චාලි කර්ක් ඝාතනය පසුපස වාමාංශික දේශපාලන බළල් අත්...
ලෝකයේ වැඩිම ආරක්ෂාවක් සහිත රාජ්‍ය නායකයින් සිටින්නේ කීයෙන් කී දෙනෙක් දැයි ඇසුවහොත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පුද්ගලයින් කිහිප දෙනෙක් අප මතකයට නැගෙයි. ඒ අතරින් රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටීන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලයේ ජනාධිපති බෙන්ජමින් මෙතන්යාහු, උතුරු කොරියානු ජනාධිපති කින් ජෝ වැනි කීපදෙනෙක් නම් වශයෙන් කිව හැකිය. මේ අතරිනුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ආරක්ෂක විධිවිධාන කොතරම්දැයි අප වැනි අඩු තාක්ෂණයක් සහිත කුඩා හමුදාවක් ඇති රටක ජීවත් වන පිරිසක් හැටියට අපට සිතා ගන්නවත් බැරි තරම්ය.
ඔහුට නිසි ආරක්ෂාවක් සලසා නොතිබුනේ ඇයි...?
හරිත ගුණසේකර
එහෙත් ඒසා විශාල ආරක්‍ෂාවක් සහිත රටක ඒ සා විශාල ආරක්ෂාවකින් රැකෙන රාජ්‍ය නායකයෙකුගේ හොඳම හිතවතා හෙවත් ''ඉහළම දේශපාලන ආධාරකරුවා'' චාලි කර්ක් (Charlie Kirk) පසුගිය දිනක විශ්ව විද්‍යාල භූමියකදී මහදවල් එළිපිට වෙඩි තබා ඝාතනය කරනු ලැබූවේ කෙසේද. එසේ නම් ඇමරිකානු ජනාධිපතිවරයාගේ හොඳම යාළුවා හොඳම ආධාරකරුවා රැක ගැනීමට එම රටේ දියුණු යැයි කියන හොඳම රහස් ඔත්තු සේවාවකින් පෝෂිත ආරක්ෂක අංශවලට නොහැකි වුයේ ඇයි....
කවුද මේ චාලි කර්ක් (Charlie Kirk)
චාල්ස් ජේම්ස් කර්ක් (Charles James Kirk, 1993–2025) ඇමරිකානු දේශපාලනයේ මෑත කාලීන ඉතිහාසයේ කැපී පෙනෙන තරුණයෙකි. දැඩි මතධාරී දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙක් වගේම ව්‍යවසායකයෙක් සහ මාධ්‍යවේදියෙකු ලෙසත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහු ඇමරිකානු ගතානුගතික (conservative) ව්‍යාපාරය තුළ, විශේෂයෙන්ම තරුණ පරපුර අතර, විශාල බලපෑමක් ඇති කළ පුද්ගලයෙකි.
චාලි කර්ක්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ආරම්භ වන්නේ නව යොවුන් වයසේදීය. ඉලිනොයිස් හි උපත ලබා හැදී වැඩුණු ඔහු, පාඨශාලීය අධ්‍යාපනය අතරමඟදී අත්හැර දමා පූර්ණ කාලීනව දේශපාලන ක්‍රියාකාරීත්වය තෝරා ගත්තේය.
ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම මෙහෙවර බවට පත් වූයේ ''ටර්නිං පොයින්ට් USA'' Turning Point USA - (TPUSA) සංවිධානයයි. ඔහු 2012 දී ලාභ නොලබන සමාජ ව්‍යාපාරයක් ලෙස මෙම ගතානුගතික සිසුන්ගේ සංවිධානය සම-ආරම්භ කළේ ඇමරිකානු උසස් පාසල් හා විද්‍යාල තුළ ගතානුගතික අදහස් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි. සුදු ඇමරිකානු ජාතිකවාදය හා ක්‍රිස්තියානි ආගම ඔවුන්ගේ හර පද්ධතිය පෝෂණය කළේය. මේ හරහා, ඇමරිකානු තරුණ පරම්පරාව අතර දේශපාලන ගතානුගතිකවාදය කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට ඔහු සමත් විය. TPUSA සංවිධානය මේ වන විට රට පුරා විද්‍යාල හා පාසල් තුළ ශාඛා දහස් ගණනක් හතු පිපෙන්නාක් මෙන් බිහි වූ ජාතික මුහුණුවරක් සහිත දැවැන්ත සංවිධාන ජාලයකි.
