හෙළ සිනමාවේ අසහාය ගී රැජිණිය “ගීත කෝකිලාවිය ලතා” දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකේය සංගීත අඹරේ දශක හතකට අධික කාලයක් එකලෙස පායා දසත සිය නිමල ස්වරයෙන් එකළු කළ සොමි සඳ බැස ගොස් ඇත්තේය. දේශීය සිනමාවේ සහ සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් “ලතා වල්පොල කෙවිලිය” දැයෙන් සමුගත්ත ද, ඇය ගැයූ දහස් සංඛ්‍යාත ගීතාවලිය පරම්පරා ගණනාවක හදවත් තුළ සදාතනික අනුප්‍රාණයක් වනු නොඅනුමානය. ඇය හුදෙක් ගායිකාවක පමණක් නොව, ලාංකීය සංස්කෘතික අනන්‍යතාවයේ නොමැකෙන කොටසක් “යුගයක්” බවට පත්වූ මහා කලාකාරිනියකි.

Dec 29, 2025 - 07:30
 25
හෙළ සිනමාවේ අසහාය ගී රැජිණිය  “ගීත කෝකිලාවිය ලතා” දැයෙන් සමුගනී

හෙළ සිනමාවේ අසහාය ගී රැජිණිය

“ගීත කෝකිලාවිය ලතා” දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකේය සංගීත අඹරේ දශක හතකට අධික කාලයක් එකලෙස පායා දසත සිය නිමල ස්වරයෙන් එකළු කළ සොමි සඳ බැස ගොස් ඇත්තේය. දේශීය සිනමාවේ සහ සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් “ලතා වල්පොල කෙවිලිය” දැයෙන් සමුගත්ත ද, ඇය ගැයූ දහස් සංඛ්‍යාත ගීතාවලිය පරම්පරා ගණනාවක හදවත් තුළ සදාතනික අනුප්‍රාණයක් වනු නොඅනුමානය. ඇය හුදෙක් ගායිකාවක පමණක් නොව, ලාංකීය සංස්කෘතික අනන්‍යතාවයේ නොමැකෙන කොටසක් “යුගයක්” බවට පත්වූ මහා කලාකාරිනියකි.


1934 නොවැම්බර් මස 11 වන දින රත්නපුරයේදී රීටා ජෙනවිව් ප්‍රනාන්දු නමින් ඇය උපත ලැබුවාය. ඇයගේ පියා වූ ජෝසප් පාවුළු ප්‍රනාන්දු මහතා රත්නපුරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ අතර, මව එලිසබෙත් මියුරියල් නම් වූවාය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නිය ඇයයි. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර “ශාන්ත ඇන්ඩෲ” විද්‍යාලයෙනි. පසුව ඇය කොළඹ “ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමයට” (බොරැල්ල ලුම්බිණි විද්‍යාලය අසල) ඇතුළත් වූවාය.


ඇයගේ සංගීත ගුරුවරයා වූයේ එවකට ප්‍රකට සංගීතවේදියකු වූ “වින්සන්ට් සෝමපාල” මහතාය. වයස අවුරුදු 12 දී ගුවන් විදුලියේ “ළමා පිටිය” හරහා සිය ගායන හැකියාව මුලින්ම ප්‍රදර්ශනය කළ ඇය, ඇයගේ “රීටා” යන නාමය “ලතා” ලෙස වෙනස් කරනු ලැබුවේ, ඇය සමඟ මුල් යුගයේ අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ “සුසිල් ප්‍රේමරත්න” ශිල්පියාගේ මග පෙන්වීම පරිදිය. එය ලෝක පූජිත “ලතා මංගේෂ්කාර්” සිහිපත් කරමින් තැබූ නාමයක් බව කියැවෙයි. මුලදී රීටා ජෙනවිව් ලෙස ගුවන් විදුලියට පිවිසි දැරිය “ලතා ජී. ප්‍රනාන්දු” නමින් සිනමා ලොව දිග්විජය කිරීම ආරම්භ කළාය.


