කඳුළු අතරින් බොදව ගිය සිතුවම...
රෝහල් කාමරයේ සුවපහසු සයනය මත තබා තිබූ බිමල්ගේ සිරුර මෘත දේහයකින් වෙනස් වූයේ ඉඳහිට කරන ඇසිපිය සෙලවීමත් කෙඳිරිගෑමත් නිසාය. හිස පුරාම, ඇස් දෙක පමණක් ඉතිරි වනසේ යොදා තිබූ වෙළුම් පටිවල තැන තැන මතුව තිබූ අළුත් ලේ පැල්ලම් හිසේ ඇති තුවාලයේ බරපතළකම කියාපායි... වම් කකුලේත් උඩ සිට පහළට සම්පූර්ණයෙන්ම වෙලා ආවරණය කර දමා ඇති වෙළුම් පටි අතරින් තුවාල වලින් නිකුත් වන ලේ බිදු බොඳව පවතින පැල්ලම්ය. මම එය තවත් නොපෙනෙන්නට රෙද්දකින් වසා දැමුවෙමි.
කඳුළු අතරින්
බොදව ගිය සිතුවම...
ශ්‍යාමලී රත්නායක
රෝහල් කාමරයේ සුවපහසු සයනය මත තබා තිබූ බිමල්ගේ සිරුර මෘත දේහයකින් වෙනස් වූයේ ඉඳහිට කරන ඇසිපිය සෙලවීමත් කෙඳිරිගෑමත් නිසාය. හිස පුරාම, ඇස් දෙක පමණක් ඉතිරි වනසේ යොදා තිබූ වෙළුම් පටිවල තැන තැන මතුව තිබූ අළුත් ලේ පැල්ලම් හිසේ ඇති තුවාලයේ බරපතළකම කියාපායි...
වම් කකුලේත් උඩ සිට පහළට සම්පූර්ණයෙන්ම වෙලා ආවරණය කර දමා ඇති වෙළුම් පටි අතරින් තුවාල වලින් නිකුත් වන ලේ බිදු බොඳව පවතින පැල්ලම්ය. මම එය තවත් නොපෙනෙන්නට රෙද්දකින් වසා දැමුවෙමි.
වසන්නට දැන් ඔහුට දෙකකුල් නැත. දකුණු කකුල තැලී පොඩිවී තිබුණෙන් දණහිස ළඟින්ම ඉවත් කරනවා හැර වෙන විකල්පයක් වෛද්‍යවරුන්ට නොතිබූ බව ප‍්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා මහත් කණගාටුවෙන් මා සමග කියුවේය.
රෝහල් කාමරයේ සීනුව වැදුනෙන් මම දොර හැරියෙමි. ලොකු පලතුරු බඳුනක් හා මල් කළඹක් රැගෙන අපේ මහත්තයාගේ රියැදුරු නාමල් පැමිණ සිටියි...
“එන්න නාමල් ඇතුළට... බලන්න අපේ මහත්තයා දිහා... තවමත් ඇහැක් කටක් ඇරලා කතා කළේ නෑ...” මම කඳුළු අතරින් කතා කරන්නට උත්සාහ ගතිමි...
නාමල්, මහත්තයාගේ කකුල පොරවා සිටි රෙද්ද මඳක් ඉවත් කර බලා වී ඇති සංගිදියේ බරපතළකම වටහා ගෙන නැවත තිබූ පරිදි වසා දැමුවේය...
“ඊයේ උදේ පඩිපෙළ බැහැල කකුල් දෙකෙන් ඇවිදගෙන ගිය මනුස්සයා... ආයෙත් එයාට කකුල් දෙකෙන් ඇවිදින්න ලැබෙන්නේ නෑ... ඇයි නාමල් ඊයේ? මහත්තයත් එක්ක නො ගියේ. මම කියල තියනවානේ මහත්තයා බොන්න යනවනම් නාමල් වාහනේ එලවගෙන යන්න කියලා...”
“ඒ වුණාට නෝනා, මහත්තයා නයිට් ක්ලබ් යනකොට අපි කාටවත් එයත් එක්ක යන්න තහනම්නේ... එතකොට යන්න ඇමතිතුමාගේ වෙනමම කට්ටියක් පුරුදුවෙලා ඉන්නවා...”
