උමන්දාගේ වාසනාව
මේ උමන්දා කරන පළමු රැකියාවයි. පළමු රැකියාවට පැමිණි පළමු සතියේම ආයතන සභාපතිවරයකුගේ විසල් සුව පහසු කාමරයේ සියලූ අංගෝපාංග හා පහසුකම්වලින් සපිරි මේසයක සිට ප‍්‍රියමනාප රාජකාරියක නිරත වීම කොතරම් ලොකු පින්මහිමයක් නිසා තමන්ට ලැබුණේ දැයි උමන්දාට සිතාගන්නටත් බැරි ගාන ය.
උමන්දාගේ
වාසනාව
උමන්දා උදේ කාර්යාලයට පැමිණි මොහොතේ පටන් මා ළඟ කැරකෙන්නට පටන් ගත්තේ මගෙන් යමක් අහන්නට විය යුතුය. ඕ ඊට වෙලාවක් බලමින් පොටක් පෑදෙන තුරු බලා සිටියාය...
මගෙන් ඊට අනුබලයක් ලැබුණේම නැති තැන ඕ මගේ මේසය ඉදිරියේ ඇති පුටුවේ වාඩි වී එක එල්ලේ මා දෙස බලා උන්නාය.
“නර්මදා අක්කිගෙන් මං පුංචි බඩුවක් අහන්න මට ඇත්ත කියනව....”
“මං මොකටද නංගි ඔයාට බොරු කියන්නේ. ඔයාට ඕන දෙයක් අහන්න. දන්නවා නම් කියන්නම්.”
“ඉස්සර අක්කි වැඩ කරන කාලෙත් සර්ට එන ඊමේල්, ෆැක්ස්, ලෙටර්ස් කියවලා මිනිට් කරල සර්ට දුන්නේ අක්කිද...?”
මම ඒ ප‍්‍රශ්නය නිසා තරමක් කල්පනාකාරී වීමි. ඇය එහෙම ඇසුවේ ඇයි දැයි නොඅසා මම මෙසේ කීවෙමි.
“සර්ගේ ලියුම් ටික කඩල බලලා ෆැක්ස් ටික බලලා, සර්ට මිනිට් කරල දෙන එක අපේ රාජකාරියනේ නංගි. ඒත් මට සර් මෙච්චර කාලෙකට ඊමේල් එක චෙක් කරන්න නම් කියල නෑ... ඇයි නංගි... ඔයාට ඒක කිව්වද...?”
“නෑ... මේ... ඔව්... මට ඊ මේලූත් බලන්න කිව්වානේ. සර්ගේ ප‍්‍රයිවට් මේල් එඞ්ඩ‍්‍රස් එකෙන්. දන්නේ නැති නිසයි අක්කනේ ඇහුවේ. අනේ සොරි අක්කි. මොනවවත් හිතන්න එපා...”
එසේ කී ඈ මා තුළ ප‍්‍රශ්නාර්ථයක් පමණක් ඉතිරි කර සභාපති කාමරයේ වූ ඇගේ මේසය ළඟට ගොස් වාඩිවී කල්පනා කරන්නට පටන් ගත්තාය. මට නොකියන කුමක් හෝ දෙයක් ඇගේ හිත තුළ කියා ගන්නට නොහැකිව කැකෑරෙතැයි මට වැටහී ගියේ එවිටය.
උමන්දා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පංචකල්‍යානියක බව මම විශ්වාස කරමි. ඇයට ඇත්තේ වරක් දුටුවෙක් නැවත හැරී දෙවන තුන්වන වරටත් ඕ දෙස බලන අන්දමේ ආකර්ශනීය රූ සපුවකි.
උමන්දා අප ආයතනයට යතුරු ලේඛක ලිපිකාරිනියක ලෙස පැමිණි මුල් සතියේම ඇයට තිබූ ඉල්ලූම නිසා ඕ පවා මවිතයට පත් වූවාය. ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිටි සිව් දෙනාම ඇයව සිය අධ්‍යක්‍ෂ කාර්යාලවල සේවිකාවක් කරගන්නට ගත් උත්සාහයන් ව්‍යර්ථව ගියේ සභාපතිවරයා කුමක්දෝ ඈත ඥාතිත්වයක් ගැන කියා ඇයව සභාපති කාර්යාලයට අනුයුක්ත කරගත් නිසා ය.
“චෙයාමන්ගේ රිලේෂන් කෙනෙක්ලූ... හොඳ වෙලාවට කලින් දැන ගත්තේ. නැත්නම් ඩිරෙක්ටර් කෙනෙක් දෙන්නෙක් වැඩිකල් නොගිහින් හොඳ පරිප්පුවක් කන්න තිබුණා.” සේවකයෝ කියන්නට පටන් ගත්හ.
තරුණ අධ්‍යක්‍ෂවරු සිව්දෙනා ගැන ආයතනයේ පැතිර ගොස් තිබූ අමුතු තාලේ කතා ගැන, පැමිණි මුල් දින කිහිපයේම අසා දැනගත් උමන්දා සභාපති කාර්යාලයේ සේවය කරන්නට ලැබීම වෙස්වලාගත් ආශිර්වාදයක් සේ පිළිගත්තේ පියෙකු හා සම වයසේ සිටි සභාපතිවරයාගෙන් එබඳු අකටයුත්තක් කිසි විටෙකත් සිදු නොවෙතැයි සිතූ නිසා ය.
