“සොලොමොන් වෙනුවට ඔලොමොන්ලා අප අමතයි”

නොනවත්වා ඇද හැලෙන වැසි දියෙන්, මහා ඛේදවාචී තත්ත්වයක් රටේ හට ගෙන ඇත්තේය. “2025 නොවැම්බරය” ඉතිහාසගත වන්නේ මුලු රටම “ජලයෙන් භීතියට” පත් කළ මහත් විපතකට ජනතාව ඇද දැමූ, සොබාදහමේ “අකාරුණික ආමන්ත්‍රණය” කිරීමක් ලෙසටය. 

Nov 29, 2025 - 18:23
Nov 29, 2025 - 18:23
 48
“සොලොමොන් වෙනුවට ඔලොමොන්ලා අප අමතයි”

සංවාදයට විවෘත්තයි

සොලොමොන් වෙනුවට

"ඔලොමොන්ලා" අප අමතයි..!

දාවිත්ගේ පුත්‍රයා වූ සොලොමොන් මෙසේ කියයි. “දැහමියා කුස ගින්නේ තියන්නේ නැත. එහෙත්, අදමිටුවාගේ මන දොල නිශ්ඵල කරන්නේ ය.”

මේ මොහොතේ අපේ රට වැසියන්ගේ චිත්ත සන්තානයන් සැලෙමින් තිබේ. ඒ කුමක් නිසාද? මුලු රටම පෙළන දිය රකුසාගේ වියරු බැවිනි.

නොනවත්වා ඇද හැලෙන වැසි දියෙන්, මහා ඛේදවාචී තත්ත්වයක් රටේ හට ගෙන ඇත්තේය. “2025 නොවැම්බරය” ඉතිහාසගත වන්නේ මුලු රටම “ජලයෙන් භීතියට” පත් කළ මහත් විපතකට ජනතාව ඇද දැමූ, සොබාදහමේ “අකාරුණික ආමන්ත්‍රණය” කිරීමක් ලෙසටය. 

අද නොවැම්බර 28 වනදා සිකුරාදාය. මේ මොහතේ රාත්‍රිය තරමටම දහවලද අන්ධකාර ය. මේ වන විට අප රටට කඩා  පාත් වූ විපත නිසා සිය ගණනක් දෙනා මරණය ට පත් වී ඇති බව මම දනිමි. සැඩ ජල පහරට හසු වූවෝ, පස් කදු වලට යට වූවෝ, ගස් ගල් කඩා වැටී ඒවාට යට වී මිය ගියෝ මෙන්ම, අතුරුදහන් වූවෝ ද අති මහත් ප්‍රමානයක් වෙති.

ගණනින් සියය ඉක්මවන, තවමත් සංඛ්‍යාව අවිනිශ්චිත මේ කනගාටු දායක මරණ ගැන අසන කවුරුත් පාහේ සුසුම් ලති. එලෙසම ගේ දොර විනාශ වූ පිරිස ද වෙනත් විපත්තිවලට මුහුණ දී සිටින්නෝද සුලු පටු ගණනක් නොවනු ඇත.

මෙබඳු භයංකර තත්වයක් අහසින් පාත් වූයේ මන්ද? ජලයෙන් ලොව විනාශ වූ “මහා ජල ගැල්ම” සිහි ගන්වන මේ වැස්ස නිමා නොවන්නේ, අපට යමක් සිතන්නට බල කිරීමක් ලෙසින් ය.

අපි සිතිය යුතුව ඇත්තෙමු..... කුමක් ගැනද? අප විපතට පත් වන අන්දම ගැන සිතා බැලිය යුතුව ඇත. 

