ගමෙන් ජාතික තලයටත්, ජාතික තලයෙන් ජාත්‍යන්තරයටත් ක්‍රීඩකයන් ඔසවා තබන ජාතික යෞවන ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙමින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන ගමනට ශක්තිමත් අඩිතාලමක් සපයන ජාතික යෞවන ක්‍රීඩා උළෙල මෙවර 36 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන මෙම ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 යන දිනවල හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Oct 25, 2026 - 14:21
Oct 25, 2026 - 14:42
 9
ගමෙන් ජාතික තලයටත්,  ජාතික තලයෙන් ජාත්‍යන්තරයටත් ක්‍රීඩකයන් ඔසවා තබන  ජාතික යෞවන ක්‍රීඩා උළෙල

ගමෙන් ජාතික තලයටත්,

ජාතික තලයෙන් ජාත්‍යන්තරයටත්

ක්‍රීඩකයන් ඔසවා තබන 

ජාතික යෞවන ක්‍රීඩා උළෙල

යෞවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ දශක හතරක මෙහෙවරට

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලින් නව ජවයක්

 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙමින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන ගමනට ශක්තිමත් අඩිතාලමක් සපයන ජාතික යෞවන ක්‍රීඩා උළෙල මෙවර 36 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන මෙම ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 යන දිනවල හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

1986 වසරේදී කොළඹ තුරඟ තරග පිටියේදී නිල වශයෙන් ආරම්භ වූ ජාතික යෞවන ක්‍රීඩා උළෙල වසර 35කට වැඩි කාලයක් පුරා මෙරට තරුණ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත. ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ යෞවන සමාජවල සාමාජිකත්වය දරන තරුණ තරුණියන්ගේ ක්‍රීඩා දක්ෂතා හඳුනාගෙන ඔවුන් ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටම් දක්වා රැගෙන ඒම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

 

තරුණ සේවා පනතෙන් පැවරුණු වගකීමක්

 සුපුන් විජේරත්න

ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ වැදගත්කම හඳුනාගැනීමේදී ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමට පදනම් වූ 1979 අංක 69 දරන ජාතික තරුණ සේවා පනත පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.

 

එම පනත මඟින් ජාතික තරුණ සේවා සභාවට පැවරී ඇති අරමුණු අතර තරුණයන්ගේ ශාරීරික ප්‍රවීණත්වය හා ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම මෙන්ම ඔවුන්ගේ විනෝදාත්මක කටයුතු සඳහා පහසුකම් සැලසීම ද ප්‍රධාන තැනක් ගනී. ඒ අනුව ජාතික යෞවන ක්‍රීඩා උළෙල හුදෙක් වාර්ෂික ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව, තරුණ පරපුරේ ශාරීරික සුවතාව, විනය, කණ්ඩායම් හැඟීම, නායකත්වය සහ ජයග්‍රාහී මානසිකත්වය වර්ධනය කරන ජාතික මට්ටමේ වැඩසටහනකි.

 

ග්‍රාමීය ප්‍රදේශවල සිටින දක්ෂතා සහිත තරුණ තරුණියන්ට තම හැකියාවන් රට හමුවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසීම ද මෙම ක්‍රීඩා උළෙලේ තවත් සුවිශේෂී මෙහෙවරකි. බොහෝ විට සීමිත පහසුකම් යටතේ ක්‍රීඩාවේ නිරත වන තරුණයන්ට සංවිධානාත්මක තරග පද්ධතියක් තුළින් ඉදිරියට යාමට අවස්ථාව සැලසීම, ක්‍රීඩාවේ සමානාත්මතාව සහ ප්‍රාදේශීය දක්ෂතා හඳුනාගැනීම සඳහා වැදගත් වේ.

 

ගමෙන් ජාතික තලයට දක්ෂතා ඔසවා තබන ක්‍රමවේදය

 තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික වශයෙන් අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ. මේ වන විට ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමේ තරග පැවැත්වීමෙන් පසු ජාතික තරග සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන තිබේ.

