බෙහෙත් නඩුවේ මුල් පැමිණිල්ල කෝ...

“ස්වාමීනි... මේක නම් මහ පුදුමාකාර පැමිණිල්ල මෙහෙයවීමක්. අඩුම තරමින් මේ නඩුවේ පැමිණිල්ල දාපු පුද්ගලයාවවත් මේ නඩුවේ කට උත්තර දෙන්න, සාක්ෂි දෙන්න ගෙන්නලා නෑ. මෙහෙම කොහොමද පැමිණිල්ලක් මෙහෙයවන්නේ...” “ඒක කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. අපට අවශ්‍ය නම් නඩුකරයට අවශ්‍ය පරිදි මුල්ම පැමිණිලිකරුවන් සාක්‍ෂි විභාගය සඳහා කැඳවන්න පුළුවන්. හැබැයි ඒ අවශ්‍යනම්...”

Oct 8, 2026 - 16:22
 72
බෙහෙත් නඩුවේ  මුල් පැමිණිල්ල කෝ...

බෙහෙත් නඩුවේ

මුල් පැමිණිල්ල කෝ...

අසේල සේරසිංහගෙන් 

ලක්මිණිට ප්‍රශ්නයක්...

(අධිකරණ වාර්තාකරු)

“ස්වාමීනි... මේක නම් මහ පුදුමාකාර පැමිණිල්ල මෙහෙයවීමක්. අඩුම තරමින් මේ නඩුවේ පැමිණිල්ල දාපු පුද්ගලයාවවත් මේ නඩුවේ කට උත්තර දෙන්න, සාක්ෂි දෙන්න ගෙන්නලා නෑ. මෙහෙම කොහොමද පැමිණිල්ලක් මෙහෙයවන්නේ...”

“ඒක කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. අපට අවශ්‍ය නම් නඩුකරයට අවශ්‍ය පරිදි මුල්ම පැමිණිලිකරුවන් සාක්‍ෂි විභාගය සඳහා කැඳවන්න පුළුවන්. හැබැයි ඒ අවශ්‍යනම්...”

පසුගිය 05 වන සඳුදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු තුමන්ලා ඉදිරියේ පැවති “ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩු” විභාගයේදී මෙම උණුසුම් බහින් බස් වීම දක්නට ලැබුණේ ප්‍රවීණ නීතිඥ අසේල සේරසිංහ හා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප්‍රවීණ නීතිවේදිනී ලක්මිණි ගිරිහාගම මෙනවිය අතරයි... එදින සාක්ෂිකරුගෙන් මෙම නඩුකරයේ මූලික පැමිණිලිකරු කවුරුන්දැයි විමසූ අවස්ථාවේදී ලැබුණ පිළිතුරු මත පැමිණිල්ලත් විත්තියත් අතරින් මෙම සංවාදය මතුවිය. 

දින කිහිපයක විරාමයකින් පසු ඉකුත් 5 වනදා යළිත් මෙම නඩු විභාගය ඇරඹි අතර, එදින සාක්ෂි දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබුණේ මෙම නඩු විභාගය විමර්ශනය කිරීමේදී ප්‍රධාන විමර්ශන නිලධාරියාට සහායට අමතර විමර්ශක නිලධාරීයා ලෙස කටයුතු කළ එරංග ප්‍රභාෂ් ලක්සිරි නම් වූ පොලිස් පරීක්ෂකවරයා ය.

2013 වර්ෂයේදී පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ ඔහු 2021 ජනවාරි මාසේ සිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වී, ඉන්පසු එහි රාජකාරී කටයුතු කළ අයුරු විස්තර කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ මෙසේ මූලික වටයේ සාක්ෂි ලබාදීම ආරම්භ කළේය...

