ප්රමිතියෙන් තොර බෙහෙත් නඩුවේ කුමන්ත්රණ සහ අනුබල දීම...
මේ දිනවල කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන ප්රධාන පෙළේ නඩු විභාගයක් වන ප්රමිතියෙන් තොර ඖෂධ නඩුවේ චූදිතයින් 12 දෙනාට අධිචෝදනා ගොනුකිරීමේ වගකීම දරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත්, එය කළේ විමර්ශනයට අදාළ කාර්යභාරය පමණක් බවත් මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් එම නඩුකරයේ විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි මහතා ප්රකාශ කළේය...
ප්රමිතියෙන් තොර බෙහෙත් නඩුවේ
කුමන්ත්රණ සහ
අනුබල දීම...
(අධිකරණ වාර්තාකරු)
මේ දිනවල කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන ප්රධාන පෙළේ නඩු විභාගයක් වන ප්රමිතියෙන් තොර ඖෂධ නඩුවේ චූදිතයින් 12 දෙනාට අධිචෝදනා ගොනුකිරීමේ වගකීම දරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත්, එය කළේ විමර්ශනයට අදාළ කාර්යභාරය පමණක් බවත් මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් එම නඩුකරයේ විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි මහතා ප්රකාශ කළේය...
විමර්ශන නිලධාරියා නඩුවේ අධි චෝදනා පත්ර භාරදීම සම්බන්ධයෙන් එසේ ප්රකාශ කළේ නඩුකරයේ පස්වන විත්තිකරු තොග පාලක සුජිත් කුමාරගේ නීතිඥයා වන අශෝක සේරසිංහ යොමු කළ අභියෝගාත්මක ප්රශ්නයකට පිළිතුරක් ලබාදෙමිනි...
මෙහිදී නීතිඥයා පෙන්වා දුන්නේ මෙම නඩුකරයේ චූදිතයින් 12 දෙනෙක් වෙතත් පළමු චූදිතයාට හැර අනෙක් සියලුම දෙනාට එල්ල වී ඇත්තේ එක සමාන චෝදනාවක් බවය. චෝදනාව නම් "කුමන්ත්රණය හා ඊට අනුබලදීමයි".
විත්තිය වෙනුවෙන් මේ 12 දෙනා අතර විවිධ තරාතිරම්වල රාජකාරී ඉටු කළ පුද්ගලයින් සිටියත් එක් කෙනෙකුට හැර අනෙක් සියල්ලන්ටම එකම චෝදනාවක් එල්ල වී තිබීම කවර කරුණක් නිසා වුවක්දැයි නීතිඥයා ප්රශ්න නොකළත්, එකහෙලාම එම වගකීම නීතිපතිට පවරා නිදහස් වීමට විමර්ශන නිලධාරියා වූ සාක්ෂිකරුවා ක්ෂණිකව පෙළඹ සිටියේ ඇයි..?
එහෙත් ඔහු තමන්ගේ රාජකාරියේ ස්වභාවය මෙසේ විස්තර කරමින් කීවේ චෝදනා ගොනු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරන අතර ඊට අදාළ සාක්ෂි සොයාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉටුකළ යුතු කාර්යයක් බවයි...
ප්රමිතියෙන් තොර ඖෂධ නඩුවේ තවත් එක් සාක්ෂි විභාගයක් පසුගිය හය වනදා කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරයේ ප්රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර විනිසුරුතුමන්ලා ඉදිරියේ කැඳවූ අතර දෙවැනි දිනයටත් එහි සාක්ෂි ලබාදීම සඳහා පැමිණ සිටියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි මහතාය. එහිදී පැමිණිල්ලේ සාක්ෂි මෙහෙය වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම මත ඔහු මෙසේ සාක්ෂි ලබාදීම ආරම්භ කළේය...
එහිදී මුලින්ම නියෝජ්ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්රශ්න කර සිටියේ ඊට පෙර දිනයේ අවසාන වරට ප්රශ්න කරමින් සිටී “අයිසොලිස් බයෝ ටෙක් පාමා” ආයතන පරිශ්රය ගැනය. එය සෝදිසි කිරීම සඳහා 2024 ජනවාරි මස 22 වන දා ලබාගෙන තිබූ වරෙන්තුව අනුව අදාළ රාජකාරිය කර අවසාන කරනු ලැබුවාද කියාය. එහිදී සාක්ෂිකරු පෙන්වා දුන්නේ එදින එම රාජකාරිය නිසි පරිදි අවසන් කළ බවයි..
අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා නැමති ආයතනය ඒ වන විට පවත්වාගෙන ගොස් තිබුණේ සීදුව ප්රදේශයේ වන අතර ඖෂධ නිෂ්පාදනය කරන ෆැක්ටරියකට වඩා එය තට්ටු තුනක නිවාසයක් බඳු ගොඩනැගිල්ලක් ලෙස පෙණුන බව පූර්ව සාක්ෂි විභාගවලදී ද තහවුරු වී තිබුණි. කෙසේ වෙතත් ඒ පිළිබඳව කිසිවක් මෙහි මෙහි ප්රශ්න කෙරුනේ නැත.
ඉන් අනතුරුව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය පැමිණිල්ලේ 306 ලෙස නම්කර ඇති ලේඛනයක විමර්ශන කටයුතු ගැන මෙසේ විමසා සිටියාය....
නියෝජ්ය සොලිසිටර් ජනරාල් ; මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ ඇති නඩුවේ 306 ලෙස නම් කර තිබූ ලේඛණය විමර්ශනවලදී ඔබ බාරගත්ත එකක්ද..?
සාක්කිකරු ; ඔව් ස්වාමීනී.. මම ඒක ලබාගත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්..
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්; ඒ ගත්තේ කාවෙතින්ද..?
සාක්කිකරු ; “ශානිකා රණසිංහ නමැති නිලධාරිනියගෙන් මම එය ලබාගත්තා. ලේඛනයට අදාළව විමර්ශන කටයුතු සිදු කරලා අවශ්ය තොරතුරු හොයාගත්තා. මේක 2023 අගෝස්තු මාසයේ පැවති අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකදී ගන්නා ලද තීන්දුවක් ගැන ලියුමක අතින් ලියන ලද කටු සටහනක්..."
මේ සම්බන්ධයෙන් සාක්ෂිකරු තමන් සොයාගත් දිගු විස්තරයක් කීවේය. 2023/ 03/ 17 වන දින අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීන්දුවක් සම්බන්ධයෙන් 6 වන චූදිත ලෙස නම්කර සිටින අමාත්යංශ ලේකම්වරයා 2023/ 03/ 30 දින පැවති තවත් රැස්වීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්රධාන විධායක වෙත ලබා දෙන දැනුවත් කිරීමක් අනුව කළ ලියවිල්ලක් බව විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු පෙන්වා දුන්නාය...
සැබවින්ම එහි තිබී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්යක්ෂවරයා අතින් ලියා සකසන ලද ලිපි ආකෘතියකි. ප්රධාන විධායකයා එය තම පුද්ගලික සහායිකාව වන ශානිකා රණසිංහ නමැති කාන්තාවට භාර දී ඇත්තේ එම කටු සටහනට අනුව අදාළ ලිපිය සකස්කර ප්රධාන විධායකගේ ඊමේල් යොමුව මගින් අමාත්යාංශ ලේකම්වරයාගේ කාර්යාලයට යැවීමටය.
ප්රධාන විධායකගේ අත් අකුරෙන් ලබා දුන් ලිපිය යතුරු ලියනය කර ඊමේල්මගින් ලැබී ඇති උපදෙස් පරිදි ලේකම් කාර්යාලය වෙත යැවූ බවද සාක්ෂි විභාගයෙන් අනාවරණය විය.
එසේ වුවත් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය විමර්ශන නිලධාරියාගෙන් විමසා සිටියේ 306 ලියවිල්ලේ ඇති අත්තකුරු (NMRA) ප්රධාන විධායකයාගේ බව තහවුරු වූවාද කියාය. ඒ ඔහුගේ අත්අකුරු බව සාක්ෂියෙන් තහවුරු කරගත් ඇය, එම අත්තකුරු ප්රධාන විධායක විජිත් ගුණසේකරගේ බව අධිකරණය වෙත විශේෂයෙන් දැනුම් දුන්නේය... මෙසේ විශේෂ කොට ප්රශ්න කිරීම තුළින් නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනරාල්වරිය උත්සාහ කළේ එය රහස්ය ලියවිල්ලක් බවට ඔප්පු කිරීමටද...?