එහෙත් ඇයගේ පැමිණීම නිසා අප කාර්යාලයේ බරපතළම අපහසුතාවයට පත් කෙනා මා ය. සභාපති කාර්යාලයේ ලේකම්වරිය ලෙස වසර දහයකටත් අධික කාලයක් සභාපතිවරු කිහිප දෙනෙක්ම යටතේ සේවය කර පළපුරුදු මට උමන්දාගේ පැමිණීමත් සමග තරමක විවේකයක් ලැබුණා යැයි කිවහොත් නිවැරදිය. ඒ... මා කළ වැදගත් රාජකාරි අතරින් කිහිපයක් සභාපති අනින් ඇයට පවරා දීමට මට සිදුවූ නිසා ය.
සභාපතිගේ “ඇපොයිමන්ට් ඩයරිය” හා “රාජකාරි දින පොත” මෙන්ම එන යන දුරකථන ඇමතුම් සියල්ල මෙතෙක් කල් කලමනාකරණය කළේ මා ය. එහෙත් උමන්දා පැමිණි පසු සභාපතිවරයාට වඩාත් ළඟින් සිට කළ හැකි සියලූම සැහැල්ලූ රාජකාරි ඈ වෙත පවරා සභාපති කාර්යාලයේ බරපතළ ලිපි ලේඛන ලිපි ගොනු පමණක් කලමනාකරණය කිරීමේ වගකීම මට ලැබිණි... ඒ අතින් බලන විට උමන්දාට පළමුවෙන්ම ඊර්ෂ්‍යා කළ යුතු ආයතන සේවිකාව වන්නේ මා ය.
එපමණක් නොව, කිසිම සභාපතිවරයකුගෙන් සිය ලේකම්වරියක වෙත නොලැබුණ අන්දමේ වරප‍්‍රසාද රාශියක් ද උමන්දාට ලැබිණි.
සභාපති කාර්යාලයේ විසල් ඉඩකඩ පරිශ‍්‍රයේ මෙතෙක් කල් තිබුණේ සභාපතිගේ මේසය, අමුත්තන් පැමිණි විට වාඩිකර රඳවා තබාගන්නා සුව පහසු පුටු සැටිය, සභාපතිගේ කම්පියුටර් මේසය, සභාපතිගේ තිළිණ පදක්කම් හා විශේෂ සමරු ත්‍යාග රඳවා තබන අලංකාර රාක්කය, කිසිදිනක පිටුවක්වත් පෙරලා නොලබන වටිනා පොත් පත් රැසක් සහිත අලංකාර පොත් රාක්කය... සාකච්ඡා මේසය වැනි අත්‍යවශ්‍ය කාර්යාලයීය බඩු භාණ්ඩ කිහිපයක් පමණි. ලේකම්වරිය ලෙස මෙතෙක් කල් මා රාජකාරි කළේ සභාපති කාමරයත් සභාපති කාර්යාලයත් අතර පැවති හුදෙකලා කාමරයේ සිටය. සභාපති අමතන ඕනෑම විටක තත්පර දෙකෙන් තුනෙන් ඔහු ළඟට යාමට දොරක් හා සභාපති කාමරයම පෙනෙන ලෙස නිමවූ වීදුරු කවුළුවක් ඒ කාමරයට තිබිණ... සභාපති කාමරයේ ම නොසිටියා කියා මගේ රාජකාරියට මෙතෙක් කල් කිසිදු බාදාවක් නොවීය...
එහෙත් උමන්දා පැමිණිදා සිටම සභාපති කාර්යාලයේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක්විය. උමන්දා පැමිණි දිනට පසු දිනම සභාපතිවරයා ආයතනයේ සිවිල් ඉන්ජිනේරුවා හා ඉදිකිරීම් නඩත්තු අංශයේ ප‍්‍රධානියා කාර්යාලයට ගෙන්වා ගත්තේය. මටත් උමන්දාටත් දෙදෙනාටම කාර්යාලයට එන්නට සභාපතිවරයා දැන්වීය...
“ඔබතුමා අදම මේ කාමරයට අලූත් ලේකම් මේසයක්, කම්පියුටරයක්, ප්‍රින්ටරයක්, දුරකථනයක් හයිකරන්න ඕන. අද ඉඳල උමන්දා මිස් මේ කාමරයේ ඉඳල මගේ පුද්ගලික සහකාර විදියට කටයුතු හොයල බලල වැඩ කරාවි. මට එන ඔක්කොම ඊමේල්, ලියුම්, දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ ඔක්කොම මේ මිස්ගේ මේසයට, ඇවිත් අවශ්‍ය නම් විතරක් මාව යොමු කරන්න පුළුවන් විදියට කනෙක්ෂන් හදන්න...”
“සර්... මෙතන තව මේසයක් දැම්මොත් සර්ගේ ඔෆීස් එකේ සෙටින්ස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා” නඩත්තු ඉදිකිරීම් අංශයේ ප‍්‍රධානියා කීවේය.
සභාපතිවරයා නලල රැලි ගන්වා කණ්ණාඩි දෙකට යටින් ඔහු දෙස බලා මද වේලාවක් සිට පුටුව පස්සට ගත්තේය.
