නයන්ත යුක්තිය ඉල්ලයි ලක්මිනි නීතිය පෙන්නයි

තව දුරටත් මෙලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියගේ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හයවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන ඇයගෙන් ප්‍රශ්න කීපයක් ඇසු අතර ඔහුගෙනුත් පසුව සාක්ෂි කාරිනියගෙන් හරස් ප්‍රශ්න කිරීම ආරම්භ කළේ අටවෙනි විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ලගේ නීතිඥ නයන්ත විජේසුන්දරයි... ලක්මිණි අතරත් නයන්ත අතරත් ඉතා රසවත් වූ ශාස්ත්‍රීයමය සංවාදය ආරම්භ වූයේ එතනින් පසුවයි...

Oct 1, 2026 - 16:01
 93
නයන්ත යුක්තිය ඉල්ලයි  ලක්මිනි නීතිය පෙන්නයි

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ

රස මුසු සංවාද...

නයන්ත යුක්තිය ඉල්ලයි

ලක්මිනි නීතිය පෙන්නයි

නයන්න  විජේසුන්දර  අදාළ සැප්තැම්බර් 05 වෙනිදා රැස්වීමේ ඇමතිවරයා සහභාගී වී නොසිටි බව පෙන්නුම් කරමින් සත්‍යය ඉස්මතු කරමින් ගරුතර විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ යුක්තියයි. එහෙත් පැමිණිල්ලේ උගත් නීතිඥවරිය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අපරාධ නඩු විධිධාන සංග්‍රහයේ 126/ 1 යටතේ (ආ) වගන්තියේ ප්‍රකාරව ඇති “තාක්ෂණික කරුණු” ඉස්මතු කරමින් විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙන්වා දුන්නේ නීතියයි...

අධිකරණ වාර්තාකරු

මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණවල විභාග වන සුප්‍රකට නඩුකර අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයන් දොළොස් දෙනෙකුට එරෙහිව විභාග වන ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවට ප්‍රමුඛත්වයක් හිමිවේ...


මේ වනවිට වසරකට ආසන්න කාලයක් තිස්සේ දිනපතාම විභාග වන මෙම නඩුකරය දැන් දැන් එහි අවසාන භාගය කරා පැමිණෙමින් තිබෙන බව පෙනී යන්නේ වත්මන් නඩු විභාගය අතර පෙන්නුම් කරන උණුසුම් හා තීරණාත්මක වාද විවාද නිසාය...


විශේෂයෙන්ම මෙහිදී කැපී පෙනෙනුයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන අති දක්ෂ නීතිවේදනී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියත් විත්තිය වෙනුවෙන් පෙනී සිටින අති දක්ෂ ප්‍රවීණ නීතිවේදින් කීප දෙනෙකුත් අතර  නිතිපතාම ඇවිළෙන උණුසුම් වාද විවාදයි...


විත්තියේ නීතිඥයින් හැටියට මෙහිදී අසේල සේරසිංහ, නයන්ත විජේසුන්දර, හරේන්ද්‍ර බානගල, නුවන් ජයවර්ධන, අමිත ආරියරත්න, රහුල් ජයතිලක, ප්‍රියන්ත නාවන ආදීහු මෙහිදී කැපී පෙනෙන පලපුරුදු ප්‍රවීණ නීතිඥයන්ය.. මේ අතරිනුත් පහුගිය දිනවල වඩාත් කැපී පෙනෙන රසවත් සංවාද ඇති වූයේ නඩුකරයේ අටවන විත්තිකරු කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජයසුන්දර හා ප්‍රවීණ නීතිවේදිනී ලක්මිණි ගිරිහාගම මෙනවිය අතරයි...


මීට දින කීපයකට පෙර පසුගිය 17 වන දා ලක්මිණි අතරත් නයන්ත අතරත් එවන් අතිශයින් සංවාදශීලී රසවත් විවාදයක් ඇති විය...


එදින මෙම ත්‍රි පුද්ගල මහාධිකරණයේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවකට අමාත්‍ය කාර්යාලයේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකාරිනියක ලෙස සේවය කළ මින්දුලි ජයමාන්න මහත්මියයි. 2011 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවිකාවක ලෙස කටයුතු කර ඇති ඇය 2023  වසර වනවිට සෞඛ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සේවිකාවක ලෙස සේවය කළ බව ඕ පළමුව සඳහන් කළාය...