“උන් තමයි අපේ මහත්තයාව විනාශ කළේ. කෝ... ආවද දැන් උන් එකෙක්වත්...”
අපේ මහත්තයාගේ බීමත්කම කවදා හෝ දිනක අපේ පවුලට මහා විනාශයක් අත්කර දේ යැයි මම නිකමටවත් සිතුවේ නැත. ඔහු සමග විවාහ වන මුල් යුගයේ ඔහු දිනපතා බොන්නකු නොවූ වග මට හොඳට මතකය. සතියකට දවසක් දෙකක් රාත්‍රී කාලයේ කවුරුන් හෝ මිතුරකු සමග ඔහු මධුවිතක් තොල ගාන්නට පුරුදුව සිටියත් එය අත්‍යවශ්‍ය කාරණයක් යැයි සිතුවේ නැත.
ඒ යුගයේ බීම කවුරුන් හෝ මිතුරෙකු ගෙදරට පැමිණි දොහක හෝ අප කාගේ හෝ මිතුරකුගේ නිවසකට ගිය දොහකට පමණක් සීමා විය. ඒ හැරත් එවක මධුවිතක් තොලගා ඔහු භාවයන් සියුම් කරනවිට ළඟ සිටින්නන් ලබන්නේ මහත් විනෝදයකි. සාමාන්‍යයෙන් හොඳ ඇවතුම් පැවතුම් කතා බහ, සිරිත් විරිත් හා චර්යාවන් ඇති ඔහු බීවාට පසු ඊටත් වඩා හොඳ යැයි කියන්නේ මා පමණක් නොව, අපේ එක්කෙනාගේ ගෙදර අය පවා කියන්නේ “නොබී සිටින බිමල්ට වඩා බී සිටින බිමල්” හරි හිත හොඳ මිනිහෙක් කියා ය...
විවාහ වී දින සති මාස අවුරුදුවලින් කාලය ගෙවී ගියේය. අපි දෙදෙනාම ගමෙන් ඈත්වී කොළඹ පදිංචියට ආවේ බිමල් සේවය කළ දේශපාලනඥයා ඡන්දයෙන් ජයග‍්‍රහණය කර ඔවුන්ගේ පක්‍ෂය ආණ්ඩු බලය ගෙන රටේ තහවුරු වූවාට පසුව ය. බිමල් පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ කස්තුරි පිණිදියගොල්ල මන්ත්‍රීතුමා ඇමැතිවරයකු ලෙස වැඩ භාරගන්නට වැඩි දවසක් ගත වූයේ නැත...
පළාත් දේශපාලනයේ සිට අමාත්‍යවරයකු වී ප‍්‍රදේශයට ලොකු සේවාවක් කළ පිණිදියගොල්ලට රටේ ඉතා වැදගත් අමාත්‍යංශයක් වන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය භාර දෙන්නට ජනාධිපතිතුමිය කල්පනා කළ දාට මසකට පසු අපටත් ජීවිතයේ පළමු වතාවට අපේම කියා නිවසක් කොළඹින් ලැබිණි...
එදා ඒ නිවස මුල්වරට ලබාගෙන කිරි උතුරවා එහි පදිංචියට ගිය දිනය මට හොඳට මතකය. පිණිදියගොල්ල ඇමැතිතුමා අපේ නිවසට ආවේ නිවසේ සාලයට හා කාමරවලට අවශ්‍ය සියලූම ලී බඩු හා උපකරණ ලොරියක පටවාගෙන බව මට මතකය...
“ඔන්න මිසිස් බිමල් බණ්ඩාර... දැන් ඔන්න අපේ බිමල් මලයටත් ලිපිනයක් තියනවා...”
ඇමතිතුමා මගේ අතින් ගෙදර හිමිකම් ඔප්පුව තබමින් එසේ කීවාට ඒ කිව්වේ මොකක්ද කියා මට වැටහුනේ නැත..
“ලිපිනයක් කිව්වේ ඇමතිතුමා...” මම ඇසිමි.