“තමුන්ගේ නම...?” ඔහු ඇසුවේය.
“මම නාමරත්න... සර්...”
“නාමරත්න මෙහෙට වැඩට ඇවිත් කොච්චර කල්ද...” උපැස් යුවළ ගලවා මේසය මත තබා පුටුවේ හරිබරි ගැසී වාඩිවෙන විට මම නාමරත්නගේ ඉරණම හා එන පොට හොඳ නැති බව වටහා ගත්තෙමි.
“ප‍්‍රධාන කාර්යාලයේ නඩත්තු අංශයට ඇවිල්ලා දැන් අවුරුදු 8 යි... ඊට කලින් හිටියේ අනුරාධපුර ට්‍රේනින් සෙන්ටර් එකේ සර්...” නාමරත්න කීවේය.
“අවුරුදු අටක් මෙතන රාජකාරි කරලත් තමුසෙ ඉගෙන ගෙන නැද්ද ආයතන ප‍්‍රධානියා යමක් ඉල්ලන කොට ප‍්‍රශ්න කර කර ඉන්නේ නැතුව ඒක කරල දෙන්න...”
සභාපති ගිගුරුවේය.
“හරි සර්... මම ඒක කරවන්නම්. අපි මෙතනට අලූත් මේසයක් ඩිසයින් කරමු. මේ සෙටප් එක මෙහෙමම තියෙද්දි මේසයක් ඉන්සර්ට් කරන එක අමාරු නැහැ. මම ඩිසයින් කරලා ඒකේ ප්‍රින්ටවුට් එකක් ගෙනල්ලා පෙන්නන්නම්...”
“මගුලේ ප්‍රින්ට් අවුට් නොවෙයි අයිසේ. වැඬේ කරනවා... අදම... මේ දැන්ම පටන් ගන්නවා... යනවා...”
සභාපතිතුමන්ට මේ තරම් කේන්ති යන්නට දෙයක් වූවා යැයි මම නොසිතමි. එහෙත් උමන්දාට නොතේරුනාට ඇය එයින් ලොකු අපහසුතාවකට පත්වන්නට යන බව පමණක් මම තේරුම් ගත්තෙමි...
ඉන්ජිනියර්, නාමරත්න හා මම... අපි තුන්දෙනාම සභාපති කාර්යාලයෙන් එළියට ආවේ එකටය. උමන්දා පමණක් සභාපතිවරයා ළඟ රැඳී සිටිද්දී මම මගේ ආසනය වෙත පැමිණ ඉඳගත්තෙමි.
“මොකද අර යකාට අරකට අච්චර ඩෝං ගියේ... කවුද නර්මදා මිස් ඒ කෙල්ල...” ඉන්ජිනේරුවා පිළිතුරක් අපේක්‍ෂා නොකරම මගෙන් එසේ විමසා දොර ඇරගෙන එළියට යද්දී මා ඒ කිසිවක් නොදන්නා බව ඉඟියෙන් සන් කරමින් බිම බලා ගත්තෙමි...
ඒ මොහොතේම කාර්මිකයන් පැමිණ සභාපති කාර්යාලයේ මේසයක් සවි කළහ. පරිගණක අංශයේ සේවකයෝ ගබඩාවේ තිබූ අලූත්ම අලූත් පරිගණකයක් ගෙනවිත් ඒ මේසය මත සවි කළෝය. කාර්යාලයේ උපකරණවලට සරිලන පැහැය සහිත පුටුවක් එවෙලේම ඇනවුම් කර ගෙන්වා ගැනිණ. තවත් අයකු පැමිණ වසර ගණනාවක් තිස්සේ සභාපති ලේකම්වරිය ලෙස මා භාවිතා කළ දුරකථනය ගලවා ගෙන ගොස් සභාපති කාර්යාලයේ ඉදිවන අලූත් මේසයේ සවිකළේ මගෙන් අවසරයක් වත් නොගෙනය.
උමන්දාගේ මුහුණ මලක් සේ පිපී ඇති අයුරු මට පෙනෙණි. ඇගේ රූමත් මුහුණට මහත් ආඩම්බරයක් ආරූඪ වී ඇති අයුරු මම දිටිමි. ඕ ඇය වෙනුවෙන් ලහි ලහියේ ඉදිවන අලූත් මේසය දෙස බලමින් සතුටින් ඉපිල යද්දී වියපත් සභාපතිවරයා ඇගේ ඒ දඟකාර සුරතලය දෙස බලා ඉදිමින් අප‍්‍රමාණ සතුටක් විඳදරාගනු මට පෙනෙයි...
සියල්ල උපේක්ෂාවෙන් විඳරා ගන්නට මගේ සැමියා කියාදුන් සරල පාඩම මෙනෙහි කරමින් මට දිගු සුසුමක් ගෙන පිටකර ළය සැහැල්ලු කොට ගත්තෙමි...