වැස්ස සුන්දර අත්දැකීමක් බව සැබවි. එහි දොසක් නැත්තේ ය. එහෙත් වැස්සෙන් විපත් ගෙන ඒම නම් අති භයංකරය. අපි වැසි තුනී වී යන්නට ප්‍රාර්ථනා කරන්නෙමු. වැසි දෙවියන් යදින්නෙමු. වැසි පිරිත් සච්ඡායනා කරන්නෙමු. වැසි ගැන කවි, කතා ආදී සාහිත්‍ය කලා නිර්මාණ සිතින් මවන්නෙමු.

එසේ වුවත් මේ එම වැස්ස නම් නොවේ....

ස්වභාවික විපත් ලෙස මිනිස් ලොව වනසන රුදු සැහැසි දේ අතර ජලයෙන් සිදු වන විනාශයන් ගේ රෞද්‍ර ගති අපි දනිමු. ඒවාට අපි බිය වනවා පමණක් නොව, කිසිදු විට එබඳු තත්ත්වයන් ප්‍රාර්ථනා නොකරන්නෙමු. පැතුවා වුවත් නොපැතුවා වුවත්, එබඳු විපතක් මැද්දේ ගෙවෙන මේ දින ගනන අපට දඬුවම් දෙන්නේය.

කැලණි තිස්ස රජ දවසේ අප රට  බිලි ගත් සාගර ජලය, ඉන් වසර දෙදහස් ගනකට පසු යළි අප රට බිල්ලට ගත්තේය. ඒ අපේ දෙනෙත් ඉදිරියේ සිදු වූ සුනාමියයි. එය සිදු වූයේ භූ අභ්‍යන්තරයේ හට ගත් චලනයකින් යැයි පැවසේ. 

එනමුත් පෙර රජ දවස සයුරු දියෙන් අප දඩුවම් ලද්දේ රටේ පාලකයා ගේ සාහසික කම නිසා යැයි කියැවේ. “රාජා භවතු ධම්මිකෝ” කියා දෙසන දහම් පදය එදවසත්, අද මෙන්ම මෙහි දෙසන්නට ඇත. ඇසෙන්නට ද ඇත.

රජවරුන් විසින් බැදි මහා ජලාශ මහ රාශියක් මේ දූපතේ ඇත්තේය. රටේ පාලකයා සහ ජලය අතර කුමක්දෝ සම්බන්ධයක් පවතින්නේ ය. එහෙයින් ම, අපේ රට විපතින් මුදාගන්නට එන රජෙකු ට අපි “දියසෙන්”යැයි කියන්නෙමු. දිය යනුවෙන් ලොව, හෙවත් ලෝකය ද අරුත් ගන්වන බව මම දනිමි.

ඒ රජා දියසෙන් කුමරු, අන් ලෙසකින් ‘රටේ මහා විපතක් සදන කුමරකු’ සේ පහල නොවිය හැකිද? අපි එය නොදන්නවා මෙන්ම අසා තිබුණේද නැත. මහ බඹා මුහුණු දෙකකින් සිටින සේ ශිව, විටෙක ප්‍රේමාන්විත ය. තව විටෙක ඉතා රෞද්‍රය. කතරගම ස්කන්ධ කැමරුගේ අවතාරයක් ලෙස දකින කඩවරටද ස්වරූප දෙකක් ඇති  බව කියති. විටෙක දෙවියන් තවත් විටෙක යකු ලෙසින්ද පෙනී සිටියි.

දියසෙන් තුළ ද එවැනි ස්වරූප ද්වයක් තිබිය නොහැකිද.

රජා ධාර්මික වන්නේ නම්. කලට වැසි ද, අධාර්මික වේ නම්, වැසි වැටී “වැනසීමද” උදා වන්නට පුළුවන. මේ බව අප හොඳින්ම අසා දැන ගත්තේ, බදුල්ලේ  සමන්ත විද්‍යාරත්න ගරු අමාත්‍ය  තුමා ගේ ප්‍රකාශනයකිනි. එය අදත් කිහිප තැනක “පොලා පැන” ඉස්මතු වූයේ ය.