“ලිපිනයක් කිව්වේ තමන් ඉන්න ගෙයක ලිපිනයක්. මේ බිමලයා මෙච්චර කාලයක් කොළඹ වැඩ කළාට එඞ්ඩ‍්‍රස් එක මොකක් ද කියලා කවුරු හරි ඇහුවාම දෙන්නේ එක එකාගේ ඇඞ්ඩ‍්‍රස්නේ. එක්කො අපේ ගෙදර එක දේවි. නැත්නම් කාගේ හරි ඇඞ්ඩ‍්‍රස් එකක් දේවි. තමන්ගේ කියල ඇඞ්ඩ‍්‍රස් එකක් මෙච්චර කල් තිබුණේ නැහැනේ. ඔන්න දැන් අද ඉඳලා ඇඞ්ඩ‍්‍රස් එකකුත් තියනවා.”
කොළඹ මොරටුව සොයිසාපුරයේ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක තට්ටු නිවාසයක් වූ අපේ නිවස කාමර දෙකකින් පුංචි ඉස්තෝප්පුවකින් හා සාලයටම යාවූ කුස්සියකින් වෙන්වූ නාන කාමරයකින් සමන්විත වූයේය. ඒ පුංචි නිවසේ කාමර හා සාලය ඇමතිතුමන් ගෙන ආ ලොරියේ වූ ලී බඩු වලින් පිරීයත්ම මගේ හදවත සතුටින් පිරී වාන් දමන්නට පටන් ගත්තේ ය.
පිණිදියගොල්ල ඇමතිතුමන්ගේ පුද්ගලික ලේකම්වරයා වන බිමල් බණ්ඩාරට දැන් ඔහු ගේ ම කියා නිවසක් ඇත. ඔහුගේම කියා වාහනයක් ඇත... ඔහුගේම කියා බිරිඳක් ඇත. ඔහුගේම කියා ජීවිතයක් ඇත... ඔහුගේම කියා...
ඒ සිතුවිල්ල ඔස්සේ මට තවදුරටත් ඉදිරියට යාමට නොහැකි වූයේ ඊළඟට කීමට ඇති දේ මගේ අඩුපාඩුවකින් ඇහිරී අහිමි වී ඇති නිසා ය... බිමල්ගේ ජීවිතය සම්පූර්ණ වීමට ඇති එම අඩුව ගැන අපි දෙදෙනාම කතා කිරීම නතර කර දැන් බොහෝ කල් ය. එහෙත් සෙසු අය තවමත් ඒ මාතෘකාව ගැන කතා කරමින් අප දෙදෙනාගේම සිත් රිදවයි...
පිණිදියගොල්ල ඇමතිතුමා ගෙයි හැම තැනකම ඇවිද අන්තිමේ නතර වූයේ ගේ ඉදිරියේ පුංචි සඳළු තලයේ ය.
“ෂාහ්... මේක නියම තැනනේ බිමල්. මේ පැත්තේ ඈතින් පේන මුහුද හැරුණම වෙන කිසිම බිල්ඩිමක් නෑ. නියම සීනරි එක. හැන්දෑවට ඉර බැහැගෙන යන හැටි බලාගෙන දෙන්නට පුළුවන් හීනියට අඩියක් ගහන්න.” ඇමතිතුමා විහිළු කළේය...
අලූත් ගෙදර පදිංචියට ආ සතියේම මට අපේ ඇමතිතුමා මාරුවක් සාදා දුන්නේය. මෙතෙක් කලක් උඩුදුම්බර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකාරිනියක ලෙස සේවය කළ මම දැන් නිවාස සංවර්ධන අධිකාරියේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රවෘත්ති නිලධාරිනියකව අනුයුක්තයක් ලබා ගත්තේ ඇමතිතුමන්ගේ බලපුළුවන්කාරකම නිසා ය.
දින සති මාස අවුරුදු වලින් කාලය ගෙවී යත්ම එක් දෙයක් හැර අපේ ජීවිත මහ පුදුමාකාර වෙනසකට ලක් වූහ. කලකට පෙර මහේෂි නෝනා ලෙස මට කතා කළ බොහෝ දෙනා මට ‘මහේෂි මැඩම්’ කියන්නට පටන් ගත්හ. අමාත්‍යංශයේ හුඟ දෙනෙක් යමෙකුට නිවාසයක් රජයෙන් ලබාගැනීමට ඇමතිතුමා සොයා යනවා වෙනුවට මා සොයා එන්නට පටන් ගැනීම මට මහත් වදයක් විය...
