බාල ඖෂධ නඩුවේ විමර්ශන නිලධාරියාට දිගින් දිගටම තොප්පි...

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ආන්දෝලනාත්මක නඩුවේදී, විමර්ශන නිලධාරියාගේ සාක්ෂි හරස් ප්‍රශ්නවලට ලක්වීමත් සමඟ නඩු විභාගය උණුසුම් මුහුණුවරක් ගත්තේය. පසුගිය 12 වැනිදා පැවැති නඩු විභාගයේදී පැමිණිල්ලේ 339 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි දුන්නේ අදාළ ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාය. ඔහුගෙන් නවවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අරවින්දු මනතුංග ආරච්චි මෙනවිය සහ දසවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න විමසනු ලැබූහ.

Oct 15, 2026 - 20:58
Oct 15, 2026 - 21:06
 57
බාල ඖෂධ නඩුවේ විමර්ශන නිලධාරියාට දිගින් දිගටම තොප්පි...

බාල ඖෂධ නඩුවේ

 

විමර්ශන නිලධාරියාට 

දිගින් දිගටම තොප්පි...

 

ආරක්ෂාවට නීතිපති

“ප්‍රසම්පාදනය පිළිබඳ පොතපත කියවා නැහැ. ප්‍රසම්පාදනය ගැන

විමර්ශන සැකයි” 

ජනාධිපති නීතීඥ ප්‍රියන්ත නාවාන පවසයි.

“විමර්ශකයාට, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ කියවා ඒ පිළිබඳව

අවබෝධයක් තිබුණොත් හොදටම ඇති...”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කියයි.

(අධිකරණ වාර්තාකරු)

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ආන්දෝලනාත්මක නඩුවේදී, විමර්ශන නිලධාරියාගේ සාක්ෂි හරස් ප්‍රශ්නවලට ලක්වීමත් සමඟ නඩු විභාගය උණුසුම් මුහුණුවරක් ගත්තේය.


පසුගිය 12 වැනිදා පැවැති නඩු විභාගයේදී පැමිණිල්ලේ 339 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි දුන්නේ අදාළ ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාය. ඔහුගෙන් නවවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අරවින්දු මනතුංග ආරච්චි මෙනවිය සහ දසවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න විමසනු ලැබූහ.


විමර්ශනය ආරම්භ කිරීමට පෙර ප්‍රසම්පාදනය පිළිබඳ පොතපත අධ්‍යයනය නොකළ බව සාක්ෂිකරු පිළිගැනීම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ලේඛන සහ ඒවායේ අත්සන් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න, විදේශගතව සිටින නවවැනි විත්තිකරු සම්බන්ධ කරුණු සහ විමර්ශනයේදී ලබාගත් ඇතැම් ලේඛන පිළිබඳව අධිකරණයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න එදින සාක්ෂි විභාගයේදී ප්‍රධාන ලෙස අවධානයට ලක්විය.


එමෙන්ම ප්‍රශ්නගත ඖෂධ දෙක හදිසි ප්‍රසම්පාදනයක් යටතේ මිලදී ගැනීමට අවශ්‍යතාවක් තිබුණේද, ඖෂධ තොග පිළිබඳ දත්ත පරීක්ෂා කළේ කෙසේද සහ විමර්ශන නිලධාරියා විසින්ම අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳවත් දසවැනි විත්තිකරුගේ නීතිඥවරයා ප්‍රශ්න කළේය.


මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරුවරුන් වන විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.

විමර්ශනයට පෙර ප්‍රසම්පාදනය පිළිබඳ අධ්‍යයනයක් කළාද?

නඩුවේදී වැඩිම අවධානයක් දිනාගත් කරුණක් වූයේ ඖෂධ ප්‍රසම්පාදනය පිළිබඳ විමර්ශනයක් සිදුකළ නිලධාරියා එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කොතරම් දැනුමක් ලබාගෙන තිබුණේද යන්නයි.

දසවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විමර්ශන නිලධාරියාගෙන් විමසා සිටියේ ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව අධ්‍යයනයක් සිදුකර තිබුණේද යන්නයි.

මෙහිදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ කාලයේ භාවිත කළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිබඳව අවබෝධයක් ලබාගත් බවය. එහෙත් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ලියැවුණු පොතපත කියවා තිබුණේදැයි විමසූ විට ඔහු කියා සිටියේ එවැනි කියවීමක් සිදු නොකළ බවයි.

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා: ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වන පොතපත කියවා අධ්‍යයනයක් කළාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි. ඒ සම්බන්ධ පොතපත කියවීමක් සිදු කළේ නැහැ.

ජනාධිපති නීතිඥවරයා: පොතපත කියවීමකින් තොරවද ඔබ මේ විමර්ශනය සිදු කළේ?

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නයට විරෝධය පළ කළාය. ප්‍රසම්පාදනය පිළිබඳ පොතපත යන්න පුළුල් විෂයක් බවත්, සාක්ෂිකරු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ කියවා ඒ පිළිබඳව අවබෝධයක් ලබාගෙන තිබූ බවත් ඇය පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත්, නීතිඥවරයාගේ ප්‍රශ්න කිරීම් එතැනින් අවසන් වූයේ නැත. විමර්ශනය සඳහා මාර්ගෝපදේශ පිළිබඳ දැනුම පමණක් ප්‍රමාණවත් වූයේද යන්න පිළිබඳව ඔහු තවදුරටත් කරුණු විමසීය.

සාක්ෂිකරු කියා සිටියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන, අදාළ ලේඛන පරීක්ෂා කරමින් විමර්ශනය සිදුකළ බවය. ප්‍රසම්පාදනයකට පෙර අවශ්‍යතාව හඳුනාගැනීම, ඖෂධයේ පිරිවිතර සහ ප්‍රමාණය තීරණය කිරීම, ලංසු ඇගයීම, ප්‍රසම්පාදන කමිටුවේ තීරණ, පිරිනැමීමේ ලිපි නිකුත් කිරීම සහ ගැනුම් ඇණවුම් ලබාදීම වැනි පියවර සම්බන්ධයෙන් විමර්ශනයේදී කරුණු අනාවරණය කරගත් බවද ඔහු පැවසීය.

මෙහිදී මතුවූ ප්‍රධාන කරුණ වූයේ විමර්ශන නිලධාරියාගේ ප්‍රසම්පාදන දැනුම පිළිබඳව විත්තිය ප්‍රශ්න කිරීමත්, පැමිණිල්ල එම දැනුම ලබාගැනීම සඳහා ඔහු අනුගමනය කළ ක්‍රමවේදය පැහැදිලි කිරීමට උත්සාහ කිරීමත්ය.

නවවැනි විත්තිකරුගේ අත්සන සහ “I Recommend” සටහන

නවවැනි විත්තිකරුගේ රාජකාරි සහ ප්‍රසම්පාදන ලේඛනවල ඔහු ඉටුකළ කාර්යභාරය සම්බන්ධයෙන්ද හරස් ප්‍රශ්න විමසීමේදී කරුණු රැසක් මතු විය.

නවවැනි විත්තිකරු ප්‍රසම්පාදන නිලධාරියකු ලෙස කටයුතු කළ බවට විමර්ශන නිලධාරියා මීට පෙර සාක්ෂි ලබාදී තිබිණි. එහෙත් ඔහුගේ තනතුර වෛද්‍ය නිලධාරී (ප්‍රසම්පාදන) ලෙස සඳහන්ව තිබීම සම්බන්ධයෙන් නීතිඥවරිය ප්‍රශ්න කළාය.

ප්‍රසම්පාදන ලේඛනවල ඔහුගේ අත්සන සහ “I Recommend” යනුවෙන් සටහන් කර තිබූ ස්ථාන පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

නවවැනි විත්තිකරුගේ නීතිඥවරිය: නවවැනි විත්තිකරුට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලයක් තිබුණේ නැහැ නේද?

සාක්ෂිකරු: එම විත්තිකරු විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා.

නීතිඥවරිය: ඔහු ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත ලේඛන සකස් කර ඉහළ නිලධාරීන්ට යොමු කිරීමක් පමණක් සිදුකර තිබෙනවා නේද?