සොලොමොන් ඉපදී සිටියේ අප අමාත්‍ය විද්‍යාරත්න ට බොහෝ පෙර කාලයක ය. මෙයින් වසර තුන්දාහකට පමන පෙර, එදා තිබූ ඊශ්‍රායෙලයේ ය. ඒ මහා පැණවත් සොලොමොන්, “හිතෝපදේශයේ” දහම් සැහැලි හා උපදේශ ගද්‍යයෝ ලියා තිබේ.

ඊශ්‍රායෙල් රට යහපත් ලෙස පාලනය කිරීම සහ ජෙරුසෙලමේ දේවස්තානය ඔහුගේ අනින් නිර්මාණය කිරීම නිසා, සොලොමොන් ඉතිහාසයේ සදා වැජඹෙන්නේ ය.

අපේ රටේ සොලොමොන් ඩයස් නම් පාලකයෙකු ගේ පාලන සමයක් තිබී ඇත. ඒ “ඔලොමොන්” ලා මේ රට ඇද  දැමූ තැන අපට නොරහසකි. අප අද විදින භයංකර විපත් තනන පාලකයින් අතර අපේ “ඔලොමොන්” ඉහළම තැනක සිටී. අපේ ඔලොමොන් “බලය”වෙනුවෙන් සියලු පහත් උපක්‍රම භාවිතා කර ඇත. 

එතැන් පටන් මේ රටේ පාලනය ඩැහැ ගැනීමට මාන බැලූ බොහෝ දෙනෙකුම කළේ රටවැසි දනා නොමඟ යැවීමට “ඔලොමොන් ගනයේ” වැඩ ය. ඒ සඳහා ඕනෑම අන්දමේ පහත් කමක් කරන්නට ඔවුන් පසු බට නොවීය.

“බොරුව” යනු එලෙස ඔලොමොන් ගෙන් අප ලැබූ “මහා උපදේශය” වේ. සිංහලය රජබස වී එම උපදේශ අප නහර ගත වී ඇත. මිනිසාට සේවය කිරීම ගැන කී අපේ ඔලොමොන්, අකාලයේ මරණයට පත් වූ යේ මිනිසෙකු තැබූ වෙඩි පහරකින් ය. 

බොරුවට ආයුශ නැතැයි කියමනකි. අපේ රටේ හිරකරුවෙකු වූ “රොබර්ට් නොක්ස්” එදවස අපූරු ප්‍රකාශයක් කර තිබේ. ඒ අප ගැනය.

“සිංහලයා බොරු කීම පිලිකුලෙන් හෙළා දකී, එහෙත් බොරු කීම ඔහුගේ පුරුද්ද වේ”
අප ගැන මහා වංශයේ වත් මෙතරම් වටිනා සත්‍ය විස්තරයක් නොවේ. බොරුව රජයන්නට පටන් ගත් මේ දේශයේ, සඳෙන් ගෙනා සහල් ද, ධාන්‍ය ඇට අට ද, තවත් එවැනි කියමන් රාශියකට ද, රැවටී.. සිය කැමැත්තෙන් ම බොරු කාරයින්ට මේ රට භාර දීමට අපි කටයුතු කළ අවස්ථා ඇත්තේ එකක් දෙකක් නම් නොවේ.

රොබට් නොක්ස් කී ලෙස, අපි බොරුව පිළිකුල් කරන මුත්,, බොරු කාරයන්ට මහත් සේ ඇලුම් දක්වන්නෙමු. අපට වැරදී ඇත්තේ එතැනය.

මහින්ද රාජපක්ශ පාලනයේ “සුබ අනාගතය” අද අප ලබා සිටින්නෙමු. එදා ඒ රජානෝ අපට පෙන් වූ සුබ අනාගතය කිසිදා උදා නොවන බව දන්නේ වුවද, යම් යම් හේතූන් නිසා අපි ඔහුව ප්‍රිය කලෙමු.