ලතා නැතහොත් රීටා මුලදී ගායනයට පිවිසෙනුයේ පල්ලියේ ගීතිකා ගායනය සමඟය. එහෙත් ඇයගේ ගීතවත් ස්වරය එහි ගීතිකා ගායනා අතර  සිරගත නොවිණ. මුල් යුගයේ ඇය ගේ  තැටියට නැගුණ ගී මෙහිදී උදාහරණසේ දැක්විය හැකිය. ඇය චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන විටද ගායිකාවක හැටියට නමක් දිනා සිටියාය.


1953 වසරේ පෙබරවාරි 14 වැනිදා තිරගත වූ “එදා රෑ” චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූයේ කාරණා කිහිපයක් නිසාය. එය මෙරට චිත්‍රගාරයක (සුන්දර සවුන්ඩ් චිත්‍රගාරය) වැඩ ඇරඹූ මුල්ම චිත්‍රපටය වූ අතර, ලතා වල්පොල මැතිණිය සිනමා පසුබිම් ගායනයට පිවිසියේ ද එමඟිනි. එහිදී ඇය හර්බි සෙනෙවිරත්න සමඟ “තෑගි නම් කෝක උනත් පිරියා” වැනි ගීත ගයමින් සිය ගමන ඇරඹුවාය. රුක්මණී දේවියගෙන් පසු මෙරට සිනමාවේ වැඩිම ඉල්ලුමක් ඇති වූයේ ලතාටය. 1953 දී ඇයට "සුජාතා" චිත්‍රපටයේ ගී ගැයීමට ආරාධනා ලැබුණ ද, එය මඟහැරී ගියේය. සුජාතා තැනූ කේ.ගුණරත්නම් එයින් පසුබට නොවී සිය තුන්වැනි නිෂ්පාදනය වූ “රදළ පිළිරුව” චිත්‍රපටයේ ගායනයට පමණක් නොව රංගනය සඳහා ද  ලතා දායක කර ගත්තේය.


ඇය ගේ මුල්ම සංගීතවේදියා මොහමඩ් ගවුස් වුවද චිත්‍රපට සංගීතයෙහි ස්ථාවර වනුයේ ආර්. මුත්තුසාමි ගේ සංගීත නිර්මාණයන් සමඟය. මුත්තුසාමි අනුකරණ මෙන්ම ස්වතන්ත්‍ර ගී තනු රැසක් චිත්‍රපට උදෙසා නිර්මාණය කළ අතර, එයින් මුල් යුගයේ බහුතරයක් ගැයීමේ වරම ලතාට හිමිවූවාය.එමෙන්ම මුත්තුසාමි විසින් නිර්මාණය කරන ලද ගී බහුතරය පටි ගත කරන ලද්දේ ලංකාවේදීය. එක්කෝ කඳානේ “සුන්දර සවුන්ඩ්” චිත්‍රගාරයේ ය. නැතහොත් කොළඹ බේබෘක් පෙදෙසේ පිහිටි “සිල්වර් ෆෝන්” ශබ්දාගාරයේය. 


චිත්‍රපට පසුබිම් ගායනය සඳහා විශිෂට ගණයේ බොහෝ ගායක ගායිකාවන් වරින් වර දායක වුවද ලතා අනන්‍ය වනුයේ ඇයගේ අනන්‍යතාව රඳවා ගනිම්න් හා අදාල නිළිය ගේ භූමිකාව මෙන්ම ස්වරූපය ද අනන්‍යතාව ද  වටහා ගෙන ගී ගයන්නට  ඇය සතු අසාමාන්‍ය හැකියාව නිසාය. “මාතලන්” චිත්‍රපටයට ඇතුළත් ගී 12 න් 8 ක් ම ගායනා කරනුයේ ඇය විසින්ය. මේ ගී සියල්ල ස්වතන්ත්‍ර ගීතයන්ය. එහි ඇය ක්ලැරිස් ද සිල්වා වෙනුවෙන් මෙන්ම රත්නා කුමාරි වෙනුවෙන් ද ගී ගය්නනීය. 