“අනේ... ඔයගොල්ලන්ට පිස්සුද. මම නිවාස අධිකාරියේ පුංචි රැකියාවක් කරන කෙනෙක් විතරයි. ගෙයක් ගන්න ඕනනම් ඒකට අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයක් තියනවා. හම්බවෙන්න ඇමතිවරු ඉන්නවා... එයාලට කියන්නකෝ.”
“ඒ වුණාට බිමල් බණ්ඩාර මහත්තයා අතට ෆයිල් එක ගියොත් වැඬේ වරදින්නේ නැහැනේ. ඒක කරන්න පුළුවන් එකම කෙනා මැඩම්.”
ඔය අන්දමේ ඉල්ලීම් නිසා මට රැකියාවට නොයා ගෙදර නතරවීමට තරම් හිතුන අවස්ථා එමටය..
දිනක් මා හමුවන්නට නාමල් පැමිණියේ ඔය වර්ගයේ ඉල්ලීමක් මුල්කරගෙනය. මාව කාර්යාලයට රැගෙන යන්නේත් රැගෙන ගෙදර ගෙනවිත් දමන්නේත් මගේ අනෙකුත් ගමන් බිමන් යන්නේත් නාමල් සමග නිසා ඔහු ඔහුගේ දුක කියන්නේද මටය...
“මම මැඩම් හමුවෙලා පුංචි කාරණයක් කියන්නයි හිටියේ...”
“මොකක්ද නාමල්...”
“අපේ වයිෆ්ට බබෙක් හම්බ වෙන්න ඉන්නවා.”
“ෂාහ්... ඉතින් හොඳයිනේ... ඩොක්ට කෙනෙක් අල්ලගත්තද. ඩොක්ට හේමන්ත පෙරේරා හොඳයි. අපේ මහත්තයාගේ හොඳ යාළුවෙක්. ජයවර්ධනපුර ඉන්නේ...”
“අපිට කාසල් එක හොඳයි මැඩම්... මම කියන්න හැදුවේ ඒක නෙවෙයි. අපේ වයිෆ් මැඩම්ට කියල බලන්න කිව්වා. අපිට ඉන්න හිටින්න මොකක් හරි ගෙයක් ගන්න පුළුවන්ද කියලා.”
“ඉතින් ඕක මහ වැඩක්ද නාමල් කියන්න කෝ අපේ මහත්තයාට...”
“මහත්තයා කරන්නේ නැහැ මැඩම්... මැඩම් කිව්වා නම් මහත්තයා කරයි.”
“ඒ මොකද නාමල්ට නොකරන්නේ. නාමල්නේ එයාගේ ඩ‍්‍රැයිවර්. විශ්වාසවන්තම සේවකයා.”
“ඒවා තිබුණට මදි මැඩම්...”
“එහෙනම් මොනවද තියෙන්න ඕන.”
“අඩුම ගානේ ලක්‍ෂ දෙකක්වත් සල්ලි දෙන්න ඕන...”
“මොකක්ද කිව්වේ... අපේ මහත්තයා ගෙවල් ලබාදෙන්න පගාවට සල්ලි ගන්නවා කියලද කියන්නේ.”
“ඔව් මැඩම්...”
“ඔයාට පිස්සු. එහෙම නම් මේ වෙනකොට අපේ ගේ සල්ලිවලින් පුරවලා තියෙන්න එපායැ. අපි මේ ණයතුරුස් ගෙවාගෙන අපි ඉන්න ගෙටයි කාරෙකේ ෆිනෑන්ස් එකයි දෙකම ගෙවා ගන්නේ මගේ පඩියෙන්.”
“ඒ මැඩම් දන්න තරමනේ. මහත්තයා ගෙවල්වල වැඩ කරලදීල ලක්‍ෂ දෙක ගානේ ගන්න සල්ලි බංකුවට දාන්න යන්නේ මමනේ. මම දන්නවා ගෙනියන සල්ලි ගණන”.
“කොහේටද... කාගේ එකවුන්ට් එකකටද දාන්නේ.”
“දාන්නේ වැඩිපුරම මහත්තයාගේ මල්ලිගේ එකවුන්ට් එකකට. සමහර වෙලාවට කමර්ෂල් බැංකුවේ තියන නෝනගේ එකවුන්ට් එකටත් දානවා...’’