ඉන් පසු ඊළග විකල්පය “යහපාලනය” නම් මහ බොරුව පැමිණියේය. එය කිසිදා අපට අත්විඳින්නට නොලැබෙන බව දන්නා නමුත්, අපි ඒ රසවත් බොරුව ප්‍රිය කළෙමු. හරියටම කළේ මං තමයි කී, ගෝඨාභය ගේ වහසි බස් වලටද අපි මහත් සේ ඇලුම් කළ බව මෑත සතිහාසය සාක්ෂි සපයයි.

හොදම බොරු ටොන් ගනණින් සමාජය මත පත බෑවෙන්නට පටන් ගැනුනේ ඉන් පසුවයි. අරගල කාරයින් පැවසූ නොයෙක් බොරු වලින් අපි “අමන්දානන්දයට” පත් වූයෙමු. “පොහොසත් රටක් - ලස්සන හෙ‍ටක්” ලබාදෙන බව කියන පළමු පැයේදීම අපි චූන් වූයෙමු. ඉතින්, අපි බොරුව අපගේ ආගම කරගෙන සිටින බවට තවත් වෙන කුමන කතා ද.

රොබට් නොක්ස් කියන පරිදි, මේ දේශ වාසී ජනතාව, දෙබිඩි ගති ඇත්තෝ වෙති. පැවැත්මෙන්ම බොරුව ට ලොල් වෙති. බොරු කීමත් බොරු ඇසීමත් මේ දේශවාසී ඔබ අපට මිහිරි වී තිබේ. අපේ බෞද්ධ ඉගැන්වීමේ සිල් පද අතර “මුසාවාදා” කියන බොරු නොකියන සිල්පදය නිති සමාදන් වීම අපගේ මහා බොරුව වේ. අප බොරුවේ උරුමක්කාරයින් වීමේ ආදීනව ලබා, වැනසී සිටින මොහොතේදීත්... බොරුවම රස කර කර සිටින්නෙමු.

ඒ මහා පාපකාරී අදැහැමි බව හේතුවෙන් අපේ සියලු “මනදොල” අද , නිශ්ඵල වී ඇත්තේය. 

බොරු වපුරන්නාගේ ද... බොරුව විශ්වාශ කරන්නාගේ ද... මන දොල නිශ්ඵල වී යන්නේ ය. අපේ සියලු යහපත් බලාපොරොත්තු සඵල නොවන්නේය.

පරිසරය, කාලගුණය, පවා අපට එරෙහි වී ඇත්තේ, අපගේ අධාර්මික බව නිසා විය යුතුය. මේ පවිටු භාවිතාව සුලු පටු කාරණාවක් නොවේ. වහා අවබෝධ කොට නොගත හොත්.. මේ දුර්දාන්ත භාවිතාව පමණක් ම අපගේ විනාශය ට හේතුව වන්නේය.

බොරුව කීමත්, බොරුවෙන් ජනතාව මුළා කිරීමත් මහා අපරාධකාරී ක්‍රියාවකි. වචනයෙන් සිදු කරන අති මහත් විනාශකාරී බොරුව, මිනිසුන් ට ප්‍රිය වුවත්, දෙවිවරු අප්‍රිය කරති. මහා බොදු උරුමය ට පිටු පා සිටින මේ රටේ ජනතාවට දේව ශාපය කඩා පාත් වන බව නොරහසකි. 

මේ දූපතේ මිනිසුන් සිය දහස් ගණනින් මරුට බිලි වී වැළලෙන්නේ කිසියම් ශාපයකිනි. නිදහසින් පසු එලෙස මියැදුනු මිනිසුන් තුළින් අපි යමක් වටහා ගැනීමට හොඳම කාලය උදා වී ඇත. ඒ අනෙකක් නිසා නොව, බොරුව කර පින්නා ගෙන විත්, “මාලිමාවේ” බලමුලුව විසින්, අපට එහි සත්‍ය තාව පෙන්නා දීම සිදු කර ඇති බැවිනි. අප ඔවුන් ගෙන් ඒ ගැඹුරු වැටහීම නොලබන්නේ නම්, සහ ඔවුන් ද, එය වටහා නොගන්නේ නම්...

