ටිල්වින්ගේ හතුරා පැමිණ ඇති වගයි...

“හතුරාට අපි සමාව දෙන්නේ නෑ” යැයි, ටිල්වින් සිල්වා තර්ජනය කර සිටියේ 2025 නොවැම්බර ඉල් මහ විරි සමරුවේ දීය. එම වියරු ප්‍රකාශය ඔහුගේ මුවින් පිට වී ගෙවී ගියේ ඇසිල්ලකි.

Dec 10, 2025 - 01:39
 99
ටිල්වින්ගේ හතුරා පැමිණ ඇති වගයි...

ටිල්වින්ගේ හතුරා

පැමිණ ඇති වගයි...


“හතුරාට අපි සමාව දෙන්නේ නෑ” යැයි, ටිල්වින් සිල්වා තර්ජනය කර සිටියේ 2025 නොවැම්බර ඉල් මහ විරි සමරුවේ දීය. එම වියරු ප්‍රකාශය ඔහුගේ මුවින් පිට වී ගෙවී ගියේ ඇසිල්ලකි.

සමාජය තුළින් නැගුණු ප්‍රතිචාර බොහෝ විය. ඒ හැම එකකින්ම කියැවුණේ, ජනතාවගේ  විමුක්තිය ගැන පුරසාරම් දොඩන ජවිපෙ දේශපාලනය තුළ තිබෙන භියකරු චිත්‍රය පිළිබඳව ය. හතුරා, කවුද යන්න කෙලෙස තේරුම් ගෙන එලෙස ටිල්වින් තර්ජනය කළේ ද ? 

අපට වැටහෙන්නේ, ඔවුනගේ හතුරා වන්නේ, ඔවුන්ගේ බලය හා ඒ මගින් පවත්වා ගෙන යන මර්ධනීය පිළිවෙතට යටත් නොවන යමෙකු වේද, ඒ හැමකෙකුම ඔවුන්ගේ හතුරන් බවය. ඒ ලෙස ඔවුන් වටහා ගෙන සිටින සතුරා වන්නේ ,ඔවුන්ට චන්දය නොදුන් සියලු ජනතාවත්, ඔවුන් ව විවේචනය කරන පොදු මහත් සමාජයත් ය.

ප්‍රජාතන්ත්‍රවාදී ව  චන්ද ක්‍රමය ඔස්සේ, “මාලිමාව සිය සලකුණ” ලෙස පෙන්වා බලය ඩැහැගෙන සිටින්නේ “ජනතා විමුක්ති පෙරමුණ “  බව මෙයින් පැහදිලි වේ. ටිල්වින්, සිය මහලු මනසින් දකින භියකරු සිහිනය එලෙස සමාජය හමුවේ එලි කරන පැයේදීම, සොබාදහම ඔවුන්ගේ පරම හතුරා ලෙස නැගී සිටියේය.

ටිල්වින්... අපි ඔබට මෙසේ කියන්නෙමු. “ඔබේ හතුරා හඳුනා ගන්න ඔබට අවස්ථාව පැමිණ ඇත්තේය”හතුරා මැනවින් අවබෝධ කර ගන්න. හතුරා, සිටින්නේ ඔබ ඇතුළත බව තේරුම් ගන්න.

ටිල්වින් පසුගිය දා බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදුණේ ය. අද ඔහු මේ ආණ්ඩුවේ “ආධ්‍යාත්මික නායකයා” ලෙස පෙනී සිටීමේ උත්සාහයක යෙදෙන්නේ ය. එහෙත්, මේ රටේ නොපැවති “මර්ධනය අවිය කර ගත් පාලනයට” ජනතාව යටත් නොවන වග ඔබ නොපමාව අත්විඳිනු ඇත. මේ රටේ පුර වැසියන්ගෙන් කොටසක් පමණක්... ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පමණක් විශ්වාසය තබා, ජාතික ජන බලවේගයට බලය ලබා දී ඇත්තේය. එම චන්ද දායකයින්ගේ ගනන ලක්ශ හැට අටකි.