ඇමරිකානු සමාජයට කළ මෙහෙවර සහ දේශපාලන සේවාව
චාලි කර්ක්ගේ ප්‍රධාන සේවාව වූයේ දේශපාලන කතිකාවතේ දක්ෂිණාංශික මතවාදයන් වෙනුවෙන් තරුණ පරපුර බලමුළු ගැන්වීමයි. කොටින්ම තරුණ ඡන්දදායකයින් බලමුළු ගැන්වීමයි. ඔහු සමාජ මාධ්‍ය සහ දැවැන්ත ජන රැලි හරහා තරුණයන් අතර ජනප්‍රිය වෙමින්, ඔවුන්ට දේශපාලනය හා ගතානුගතික අදහස් සමීප කළේය.
"The Charlie Kirk Show": ඔහුගේ ජනප්‍රිය ගුවන්විදුලි සහ පොඩ්කාස්ට් වැඩසටහන විය. ඒ හරහා, ඔහු දෛනික පුවත් විශ්ලේෂණය කරමින් Trumpism සහ Christian Nationalism වැනි දැඩි දක්ෂිණාංශික මතවාදයන් පෝෂණය කරමින් ප්‍රචලිත කළේය. ඔහුගේ එවැන්ජලිකල් ක්‍රිස්තියානි ඇදහිල්ල ඔහුගේ දේශපාලනයට බලපෑවේය. ඔහු ක්‍රිස්තියානි ජාතිකවාදය ප්‍රචාරය කළ අතර, රජයට වඩා පල්ලියෙන් සමාජ සුභසාධනය සැපයිය යුතු බව පැවසීය.
මතවාදාත්මකව විවාද සහ ගැටුම් ඔහු බෙහෙවින් ප්‍රිය කළේය. පාසැල් හා කැම්පස් තුළ සිසුන් සමඟ කෙළින්ම විවාද කරමින්, ඔහු විවෘත කතිකාවතේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය. එසේ සමාජගත කළ පොදු මතවාදයන් අතර ඔහු ''ගබ්සාවට විරුද්ධ වීම'', ''ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටීම'' සහ ''ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති දැඩි ලෙස ආරක්ෂා කිරීම'' වැනි ගතානුගතික ස්ථාවරයන් වෙනුවෙන් හඬ නැගීය.
කර්ක්ගේ "Prove Me Wrong" ''මා වැරදි නම් ඔප්පු කරන්න'' වැඩසටහන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රියත්වයට පත්විය. විවිධ ගතාගනුගතික මාතෘකා ඔස්සේ ඔහු මේසයක් පිටුපස සිටිමින් තනිවම සමාජය සමග වාද කළේය. මේ විවාද සම්පන්න ආකෘතිය තුළින් සිසුන් සමඟ විවාද කිරීම සමාජ මාධ්‍යයන්හි ජනප්‍රිය වූ අතර එමගින් ඔහු යම් ආදායමක් ද ලැබීය. පසුකාලීනව ඒ වනවිට ඔහුගේ සංවිධානයේ ආදායම් මිලියන ගණනින් වැඩි විය. 2020 දී TPUSA සංවිධානයේ ආදායම ඩොලර් මිලියන 39.2ක් වූ අතර, කර්ක්ගේ වැටුප ඩොලර් 325,000කට වැඩි බව කියති.