 

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා වයස අවුරුදු 15ත් 29ත් අතර පසුවීමත්, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති යෞවන සමාජයක සාමාජිකත්වය දැරීමත් මූලික නිර්ණායක වේ. එමෙන්ම ස්ථිර හෝ තාවකාලික පදිංචිය සහිත ග්‍රාම නිලධාරී වසම නියෝජනය කරමින් තරග කිරීමේ අවස්ථාව ද සලසා තිබේ. රැකියාව, අධ්‍යාපනය හෝ විවාහය වැනි හේතු මත තම ස්ථිර පදිංචි ප්‍රදේශයෙන් බැහැරව සිටින තරුණ තරුණියන්ට ද අවස්ථාව ලබාදීම මෙහි සාධනීය ලක්ෂණයකි.

 

මෙම ක්‍රමවේදය මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පමණක් නොව, ඔවුන් නියෝජනය කරන ප්‍රදේශවල ක්‍රීඩා ක්ෂේත්‍රය ද සංවර්ධනය කිරීමට අවස්ථාව උදා වේ. යෞවන සමාජ ජාලය ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීමේ මූලික ඒකකයක් බවට පත් කිරීම තුළින් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂයන් රැගෙන ඒමට හැකියාව ලැබේ.

 

ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩකයන් බිහිකිරීමේ අඩිතාලම

 ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය දෙස බැලීමේදී ජාතික මට්ටමේ තරගාවලි හරහා දක්ෂතා හඳුනාගැනීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරි ගමනක් නිර්මාණය කරදීම අතිශය වැදගත්ය. ජාතික යෞවන ක්‍රීඩා උළෙල එම ක්‍රියාවලියේ ප්‍රධාන වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

 

ප්‍රාදේශීය තරගවලින් ආරම්භ වන ගමන දිස්ත්‍රික් සහ ජාතික මට්ටම් දක්වා ව්‍යාප්ත වන විට තරුණ ක්‍රීඩකයන්ට තම හැකියාවන් මැන බැලීමට, තරගකාරී අත්දැකීම් ලබාගැනීමට සහ ඉදිරි පුහුණු අවස්ථා සඳහා සුදුසුකම් පෙන්වීමට අවස්ථාව ලැබේ. මෙවැනි පසුබිමක් තුළින් ජාතික ක්‍රීඩා සංචිත සඳහා අවශ්‍ය දක්ෂතා හඳුනාගැනීමට ද දායකත්වයක් සැපයිය හැකිය.

 

එබැවින් මෙම ක්‍රීඩා උළෙලේ වටිනාකම ජයග්‍රාහකයන්ට පදක්කම් සහ ත්‍යාග පිරිනැමීමෙන් පමණක් සීමා නොවේ. අනාගත ක්‍රීඩා නායකයන්, පුහුණුකරුවන් සහ ජාත්‍යන්තර තරග නියෝජනය කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට අවශ්‍ය මූලික පරිසරය සකස් කිරීම ද එහි දිගුකාලීන ප්‍රතිඵලයකි.

 

නව වාර්තා සමඟින් 36 වැනි ක්‍රීඩා උළෙල

 

මෙවර තරගාවලියට අදාළව මැරතන් තරගය සහ සියලු කණ්ඩායම් තරග මේ වන විට පවත්වා අවසන් කර තිබේ. එමෙන්ම පිහිනුම් ඉසව්වලදී නව තරග වාර්තා 21ක් පිහිටුවා තිබීම ද මෙවර ක්‍රීඩා උළෙලේ කැපීපෙනෙන විශේෂත්වයකි.

 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමට ද සංවිධායකයන් කටයුතු යොදා ඇත. සමස්ත ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ දෙකක් ද, අනුශූරතාවට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ද, තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂයක් ද පිරිනැමීමට නියමිතය.

 

දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙනුවෙන් රුපියල් ලක්ෂ දහය බැගින් පිරිනැමීමට සැලසුම් කර ඇති අතර, යෞවන ක්‍රීඩා වාර්තාවක් පිහිටුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් දසදහසක් ද, ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ද ලබාදීමට නියමිතය. මැරතන් තරගයේ ස්ථාන දහයක් සඳහා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, කණ්ඩායම් තරග සහ කැරම් ඒකල හා යුගල ඉසව් සඳහා ද ස්ථාන අනුව ත්‍යාග පිරිනැමේ.

