සැපට සැපේ කොළඹ වටේ රවුමක් යන විසඳුම මෙන්න...

කොළඹ නගරයේ තියෙන රථවාහන තදබදයට විසඳුමක් විදිහටත්, සුවපහසු වගේම ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදෙන්නත් අරමුණු කරගෙන අලුතින් ගෙනාපු “මෙට්‍රෝ බස්” 112ක් අද (29) ඉඳන් පාරට දාලා. ඒ නිමිත්තෙන් ඔන්න තලංගම මෙට්‍රෝ බස් ඩිපෝ පරිශ්‍රයේදී පුංචි උත්සවයකුත් සංවිධානය වෙලා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ බස් රථ පාරට දැමීමේ උත්සවය සංවිධානය වෙලා තිබුණේ.

Sep 30, 2026 - 12:27
 16
සැපට සැපේ කොළඹ වටේ  රවුමක් යන විසඳුම මෙන්න...

සැපට සැපේ කොළඹ වටේ

රවුමක් යන විසඳුම මෙන්න...

අලුත්ම මෙට්‍රෝ බස් 112ක් 

අද සිට මහ පාරට!


කොළඹ නගරයේ තියෙන රථවාහන තදබදයට විසඳුමක් විදිහටත්, සුවපහසු වගේම ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදෙන්නත් අරමුණු කරගෙන අලුතින් ගෙනාපු “මෙට්‍රෝ බස්” 112ක් අද (29) ඉඳන් පාරට දාලා. ඒ නිමිත්තෙන් ඔන්න තලංගම මෙට්‍රෝ බස් ඩිපෝ පරිශ්‍රයේදී පුංචි උත්සවයකුත් සංවිධානය වෙලා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ බස් රථ පාරට දැමීමේ උත්සවය සංවිධානය වෙලා තිබුණේ.


මේ මෙට්‍රෝ බස් සේවාව බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 7ක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. 2025 අයවැය යෝජනාවක් විදිහට තමයි මේ වැඩපිළිවෙළ මුලින්ම පටන් ගත්තේ. ඒ වෙනුවෙන් පහත් තට්ටුවේ (Low floor) සුවපහසු බස් රථ 100ක් මිලදී ගන්න රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කරලා තිබුණා. ඒ අනුව ලංකාවට ලැබුණු බස් රථ 104ක් සහ ජපන් රජයෙන් පරිත්‍යාග කරපු බස් රථ 8ක් එකතු කරලා තමයි අද මෙහෙම බස් 112ක් ධාවනයට එක් කළේ.


කොළඹට එන පෞද්ගලික වාහන අඩු කරන්න ප්ලෑන් එකක්
මේ නව බස් සේවාව හරහා කොළඹට ඇතුළු වෙන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් කෙනෙක් විතරක් යන වාහන ගණන අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. මගීන්ට තමන්ගේ ගමනාන්තයට වෙලාවට යන්න පුළුවන් වෙන විදිහට නිශ්චිත කාලසටහනකට අනුව මේ බස් ධාවනය වෙන්නේ.


මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න පිහිටුවපු “ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම’ (LANKA METRO TRANSIT PVT)” මේ වන විටත් සැලසුම්, ප්‍රසම්පාදන, යටිතල පහසුකම් සංවර්ධනය වගේම පරීක්ෂණ මෙහෙයුම් අදියර සාර්ථකව අවසන් කරලා තියෙනවා. ආරම්භක මෙට්‍රෝ බස් මාර්ග ජාලය ප්‍රධාන මාර්ග 7කින් සමන්විත වෙන අතර එහි මුළු දිග කිලෝමීටර් 188.7ක් විතර වෙනවා.


ඊට අමතරව, මෙට්‍රෝ බස් මෙහෙයුම් සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩිජිටල්කරණ පද්ධතියේ සැලසුම් හැදීමත් ඉවරයි. බස් රථ පාලනය (Fleet Management), මගී තොරතුරු, ටිකට් ගාස්තු එකතු කිරීම සහ මෙහෙයුම් පරීක්ෂා කිරීම මේ ඩිජිටල් සිස්ටම් එකෙන් සිද්ධ වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියයි කොළඹ මහ නගර සභාවයි එකතු වෙලා බස් නැවතුම්පොළවල් හදන වැඩ කටයුතු කරගෙන යන අතර, ඩිපෝ ඉදිකිරීම් කටයුතුත් මේ වන විට ආරම්භ කරලයි තියෙන්නේ. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය ලංකාවේ තවත් ප්‍රධාන නගර කිහිපයකටම ව්‍යාප්ත කරන්නත් ප්ලෑන් කරලා තියෙනවා.


“දවස් 356න් ජයගත්ත ලොකු අභියෝගයක්” 
මෙහිදී අදහස් දක්වපු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ අද සිට නාගරික ප්‍රවාහනයට බස් 122ක් එකතු වෙන බවයි.


“මේ ආණ්ඩුව පත් වෙලා අවුරුදු දෙකක් පිරෙන මොහොතේ රට යන දිශාව පෙන්වන හොඳ සංකේතයක් තමයි මේක. රටේ නිදහස් සෞඛ්‍යය සහ අධ්‍යාපනය වගේම පොදු ප්‍රවාහන සේවයත් ඉහළ මට්ටමකට ගේන්න ඕනේ කියලා ජනාධිපතිතුමා පසුගියද හි අවධාරණය කළා. ඒ දිරිගැන්වීම අපිට ලොකු ශක්තියක් වුණා.


මෙට්‍රෝ සේවය වෙනුවෙන් රජය රුපියල් බිලියන 7.5ක් විතර යොදවලා තියෙනවා. ඒකෙන් පෙනෙන්නේ රටේ ආර්ථික ශක්තිමත්භාවයයි. රජයේ අවුරුදු 2ක ගමනේ 'ලිට්මස් පරීක්ෂාවෙන්' අපි සමත් වෙලා තියෙනවා. දවස් 356ක් වගේ අවුරුද්දකටත් අඩු කාලයකදී සියලු චක්‍රලේඛ අනුගමනය කරලා අපි මේ අභියෝගය ජය ගත්තා.


ඉදිරියට එන සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් තවත් බස් 50ක් ගෙන්නලා යාපනය, මහනුවර සහ ගාල්ල නගරාන්තර සේවාවලට යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. නගරවල ට්‍රැෆික් අඩු කරන්න නාගරික ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් හරහා පෞද්ගලික අංශයත් මේකට එකතු කරගන්නවා. ඒ වගේම Park & Ride (වාහන ගාල් කර බස් රථයෙන් ගමන් කිරීමේ) ක්‍රමය ප්‍රවර්ධනය කරන්න බස් හෝල්ට් අසල වාහන පාර්ක් කරන්න පහසුකම් හදලා දෙන්න කියලා මම නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලනවා.


මේ ව්‍යාපෘතියට බස් 8ක් දීපු ජපාන රජයට අපේ ස්තූතිය හිමිවෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා චීනයේ කරපු සංචාරයේදී කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට මෙට්‍රෝ සමාගමට තවත් බස් 100ක් දෙන්න චීන රජය එකඟ වුණා. ඒ හැමෝටම වගේම කැපවුණු සැමටම මගේ ස්තූතිය පුද කරනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.


මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න, ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කාර්යමණ්ඩලය සහභාගී වී සිටියා.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0