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු සිදු කළේ ඔබද..?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි විමර්ශන අංක එක ස්ථානාධිපති ජයන්ත පයාගල මහතා විසින් මට මේ විමර්ශනය භාර දුන්නා. ඒ මොහොතේ මීට අදාළව ලිඛිත පැමිණිලි දෙකක් වාර්තා වී තිබුණා.. ඒ අනුව පරීක්ෂණ පටන් ගත්තා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; ඒ පැමිණිලි කර තිබුණේ කවුරුන් විසින්ද ..?

සාක්ෂිකරු ; එවකට සිටි සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික උපදේශකයෙකු වූ සංජීව ජෙරාඩ් පෙරේරා සහ අල්ලස් හා දූෂණය පිටුදැකීමේ සංවිධානයේ ගාමිණී කාමන්ත යන දෙදෙනා විසින් මේ බාල ඖෂධ ගැන පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණා...

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; එවකට සිටි සෞඛ්‍ය ඇමතිවරයා කවුද..?

සාක්ෂිකරු ; කෙහෙළිය රඹුක්වැල්ල මහතා. මේ රෝද පුටුවේ වාඩි වී සිටින පුද්ගලයා ඔහු...

අදාළ පැමිණිල්ල ලැබීමෙන් පසුව තමන් ඒ පිළිබඳව අධ්‍යනයක් කළ බවත් එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයට “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන්” ඖෂධය සැපයීමේදී සැපයුම්කරුගේ පැත්තෙන් අක්‍රමිකතාවක් සිදුවූ ඇති බවටත් පැමිණිල්ල විසින් කරුණු වාර්තා කර තිබූ බව සාක්ෂිකරු දන්වා සිටියේය.

එම ඖෂධ සැපයීම් සිදු කිරීම සම්බන්ධයෙන් “අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ පී” යනුවෙන් ඇති ආයතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කීපයක් අනාවරණය වූ බවද සාක්ෂිකරු කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාදැයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය...

සාක්ෂිකාරු ; ස්වාමීනී ඒ සැපයීම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ කරනු ලැබුවක් බවට අනාවරණය වුණා. ඒ අදාළ කරුණු මත "ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන අංශයේ" ඒ වගේම වෛද්‍ය සැපයුම් ඒකකයේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ" ඇති ලිපිගොනු පරීක්ෂා කර බැලුවා. ඒවායේ ඇති  ලිපිගොනුවල තොරතුරුවලට අදාළව බී වාර්තාවක් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ; ඒ කාලයේ මේ සම්බන්ධයෙන් තවත් පැමිණිලි ලැබිලා තිබුණද..? 

සාක්කිකරු ; ඔව් එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරියා ව සිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් 2022 ඔක්තෝබර් මස  03 වෙනිදා ඊට අදාළව පැමිණිල්ලක් සිදු කරලා තියෙනවා... 

එවකට ප්‍රධාන විධායක නිලධාරියාව සිටි වෛද්‍ය විජිත් ගුණසේකර මේ වන විට දොළොස් වන විත්තිකරු ලෙස අධිකරණයේ පෙනී සිටින බවයි සාක්ෂිකරු හඳුනා ගත්තේය...

ඉන්පසු නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරියගේ ප්‍රශ්නය වූයේ පැමිණිල්ල සමග 12 වන විත්තිකරු ඉදිරිපත් කර තිබූ ලිඛිත සාක්ෂි මොනවාද කියාය... ඒ අවස්ථාවේදී සාක්ෂිකරු පිළිතුරු දෙමින් මේ ඖෂධය සැපයීමට අදාළව WOR සහතිකයේ පිටපතක් සහ එම එන්නත් ජාතික රෝහලේ රෝගීන්ට ලබාදීමේදී ඇතිවූ සංකූලතා පිළිබඳ වාර්තාවල පිටපත් ඒ සමග ලැබුණු බවය.  සහතිකයේ පිටපතක් සහ එම එන්නත් ජාතික රෝහලේ රෝගීන්ට ලබාදීමේදී ඇතිවූ සංකූලතා පිළිබඳ වාර්තාවල පිටපත් ඒ සමග ලැබුණු බවය.