හවස් වන විට උමන්දාගේ අලුත් ලේකම් මේසය සූදානම්ය. සභාපතිවරයා තම මේසයේ සිට හිස නගා බලන විට ඉදිරියේ උමන්දාගේ රූමත් මුහුණ පෙනෙන ලෙස ඉදිකර තිබූ මේසයේ සිට උමන්දා අන්තර් ජාලයේ සැරිසරයි. ඕ අන්තර් ජාලයේ ෆේස් බුක් එකෙහි අලුත් මිතුරු මිතුරියන්ගේ පණිවිඩවලට උත්තර යවමින් මොන මොනවාදෝ ටයිප් කරයි. ඊට කෙලින්ම ඇති මේසයේ සිට සභාපතිවරයා කුමක්දෝ ලිපිගෙනුවක් විමසිල්ලෙන් බලන්නාක් මෙන් නෙත් යටින් උමන්දා දෙස සැරින් සැරේ බලනු මට පෙනෙයි.
මේ උමන්දා කරන පළමු රැකියාවයි. පළමු රැකියාවට පැමිණි පළමු සතියේම ආයතන සභාපතිවරයකුගේ විසල් සුව පහසු කාමරයේ සියලූ අංගෝපාංග හා පහසුකම්වලින් සපිරි මේසයක සිට ප‍්‍රියමනාප රාජකාරියක නිරත වීම කොතරම් ලොකු පින්මහිමයක් නිසා තමන්ට ලැබුණේ දැයි උමන්දාට සිතාගන්නටත් බැරි ගාන ය.
ඒ සඳහා උමන්දාට ඇති ඉහළම මූලිකම හා එකම සුදුසුකම ඈ සතු රූප කල්‍යාණයම පමණක් බව උමන්දා දැන නොසිටියාට මා දැන සිටියෙමි. මා පමණක් නොව, උමන්දාගේ අලුත් වාසනාව ගැන ඇසූ අප ආයතනයේ තුන්හාරසිය ගණනක් වූ සේවක මණ්ඩලයම ඒ රහස දැන සිටියාට සැකයක් නැත.
නඩත්තු අංශයේ ප‍්‍රධානී නාමරත්න ඇතුළු සේවකයෝ ගතව ගිය ඒ පැය කිහිපයට කොතරම් විශාල ප‍්‍රසිද්ධියක් උමන්දාගේ අලුත් පත්වීම ගැන දී ඇත්දැයි මා සිතා ගත්තේ ඒ හවස් වරුවේ මට පැමිණි දුරකථන ඇමතුම් ගණන නිසා ය.
බැරිම තැන මම දුරකථන සම්බන්ධිකරණ අංශයට කතා කළෙමි.
“මම චෙයාමන් ඔෆීස් එකෙන් නර්මදා කතා කරන්නේ. මට එන කිසිම කෝල් එකක් පුරුදු විදියට පරණ ෆෝන් එකට දාන්න එපා. ඒ ෆෝන් එකේ දැන් ඉන්නේ උමන්දා මිස්. මට එතනට දුවන්න බෑ.’’
ආයතනයේ සේවිකාවෝ හොඳට නරකට දුකට සතුටට.. ආදී සියල්ලටම කතා කරමින් මගෙන් විමසන ප‍්‍රශ්නවලට උත්තර නොදී මම එසේ කීවේ ඔවුන්ගේ කරච්චලයෙන් බේරෙන්නට බැරිම තැනය.
උමන්දා තවත් කාන්තාවකගේ ඊර්ෂ්‍යාවට ලක් විය යුතු අන්දමේ වාසනාවන්ත ප්‍රියමනාප එකියක බව සැබෑය. ඕ උසය. උසට සරිලන ලෙස මහතය. කළු පැහැති ඝණ පුළුල් වරලස දෙදන තරමට ම දිග ය. පුළුල් නලල් තලයකුත් සිහින් ඍජු නාසයකුත් මනාව නිර්මාණය වූ රතු තොල් සඟලකුත් සහිත ඒ මනරම් මුහුණ තරම් සඳ ලස්සන නැත. ඉටියෙන් වාත්තු කලාක් මෙන් “මනාව උස් පහත්ව” සුසැදි රූ සපුව පංචකල්‍යාණයෙන් යුතු ලලනාවක් මේ වාගේ යැයි කියා පෑමට කදිම රූපකයක් බඳු ය.
ඒ සියල්ලටම වඩා ඕ හුග දෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක් වූයේ ඇවිදින් මාසයක් වත් නැතිව ඕ දැන් භුක්ති විඳින කාර්යාලයීය වරප‍්‍රසාද සමුදාය දකින විට ය..
එහෙත් ඒ සියල්ලන්ටම වඩා උමන්දාට ඊර්ෂ්‍යා කළ යුතු කාන්තාව වන මම හැකි තරම් ඕ දෙස උපේක්ෂාවෙන් බලා සිත සනසා ගන්නට වෑයම් කළෙමි...
සියල්ල සාමාන්‍ය දේවල් බවට පත් කරමින් දින සති මාස ගණනින් කාලය ගෙවී ගියේය. උමන්දා සභාපති කාර්යාලය වැඩට පැමිණි මුල් දිනවල හරි ක්‍රියාශීලීය. කඩිසරය. සභාපතිතුමන්ගේ කාර්යාලයීය වැඩ රාජකාරිවලට අමතරව ඔහුගේ පුද්ගලික අවශ්‍යතා පවා මහත් උනන්දුවෙන් සොයා බැලූවේ ඇය ය. සර්ට නිසි වෙලාවට කෑම ගැනීමට මතක් කිරීම, බෙහෙත් බීමට මතක් කිරීම, තේ ගෙනවිත් දීම, කෑම ගෙනවිත් නොමැති දිනවල සහායකයන් යවා කෑම ගෙන්වා දීම ආදිය කරන්නේ ද ඇය ය. ඒ සියල්ල ම මා සභාපති කාර්යාලයේ ලේකම්වරිය ලෙස කළ සේවය ඉක්මවා ගිය “වැඩි සැලකිලි” බව ඈ නොදැන සිටියාය. මා ඒවා ඇයට කියන්නට ගියේ ද නැත.