“පිස්සු ඔයාට. මට කමර්ෂල් බැංකුවේ එකවුන්ට් එකක් නැහැ මනුස්සයෝ. මගේ එකවුන්ට් එක තියෙන්නේ මහජන බැංකුවේ විතරයි.”
“මහත්තයා නෝනගේ නමට එකවුන්ට් එකක් ඇරියා අර මාතර බැංකුවේ ඉන්න සින්දු ලියන මහත්තයාට කියලා.” මගේ ඇග හිරිවැටී ගියේය...
“මොනවද මේ කියන්නේ. පොඞ්ඩක් ඉන්න බලන්න...” එසේ කී මම රත්නසිරි අයියාට දුරකථන ඇමතුමක් ගත්තෙමි.
“අයියේ... ඔයාලයි බැංකුවේ මගේ නමට එකවුන්ට් එකක් ඇරල තියනවද...”
“ඔව්. ඇයි... ඔයාමනේ ඇප්ලිකේෂන් පුරවලා අත්සන් කරල එවල තිබුණේ...”
“ආ... මේ නැහැ... ඔව්... අයියේ. ඒකේ මගේ පොත නැතිවෙලා. අයියට පුළුවන්ද මට ඒකේ තියන බැලන්ස් එක කියන්න...”
“හරි... අයිඩෙන්ටි කාර්ඞ් නම්බර් එක කියන්නකෝ...”
මම එය කී පසු රත්නසිරි අයියා කියූ වදන්වලින් මගේ ඇග තවවරක් හිරිවැටී ගියේය.
“මේකේ බැලන්ස් කියල දෙයක් නැහැ. ඇයි කවදාවත් ගනු නැහැනේ. හැම සතියෙම දානවා. විතරයි. දැනට රුපියල් ලක්‍ෂ අසූවක් තියනවා... කාටද බං උඹලා ඔච්චර හම්බ කරන්නේ. දරුමල්ලෙක් වත් නැතිව...”
ඒ අපහාසය මට දැන් පුරුද්දට ගොසිනි. ඊට වඩා පුදුමය වූයේ ඔහු දුන් ආරංචියයි. ලක්‍ෂ අසූවක්. මගේ අම්මේ... මේ සල්ලි මට මොනව කරන්නද? බිමල් නිකන් ඉදල නැහැ.
“මේ වගේම බිමල් මහත්තයාගේ මල්ලිගේ පොතටත් සල්ලි දානවද නාමල්.”
“මේ මොනවද.. මේ වගේ තුන් හතර ගුණයක් දාන්නේ පුංචි මහත්තයාගේ පොතටනේ. මම හිතුවා මේවා මැඩම් දන්නවා කියලා. අනේ... මං කිව්වා කියල කෙල බිඳක් වත් හලන්න එපා ඕන්. අනේ මැඩම් මගේ වැඬේ කරල දෙන්න...”
“හරි... මම අදම බිමල්ට කියන්නම්. කවුද නාමල් මෙච්චර සල්ලි මෙයාලට ගෙනත් දෙන්නේ.”
“ගේන්නේ මිනිස්සු. අමාත්‍යාංශයේ ඉන්නවා මොහිදීන් කියල මුස්ලිම් මහත්තයෙක්. එයා තමයි මිනිස්සු එකතු කරන් එන්නේ. වැඩිපුරම ගෙවල් යන්නේ මුස්ලිම්, දෙමළ මිනිස්සුන්ට. මහත්තයා කරන්නේ සල්ලි අරගෙන ඒ ඉල්ලූම් කරපු ෆයිල් එක හොයලා ඇමතිතුමා ළඟට දාල අනුමත කරල දෙන එක විතරයි. මහත්තයා කියන ඕනම දෙයක් ඇමතිතුමත් ඇස් පියාගෙන කරනවානේ. අනේ මැඩම්... මගේ වැඩෙත් කරල දෙන්න...”
