිරිස වන හෙයිනි. එම දේශපාලන අදබාලයින් විසින් අනවබෝධය පෙරදැරිව සිදුකරන අත්  වැරැද්ද මතින්, නැපෝලියන් ලා සහ ස්නෝබෝල් ලා (ඌරන්) සිය කූට කුමන්ත්‍රණයන් හරහා, සිය දිනුම සාක්ෂාත් කර ගනිති.


අපේ රටේ සිදුවීම් කොතෙක් සිදු වුවත්, “ජෝන් ඕවල්” වැනි විශිෂ්ට නිර්මාණකරුවන් බිහි වීම කවදාකවත් නොවන්නේය.


එබදු චින්තකයින් ගේ අඩුව දැනෙන, අන් සමයක් තවත් නොවන්නේය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0