VASU කියන්නේ චරිතයක්...

“වාසුදේව නානායක්කාර කියන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ චරිතයක්...” කවුද දන්නවද ඔන්න ඔය කතාව පහුගිය සිකුරාදා (28) පැවතුණු උත්සවයකදී විශේෂයෙන්ම බර කරලා කිව්වේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අගමැතිනි හරිනි අමරසූරිය මැතිණිය. මැතිණිය නෙවෙයි මෙනෙවිය. ඒ මොකද ඊයේ පදනම් ආයතනයේ තිබුණනේ වාසුදේව නානායක්කාරගේ දේශපාලන ජීවිතය පිළිබඳ එයාම ලියපු පොතක් එළි දක්වන උත්සවය. පොතේ නම ඇවිල්ලා ඒ ගොල්ලෝ ජීවිත කාලෙ පුරාම දැකපු ලොකුම සිහිනය. “රතු වේවි මිහිමඩල”. මිහිමඩලට මුකුත් කරදරයක් නැතත් ඒක තමයි ඉතින් හීනය. පොත ඒ ගැන.

Aug 30, 2026 - 21:18
 26
VASU කියන්නේ  චරිතයක්...

VASU

කියන්නේ චරිතයක්...


“වාසුදේව නානායක්කාර කියන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ චරිතයක්...”

 
කවුද දන්නවද ඔන්න ඔය කතාව පහුගිය සිකුරාදා (28) පැවතුණු උත්සවයකදී විශේෂයෙන්ම බර කරලා කිව්වේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අගමැතිනි හරිනි අමරසූරිය මැතිණිය. මැතිණිය නෙවෙයි මෙනෙවිය. 


ඒ මොකද ඊයේ පදනම් ආයතනයේ තිබුණනේ වාසුදේව නානායක්කාරගේ  දේශපාලන ජීවිතය පිළිබඳ එයාම ලියපු පොතක් එළි දක්වන උත්සවය. පොතේ නම ඇවිල්ලා ඒ ගොල්ලෝ ජීවිත කාලෙ පුරාම දැකපු ලොකුම සිහිනය. “රතු වේවි මිහිමඩල”. මිහිමඩලට මුකුත් කරදරයක් නැතත් ඒක තමයි ඉතින් හීනය. පොත ඒ ගැන.  

 
පුංචි පොතක්. හැබැයි කියවපු අය නම් කියන්නේ මරේම මරු... පොත එළිදක්වන්න පදනම් ආයතනයේ තියපු උත්සවයට වාසු ගරුකරන, වාසු දන්න දේශපාලනඥයෝ ඔක්කොටම වගේ ආරාධනය කරලයි තිබුණේ. විශේෂයෙන්ම වම් ඉවුර දේශපාලනඥයන්ට.... ඔන්න බලන්නකො ඇවිල්ල හිටිය අය...


ප්‍රධාන අමුත්තා අගමැතිනි හරිනි. වාසු කියන්නේ ඇය ඔහු බොහොම ගරු කරන චරිතයක්. මහින්දටත් කියලා. මහින්ද ඉතින් අසනීපෙන්නෙ. ඊළඟට ඉන්නේ මෛත්‍රී. ඊළඟට හිටපු අගමැති දිනේෂ්. මහින්දලයි පවුලෙන් චමල්. හිටපු කතානායක කරු, මහාචාර්ය ජී. එල්, උදය, තිස්ස, ඩිලාන්, මේ අය හැරුණු විට වාමාංශික දේශපාලනයේ පතාක යෝධයෝ වෙච්ච පරණ චරිත මහ ගොඩයි. අපි ඉතින් සමහරුන්ගේ නම් දන්නෙත් නෑනේ... ඇයි වෘත්තීය සමිති නියෝජිතයෝ. වාසු ඉතිං ඒගොල්ලත් එක්කමනේ වැඩ කළේ. ඊට අමතරව ඔන්න යසපාලිත පුත්‍රයා හර්ෂණ නානායක්කාරත් ලොකුඅප්පොච්චිගෙ වැඩේට ඇවිත් ඔන්න ඇවිත් ඉස්සරහම පේලියේ වාඩිවෙලා හිටියා.

