මේක ධම්මිකගේ තව අලුත් වැඩක්...

Feb 21, 2026 - 14:37
Feb 21, 2026 - 14:52
 57
මේක ධම්මිකගේ තව අලුත් වැඩක්...

මේක ධම්මිකගේ

තවත් අලුත් වැඩක්..!

 

 

කොළඹ කිංග්ස්බරි හෝටල් ඉඩමේ බදු ගෙවීම්

පිළිබඳ ආන්දෝලනාත්මක සාකච්ඡා.

 

 

කොළඹ කිංග්ස්බරි හෝටලය ඉදිකර ඇති රජය සතු ඉඩම මෑතක දී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් මිලියන 325 වාර්ෂික බදු මුදලකට තක්සේරු කර ඇතත්, එම මුදල නොගෙවා පරණ බදු වටිනාකම තවදුරටත් පවත්වාගෙන යාමට යම්කිසි පිරිසක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වී තිබේ.

 

 

කොළඹ නගරයේ හදවතේම පිහිටි අක්කර 5.5ක වටිනා වාණිජ ඉඩමක ඉදිකර ඇති කිංග්ස්බරි හෝටලයේ ඉඩම් බදු ගෙවීම් පිළිබඳ නව ආන්දෝලනයක් මතුවී තිබේ. මෙම ඉඩම රජයට අයත් වන අතර, හෝටල් කළමනාකාරීත්වය විසින් වාර්ෂික බදු මුදලක් ගෙවීමට නියමිතය.

 

 

හෝටලයේ වත්මන් හිමිකරු ව්‍යාපාරික ධම්මික පෙරේරා වන අතර, ඔහු විසින් හෝටලයේ පාලනාධිකාරියට මොහාන් පණ්ඩිතගේ පත් කර ඇති බව දැනගන්නට ලැබේ. මෙම ඉඩමේ අක්කර 1ක් කාර් පාර්ක් එක සඳහාත්, අක්කර 4.5ක් හෝටල් ගොඩනැගිල්ල සඳහාත් භාවිතා වේ.

 

 

පසුගිය කාලයේදී මෙම ඉඩම සඳහා ගෙවූ වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 2ක් (ලක්ෂ 20ක්) පමණක් වූ අතර, එය අක්කරයකට මාසිකව රුපියල් 33,000ක් පමණ වේ. මෙම මුදල ඉතා අඩු බවත්, කොළඹ නගරයේ මෙවැනි වටිනා ඉඩමක සැබෑ වටිනාකමට සරිලන නොවන බවත් සාකච්ඡා කළ පසුගිය රජයන් මෙම ඉඩම අලුතින් තකාසේරු කරන්නට තීරණයක් ගත්හ.

 

 

හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ කාලයේදී අත්සන් කළ ගිවිසුමකට අනුව, 2026 වසරේ සිට මෙම බදු මුදල රුපියල් මිලියන 5 දක්වා ඉහළ දැමීමට තීරණය වී තිබේ. එහෙත්, මෙම මුදලද ඉඩමේ සැබෑ වාණිජ වටිනාකමට කිසිසේත්ම ළං නොවන බවට චෝදනා එල්ල වී ඇත.

 

 

මෑතකදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් මෙම ඉඩමේ වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 325ක් (කෝටි 32.5ක්) ලෙස ගණනය කර ඇත. එහෙත්, හෝටල් හිමිකරුවන් මෙම මුදල ගෙවීමට අකමැති බව දැනගන්නට ලැබේ.

 

 

වර්තමානයේ මෙම බදු මුදල පිළිබඳ සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙමින් පවතී. රජය නියෝජනය කරමින් නිලධාරීන් සහ ඇමැතිවරුන් සහභාගී වන මෙම සාකච්ඡාවලදී, හෝටලය නියෝජනය කරමින් මොහාන් පණ්ඩිතගේ මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගණේගොඩ මහතා සහභාගී වන බව වාර්තා වේ.

 

 

මෙම තත්ත්වය තුළ, සරත් ගණේගොඩ මහතාගේ සහභාගිත්වය පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී ඇති අතර, ඔහුගේ පක්ෂපාතිත්වය රජයට වඩා ධම්මික පෙරේරා මහතා වෙත බරව ඇති බවට චෝදනා එල්ල වේ. තවද, හෝටලයේ VIP ස්වීට් එකකදී රාජ්‍ය නිලධාරීන්ට සහ ඇමැතිවරුන්ට පිරිනැමෙන සුඛෝපභෝගී ආගන්තුක සත්කාර, මෙම සාකච්ඡාවලට බලපෑම් කිරීමේ උත්සාහයන් ලෙස චෝදනාවට ලක්ව ඇත.

 

 

රජය පැත්තෙන් මෙම මුදල නිසි තක්සේරු වටිනාකමට කිට්ටු කිරීමට කොතරම් උත්සාහ කළත් ඉහත කී පුද්ගලයන් රජයේ ප්‍රබලම මැති ඇමතිවරු සහාය කරගෙන මෙම බදු මුදල හරීන්ගේ තක්සේරු වටිනාකමේ නවත්වා ගන්නට දැඩි උත්සාහයක සිටින බව වාර්තා වේ. මෙම බදු මුදල රුපියල් මිලියන 5කට සම්මත වුවහොත්, රටට වාර්ෂිකව රුපියල් මිලියන 320ක (කෝටි 32ක) පාඩුවක් සිදුවන බවට ගණනය කර ඇත.

 

 

මෙම ගණුදෙනුවේ අනාගත තීරණය ඉදිරියේදී බලාපොරොත්තු වන අතර, එය රජයේ ඉඩම් කළමනාකරණය සහ විනිවිදභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0