“retender හා re-evaluation” පැටලිලා. විමර්ශන වාර්තා පරස්පර වෙලා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක නඩුවේදී විමර්ශන නිලධාරියාගේ සාක්ෂියට අභියෝග එල්ල වූයේ සැකකරුවන්ට එරෙහිව කරුණු අනාවරණය කරගත් ආකාරය සම්බන්ධයෙන් පමණක් නොවේ. විමර්ශනයට අදාළ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ ලේඛන කියවා තේරුම් ගැනීම, ඒවායේ අන්තර්ගතය පිළිබඳව ස්වාධීනව නිගමනවලට පැමිණීම, ලේඛනවල සඳහන් කරුණු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගත් ආකාරය සහ විමර්ශනයට අදාළ තාක්ෂණික තොරතුරු පරීක්ෂා කළ ප්‍රමාණය ද එහිදී ප්‍රශ්න කෙරිණි.

Oct 17, 2026 - 23:39
 146
“retender හා re-evaluation” පැටලිලා.  විමර්ශන වාර්තා පරස්පර වෙලා.




“re-tender හා re-evaluation”

පැටලිලා.

විමර්ශන වාර්තා පරස්පර වෙලා.

සමන් රත්නායකගේ සටහන ‘retender’ ද ‘re-evaluation’ ද?  

කෙහෙළිය රඹුක්වැල්ලගේ රැස්වීම් සම්බන්ධයෙන්

අන්‍යස්ථානිකභාවය හැරිලු..!

විජිත් ගුණසේකර ප්‍රසම්පාදන කමිටු සාමාජිකයකු නොවේ..!


ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක නඩුවේදී විමර්ශන නිලධාරියාගේ සාක්ෂියට අභියෝග එල්ල වූයේ සැකකරුවන්ට එරෙහිව කරුණු අනාවරණය කරගත් ආකාරය සම්බන්ධයෙන් පමණක් නොවේ. විමර්ශනයට අදාළ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ ලේඛන කියවා තේරුම් ගැනීම, ඒවායේ අන්තර්ගතය පිළිබඳව ස්වාධීනව නිගමනවලට පැමිණීම, ලේඛනවල සඳහන් කරුණු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගත් ආකාරය සහ විමර්ශනයට අදාළ තාක්ෂණික තොරතුරු පරීක්ෂා කළ ප්‍රමාණය ද එහිදී ප්‍රශ්න කෙරිණි.


විශේෂයෙන්ම, විමර්ශනයේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතාගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාව සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා මතු කළ කරුණු, විමර්ශනයේදී භාවිත කළ ලේඛන පිළිබඳව ඇති වූ පරස්පරතා සහ ඒවා තේරුම් ගැනීමට අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කළේය.


හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව විභාග වන මෙම නඩුවේදී, පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි දුන් විමර්ශන නිලධාරියාගෙන් විත්තියේ නීතිඥවරුන් තිදෙනකු එලෙස හරස් ප්‍රශ්න විමසීමෙන් ඉස්මතු වූයේ, විමර්ශනයේදී ලබාගත් තොරතුරු සහ ඒවා මත ගොඩනැගූ නිගමන අධිකරණය හමුවේ කෙතරම් පැහැදිලිව තහවුරු කළ හැකිද යන්න පිළිබඳ ප්‍රශ්නයයි.


මෙම නඩුව විභාග කෙරෙන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා (සභාපති), විනිසුරු විරාජ් වීරසූරිය මහතා සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර මහතා යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.


සමන් රත්නායකගේ සටහන කියවා තේරුම් ගත්තාද?

දහවන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාගේ හරස් ප්‍රශ්නවල ප්‍රධාන අවධානය යොමු වූයේ, විමර්ශනයට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී විමර්ශන නිලධාරියා ඒවායේ අන්තර්ගතය නිවැරදිව කියවා තේරුම් ගත්තේද යන්න වෙතය.


එහිදී ඖෂධ තොග සම්බන්ධයෙන් නිලධාරීන් අතර හුවමාරු වූ ඊමේල්, හදිසි ප්‍රසම්පාදනයට අදාළ ලේඛන සහ වෛද්‍ය සමන් රත්නායක මහතාගේ සටහන් කිහිපයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කෙරිණි. මෙම ලේඛනවලින් හෙළිවන කරුණු විමර්ශනයේදී පරීක්ෂා කළේද, ඒවායේ අන්තර්ගතය තේරුම් ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් සටහන් තබාගත්තේද යන්න පිළිබඳව නීතිඥවරයා දිගින් දිගටම විමසා සිටියේය.


වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාර මහතා විසින් 2022 සැප්තැම්බර් 10 වැනිදාට පැවති ඖෂධ තොග පිළිබඳව සකස් කළ ලේඛනයක් එහිදී සාක්ෂිකරුගේ අවධානයට යොමු විය. එම ලේඛනයට අදාළ ඊමේල් පත අධිකරණයේදී 10v59 ලෙස ලකුණු කර තිබිණි.


නීතිඥවරයා: 10v59 ලෙස අධිකරණයේ ලකුණු කර තිබෙන්නේ එම තොග ලේඛනයට අදාළ ඊමේල් පත නේද?

සාක්ෂිකරු: එය ඖෂධවල තොග මට්ටම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඊමේල් පතක්.

නීතිඥවරයා: එම ඊමේල් පත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට, අධ්‍යක්ෂවරයාට සහ සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට යොමු කර තිබෙනවා නේද?

සාක්ෂිකරු: එසේය.

නීතිඥවරයා: එම තොග වාර්තාව සම්බන්ධයෙන් ඔබ විමර්ශනයක් සිදු කළාද?