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඕ පැහැදිලි කලේ අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය නිවේදන සකස් කිරීම, මාධ්‍යවේදීන්ගේ රාජකාරී වැඩමුළු සකස් කිරීම ආදී කටයුතු තමන් විසින් සිදුකළ බවයි...

ඒ හැරුණු විට අමාත්‍ය කාර්යාලයේ කටයුතු කළ එරංගා නැමැති නිලධාරිනිය නොමැති අවස්ථාවලදී අමාත්‍යවරයා සහභාගී වන රැස්වීම්වල “මිනිට් සටහන් ලබා ගැනීම” සඳහාද අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අමලි රඹුක්වැල්ල මහත්මියගේ ඉල්ලීම පරිදි සහභාගි වීමට සිදුවන බවද සාක්ෂිකාරිය අධිකරණයේ දැනුම් දුන්නාය...


“ඔබ එම රැස්වීම්වල සටහන් පටිගත කරනවාද ...” නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළාය.


“නැහැ... මම පටිගත කිරීමක් සිදුකරන්නේ නැහැ. මිනිට් ලබා ගැනීමේදී පළමුව මම ඇහෙන දේ සටහන් කරගන්නවා. ඊළඟට ඒ තොරතුරු යතුරු ලියනය කර අවශ්‍ය බලධාරීන්ට ලබා දෙනවා...” ඇය ඇගේ රාජකාරිමය කාර්යභාරය එසේ විසිතර කළාය.


තව දුරටත් මෙලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියගේ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව  හයවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන ඇයගෙන් ප්‍රශ්න කීපයක් ඇසු අතර ඔහුගෙනුත් පසුව සාක්ෂි කාරිනියගෙන් හරස් ප්‍රශ්න කිරීම ආරම්භ කළේ අටවෙනි විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ලගේ නීතිඥ නයන්ත විජේසුන්දරයි... ලක්මිණි අතරත් නයන්ත අතරත් ඉතා රසවත් වූ ශාස්ත්‍රීයමය සංවාදය ආරම්භ වූයේ එතනින් පසුවයි...


ප්‍රශ්නගත ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහා මිලට ගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබූවායයි කියන තීරණාත්මක සාකච්ඡාවන් දෙකක් 2022 සැප්තැම්බර් 05 වැනිදා සහ ඔක්තෝම්බර් 10 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුණු බවට කරුණු වාර්තා විය. දෙදෙනා අතර විවාදය ආරම්භ වූයේ මේ කියන රැස්වීම් සම්බන්ධයෙන් සාක්‍ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසන අතරවාරයේ ය...


“එතකොට මේ කියන රැස්වීම් දෙක, 2022 සැප්තැම්බර් පස්වෙනිදා සහ ඔක්තෝම්බර් 10 පැවැත්වුණු බව ඔබ කිව්වා. එය අමාත්‍යවරයාගේ කාර්යාලයට යාබද ශ්‍රවණාගාරයේදීද තිබුණේ...?  නීතිඥවරයා විමසා සිටියේය... සාක්ෂිකාරිය කීවේ එම රැස්වීම් ශ්‍රවණාගාරයේ පැවැත්වුණු බවය...


"සැප්තැම්බර් 05 වැනිදා වෙනකොට අටවෙනි චූදිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සඳහා භූතානයට ගිහින් තිබුණු බව ඔබ දන්නවාද..?


නීතිඥ නයන්ත විජේසූරිය එම ප්‍රශ්නය විමසනවාත් සමගම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම සාක්‍ෂිකාරියගේ පිළිතුරු වළකමින් විත්තියේ නීතිඥවරයාගේ ප්‍රශ්නයට සිය විරෝධය පළ කර සිටියාය...


“මගේ උගත් මිතුරිය එම ප්‍රශ්නයට විරෝධය පළ කරනවා නම් ස්වාමීනී මටත් තියෙනවා ඒ ගැන විශේෂ කාරණා කීපයක් දක්වන්න...”


ඒ අනුව විනිසුරු මඩුල්ල කලේ සාක්ෂිකාරියව අධිකරණ පරිශ්‍රයෙන් මොහොතකට පිටතට යවා දෙපාර්ශවයට ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබාදීමය.