දිනක් උමන්දා සභාපතිතුමන් නැති වේලාවක සිනහසෙමින් මා ළඟට පැමිණ හරි අපූරු කතාවක් කීවාය...
“අක්ක දන්නවද අද වෙච්ච වැඩක්?”
“මම කොහොමද දන්නේ. ඔයා කියන්නේ වත් නැතුව...” මමත් ඊට විහිළුවෙන්ම උත්තර දුනිමි.
“සර් මට මරු කතාවක් කීවනේ.”
“මොකක්ද ඒ...?”
“මම උදේ වොෂ් රූම් යන්න ලෑස්ති වුණා”
“ඉතින්...?”
“සර් ඇහුවා කොහේද යන්න හදන්නේ මේ වැඩ තියෙද්දි කියලා. වැඩක් තිබුණෙත් නැහැ. මම කිව්වා පහළට ගිහින් වොෂ් රූම් ගිහින් එන්නම් කියලා... දන්නවද ඒකට සර් කියපු කතාව...?”
“මොකක්ද...? වල් කතාවක් වත් කීවද සර්...! ඔහොම හිටියට නාකි මනමාලයා.”
“ඇයි... අක්කිටත් මනමාලකම් කරන්න ඇවිත් තියනවද...”
“නැහැ වදේ... එහෙනම් තට්ටෙ පලනවා. හරි ඉතින් ඔමරිය නැතිව කියපන්කෝ මොනවද කිව්වේ කියලා.”
“කිව්වේද... කිව්වේ වොෂ් රූම් එකක් මේ ඔෆීස් එකේ තියාගෙන මොකටද එහෙ මෙහේ දුවන්නේ කියලයි. අද ඉඳල මටත් ඒකටම යන්න කිව්වා...”
උමන්දා එසේ කියන විටම මගේ මතකයට ආවේ මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ කෙටිකතා පොතක පළවූ එක්තරා කෙටි කතාවකි. එහි එන සංස්ථා සභාපතිවරයා තම රූමත් තරුණ ලේකම්වරිය බාත් රූම් ගිය පසු ඇයට නොදැනෙන්නට දොර ළඟට වී ඇතුළෙන් එන ශබ්ද අසා සිට ආශ්වාදයක් ලබන සිද්ධිදාමය මගේ මතකය හරහා ඇදී ගියේය. ඒ කතාවේ වයෝවෘද්ධ මනමාල සභාපති එතනින් නතර වූයේ නැත. ඇය පැමිණි පසු බාත්රූමය ඇතුලේ ඉතිරි වූ ඇගේ සුවද මැකෙන්නටත් පෙර ඊට රිංගාගෙන මද වේලාවක් සිට ආපසු ඒම ඔහු පුරුද්දක් කොට ගත්තේය.
මම ඒ කෙටි කතාවේ විස්තරය උමන්දාට කියා දුනිමි... ඕ එය අසා විශ්මයටත් ලජ්ජාවටත් පත් වී මෙසේ කීවාය.
“හරි පුදුමයි අක්කි... මටත් ඔය දේමනේ වුණේ. මම වොෂ් රූම් ගිහින් ප්ලෂ් කරල එළියට එනකොටම මෙන්න අපේ සර් දොරකඩ... මම බය වුණා. සර්... කියල අහනකොට හිනාවෙලා සර්රුත් දොර ඇරගෙන ඇතුළට ගියා. මට ඒකේ අමුත්තක් එවේලේ දැනුනේ නැහැ. මට අක්කි කියනකොට තමයි මතක් වෙන්නේ.
ෂිහ්... මං මහ ගොනී. ආයේ නම් යන්නේ නැහැ ඔය වොෂ් රූම් එකට කවදාවත්...”
උමන්දා එසේ කියා ගියත් ඕ එම වොෂ් රූම් එකට යාම පසුදා සිට අත්හලේ නැත. ඕ ක්ලීනින් සර්විස් වල සේවකයන් ගෙන්වා ගනිමින් ක්ලීන් කරවාගෙන හැමදාමත් ගියේ එම වොෂ් රූම් එකටමය. එහෙත් එක් දෙයක් සිදුවිය. ඇය මා සමග කතා කරනා එක ටිකින් ටික අඩු කළා ය...
දිනක් මට දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ කාවින්දි මිස් හදිසියේම කතා කළේය.
“නර්මදා මිස්ට පිටින් කෝල් එකක්.”
“කවුද කියල ඇහුවේ නැද්ද කෙල්ලේ...”
“ඇහුවා... විස්තර කියන්නේ නෑ. මිස්ගේ හස්බන්ඞ් පත්තරේට ලියන ආටිකල්ස් කියවන රීඩර් කෙනෙක් කියලයි කිව්වේ. මිස් එක්ක ටිකක් කතාකරන්න ඕනලූ.”