සාක්ෂිකරු: එම වාර්තාවලට අදාළ ලේඛන භාරගෙන විමර්ශනයක් සිදු කළේ නැහැ.


මෙහිදී සාක්ෂිකරු සඳහන් කළේ, තොග මට්ටම් සම්බන්ධයෙන් ප්‍රොන්ටෝ (PRONTO) පද්ධතියෙන් තොරතුරු ලබාගෙන විමර්ශනය කළ බවය. එහෙත් තොග පිළිබඳව නිලධාරීන් අතර හුවමාරු වූ ඊමේල් පත් භාරයට ගෙන පරීක්ෂා කිරීමක් සිදු නොකළ බව ඔහුගේ පිළිතුරුවලින් අනාවරණය විය.


2023 සැප්තැම්බර් 26 වැනිදා දිනැති ඊමේල් පතක් සම්බන්ධයෙන් ද නීතිඥවරයා විමසීය. එහි අන්තර්ගත කරුණු විමර්ශනය කළේද යන්න විමසූ විට සාක්ෂිකරු පැවසුවේ එම ලේඛන භාරයට ගෙන විමර්ශනයක් සිදු නොකළ නමුත් හත්වන විත්තිකරු විසින් ඖෂධ 182කට අදාළව යවන ලද ඊමේල් පත් පිළිබඳව විමර්ශනයක් සිදු කළ බවය.


නීතිඥවරයා: වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන තොග පාලක නිලධාරියා සතිපතා ඉහළ නිලධාරීන්ට යවා තිබූ තොග සම්බන්ධ ඊමේල් හතරම ඔබ පරීක්ෂා නොකළ බවද කියන්නේ?

සාක්ෂිකරු: මෙම ප්‍රසම්පාදනයේදී ඖෂධ 285ක් සම්බන්ධයෙන් දහවන චූදිත වෙත යොමු කළ බවට අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළා. ඊට අමතරව තොග මට්ටම් සම්බන්ධ ඊමේල් පිළිබඳව විමර්ශනයක් සිදු කළේ නැහැ.


ඒ අනුව නීතිඥවරයා මතු කළ ප්‍රධාන කරුණ වූයේ, තොග මට්ටම් පිළිබඳව නිලධාරීන්ට යොමු කර තිබූ ලේඛන තිබියදීත් ඒවා සියල්ල සෘජුව පරීක්ෂා කර නොතිබීමයි. සාක්ෂිකරුගේ පිළිතුර අනුව, එම තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ප්‍රොන්ටෝ පද්ධතියෙන් ලබාගත් වාර්තා භාවිත කර තිබිණි.


මෙම ප්‍රශ්නවලට අදාළව තවත් වැදගත් කරුණක් වූයේ, 2025 අප්‍රේල් 22 වැනිදා සකස් කළ තොග පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවකි. එය වෛද්‍ය සැපයුම් අංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ හිජාස් නමැති නිලධාරියාගෙන් ලබාගත් බව සාක්ෂිකරු පැවසීය.


නීතිඥවරයා: ඔබ එම ලේඛනය නන්දන බණ්ඩාර මහතාට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත්තාද?

සාක්ෂිකරු: එම ලේඛනය ඔහුට පෙන්වීමක් කළේ නැහැ.

නීතිඥවරයා: එම ඊමේල් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළාද?

සාක්ෂිකරු: නැහැ. එලෙස ප්‍රශ්න කිරීමක් කළේ නැහැ. විමර්ශනයේදී අනාවරණය වුණේ සතියකට වරක් මාස තුනකට අඩු තොග සම්බන්ධයෙන් වාර්තා ඉහළ නිලධාරීන්ට යවන බවයි.


 ‘Retender’ ද ‘Re-evaluation’ ද? 
සමන් රත්නායකගේ සටහනේ අර්ථය ගැන අධිකරණයේදී ප්‍රශ්නයක්

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාගේ හරස් ප්‍රශ්නවල වඩාත් උණුසුම් කොටසක් වූයේ 2023 ජූනි 2 වැනිදා දිනැති වෛද්‍ය සමන් රත්නායක මහතාගේ සටහනක් සම්බන්ධයෙන්ය. එම සටහනේ අන්තර්ගතය විමර්ශන නිලධාරියා තේරුම් ගත්තේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කරමින් නීතිඥවරයා පෙන්වා දුන්නේ, එහි අර්ථය පිළිබඳව සාක්ෂිකරු ලබාදුන් පැහැදිලි කිරීම සහ ලේඛනයේ තිබූ සටහන අතර පරස්පරතාවක් ඇති බවය.


සාක්ෂිකරු පැවසුවේ, දැනට ක්‍රියාත්මක ටෙන්ඩර් සහ තොග තත්ත්වයන් පරීක්ෂා කරගන්නා ලෙසත්, අදාළ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබාගෙන නැවත ටෙන්ඩර් කැඳවීම සිදුකරන ලෙසත් එම සටහනෙන් උපදෙස් දී තිබූ බව විමර්ශනයේදී අනාවරණය වූ බවය.


නීතිඥවරයා: ඔබ කියන ආකාරයට එම සටහනේ සඳහන් වන්නේ “Retender” නැවත ටෙන්ඩර් කැඳවීමක් ගැනයි නේද?

සාක්ෂිකරු: එසේය. විමර්ශනයේදී අනාවරණය වූයේ එයයි.

නීතිඥවරයා: නැවත ටෙන්ඩර් කැඳවනවා කියන්නේ ලන්සු නැවත කැඳවා, ලන්සු විවෘත කර, තෝරාගැනීම් සිදුකර, ප්‍රදානයන් පිරිනමන දීර්ඝ ක්‍රියාදාමයක් නේද?