සාක්ෂිකරු: ඔහු නිර්දේශ කර ඇති බව අනාවරණය වුණා. “I Recommend” ලෙස සටහන් කර තිබූ ස්ථානවල ඔහුගේ අත්සනද තිබුණා.

මෙහිදී පැමිණිල්ලේ ලේඛන අතරින් පැ. 231 ලෙස සඳහන් ලේඛනයේ “I Recommend” යන සටහන තිබූ බව සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

එහෙත් 236A ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ ලේඛනයේ නවවැනි විත්තිකරුගේ අත්සන තිබුණද “I Recommend” යනුවෙන් සටහන් කර නොතිබූ බව නීතිඥවරිය පෙන්වා දුන්නාය. එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධය පළ කරමින්, අදාළ ලේඛනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මෙම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීමේ සීමා පිළිබඳව කරුණු දැක්වූවාය.

ඊට ප්‍රතිචාර දක්වමින් සාක්ෂිකරු කියා සිටියේ අදාළ ලේඛන නවවැනි විත්තිකරුගේ උපදෙස් මත සකස් කළ බව විමර්ශනවලදී අනාවරණය වූ බවය. අභ්‍යන්තර සටහනක ඔහුගේ අත්සන තිබූ බවද ඔහු පැවසීය.

මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාද නවවැනි විත්තිකරුගේ තනතුර පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

සභාපති විනිසුරුවරයා: ඔහු වෛද්‍ය නිලධාරියෙක්ද?

සාක්ෂිකරු: එසේය ස්වාමීනි.

සභාපති විනිසුරුවරයා: ඔහු ප්‍රසම්පාදන නිලධාරියෙක්ද?

සාක්ෂිකරු: ඔහු ප්‍රසම්පාදන අංශයේ සේවය කළ වෛද්‍ය නිලධාරියෙක්.

මෙම හරස් ප්‍රශ්නවලදී මූලික වශයෙන් විමසා බැලුණේ නවවැනි විත්තිකරුගේ නිල තනතුර කුමක්ද යන්න පමණක් නොව, ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීමේදී සහ නිර්දේශ කිරීමේදී ඔහු ඉටුකළ භූමිකාව කුමක්ද යන්නයි. එම කරුණු පිළිබඳව සාක්ෂිකරු ඉදිරිපත් කළේ විමර්ශනයේදී අනාවරණය වූ බව ඔහු සඳහන් කළ තොරතුරුය.

විදේශගතව සිටින විත්තිකරු සහ අධිකරණයේ අවධානය

නවවැනි විත්තිකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමේ උත්සාහයන් සහ ඔහු විදේශගතව සිටීම සම්බන්ධයෙන්ද නීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.

සාක්ෂිකරු සඳහන් කළේ 2023 ඔක්තෝබර් 18 වැනිදා නවවැනි විත්තිකරුගෙන් මුල් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. එම අවස්ථාවේදී විමර්ශනයට අදාළ මූලික තොරතුරු ලබාගත් අතර, ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධ ලේඛනද භාරගත් බව ඔහු පැවසීය.

ඉන් අනතුරුව 2023 නොවැම්බර් 13 වැනිදා තවත් ප්‍රකාශයක් ලබාගැනීමට ගිය අවස්ථාවේදී විත්තිකරුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතව තිබූ බවත්, ඔහු නොවැම්බර් 12 වැනිදා විදේශගත වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

නීතිඥවරිය: නවවැනි විත්තිකරුගෙන් 2023 නොවැම්බර් 13 වැනිදා ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන බව කලින් දැනුම් දී තිබුණාද?

සාක්ෂිකරු: ඔව්. 2023 නොවැම්බර් 10 වැනිදා මගේ ජංගම දුරකථනයෙන් ඔහුට ඒ බව දැනුම් දුන්නා.

විත්තිකරු විදේශගතව සිටින බව දැනගැනීමෙන් පසු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සෙසු විත්තිකරුවන්ටද අදාළව විදේශ ගමන් තහනමක් ලබාගත් බව සාක්ෂිකරු පැවසීය.