ඉන් අනතුරුව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගේ අවධානය යොමු කළේ ඒ වනවිට සංකූලතා ඇති වී යම් යම් ප්රශ්නවලට තුඩු දී ඇති ඖෂධවල සාම්පල දේශීය හා විදේශීය රසායනාගාරවලට යවා කරන ලද පර්යේෂණ ගැනය. වෛද්ය පර්යේෂණ ආයතනයේ (MRI) නිර්දේශයද අනුව අදාළ ඖෂධ සාම්පල නිසි ප්රමිතියෙන් යුතුව අදාළ ශීතදාමයන් ආරක්ෂා කරමින් ජර්මනියේ රසායනාගාරයක් වෙත හා ඉන්දියාවේ රසායනාගාරයක් වෙත යවන ලද අන්දම ගැන ඇය සාක්ෂිකරුගෙන් සවිස්තරාත්මකව තොරතුරු විමසා සිටියාය. ඒ අනුව සාක්ෂිකරු මුල සිට පියවරන් පියවර පෙන්වා දුන්නේ අදාළ ප්රමිතීන් හා ශීතදාමයන් අනුගමනය කරමින් ඖෂධ සාම්පල ජර්මනියේ පිහිටි රසායනාගාරයට හා ඉන්දියාවේ රසායනාගාරයට යවන ලද අන්දම විස්තර කිරීමටය.
“හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ නිසි උෂ්ණත්වය හා පරිසර තත්ත්ව යටතේ පවත්වාගෙන යාමට 2023.11.01 දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයෙන් වෛද්ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂවරයාට නියෝගයක් ලබා ගත්තෙමි. එම සාම්පල NMQAL ආයතනයට ලබා දී තිබේද යන්න විමර්ශනය කළ අතර, ඒ වන විට වැඩ බලන ප්රධාන විධායක නිලධාරිනිය වූ දීපිකා බුලත්සිංහල මහත්මියගෙන් ද අදාළ ලේඛන ලබා ගත්තා.
වෛද්ය සැපයුම් ඒකකයේ සිට රෝහල් වෙත යන තෙක් අදාළ ඖෂධවල ශීතදාමය (Cold chain) නිසි පරිදි ආරක්ෂා වී තිබේද යන්න පිළිබඳව ප්රකාශ සටහන් කර ගනිමින් කරුණු අනාවරණය කරගත් අතර, MRI ආයතනය විසින් නිකුත් කර තිබූ වාර්තාද භාරයට ගත්තා.
අදාළ ඖෂධවල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්ය සංවිධානය පිළිගත් විදේශීය රසායනාගාර වෙත ඒවා රැගෙන යාමට සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් නියෝගයක් ද ලබා ගත්තා.
2025 පෙබරවාරි 11 දින වෛද්ය සැපයුම් ඒකකයේ 06 ගබඩාවට ගිය මම මෙම රාජකාරිය ආරම්භ කළ අතර, එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අර්ජුන පද්මපෙරුම සහ ඉශානි සඳමාලී යන නිලධාරීන් ද පැමිණ සිටින බව දැනගත්තා.
එහිදී 06 ගබඩාව භාර දර්ශන බණ්ඩාර හමුවී, "Live Health Biotech Pharma" ආයතනයේ කාණ්ඩ අංක 732330401 දරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සාම්පල 100ක් ශීතාගාරය තුළදීම අර්ජුන පද්මපෙරුම මහතා වෙත ලබා දුන්නා. ඒ වගේම එම සාම්පල 1 සිට 100 දක්වා අංකනය කර, සෘජුෆෝම් පෙට්ටියකට දමා, එය කාඩ්බෝඩ් පෙට්ටියකට ඇතුළත් කර, ඩේටා ලොගර් (Data logger) එකක් ක්රියාත්මක කර මුද්රා තැබීම සිදු කළෙමු. රිටොප්සි මැබ් ඖෂධ 100ක්ද එලෙසම ඇසුරුම් කර මුද්රා තැබුවා.