සාක්ෂිකරු: එසේය.

නීතිඥවරයා: ඒ සියල්ල කරන්න කියලා තමයි ඔබ කියන ආකාරයට මෙම සටහන යොමු කර තිබෙන්නේ?

සාක්ෂිකරු: විමර්ශනයේදී අනාවරණය වූයේ, EOI ක්‍රමය යටතේ එම සැපයුම්කරුවන්ගෙන්ම තොග ලබාගැනීම නැවත සලකා බැලූ බවයි. එසේ ලැබී නොමැති තොග සම්බන්ධයෙන් නැවත ටෙන්ඩර් කැඳවිය යුතු බව සඳහන් වුණා.

මෙම අවස්ථාවේදී නීතිඥවරයාගේ මූලික තර්කය වූයේ, සටහනේ අන්තර්ගතය නිවැරදිව කියවා තේරුම් ගැනීමට සාක්ෂිකරුට හැකි වූයේද යන්නයි.

නීතිඥවරයා: ඔබ විමර්ශනය කරන අවස්ථාවේදීත් මෙම සටහනේ අර්ථය තේරුම් ගත්තේ නැහැ කියලා මම යෝජනා කරනවා.

සාක්ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥවරයා: ඔබගෙන් අද සාක්ෂි ලබාගන්නා අවස්ථාවේදීත් ඒ බව තහවුරු වෙනවා.

සාක්ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා.


මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ද සටහනේ වචනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළේය. එහි සඳහන් වන්නේ “retender” යන්නද, නැතහොත් “re-evaluation” යන්නද යන්න විනිසුරුවරයා විමසා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂිකාරියක වූ තරින්දි දාබරේ මහත්මියගේ සාක්ෂිය අනුව එහි “re-evaluation” යන්න සඳහන් වන බවය.


ඒ අනුව ලේඛනයේ අර්ථය පිළිබඳව අධිකරණයේදී මතු වූයේ හුදෙක් වචනයක් කියවීමේ ප්‍රශ්නයක් පමණක් නොවේ. එම වචනයෙන් අදහස් කරන්නේ නැවත ටෙන්ඩර් කැඳවීමක්ද, නැතහොත් දැනට ඉදිරිපත් වූ ලංසු නැවත ඇගයීමක්ද යන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය තේරුම් ගැනීමේදී වැදගත් වන කරුණකි.


නීතිඥවරයා: එදින වෛද්‍ය රත්නායක මහතා තැබූ පසු සටහන ස්වාධීනව කියවා තේරුම් ගැනීමේ හැකියාවක් ඔබට තිබුණාද?

සාක්ෂිකරු: ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් ඇති නිලධාරියකු මගින් එය කියවා තේරුම් ගත්තා.

නීතිඥවරයා: ඒ පිළිබඳව සටහනක් තබාගත්තාද?

සාක්ෂිකරු: එසේ සටහනක් තැබුවේ නැහැ.

නීතිඥවරයා: මෙම නඩුවේ අවසානයට පැමිණ තිබියදීත්, වසර තුනකට පසුවත් දහවන චූදිතගේ සටහන ඔබට ස්වාධීනව කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැහැ නේද?

සාක්ෂිකරු: විමර්ශනයේදී අනාවරණය වූයේ නැවත ප්‍රදානය කළ යුතු බවයි. ඒ අනුව අදාළ ලේඛන ලබාගත්තා.


මෙම සංවාදයෙන් පසු නීතිඥවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ, ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ ලේඛනවල අන්තර්ගතය තේරුම් ගැනීම සඳහා වෙනත් නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් ලබාගත්තේ නම්, ඒවා නිල වශයෙන් සටහන් කර නොතිබීම විමර්ශනයේදී ගැටලුවක් නොවන්නේද යන්න පිළිබඳවය.


සාක්ෂිකරු තමන්ට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් පූර්ණ නිපුණතාවක් නොමැති බව පිළිගත්තේය. එහෙත් විමර්ශන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පළපුරුද්ද තමන්ට තිබූ බව ඔහු ප්‍රකාශ කළේය.


නීතිඥවරයා: මෙම නඩුවට අදාළ ලේඛන බහුතරයක් ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙනවා. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පූර්ණ නිපුණතාවක් නැති බවත් ඔබ පිළිගත්තා.

සාක්ෂිකරු: ස්වාමීනි, සාක්ෂි ලබාදුන් මුල් අවස්ථාවේදීම ඒ බව දැනුම් දුන්නා.

නීතිඥවරයා: ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණතාවක් නොමැතිව, වසර තුනකට පසුවත් අධිකරණයේදී නිශ්චිත කරුණු පැහැදිලි කිරීමට නොහැකි වීම ගැටලු සහගත බවට මම යෝජනා කරනවා.

සාක්ෂිකරු: ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව පිළිගන්නවා. එහෙත් අදාළ ප්‍රකාශ සටහන් කරගෙන තමයි විමර්ශනය කළේ.

නීතිඥවරයා: එක් එක් පුද්ගලයාගෙන් ලබාගන්නා අර්ථකථන මත රඳා සිටීමත්, ලේඛනවල අන්තර්ගතය ස්වාධීනව තේරුම් ගැනීමට නොහැකි වීමත් නිසා ගැටලුවක් ඇති වී තිබෙනවා නේද?

සාක්ෂිකරු: එම ලේඛනවල අන්තර්ගතය ගැන අර්ථකථනයක් ලබාදීමට මට හැකියාවක් නැහැ. ඒවා සකස් කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශනය සිදු කළා.

නීතිඥවරයා: ඔබගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවේ දුර්වලතාව ගැන ඉහළ නිලධාරීන්ට දැනුම් නොදීමත් ගැටලුවක්.

