Human Immunoglobulin ඖෂධ අර්බුදයේ හිල් සහ දැල්...

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ප්‍රමිතියෙන් තොර එන්නත් සහ ඖෂධ රජයේ සැපයුම්කරුවන් මගින් ගෙන්වා දී රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචාකාරී ලෙස ව්‍යපහරණය කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 13ක් යටතේ පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (විනිසුරු මඩුල්ල: ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර) ඊයේ (2025 පෙබරවාරි 25) දිනයේත් විභාගයට ගනු ලැබීය.

Feb 26, 2026 - 13:25
 21
Human Immunoglobulin ඖෂධ අර්බුදයේ හිල් සහ දැල්...

Human Immunoglobulin

ඖෂධ අර්බුදයේ

හිල් සහ දැල්...

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ප්‍රමිතියෙන් තොර එන්නත් සහ ඖෂධ රජයේ සැපයුම්කරුවන් මගින් ගෙන්වා දී රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචාකාරී ලෙස ව්‍යපහරණය කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 13ක් යටතේ පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (විනිසුරු මඩුල්ල: ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර) ඊයේ (2025 පෙබරවාරි 25) දිනයේත් විභාගයට ගනු ලැබීය.


මෙහිදී මුදල් අමාත්‍යංශයේ මානව සම්පත් කළමනාකරණ හා පාර්ලිමේන්තු කටයුතු හා අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් චතුර පරාක්‍රම මොහොට්ටි මහතා නඩුවේ 29වන සාක්ෂිකරු ලෙස ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ කාලයේ ගනු ලැබූ තීරණ, ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ද තිබීම, ඊට එරෙහිව නොයෑමට ඔහු සහ කමිටුව කටයුතු කළ ආකාරය, ගත් තීණ්දු තීරණ මෙන්ම ස්ථාවරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණු විශේෂ උපදෙස්  හා ඉල්ලීම් මෙන්ම විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමේ ඉල්ලීම් පිළිබඳ විස්තරාත්මක සාක්ෂි ඉදිරිපත් කළේය.


විශේෂයෙන්ම 2023 මාර්තු 17වැනිදා අධ්‍යක්ෂ මණ්ඩලය ගත් “විශේෂ ක්‍රමවේදය හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය යටතේ සහතික නිකුත් කිරීම නැවැත්වීම” යන සාමූහික තීරණය, ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත එය නැවත ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහ සහ ජීවිත ගලවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 38ක් ලියාපදිංචි නොමැතිව ආනයනය කිරීමට අනුමැතිය ඉල්ලීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය.


ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව නිසි  පරීක්ෂනයක් සිදුකර තම අධිකරණයට නිසි වාර්තාවක් ඉදිරිපත් කරන තුරු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය යටතේ ආනයනය කර තිබූ ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් නොකර රේගුව භාරයේම තබා ගන්නා ලෙසට  ශ්‍රේෂ්ඨාධිකරණය ඖෂධ නියාමන අධිකාරියට නියෝගයක් කොට තිබුනේ යැයි මුදල් අමාත්‍යංශයේ මානව සම්පත් කළමනාකරන හා පාර්ලිමේන්තු කටයුතු හා අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතා ඊයේ (25) පැවසීය. 


එබැවින් විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම මත සෞඛ්‍ය නියාමන අධිකාරිය ඉල්ලීමක් කොට තිබූ නමුත් විශේෂ ක්‍රමවේදය යටතේ හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය මත (way of Registran) සහතික නිකුත් කිරීම නැවැත්වීමට 2023.03.17. වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සාමූහික තීරණයක් ගත් බවද ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නිල බලයෙන් පත්ව සිටි එම සාක්ෂිකරු අධිකරණය හමුවේදී පැවසීය. 


එහිදී පැමිණිල්ලේ 29 වන සාක්‍ෂිකරු ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකරු මාර්ගයෙන් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය එකී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත්වූ විවිධ ඉල්ලීම් යෝජනා හා අධ්‍යක්ෂ මණ්ඩල සටහන් අධිකරණය හමුවේදී පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ලකුණු කිරීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පියවර ගත්තාය. 


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 2023.03.17 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පෙර තිබූ කරුණට අමතරව ඔබ සාමාජිකත්වය දැරූ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් වෙනත් තීරණ මොනවාද ? එදින නැවත විශේෂ ක්‍රමවේදය ගැන සාකච්ඡා වුණාද? 


සාක්‍ෂිකරු ; අපි තීරණය කළා එහිදී ඩබ්ලිව් ඕ ආර් සහතික එම කමිටුව හරහා පමණක්ම නිකුත් කළ යුතුයි කියලා. ඒ වන විට විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ලිපියක් ලැබී තිබුණා. අපි ඒ ගැනත් සාකච්ඡා කළා. අපි එම ලිපිය දැක්කා. ඒක කියෙව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම ඉල්ලීම 2023.03.30 දිනැති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ තමයි කර තිබුණේ. 2023.04.21 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව සලකා බලන ලෙසට මෙම නඩුවේ 12 වන විත්තිකාර එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා මටත් ඊමේල් පණිවිඩයක් මගින් 2023.04.03 වැනිදා යොමු කර තිබුණා. 


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට දින 18කට පමණ පෙර 12වන විත්තිකරු එවු' එම ඊමේල් පණිවිඩයෙන් මොකක්ද දන්වා තිබුණේ. 


සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිව් ඉල්ලීම තමයි ඔහු එවා තිබුනේ. තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිවූ විශේෂ ක්‍රමවේදය නැවත බලන්න යැයි කියන ඉල්ලීමට එකඟතාවය දක්වන බව ඔහු මට දන්වා තිබුණා. 


සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එයට පෙර එලෙස ඊමේල් පණිවිඩය මගින් ඔබට එවැනි ඉල්ලීමක් කර තිබුණාද? 


සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ඉල්ලීමට අත්සන් කර තිබුනා. ඔහු ලේකම්වරයා දන්වා තිබුණා. 2023.03.27වැනිදා ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව. එමඟින් දන්වා තිබුණා. එම රැස්වීමේදී විශේෂ ක්‍රමවේදය යටතේ නැවත ඖෂධ ගෙන්වීමට “ඩබ්ලිව් ඕ ආර්”  සහතික නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් දුන් බව තමයි එහි සඳහන්ව තිබුණේ. ඒ වන විට අපි නවත්වා තිබූ විශේෂ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්න බව තමයි එහි සඳහන්ව තිබුණේ.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; කවුද එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ?


සාක්ෂිකරු ; කෙහෙළිය රඹුක්වැල්ල මහතා.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබ 12වන චූදිතට ඒ ගැන පිළිතුරක් යැව්වාද? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවන විට ලබා දී තිබූ නියෝගය උල්ලංඝනය වන අයුරින් හා ඖෂධ නියාමන අධිකාරී පනතට පටහැනිව කටයුතු කිරීමට අපි එකඟ නොවන බව දන්වා යැව්වා. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත සේරසිංහ මහතා දන්වා සිටියා එම ඉල්ලීමට එකඟ නොවන බවට අපි සියලු දෙනා තීරණය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට. 


සාක්ෂිකරු ; පසුව අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට සෞඛ්‍ය ලේකම්වරයා යෝජනාවක් කර තිබුණා විශේෂ ක්‍රමවේදය වෙනුවට හදිසි අවස්ථාවකදී පාවිච්චි කළ හැකි අලුත් ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ ක්‍රමවේදය ඩබ්ලිව් ඕ ආර්  කමිටුව, ඖෂධ ඇගයීම් කමිටුව අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කරන්න සලකා බලන ලෙස අපිට දන්වා තිබුණා. 


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය  එම නඩුවේ 29වන සාක්ෂිකරු දෙවන දිනටත් සාක්ෂි ලබාදීම ආරම්භ කළ අවස්ථාවේදී  12වන විත්තිකරු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවක් සාක්ෂිකරුගෙන් එහි සඳහන් කරුණු පිළිබඳව විමසීමක් කළ අතර ජීවිත ගලවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය  ඖෂධ 38ක් ලියාපදිංචි ක්‍රමවේදය මගහැර ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන් මාර්ගයෙන් ආනයනය කිරීමට එමඟින් අනුමැතිය ලබා දී ඇතැයි හෙතෙම අනාවරණය කළේය. එකී ඖෂධ 38 සඳහා ඖෂධ ඇගයීම් කමිටු සහතික නිකුත් කර ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මගින් දැනගත් බවත් එහිදී සාක්ෂි දෙමින් පැවසූ පැවසූ එම සාක්ෂිකරු එම ක්‍රියාදාමයට එවකට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ සිල්වා  මෙන්ම තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු  වූ කෝසල මහතා ලිඛිතවම සිය අප්‍රසාදය පළ කළ බවද පැවසීය. 


එකී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු සියලු සාමාජිකයන්ගේ අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පළවී ඇතිි බවත් 12වන චූදිතට දැනුම් දුන් පසු ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී ඒ පිළිබඳව සාකච්ඡා කරන ඔහු තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේ පැවසූ බවද සාක්ෂිකරු පැවසීය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ඇතුළු මූල්‍ය පහසුකම් යටතේ ඖෂධ ආනයනය කිරීමට ලබා දී තිබූ ඖෂධ ඇගයීම් කමිටු සහතික සති 12 සිට මාස හය දක්වා දීර්ඝ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ ඉල්ලීමකට තම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් එම සාක්ෂිකරු පැවසීය. 


ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එකී ඖෂධය ලබාගැනීමේ ක්‍රියාවලියකට තම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දෙනු ලැබුවේ එවකට පැවැති වාතාවරණය කෙරෙහි සැලකිල්ලට ගෙන වන්නේ යයිද පැවසූ සාක්ෂිකරු ඒ පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනුම්වත් කළ යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ යැයිද පැවසීය. 


එකී විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ඇගැයීම් කමිටු සහතික සහ රජයට සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් එකී අයදුම්පත් කැඳවිය යුතු බවට පමණක් කළ යුතු බවට එහිදී තීරණය කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය. 


එම සාක්ෂිකරුගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මූලික සාක්ෂි මෙහෙයවීම පස්වරුවේ අවසන් කළ අතර පළමුවන චූදිත වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. විත්තියේ වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම අද (26) වැනි දින පෙරවරු 10.00 දක්වා කල්තැබූ විනිසුරු මඩුල්ල තෙවන දිනටත් අද (26) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සාක්ෂිකරුට අවවාද කළේය.


මෙතෙක් දිනක් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ආරම්භ කොට තිබූ එම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මේ වන විට ඉදිකරමින් පවතින, මින් පෙර වසරක පමණ කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ ශාලා පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හතරවන මහලේ ශාලාවක ඊයේ (26) ආරම්භ කළේය.

වැඩිදුර විභාගය අද (26) දක්වා කල් තැබිණි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0