අනතුරුව එම සාම්පල වෛද්ය සැපයුම් ඒකකයේ ප්රීසර් රථයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ගොස්, 'ඩේන්ජර් කාගෝ' (Danger cargo) ලෙස ජර්මනියට යැවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා කටයුතු කළා.
ඉන් පසුව ජර්මනියට ගොස් රේගුවෙන් නිෂ්කාශනය කිරීමෙන් පසු, කිසිදු මුද්රාවක් විවර නොකරම ඒවා ජර්මනියේ සහ ග්රීමන්වල පිහිටි GMPB රසායනාගාර වෙත රැගෙන ගොස් භාර දුන්නා.
අධිකරණයේදී මට පෙන්වූ මුද්රා තැබූ පෙට්ටියක් ඉන්දියාවට රැගෙන යාමට භාරගත් රිටොප්සි මැබ් ඉන්ජෙක්ෂන් ලෙස මම හඳුනා ගත්තෙමි. තවත් පෙට්ටියක් ජර්මනියට ගෙන ගිය සාම්පලවල කාණ්ඩ අංකයටම අයත් එකක් බව හඳුනා ගත්තෙමි.
විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාවට ගොස් "Live Health Biotech Pharma" ආයතනයේ නියෝජිතයන්ගෙන් ලබාගත් ප්රකාශද මා විසින් විමර්ශනවලදී භාරයට ගනු ලැබූ අතර, ඒවා මට හඳුනාගත හැකියි.
එම සාක්ෂිකරුගේ දීර්ඝ කරුණු දැක්වීමෙන් පසුව නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය තම මූලික වටයේ ප්රශ්න කිරීම් අවසන් බව අධිකරණයට දැනුම් දී, විත්තියේ හරස් ප්රශ්න ඇසීම සඳහා අධිකරණයේ අවස්ථාව ලබා දුන්නේය... ඒ අනුව මුලින්ම හරස් ප්රශ්න ඇසීම සඳහා ඉදිරිපත් වූයේ පළමු විත්තිකරු සුදත් ජානක ප්රනාන්දුගේ නීතිඥයා වූ ජනාධිපති නීතීඥ හරේන්ද්ර බානගල මහතාය.
මෙම නඩුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන පළමු පැමිණිලි ලෙස 2023/10/02 දින ලිඛිත පැමිණිලි දෙකක් ලැබුණු අතර පැමිණිල්ල සිදුකළ ජෙරාඩ් පෙරේරාගේ ප්රකාශයක් සටහන් කර ගැනීම සිදුකළ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. ඔක්තෝම්බර් මස 13 වැනි දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර නියෝග ලබාගත් බවද ලේඛන හා සාක්ෂි පිළිබඳව විමර්ශනයක් සිදුකළ බවද එහිදී WOR ලේඛන හඳුනා ගැනීමක් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
එහිදීට WOR සහතික වල මුල් පිටපත් නොලැබුණු අතර ආයතනය කිහිපයකට අදාළව නිකුත් කළ පිටපත් ලැබුණු බව සාක්ෂිකරු කියා සිටියේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්රධාන විධායක නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ල සමග ඉදිරිපත් කළ ලේඛන සම්බන්ධයෙන් විමර්ශනවලදී සොයා බැලූ බවත්, අදාල ඖෂධ සම්බන්ධයෙන් වන ලේඛන ජාතික ඖෂධ නියාමන අධිකාරියටත් ජාතික ඖෂධ තත්ත්ව රසායන පර්යේෂණාගාරයටත් යොමු කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
නීතීඥ ; ඔබ කිව්වා 2023/10/31 වැනි දින පළමුවන චූදිත අත්අඩංගුවට ගත්ත බව..?
සාක්ෂිකරු ; ප්රධාන ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු සමග මමත් ගොස් ඔහු අත්අඩංගුවට ගත්තා...
නීතිඥ ; අත්අඩංගුවට ගන්න වෙලාවේ පළමු වන චූදිත කළා කියන දේවල් ගැන ඔබට වැටහීමක් නෑ..?
සාක්ෂිකරු ; නෑ ස්වාමීනි... ඔහු කතා කළ බව ස්ථානාධපති කිව්වා. අවස්ථා දෙකකදී ඔහු කතා කළ බව කිව්වා...