සාක්ෂිකරු: ඒ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත්.

නීතිඥවරයා: එසේ තිබියදීත්, ඖෂධ ප්‍රසම්පාදනය වැනි සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කිරීමට ඔබව පත් කළා නේද?

සාක්ෂිකරු: ඉංග්‍රීසි භාෂාවේ නිපුණතාව පමණයි නොතිබුණේ. විමර්ශන සම්බන්ධයෙන් අත්දැකීම් තිබුණා.


මෙම හරස් ප්‍රශ්නවලදී ප්‍රියන්ත නාවාන මහතා තවත් චෝදනාත්මක යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. ඒ අතර විමර්ශනයේදී හෙළි වූ බව පවසමින් නිශ්චිත කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින බවටත්, තමන්ගෙන් සිදු වූ අඩුපාඩු වසා ගැනීමට “විමර්ශනයේදී අනාවරණය වුණා” යන වචන භාවිත කරන බවටත් නීතිඥවරයා යෝජනා කළේය. සාක්ෂිකරු ඒවා ප්‍රතික්ෂේප කළේය.


නීතිඥවරයා: “විමර්ශනයේදී අනාවරණය වුණා” කියමින් නිශ්චිත කරුණු හා ලේඛන ඉදිරිපත් නොකර සියල්ල වසා දැමීමට ඔබ උත්සාහ කරනවා නේද?

සාක්ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥවරයා: විමර්ශනය කියන එක පළිහක් විදියට පාවිච්චි කරලා මේ නඩුව වහන්නත්, ඔබගේ අඩුපාඩු වසාගන්නත් උත්සාහ කරනවා කියලා මම යෝජනා කරනවා.

සාක්ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥවරයා: මෙහි එන චූදිතයන්ට අපරාධ වරදක් පැවරීමේ පවිටු චේතනාවෙන් විමර්ශනය කළ බවට මම යෝජනා කරනවා.

සාක්ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා.

එම ප්‍රකාශ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ චෝදනාත්මක යෝජනා වන අතර, සාක්ෂිකරු ඒවා ප්‍රතික්ෂේප කළේය. ඒවා අධිකරණයේ අවසන් නිගමන ලෙස සැලකිය නොහැකිය.

කෙහෙළිය රඹුක්වැල්ලගේ රැස්වීම් ගැන දුරකථන වාර්තා පරීක්ෂා කළාද? — නයන්ත විජේසූරියගේ ප්‍රශ්න


නඩුකරයේ තවත් අවස්ථාවක අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසූරිය මහතා විමර්ශන නිලධාරියාගෙන් ප්‍රශ්න කළේය.


ඔහුගේ හරස් ප්‍රශ්නවල ප්‍රධාන අවධානය යොමු වූයේ විමර්ශනය ආරම්භ වූ ආකාරය, දුරකථන වාර්තා ලබාගෙන ඒවා භාවිත කළ අරමුණ, රැස්වීම්වලට සහභාගි වූ බව කියන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරගත් ආකාරය සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ ක්‍රියාවලිය වෙතය.


මෙහිදී නීතිඥවරයා පෙන්වා දුන්නේ, විමර්ශනයක් සිදුකිරීමේදී යම් රැස්වීමකට සහභාගි වූ බවට ලේඛනවල සඳහන් වන පුද්ගලයන් එම රැස්වීමට සැබැවින්ම සහභාගි වූයේද යන්න පරීක්ෂා කිරීමට දුරකථන වාර්තා වැනි තාක්ෂණික සාක්ෂි ද භාවිත කළ හැකි බවය. එහෙත් එම නඩුවේදී එවැනි පරීක්ෂාවක් සිදු කළේද යන්න විමසූ විට සාක්ෂිකරු පැවසුවේ රැස්වීම්වලට සහභාගි වූ බව කියන පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවය.


නීතිඥවරයා: මෙම නඩුවට අදාළ මුල් පැමිණිල්ල කළේ සංජය ජෙරාඩ් පෙරේරා මහතා නේද? ඔහු අටවන චූදිතගේ උපදේශකයකු බව ඔබ මීට පෙර සඳහන් කළා.

සාක්ෂිකරු: මෙම සිද්ධියට අදාළව පැමිණිලි දෙකක් ලැබුණා. සංජය ජෙරාඩ් පෙරේරා මහතාගෙන් පැමිණිල්ලක් ලැබුණා. අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙන් ද තවත් පැමිණිල්ලක් ලැබුණා.

නීතිඥවරයා: ඔබ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ සංජය පෙරේරා මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පමණයි නේද?

සාක්ෂිකරු: ඔහුගේ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසුව මුල් බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

නීතිඥවරයා: ඒ කියන්නේ සංජය පෙරේරා මහතාගේ පැමිණිල්ල මත තමයි අධිකරණයට කරුණු වාර්තා කළේ?

සාක්ෂිකරු: එසේය. සංජය ජෙරාඩ් පෙරේරා මහතාගේ පැමිණිල්ලක් මත අධිකරණයට කරුණු වාර්තා කළා.


මෙම ප්‍රශ්න මගින් නීතිඥවරයා විමර්ශනයේ ආරම්භක පියවර සහ අධිකරණයට මුලින් කරුණු වාර්තා කළ පදනම පිළිබඳව විමසීය. එම පැමිණිලි දෙක ලැබී තිබූ බව සාක්ෂිකරු පිළිගත්තද, මුල් බී වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පිළිතුරෙන් පැහැදිලි වූයේ සංජය ජෙරාඩ් පෙරේරා මහතාගේ පැමිණිල්ල මත කරුණු වාර්තා කළ බවය.


දුරකථන වාර්තා තිබුණත් රැස්වීම්වලට පැමිණීම තහවුරු කළාද?