නීතිඥවරිය මෙහිදී විමසා සිටියේ නවවැනි විත්තිකරු රාජ්‍ය සේවක නිවාඩු ලබාගෙන විදේශගත වූ බව සාක්ෂිකරු දැන සිටියේද යන්නයි. සාක්ෂිකරු සඳහන් කළේ ඔහු මාස තුනක නිවාඩු ලබාගෙන විදේශගත වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවත්, ඒ වන විටත් ඔහු දිවයිනට පැමිණ නොසිටි බවත්ය.

මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මැදිහත් වෙමින් නඩුවේ නීතිමය තත්ත්වය පැහැදිලි කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ නවවැනි විත්තිකරුට එරෙහිව නඩුව විභාග කරන බවත්, ඔහු අධිකරණය මඟහැර සිටින විත්තිකරුවකු ලෙස අධිකරණය දැනටමත් පිළිගෙන ඇති බවත් සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

විත්තිකරු විදේශගතව සිටීම සම්බන්ධයෙන් මීට පෙර කරුණු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රාජකාරි නිවාඩු ලබාගැනීම පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතුව තිබූ බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

එබැවින් එම කරුණ මේ අවස්ථාවේදී නැවත ඉදිරිපත් කිරීමේ වැදගත්කම සීමිත බව විනිසුරුවරයාගේ නිරීක්ෂණය විය.

මෙම අවස්ථාවෙන් පැහැදිලි වූයේ නවවැනි විත්තිකරුගේ විදේශගතවීම සම්බන්ධයෙන් විත්තිය මතු කළ කරුණු සහ ඒ පිළිබඳව අධිකරණය දැනටමත් ගෙන තිබූ ස්ථාවරය අතර වෙනසයි.

ලංසු 870ක්, ඖෂධ 285ක් සහ ප්‍රශ්නගත ඖෂධ දෙක

නඩුවේ තවත් වැදගත් කොටසක් වූයේ ප්‍රසම්පාදනයේ පරිමාණය සහ එයින් අදාළ නඩුවට සම්බන්ධ වූ ඖෂධ දෙක තෝරාගැනීම පිළිබඳව මතු වූ කරුණුය.

නවවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විමසා සිටියේ අදාළ ප්‍රසම්පාදනය සඳහා කොපමණ අභිලාෂ සහ ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණේද යන්නයි.

සාක්ෂිකරු සඳහන් කළේ ඖෂධ වර්ග 285කට අදාළව අභිලාෂ කැඳවා තිබූ අතර ලංසු 870ක් පමණ ලැබී තිබූ බවයි. එම ඖෂධ අතරින් 170කට අදාළව ප්‍රසම්පාදන කමිටුව මඟින් ප්‍රදානයන් සිදුකර තිබූ බවද ඔහු පැවසීය.

2023 සැප්තැම්බර් මාසය වන විට වෛද්‍ය සැපයුම් ඒකකයට ඖෂධ වර්ග 45කට අදාළව ලංසු ලැබී තිබූ බව සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය.

නීතිඥවරිය: එම ඖෂධ 45න් දෙකක් සම්බන්ධයෙන් තමයි මේ නඩුව ගොනු කර තිබෙන්නේ නේද?

සාක්ෂිකරු: ඔව්. හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ සම්බන්ධයෙන් තමයි මෙම නඩුව ගොනු කර තිබෙන්නේ.

දසවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාද ප්‍රසම්පාදනයේදී ලැබුණු ලංසු, ප්‍රදානයන් සහ ඖෂධ සැපයුම් පිළිබඳව දීර්ඝව ප්‍රශ්න කළේය.

සාක්ෂිකරු සඳහන් කළේ ලංසුකරුවන් 800කට වැඩි පිරිසක් සිටි බවත්, ලියාපදිංචි සහ ලියාපදිංචි නොවූ සමාගම් ඒ අතර සිටි බවත්ය. නිශ්චිත සමාගම් සංඛ්‍යාවක් සඳහන් කළ නොහැකි වුවද ප්‍රදානයන් සමාගම් 26කට සිදුකර තිබූ බව ඔහු පැවසීය.