අපට අත් වන ඉරණම ඛේදවාචී විනාශයකි. මාලිමාව ජවිපෙට මුවා වීම හෝ ජවිපෙ මාලිමාවට මුවා වී සිදු කරන බොරුව මෙරට බොරු ලෝලීන් “ඉතිහාසයේ රැවැටුනු අති භයානකම බොරුව” ලෙස වටහා ගත යුතුය.

තැකීමක් නොමැතිව දිගින් දිගටම සමාජයේ සිදු වන මහා අපරාධකාරී දුශ්ඨ ක්‍රියාවන්වලින් ඉවත් වීම ගැන, මේ එළැඹ තිබෙන කාලගුණ විපත තුළින් දකින්නට උත්සාහ ගනු මැනවි. නරක භාවිතාවේ දරුණු දුර්විපාකයන්ගෙන් කිසිදා කවරෙකුහට වත්  ගැලවෙනු නොහැකිය.

අප ක්‍රියාවෙන් යහපත් මිනිසුන් නොවන්නේ නම්, දේව කෝපය අප සොයා එන්නේය. අහසින් කඩා හැලෙන මහා දිය දහරින් හෝ ගෙන්දගම් වර්ශාවෙන් අපට ගැලවීමක් නොවන්නේය.

2025 නොවැම්බර අගදී මෙවන් මහා “කාලගුණ විපර්යාසයක අනාවැකියක්” දින වකවානු සහිතව දැනුම් දී තිබුණු බව කියති. මෙරට කාලගුණ විමර්ශන ඒකක පමණක් ඒ බැව් කීවේ නම් නොතකා හැරියාට කම් නැත. පූර්ව දැනුම් දීම් නොතකා හැර තිබුනේ “ජාත්‍යන්තර කාලගුණ විමර්ශන ඒකක” පවා එවන් අනතුරක් ගැන කල් තියා දැනුම් දී තිබූ වටපිටාවකය. ඒ කාගේ නම් අවාසනාවක්ද.? 

කඳුකරයට මේ සා විශාල ව්‍යසනයක් අත්පත් වූයේ අධික වර්ෂාව නිසා ඇතිවූ නායයාම් නිසා බව රහසක් නොවේ. කල් තියා තොරතුරු ලැබුණත් ඒවා වැළැක්වීම කළ නොහැකි බව ඇත්තය. එහෙත් ඒවාට ගොදුරු විය හැකි ජනතාව අනතුරුදායක ස්ථානවලින් ඉවත් කිරීමේ මෙහෙයුම දියත් කරන්නට හැකියාව තිබිණි. ඒ වගකීම ඉටු කර තිබේද..? 

නැගෙනහිරට, මහවැලි ගංගා නිම්නයට, මොරගහකන්ද ජලාශ වාරි නිම්නයට, උතුරු මැදට, වයඹට හා දැදුරු ඔය නිම්නයට විපත් ගෙන දුන්නේ “අධික ජලධාරිතාවයකින් පිරි ජලාශවලින්” ජලය එකවර පහළ ප්‍රදේශවලට මුදා හැරිය නිසා ය. අනාගතය දකින බුද්ධිමත් පාලකයෝ මෙවන් මුදා හැරීම් මෙවන් ව්‍යසනකාරී අකාරුණික කාලගුණික තත්වයන් යටතේ එකවර කරන්නේ නැත. 