ඉන් අනතුරුව නීතිඥවරයා දුරකථන වාර්තා සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. විමර්ශනයේදී දුරකථන වාර්තා ලබාගත් බවත්, ඇමතුම් හරහා සම්බන්ධතා පිළිබඳව තොරතුරු සොයා බැලූ බවත් සාක්ෂිකරු පිළිගත්තේය.


නීතිඥවරයා: ඔබ පළමු චූදිතගේ දුරකථන සංවාද සහ දුරකථන වාර්තා පරීක්ෂා කළ බව මීට පෙර කිව්වා නේද?

සාක්ෂිකරු: එම වාර්තා ලබාගත්තා.

නීතිඥවරයා: දුරකථන වාර්තා විමර්ශනය කරමින් ඇමතුම් පිළිබඳව සොයා බැලීමේ පළපුරුද්ද ඔබට තිබෙනවා නේද?

සාක්ෂිකරු: එසේය. වැඩිපුර ලබාගෙන ඇති ඇමතුම් ඔස්සේ විමර්ශනය සිදු කළා.

නීතිඥවරයා: මෙහිදී දුරකථන විස්තර ලබාගත්තේ ප්‍රසම්පාදනය සිදු කළ දිනවලදී චූදිතයන් අතර හුවමාරු වූ දුරකථන සංවාද සහ ඔවුන් අතර සම්බන්ධතා අනාවරණය කරගැනීමට නේද?

සාක්ෂිකරු: එසේය. ඔවුන්ගේ සම්බන්ධතා අනාවරණය කරගැනීමට එය යොදාගත්තා.

නීතිඥවරයා: යම් ලේඛනයක් හෝ රැස්වීම් වාර්තාවක් ලැබුණු විට, එහි සඳහන් පුද්ගලයන් ඒ රැස්වීමට සහභාගි වූවාද යන්න දුරකථන වාර්තා මගින් පරීක්ෂා කළාද?

සාක්ෂිකරු: මෙහිදී එසේ කළේ නැහැ. රැස්වීමට සහභාගි වූ පුද්ගලයන්ගේ ප්‍රකාශ සටහන් කරගත්තා.

නීතිඥවරයා: ඒ කියන්නේ එතැනින් ඔබ්බට ගොස් විමර්ශනයක් සිදු කළේ නැහැ?

සාක්ෂිකරු: නැහැ. රැස්වීමේ ප්‍රධානත්වය අටවන චූදිත විසින් ගත් බව සඳහන් වුණා.

නීතිඥවරයා: මම ඇසුවේ විශේෂ රැස්වීමක් ගැනයි.

සාක්ෂිකරු: ප්‍රධානත්වය ගත් අයගේ සහ සහභාගි වූ අයගේ ප්‍රකාශ ලබාගත්තා.


මෙම හරස් ප්‍රශ්නවලින් මතු වූ වැදගත් කරුණ වූයේ දුරකථන වාර්තා ලබාගැනීම සහ ඒවායේ තොරතුරු රැස්වීම්වලට සහභාගි වූ බව කියන පුද්ගලයන්ගේ පැමිණීම තහවුරු කිරීමට භාවිත කිරීම යන කාරණා දෙක අතර වෙනසයි. සාක්ෂිකරු දුරකථන වාර්තා ලබාගෙන තිබූ බව පිළිගත්තද, අදාළ රැස්වීම්වලට සහභාගි වූ බව කියන පුද්ගලයන්ගේ පැමිණීම දුරකථන වාර්තා සමග සසඳා පරීක්ෂා කළ බවක් ඔහුගේ පිළිතුරෙන් තහවුරු නොවීය. ඔහු සඳහන් කළේ රැස්වීම්වලට සහභාගි වූ අයගේ ප්‍රකාශ ලබාගත් බවය.


දුරකථන වාර්තාවල “self data unable” යනුවෙන් සඳහන් වන තත්ත්වයක් තිබේද යන්න ගැනද නීතිඥවරයා විමසීය. ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරුට නිශ්චිත මතකයක් නොතිබූ අතර, එවැනි තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් තමන්ට ප්‍රමාණවත් දැනුමක් නොමැති බව ඔහු සඳහන් කළේය.


නීතිඥවරයා: ශ්‍රී ලංකාවේ දුරකථන කුළුණුවල ආවරණයට හසු නොවන්නේ නම් අදාළ පුද්ගලයා විදේශයක සිටියා විය හැකියි නේද?

සාක්ෂිකරු: දුරකථනය ක්‍රියා විරහිත කර තිබෙන්නත් පුළුවන්. තාක්ෂණික කරුණු ගැන මට අවබෝධයක් නැහැ.


සාක්ෂිකරුගේ මෙම පිළිතුරෙන් අනාවරණය වූයේ දුරකථන දත්ත පිළිබඳ තාක්ෂණික අර්ථකථන ලබාදීමට ඔහුට නොහැකි වූ බවය. එවැනි තොරතුරු නිවැරදිව අර්ථකථනය කිරීම සඳහා අදාළ තාක්ෂණික අංශයේ නිලධාරීන්ගෙන් කරුණු විමසිය යුතු බවද සාක්ෂිකරු සඳහන් කළේය.


අන්‍යස්ථානිකභාවය පිළිබඳ ප්‍රශ්නයට අධිකරණයෙන් අවසර නැහැ

නයන්ත විජේසූරිය මහතාගේ හරස් ප්‍රශ්න අතරින් වඩාත්ම වැදගත් අධිකරණමය අවස්ථාවක් වූයේ, අටවන විත්තිකරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අදාළ රැස්වීමක් සම්බන්ධයෙන් දුරකථන වාර්තා පරීක්ෂා කළේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවයි.