 

බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි ශූරතාව සඳහා රුපියල් පහළොස්දහසක් ද, අනුශූරතාව සඳහා රුපියල් දොළොස්දහසක් ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් දසදහසක් ද පිරිනැමීමට නියමිතය. මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වන පාසල් තූර්යවාදක කණ්ඩායම් අතරින් හොඳම ඉදිරිපත් කිරීම් සඳහා ද මුදල් ත්‍යාග ලබාදීමට කටයුතු යොදා තිබේ. එහි පළමු ස්ථානයට රුපියල් ලක්ෂයක් ද, දෙවැනි ස්ථානයට රුපියල් හැත්තෑපන්දහසක් ද, තෙවැනි ස්ථානයට රුපියල් පනස්දහසක් ද පිරිනැමේ.

 

මෙවැනි ත්‍යාග ක්‍රමවේදයක් මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම අගය කිරීමත්, තවදුරටත් දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා ඔවුන් දිරිගැන්වීමත් අපේක්ෂා කෙරේ.

 

වත්මන් නායකත්වය යටතේ

තරුණ ක්‍රීඩා ක්ෂේත්‍රයට නව අවධානයක්

 ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ක්‍රීඩා උළෙල, තරුණයන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒවා ජාතික මට්ටම දක්වා රැගෙන යාමේ ආයතනික වගකීම ඉදිරියට ගෙන යන වැඩසටහනක් ලෙස වැදගත් වේ.

 

ජාතික තරුණ සේවා සභාවේ කාර්යභාරය වන්නේ තරගාවලියක් සංවිධානය කිරීමෙන් පමණක් සීමා වීම නොවේ. තරුණයන්ට තම දක්ෂතා පෙන්වීමට අවස්ථා නිර්මාණය කිරීම, යෞවන සමාජ ජාලය ශක්තිමත් කිරීම සහ තරුණයන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට දායක වන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පසුබිම සැකසීම ද එම කාර්යභාරයට අයත් වේ.

 

මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් 30 වැනිදා පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය. එය සභානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.

 

නොවැම්බර් 01 වැනිදා පස්වරු 4.00ට පැවැත්වෙන සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. එදින රාත්‍රියේ ජාතික තරුණ සේවා සභාවේ නැටුම්, ගැයුම්, වැයුම් හා සංගීතයෙන් ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි වන සංගීත ප්‍රසංගයක් හෝමාගම නගරයේ පැවැත්වීමට ද කටයුතු සංවිධානය කරමින් පවතී.

 

ක්‍රීඩාවෙන් ගොඩනැගෙන විනයගරුක තරුණ පරපුරක්

 තරුණ පරපුරේ අනාගතය ගොඩනැගීමේදී අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ රැකියා අවස්ථා මෙන්ම ක්‍රීඩාවට ද හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ක්‍රීඩාව තුළින් තරුණයන්ට නීතිගරුක බව, අන්‍යයන්ට ගරු කිරීම, කණ්ඩායම් හැඟීම, පරාජය හමුවේ නොසැලී සිටීම සහ ජයග්‍රහණය නිහතමානීව භාරගැනීම වැනි ජීවිතයට වැදගත් ගුණාංග රැසක් වර්ධනය කරගත හැකිය.

 

එමෙන්ම යෞවන සමාජ හරහා ක්‍රීඩාවට සම්බන්ධ වන තරුණ තරුණියන්ට සමාජය සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත්, පොදු අරමුණු වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටත් අවස්ථාව ලැබේ. එබැවින් ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය මැනිය යුත්තේ දිනාගන්නා පදක්කම් සංඛ්‍යාවෙන් පමණක් නොව, එමඟින් ගොඩනැගෙන සෞඛ්‍ය සම්පන්න, විනයගරුක සහ අභියෝගවලට මුහුණ දිය හැකි තරුණ පරපුරෙන් ද වේ.

 

1986 වසරේදී ආරම්භ වූ මෙම ක්‍රීඩා ගමනේ 36 වැනි පියවර වන මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙල, දක්ෂතා රැසක් ජාතික වේදිකාවට ගෙන එන අවස්ථාවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව ගෙන යන මෙම මෙහෙවර අඛණ්ඩව ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතය වෙනුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමටත්, තරුණ පරපුරේ ශක්තිය රටේ සංවර්ධනයට යොදාගැනීමටත් තවදුරටත් අවස්ථාව උදා වනු ඇත.

 

ශ්‍යාමලී ද සිල්වා,

මාධ්‍ය හා නිස්කෝ වීඩියෝ අංශය,

ජාතික තරුණ සේවා සභාව.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0