කුමක්ද මේ WOR. ඒ සහතිකයෙන් සිදු වන්නේ කුමක්ද. දෙන්නේ කවුද ආදිය සමහරුන්ට ප්‍රශ්නය. එහෙත් ඊට වඩා බරපතළ ගැටලුවක් මෙතන තිබිණි. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරියගේ මූලික ප්‍රශ්න කිරීම් වලින් මෙම කරුණ හෙළිදරව් නොවූවත් මේ ප්‍රශ්න කිරීමට බලපෑ අතීත සිද්ධියක් ද තිබිණි... ඒවා නිරවුල් කර ගැනීම මේ ප්‍රස්තුතය තේරුම් ගැනීමේදී වඩාත් වැදගත්ය..

අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගම සපයන ලද ඖෂධ සැක සහිත බව එවකට සෞඛ්‍ය ඇමතිවරයා වූ කෙහෙළිය රඹුක්කල්ලගේ උපදේශකවරයාත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායකවරයාත් රහස් පොලීසිය වෙත පැමිණිලි කරන්නට එක් ප්‍රධාන හේතුවක් තිබිණි...

හේතුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ බෙහෙත් ගෙන්වීම සඳහා අදාළ සමාගම වන අයිසෙලෙස් බයෝ ටෙක් පාමා සමාගමට සපයා දී තිබුණා යයි කියන ප්‍රශ්නගත WOR සහතිකයයි.

මේ කියන කාලය වනවිට රටේ පැවති ඖෂධ හිඟයක් නිසා හදිසි ක්‍රමවේද මත අත්‍යවශ්‍ය ප්‍රතිදේශ ඖෂධ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගෙන්වා ගැනීමට අවශ්‍යව තිබිණි. ඒ සදහා දීර්ඝ ක්‍රමවේදයක් යටතේ ඖෂධකරුවන් ලියාපදිංචි කර බෙහෙත් ගෙන්වීමට තරම් කාලයක් ඉතුරු නොවීය. එම නිසා ලියාපදිංචිය නොමැතිව ඒ සඳහා ඉදිරිපත් වන ඖෂධ සැපයුම්කරුවන්ට බෙහෙත් ගෙන්වීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ රජය ඔවුන්ට ඒ සඳහා ලබා දුන් බලපත්‍රය වූයේ WOR සහතිකයයි.

ඒ අනුව WOR යනු ලියාපදිංචියෙන් තොරව සැපයම්කරුවන්ට ඖෂධ ගෙන්වීම සඳහා අදාළ අවසර පත්‍රයක් විය... තත්ත්වය එසේ තිබුනත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා එවකට එහි ප්‍රධාන විධායක නිලධාරියා වන වෛද්‍ය විජිත් ගුණසේකර පවසන පරිදි ප්‍රශ්නගත අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනයට කිසිලෙසකත් ඖෂධ ගෙන්වීම සදහා WOR සහතිකයක් නිකුත් කර තිබී නැත. 

එහෙත් ප්‍රශ්නගත අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය සතුව ඖෂධ ගෙන්වීම සඳහා WOR සහතිකයක් තිබී ඇති අතර ඔවුන් අමාත්‍යංශය වෙත ඖෂධ ගෙන්වා  සපයා දී ඇත්තේ එම WOR සහතිකය යටතේය... එය වූයේ කෙසේද...

මුලින්ම ඇමතිවරයාගේ උපදෙස් පරිදි ඔහුගේ උපදේශකයෙකු වන සංජීව ජෙරාඩ් පෙරේරා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු කරන්නේ එම සැකය අනුවය. එම ප්‍රශ්නගත WOR සහතිකයේ පිටපතක්ද සමග එම පැමිණිල්ල කර තිබීම විශේෂත්වයකි...

