රොඩු බොඩු මතුවුණා වටිනාකම යට ගියා...
අර්බුදයට තුඩුදී ඇති වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා, ඔය කියන තරම් ප්‍රශ්නකාරී භයානක එකක් නොවන බව ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පවසයි.
රොඩු බොඩු මතුවුණා
වටිනාකම යට ගියා...
කියන තරම් යකා කළු නැති
අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන
ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න කරුණු පැහැදිලි කරයි.
අර්බුදයට තුඩුදී ඇති වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා, ඔය කියන තරම් ප්‍රශ්නකාරී භයානක එකක් නොවන බව ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පවසයි.
සාකච්ඡාවට බඳුන් වී ඇති මෙම අධ්‍යාපන විෂය මාලා ප්‍රතිසංස්කරණය තනි ආණ්ඩුවක හෝ තනි දේශපාලන ප්‍රවාහයක ව්‍යාපෘතියක් නොවන බවත්, අධ්‍යාපනඥයින් හා උගතුන් බුද්ධිමතුන් විසින් සාකච්ඡා කරමින් කාලයක් තිස්සේ අධ්‍යයනය කර අවසාන ප්‍රතිඵලයක් ලෙස තමන් ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීම් දරන සමයේ නිර්මාණය වූවක් බවත්, වත්මන් රජය වරද්දා ගත්තේ එය තමන් විසින් නිර්මාණය කරන ලද ව්‍යාපෘතියක් බව “හැගෙන්නට හරිමින්” රට හා ජනතාව දැනුවත් නොකර එකවර ක්‍රියාත්මක කිරීමට එළියට දැමීම නිසා බවත් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කරයි.
“ඇත්තටම මේ රටට අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණයක් වුවමනයි. ඒ මොකද අපේ අධ්‍යාපන ක්‍රමය ඉතාමත්ම පරණයි. විෂය මාලා පරණයි. අපි ඉන්නේ අධ්‍යාපනික වශයෙන් බොහොම පෞරාණික දුර්වල තැනක. ලෝකයේ දැනුම තාක්ෂණය වෙනස් වෙලා තියෙන වර්තමානයේ අපි ලෝකයට සාපේක්ෂව යවත් කාලීන උණේ නැත්නම්, අධ්‍යාපනය යාවත්කාලීන කළේ නැත්නම්, ලෝකයා ඉදිරියේ අපි පස්සට තල්ලු වෙලා කොන් වෙනවා.
කොටින්ම කියනවනම් පරණ අධ්‍යාපන ක්‍රමය තුළින් අපි නිර්මාණය කරන්නේ “ලෑන්ඩ් පෝන් එකක්” කියලා හිතන්න. හැබැයි දැන් ලෝකය ලැන්ඩ්ෆෝන් භාවිතා කරන්නේ නෑ. ලෝකය ඉල්ලන්නේ “smartphone” එකක්. එහෙමනම් අපි අධ්‍යාපනයෙන් හදන්න ඕන ඕනේ “ස්මාට් ෆෝන් එකක් හා සමාන” දරුවෙක්. අන්න ඒක තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් කරන්න ගියේ.
වරද්ද ගත්තෙ අපි කරන්න යන දේ මොකක්ද කියලා රට හමුවේ, ජාතිය හමුවේ පැහැදිලි කිරීමක් හරියට නොකරපු එක. ඒක මොන වගේද කියලා කියන්න ඕන. මම ඒ සඳහා මේ අධ්‍යාපන විෂය මාලා ප්‍රතිසංස්කරණය ජාතියට හඳුන්වා දෙන්න හදපු “ප්‍රසන්ටේෂන්” (presentation) එකක් තියෙනවා. මේ ආණ්ඩුව අන්න ඒක ජනතාව ඉදිරියේ තබලා ඔය කියන ප්‍රතිසංස්කරණය ගෙනාවන්නම් අද සමාජයේ මේ තිබෙන ප්‍රශ්න මුකුත් නෑ...”
අනතුරුව ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කරන්නේ කුමක්දැයි කියා රටට හඳුන්වා දෙන්නට සාදන ලද හඳුන්වාදීම (presentation) කෙටියෙන් පැහැදිලි කළේ මෙසේය...