මේ රටේ එක්කෝටි හැත්තෑ දෙලක්ශයක චන්ද දායකයින් පිරිසක් සිටින බව අමතක නොකරන්න. බහුතරය නිහඬ කරන්නට ඔබලාට බලය ලබා දී නැත්තේය. ඒ ලෙසටම තවත් දෙයක් ඔබ වටහා ගත යුතුව ඇත්තේය. 
ඔබේ ජවිපෙ කේඩරයේ ලක්ශ තුනක පමන සුලු චන්ද ටික මහ ගොඩක් වූයේ කෙසේද යන්න දකින්න. හැටපන් ලක්ශයක පිරිසක් බලා පොරොත්තු වන්නේ, හතුරා මර්දනය කිරීම නොවේ. ඔවුන්ගේ බලාපොරොත්තු අමතක කිරීමෙන්, ටිල්වින් ඔබ, මහත් විපතක් උදාකර ගන්නේය.

මේ රටේ පාසැලකට දරුවෙකු ඇතුල් කරන තැනේ සිට, යමෙකු මියගිය විට මරන පරීක්ෂණය සිදු කර ගැනීම දක්වා ම ඇත්තේ, ජනතාව පීඩාවට පත් කරන සිදුවීම් ය. මේ රටේ මිනිස්සුන්ට උවමනා කරන්නේ ජීවත් වීමේ පහසුව ය. ඔබලා විසින් ගාල් කර ගෙන සිටින “මාලිමාවේ සිරකරුවන්” විසින්, විද්වතුන් ලෙස පළ කළ අදහස් විශ්වාස කළ ජනතාවක් සිටියේ ය. ඔවුන් ඔබලාගේ කුමන්ත්‍රණකාරී ප්‍රයෝගයට අසුවුණා මිස, ජවිපෙට බලය ලබා දීමේ උවමනාවක් ඔවුන්ට නොතිබුනේය.

“Till win”, එ නම් “දිනන තුරු” ඔබලා බැටළු හම් පොරවා ගෙන සිටි බව, හතුරාට සමාව නොදෙන ප්‍රකාශයෙන් එළිදරවු වූයේය.

අද ඔබ ඇතුළු සියල්ලන් දෙසට ජනතාව ගෙ කෝපය එල්ල වෙමින් තිබේ. ජනතාව හතුරා කවුරු දැයි අවබෝධ කර ගනිමින් සිටී. ඔබලාට සමාව නොදෙන්නට මේ රටේ ජනතාව තීරණය කළ හොත්... ටිල්වින්, ඔබට ඔබේ වියරුවේ බරපතළ කම අත්දකින්නට ලැබෙනු ඇත.

එසේ නොවේවා'යි අපි විශ්වාස කරන්නෙමු. වංචනික ආකාරයෙන් හෝ ඔබලා ලබා ගත් “ජන වරම”ට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම, ඔබලා සතුය. එයට පිටුපා හිඳිමින් ඔබලාගේ යටිබිම් ගත න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන් නිෂ්ඵල වෑයම් පමනෙකි.

අප රට ඉතාමත් වෙහෙසකර ඉරණමකට පත්ව තිබෙන බව සැබෑය. ටිල්වින්,,, වහල හුළඟට ගසා ගෙන ගොස් ඇති විටෙක, ඒ “වහළය පිළිසකර කිරීමේ” කාර්යභාරය ඔබලා භාර ගෙන ඇත්තේ ය.  සුලං හැමූ දිශාව හෝ, සුළඟේ වේගය ගැන ජනතාවට කීමේ උත්සාහය අත් හරින්න. 