ඉන්පසුව තම ආයතනය අදාළ සැපයුම්කරුවා වෙත කිසිදු ආකාරයකින් WOR  සහතිකයක් නිකුත් නොකළ බවට ජාතික ඖෂධ නියාමන අධිකා‍රයේ  (NMRA) ප්‍රධානියාද රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් යොමු කර තිබීම තවත් විශේෂත්වයකි... 

ඒ අනුව රහස් පොලිසිය එදා මාලිගාකන්ද අධිකරණය වෙත මේ අවනඩුව ඉදිරිපත් කර තිබුණේ අදාළ WOR සහතිකය කූඨ ලේඛනයක් යන පදනම් යටතේය. කූඨ ලේඛනයක් මත පදනම්ව ඖෂධ ජාවාරමක් පවතින බවයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නකර තිබුණේ එම මුල් පැමිණිල්ල ගැනයි.

NMRA ප්‍රධාන විධායක පැමිණිල්ල සමග ඉදිරිපත් කළ ලේඛන මොනවාද යන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරියගේ ප්‍රශ්නයට උත්තරය ලෙස සාක්ෂිකරු කීවේ අදාල WOR සහතිකයේ පිටපතක්ද, ඒ වන විට සංකූලතා ඇතිවී තිබෙන බවට රෝහල් වෙතින් ලබා දී ඇති වෛද්‍ය වාර්තාවල පිටපන්ද පැමිණිල්ල සමග ගොනුකර තිබූූ බවය...

ඒ හැරුණු විට තවත් WOR පිටපත්  දෙකක් වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුවේ ලිපිගොනු දෙකක තිබී සොයා ගත්බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය. මෙම නඩුවේ දෙවන විත්තිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා ප්‍රශ්නයක් මතු කරන්නේ මේ හබය වන අතරතුරය..

ඔහුගේ ප්‍රශ්නය මේ මහා බෙහෙත් නඩුවේ පැමිණිලිකරුවන් දෙදෙනෙකු සිටින බව මෙසේ සාක්ෂි මතින් හෙළිදරව් වී තිබුණත්, ඔවුන් කිසිම අවස්ථාවක සාක්ෂි සඳහාවත් කැඳවීමට පැමිණිල්ලේ නීතිඥයෝ හා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු නොකළේ මන්ද කියාය.

මෙම ඖෂධ සැපයීම් සැක සහිත බව මුලින්ම පැමිණිලි කළ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක සංජීව ජෙරාට් පෙරේරා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පැමිණිල්ලේ  273 වන සාක්ෂිකරු ලෙස නම් කර තිබුණත් පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වන්නට ඔන්න මෙන්න වන තුරුත් මේ තරම් වැදගත් සාක්ෂිකරුවෙක් මගහැර දැමීම පිළිබඳ බලවත් ප්‍රශ්නයක් අසේල සේරසිංහ මතු කළේය. ඒ සම්බන්ධයෙන් තමන් තුළ බලවත් සැකයක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය...

එහෙත් එය පැමිණිල්ලේ නීතිඥයින්ගේ ප්‍රශ්න කිරීම්වලට බඳුන් නොවූ ප්‍රශ්නයක් ලෙස වාර්තා විය....

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ; ඔබ මුල් පැමිණිලි දෙකක් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළා. ප්‍රශ්නගත WOR සහතිකය තිබුණේ කවර පැමිණිල්ලේ ද...

සාක්ෂිකරු ; ඇමති උපදේශක සංජීව ජෙරාඩ් පෙරේරා ඉදිරිපත් කළ පැමිණිල්ල සමග එක WOR සහතික පිටපතක් තිබුණා.

මෙහිදී සාක්ෂිකරු වෙතින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය් ප්‍රශ්න කළ අවස්ථාවේ හෙළිදරව් වූ අතිශයින්ම වැදගත් කාරනාවක් විය. එනම් NMRA ආයතනය කිසිදු ආකාරයකින් ප්‍රශ්නගත අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා ආයතනය වෙත WOR සහතික ලබාදී නැති බව පරීක්ෂණවලින් තහවුරු වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කිරීමයි.

