මව්බිම රනින් සරසන ලක්මවගේ දූ පුතුන්...

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 4ක් ඇතුළුව පදක්කම් 10ක් දිනා ගනිමින් දකුණු ආසියාවේ මලල ක්‍රීඩා වේදිකාවේ බලවත් පැමිණීමක් සනිටුහන් කළහ. රන් පදක්කම් 8ක් සමගින් මුළු පදක්කම් 23ක් හිමිකර ගත් ශ්‍රී ලංකාව, පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ රැඳෙන අතර, ඉන්දියාව පෙරමුණේත්, නේපාලය තුන්වන ස්ථානයේත් පසුවෙයි.

Oct 26, 2025 - 20:18
 5
මව්බිම රනින් සරසන ලක්මවගේ දූ පුතුන්...
දකුණු ආසියාවේ වේගවත්ම පුරුෂයා ලෙස චමෝද් යෝධසිංහත්, වේගවත්ම කාන්තාව ලෙස සෆියා යාමික්

මව්බිම රනින් සරසන

ලක්මවගේ දූ පුතුන්...

 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 4ක් ඇතුළුව පදක්කම් 10ක් දිනා ගනිමින් දකුණු ආසියාවේ මලල ක්‍රීඩා වේදිකාවේ බලවත් ඉදිරි පියවරක් සනිටුහන් කළහ. රන් පදක්කම් 8ක් සමගින් මුළු පදක්කම් 23ක් හිමිකර ගත් ශ්‍රී ලංකාව, පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ රැඳෙන අතර, ඉන්දියාව පෙරමුණේත්, නේපාලය තුන්වන ස්ථානයේත් පසුවෙයි.

දකුණු ආසියාවේ වේගවත්ම පුරුෂයා ලෙස චමෝද් යෝධසිංහත්, වේගවත්ම කාන්තාව ලෙස සෆියා යාමික්ත් බිහිවීම මෙවර ශූරතාවලියේ කැපී පෙනෙන ජයග්‍රහණයකි. යෝධසිංහ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව තත්පර 10.3කින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවූ අතර, සෆියා යාමික් මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව තත්පර 11.53කින් නිම කරමින් තවත් තරගාවලි වාර්තාවක් තැබුවාය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, ජාතික හා ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ද ඉහළ දක්ෂතා පෙන්වූහ.

ජවන ඉසව්වල ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය මනාව පෙන්නුම් කළ කාලිංග කුමාර, මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව තත්පර 46.21කින් ජයග්‍රහණය කළ අතර, එහි ලෝකඩ පදක්කම කල්හාර ඉන්දූපට (තත්පර 46.81) හිමි විය. මීටර් 100 පිරිමි හා කාන්තා සහය ධාවන ඉසව්වලදී ද ශ්‍රී ලංකාව රන් පදක්කම් හිමිකර ගත්තේ තත්පර 39.99 සහ 44.70ක කාලයන්ගෙනි. උස පැනීමේ රන් පදක්කම තරිඳු දසුන් (මීටර් 2.17) විසින් දිනා ගන්නා ලදී.

ප්‍රවීණ ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි (මීටර් 1500, මිනිත්තු 4.25.52) හා රුසිරු චතුරංග (මිනිත්තු 3.55.12) රිදී පදක්කම් හිමිකර ගත් අතර, රොෂාන් රණතුංග, සයුරි මෙන්ඩිස්, ලක්ෂිකා සුගන්ධි, විනෝදනී ලක්මාලි හා හිටපු දුර පැනීමේ ශූර මලින්ත සම්පත් ලෝකඩ පදක්කම් 5ක් දිනා ගත්හ.

පළමු දිනයේදී තුන් පිම්ම ඉසව්වල රන් පදක්කම් දිනූ පසිඳු මල්ෂාන් (මීටර් 16.19) හා මදුශානි හේරත් (මීටර් 13.26, තරගාවලි වාර්තාව) ඇතුළුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ රැල්ල මෙවර ශූරතාවලියේ 63 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ශක්තිය මනාව පිළිබිඹු කරයි. වසර 17කට පසු ඉන්දියාවේ රංචිහි පැවැත්වෙන මෙම ශූරතාවලියට රටවල් 6කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් සහභාගි වන අතර, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ මලල ක්‍රීඩා ලෝලීන්ට ආඩම්බරයක් එක් කරයි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0