කාලගුණ අනාවැකි මගින් ඉදිරියේදී ඇතිවිය හැකි වැසි සහ කුණාටු තත්ත්වයන් ගැන අනතුරු අඟවන්නේ ඒවාට සරීලණ පරිදි රටේ වාරි පද්ධතිය කල් තියා සූදානම් කර ගැනීමටය. කාලගුණ අනාවැකියට අනුව අදාළ වරෂාපතනය හා ඊට ගතවන කාලය ගණනය කර එම “ජල සන්නිපාතය” දරාගත හැකි ආකාරයට රටේ වාරි පද්ධතියක් පෙර සූදානම් කර ගැනීම අදාළ වාරි බලවතුන්ගේ වගකීම වේ. එහෙත් “පාර්ලිමේන්තුව නැමැති බංකරය” බිද දමන්නට එන්නයි ජනතාව උසිගැන්වූ ලාල් කාන්ත වන් "ඔලොමොන්" කෙනෙකුගෙන් එවන් වගකීමක් හෝ වගවීමක් බලාපොරොත්තු විය හැකිද..?  

ඉතිහාසය පුරාම මෙවන් “නොතකා හැරීම්” අපට මහත් ව්‍යසන ගෙන දුන්නේ වරක් දෙවරක් නොවේ. සහරාන් නැමැති “භයානක ත්‍රස්තවාදියෙක්” මේ රටේ මහත් ව්‍යසනයකට සූදානම් වෙමින් සිටින බව ජාත්‍යන්තර බුද්ධි තොරතුරු වාර්තා අපට දින වකවානු නම්ගම් සහිතව තොරතුරු ලබා දී තිබියදී අපි ඒවා නොතකා හැරියහ. එවකට රටේ ඉහළම පොලිස් බලධාරියෝ (ඒ පාපකාරීන් දෙදෙනා අදත් නිරුප්පද්‍රිතව ඊටත් වඩා බරපතල තනතුරුවලය.) “එම වාර්තා සුරැකිව ළඟ තබාගෙන” ආරංචිය “නොතකා හැරිය” අන්දම අමුතුවෙන් මතක් කරදිය යුතුද. ඒ පාප කර්මයේ ප්‍රතිඵලය පාස්කු ප්‍රහාරයයි 

මෑතම උදාහරණය විෂ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් ගිහිපයක් අදාළ දිනවකවානු ද සහිතව කොළඹ වරායට සේන්දු වීමට නියමිත බවට ලබා දී තිබූ බුද්ධි තොරතුර නොතකා හැරීමයි. එම නිසා පත විපත මා ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. 

තැකීමක් නැතිකම, ජාතික ව්‍යසනයකට හේතූ වන්නේ යැයි, කියා ඇත්තේ... අසල්වැසි ඉන්දියාව  නිදහස ලබද්දී.. එහි ව්‍යවස්ථාව සම්පාදනය කළ අසිරිමත් මිනිසෙකු වූ “අම්බෙඩ්කාර්” මැතිතුමාය.

එබඳු මිනිස්සු සදා මේ ලොව එකළු කරති. අම්බෙඩ්කාර් ප්‍රභූ වරයෙකු නොවේ, භාරතයේ පහත්ම කුලයක් වන “දාලිත්” කුලයෙන් උපන් මානික්‍යක් බදු පුද්ගලයෙකි. අප රට දෙපයින් සිටුවීම පිණිස ඇවැසි එවැනි මිනිසුන් මෙහි නොමැති වීම, හේතුඵලවාදී ඉගැන්වීම අනුව බලන කළ පැහැදිලි වේ. 

හේතුව අනෙකක් නොව, “වැරදි ක්‍රියාව” වන්නේය. නැතිනම් ක්‍රියාවෙන් වැරදි දේ කිරීමය. එහි ඵලය ලෙස අප ලබන්නේ ම, ජාතික ව්‍යසනයන් මැ පමණී.

පුරවැසියා.

මෙම ලිපිය ආරාධිත විශේෂ ලියුම්කරුවෙකු විසින් ලියන ලදී.

මෙහි පලවන ''අදහස් හා අන්තර්ගතය'' ඔහුට අනන්‍ය ඔහුගේ අදහස් බව 
 කරුණාවෙන් සලකන්න.

කලම්බු රිපෝටර්

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0