“ස්වාමීනී... විත්තියේ නීතිඥතුමා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළේ 2022 සැප්තැම්බර් 05 වනදා අටවන චූදිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයකට සහභාගි වීමට භූතානයට ගොස් සිටි බව. එම කාරණය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත පනත ප්‍රකාරව විත්තිකරුට පොලිසිය ඒ සම්බන්ධයෙන් මුලින්ම ප්‍රකාශ සටහන් කරන අවස්ථාවේ ඔය කාරණාව ගැන සඳහන් කිරීමට තිබුණා....”


ඒ අයුරින් පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියේ 2024 පෙබරවාරි 02 වැනිදා අදාල චූදිත පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබුණද මෙම ප්‍රශ්නකාරී අවස්ථාවේ ඔහු භූතානයේ අදාළ රාජකාරිය සඳහා සහභාගී වී ඇති බවට කිසිදු සටහනක් එහි කර නොමැති බවකි.  අපරාධ නඩු විධිධාන සංග්‍රහයේ 126/ 1 යටතේ (ආ) වගන්තියේ ප්‍රකාරව “අන්‍යස්ථානික බව හෙවත් නොතැනියාව” සටහන් කරන්නේ නම් මුල් විත්තිවාචකයේ ඒ පිළිබඳ සදහන්ව තිබිය යුතු බවයි. එසේ සටහන් කරන්නට යම් හෙයකින් නොහැකි වූයේ නම් අධි චෝදනාව ලබාදෙන දිනය ඇතුළත එම කාරණාව දැනුම් දීමට ඉඩ තිබුණු බව දැන උගත් නීතිඥවරිය පෙන්වා දුන්නාය...


“ස්වාමිනි.. “අන්‍යස්ථානිකභාවය” කියන්නේ යම් “වරදක් සිදු වෙන වේලාවේදී චූදිතයකු” වෙනත් ස්ථානයක සිටීම කියන කාරණාවයි.  අදාල දිනය හෙවත් සැප්තැම්බර් 05 වැනි දින කිසිදු වරදක් සිදුවී නොමැති බැවින්, මේ අන්‍යස්ථානිකභාවය කියන මූලධර්මය මෙතෙන්ට අදාළ කරගන්න බැහැ. නොතැනියාව හෙවත් අන්‍යස්ථානික භාවය පිළිබඳව අපට මීට පෙර පූර්වාදර්ශ නඩුකර ගණනාවක්ම තියෙනවා.”


නයන්ත විජේසුන්දර එසේ තර්ක කළත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ තර්කය වූයේ මෙය කෙලින්ම නොතැනියාව හා සම්බන්ධ බවයි... ඇය නයන්තගේ යෝජනාවට ඉඳුරාම විරෝධය පළ කරද්දි නයන්ත නැවත වතාවක් මෙසේ කියමින් උත්සාහ කළේ නොතැනියාව නමැති මූලධර්මය එම සුවිශේෂී අවස්ථාවෙන් ඉවත් කර ගැනීමටය..


“ස්වාමීනී එහෙමනම් මෙතන අපරාධමය වරදක් මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙන්න ඕන. එහෙම තිබුණනම් නොතැනියාව ගැලපෙනවා.  නමුත් මෙතන අපරාධමය වරදක් වෙන්න චෛතසික හා කායික නැමියාවක් තිබිලා නෑ... එදින අපරාධයක් වෙලා තියෙනවා නම් මගේ උගත් මිතුරියට ඒ මිනිට් සටහන් ඉදිරිපත් කර නඩුව කරගෙන යන්න තිබුණා. මේ නඩුව මාස 11ක් ඇදගෙන යන්න ඕනෙත් නෑ. අනෙක් අතට අපරාධයක් සිදුව තිබුණා නම් එහි සිටි සියලුම දෙනාට එරෙහිව නඩු පැවරිය යුතුයි.”


“අනිත් අතට ස්වාමීනි, රැස්වීම් තියලා සටහන් කරලා ඒ පටිගත කරලා කවුද හොරකම් කරන්නේ? අපරාධයක් කරනවා නම් කවුද සටහන් තියන්නේ?" යනුවෙන් නීතිඥවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.”


