තමුසෙලාට ඔච්චර පුළුවන්නම් මට කොච්චර පුළුවන්ද..? මෙතන..?

''දේශපාලන ක්ෂේත්‍රයේ සහ සමාජයේ අධ්‍යාපනික පදවි නාම භාවිතය පිළිබඳව පසුගිය දිනවල පැවති සංවාදය පසුබිම් කර ගනිමින්, සැබෑ උගතුන්ගේ ආදර්ශයක් ලෙස මහාචාර්ය නලින් ද සිල්වා පිළිබද මෙම කෙටි සටහන ඉදිරිපත් කොරේ. උපාධි සහ තනතුරු නාමයන්ගෙන් බැබලීමට උත්සාහ නොකළ ඒ මහැදුරු, විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ''මහාචාර්ය'' පදවියට වඩා වෙහෙස වී ලබාගත් ''ආචාර්ය'' පදවිය අගය කළ අතර, සිය ලිපි සහ පොත්පත්වල පවා බොහෝ විට තම නමට පදවි නාම එකතු කිරීමෙන් වැළකී සිටියේය. මෙවන් සැබෑ උගතුන්ගේ නිහතමානීබව පිළබද ආදර්ශය, ව්‍යාජ පදවි නාම භාවිත කරමින් සමාජයේ සහ දේශපාලනයේ ඉදිරියට ඒමට හා වැජබෙන්නට උත්සාහ කරන පිරිසකගේ ජීවන චර්යාව සමඟ සංසන්දනය කර ඇත.''

Sep 30, 2025 - 08:02
Sep 30, 2025 - 09:44
 65
තමුසෙලාට ඔච්චර පුළුවන්නම්  මට කොච්චර පුළුවන්ද..? මෙතන..?
මහාචාර්ය නලින් ද සිල්වා

බුලිත ප්‍රදීප් කුමාර

ශාස්ත්‍රාලීය පෙර අපර අධ්‍යාපනය තුළ විකුම් පෑව, මේ රටේ බිහි වූ අග්‍රගන්‍ය බුද්ධිමතුන් හා උගතුන් අතර අගතැන්පත් ප්‍රාමාණිකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා කවදාවත් එහෙම හිතුවේ නෑ...
අධ්‍යාපනයෙන් ලබා ගත් උපාධි, ගෞරව ගරුනම්බු හෝ රැකියාවෙන් සමාජයෙන් ලබා දුන් පදවිතානාන්තර පට්ටන්දර නමේ මුලට යොදා යොදාගෙන එමගින් බැබලෙන්න හා කැපී පේන්න උත්සාහ කළේ නෑ...
මහාචාර්ය නලින් ද සිල්වා මට මුණගැහෙන්නේ 1987 ඒ ලෙවල් විභාගය සමත්වෙලා 88/89 අධ්‍යයන වර්ෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ආපු මුල්ම දවසෙ බව මට හොඳට මතකයි. 
එදා අපිට මහාචාර්ය ජේ බී දිසානායක, මහාචාර්ය කුසුමා කරුණාරත්න, මහාචාර්ය ශිරාණි බණ්ඩාරනායක හා මහාචාර්ය නලින් ද සිල්වා යන නම් දැරූ ගුරුවර ගුරුවරියෝ හතර දෙනාම මුණගැසුනා. 
එවකට මහාචාර්ය ජේ බී හා කුසුමා යන දෙදෙනා සිංහල අංශයේ. සිංහල අංශයයි නලින් සර්ලගෙ ගණිත අංශයයි තිබුනේ එකට. ඒ කිව්වේ එකම ගොඩනැගිල්ලේ. ශිරාණි මැඩම් විතරක් රීඩ් මාවත එහා පැත්තේ ලෝ ෆැකල්ටියේ.
අපි ආර්ට් ෆැකල්ටියේ උණත් පළමු වසරේ එක් විෂයක් නලින් සර් අපට ඉගැන්නුවා. ඒ තමයි මූලික ගණිතය. හැබැයි නලින් සර් අපට ගණිතයට අමතරව "ජීවිතය" ගැනත් කියාදුන්නා. ඊටත් වඩා සමාජය, දේශපාලනය හා අපේකම ගැන.