මේ හැමූ සුලං තත්වය කලින් දැනුම් නොදුන් පිරිසට දඬුවම් කිරීම ගැන පුරසාරම් නොදොඩවන්න. ඔබේ හතුරන් සමග ඔබලා ඒ වැනි දේ වෙනම විසදා ගන්න. අපට අවශ්‍ය වී තිබෙන්නේ අපේ වහලය හොඳින් පිළිසකර කර ගැනීම ය. ඒ හැර, ඔබලාට ලබා දී තිබෙන අවස්ථාව තුළින් වෙනත් නුඋවමනා දේ නොකරන්න. ගෙබිම ටයිල් ඇතිරීම පසුව කළ හැකිය. ඊට පෙර වහලය ට ප්‍රමුඛතාව හිමි විය යුතු බව තේරුම් ගන්න.

මහින්දට මයිනා කියන්නට මෙරටේ තරැණ පරපුර පෙළඹවූ වෛරී මාවතක සදාතනික තරුණ වෙස් ගෙන පෙනී සිටින මහලු ටිල්වින්, ඔබේ ජීවිතය නිස්කාරනයේ මේ දූපතේ දිය කර හැරිය බව අපගේ වැටහීම ය. මේ රට පාලනය කිරීම පිණිස පවතින පාලන තන්ත්‍රය විනාශ කර, ඒ වෙනුවට ඔබලාගේ “ළදරු වලිප්පු මනෝ විකාර පාලනයන්” ස්ථාපිත කිරීමේ වෑයම හිස් ව්‍යායාමයකි. එය සියවසකට එපිට තිබූ, යල් පැන ගිය උපක්‍රමයකි.

මේ මනුස්ස ලෝකයේ මානවයින් ගේ විශිෂ්ටත්වයන් විසින් ගෙන හැර පෑ විද්‍යාවේ සහ සොබා දහමේ අභිරහස් තුළින්, නිර්මාණය වූ බොහෝ දෑ,  විසිවැනි සියවසේ දී අප සැමගේ දායාදයන් වී හමාරය. අද ඒවා භුක්ති විදින මුළුමහත් ලෝකය විශාල තාක්ෂණික ජවයකින් වේගවත් ගමනක යෙදේ.

මේ වත්මන් ලෝකයට ජෝශප් ස්ටාර්ලින් ගේ භස්මාවශේෂ අවශ්‍ය නොවේ. ඒ අලු නළලේ තවරාගෙන නිගන්ටයින් සේ හිදීමෙන් ඵලක් නොවේ.

“කාල් මාර්ක්ස්”ගේ හෝ “හෙගල්” ගේ හෝ “වලෝද්‍යා” ගේ ළමා කාලයේ “වෛරය ජයගත්” ආකාරයෙන් 21වැනි සියවසේ අභියෝග ජයගත හැකි නොවේ. එබැවින්, ටිල්වින්... මේ මොහොත කළමනාකරණය කිරීමේ විශිෂ්ඨ බව කරා අවධානය යොමු කරන්න. 

ඔබේත් මගේත් හතුරා සිටින්නේ අපේ පරාජය තුළය. පළමු කාරණාව වන්නේ, රටක් වශයෙන් ගත් කල මේ කුඩා දූපත ඉහළට ඔසවා තැබීමේ උවමනාව වන්නේය. එයට බාධා ගෙන දෙනු ලබන, දේ මිස අන් හතුරෙකු මෙහි නොවන්නේ ය.

එම බාධාවන් එකින් එක අල්ලා ගන්නට නොයන්න. එසේ ගියහොත්, ඔබ ඇතුළු ජවිපෙ ක්‍රියාදරයින් පවා මෙහි “හතුරු වෙස් ගත් වග උත්තර කරුවන්” වන දවස ඊළග දවස බව මතක තබා ගන්න. හිල් යට ඇදුම් අදිමින් අනුන්ගෙන් යැපෙන්නන් බව පෙන්වමින් ජනතාවගේ අනුකම්පාව දිනාගත් ඔබගේ ගෝල බාලයන් හා බාල ගෝලයන් “වංචනික කෝටිපතියන්” බව හදුනා ගන්නට ජනතාවට වැඩි කලක් ගතවූයේ නැත. 