නඩුවට අදාළ ඖෂධ මිලදී ගැනීමේදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් පරිබාහිර ක්‍රමයක් භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා අධිකරණයට පැවසීය. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ එම ක්‍රමය හඳුනාගත්තේ කෙසේද යන්නයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: “මෙම ඖෂධ මිලදී ගැනීමේදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමයෙන් පරිබාහිර ක්‍රමයක් භාවිත කළ බව අනාවරණය වූයේ කෙසේද?”

සාක්ෂිකරු: “එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි අටවන විත්තිකරු විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක් මත අදාළ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබූ බව විමර්ශනයේදී අනාවරණය වුණා.”

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න කිරීමේදී “සම්මත ප්‍රසම්පාදන ක්‍රමය” යන වචන භාවිත කිරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් (අමිත ආරියරත්න) විරෝධය පළ කළහ. ඔවුන් පෙන්වා දුන්නේ එම වචන භාවිතයෙන් සාමාන්‍ය ක්‍රමයෙන් පරිබාහිර සියලු ප්‍රසම්පාදන “අසම්මත” බවට හැඟීමක් ඇති විය හැකි බවයි. අනතුරුව විනිසුරු මඩුල්ල විසින් “සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය” යන යෙදුම භාවිත කරමින් ප්‍රශ්න කරන ලෙස දැනුම් දෙන ලදී.

සාක්ෂිකරුට අනුව, අදාළ ඖෂධ මිලදී ගැනීමේදී EOI (Expression of Interest) ක්‍රමවේදය භාවිත කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූ බවට විමර්ශනවලදී ලේඛන හමුවී තිබිණැයි සාක්කිකරු කීවේය. එම ප්‍රකාශය සම්බන්ධයෙන්ද විත්තියේ නීතිඥ නයන්ත විජේසූන්දර විරෝධය පළ කරමින් කියා සිටියේ එවැනි රැස්වීමක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව සාක්ෂිවලින් තහවුරු වී නොමැති බවයි.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ඖෂධ සැපයීම සඳහා ප්‍රදානය එක් ආයතනයකට ලබාදී තිබුණද, ගැනුම් ඇණවුම් සහ චෙක්පත් නිකුත් කිරීම වෙනත් නමකින් ක්‍රියාත්මක වූ කේවල ව්‍යාපාරයක් හරහා සිදුකර තිබූ බවයි.

ඉමියුනෝග්ලොබියුලීන් වයල් 22,500ක් සැපයීම සඳහා ටෙන්ඩරය ලබාදී තිබූ අතර, එම කේවල ව්‍යාපාරය විසින් ඉන් වයල් 3,985ක් ඉන්වොයිසි 14ක් යටතේ අවස්ථා කිහිපයකදී සපයා තිබූ බව සාක්ෂිකරු පැවසීය. එම ව්‍යාපාරයේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු විසින් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිර ප්ලාස්මා මිලදීගෙන තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වූ බව ඔහු සඳහන් කළේය.

රිටොක්සිමැබ් ඖෂධයද ඉන්වොයිසි හතරක් යටතේ අවස්ථා දෙකකදී එම ආයතනය හරහා සපයා තිබූ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සැපයීම් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදු වූ ඒවාද යන්න පිළිබඳ ප්‍රශ්නයකට සාක්ෂිකරු පැවසුවේ ඒවා එම ක්‍රමය යටතේ නොව, වෙනම ක්‍රමවේදයක් යටතේ සිදුකර ඇති බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය : “එම ඖෂධ වෙනත් ක්‍රමයකින් සපයා තිබුණේ කෙසේද?”