ගණිතය පැයේ ඊට අමතරව උගන්නපු ‘‘අපේකම හා සමාජ දේශපාලන පාඩම’’ නිසා 88/89 භීෂණ අත්දැකීම් ඔස්සේ නන්නත්තාර වෙලා තිබුණු අපේ ඔලුගෙඩි නියමෙටම හේදිලා ගියා. අපි ‘‘සිංහල බෞද්ධ ජාතිකවාදී ආලෝක ධාරාවක්’’ ඔස්සේ අලුතින් හිතන්න පටන් ගත්තා.
නව කලාගාරයේ (NAT) විධිමත් දේශනවලට අමතරව සයන්ස් ෆැකට්ටියේ නුගේ යට පුංචි කාමරයේ කරපු ‘‘ගවේෂකයෝ’’ දේශන මාලාවට අපි පුලු පුලුවන් හැම විටකම සහභාගි වුණා. ඒක සංවිධානය කළේ ගෙවිඳු අයියලා හා පියුම් පැස්කුවල්ලා වගේ සයන්ස් ෆැකල්ටියේ ජ්‍යෙෂඨයෝ. අපේ ජානක බණ්ඩාරලත් (රෙද්දා) වැඩේට හවුල්.
නලින් සර් ඒ කාලෙ තමන් විසින් හෙළිපෙහෙළි කළ "ජාතික චින්තනය" දිවයිනට ලියනවා. මට මතකයි විදුසරටත් ලිව්වා. ඒ කාලේ සර්ගේ නම පත්තරේ පළවුණේ ආචාර්ය නලින් ද සිල්වා කියලා. 
ඊට පස්සේ නලින් සර් මහාචාර්ය පදවිය ගත්තම "මහාචාර්ය නලින් ද සිල්වා" කියලත් පත්තරේ ලිපි පළ වෙන්න පටන් ගත්තා. පත්තරේ අය වැඩි හොඳට මහාචාර්ය පදවිය ඉස්සරහට දාලා නලින් සර්ගේ ලිපි පළ කළත් නලින් සර් වැඩියෙන් කැමති ‘‘ආචාර්ය නලින් ද සිල්වා’’ කියන යෙදුමට. 
"මහාචාර්ය කියන්නේ විශ්වවිද්‍යාලයෙන් අපට දෙන පට්ටන්දරයක්. කවද හරි අපි මේකෙන් එලියට යනකොට පට්ටන්දරේ ආපහු මේකට දීලා යන්න වෙනවා. හැබැයි ඉගෙන ගෙන මහන්සි වෙලා PhD ලියලා අරගන්න ආචාර්ය පට්ටම කවදාවත් ගැලවෙන්නේ නෑ..."
ඒ කිව්වත් වගේ කොළඹ සරසවියෙන් නලින් සර්ව දේශපාලනමය කරුණු නිසා දොට්ට දැම්මා. (මහාචාර්ය ජී එල් තමයි එතකොට V C.) මහාචාර්යකම පැත්තක තියල ආචාර්යකම විතරක් අරගෙන නලින් සර් ගෙදර ගියා.
ඔන්න ඔය කාලෙ තමයි 1993දී මම දිවයිනට වැඩට ගියේ. සමහර වෙලාවට දිවයිනේ පලවන ලිපිය අපේ ප්‍රධාන කතෘතුමාට (ගාමිණී සුමනසේකර,) භාර දෙන්න කියලා. නලින් සර් දුන්නෙ මට... මොකද මමත් ඒ දවස්වල නැවතිලා හිටියේ මහරගම. පන්සල පාරේ. නලීන් සර් හිටියේ ඒ ආසන්න දුම්රිය පටුමගේ.
"ගාමිණිට කියන්න මගේ නමට මහාචාර්ය කියලා දාන්න එපා කියලා. ආචාර්ය දැම්මොත් ඇති. ඒ නැතත් කමක් නෑ..."
ඇත්තම කියනවනම් නලින් සර් "මගේ ලෝකය, මාක්ස්වාදයේ දරිද්‍රතාව, අපෝහකයේ රූපිකය, විද්‍යා කතන්දර" ආදී පොත් ගණනාවක් ලියා පළ කළා මට මතකයි. ඒ හැම පොතකම සර්ගේ නම තිබුණේ ‘‘නලින් ද සිල්වා‘‘ කියලා විතරයි. ආචාර්ය මහාචාර්ය කම් කිසිවක් පොත්වල නම්වල නෑ. උගත්තු එහෙමයි.