ඔහුගේ කථිකත්වයට තරුණ පරපුර ඉතා වේගයෙන් ආකර්ෂණය විය. විශේෂයෙන්ම බැරැක් ඔබාමාගේ පාලන කාලය තුළ, progressive අදහස්වලට එරෙහිව කතා කිරීමට සහ සංස්කෘතික ආතතීන් අවධාරණය කිරීමට ඔහුට තිබූ හැකියාව නිසා, ඔහුට පහසුවෙන් තරුණ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත හැකි විය. කර්ක්ගේ ක්‍රියාකාරීත්වය යනු හුදෙක් දේශපාලන විවාදයක් පමණක් නොව, එය ව්‍යාපාරික ආකෘතියක් ද විය. ඔහු ''සංස්කෘතික හා දේශපාලන බෙදීම මුදල් ඉපයීම සඳහා'' සාර්ථකව යොදා ගත්තේය. ඔහු progressive අදහස්වලට අභියෝග කරමින්, මතභේද ඇති කළ තරමටම, ඔහුගේ වීඩියෝ දර්ශන අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර ගිය අතර, එය ඔහුට සහ ඔහුගේ සංවිධානයට විශාල පරිත්‍යාගශීලීන් පිරිසක් දිනා ගැනීමට මග පෑදීය.
Charlie Kirkගේ විවාහ දිවිය
චාලි කර්ක්, 2021දී එරිකා ෆ්‍රැන්ට්ස්වේ සමඟ විවාහ වූ අතර, දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. එරිකා 2012දී මිස් ඇරිසෝනා යූ එස් ඒ ජයග්‍රාහිකාවකි, ඒ කියන්නේ රූප සුන්දරියකි. එසේම ව්‍යාපාර හිමිකාරියක් සහ පොඩ්කාස්ට්කාරියක් ලෙසද ප්‍රකටව සිටියාය. ඇය ද ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වයට සමීපව සම්බන්ධ වූ අතර, ඔහුගේ ඝාතනයෙන් පසු ටර්නිං පොයින්ට් USA සංවිධානයේ නායකත්වය භාර ගැනීමට ඇය කටයුතු කළාය.
චාලි කර්ක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සබඳතාවය ඇමරිකානු ගතානුගතික ව්‍යාපාරය තුළ ඉතා වැදගත් අංගයක් විය. මුලදී, 2016 දී කර්ක් තමා "ලෝකයේ සිටින විශාලතම ඩොනල්ඩ් ට්‍රම්ප් රසිකයා නොවන" බව ප්‍රකාශ කළද, ඔහු ට්‍රම්ප්ට ඡන්දය දෙන බව කියා සිටියේය. කෙසේ වෙතත්, ට්‍රම්ප් බලයට පැමිණීමත් සමඟ, TPUSA සංවිධානය Trumpism ව්‍යාපාරය සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගත්තේය. කර්ක්, Students for Trump වැඩසටහන හරහා තරුණ ඡන්දදායකයන් දස දහස් ගණනක් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බලමුළු ගැන්වීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
චාලි කර්ක් සංවාදවලදී ලේසියෙන් පරාජය කළ හැකි අයකු නොවූවත් ඔහුට බෙහෙවින් සතුරන් සිටියහ. මතවාදවලදී ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නට ඔහුගේ මතවාදීමය සතුරන්ට හැකියාවක් ලැබුණේම නැති තරම්ය. එක් අතකින් ඒ එසේ වුයේ කර්ක්ගේ දක්ෂතාවය නිසා වන්නට ඇත. නැතිනම් ඔහුගේ මතවාදය පරාජය කිරීමට තරම් ඔවුන්ගේ මතවාද ප්‍රබල නැති නිසා වන්නට ඇත. කෙසේ වෙතත් ඔහුට එරෙහිව රටේ කිසියම් බලවේගයක් ගොඩනැගෙමින් තිබූ බව කර්ක්ලාගේ ගතානුගතික සාම්ප්‍රදායික දේශපාලන බල කඳවුර දැන සිටියේ නැතිවීම වරදකි.