සාක්ෂිකරු: “කැබිනට් පත්‍රිකාවක් මත සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රසම්පාදනය යටතේ එය සිදුකර තිබුණා. ඒ සඳහා ඇගයීම් කමිටුවක්ද පත්කර තිබුණා.”

සාක්ෂිකරුගේ සාක්ෂියට අනුව, EOI ක්‍රමවේදය යටතේ ඖෂධ වර්ග 285ක් ලබාගැනීමට ප්‍රකාශ කර තිබුණද, මුලින් ඒ සඳහා නිශ්චිත ඇණවුම් ලැයිස්තු සකස් කර තිබී නැත. පසුව ඖෂධ තෝරාගෙන ඒ අනුව ඇණවුම් ලැයිස්තු නිකුත් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ක්‍රියාවලියට අදාළ ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස වෛද්‍ය ජයනාත් බුත්පිටිය කටයුතු කර තිබූ අතර, ඔහු මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවද සාක්ෂිකරු පැවසීය.

ඖෂධ 285 අතරින් ඖෂධ 158ක් සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය මගින් ගැනුම් ඇණවුම් නිකුත් කර තිබූ බවත්, විමර්ශන ආරම්භ කරන අවස්ථාව වන විට ඉන් ඖෂධ 45ක් ලැබී තිබූ බවත් සාක්ෂිකරු අධිකරණයට දැනුම් දුන්නේය.

අවසානයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සුදත් ජානක ප්‍රනාන්දුට අයත් සීදුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් ගොස් තිබේ. එහිදී විදුලි බලය නොතිබීම හේතුවෙන් සෝදිසි කටයුතු නිසි පරිදි සිදුකිරීමට නොහැකි වූ බව සාක්ෂිකරු පැවසීය.

ඒ අනුව, පසුව නිලධාරීන් කිහිපදෙනෙකු සහ පළමු විත්තිකරු සුදත් ජානක ප්‍රනාන්දු එම ස්ථානයට සහභාගි කරවා ගැනීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝගයක් ලබාගත් බවද ඔහු සඳහන් කළේය. එම කර්මාන්ත ශාලාවේ ඖෂධ නිෂ්පාදනය සිදුකර තිබේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම එහි අරමුණ වූ බව සාක්ෂිකරු පැවසීය.

මෙම අවසාන සාක්ෂි කොටස තුළින් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වූයේ අදාළ ඖෂධ මිලදී ගැනීමේදී භාවිත කළ ප්‍රසම්පාදන ක්‍රමය, EOI ක්‍රමවේදය, අදාළ ආයතන හා පුද්ගලයන් අතර පැවති සම්බන්ධතා, ඖෂධ සැපයීම් සහ ගෙවීම් පිළිබඳ ලේඛන, මෙන්ම විමර්ශන නිලධාරීන් විසින් ලබාගත් ලේඛන හා සිදුකළ සෝදිසි කිරීම් පිළිබඳ කරුණුය.

විශේෂයෙන්ම, ඖෂධ 285ක් සඳහා EOI ක්‍රමවේදය යටතේ ක්‍රියා කළ ආකාරය, ඉන් ඖෂධ 158කට ගැනුම් ඇණවුම් නිකුත් කිරීම සහ විමර්ශන ආරම්භ වන විට ඖෂධ 45ක් ලැබී තිබීම වැනි කරුණු සාක්ෂිකරුගේ සාක්ෂියේ අවසාන කොටසෙහි ප්‍රධාන කරුණු ලෙස ඉදිරිපත් විය. එමෙන්ම, සැපයුම්කරු සම්බන්ධයෙන් මෙන්ම අදාළ කර්මාන්ත ශාලාවේ ඖෂධ නිෂ්පාදනය සිදුකර තිබුණේද යන්න සොයා බැලීම සඳහාද විමර්ශන ක්‍රියාමාර්ග ගෙන තිබූ බව සාක්ෂියෙන් අනාවරණය විය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0