අපේ සමාජ ආකල්පයන් ගැන මෙන්ම, කුශලතා රහිත, වෙහෙස වී වැඩ කිරීමට මැළි, ජනතාවගේ “දුර්වල කම” නැමැති හතුරා ට තර්ජනය කරන්න. මේ  රටේ පුරවැසියන් අවදි කරවන යටිබිම්ගත උපක්‍රම සොයන්න. 

ඔබලා පෙර විශ්වාස කළ, “වැරදි මාර්ග” යලි සුද්ධ පවිත්‍ර කරන්නට යෑමේ නරක ක්‍රියාවෙන් යහපතක් අත් කර ගත නොහේ. නව භාවිතාවන් ගැන “මධ්‍යම කාරක සභාවේ” මංත්‍රණය කරන්න. ඒවා “තන්ත්‍ර” ලෙස දේශ පාලනයට එකතු කරන ආකාරය විමසන්න.

අඩුම තරමේ ටී. බී . ඉලංගරත්න මැතිඳුන් ගේ නාමය වැනි නමක්, ඔබේ සලකුණ ලෙස මේ දේශයේ තැබිය හැකි නොවේදැයි කල්පනා කරන්න.

“හතුරා” ඔබ සොයා ආවා නොවේද ටිල්වින්...? කිසිවෙකුත් නොසිතූ හතුරා අහසින් කඩා පාත් වී වැටුණා නොවේද ? ඔබලාගේ හිත් වල හතුරු සිතිවිලි නැගෙන විට සොබාදහමේ හතුරු කම් දහස් ගුණයකින් නැගී එන බව නොවේද සත්‍යය.

ටිල්වින්,  සතුරා සෑම තැනම සිටී. ඒ ඔබේ මත අනුමත නොකරන පිරිස නොවේ. දිළිඳු කම, අසරණ බව, අවස්ථාවන් අහිමි වීම, ඌන අධ්‍යාපනය, දියුණු පහසුකම් නොමැති කම, අවභාවිතාව... මේ ලෙසින් අපව පෙළන හතුරන් නසන්නට ඔබලාගේ කණ්ඩායමට හැකියාව නොමැති නම්, ඒ හතුරාව ජය ගැනීමේ පළමු පියවර  කුමක්දැ, යි නොපමාව සොයන්න.

ගතව ගිය 76 වසරක කාලය තුළ දී... මේ රටේ ජනතාවගේ රුදු සතුරන් අඩපණ කළ, වනසා දැමූ ජයග්‍රාහී මිනිස්සු මෙහි සිටිති. තවම පන පිටින් සිටිති. ඔවුන්ට හිමි ගෞරවය ඔවුන්ට සදා හිමි වේ. අනාගතය එලැඹෙන්නේ ඒ පුවත දෝතින් රැගෙන ය. එදාට ඔබ නොසිටින බව සිහි තබා ගන්න.
 

ටිල්වින්, සියලු සතුරන් සමග “සොබාදහම” ඔබ  සමග සටනට ආවේය. එය ඔබ ඉදිරියේ ය.

දැන් සමාව නොදී සටන් කිරීමට ඔබට අවස්ථාව උදා වී ඇත.

විශේෂ ලියුම්කරු‍වෙකු විසිනි.

මෙම ලිපිය ආරාධිත විශේෂ පියුම්කරුවෙකු විසින් ලියන ලදී.

මෙහි පලවන ඔහුගේ ''අදහස් හා අන්තර්ගතය'' ඔහුට අනන්‍ය ස්වාධීන අදහස් විනා 
''කොළඹ රපෝර්තුව'' වෙබ් අඩවියේ අදහස් හෝ ''මතය'' 
නොවන බව කරුණාවෙන් සලකන්න.

කලම්බු රිපෝටර්

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 1
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0