අදාළ ප්‍රදානයන් යටතේ අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ.ජී. ලිමිටඩ් සමාගමට හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් 22,500ක් සහ රිටොක්සිමැබ් ඖෂධ 2,250ක් සැපයීමට ප්‍රදානයන් කර තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

ප්‍රදානය කිරීමේ ලිපිවල සැපයුම් කොන්දේසි ඇතුළත් වන බවත්, එම කොන්දේසි සපුරා ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් පසුව භාණ්ඩ භාරගත යුතු බවත් විමර්ශනයේදී අනාවරණය වූ බව ඔහු පැවසීය.

එම ලිපි අතිරේක ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍ය සැපයුම් ඒකකයේ අදාළ නිලධාරීන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු නිලධාරීන් වෙත යොමු කර තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

එහෙත් මෙම ප්‍රසම්පාදනයට අදාළ ගැනුම් ඇණවුම් නිකුත් කර තිබුණද ඒවාට අදාළ ඇණවුම් ලැයිස්තු මුලින් නිකුත් කර නොතිබූ බව විමර්ශනයේදී අනාවරණය වූ බව ඔහු පැවසීය. ප්‍රසම්පාදන තීරණයෙන් පසුව එම ලැයිස්තු ඇතුළත් කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

තවද, ප්‍රදානයන් ලැබූ සමාගම් බහුතරයක් ඖෂධ සැපයීම සිදුකර නොතිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.

 

“ප්‍රසම්පාදනය වැරදි නම් එය නතර කිරීමට පියවර ගත්තාද?”

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාගේ හරස් ප්‍රශ්න අතර වඩාත් උණුසුම් අවස්ථාවක් ඇති වූයේ විමර්ශන නිලධාරියා ප්‍රසම්පාදනයේ ගැටලු අනාවරණය කරගෙන තිබුණේ නම් එය නතර කිරීමට පියවර ගත්තේද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රශ්නගත ඖෂධ දෙක සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර, ඒවා මිලදීගත් ආකාරය පිළිබඳව අධිකරණ නියෝග ලබාගෙන කටයුතු කළ බවයි.

එහෙත් ප්‍රසම්පාදනය වැරදි බව හඳුනාගත් පසු එය අත්හිටුවීම සඳහා අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත්තේදැයි නීතිඥවරයා විමසා සිටියේය.

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා: ප්‍රසම්පාදනය වැරදි නම් එය නතර කරන්න ක්‍රියාමාර්ග ගත්තාද?

සාක්ෂිකරු: ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් පියවර ගත්තා ස්වාමීනි.

ජනාධිපති නීතිඥවරයා: අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබාගත්තාද?

සාක්ෂිකරු: එවැනි නියෝගයක් ලබාගත්තේ නැහැ ස්වාමීනි.

ජනාධිපති නීතිඥවරයා: එවැනි නියෝගයක් ලබාගන්නා ලෙස නීතිපතිවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කළාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.

ඉන් අනතුරුව නීතිඥවරයා විමර්ශන නිලධාරියාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින්, ඔහුද රාජකාරිය නිසි ලෙස ඉටුකර තිබේද යන්න ප්‍රශ්න කළේය.

ජනාධිපති නීතිඥවරයා: ඔබත් රාජකාරිය පැහැර හැර තිබෙනවා. ඔබත් හරියට වැඩ කරලා නැහැ. ඔබටත් එරෙහිව නඩු පැවරිය යුතුයි.

මෙම ප්‍රශ්න කිරීමේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධය පළ කළාය. සාක්ෂිකරු සඳහන් කළේ තමන්ට මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස උපදෙස් ලැබුණු බැවින් ඒ අනුව කටයුතු කළ බවයි.

මෙම සංවාදය මඟින් ඉස්මතු වූයේ විමර්ශනයේ අරමුණ සහ එහිදී නිලධාරියා විසින් ගනු ලැබූ පියවර පිළිබඳ විත්තිය මතු කළ ප්‍රශ්නයයි. එහෙත් මෙම ප්‍රශ්න හා පිළිතුරු පමණක් පදනම් කරගෙන විමර්ශන නිලධාරියා වරදක් සිදුකර ඇති බවට නිගමනය කළ නොහැකි අතර, එය අධිකරණය හමුවේ සලකා බැලෙන කරුණකි.

ඖෂධ තොග තිබියදී හදිසි මිලදී ගැනීමක් අවශ්‍ය වූවාද?