“හරි වැඩක්නේ. එහෙම නම් එයාට කතා කරන්න එපායැ...”
“අනේ මිස් චුට්ටක් බලන්න. දැන් මේ ලයින් එකේ ඉන්නවා. දැන් දෙතුන් පාරක්ම ගත්තා...”
“හරි දාන්නකෝ බලන්න...”
එහා කෙලවරින් ආවේ ආචාරශීලී පිරිමි කටහඩකි. ඔහු මා ගැන හොඳින් දන්නවා සේ කතා කළේය.
“මම කසුන් ජයවර්ධන. ඔබතුමීගේ මහත්තයා.. කුමුදේශ් ගුණවර්ධන පත්තරයට ලියන දේවල් නොවරදවාම කියවන පාඨකයෙක්. නර්මදා ගුණවර්ධන මිස් ගැනත් මම හොඳට දන්නවා. මම ඔබතුමීගෙන් උදව්වක් බලාපොරොත්තුවෙනුයි කතා කළේ... කරුණා කරල මට උදව් කරන්න...”
“ඔයා කවුද මිස්ටර්... මම මොනවද ඔයාට කරන උදව්ව.”
“මම උමන්දගේ බෝයි ෆෙන්ඞ්. ටවුන් හෝල් කමර්ෂල් බෑන්ක් එකේ වැඩ කරන්නේ. අපි ලොකු ප‍්‍රශ්නයකට මැදිවෙලයි ඉන්නේ මිස්. මට මිස්ගෙන් උදව්වක් ඕන. ඒක මෙහෙම ජෙනරල් ෆෝන් එකකින් කියන්න බැහැ. මට කරුණා කරල මිස්ගේ ප‍්‍රයිවට් කන්ටෑක්ට් ලයින් එකක් දෙන්න. එහෙම නැත්නම් මිස්ව හමුවන විදියක් කියන්න.”
මේ මොන කරදරයක්ද... ඒපාර එන්න යන්නේ... එසේ සිතූ මම ඔහුගේ සිත නොරිදෙන්නට මෙසේ කීවෙමි....
“අනේ මිස්ට කසුන්... සොරි... මට ඔයාට උදව් කරන්න විදියක් නෑ...”
“මට.. උමන්දා මිස් ගැන කියල තියනවා. උමන්දා ආපු නිසා මිස්ගේ ජොබ් එකට ලොකු ප‍්‍රශ්නයක් වුණ බවත් උමන්දා කිව්වා. එහෙම වෙලත් මිස් උමන්දා එක්ක චුට්ටක්වත් තරහ වුණේ නැති කරුණාවන්ත කෙනෙක් කියලත් එයා මට කියලා තියනවා. උමන්දා අහිංසක ළමයෙක් මිස්. ඔය ආපු මුල්ම රැකියාව. මට ඕන එයා ප‍්‍රශ්නයකට මැදිවෙන්න කලින් බේරගන්න. මට ඒකට මිස්ගේ උදව් ඕන.”
“හරි... මට මිස්ට කසුන්ගේ නම්බ එක දෙන්න... මම ටිකක් කල්පනා කරල මගේ හස්බන්ඩ්ගෙනුත් අහල ඔයාට කතා කරන්නම්. අනවශ්‍ය ප‍්‍රශ්නවලට මැදිවෙන්න මම කැමති නෑ... ඒකයි.”
“මිස්... මම කතා කළා කියල අපේ උමන්දට දැනගන්න ඉඩ තියන්න එපා...”
“ම්... හරි... මම කියන්නේ නෑ...”
මගේ මේසය මත තිබූ, දුරකථන කිහිපයක් එකවර සම්බන්ධ කළ හැකි දුරකථනය උමන්දාගේ මේසය මතට ගිය දාට පසුවදා මට කුඩා ප‍්‍රමාණයේ දුරකථනයක් සවි කළේය. මට ඇමතුම් එන්නේ දැන් ඒ කුඩා දුරකථනයටය. උමන්දාගේ හිතවතාගේ ඇමතුමට උත්තර දී රිසීවරය තබන ගමන් මම සභාපති කාමරයට ඇති වීදුරු විවරයෙන් ඈ සිටින දෙස බැලුවෙමි. උමන්දා අන්තර් ජාලයෙන් කුමක්දෝ බලමින් සිටියි. ඕ පරිගණක තිරය දෙස බලනවාට වඩා කළේ කල්පනා කරන එක ය. ඇයට මොකද වුණේ... ඈ මෙන්ම මමත් ඈ ගැන ලොකු කල්පනාවකට වැටුණේ ඊළඟට කුමක් කරම්දෝ කියා ය.
කසුන්ගේ දුරකථන අංකය ලියාගත් කොළ කැබැල්ල මම හතරට නමා අත් බෑගයේ වූ කුඩා සටහන් පොත ඇතුළට දමා ගතිමි. මම ඊළඟට ඇමතුම ගත්තේ කුමුදේශ්ටය. කුමුදේශ්ට මම කසුන් ගැන සියලු විස්තරය කීවෙමි.