නීතිඥ ; ඔහු ඒ කතා කරන්නේ කොහේ කොතැනක ඉඳලද කියල ඔබට වැටහීමක් තිබුණාද..?
සාක්ෂිකරු ; එවැනි සොයා බැලීමක් කරන්න මට ඒ වෙලාවේ අවශ්යතාවක් තිබුනෙ නෑ...
නීතිඥ ; බාරගත් ඖෂධ කොපමණද, කොපමණ ප්රමාණයක් රෝහල් පද්ධතියට බෙදා තිබෙනවාද කියා ඔබ හොයා බැලුවද..?
සාක්ෂිකරු ; අපි ඒ පිළිබඳව සොයා බැලීමක් කළා. ඊට අදාළ වාර්තා මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් සෞඛ්ය සේවා අධ්යක්ෂවරයා විසින් සෘජුව මහේස්ත්රාත් අධිකරණයට වාර්තාවක් දීලත් තිබුණා. පිටපතක් අප ආයතන වලටත් එවලා තිබුණා .
නීතිඥ ; එතකොට භාවිතයට නොගත් ඖෂධ කොපමණ ප්රමාණයක් තිබිලා තියෙනවද..?
සාක්ෂිකරු ; හරි හැටි ලේඛන පරීක්ෂාවකින් තොරව නම් ඒ ගැන කිසිවක් කියන්න බෑ...
නීතිඥ ; විමර්ශනවලදී රෝහල්වල විසිර තිබූ ඖෂධ එක තැනකට එකතු එකතුකර ගැනීමට අදාළ නියෝගයක් ගත්තද..?
සාක්ෂිකරු ; 2023/ 11/05 දින සෞඛ්ය සේවා අධ්යක්ෂවරයාට එබඳු නියෝගයක් ගත්තා...
මේ ප්රශ්න කිරීම් වලදී අදාළ ශීත දාමය ආරක්ෂා වන පරිදි ඖෂධ රැගෙන යාමේ ක්රමවේදයන් අනුගමනය කළ බවත් වෛද්ය සැපයුම් ඒකකයේ ලොරි රථ සඳහා භාවිතා කර තිබූ බවත්, පුද්ගලික අංශයේ ලොරි රථ ඒ සඳහා යොදාගෙන තිබූ බවට තොරතුරු අනාවරණය නොවූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය...
නීතිඥ ; ජර්මනියට ඖෂධ සාම්පල ගෙන යෑමේදී ඔබගේ වගකීම වී තිබුණේ කුමක්ද..?
සාක්ෂිකරු ; අදාල ඖෂධ භාර ගැනීමත් මුද්රා තැබීමේ ක්රියාවලියත් අධීක්ෂණය කරමින් සම්බන්ධ වුණා. ඒ වගේම එම ඖෂධ භාරගෙන ඇසුරුම් කරන අවස්ථාවේ පළවෙනි විත්තිකරු හිටියේ නෑ.මාණ්ඩලික නිලධාරියෙක් හිටියොත් නෑ..
ජර්මනියට ගෙනයාම සඳහා ලබාගත් රිටොප්සි මැබ් ඖෂධ සියය අංක හය ගබඩාවේම තිබූ ඒවා බව අනාවරණය කරගත් අතර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ කරාපිටිය රෝහලින් ලබාගත් ඒවා බව අනාවරණය වූ බවද සාක්ෂිකරු හරස් ප්රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
"එම සාම්පල අංකනය කිරීමේදී එකින් එක පරීක්ෂා කර බැලීමක් ඔබ සිදු කළාද ?"යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එම සාම්පල මා ඉදිරියේ අංකනය කළා. එහිදී මම එම පෙට්ටි දැක්කා. ඒවා කිසිම අවස්ථාවක විවෘත කර තිබුණේ නෑ. පෙට්ටි විවෘත නොකර තමයි අංකනය කළේ "යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
සීදූවේ පිහිටි අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය නිරීක්ෂණය කිරීමට සෝදිසි වරෙන්තුවක් දෙවන වරට ද ලබා ගත් අතර එම කටයුත්තට පළමු වන චූදිත රැගෙන එහි ගිය බව ද සාක්ෂිකරු කියා සිටියේය.
එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර එම ආයතනය සඳහා ජී.එම්.පී සහතිකයක් නොතිබූ බව අනාවරණය වූ පවතින සාක්ෂිකරු සඳහන් කළේය.
"ස්ථානීය පරීක්ෂාවට යා යුතු බවට ඔබ තීරණය කළේ ඇයි ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "එම ආයතනය ඖෂධ නිෂ්පාදනය කර තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එම පරීක්ෂා කිරීම සිදුකළ බව" සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී ගොඩනැගිලි ප්රමාණය සැකැස්ම පිළිබඳව අවධානය යොමු කළ බවට සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
"ජර්මනියේ රසායනාගාරයට ඖෂධ භාර දීමේදී data loger ගැන වාර්තාවක් ඉල්ලා සිටියාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි වාර්තාවක් ලබා නොගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ස්වාමීනි, data loger දෙක පමණයි රසායනාගාරයෙන් දුන්නේ. බාර ගැනීමේදී ඒවා නිසි උෂ්ණත්වයේ තිබූ බවට ඔවුන් ප්රකාශ කළා. ඒ බව මා සටහන් කර ගත්තා."යනුවෙන් සාක්ෂිකරු ප්රකාශ කළ අවස්ථාවේදී " ඒක වාචික දැනුම් දීමක්ද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් "එය වාචික දැනුම් දීමක්.එම අවස්ථාවේදී මගේ ජංගම දුරකථයෙන් එහි ඡායාරූප ලබාගත්තා." යන පිළිතුර සාක්ෂිකරු ලබා දුන්නේය
එම විත්තිකරු වෙනුවෙන් හරස් ප්රශ්න විමසීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතීඥ : "ඔබ මේ නඩුවේ දෙවන චූදිත කපිල වික්රමනායක සම්බන්ධය විමර්ශනය කටයුතු කළාද ?"
සාක්කිකරු : ඔව් ස්වාමීනී...එවැනි විමර්ශනයක් සිදුකළා.
නීතීඥ : "2022 /01/03 වෙනිදා සිට 2022 /12/15 දින දක්වා ඔහු විදේශගත වී බවට කරුණු අනාවරණයක් වුණාද?"
සාක්කිකරු : එම කරුණු තහවුරු වීමක් සිදුවූනා.
නීතිඥ: "දෙවන චූදිත විදේශගතව සිටි කාලයේදී මෙම කමිටුව විසින් ඖෂධ වර්ග 170 වකට අදාළව ප්රසම්පාදන තීරණ ලබාදී තිබුණාද?"
සාක්ෂිකරු: එවැනි අනුමැතියක් ලබාදී තිබුණා. ඒ අතර ඖෂධ දෙකක් මෙම නඩුවට සම්බන්ධයි.
නීතිඥ: "2022 දෙසැම්බර් 16 වැනිදා ගන්න සැපයුම් ඒකකයේ රාජකාරී නැවතත් ආරම්භ කළ දෙවන චූදිත නොවැම්බර් 6 වෙනිදා වන විට විදේශගතව සිටි බව විමර්ශනවලදී තහවුරු කරගත්තා ද?"
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.. එවැනි කරුණු අනාවරණය කර ගැනීමක් සිදුවුණා.
නීතිඥ: "අදාළ සාම්පල ලබා ගනීමේදී එක් එක් ගොනු පරීක්ෂා කර බලා ලේඛන භාර ගැනීමක් සිදු කළාද ?"
සාක්ෂිකරු: "නෑ ස්වාමීනි අදාළ ඖෂධ ආනයනය කර තිබෙනවාද යන්න පිළිබඳව පමණක් විමසීමක් කළා"
නීතිඥ: වෛද්ය සැපයුම් ඒකකයේ ලිපිකරුවකු වූ නිහාල් රංජිත් නමැත්තා පළමු වන චූදිත සමග දුරකථන සංවාද පවත්වා ඇති තහවුරු වුනාද..?
සාක්ෂිකරු: එම පුද්ගලයාගෙන් ඒ පිළිබඳව ප්රකාශ ලබාගත්තා.