ඊට ප්‍රතිඋත්තර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය, “අපරාධමය වරදක්” පිළිබඳව චූදිතට දී ඇති අධිචෝදනා පත්‍රයේ පළවෙනි චෝදනාවෙන්ම දැනුම් දී තිබෙනවා. “කුමන්ත්‍රණය” යන චෝදනාව එහි ඇතුළත් වෙනවා. කුමන්ත්‍රණයක් එක දිනකදී සිදුවන්නේ නෑ. ඒ සඳහා අදාළ කාලය අධිචෝදනා පත්‍රයේ සඳහන් වෙනවා. අන්‍යාස්ථානියක භාවය ගන්නවා නම් එය නෛතිකව ප්‍රකාශ කළ යුතුයි. මෙම ප්‍රශ්නයට මම විරුද්ධයි,” යනුවෙන් සඳහන් කළාය.


මේ දෙපාර්ශවය අතර මෙවන් වාදයක් ඇතිවන්නට හේතුවක් කිබිණ. ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඇමතිවරයාද සහභාගී වූ තීරණාත්මක සාකච්ඡා හතරක් සිදුවී ඇතැයි පැමිණිල්ල මේ නඩු කරයේදී පෙන්වා දී ඇත... 


එහෙත් ඒ සාකච්ඡාවටයේ අවසාන තීරණාත්මක සාකච්ඡා දෙකටම ඇමතිවරයා සහභාගී වී නැති බව විත්ති පාර්ශ්වයේ තර්කයයි. ඉතා තීරණාත්මක සාකච්ඡාවක් වූ 2022 සැප්තැම්බර් 05 වෙනිදා ඇමතිවරයා භූතානයේ තිබූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මේලනයකට සහභාගි වන්නට ලංකාවෙන් පිටව ගොස් සිටි බව කියති. ප්‍රශ්නය වී ඇත්තේ  එම රැස්වීම පිළිබඳ තබා ඇති මිනිට් සටහන්වල ඇමතිවරයා එම රැස්වීමට සහභාගී වූ බවට කරුණු සඳහන්ව තිබීමයි...


දෙවැනි කාරණාව 2022 ඔක්තෝබර් 10 අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවැත්වී ඇතැයි කියන රැස්වීමයි.  එහෙත් එම අවස්ථාවේ ඇමතිවරයා සිට ඇත්තේ අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ නොවේ. ජනාධිපතිවරයා සමඟ කටුනායක ගුවන් තොටුපලේ පැවැති වෙනත් විශේෂ උත්සව අවස්ථාවකය. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ ඇමතිවරයා එම අවස්ථාවේද එතන සිටි බවට මිනිට් සටහන්වල තොරතුරු අඩංගු වී තිබීමයි.


නයන්න  විජේසුන්දර  අදාළ සැප්තැම්බර් 05 වෙනිදා රැස්වීමේ ඇමතිවරයා සහභාගී වී නොසිටි බව පෙන්නුම් කරමින් සත්‍යය ඉස්මතු කරමින් ගරුතර විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ යුක්තියයි. එහෙත් පැමිණිල්ලේ උගත් නීතිඥවරිය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අපරාධ නඩු විධිධාන සංග්‍රහයේ 126/ 1 යටතේ (ආ) වගන්තියේ ප්‍රකාරව ඇති “තාක්ෂණික කරුණු” ඉස්මතු කරමින් විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙන්වා දුන්නේ නීතියයි...


මෙම ප්‍රශ්නයට මැදිහත් වෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පෙන්නුම් කළේ , 8 වන චූදිත සහභාගී වූ බව කියන රැස්වීම පැවැත්වූ දින ඔහු භූතානයේ සිටි බව සඳහන් කරමින්  විත්තිය විසින් නොතැනියාව හෙවත් අන්‍යස්ථානික බව පෙන්වා දී ඇතත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126 (1) යටතේ අ, ආ, සහ ඈ යන වගන්ති සම්පූර්ණ කර නොමැති අවස්ථාවක අන්‍යාකාරයකින් අන්‍යස්ථානිකභාවය පිළිබඳ ස්ථාවරයක් ඉදිරිපත් කළ නොහැකි බවය.