2022 ඔක්තෝබර් 21 වැනිදාට අදාළ මිනිට් සටහනක් සහ රැස්වීමක් සම්බන්ධයෙන් විමර්ශනයේදී තොරතුරු ලබාගත් ආකාරය ගැන නීතිඥවරයා විමසීය. මින්දුලි ජයමාන්න මහත්මියගේ ප්‍රකාශයක සහ දිනූෂ දසනායක මහතාගේ ප්‍රකාශයක එම රැස්වීම පැවැත්වූ බවට තොරතුරු සඳහන් වූ බව සාක්ෂිකරු පැවසීය. දොළොස්වන විත්තිකරුගෙන්ද එම රැස්වීම පිළිබඳව කරුණු අනාවරණය වූ බව ඔහු සඳහන් කළේය.


එම රැස්වීම සම්බන්ධයෙන් දුරකථන වාර්තා පරීක්ෂා කළේද යන්න පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කිරීමට නීතිඥවරයා සූදානම් වූ අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මැදිහත් විය.


සභාපති විනිසුරු: අන්‍යස්ථානිකභාවය සම්බන්ධයෙන් මෙම අධිකරණය නියෝගයක් ලබාදී අවසන්. ඒ ගැන තවදුරටත් ප්‍රශ්න කරන්න බැහැ.

එහිදී නීතිඥවරයා වෙනත් ආකාරයකින් ප්‍රශ්නය යොමු කිරීමට උත්සාහ කළේය.

නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරනවා. මෙම නඩුවට අදාළ විවිධ රැස්වීම් සටහන් විමර්ශනයට භාජනය කළා නේද?

සාක්ෂිකරු: එසේය.

නීතිඥවරයා: යම් නිශ්චිත රැස්වීමක් සම්බන්ධයෙන් දුරකථන වාර්තා අනුව යම් කරුණක් අනාවරණය වුවහොත් ඒ පිළිබඳව විමර්ශනයක් කරනවා නේද?


එහිදී සභාපති විනිසුරුවරයා නැවතත් මැදිහත් වෙමින් පැවසුවේ, අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට සෘජුව කළ නොහැකි දෙයක් වක්‍රව සිදුකිරීමට නොහැකි බවය.


නීතිඥවරයා තම විරෝධතාව සටහන් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා පැහැදිලි නියෝගයක් ප්‍රකාශ කළේය.


සභාපති විනිසුරු: නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයට පැමිණිල්ල විරුද්ධත්වය පළ කරනවා. මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ නිශ්චිත රැස්වීමක් සම්බන්ධයෙන් යම් පුද්ගලයකු එහි නොසිටියා නම් යන උපකල්පනය මතයි. උපකල්පිත සිදුවීම් සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම සාක්ෂි ආඥාපනතේ තුන්වන වගන්තිය යටතේ බැහැර කර තිබෙනවා. සාක්ෂිකරුවකුට සාක්ෂි දිය හැක්කේ තම දැනුම මත මිස උපකල්පිත සිදුවීම් පිළිබඳව නොවෙයි. අටවන චූදිත සම්බන්ධයෙන් අන්‍යස්ථානිකභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි බවට නියෝගයක් ලබාදී තිබෙනවා. සෘජුව කළ නොහැකි දෙයක් වක්‍රව කළ නොහැකියි. ඒ අනුව අදාළ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරනු ලබනවා.


මෙම නියෝගය නඩු විභාගයේදී සැලකිල්ලට ගත යුතු වැදගත් අංගයකි. නීතිඥවරයාගේ ප්‍රශ්නයට අවසර නොලැබුණේ, එය රැස්වීමකට පුද්ගලයකු සහභාගි නොවූ බවට උපකල්පනයක් මත ඉදිරිපත් කළ ප්‍රශ්නයක් ලෙස අධිකරණය සැලකූ බැවිනි. එමෙන්ම, අටවන විත්තිකරුට අන්‍යස්ථානිකභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි බවට මීට පෙර නියෝගයක් ලබාදී තිබූ බවද විනිසුරුවරයා සඳහන් කළේය.


එබැවින් මෙම අවස්ථාව විමර්ශන නිලධාරියාගේ පිළිතුරක් පමණක් නොව, විත්ති පාර්ශ්වයට ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි සීමාව පිළිබඳ අධිකරණයේ තීරණයක්ද විය.

කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශය ලබාගත්තේ

පැය එකොළහකට ආසන්න කාලයක් තුළදී


නයන්ත විජේසූරිය මහතා ඉන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් ආකාරය පිළිබඳව විමසීය. සාක්ෂිකරු සඳහන් කළේ, 2024 පෙබරවාරි 2 වැනිදා රඹුක්වැල්ල මහතාට දැනුම් දීමක් කර තිබූ අතර ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවය. ඊට පෙර, ඔහුගේ ඉල්ලීම මත 2023 දෙසැම්බර් 26 වැනිදාට පෙර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.


නීතිඥවරයා: අටවන චූදිත 2024 පෙබරවාරි 2 වැනිදා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා නේද?

සාක්ෂිකරු: දැනුම් දීමකට අනුව ඔහු පැමිණියා.

නීතිඥවරයා: එදින ඔහු උදේ 9.15ට පමණ ප්‍රකාශය ලබාදීම ආරම්භ කළා නේද?

සාක්ෂිකරු: එසේය.

නීතිඥවරයා: එම ප්‍රකාශය සටහන් කරගැනීම රාත්‍රී අටට අවසන් වුණාද?

සාක්ෂිකරු: එසේය. රාත්‍රී අටට ප්‍රකාශය අවසන් වුණා.