“අපි මේ වෙන විට ලෝකය හැටියට කාර්මික විප්ලව 5 කට මුහුණ දීලා තියෙනවා. පළමු විප්ලවයේදී අපි වාෂ්ප ඇන්ජිම හොයාගත්තා. දෙවන විප්ලවයේදී විදුලි බලය හොයාගත්තා. තුන්වන විප්ලවයේදී පරිගණකය හොයාගත්තා. හතරවන විප්ලවයේදී අන්තර්ජාල තාක්ෂණය හොයාගත්තා. පස්වන විප්ලවයේදී තමයි කෘතිම බුද්ධිය හොයාගන්නේ. මේ පියවරෙන් පියවර අපේ සමාජය ඉදිරියට යෝද යෝධ පිමි පැන පැන ඇවිත් තියෙනවා. තාක්ෂණික දියුණුවකට ලෝකය ගමන් කරලා තියෙනවා. 21 වෙනි සියවසට අවශ්‍ය ස්කිල්ස් (Skills) ලෝකයට හඳුන්වලා දීලා තියෙනවා.
හැබැයි අවාසනාවකට මේ එකක්වත් අපි අධ්‍යාපනය ක්‍රමය ඇතුළට භාවිතය පිණිස අරගෙන නැහැ.
අපේ රටේ තියෙන්නේ ගුරුවරයා අච්චු පොතක් අරන් පන්ති කාමරයට ගිහිල්ලා දේශනයක් පවත්වලා නෝට් එකක් දීලා උගන්වන දේ කටපාඩම් කරලා ළමයි ආපහු විභාගෙට ලියලා ඒ බී.සී ගන්න ක්‍රමයක්. ගුරුවරයා මූලික විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක්. මේකට අපි කියනවා "Passive learning" සිස්ටම් කියලා.
මේක පරණයි. මේ ක්‍රමයේ දුර්වලතා ගොඩක් තියෙනවා. ඉගෙනුම් පිරමීඩයකින් (ලර්නින් පිරමිඩ්) Learning Pyramid අපට මේ දුර්වලතා විග්‍රහ කරන්න පුළුවන්.
මෙතන මුලින්ම තියෙන්නේ ඉගැන්වීම (Lecturing). ඒකෙන් ළමයට මතක හිටින්නේ 5%යි. පහළට යනකොට තියෙනවා කියවීම (Reading). ඒකෙන් මතක හිටින්නේ 10%යි. ඒ වගේම ඕඩියෝවිෂුවල් වලින් 20% යි. හැබැයි ඔහොම පහළට ගිහිල්ලා “පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන්” එකකින් යමක් කෙනෙකුට කියලා දුන්නම මතක හිටින සම්භාවිතාව 90%ක් විතර වෙනවා. අන්න ඒවට තමයි "ඇක්ටිව් ලර්නින්" කියන්නේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කරන්නේ අහගෙන ඉන්න, කියවන්න, ලියන්න, ගණන් හදන්න පුරුදු වෙච්ච දරුවා “ගැටළු විසඳන්න” “අභියෝගවලට මුහුණ දෙන්න” පුරුදු පුහුණු කරන එක.
අපි ඕකට කිව්වේ ත්‍රී/ආර් වල ඉන්න දරුවා ත්‍රී/එල් දක්වා රැගෙන යාම කියලා. ත්‍රී එල් කියන්නේ ලර්නින් ස්කිල්ස් Learning skills, ලිට්රසි ස්කිල්ස් Literary skills, සහ ලයිෆ් ස්කිල්ස් Life skills කියන තුනට.
ඕනෑ කෙනෙකුට අධ්‍යාපනයෙන් එළියට එද්දි හැකියාවක් තියෙන්න ඕන ගැටලුවක් විසඳීමට. අධ්‍යාපනයෙන් අපි “ගැටළු විසඳීමේ හැකියාව” වර්ධනය කරලා නැහැ. ගැටළු විසඳීමේ හැකියාව උගන්නන්නෙ ඉංජිනේරු විෂයට වෛද්‍ය විෂයට හා තරමක් දුරට වාණිජ හා ඝණකාධිකරණ විෂයන්වලට පමණයි. අන්න ඒ නිසා ඒගොල්ලන්ට වටිනා රැකියා තියෙනවා. අර ගැටලු විසඳීමේ ක්‍රමවේද හදාරපු නැති කලා විෂය දහරාවේ අයට රැකියා නෑ. සාමාජීය වටිනාකමක් නෑ...