එබැවින් එම අදාළ ප්‍රශ්නය විමසීමට අවසර දීම විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූහ...


පැමිණිල්ලේ උගත් නීතිඥවරිය වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියත් විත්තියේ නීතිඥ නයන්ත විජේසුන්දරත් අතර අන්‍යස්ථානික භාවය හෙවත් නොතැනියාව සම්බන්ධයෙන් තවත් තැනකදී රසවත් නීතිමය සංවාදයක් ඇති විය... ඒ වගත් මෙසේය...


පැමිණිල්ල විසින් ඇමතිවරයා රැස්වීමේ සිටියා යැයි කියන, විත්තිය විසින් ඇමතිවරයා සිටියේ නැතැයි කියන ඊළඟ රැස්වීම යෙදී තිබුණේ 2022 ඔක්තෝබර් 10 වනදාටය. ඒ සම්බන්ධයෙන් විත්තියේ නීතිඥ නයන්ත විජේසුන්දර සාක්ෂිකාරියගෙන් මෙසේ විමසනු ලැබුවේය...


නීතීඥ ; මම යෝජනා කරනවා 2022 ඔක්තෝබර් 10 දා උදෑසන 10 00 වෙනකොට අටවන චූදිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසිටි බව....


එම අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නයන්ත විජේසුන්දරගේ ප්‍රශ්නයට විරෝධය පළ කර සිටයාය... ඇය එතනදීද පෙන්වා දුන්නේ නොතැනියාව හෙවත් අන්‍යස්ථානික බව විත්තියේ නීතිඥයා නැවතත් මතුකර ඇතැයි යන කාරණාවයි...


එහෙත් එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නීති කෘත්‍යයකදී “වචනවලට” ඇති බලය පසක්කරමින් නයන්ත විජේසුන්දර තර්කය මතුකළ ආකාරයෙන් උසාවියේ කියවුනු කාරණාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පළ කළේ මෙසේය...


"මේක අන්‍යස්ථානික බව නොවෙයිනේ...මෙතන තියෙන්නේ එම ස්ථානයේ චූදිත නොසිටි බවට කරුණු ඉදිරිපත් කිරීමක්. අන්‍යස්ථානික බව කියන්නේ යම්කිසි වේලාවකදී යම්කිසි ස්ථානයක ඔහු සිටි බවට නිශ්චිතව ප්‍රකාශ කිරීමයි" කියමින්  එම අවස්ථාවේ මතු කළ තර්කය වඩාත් පැහැදිලි කරමින් ප්‍රශ්න ඇසීම සඳහා අවසර ලබා දුන්නේය...


ඒ අනුව සැප්තැම්බර් 05 වෙනදා කාරණාවේදී අන්‍යස්ථානික බව ඉදිරිපත් කරමින් විත්තියේ නීතිඥවරයා පරාජය කරමින් පැමිණිල්ලේ නීතිඥවරිය ජය තහවුරු කරගත්තාය. 


එහෙත් ඒ හා සම්බන්ධ අනිත් දිනය වූ ඔක්තෝබර් 10 වෙනිදා සාකච්ඡාව සම්බන්ධයෙන් විත්තියේ උගත් නීතිඥ නයන්ත විජයසුන්දර පරණ වරද ආපසු කළේ නැත. ඔහු අමාත්‍යවරයා එම අවස්ථාවේ රැඳී සිටි තැන ගැන නිශ්චිතව යමක් කීවේ නැත. එහෙත් අදාළ ස්ථානයේ අමාත්‍යවරයා ඒ මොහොතේ නොසිටි බව පමණක් ප්‍රකාශ කළේය...


එම තාක්ෂණික කරුණු මත අන්‍යස්ථානික බව හෙවත් නොතනියාවේ මූලධර්මය මගහැර ඉදිරියට යාමට විත්තියේ උගත් නීතිඥ නයන්ත විජේසුන්දර ඉඩ ලබා ගත්තේය... එවර නයන්තගේ තර්කය ජයග්‍රහණය කළේය.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එකවර පරාජය භාර ගන්නට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය හිත හදාගත්තෙ නැත.  ඇය ඒ සම්බන්ධයෙන් වෙනත් තර්කයක් ඉදිරිපත් කළේ ඇයගේ රාජකාරිය හා ඒ වෙනුවෙන් තම වගවීම බැරෑරුම්ව ඉදිරිපත් කරමිනි...