නීතිඥවරයා පෙන්වා දුන්නේ, එම සටහන් අනුව රඹුක්වැල්ල මහතා පැය එකොළහකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටි බවය. එම අවස්ථාවේ ඔහුගේ වයස අවුරුදු 69ක් බවද නීතිඥවරයා සඳහන් කළේය.


ප්‍රකාශය ලබාගන්නා අතරතුර විවේක ලබාදුන් ආකාරය ගැනද නීතිඥවරයා විමසීය. විවේකයකදී රෝල්ස්, පැටිස් සහ තේ ලබාදුන් බවත්, පසුව සවස 3.40 සිට 4.10 දක්වා පැය භාගයක විවේකයක් ලබාදී එළවළු රොටී සහ තේ ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.


නීතිඥවරයා: එම ආහාර ලබාදුන්නේ කොහෙන්ද?

සාක්ෂිකරු: ස්ථානාධිපතිවරයා විසින් ලබාදුන්නා. තේ සකස් කරන්නේ ආයතනය තුළදීමයි. ප්‍රකාශ ලබාදීමට වැඩි වේලාවක් ගතවන අවස්ථාවලදී ප්‍රකාශය ලබාදෙන පුද්ගලයාට තේ ලබාදීම සිදු කරනවා.

නීතිඥවරයා: රාත්‍රී අටට අටවන චූදිත අත්අඩංගුවට ගත්තා නේද?

සාක්ෂිකරු: එසේය.

නීතිඥවරයා: ඉන්පසුව උපසේවයට භාරදුන්නාද?

සාක්ෂිකරු: උපසේවයට භාරදීම සිදු කළා.


මෙම හරස් ප්‍රශ්න මගින් නීතිඥවරයා අවධානය යොමු කළේ ප්‍රකාශය ලබාගැනීමට ගත වූ කාලය සහ එම ක්‍රියාවලියේ සිදුවීම් අනුපිළිවෙළ වෙතය. එහෙත්, එම කාලය පමණක් පදනම් කරගෙන ප්‍රකාශය ලබාගැනීමේ නීත්‍යනුකූලභාවය හෝ එහි අන්තර්ගතයේ විශ්වසනීයත්වය පිළිබඳ අවසන් නිගමනයකට පැමිණිය නොහැකිය. එය අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු අතරින් එකකි.


විජිත් ගුණසේකර ප්‍රසම්පාදන කමිටුවේ සිටියාද? 


කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් සිදු කළ හරස් ප්‍රශ්නවලින් පසුව, දොළොස්වන විත්තිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ මහතා විමර්ශන නිලධාරියාගෙන් ප්‍රශ්න කළේය.


ඔහුගේ ප්‍රශ්නවල ප්‍රධාන අවධානය යොමු වූයේ වෛද්‍ය ගුණසේකර මහතා අදාළ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කුමන තනතුරක් හෝ වගකීමක් දැරුවේද යන්න සම්බන්ධයෙනි. විමර්ශන නිලධාරියාගෙන් විමසූ ප්‍රශ්න අනුව, හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකත්වය, ඇගයීම් කමිටුවේ සාමාජිකත්වය සහ ගෙවීම් සඳහා අත්සන් තැබීම යන කරුණු වෙන වෙනම පරීක්ෂා කෙරිණි.


නීතිඥවරයා: හදිසි ප්‍රසම්පාදනයට අදාළව කමිටුවක් පත් කර තිබුණා නේද?

සාක්ෂිකරු: එසේය.

නීතිඥවරයා: දොළොස්වන චූදිත එම කමිටුවේ සාමාජිකයකුද?

සාක්ෂිකරු: නැහැ, ස්වාමීනි.

නීතිඥවරයා: ඔහු පස්දෙනකුගෙන් සමන්විත ඇගයීම් කමිටුවේ සාමාජිකයකුද?

සාක්ෂිකරු: නැහැ, ස්වාමීනි.

නීතිඥවරයා: ඖෂධ සඳහා ගෙවීම් කිරීමේදී අදාළ වවුචර් සහ චෙක්පත්වලට දොළොස්වන චූදිත අත්සන් කර තිබුණාද?

සාක්ෂිකරු: නැහැ, ස්වාමීනි.


මෙම ප්‍රශ්නවලදී සාක්ෂිකරු ලබාදුන් පිළිතුරු අනුව, වෛද්‍ය විජිත් ගුණසේකර මහතා හදිසි ප්‍රසම්පාදන කමිටුවේ හෝ පස්දෙනකුගෙන් සමන්විත ඇගයීම් කමිටුවේ සාමාජිකයකු නොවූ බවත්, අදාළ ගෙවීම් වවුචර් සහ චෙක්පත්වලට අත්සන් කර නොතිබූ බවත් අධිකරණය හමුවේ කියැවිණි.


එහෙත් මෙම කරුණු මගින් පමණක් විත්තිකරුට එරෙහි චෝදනා සනාථ වනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගත නොහැකිය. නඩුවේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලු චෝදනා සහ සාක්ෂි එකට සලකා බැලීමෙන් පසුව පමණක් එවැනි නිගමනයකට පැමිණිය හැකිය.


ජනාධිපති නීතිඥවරයා ඉන් අනතුරුව අධිකරණයේ පැ.32 ලෙස ලකුණු කර තිබූ ලේඛනයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළේය. එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලිපියක්ද යන්න විමසූ විට සාක්ෂිකරු පැවසුවේ එය ඖෂධ නිෂ්පාදනය සඳහා නිකුත් කරන GMP සහතිකය සම්බන්ධ ලිපියක් බවය.