කොළඹ ජනගහණයේ මුස්ලිම්, දෙමළ ප‍්‍රතිශතය වැඩිවෙන ආකාරය ගැන පසුගිය දිනක රූපවාහිනියක සංවාදයක් තිබුණා මට මතකය. එහි විපක්‍ෂයෙන් පැමිණි එක් මන්ත‍්‍රී කෙනෙක් බැන වැදුනේ අපේ ඇමතිතුමාටය. කොළඹ මුස්ලිම් දෙමළ ජනගහණය වැඩිවෙන්නේ නිවාස ඇමති මුදල් ලබාගෙන දෙමළ මුස්ලිම්වරුන්ට කොළඹින් පදිංචියට ගෙවල් ලබාදෙන නිසා යැයි ඔහු චෝදනා කළේය.
ආණ්ඩුවේ ඇමතිවරු එම චෝදනාව නිෂ්ප‍්‍රභා කළේ රජයේ නිවාස ඇමති පිණිදියගොල්ල එබඳු පගා ගහන ඇමතිවරයකු නොවන බව කියමින් ඔප්පු කරමිනි...
ඒ සංවාදයේ විපක්‍ෂ නියෝජිතයා ඉදිරිපත් කළ තර්ක පටිගත රූපරාමු පෙළක් මෙන් මගේ හිත හරහා ඇදී ගියේය.
බිමල් කොළඹ පදිංචියට පැමිණි මුල් කාලයේ මහත් අරපරිස්සමින් විය පැහැදම් කළ අයුරු මට මතකය. හාල් හුණ්ඩුවක් උයාගෙන පරිප්පු මිටක් උයා පොල් සම්බලයක් තලාගෙන කන සරල අඩු වියදම් ජීවන රටාව මට කියා දුන්නේ ඔහු ය. එහෙත් අවුරුද්දෙන් ඒ ජීවන චර්යාව වෙනස් වූ අයුරු මට මතක ය.
“රෑ උයන්න එපා. මම කෑම එවන්නම් මට මට කම්ෆරන්ස් එකක් තියනවා..” යැයි කියා මට නාමල් අත මැක්ඩොනල්ඞ් එකෙන් හෝ කේ.එෆ්.සී. එකෙන් හෝ සෙන්සාල් එකෙන් ඉස්තරම් කෑම එවා හොඳටම බී රෑ දෙගොඩහරියේ ගෙදර ඒමට බිමල් පුරුදු වූයේය...
“මහත්තයා නයිට් ක්ලබ් වලටත් හරියට වියදම් කරනවා මැඩම්. ඒ විකාර බලන්න අපි නොයන එකමයි හොඳ...” නාමල් කීවේය...
මම බිමල්ගෙන් ඒ කිසිවක් විමසන්නට ගියේ නැත. ඔහුට දැන් ඕන තරම් ඇඳුම් පැළඳුම් තිබෙයි. ඔහු මා සමග ඇඳුම් ගන්නට යන්නේ ‘ඔඩෙල්’ එකටය. නැත්නම් ඉස්තරම්ම කඩ සාප්පුවලටය. බ‍්‍රෑන්ඩඞ් ෂර්ට් කලිසම් හැර ඔහු දැන් බාල වර්ගයේ ඇඳුම් අදින්නේ නැත. මට ද අඩුපාඩුවක් නොතබයි.
බිමල් හුඟක්ම ලෝබ නැතුව වියදම් කළේ මගේ ඇඳුම්වලටය. මම “වික්ටෝරියා සීක්රට්” යට ඇඳුම් හැර වෙනත් ඇඳුමක් අදිනවාට බිමල් කැමති නොවීය. මට ඒ සියල්ල ආදරය නිසා ඔහු මට කරන සැලකිලි ලෙස බාර ගත්තෙමි.
බිමල්ගේ රාත්‍රී ජීවිතය මට එතරම් පිය නොවීය. දිනපතාම බීමට ඇබ්බැහි වූ බිමල් නයිට් ක්ලබ් ජීවිතයට හුරු පුරුදුව ඇති බව මම දැන ගත්තේ බොහෝ කාලයක් ගියාට පසුව නාමල්ගෙනි. නයිට් ක්ලබ්වල බීමත්ව රුසියානු, චීන, පිලිපීන රූමතියන් සමඟ අපේ උදවිය මැදියම් රැය පසුවෙන තුරු සිහිය නැතිවෙන තරමට නටන බව මම දැන ගත්තෙමි.