 
මෙන්න මේ උත්සවය කාලාන්තරයකට පස්සේ හමුවෙච්ච වමේ කඳවුරේ දේශපාලන නායකයන්ට නිදහසේ කතාබහ කරන්න ලැබුණු අනගි අවස්ථාවක් වෙලා තිබුණා. උත්සවයට කලින්ම මේගොල්ලෝ ඇවිල්ල පදනම් ආයතනයේ තැන තැන සෙට් වෙලා කතාව.  වෙන එකක් තියා මෛත්‍රිත් ඇවිත් කියන්නකෝ...

 
ඩිලාන් ඇතුළට එනකොටම මූනට මූණ මුණගැහුනේ මෛත්‍රී....

 
“මොකද බං මේ කොණ්ඩෙ ඔක්කොම සුදු වෙලා.... එක පාරටම මාර වෙනසක්නේ...,?” මෛත්‍රී එහෙම කියනකොට ඔන්න ඩිලාන් ඒකට හේතු කියනවා.

 
“පහුගිය කාලේ හොඳටම අසනීප වෙලා හිටියේ....”

 
“ඉතින් ඒකට කොන්ඩේ සුදුවෙන්න අරින්න ඕනෑයැ.... ඔය මොන හරි පාටක් ගාලා කළු කරලා ලස්සනට ඉඳපන්කෝ...” මෛත්‍රී ඔය වගේ කතා කියන්නෙ දයාබරව, ආදරයෙන් බව ඩිලාන් නොදන්නවා නෙවෙයි...

 
“බැහැනේ සර්...  අසනීප වුනේ විෂබීජයක් ගිහින් කියලා කියන්නේ... මොනවවත් ගාන්න බෑ ඇලර්ජි”

 
“උඹට කොහෙද බං විෂබීජ යන්නේ.... උඹනේ ලොකුම විෂබීජේ....” කියමින් මෛත්‍රී හයියෙන් කියන විට වටේම සිටි අය හිනහ වෙමින් මතක් කලේ අතීතයේ චන්ද්‍රිකා යුගයේ රසමුසු කථා. මතකනේ අර නාලන්දලා ඩලස්ලා ඩිලාන්ලා මහින්දානන්නලා එකට සෙට්වෙලා හිටපු කරපිංච කල්ලි, ඉගුරු කල්ලි කතා එහෙම. ඒවත් සමහරු මතක් කරලා... ඔය අතරතුර උත්සවයේ ප්‍රධාන අමුත්තිය වන හරිනිත් ආවනේ... ඔන්න දැන් වැඩේ පටන් ගත්තා....

 
පිළිගැනීමේ කතාව කළේ වාසුගේ බාල පුතා. එයා කියන විදියට වාසුගේ දරුවන් තාත්තාව හරියට දකින්නේ මේ මෑතක පටන්.... ඒ මොකද ජීවිත කාලයක් දේශපාලනය කළා හැරුණු විට ගෙදර ඉඳලා නෑනේ... සමාජයේ යහපත වෙනුවෙන් කළේම පොදු වැඩ. ගෙදර හිටියට වඩා හිටියෙ පාටි ඔෆිස් එකේ. වැඩ කළේ සටන් බිමේ...

 
ප්‍රධාන අමුත්තා හැටියට පොල්තෙල් පහන දල්වන්න හරිනිට කතා කළාට වාසු ඉස්සර වෙලාම පොතේ මුල් පිටපත පිළිගැන්නුවේ හරිනිට නෙවෙයි. අනිත් එක වාසු මුලින්ම පොත අතට ගත්තේ නෑ. මොකද ඒ පොත වාසු ලිව්වට සංස්කරණය කරල තියෙන්නෙ උදයසිරි වික්‍රමරත්න. මුලින්ම උදේසිරිගේ අතින් මුල් පොත අරගෙන තමයි ඒ පොත ගෙනිහින් අභයාරාමාධිපති  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ප්‍රදානය කරනු ලැබුවේ....

 
රැඩිකල් වාමාංශික දැවැන්තයා වුණත් වාසුගේ වැඩ එහෙම තමයි. අනිත් අයට පොත දුන්නේ ඊට පස්සේ...

 
උත්සවයේ ප්‍රධාන කථිකයා මොහාන් සමරනායක.  මොහාන් මේ වැඩේ පටන් ගත්තා හැටිත් මාරයි කියන්නකෝ. ඔන්න ඒ කතාවත් අහලා ඉන්න...