“මට මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු දක්වන්න අවශ්‍යයි. එසේ නොකළහොත් රාජකාරිය නිසි පරිදි ඉටු නොකළ බවට නීතිපතිවරයා විසින් මට එරෙහිව චෝදනා නගන්න පුළුවන්...”  


ඒ අනුව පැමිණිල්ලේ විරෝධතාවය සටහන් කරවීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලදී....


ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ පෙර අවස්ථාවේදී මෙන්ම මෙම දෙවන අවස්ථාවේදී ද අන්‍යස්ථානිකභාවය පිළිබඳ ගැටලුව මතුවෙන බැවින් සාක්ෂි ආඥා පනතේ 126 (ආ) වගන්තිය යටතේ තමන් ඊට විරුද්ධ වන බවයි.


“ස්වාමීනි, මම මෙතනදි කිව්වේ අටවෙනි චූදිත එදින 10. 00 වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසිටි බව විතරයි. එසේ නොමැතිව 126 වගන්තියට අනුව ඔහු වෙනත් ස්ථානයක සිටි බවක් ප්‍රකාශ කළේ නෑ ස්වාමීනි...”


එම ප්‍රකාශයෙන්ම පෙනී ගියේ විත්තියේ නීතඥ නයන්ත විජේසුන්දර මොනතරම් සූක්ෂම ලෙස වචන හසුරවන්නට අති දක්ෂයෙක්ද යන කාරණාවයි... 


අනතුරුව 2022 දෙසැම්බර් මස 05 වන දින පැවති රැස්වීමක මිනිට් සටහන් ගැන අවධානය යොමු කරමින් නයන්ත විජේසුන්දර සාක්ෂිකාරිනී මින්දුලී ජයමාන්නට බරපතළ චෝදනාවක් එල්ල කළ අවස්ථාවේදීද හරි අපූරු සංවාදයක් ඇතිවිය.  එම මිනිට් සටහන් 1 v 13 ලෙස අධිකරණය හමුවේ සලකුණු කර තිබෙන බව පෙන්වා දුන් විත්තියේ නීතිඥ නයන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නවාවි මහතා ඊට සහභාගී වූ බව සටහන් කර තිබෙනවා නේදැයි..? සාක්ෂිකාරියකින් විමසා සිටියේය...


සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි නවාවි මහතා ඊට සහභාගි වුණා...


නීතීඥ ; ඔබ දන්නවද නවාවි මහතා මේ නඩුවේ සාක්ෂිකාරුවෙකු බව... ඔහු මීට මාස කීපයකට පෙරදී සාක්ෂි ලබාදී ලබාදී අවසන් කරලා තියෙනවා...


සාක්ෂිකාරිය ; ඒ ගැන මට දැනුමක් නෑ ස්වාමීනි...


නීතිඥ ;  එම රැස්වීමේ අංක එක යටතේ නවාවී මහතාට ලබා දී ඇති වගකීම කුමක්ද..? ලේඛන බලලා කියන්න...


සාක්ෂිකාරිය ; එතුමා තමයි ඇඩිෂනල් සෙකට්‍රි ප්‍රොකියුමන්ට්. එහෙමයි සඳහන් කරලා තියෙන්නේ...


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒ ප්‍රශ්නයට මම විරුද්ධයි. තවත් සාක්ෂිකරුවෙක් ලබා දුන් සාක්ෂියක් සම්බන්ධයෙන් මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න විමසීමක් කරන්න බෑ...


එහෙත් එම අවස්ථාව සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරු මඩුල්ල නීතිඥවරයාට තවදුරටත් ප්‍රශ්න විමසාගෙන යන්නට අවස්ථාව ලබා දුන්නේය...


නීතිඥ  ; මෙම මිනිට් සටහන්වල ඇති වගකීමක් නවාවි මහතාට භාර දුන්නේ නෑ කියල මම යෝජනා කරනවා...