PhD නැතුවත් විශ්ව විද්‍යාලවල උගන්වන කතිකාචාර්යවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව මහාචාර්ය පදවිය හිමිවන බව අපි දන්නේ නලින් සරගෙන්. ඒ කාලේ  වාණිජ පීඨයේ හිටපු හුඟක් කතිකාචාර්යවරු PhD නැති මහාචාර්යවරු බව මට මතකයි. සිංහල අංශයේත් එහෙම අය හිටියා. හොඳේ. පස්සේ ඒ අය PhD ගත්තා.
කොළඹ කැම්පස් එකෙන් එළියට දාපු ආචාර්ය නලින් ද සිල්වව වැඩි කලක් යන්නට මත්තෙන් කැලණියෙන් ඇතුලට ගත්තා. ගත්තෙ ‘‘ගණිත අංශයේ හෙඩ්’’ කරලා. එතුමා ආයෙත් මහාචාර්ය වුණා. කාලෙකට පස්සේ එතුමා විශ්‍රාම යද්දී මහාචාර්ය ලෝගුව ගලවලා කැම්පස් එකේ තියලා ආචාර්ය නලීන් ද සිල්වා විදියට ගෙදර ගියා...
ඊට පස්සේ පත්තරේ ලිපි යනකොට තමන්ගෙ නමට ඉස්සරහින් මහාචාර්ය නොදා ආචාර්ය දාන්න කියලා අපට කිව්වත් සමහරක් තැන්වලදී වැඩි ගෞරවයට බොහෝ අය ඔහුට මහාචාර්ය කියා ඇමතුවා. ඒකට ඔහුගේ වැඩි කැමැත්තක් නම් තිබ්බේ නෑ. හදන්න බැරි මේ සමාජයට ඕනවට වඩා ඒක කියාදෙන්න එතනින් පස්සේ නලින් සර් මහන්සි වුණේ නෑ...
ඔය තර්කය ඔහොම උණාට දිවි ඇති තෙක් මහාචාර්ය පදවිය පාවිච්චි කරන්න පුළුවන් පිරිසකුත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටියා. ඒ තමයි සම්මානිත මහාචාර්යවරු. මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය සුනිල් ආරියරත්න ආදී වශයෙන් පොඩ්ඩක් නෙවෙයි, ගොඩක් අය හිටියා. ඒ හැරුනාම ඔය දේශපාලනඥයොත් ආසාවට එක එක තැන්වලින් ඕවා ලබාගන්න පටන් ගත්තානේ. ඒ ගොල්ලන්ටත් තහනමක් නෑ. හැබැයිඉතින් අර පිළිගැනීම ලබාගන්න නම් බැරිවුණා.
මේ දිග කතාව මම කිව්වේ පහුගිය දවස්වල අපේ රටේ ආචාර්ය මහාචාර්ය පදවි පිළිබඳ සමාජයේ ලොකු සංවාදයක් නිසා. අන්න ඒ දිගින් දිගටම පැවතුන මතගැටුම ගැන අදහසක් කියන්න. ඒ සංකූලතාවය ගැන ටිකක් කතා කරන්න. 
 පහුගිය  කාලේ පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු බහුතර වශයෙන් අධ්‍යාපන පැත්තෙන් දුර්වල නිසා යන්තම් හරි විශ්වවිද්‍යාලයට පය ගහපු හැම කෙනෙක්ම තම තමන්ගේ උපාධි සහතික වැඩි වැඩියෙන් ඉස්මතු කරන්න පටන් ගත්තා. ඒක වුණේ අද ඊයේ පටන් නෙවෙයි. හැබැයි ඒකෙන් කාටවත් හානියක් නම් වුණේ නෑ.