 
“වාසුටත් මටත් පසු කාලීනව සමාජ දේශපාලනමය වශයෙන් ප්‍රතිපත්තිමය සමානකම් තිබුනට ආරම්භයේදී අපි දෙන්නා අයිති වුනේ කිසිම ලෙසකින් පෑහෙන්නේ නැති පැලැන්ති දෙකකට... වාසු සහෝදරයා පාසැල් යන කාලේ වුණත් පයින් ගිහින් නෑ. ආවේ ගියේ ගෙදරින් සපයපු වාහනවල. මම නම් වාහන තබා සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක්වත් නැතුව පාසල් ගියපු කෙනෙක්.. මුල් යුගයේ...”

 
ඒ මුළු කතාවම වාසුගේ ජීවිතයේ හරස් කඩක්වන් අතීත සිදුවීම් ආවර්ජනය කරන රසවත් කතාන්තරයක් වුණා. කොහොමටත් මේ පොත වාසු ලියලා තිබුණේ ඉතාමත් අව්‍යාජව... මොහාන් ඒ බැව් මතක් කරමින් කතා කළා.... පරිච්ඡේදයක්ම තිබුණේ ඔහුත් මහින්දත් ගැන. ආරම්භය පවුල් පසුබිම පැලැන්තිය මොනතරම් ලොකු උනත් අන්තිමේ දේශපාලන කටයුතුවලට ඉඩකඩම් බව භෝග ලේපල විකුණාදැමුණු අයුරු පවා එහි ලියැවී තිබුණා... 

 
කවුරුත් දන්න විදිහට වාසු හොඳ විප්ලවවාදියෙක් විතරක් නෙවෙයි...  හොඳ මනුස්සයෙක්.  එච්චරද.... නෑ හොඳ ප්‍රේමවන්තයෙක්. ඔන්න ඕක ඔප්පු කරන්නත් පොතේ වෙන වෙනම පරිච්ඡේද දෙකක් ලියලා... එක පැත්තක එයාගේ විවාහක බිරිද.... ජීවිතයේ දේශපාලනය වෙනුවෙන් ගැහැණියක් කරන ලද අනේකවිද කැපකිරීම් ඒ පරිච්ඡේදයේ චිත්‍රණය කරන අතරම, ප්‍රේමය මිත්‍රත්වය හා රැකවරණය වෙනුවෙන් තවත් ගැහැණියක් කරන ලද පරිත්‍යාගයත් වාසු සුළු කොට තකා තිබුණේ නෑ.... ඔහු “ඇයත් මමත්” යනුවෙන් ඉමල්කා ප්‍රනාන්දුත් තමනුත් අතරේ පැවති ගැඹුරු වූ හෘදය සංවාදය කුළුගන්වන්නත් වෙනම එක් පරිච්ඡේදයක් වෙන් කරලා තිබුණා...

 
පොතේ වැඩකටයුතු ඉවර වුණාට පස්සේ ඔන්න ඕවා ගැනනම් ලොකු ලොකු කතා සභාව ඇතුලේ පැතිරිලා ගියා. මෛත්‍රීත් එහෙම තැනකදි කිව්වේ අන්න ඒ වැඩේ නං වාසුටම හැර වෙන කාටවත් කළ හැකි වැඩක් නං නෙවෙයි කියලයි... ඒ කිංව්වේ ලව් පලහිලව් ගැන විවෘත වෙනඑක වෙන්ටැ...

අපි නම් ඕව ලිව්වානං ආයේ විසුමක් නෑ... ඉවරෙටම ඉවරයි කියපු අයත් හිටියා... සමහරු කිව්වේ අපි ඕව ලිව්වා නං ඉතින් එක පොතක් මදි කියලයි...

 
උත්සවයේ ඉවර වුණාට පස්සේ ඔන්න දැන් වොයිස් කට් මාධ්‍යවේදීන්ගේ වාරය. හැමෝම පන්නපන්න වාසු ගැන වොයිස් එකක් ගන්නවා කියන්නකෝ... යුද්දෙ වගේ...

 
ඒත් ඉතින් සමහර මාධ්‍යවේදීන්‌ගෙ ප්‍රශ්න ඇහිල්ලේ නම් මෙලෝ රහක් නෑ... වාසු ගැන අතීත තොරතුරු ටිකක් අවර්ජනය කරමින් මෛත්‍රී ලස්සන කතාවක් කර කර හිටියනේ.  ඔන්න ඕකට මැදින් පැන්න මාධ්‍යවේදියෙක් 22 ගැන මොකද කියන්නේ කියලා ඇහුවා. ගැරඬියාට භූමි තෙල් ගෑවුනා වගේ ඔය ප්‍රශ්නෙන් පස්සේ මෛත්‍රී යන්නම යන්න ගියා කියන්නකෝ....  තේ බොන්නෙත් නැතුව.... අපරාදේ තව ටිකක් තියාගත්තනං හොඳ දේවල් ටිකක් අහගන්න තිබුනා කියලයි අනිත් මාධ්‍යවේදීන් කියන්න ගත්තෙ...