“වේලාසන ගෙදර ඇවිත් ගෙදර ඉඳන් බොන්නකෝ... මම දැන් බොනවට බනින්නේ නැහැ. ඕනම වටිනා බීමක් ගෙදර ගෙනත් බොන්න. මම කෑම බීම හදල දෙන්නම්... වේලාසන ගෙදර එන්න.”
“ඇයි... මම ගෙදර වේලාසන ඇවිත් මොන බබා නලවන්නද...”
බිමල් තරහෙන් නොවුණත් අතුල් පහරක් මෙන් එල්ල කරන ඒ වාග් ප‍්‍රහාරය මගේ සිත තදින් රිදවයි. බිමල්ට ඉන් එහාට අවවාද වැඩක් නැති බව මට තේරුම් ගියේය.
ප‍්‍රශ්නය වූයේ බිමල් අධික ලෙස බීමත්ව රාත්‍රියේ වාහන එළවන්නට පුරුදු වී සිටීමයි. බිමල් රාත්‍රී කාලයේ පාවිච්චි කරන්නේ ඇමතිතුමාට අයත් අධි සුඛෝපභෝගී ජීප් රථයක් නිසා පොලිසියෙන් කරදරයක් ද නැත. පොලිසිය කිසිදිනක ඒ ජීප් රිය නතර නොකරයි. බීමත්ව අධික වේගයෙන් වාහන එළවන බිමල් ගෙදර යට මාලයේ පොදු වාහන නැවතුමේ සිට ඇමතුම් දෙන විට රෑ එකට දෙකට තුනට කියා නැත. බිමල්ව වත්තන් කරගෙන උඩට ගෙන එන්නට මම පහළට යා යුතුය.
ඒ ජීවිතය මගේ උරුමය වී දැන් බොහෝ කල්ය... දැන් මට බලාපොරොත්තු නැත. ජීවිතයේ ඉදිරිය ගැන කිසි ඉලක්කයක් නැත.. අනාගතයක් කියා කිසි දෙයක් නැත. අනිත් අයට මෙන් සිතෙහි සතුටින් ගෙවී යන ජීවිතය කියා කිසිවක් ද නැත. එසේ නම් මේ මා දවසින් දවස ගෙවා දමන්නේ කුමක්ද කියා මට තාමත් වටහා ගත නොහැක... මනුෂ්‍යයන් එක එක්කෙනාගේ ජීවිතය නොව, ඉරණම මේ යැයි කියා මම හිත හදාගන්නට උත්සාහ කළෙමි...
මම සිතුවිලි දහරාවන් අතරින් මිදී යළි පියවි ලොවට පිවිසියේ බිමල් ඇස් අරින්නටත් දොඩවන්නටත් උත්සාහ කරන බව දැනුණ විටය. මම ඔහුගේ ළඟ පුටුවේ වාඩිවී මුහුණ අද්දර මුහුණ තබාගෙන කණට ඇසෙන්නට මුමුණන්නට පටන් ගත්තෙමි...
ඔහු ආයාසයෙන් උත්සහ කර යාන්තමට නෙත් හැර මා දෙස බලන අයුුරු මම දුටුවෙමි. මගේ සතුට නිම් හිම් නැති විය... මම
“බිමල් බිමල්... ඔයාට මොකද මේ උනේ.. ඔයාට දැන් හොඳයි.. බයවෙන්න එපා...” යැයි කියමින් ඔහුගේ කණට කර මුමුනන්නට වූයෙමි.
ඔහුගේ අතක් සෙලවෙන්නට පටන්ගත්තේ ය. ඒ අත ආයාසයෙන් මගේ අත සොයා ආවේය. අමාරුවෙන් වුවත් ඔහු මගේ අත දැඩිව අල්ලා ගත්තේය...
ම... මං... මගේ... ළඟම... ඉන්...න... යැයි ඔහු ආයාසයෙන් කියා ගත්තේය..
මගේ දෑස තුළ පැහැදිලිව තිබූ ඔහුගේ චිත‍්‍රය ටිකෙන් ටික බොඳවී යන්නට පටන් ගත්තේය... ඔහුගේ රුව මා දෙනෙත බොඳ කළ කඳුළු දහරාව අතරින් සට සට ගා ගලා හැලෙන්නට වූයේය...
What's Your Reaction?
Like
3
Dislike
0
Love
1
Funny
0
Angry
0
Sad
0
Wow
0