විශ්වවිද්‍යාලවලින් පිටවෙලා යම් යම් ක්ෂේත්‍රවලට අනුපමේය සේවාවක් ඉටු කරපු අයට සමහර විශ්ව විද්‍යාල සම්මානිත ආචාර්ය පදවි ප්‍රදානය කළා. මතක නේද කලක් මේ රටේ හිටපු ප්‍රසිද්ධම ආර්ථික විද්‍යා ගුරුවරයා වුණ බන්දුල ගුණවර්ධන. එයා ලිව්වා "සාර්ව ආර්ථික විද්‍යාව" කියලා මහ පොතක්. ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න හා උගන්වන බොහෝ දෙනෙක් අත්පොතක් හැටියට පාවිච්චි කරන්න තරම් ඒ පොත හරිම වැදගත්. විෂය මූලිකව ඔහුගේ සේවය සොයා බලා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒ වෙනුවෙන් ඔහුට ‘‘ආචාර්ය පදවියක්’’ ප්‍රදානය කළා. ඔය වගේ විශේෂ කාරණා නිසා ආචාර්ය පදවිවලින් පිදුම් ලැබූ උගතුන් ගණනාවක් රටේ හිටියා.  මතක ඇතිනෙ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ආචාර්ය රෝහණ වීරසිංහ. ඉදිකිරීම් ක්ෂේත්‍රය නිසා ආචාර්ය පදවියෙන් පිදුම් ලැබූ ආචාර්ය කුලසිංහ. ආචාර්ය ලෙස්ටර්... ඔන්න ඔය වගේ ක්ෂේත්‍රයේ නිපුණයන් ආචාර්ය පදවිවලින් පිදුම් ලැබීම කාටවත් ගැටලුවක් උනේ නෑ...
හැබැයි මර්වින් සිල්වා ආචාර්ය වුණේ ඔය කාලෙම ඉගෙන ගෙන පොත් ලියලා නම් නෙවෙයි. එහෙනම් ‘‘පොත් පෙරළලද‘‘ කියලාත් කවුරුහරි අහවි. ඔව්... අන්න ඒ වගේ ආචාර්ය මහාචාර්ය ‘‘මාන්දම‘‘ තියෙන ලෙඩ්ඩුන්ට ඒ ලෙඩේ සුව කරන්න ආචාර්ය මහාචාර්ය පදවි මුදලට පිරිනමන කඩ සාප්පු කීපයකුත් ඔය අතරේ රටේ බිහිවුණා. ඒ වගේ පදනම්වලින්, තැන්වලින් පදවි තානාන්තර ගත්ත ආචාර්ය මහාචාර්යවරුත් පසු කාලෙක පාර්ලිමේන්තුවේ හක්කලන් කරන්න පටන්ගත්තා...
ඒත් විශ්ව විද්‍යාලවල ඇත්තටම උගන්නපු මහාචාර්යවරු ගනනාවකුත් පාර්ලිමේන්තු ආවා. විශ්වා වර්ණපාල එක්කෙනෙක්. මහාචාර්ය සුරවීර මතකද.මහාචාර්ය ජී එල් පීරිස් තව කෙනෙක්. මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය ආෂු මාරසිංහ, මහාචාර්ය රංජිත් බණ්ඩාර වගේ තව හත් අට දෙනකුත්...
පාර්ලිමේන්තු නිල ලේඛනවලට නම ඇතුළත් කරද්දී මෙන්න මේ පට්ටන්දර බොහෝවිට පාර්ලිමේන්තුවේ පාලානාධිකාරියට ප්‍රශ්නයක් වුණා. ඒගොල්ලෝ කමිටුවක් පත්කර පරීක්ෂණයක් මගින් PhD තියෙන අයගෙ හා පිළිගත් කරුණු මත සම්මානිත ආචාර්ය කම් දීපු අයගේ පමණක් ආචාර්ය පදිවි ලේඛනවලටවලට බාරගත්තා.
විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ලෙස කටයුතු කළත් සම්මානිත මහාචාර්යවරුන් නොවන කිසිම කෙනෙක්ගේ නමක් එම තනතුර සමග ඔවුන් පාර්ලිමේන්තුවේ නිල ලේඛනවලට අතුලත් කරගත්තේ නෑ. ඒ අනුව පසුගිය පාර්ලිමේන්තුවේ මහාචාර්ය ධූරය කිසිදු චකිතයකින් අවහිරයකින් තොරව භාවිත කළ හැකි මහාචාර්යවරු සිටියේ දෙදෙනෙක් පමණයි. ඒ මහාචාර්ය ජී එල් පීරිස් හා මහාචාර්ය රංජිත් බණ්ඩාර. අනිත් සියලුම දෙනාගේ නම් ඔවුන්ට හිමි අවසාන අධ්‍යාපන සුදුසුකමට සාපේක්ෂ අගයකින් පාර්ලිමේන්තුවේ අදාල නිල ලියකියවිලිවල ලේඛනගත වුණා. 
අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයට උගතුන් පැමිණිය යුතු යැයි මතයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවල අවසන් කාලයේ රටේ ප්‍රචලිත වුණා. ‘‘වියත්මග’’ නමින් ඒ සඳහා සංවිධානයකුත් බිහිවූ අයුරු අපට අමතක නෑ...
ඒ අසනීපය ඊටත් වඩා හොඳින් මාලිමා පුනරුද ආණ්ඩුවේ පූර්ව දේශපාලන කටයුතුවල දක්නට ලැබුණා. ‘‘වල්පැළ ගලවා මල් පැළ හිටවන ශ්‍රමදානය’’ පාර්ලිමේන්තුවේ අරඹන්නට මාලිමාව ජනතාවට ආමන්ත්‍රණය කළා. ඒ සඳහා විශ්වවිද්‍යාල උගතුන් ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පිරි අපේක්ෂක ලැයිස්තු ඔවුන්ගේ පට්ටන්දර සමග ජනතාව හමුවේ තැබුවේ පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවන්න.
159ක් මන්ත්‍රීවරු සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් ඔවුන් අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුවෙන් තුනෙන් දෙකක්ම සිටින්නේ උගතුන් වියතුන් බුද්ධිමතුන් යැයි කියමින් ඔවුන් ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වුණා. හැබැයි ඇත්ත. ඒ හුගදෙනෙක් විශ්වවිද්‍යාල උපාධිධාරීන් නම් තමයි.
අවසානයේ ඉහළම උගතෙක් යයි සිතා ආචාර්ය අශෝක සපුමල් රන්වල නම් අයෙක් කතානායක තනතුර සඳහාත් යෝජනා කළා. එහෙත් ඒ ආචාර්ය තනතුර නීත්‍යානුකූල දැයි සොයන්නට තරම් ඉස්පාසුවක් හෝ ඉසිඹුවක් හෝ වුවමනාවක් පුනරුද රජයේ කිසිවෙකුටත් තිබුනෙ නෑ වෙන්නැති. ඒක නිසා ඒ ජරමරේ ඉවර වෙච්චි හැටි දැන් රටට රහසක් නොවෙයිනේ.
අන්තිමේ වුන දේවල් දැන් කවුරුත් දන්නවා.  වැඩේ අල උනා. රන්වලගේ ආචාර්ය උපාධිය චොර උනා විතරක් නෙවෙයි, මාලිමාවේ රන්වල වගේ එක එක උපාධි උගත්කම් තමන්ටත් තියෙනවා කියලා නැති පුරාජේරු කියවපු, ඒ වෙනුවෙන් පෙනී හිටපු පෝලිමක් අන්තිමේ තම තමන්ගේ උපාධි පට්ටන්දර රිවස් කරගන්නට පටන් ගත්තා...
මේ වෙලාවේ තමයි මට මතක් උනේ උගත්කම් හමුවේ සහ පට්ටන්දර කළමනාකරණය කිරීම හමුවේ හැබෑ උගතුන් එදා ක්‍රියාකළ ආකාරය මතක් කර දෙන්න... මට මතක් උන හොඳම පරමාදර්ශය මහාචාර්ය නලින්ද සිල්වා.
හැබැයි ඉතින් මම දන්න විදිහට දේශපාලඥයෝ විතරක් නෙවෙයි, තව බොහෝ දෙනෙක් උගත්කම විදහා පාන පදවිතානාන්තර ඉදිරියේ හරි කෑදරයි.. සමහර ගුරුවරු ඉන්නවා. සමහර වෙලාවට පාසැල්වල උගන්වන හාමුදුරුවෝ...
උන්වහන්සේලා මුලින්ම පෙනී ඉන්නේ තමන් උගන්වන පාසලේ නම යොදාගෙන. එහි ආචාර්යවරයෙක් විදියට. උදාහරණයක් වශයෙන් අපි මෙහෙම ගමු. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය පහළගම ගුණරතන කියලා හිතමු. ඔන්න කාලයක් ගියාම කොළඹ ආනන්ද විද්‍යාලයේ කියන කෑල්ල හැලෙනවා. ආචාර්ය පහළගම ගුණරතන කියන කෑල්ල ඉතිරි වෙනවා.