ඇය ගේ මුල් චිත්‍රපට ගී අතර ඇයගේ ප්‍රතිභාව විමසා බැලිය යුතු  අතිශය විශිෂ්ට ගීතාවලිය “සං‌දේශය චිත්‍රපටයට” ඇතුළත්ය. සුනිල් ශාන්ත ගේ තනු අනුව ආර්. මුත්තුසාමි විසින් සංගීතවත් කළ එහි එන ගී හතෙන් හතරක්ම ලතා ගේ ගායනයෙන් හැඩ වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එහි විටෙක “නළඟනක ලෙසත්” සෙබල මුළුවක ධෛර්ය වඩමවමින් ද තවත් විටෙක ළයාන්විත දරු නැලවිල්ලකට ද ඇය යොමුවෙයි. “යෞවන මදය” සමඟ “රෑන ගිරා” හා “පුන්සද ඒළියයි” ගයන ඇය, ඊට හාත්පසින් වෙනස් “රැජිණ මමයි” ගීයද ගයන්නීය. විශිෂ්ටතම  දරු නැළවිල්ලක වූ “සුදට සුදේ වලාකුළයි” ගයන්නීය. 


එයට පෙර සුනිල් ශාන්තයන්‌ගේම තනුවට බී. එස්. පෙරේරා ගේ සංගීතයට “රේඛාව” චිත්‍රපටය උදෙසා ඇය ගයන “සීගිරි ළඳකගේ මල් වට්ටිය” දරු නැලවිල්ල ද “සංදේශයේ දරුනැලවිල්ල” ද ඇයගේ  ගායන පරාසය පිළිබඳ කදිම උදාහරණයන්සේ ගත හැක්කේය. තවත්  පසුකලෙක ඇය විසින් ගයනු ලබන “ආදරයේ රන් විමනේ” ,(සැනසුම කොතැනද)  “හීන හතක් මැද”, (ගැටවරයෝ)  “රොන් සොයා පියඹන සමනලියක සේ” (ආවා සොයා ආදරේ) වැනි ප්‍රේමය ද විරහවද ගෙන එන ගීතාවලියේ ඇයගේ හඬ විමසා බැලිය යුතුය. 


හෙළ සිනමාව ඔප කළ රංගන ශිල්පිනියන් ගණනාවකගේම හඩට රුවට ගුණයට සරීලන හඩක් හිමි ගායිකාව වීමේ පුන්‍ය මහිමය රුක්මනීගෙන් පසු ලද්දී ලතාවන්ය. කොටින්ම වංශවතී දවුල්ගල ගේ සිට, අයේෂා වීරකෝන්, නන්දා ලීලානායක, රත්නා කුමාරි ද සිල්වා, උදුලා දාබරේ, මල්ලිකා පිලපිටිය. රෝහිණී ජයකොඩි, ෆ්ලොරීඩා ජයලත්,  සන්ධ්‍යා කුමාරි, ක්ලැරිස් ද සිල්වා, රීටා රත්නායක,  පුණ්‍යා හීන්දෙණිය, ජීවරාණි කුරුකුලසූරිය, සුවිනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක, තලතා ගුණසේකර, නදීකා ගුණසේකර, සෝබනී අමරසිංහ, නීටා ප්‍රනාන්දු, විජිත මල්ලිකා, සුමිත්‍රා ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, ශාන්ති ලේඛා. සබීතා පෙරේරා, සුමනා අමරසිංහ. සෝනියා දිසා, මානෙල් වානගුරු, ගීතා කුමාරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, වසන්ති චතුරාණි, දිල්හානි අශෝකමාලා, සංගීතා වීරරත්න, අනර්කලී ආකර්ෂා ඇතුළු රංගනවේදිනියන්  සියයක් පමණ ඇයගේ ස්වරයෙන් අනුප්‍රාණය ලැබුවහ. චිත්‍රපට 600කට අධික සංඛ්‍යාවකට ඇය සිය දායකත්වය ලබා දී ඇති අතර, ඇයගේ හඬින් ඔපවත් වූ ගීතාවලිය අදටත් සිනමා රසිකයන්ගේ මතකයේ සදාතනිකව රැඳී පවතී.