ප්‍රශ්නගත ඖෂධ දෙක මිලදී ගැනීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රමය භාවිත කිරීම අවශ්‍ය වූයේද යන්න පිළිබඳවද ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීය.

සාක්ෂිකරු කියා සිටියේ ඖෂධ දෙක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඒවා හදිසි ප්‍රසම්පාදනයක් යටතේ ලබාගැනීමට තරම් අවශ්‍යතාවක් නොතිබූ බව අනාවරණය වූ බවයි. ඖෂධ ප්‍රසම්පාදනය සඳහා අදාළ ක්‍රමවේදය භාවිත කළ හැකිද යන්න පිළිබඳවද විමර්ශනයේදී කරුණු සොයා බැලූ බව ඔහු පැවසීය.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා වෙනත් ඖෂධ 43 සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකර තිබුණේදැයි විමසා සිටියේය.

සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් තවත් ඖෂධ 43ක් ලබාගෙන තිබූ බවත්, ඒවා ආනයනය කර තිබුණේද සහ තොග තිබුණේද යන්න පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගෙන කරුණු වාර්තා කළ බවත්ය.

එහෙත් එම ඖෂධ සම්බන්ධයෙන් ප්‍රමිතිය හෝ ගුණාත්මකභාවය පිළිබඳ වෙනත් පැමිණිලි තිබුණේදැයි විමසූ විට සාක්ෂිකරු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බවයි.

ජනාධිපති නීතිඥවරයා: මේ ප්‍රසම්පාදනයේදී මිලදීගත් අනෙකුත් ඖෂධ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාද?

සාක්ෂිකරු: ඖෂධ 43ක් සම්බන්ධයෙන් තොග සහ ආනයනය පිළිබඳව පරීක්ෂා කිරීමට නියෝග ලබාගෙන කරුණු වාර්තා කළා.

ජනාධිපති නීතිඥවරයා: එසේ කළත් මේ නඩුවේ සඳහන් වන්නේ ඖෂධ දෙකක් ගැන පමණයි නේද?

සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි. මෙම නඩුවට අදාළව විමර්ශනය කළේ ඖෂධ දෙකක් සම්බන්ධයෙන්.

මෙහිදී සාක්ෂිකරුගේ පැහැදිලි කිරීම වූයේ ඖෂධ වර්ග 45ක් ඇතුළත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලුවද, මෙම නඩුවේ ප්‍රධාන විමර්ශනය යොමු වූයේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් යන ඖෂධ දෙක සම්බන්ධයෙන් බවයි.

වසරකට වැඩි කාලයකට පසුව ලබාගත් ලේඛනයක් ගැන ප්‍රශ්න

විමර්ශනයේදී ලබාගත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමේ කාලය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

වෛද්‍ය සැපයුම් ඒකකයේ තාක්ෂණික තොරතුරු අංශයේ සේවය කරන හිජාස් නමැති නිලධාරියාගෙන් 2025 අප්‍රේල් 25 වැනිදා ලබාගත් වාර්තාවක් මෙහිදී සාක්ෂිකරුගේ අවධානයට යොමු කෙරිණි.

එම ලේඛනය ලබාගන්නා විට විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන සැලකිය යුතු කාලයක් ගතවී තිබූ බව පෙන්වා දුන් නීතිඥවරයා, ලේඛනය පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේදැයි විමසීය.

සාක්ෂිකරු පිළිගත්තේ එම ලේඛනය සම්බන්ධයෙන් වෙනම කරුණු වාර්තා කිරීමක් සිදු නොකළ බවයි.

ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ නඩුව සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට සති දෙකෙන් දෙකට කරුණු වාර්තා කළ අවස්ථාවලදී එම ලේඛනය පිළිබඳවද කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ බවයි.

සාක්ෂිකරු සඳහන් කළේ 2025 ජුනි 12 වැනිදා අවසන් වරට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවත්, විමර්ශනයට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කළ බවත්ය.

මෙහිදී නීතිඥවරයා ලේඛනය ලබාගෙන තිබියදී එය අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව නැවත නැවතත් ප්‍රශ්න කළේය.