අනිත් අයටත් ගැටළු විසඳන්න, අලුතෙන් හිතන්න, අලුතෙන් නිර්මාණ බිහිකරන්න, නවෝත්පාදන ඇති කරන්න, ව්‍යවසායකයෙක් විදියට හිතන්න පතන්න පුරුදු කරන කුසලතාවය වර්ධනය කිරීම තමයි අපි අපේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන විෂය මාලාවන්ට ඇතුළත් කළේ... මේ තුළින් අපි බලාපොරොත්තු වුනේ අනාගත පරපුර පහත සඳහන් කරුණුවලින් පෝෂිත පරපුරක් බවට පත් කිරීම.
ජාතික සංවර්ධනයට ක්‍රියාශීලී දායක කරවීම.
හරි දේ හරි විදියට කරන සුහුරු දැනුම හාත් තාක්ෂණය ලබාදීම.
ව්‍යවසායකත්වය හෝ ව්‍යවසායික මනසක් වර්ධනය කිරීම.
රටට දැයට ගෙදරට ආදරය කරන මිනිසෙක් බිහි කිරීම.
හොඳ හදවතක් තියන “මිනිසෙකු” බිහි කිරීම.
හා සතුටින් ජීවත්වන පවුලක සාමාජිකයෙක් සෑදීම කියන කාරණා.
ඔන්න ඔය කාරණා හය තමයි අපි අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණවලින්, විෂය මාලා වෙනස් කිරීම තුළින් බලාපොරොත්තු වුණේ. හැම කෙනෙකුටම වටිනාකමක් ඇති හැම කෙනෙකුටම රටට දැනෙන සේවයක් කිරීමේ හැකියාව ඇති ශක්‍යතාවයක් අධ්‍යාපනය ඔස්සේ ලබාදීම.
මෙන්න මේ දේ කරන්නෙ කොහොමද කියන්නේ එක පැහැදිලි කරන්න හොඳ “ප්‍රසන්ටේෂන්” එකක් අපි හදලා තිබුණා. අන්න ඒ ප්‍රසන්ටේෂන් එක මේ රටට ජනතාවට ඉදිරිපත් කරලා මෙන්න මේ අලුත් විෂය මාලා ප්‍රතිසංස්කරණය රටට හඳුන්වලා දුන්න නං අද මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න ඉස්මතු වෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.”
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන එසේ කරුණු පැහැදිලි කරන ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පසුගිය දිනක තමන්ගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡාවකින් ඉරිදා පුවත්පතක පළ කර තිබූ වාර්තාවක් ගැනද පැහැදිලි කිරීමක් කළේය.
“ඒ පත්තරේ පලවෙලා තිබුණා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොඩල් එක හැදුවේ මම කියලා, මා ඔවුන්ට කිව්වා වගේ අදහසක්. ඇත්තටම ඒක වැරදියි. ඔය
මොඩල් එක අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උගතුන් වියතුන් රැසක් එකතු වෙලා අධ්‍යයනය කරලා යෝජනා කරපු “කෙටුම්පතක” ක්‍රමික විකාශයක්. මම කළේ එම වැඩපිළිවෙළ රටට ජනතාවට හඳුන්වලා දෙන්න සරලව “හඳුන්වා දීමක්” (Presentation) හදපු එක... ඒ ජනතාව දැනුවත් කිරීම මේ ආණ්ඩුවට පළමුව කරන්න තිබුණා.
මේක රට හා ජනතාව දැනුවත් නොකොට, ජනතාව අතර සාකච්ඡා නොකොට තමන්ගේ දෙයක් බවට අර්ථ දැක්වෙන අයුරින් කඩිමුඩියේ ගෙනාපු ක්‍රමවේදය තුළ තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට මෙම ඉරණම අත්වුනේ කියලා මම විශ්වාස කරනවා.”
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