 
ඔන්න ඔය ප්‍රශ්නෙම අහන්න ගිහිල්ලා මුරුතෙට්ටුවේ ආනන්ද හාමුදුරුවොත් යන්නම ගියා... ඔන්න ඊට පස්සේ ඊළඟට අල්ල ගත්තෙ උදය ගම්මන්පිල...එයාගෙනුත් ඇහුවෙ අර සාම්ප්‍රදායික ප්‍රශ්නෙම තමයි...

 
ආණ්ඩුව 22 ගෙනෙයි ද?. බලන්නකෝ බබෙක් වගේ අහපු ප්‍රශ්නේ...

 
“22 අයෙත් අමුතුවෙන් ගේන්න දෙයක් නෑනේ... 22 ගෙනල්ලා තමයි තියෙන්නෙ. 22 ගේනවා කියන්නේ, ඉස්සෙල්ලම ගැසට් කලා. ඊළඟට පාර්ලිමේන්තුවට දැම්මා. ඉතුරු ටික එක්කෝ පාර්ලිමේන්තුව කරාවි නැත්නම්.... නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය දෙකෙන් එකක් තීරණය කරලා ජනතාවට බලය දේවි. උදය නං ටිකක් අරගොල්ලන්ට වඩා වැඩි විග්‍රහයක් කරලා මාධ්‍යවේදීන්ට පොඩි සපෝට් එකකුත් දුන්නා....

 
ඕම ගියාය කියන්නකෝ... උත්සවයේ අන්තිමට හාලම දැම්මේ  අධිකරණ ඇමැති හර්ශන නානායක්කාර කියලා කිව්වට වරදක් නෑ... අරගොල්ලෝ ඉතින් වොයිස් කට් එකක් ගිහින් දීලා නිවුස් එකට දාගෙන කීයක් හරි හොයා ගන්න දඟලන ‍ප්‍රාදේශීය මාධ්‍යවේදියෝනේ. ඒ අහිංසකයින්ට රස්සාව එපා වෙන්න හර්ෂණ දුන්නේ නැද්ද ලොරිටෝක් එකක්... 

 
කැමතිනම් ඔන්න හොයාගෙන අහන්නකො...  මාධ්‍ය කට්ටිය සුපුරුදු පරිදි අහන්නෙ එකම ප්‍රශ්නෙ.  විසි දෙක කොහොමහරි ගේනවද...  ඔන්න ඒකට යකා නැගපු හර්ෂණ උත්තර දුන්නේ මෙහෙම....

 
නැතුව.... ආණ්ඩුව ගත්තේ සෙල්ලම් කරන්න කියලා හිතුවද... මොකක්ද චැනල් එක...  මට ඕගොල්ලන්ගේ චැනල් අල්ලන්නේ නෑ. මං ඒක හින්දා උත්තර දෙන්නෙ නෑ... උත්තරයක් දෙන්නෙ නෑ කිව්වට ඔය දුන්න උත්තරේ හොඳටම ඇති කියල තමයි මාධ්‍යවේදියෝ ටික නං හරි හර්ෂණට කිව්වේ... අන්තිමෙ හාලම දැම්මේ...


ඒගොල්ලන්ට අපේ මයික් ඉස්සර නං ඕනවටත් වැඩියෙන් හොඳයි. දැන් තමයි අපේ මයික් නරක් වෙලා තියෙන්නේ.  ඉස්සර මයික් හොයාගෙන ඇවිල්ලා බලෙන් අල්ලන් මයික් ටයිසන්ලා වගේ උත්තර දෙන කට්ටිය තමයි දැන් ඔය බලයෙන් ඔලුව ඉදිමිලා, පෙන්නන්න බෑ කිය කියා පොර ටෝක් දෙන්නේ... ඔහොම ගියදෙන් අනේ.... කියලා මාධ්‍යවේදියෝ ටික “පටි දෙකකින් කලිසම් බෑය බෙල්ලෙ එල්ලන් ඉන්න ඇමති පප්පට” පොඩි පහේ කින්ඩියකුත් දාලා...


කලම්බු රිපෝටර්  

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0