වෛද්ය ජී. විජේසූරිය මහතාගේ ප්රකාශයක් සටහන් කරගත් නමුත් මෙම නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා මෙතෙක් ඔහු කැඳවා නොමැති වීම පිළිබඳව සාත්ෂිකරු හෙලිදරව්වත් කළේය. සාක්ෂිකරු කීවේ වෛද්ය ජී. විජේසූරිය මහතාගේ ප්රකාශයක් සටහන් කරගත් නමුත් මෙම නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා මෙතෙක් ඔහු කැඳවා නොමැති බවය.
නීතිඥ: "මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ කට උත්තර ලබා ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගැනීමක් සිදු කළාද?"
සාක්ෂිකරු: මාලිගාකන්ද අධිකරණයේ නඩුව යන අතර වාරයේදී නීතිපති උපදෙස් ලබා ගැනීමට අවසර ලබාගත්තා, ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම් සහ ප්රකාශ සටහන් කර ගැනීම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත සිදුකළා.
ඒ අනුව අදාළ උපදෙස් ලබාගත් බවද අත්අඩංගුවට ගැනීම් සහ ප්රකාශ සටහන් කර ගැනීම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත සිදුකළ බවද ඔහු කියා සිටියේය.
ඖෂධ 145ක ඇතුළත් ලැයිස්තුවෙන් මෙම ඖෂධ දෙක ලියාපදිංචි නොවූ සැපයුම් කරුවකුගේ වන අතර ලියාපදිංචි වූ ඖෂධ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
දෙවෙනි චූදිතට අභියාචනාධිකරණ නියෝගයක් මත ඇප ලබා දුන් බවට නීතිඥවරයා ප්රකාශ කළ අවස්ථාවේදී නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය ප්රකාශ කළේ එම නියෝගය තවදුරටත් බලාත්මක නොවන බවය. මහාධිකරණය විසින් ලබාදුන් ඇප නියෝග මත ඔහු මුදා හැර සිටින බව නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී සඳහන් කළාය.
දෙවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්රශ්න යොමු කිරීමෙන් අනතුරුව පස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න විමසීම සිදු කළේය.
නීතිඥවරයා: ඔබ තමයි මෙම නඩුවට අදාළ සියලු විමර්ශන කටයුතු සිදු කළේ?
සාක්ෂිකරු: විමර්ශන කටයුතු කළා ස්වාමීනි
නීතිඥවරයා: එම විමර්ශනයේදී ඔබ ඉදිරිපත් කර තොරතුරු මත තමයි නීතිපති දෙපාර්තමේන්තුව අධි චෝදනා පත්රය ඉදිරිපත් කළේ?
සාක්ෂිකරු :එසේය ස්වාමීනි
නීතිඥවරයා: එම අධි චෝදනා පිළිබඳව අවබෝධයක් ඔබට අවබෝධයක් තිබෙනවාද?
සාක්ෂිකරු :තිබෙනවා ස්වාමීනී.
නීතිඥවරයා: මේ අධිචෝදනා පත්රයේ ඖෂධ වර්ග කීයක් තිබෙනවාද?
සාක්ෂිකරු :දෙකක් තිබෙනවා ස්වාමීනි
නීතිඥවරයා :මේ නඩුවේ පස්වෙනි විත්තිකරු සිද්ධියට අදාළව කුමන අංශයද කටයුතු කළේ?
සාක්ෂිකරු :ඔහු තොග පාලන අංශයේ තෝග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළා.
නීතිඥවරයා :තොග භාර ගැනීම සහ බෙදාහැරීම යනුවෙන් තොග පාලන අංශයේ කොටස් දෙකක් ඇති බව විමර්ශනවලදී ඔබ අනාවරණය කර ගන්න ඇතිනේ? මෙම පස්වන විත්තිකරු එහි කුමන අංශයද සේවය කළේ?
සාක්ෂිකරු: ඔහු භාණ්ඩ ලබා ගැනීමේ අංශය සේවය කළ බව අනාවරණය වුණා ස්වාමීනි
මෙම නඩුවේ පළමුවන විත්තිකරු හැර සෙසු විත්තිකරුවන්ට ඇත්තේ කුමන්ත්රණය සහ අනුබලය දීම යන චෝදනාවන් බව පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අධි චෝදනා පත්රය ගොනු කළේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් බවය.