සාක්ෂිකාරිය ; ස්වාමීනී මට ඇහුන දේ මම ලිව්වා. එය අත්සන් කරලා තහවුරු කරේ සෙකට්රි සර්... අද වනතුරු කිසිම කෙනෙක් මම වැරදියි කියලා නෑ. එදා සටහන් කළ මිනිට් සටහන් වැරදියි කියලා කවුරුවත් කිව්වෙ නෑ... සිද්ධ වෙච්ච දෙයක් සිදුවූ බවට හෝ සිදු නොවූ දෙයක් වූ බවට මේ වෙන තෙක් කිසිම කෙනෙක් මට චෝදනා කරලා නෑ..."  සාක්ෂිකාරිය දිගින් දිගටම කියාගෙන ගියාය...


නීතීඥ : ඔබට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන දෙකක් පැවැත්වෙනවා....


සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි, මට විරුද්ධව තියෙන්නේ එක විමර්ශනයක් විතරයි...


නීතිඥ ; මිනිට් සටහන් වැරදියට යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙනවා නේද..?


සාක්ෂිකාරිය ; මට විරුද්ධව එහෙම විමර්ශනයක් කෙරෙන්නේ නෑ...


නීතිඥ ; එහෙමනම් ඔබට විරුද්ධව පවතින විමර්ශනය මොකක්ද..?


සාක්ෂිකාරිය ; ඒක දේශපාලන හේතූන් මත කෙරෙන විමර්ශනයක්... ඒ සම්බන්ධයෙන් මම විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලලයි තියෙන්නේ...


නීතිඥ ; ඔබට විරුද්ධව තියෙන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලන්න ඔබට බෑනේ. මොකක්ද ඔබට තියෙන චෝදනාව..?


සාක්ෂිකාරිය ; චෝදනාව තමයි ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පුද්ගලයන්ට ලබා දී ඇති වාහන සහ තෙල් කෝටාවන් පිළිබඳ තොරතුරු fb එකට ලබාදීම ඇත්තෙන්ම එය ලබා දී තිබුණේ මගේ fb එකේ නෙවෙයි. සංජීව නමැත්තෙකුගේ මුහුණු පොතේ...


නීතිඥවරයා: "ඒ සටහන තියෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයට මුදා හරින ලද තෙල් සහ වාහන සම්බන්ධයෙන් නේද?"


සාක්ෂිකාරිය: “ඔව් ස්වාමීනී.”


නීතිඥවරයා: “ඒ විනය පරීක්ෂණය හෙට තියෙනවා කියලා ඔබ කිව්වා?”


සාක්ෂිකාරිය: “ඔව් ස්වාමීනි, විධිමත් විනය පරීක්ෂණයක් මා ඉල්ලුවා.”


නීතිඥවරයා: “මා ඔබට යෝජනා කරනවා චෝදනාවට ලක්වෙලා විමර්ශනයකට භාජනය වෙන අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් ඊට පක්ෂව සාක්ෂි ලබාදෙන බවට.”


සාක්ෂිකාරිය: “නෑ ස්වාමීනී, මට කැඳවීමක් කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දුන්නා. ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මෙම සිතාසි ලැබුණා සාක්ෂි දෙන්න කියලා. මම බලෙන් සාක්ෂි දෙන්න ආවේ නෑ.”


නීතිඥවරයා: “ඔබ දන්නවද දිවුරුම් පිට බොරු කිව්වොත් අධිකරණය හමුවේ සිදුවන දේ?”


සාක්ෂිකාරිය: “ඔව් ස්වාමීනී.”


නීතිඥවරයා: “මිනිට් සටහන් ගැන ඔබට එරෙහි විමර්ශනයක් නැතිද?”


සාක්ෂිකාරිය: “නෑ ස්වාමීනී.”


මෙහිදී අධිකරණය ඇමතූ නීතිඥවරයා, මෙම සාක්ෂිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරයේ “ඇමතිවරයාගේ අවශ්‍යතාවයකට අදාළ සටහන් ලබාගන්නා බවට” කරන ලද ප්‍රකාශය ඇතුළත් නොකිරීම ඌනතාවක් ලෙස ලකුණු කිරීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.


ඒ අනුව සාක්ෂිකාරිය විසින් දෙන ලද කටඋත්තරය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අදාළ ඌනතාවය ලකුණු කිරීම සඳහා විනිසුරු මඩුල්ල විසින් අවසර ලබා දෙන ලදී.