එම ලිපිය මගින් අදාළ ආයතනයට සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබූ බවත්, එහි 2020 අප්‍රේල් 18 වැනිදා යන දිනය සඳහන් වූ බවත් හරස් ප්‍රශ්නවලදී සාකච්ඡා විය. ලිපියට අත්සන් තැබුවේ දොළොස්වන විත්තිකරුද යන්න පිළිබඳව නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කමිටු වාර්තාව අනුව සහතිකය නිකුත් නොකිරීම පිළිබඳව සඳහන් විය.


ඉන් අනතුරුව EOI ක්‍රමවේදය යටතේ ඖෂධ 157කට අදාළව ලේඛනයක් තිබූ බවට නීතිඥවරයා ප්‍රශ්න කළේය.

නීතිඥවරයා: EOI ක්‍රමවේදය යටතේ ඖෂධ 157කට අදාළව ලේඛනයක් තිබුණා නේද?

සාක්ෂිකරු: එවැන්නක් සඳහන් වනවා.

නීතිඥවරයා: ඒ අතර ලියාපදිංචි සැපයුම්කරුවනුත් සිටියාද?

සාක්ෂිකරු: ඔව්. ඒ අතර බහුතරයක් සිටියා.


මෙහිදී චමින්ද අතුකෝරළ මහතාගේ ප්‍රශ්නවලින් මතු වූයේ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ තනතුර, අදාළ කමිටුවල සාමාජිකත්වය සහ ගෙවීම් ක්‍රියාවලියට ඔහුගේ සෘජු සම්බන්ධතාව පිළිබඳවය. GMP සහතිකය නිකුත් නොකිරීමේ ලිපිය සහ EOI ක්‍රමවේදය යටතේ ඖෂධ සැපයුම්කරුවන් පිළිබඳවද කරුණු සාකච්ඡා විය.

එදින පැවති හරස් ප්‍රශ්නවලින් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ඉස්මතු විය. පළමුවැන්න වූයේ, ඖෂධ තොග සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ලේඛන සියල්ල විමර්ශන නිලධාරියා සෘජුව පරීක්ෂා කළේද යන්නයි. දෙවැන්න වූයේ, ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ ලේඛනවල අන්තර්ගතය තේරුම් ගැනීමේදී වෙනත් නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් මත රඳා සිටියේ නම් ඒවා සටහන් කරගැනීමේ ක්‍රමවේදය කුමක්ද යන්නයි. තුන්වැන්න වූයේ, රැස්වීම්වලට සහභාගි වූ බව කියන පුද්ගලයන්ගේ ප්‍රකාශ ලබාගැනීමෙන් ඔබ්බට ගොස් දුරකථන වාර්තා වැනි තාක්ෂණික සාක්ෂි මගින් ඒ කරුණු තහවුරු කළේද යන්නයි.


ප්‍රියන්ත නාවාන මහතාගේ හරස් ප්‍රශ්නවලදී විමර්ශන නිලධාරියාගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාව සහ ලේඛන කියවා තේරුම් ගැනීමේ හැකියාව පිළිබඳව ප්‍රබල අභියෝගයක් ඉදිරිපත් විය. විශේෂයෙන්ම, වෛද්‍ය සමන් රත්නායක මහතාගේ සටහනේ “retender” හෝ “re-evaluation” යන වචනවලින් කුමක් අදහස් වන්නේද යන්න පිළිබඳව අධිකරණයේදී ප්‍රශ්නයක් මතු වීම, ලේඛනවල අර්ථය තේරුම් ගැනීමේ වැදගත්කම ඉස්මතු කළේය.


නයන්ත විජේසූරිය මහතාගේ හරස් ප්‍රශ්නවලදී දුරකථන වාර්තා ලබාගෙන තිබුණද, ඒවා භාවිත කර රැස්වීම්වලට සහභාගි වූ බව කියන පුද්ගලයන්ගේ පැමිණීම තහවුරු කළේද යන්න ප්‍රශ්න කෙරිණි. එහෙත් අටවන විත්තිකරුගේ අන්‍යස්ථානිකභාවය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අධිකරණය කලින් නියෝගයක් ලබාදී තිබූ බැවින්, එම සීමාව වක්‍රව ඉක්මවා යාමට නොහැකි බව සභාපති විනිසුරුවරයා පැහැදිලි කළේය.


චමින්ද අතුකෝරළ මහතාගේ හරස් ප්‍රශ්නවලින් වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අදාළ ප්‍රසම්පාදන කමිටුවල සාමාජිකයකු නොවූ බවත්, ගෙවීම් වවුචර් සහ චෙක්පත්වලට අත්සන් කර නොතිබූ බවත් සාක්ෂිකරු පිළිගත් කරුණු ලෙස ඉස්මතු විය. 


මෙම හරස් ප්‍රශ්නවලදී විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ චෝදනාත්මක යෝජනා සියල්ල සාක්ෂිකරු පිළිගත්තේ නැත. ඔහු ඒවායින් කිහිපයක් ප්‍රතික්ෂේප කළ අතර, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තමන්ට සීමාවක් තිබූ බවත්, ලේඛනවල අන්තර්ගතය පැහැදිලි කරගැනීම සඳහා ඒවා සකස් කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් පැවසීය. ඒ අනුව, නීතිඥවරුන් මතු කළ ප්‍රශ්න විමර්ශනයේ ක්‍රමවේදය පිළිබඳ අභියෝග ලෙස සැලකිය යුතු අතර, ඒවා අධිකරණය විසින් තහවුරු කළ නිගමන ලෙස සැලකිය නොහැකිය.


එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් වූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් කාලය සහ ඉන් අනතුරුව සිදු කළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නවලින් පසුවය. 


ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්ල වූ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටුක්සිමැබ් ඖෂධ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ. වාර්තාවේ සඳහන් පරිදි, ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය අඩංගු කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13ක් ඊට ඇතුළත්ය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0