“හරි... මිනිහට කෝල් කරල කියන්නකෝ හවස 4.30 ට නුගේගොඩ පීට්සා හට් එකට එන්න කියලා. ආවොත් හමුවෙමු. නැත්ම් අල්ලලා දාන්න...”
ඒ අනුව මම කසුන්ට කුමුදේශ් කී පණිවිඩය දැනුම් දුන්නෙමි. කුමුදේශ් හමුවන්නට ඉඩ ලැබීම ගැන කසුන් වඩාත් සතුටු විය.
හවස 4.30 ට කුමුදේශ් නුගේගොඩට පැමිණෙන විට මා සිටියේ ඔහු එනතුරු අනුලා විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුමේය. අපි දෙදෙනා “පීට්සා හට්” එකට එන විට විනාඩි කිහිපයක් පරක්කු වී තිබිණි.
පීට්සා හට් එක කෙළවර හුදෙකලා මේසයක වාඩි වී නොඉවසිල්ලෙන් බලා සිටින ප්‍රියමනාප කඩවසම් තරුණයා කසුන් බව තේරුම් ගත් අපි ඔහු ළඟට ගියෙමු...
ඔහු ඉතා ආචාරශීලීව කුමුදේශ්වත් මාවත් පිළිගත්තේය.
“අනේ... සොරි... මම ඔයාලට අමතර කරදරයක් කළා නම්... මට හිතුණා මේක මිස් එක්කම කතා කරන එකයි හොඳ කියලා.”
“වරදවා තේරුම් ගන්න එපා මිස්. උමන්දා කියන්නේ මේ ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අවුට් වෙච්ච, ලෝකේ ගැන වැඩි දැනුම් තේරුම් නැති අත්දැකීම් අඩු අහිංසක ළමයෙක්. හරිම බොළඳයි. ඒ වගේම බයයි. අපි යාළුවෙලා ලබන අවුරුද්දේ මැරි කරන්න ඔක්කොම ගෙවල්වලින් කතා කරගෙනයි ඉන්නේ. මෙයාට මේ රස්සාව ගැලපෙන්නේ නැහැ. ඒත් ගෙදර නිකන් ඉන්න බෑ කියපු නිසයි මම ඕකට යන්න දුන්නේ. රස්සාව හොයාගෙන තියෙන්නේත් උමන්දලයි තාත්තා ඔය මිනිස්ටර් එක්ක තියන හිතවත්කමක් නිසයි.”
“දැන් මොකක්ද තියන ප‍්‍රශ්නය.. කුමුදේශ් ඇසුවේය...”
“ප‍්‍රශ්නය... මෙයාට චෙයාමන් වැඩ වගයක් පවරලා. ඒ අතරේ චෙයාමන්ගේ ඊමේල් චෙක් කරන්නත් කියලා. ඔෆීෂියල් මේල් එක නම් කමක් නැහැ. ප‍්‍රයිවට් මේල් එකත් බලලා චෙක් කරලා මැසේජ් ගන්න කියල තියනවා. මිස්ටත් කලින් එහෙම කියල තියනවද...?”
“නැහැ. මට නම් කවදාවත් එහෙම කියල නැහැ. ඒත් මම හිතුවා උමන්දාව මේසයක් දාල ඇතුළට ගන්න කොට චෙයාමන් අමුතු පොටකට සැරසෙයි කියලා.”
“ඉතින් ඔයාල බැලූවේ නැද්ද මේල් එකේ මොනවද තියෙන්නේ කියලා. කොහොමවත් “පර්සනල් මේල්” එකක් බලන්න කියල කියන එක මහ නරක වැඩක්...” කුමුදේශ් කීවේය.
“මොකද නැත්තේ... මම බැලූවා උමන්දා ළඟ පාස්වර්ඩ් එක තියනවානේ. බලනකොට ඒකේ ඇති මැසේජ් එකක් නැහැ. තනිකරම තියෙන්නේ මහ අසභ්‍ය වීඩියෝ ක්ලිප් ඇටෑච් කරපුවා...”
“මේකා මහ පුදුම පිස්සෙක්නේ... මේනියා කාරයෙක්... ඔයා කොහොමද මෙච්චර කාලයක් ඌ ළඟ වැඩ කළේ...” කුමුදේශ් මට දෝෂාරෝපණය කරන්නාක් මෙන් අසා සිටියාය... මම නිරුත්තර වීමි.
“අපට බැරිද මේ කේස් එක ගැන “ලීගල් ඇක්ෂන්” එකක් ගන්න...’’ කසුන් කුමුදේශ් දෙස බලා කෙළින්ම ඇසුවේය.
“හොඳටම පුළුවන්... ඒත් ඕවා ගැන රටට හෙලිදරව් වෙනකොට කාට කාටත් තියන ලජ්ජාව...” කුමුදේශ් ජනමාධ්‍ය වේදියකු ලෙස උත්තර දුන්නේය..
“මම කියන්නම්. අපි ඕවා වැඩිය ප‍්‍රසිද්ධ නොකර උමන්දාට කියමු අංශ මාරුවක් ගන්න කියලා... උමන්දාට පුළුවන් “ලේකම්වරියක් හැටියට” තමන් පුහුණුවක් ලබලා නැහැ.. කියල පර්සනල් ඩිපාර්ට්මන්ට් එකට ලියුමක් දීල අංශ මාරුවක් ඉල්ලන්න.” මම කසුන්ට කීවෙමි...