ප්‍රේමසිරි කේමදාසයන් වැනි අතිවිශිෂ්ට සංගීතවේදීන් ලතා වල්පොලගේ හඬෙහි ඇති “ශාස්ත්‍රීය හා භාවාත්මක පරාසය” මනාව හඳුනා ගත්හ. කේමදාස මාස්ටර් නිර්මාණය කළ සංකීර්ණ තනු පවා ඉතා පහසුවෙන් ගායනා කිරීමට ඇයට තිබූ හැකියාව ඔහු නිරන්තරයෙන් අගය කළේය. “සැනසුම කොතැනද” චිත්‍රපටයේ “ආදරයේ රන් විමනේ” ගීතයත්, ගැටවරයෝ චිත්‍රපටයේ “හීන හතක් මැද” වැනි ගීතත් කේමදාස-ලතා සුසංයෝගයේ විශිෂ්ටතම නිර්මාණ වේ. 


ඇයගේ පෞද්ගලික ජීවිතය ද කලා ජීවිතය හා බැඳුණු සුන්දර එකක් විය. “ප්‍රේම තරගය” චිත්‍රපටය ඇයගේ සිනමා ගමන ස්ථාවර කළා සේම, ඇයගේ ජීවන සහකරු වූ ප්‍රවීණ ගායන ශිල්පී “ධර්මදාස වල්පොල” මහතාව ද මුණගැස්වීමට මඟ පෑදීය. 1959 අප්‍රේල් 7 වන දින යුග දිවියට පිවිසි මෙම දෙපළ, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ ජනප්‍රියතම සහ ආදර්ශවත්ම ගායකගායිකා යුවලද විය.


ඔවුන් දෙපළට දරුවන් සිව්දෙනෙකු විය. සුනෙත්, අමිත්, ධම්මිකා සහ චමින්ද එම දූ දරුවන්ය. ලතා වෝ සිය දරුවන් හදා වඩා ගනිමින්ම සිය මුළු ජීවිතයම ගායනය වෙනුවෙන් කැප කළාය. විවාහයෙන් පසු බොහෝ කාන්තාවන් පවුල වෙනුවෙන් සිය දක්ෂතා යටපත් කරගත්ත ද, ලතා සිය වගකීම් මනාව ඉටු කරමින් කලා ජීවිතයද ජය ගත්තාය. 


ඇයගේ පුත් අමිත් වල්පොල ද ධම්මිකා වල්පොලද පසුකලෙක සිය මව සහ පියාගේ උරුමය ඉදිරියට ගෙන යාමට සංගීත ක්ෂේත්‍රයට එක් වූහ. ඔවුන් හා එක්වූ සහකරුවන්ද කලාකරුවන්මැ වූහ.


සිනමා ගීතවලට අමතරව ලතා මැතිණිය බැති ගීත ගායනයේදී දැක්වූයේ අසිරිමත් දක්ෂතාවයකි. බෞද්ධ බැති ගී මෙන්ම කතෝලික බැති ගී ද එකලෙස භාවාත්මකව ගැයීමට ඇයට තිබූ හැකියාව විස්මයජනකය. “නමෝ මරියනි”, “නැමුණු හිසින් යුතුව”, “සිරිපාදේ වඳිමු” වැනි ගීත ඒ සඳහා කදිම උදාහරණ වේ.


ඇයගේ මෙම අසහාය සේවය වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාව සම්මානය ඇතුළු දේශීය හා විදේශීය සම්මාන රැසක් ඕ ගායනවේදිනියක් ලෙස ගතකළ 70 වසරක කාලයේදී හිමිකර ගත්තීය. රජය විසින් පිරිනමනු ලබන උසස්ම ගෞරව නාමයන් වන “කලා ශූරී” සහ “විශ්ව ප්‍රසාදිනී” සම්මානවලින් ද ඇය පිදුම් ලැබුවාය.


ලතා වල්පොල යනු ශ්‍රී ලංකාව සතු අභිමානයකි. අපේ රටේ ඉපදී, දේශීය සිනමා සංගීතය පෝෂණය කළ ඇය, ලෝකයේ වෙනත් රටක උපන්නා නම් මීටත් වඩා ඉහළ ජාත්‍යන්තර ගෞරවයක් ලබන බව නොඅනුමානය. එහෙත් ඇය ගරු කළේ උතුම්වූ මාතෘ භූමියටය. ඇයගේ හඬ පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය මාතෘ භූමියේ ජන හදවත් නිවා සුවපත් කරනු ඇත.

මහසෙන් රත්නායක

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0