"එහිදී ඖෂධ දෙකක් සම්බන්ධයෙන් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "චෝදනා ගොනු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකරන්නේ .ඊට අදාළ සාක්ෂි දීම තමයි මා කරන්නේ "යනුවෙන් යනුවෙන් සඳහන් කළේය.
"පස්වන විත්තිකරු රිටොප්සි මැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ දෙකම සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්රශ්න කළ අවස්ථාවේදී ඔහු ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
මෙහිදී අධිචෝදනා පත්රය සම්බන්ධයෙන් ප්රශ්න කිරීම පිළිබඳව නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වවරිය විරෝධය පළ කළාය.
රිටොප්සි මැබ් ඖෂධ සම්බන්ධයෙන් පස්වන විත්තිකරු කටයුතු කළ බවක් විමර්ශනවලදී අනාවරණය නොවූ අතර ඖෂධ භාර ගැනීමේ ක්රියාවලියේ වෙනසක් තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
ඔහු ලේඛන පරීක්ෂා කිරීමකින් තොරව අදාළ භාණ්ඩ භාරගෙන තිබූ අතර රිටොප්මැබ් ඖෂධ භාර ගැනීම සිදුකළ තොග පාලක නිලධාරීවරයා අදාල ලේඛන පරීක්ෂා කර බලා එම ඖෂධ භාර ගැනීම සිදුකළ බව විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
"මෙම ඖෂධය තොගය ලබාදිය යුතු දිනය ප්රමාද වී ලබාදීම හේතුවෙන් සහකාර අධ්යක්ෂවරියගේ උපදෙස් ලබා ගැනීමට පස්වන විත්තිකරු කටයුතු කර තිබෙනවා නේදැ"යි නීතිඥවරයා ප්රශ්න කළ අවස්ථාවේදී එලෙස උපදෙස් ලබා ගැනීමක් සිදුකර ඇති නමුත් WOR ඇතුළු ලේඛන වල ඇති අඩුපාඩු සම්බන්ධයෙන් එහිදී දැනුවත් කිරීමක් කර නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.
රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීම සිදුකර ඇත්තේ ඒවා ලබාදිය යුතු දිනය පමාවී තිබියදී නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මාස තුනක කාලයකට තොග තබාගත යුතු බවට නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී තිබූ උපදේශය අනුව අදාළ තොගය භාර ගැනීමට එම තොග පාලක නිලධාරීවරයා සහ සහකාර අධ්යක්ෂවරිය කටයුතු කළ බවට තොරතුරු අනාවරණය වූ බවය.
"තොග පාලන නිලධාරීවරයාට ඉහළින් නිලධාරීන් කිහිපදෙනෙකු සිටින අතර පහළ මට්ටමේ නිලධාරියෙකුට තනි තීරණ ගැනීමට නොහැකි බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ සහකාර අධ්යක්ෂකවරියට එම තීරණය ගැනීමට හැකියාව තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවය.
භාර ගැනීමේ දිනය කල් ඉකුත් වූ පසුව තොග භාරගන්නා ලෙස කිසිදු අවස්ථාවක නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙසක් ලබාදී නොමැති බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කලින් ලබාදී තිබූ උපදෙස අනුව deliver schedule එකක් පසු වී තිබූ ඖෂධ ලබා ගැනීමේදී නැවත අවසර ලබා ගැනීමක් සිදු නොකළ බව අනාවරණය කරගත් බව ය.
ප්රමිතියෙන් තොර ඖෂධ නඩුවේ ඉකුත් 06 වැනිදා නඩු විභාගය එසේ අවසන් වූ අතර එදින සාක්ෂිකරු ලෙස සහභාගී වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීයාගෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මූලික ප්රශ්න කිරීම් කරනු ලැබීය. ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ හරේන්ද්ර භාණගල, නීතිඥ අසේල සේරසිංහ හා නීතිඥ අශෝක සේරසිංහ යන තිදෙනා හරස් ප්රශ්න විමසීම් වලට සහභාගි වූහ. නැවත නඩු විභාගය ඊට පහුවෙනිදා හෙවත් ඔක්තෝබර් හත්වෙනිදා දක්වා කල් තබනු ලැබීය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