“ඒක හොඳ අදහස. ඒත් මම හිතන්නේ දැනටමත් ප‍්‍රමාද වුණා වැඩියි කියලයි...” කසුන් කීවේය...
ඒ අයුරින් ඇදී ගිය කතාබහ වැඩි වේලා නොගොස් ඉවර කර, අපි විසිර ගියේ අප මෙසේ හමුවූ බව උමන්දාට වත් නොකියන්නට කතිකා කරගෙනය...
පසුවදා මම උදේ සිට බලා සිටියේ උමන්දා වැඩට එනතුරු ය. ඇය එදා දවසේම ආවේ නැත. ඊට පසුදා උදයේ මම වැඩට ගියේ තරමක් ප‍්‍රමාද වීය. එදිනත් ඇය පුටුවේ සිටියේ නැත... චෙයාමන් මහත් කලබලයෙන් එහෙ මෙහෙ දුව ගියත් ඇය ගැන විමසුවේ නැත... රාජකාරි වැඩ රැසකට ඔහු අමාත්‍යංශයට ගිය නිසා ඇය ගැන නිනව්වක් නොතිබුණා වන්නට හැක...
මම එදා දහවල් සිටියේ කුමුදේශ් අලුතින් ගෙන ආ නවකතාවක් බලමිනි. ප්‍රසාද් මස්ඉඹුල ලියූ “මැයි මාර ප්‍රසංගය” නව කතාව ඔහු හරි අමුතුම තාලයකට ලියූ සිත්ගන්නාසුලු නවකතාවකි. ඊට විචාරකයෝ පත්තරවලට ලියා තිබූ විවේචනවලින් නව කතාව ගෙන, මටත් එය බලන්නට ආශාවක් ඇතිවිය... මස්ඉඹුල පරිසරය වර්ණනා කරමින් ජීවිතයට ගලප්පන අයුරු මොන තරම් ලස්සනද. අපි එළිපිට කතා නොකරන දේවල් පවා සාහිත්‍යයෙන් අපූර්වත්වයෙන් යුතුව කතා කරන්නට හැකිය...
“අක්කි....”
මා ඉදිරියෙන් ඇසුණු අනපේක්ෂිත සුපුරුදු කටහඬ නිසා මම තිගැස්සී ගියේය. උමන්දා වෙනදාටත් වඩා ලස්සනට සිනාවෙමින් මා ඉදිරියේ සිටගෙන සිටියි...
මමද නැගිට ඇයගේ අතින් අල්ලා ගත්තෙමි.
“ඇයි ඔයා ඊයේ නාවේ. මම බලාගෙන හිටියා...” මම කීවෙමි.
“අක්කි... මං ඔයාට පුංචි කාරණයක් කියන්නයි හිටියේ. මට බැරිවුණානේ මං ගැන ඔයාට කියන්න. මම ලබන මාසෙ මැරි කරනවා.”
“මොනවා... ඇයි මේ හදිස්සියේම...”
“මගේ බෝයි ෆ්‍රෙන්ඩ් හදිසියේම මැරි කරලා පිටරට යන්න තීරණය කරලා. අපි ඊයේ ගියා සාරීස් බලන්න...”
“ගත්තද...?”
“ගත්තා... තව බඩු ගන්නත් තියනවා... ඒත් එක්කම ඔයාට කියන්න තව අලුත් ආරංචියක් තියනවා...”
“ඒ මොකක්ද...?”
“මම රස්සාවෙන් ඉල්ලා අස්වුණා. මේක මම කරනවාට මගේ බෝයි ෆ්‍රෙන්ඞ් කැමති වුණේම නැහැ. දැනුයි ඉල්ලා අස්වීම දුන්නේ.”
මම මේ මොනවා වෙනවාද කියා උමන්දාගේ රූමත් මුහුණ දෙස බලා සිටියේ කිසිවක් පටක් පොටක් බේරාගත නොහැකිවය. ඒ සමගම උමන්දාගේ අතෙහි වූ සෙලියුලර් දුරකථනය නාද වන්නට විය.
“අක්කි... මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කතාකරනවා. එයා කා එක නවත්තගෙන ඉන්නවා පාරේ... මම යන්නම් අක්කි. මම ආයෙත් එනවා ඔයාටයි අයියටයි අපේ වෙඩින් එක කියන්න... නොවරදවාම එනවා නේද...?”
“ඕනම දෙයක් කියන්න. අපි නොවරදවාම එනවා...”
මම ඇගේ අත තදින් අල්ලා ගතිමි... ඇය අත මොහොකතින් ආපසු ගනිද්දී ටිකෙන් ටික ඇගේ ඇඟිලි මගේ අතින් ගිලිහී ගියේය. ඕ සිනාසී ආපසු හැරී පඩිපෙළ බැස යන අයුරු දෙස මම බලා සිටියෙමි. ඒ රූමත් රූපකාය ටිකෙන් ටික මා පසුකර ඈත්ව යයි. කිසිවක් හිතාගන්නට ඉඩක් නොතබාම සියල්ල සිදුවී හමාර වූ සැටි හරි පුදුමය...
ශ්‍යාමලී රත්නායක
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