මරණය සහ බලපෑම
චාලිගේ මරණය සිදු වුණේ 2025 සැප්තැම්බර් 10 දින යූටා වැලි විශ්‍රාමිකයේ "Prove Me Wrong" විවාදයකදීය. තුවක්කුකරු ටයිලර් රොබින්සන් නම් (22) හැවිරිදි තරුණයෙකි. ටයිලර් ඔහුගේ බෙල්ලට වෙඩි තබා තිබුණා, ඔහු ටිම්පනෝගොස් රෙජිනල් හොස්පිටල්හි මියගියා. රොබින්සන්ගේ මවට අනුව, ඔහු වමේ දේශපාලනයට ආකර්ෂණය වුණ අයෙකි, චාලිගේ "වෛරී ප්‍රකාශන" නිසා කුපිතව සිටි රොබින්සන් මේ වෙඩිතැබීම කරන්නට ඇතැයි මව කියයි.
සැකකරුට වාමාංශික දේශපාලන විශ්වාසයන් තිබූ බව හෙලිවී ඇත. කර්ක් ඝාතනයට පෙර ඔහු සිය සහකරුට යවා තිබූ පණිවිඩයක සඳහන් වූයේ කර්ක්ගේ "වෛරය" තමාට දරා ගත නොහැකි බවයි. ඝාතනයට භාවිතා කළ ගිනි අවිය සමඟ හමු වූ උණ්ඩ කටු මත පවා "ඒයි, ෆැසිස්ට්වාදියා! අල්ලපන්!" වැනි ගතානුගතික-විරෝධී පණිවිඩ කොටා තිබීමෙන් ඝාතනයේ දේශපාලන අරමුණ තහවුරු වේ.
ඔහුගේ මරණයෙන් පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කර්ක්ගේ බිරිඳ Erika විසින් ප්‍රබල ලෙස වෙනස් වූ මතවාද දෙකක් ඉදිරිපත් කළහ. ට්‍රම්ප් මෙම ඝාතනය "දේශපාලන ප්‍රහාරයක්" ලෙස හැඳින්වූ අතර, "වෙඩි උණ්ඩය එල්ල කළේ ඔහුට, නමුත් ඉලක්කය වූයේ අප සියලු දෙනා" යැයි ප්‍රකාශ කළේය. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය පළිගැනීමක් සහ බෙදීමක් මත පදනම් වූ දේශපාලන මතවාදයක් නියෝජනය කළේය.
ඊට හාත්පසින්ම වෙනස්ව, Erika Kirk, සිය සැමියාගේ ඝාතකයාට ප්‍රසිද්ධියේ සමාව දුන්නාය. ඇය යේසුස් වහන්සේ කුරුසිය මතදී කළ "පියාණෙනි, ඔවුන්ට සමාව දෙන සේක්වා, මන්ද ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනිති" යන ප්‍රකාශය උපුටා දක්වමින්, "මම ඔහුට සමාව දෙනවා, මන්ද එය ක්‍රිස්තුස් වහන්සේ කළ දෙයයි, එය චාලිද කරන දෙයයි" යැයි කියා සිටියාය. ඇයගේ මෙම ක්‍රියාව, දරුණු ඛේදවාචකයක් හමුවේ පවා සමාව දීම සහ ක්‍රිස්තියානි ඇදහිල්ල මත පදනම් වූ සංවාදයක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
සමස්තයක් ලෙස, චාලි කර්ක් ට්‍රම්ප් වෙනුවෙන් තරුණ ගතානුගතික ඡන්ද යාන්ත්‍රණයක් නිර්මාණය කළ අතර, ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාරය සහ අදහස් තරුණ ඇමරිකානුවන් අතර ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කළේය. මේ නිසා ට්‍රම්ප් ඔහුට "ශ්‍රේෂ්ඨ ඇමරිකානු වීරයෙකු" (great American hero) ලෙස සලකා, තම ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ප්‍රශංසා කළේය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
1
Funny
0
Angry
0
Sad
0
Wow
0