අදාළ මිනිට් සටහන් අතින් ලියූ බවට සාක්ෂිකාරිය ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ නීතිඥවරයා, “එසේ අතින් සටහන් කර ගන්නේ කවර හේතුවක් මත දැයි” විමසීමක් කළේය.


සාක්ෂිකාරිය සඳහන් කළේ මෙම මිනිට් සටහන් කර ගැනීම තමන්ගේ රාජකාරියක් නොවන බවත්, එම රාජකාරිය ඉටු කරන එරංගා නමැති නිලධාරිනිය නොමැති අවස්ථාවලදී තමන් මෙම රාජකාරිය සිදු කරන බවත්ය. එම කාලය වන විට තමන් නෝට් බුක් එකක් භාවිතා නොකළ බව සඳහන් කළ සාක්ෂිකාරිය, මෙය අමතර කාර්යයක් වන බැවින් ඊට අදාළ A4 කොළ මත සටහන් කර ගත් බව කියා සිටියාය.


"එම A4 කොළ කොහෙද තිබෙන්නේ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ, "ස්වාමීනි, මට කියවා ගත හැකි පරිදි තමයි මම ලියාගන්නේ. සම්පූර්ණ ලියවිල්ලක් විදියට යතුරු ලියනය කිරීමෙන් පස්සේ එම කොළ විනාශ කරලා දානවා."


"මේ රැස්වීම තිබුණේ ඖෂධ සම්බන්ධයෙන්. ඖෂධ ගෙන්වීම සහ වැදගත් කාරණාවලට අදාළව. එවැනි වැදගත් සටහනක මුල් සටහන් විනාශ කරාම හරියනවද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ, අදාළ සටහන් තමන්ට පමණක් කියවා ගත හැකි පරිදි අසම්පූර්ණ වචන වලින් ලියා ඇති බවය.


"මා යෝජනා කරනවා ඔබ ඔය රැස්වීමට සහභාගි වුණා කියලා මිනිට් සටහන් ගත් බවට කරන ප්‍රකාශය අමූලික බොරුවක් කියලා," යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය, "නෑ ස්වාමීනි, එම රැස්වීමට සහභාගි වී තමයි ලිව්වේ," යනුවෙන් ප්‍රකාශ කළාය.


එම රැස්වීමට සහභාගී වූවන්ගේ අත්සන් ලේඛනය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කෙනෙකු විසින් ගන්නට ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.


නීතීඥ : “මෙම සටහන් යතුරු ලියනය කළ පරිගණකය කොහෙද තියෙන්නේ?" 


සාක්කිකාරිය ; එය සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලය තුළ තිබෙනවා.


නීතිඥ : "අදාළ මිනිට් සටහන්වල මෘදු පිටපත් එහි තිබෙනවාද?" 


සාක්කිකාරිය : "ස්වාමීනි, මේ යතුරු ලියනය කිරීමෙන් පස්සේ එහි print out එකක් මා ලබා ගත්තා. ඇමතිවරයා අමාත්‍යාංශයෙන් යන විට එහි ඇති පරිගණකවල ඇති සියලු කරුණු delete කරන්න කියලා උපදෙස් ලැබුණා. ඒ අනුව මම ඒවා delete කළා. සාමාන්‍යයෙන් හැම ඇමතිවරයකුම එහෙම තමයි. මම ඇමතිවරුන් ගණනාවක් යටතේ කටයුතු කර තිබෙනවා. ඇමති ධූරයෙන් ඔවුන් යන විට තිබෙන සියලුම දත්ත ඉවත් කර යනවා, අලුත් ඇමති සමග වැඩ කරන්න කියලා,"  


නීතීඥ ;  ඒ පිළිබඳව ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරයේ සඳහන් කළාද..? 


සාක්කිකාරිය : මගෙන් ඇහුව නම් මම උත්තර දීලා ඇති," යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.


මෙම සාක්ෂිකාරිය අදාළ පරිගණකයේ මෘදු පිටපත් මකා දැමූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරයේ සඳහන් නොකිරීම ඌනතාවයක් ලෙස අධිකරණයේ ලකුණු කිරීමට නීතිඥවරයා අවසර ඉල්ලා සිටි අතර, විනිසුරු මඩුල්ල විසින් ඊට අවසර ලබා දෙන ලදී.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0