ඔය වගේම තමයි ගුරුවරුත්. සමහර ගුරුවරුත් තමන්ගේ නමට ඉස්සරහින් ආචාර්ය කියලා යොදනවා පාඨශාලාචාර්ය කියලා යොදන්න දක්වන්නේ පුදුමාකාර කම්මැලිකමක්... හැමෝම නෙවෙයි හොඳේ. ඉතාම සුළුතරයක්.
ආචාර්ය රංවල ගැන කතා කරනකොට පහුගිය දවසක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර සාගර සාගරකාරියවසම් සමග කියා තිබූ අපූරු කතාවක් ඔහු පහුගියදා මාත් එක්ක කිව්වා...
" දන්නවද බුලිත... ඔය අශෝක සපුමල් රන්වල ගෝඨාභය සර් ජනාධිපති වෙලා ඉන්න වෙලාවේ එයා හම්බවෙන්නත් ගිහින් තියනවා. ගෝඨාභය සර්ගේ කාබනික පොහොර ව්‍යාපෘතියට උපදෙස් දීපු අය අතරින් එක්කෙනෙක් තමයි රන්වල කියන්නේ..." ඔය කතාව අහලා මමත් කොරවුණා. ඇයි.. රන්වල කියන්නෙත් දැඩි ජවිපෙ සාමාජිකයෙක්. ඒ සංවිධානය ප්‍රබල වෘත්තීය සමිති නායකයෙක්... ඒක කොහොමටවත් වෙන්න බෑ කියලා මට කියවුනේ ඒකයි...
"පරමාදර්ශ තියාගන්න එපා. එයා ගෝඨාභය සර්ට උපදෙස් දෙන්න ගියා විතරක් නෙවෙයි. තමන්ට තියෙන්නේ කාබනික පොහොර රසායනය පිළිබඳ ආචාර්ය උපාධියක්ය කියල ගෝඨාභය සර්ගෙන් කාබනික පොහොර ව්‍යාපෘතියේ වගකීමකුත් භාරගෙන. එයා එයාගේ පුතත් එක්ක ගිහින් ගෝඨාභය සර්ට අඳුන්වලා දීලා කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියකුත් කරගෙන ගිහින් තියෙනවා..."
ඉතින් සාගර කියපු ඒ කතාව විශ්වාස නොකර ඉන්න මටත් හේතුවක් නෑ. එහෙම බලනකොට මේගොල්ලන්ව විශ්වාස කරපු 68 ලක්ෂයක් මේ රටේ අසරණ ජනතාව තාමත් ඉන්නේ මොන තරම් රැවටිල්ලකද... දැන්ම ඕව කියන්නත් නරකයි..
මේක ටිකක් පරණ කතාවක් තමයි. හැබැයි ඉතින් ‘‘රන්වල සිරිත’’ හැමදාම අලුත් වර්ෂන්වලින් දවසෙන් දවස එළියට එනවා. මේ දවස්වල විශ්වවිද්‍යාලවල උගන්නලා විශ්‍රාමිකව අහින්සකව ටියුෂන් පාරක් දාගන්න නමේ මුලට මහාචාර්ය යොදාගත්ත ටියුෂන් ගුරුවරුන්ටත් ඕන් ෆේස්බුක් එකේ අරියාදු කරන්න පටන් අරන්. 
හැබැයි ඉතින් බයවෙන්න දෙයක් නෑ. මොන විවේචනයත් දවස් දෙක තුනකින් යටගියා. ආයෙත් අලුත් එකක් ආවා. දවස් දෙක තුනකින් තව එකක්. ඊටත් පස්සේ තව එකක්. රන්වල සිරිත අහවර වුණාට පස්සේ මේ වගේ ලැව්ගිනි කීයක් නම් ආවද... අන්තිමේ අළු විතරයි ඉතිරි....
බලමු නේහ්... දවස තාමත් තරුණයි...

What's Your Reaction?

Like Like 5
Dislike Dislike 0
Love Love 0
Funny Funny 1
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0