ජනාධිපති නීතිඥවරයා: මේ ලේඛනය ඔබ අතට පත්වී මාස දෙකහමාරක් ගතවන තෙක් අධිකරණයට ඒ ගැන කරුණු වාර්තා කළේ නැහැ නේද?

සාක්ෂිකරු: එසේ වෙනම කරුණු වාර්තා කිරීමක් සිදු කළේ නැහැ ස්වාමීනි. ලබාගත් ලේඛන මත විමර්ශන කටයුතු කරගෙන ගියා.

මෙම ප්‍රශ්න කිරීමේදී අවධානය යොමු වූයේ ලේඛනයේ අන්තර්ගතයට පමණක් නොව, එය ලබාගත් පසු විමර්ශන ක්‍රියාවලියේදී අනුගමනය කළ පියවර සහ අධිකරණයට කරුණු වාර්තා කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද යන්නයි.

ඖෂධ තොග දත්ත සහ තාක්ෂණික නිලධාරියාගෙන් වාර්තාවක් ලබාගැනීම

හිජාස් නමැති නිලධාරියාගෙන් වාර්තාව ලබාගැනීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකයට ඖෂධ සැපයිය යුතු බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු ආයතනවලින් කරුණු ඉදිරිපත් කර තිබූ බැවින්, ඒ පිළිබඳ නිවැරදි තත්ත්වය හඳුනාගැනීම සඳහා වාර්තාව ලබාගත් බවයි.

එම වාර්තාවේ 2018 වසරේ සිට ඖෂධ ලැබීමට ඇති තොග සම්බන්ධ දත්ත සඳහන්ව තිබූ බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. සාක්ෂිකරු එය පිළිගත් නමුත් තොග ලැබීම් සිදුවන අවස්ථාවල පරිගණක පද්ධතියේ දත්ත වෙනස්වීමක් සිදු නොවන බවත්, තොග පිළිබඳව සොයාබලා නව ප්‍රසම්පාදන අවශ්‍යතා තීරණය කළ යුතු බවත් පැවසීය.

ජනාධිපති නීතිඥවරයා: ඔබෙන් අහන සෑම ගැටලුවකටම හදිසි ප්‍රසම්පාදනය ගැන කතා කරන්නේ ඒ පිළිබඳව ඔබගේ සිතේ යමක් තබාගෙන සිටින නිසාද?

සාක්ෂිකරු: මේ නඩුව හදිසි ප්‍රසම්පාදනයට අදාළයි ස්වාමීනි.

තොග පිළිබඳව දත්ත ලබාගැනීමේ හැකියාව නිලධාරීන් අනුව වෙනස් වූ බව සාක්ෂිකරු පැවසීය. ප්‍රධාන තොග පාලක නිලධාරියාට එදින තොග පිළිබඳ තොරතුරු ලබාගත හැකි වුවද, පෙර පැවති තොග පිළිබඳ සියලු දත්ත ලබාගැනීමේ හැකියාව නොතිබූ බව ඔහු සඳහන් කළේය. ඒ හේතුවෙන් පෙර දත්ත ලබාගැනීමේ හැකියාව තිබූ තාක්ෂණික අංශයේ නිලධාරියාගෙන් වාර්තාවක් ලබාගත් බවද පැවසීය.

එම හැකියාව පිළිබඳව තමන් දැනගත්තේ විමර්ශනය අතරතුර බවත්, 2024 මැයි 28 වැනිදා ප්‍රධාන තොග පාලක නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදී ඒ පිළිබඳව කරුණු අනාවරණය වූ බවත් සාක්ෂිකරු කියා සිටියේය.

ඒ අනුව මෙම ප්‍රශ්න කිරීමේ අවධානය යොමු වූයේ ඖෂධ තොග පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදය, වාර්තාව ලබාගත් නිලධාරියා තෝරාගැනීමට හේතුව සහ ඒ පිළිබඳව විමර්ශන නිලධාරියා දැනුවත් වූ කාලය සම්බන්ධයෙන්ය.


ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.

අධිචෝදනා අනුව, අදාළ ඖෂධ වෙනුවට වෙනත් ද්‍රව්‍ය අඩංගු කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක පමණ මුදලක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13ක් ඉදිරිපත් කර ඇත.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0