දයාසිරිගෙන් කතානායකට සැර ලිපියක්...
මා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරනු ලබනුයේ රටේ මහජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනයේ සාධාරණ අවශ්‍යතා සපුරාලීම පිණිස අල්ලස් හා දූෂණ වැලැක්වීම හා තුරන් කිරීම සඳහා ස්ථාපිත කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගෞරවය, ස්වාධීනත්වය, පාලනයේ විනිවිදභාවය වර්ධනය කිරීම, පාලනයේ අවංකභාවය ශක්තිමත් කිරීම හා වගකිවයුතු බව වැඩි කිරීම සහ ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ දූෂණය තුරන් කිරීම සඳහා වන මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීමේ ඒකායන අරමුණින්ම පමණක් වන බැව් අවසාන වශයෙන් සඳහන් කරමි.
කථානායකට එරෙහි
අල්ලස් විමර්ශනය හමුවේ
තනතුරේ රැඳී සිටීම ප්‍රශ්න කරමින්
දයාසිරිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්:
ලිපියක් කථානායකට භාරදෙයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් විමර්ශනයක් පවත්වන අවස්ථාවක, කථානායක ධුරය දැරීම, පාර්ලිමේන්තුවේ මුලසුන හෙබවීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පැනනගින නීතිමය, සදාචාරාත්මක හා ආයතනික විශ්වාසවන්තභාවය පිළිබඳ ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබේ.
කථානායකවරයා විසින් රාජ්‍ය සම්පත් හා පහසුකම් අවභාවිත කරමින් සිදුකරන ලදැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විමර්ශනයක් (ගොනු අංක: AC/0356/2026 B-206) ආරම්භ කර ඇති බව පෙන්වා දෙන ජයසේකර මහතා, මෙමගින් කථානායකවරයා වරදකරුවකු බවට පූර්ව නිගමනයකට නොඑළඹෙන නමුත්, අදාළ තත්ත්වය හමුවේ බරපතල නෛතික හා සදාචාරාත්මක ගැටලු රැසක් මතුවන බව සඳහන් කරයි.
එම ලිපිය මගින් මන්ත්‍රීවරයා ප්‍රධාන කරුණු කිහිපයක් අනාවරණය කර ඇත:
ළබැඳියාවන් අතර ගැටුම (Conflict of Interest):
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 107 වන වගන්තිය අනුව විමර්ශනයකට ලක්වන තැනැත්තෙකුට ඊට අදාළ තීරණ හෝ ආයතනික කටයුතුවලට මැදිහත් විය නොහැක. එසේ තිබියදී, මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දූෂණ විරෝධී පනත් සංශෝධනයේදී මුලසුන දැරීම සහ අල්ලස් කොමිෂන් සභාවේ 2027 අයවැය ඇස්තමේන්තුව සභාගත කිරීම මගින් කථානායකවරයා එකී වගන්තිය උල්ලංඝනය කර ඇති බව.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ භූමිකාව:
අල්ලස් කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට නිර්දේශ කරන්නේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගිනි. ඉදිරියේදී ඇතිවීමට නියමිත කොමිසමේ පුරප්පාඩුවක් සඳහා සාමාජිකයෙකු පත් කිරීමට තමා පිළිබඳ විමර්ශනයක් කරන ආයතනයක ප්‍රධානියා ලෙස කථානායකවරයා මැදිහත් වීම බරපතල ළබැඳියාවන්ගේ ගැටුමකි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම:
අල්ලස් කොමිසමේ තීරණයකට එරෙහිව සහනයක් ලබාගැනීමට කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවේ. එසේ තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම අනුමත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම සාධාරණ පරීක්ෂණයකට හා මහජන විශ්වාසයට බාධාවකි.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ අවදානම:
විමර්ශනයට අදාළ ලේඛන පවතින්නේ පාර්ලිමේන්තුව භාරයේ වන අතර සාක්ෂිකරුවන් වන්නේ පාර්ලිමේන්තු නිලධාරීන්ය. කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා විසින් මෙම විමර්ශනයට බලපෑම් කිරීමට උත්සාහ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (AC/0695/2026) ද ඉදිරිපත් කර ඇති අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ට ද යම් යම් බලපෑම් සිදුවන බවට තොරතුරු වාර්තා වේ.
මන්ත්‍රී ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝනය වීම:
2018 අනුමත කරන ලද මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ 7(ආ) සහ 19 වන වගන්ති ප්‍රකාරව පෞද්ගලික හෝ මූල්‍යමය බැඳියාවක් ඇති කරුණකදී අදාළ මන්ත්‍රීවරයාට/කථානායකවරයාට ඊට මැදිහත් වීමට හෝ විවාදවලට සහභාගී වීමට නෛතික හා සදාචාරාත්මක අයිතියක් නැත.
පාර්ලිමේන්තුවේ ගෞරවය, ස්වාධීනත්වය, විනිවිදභාවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා මෙම සමස්ත කරුණ වහාම පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විභාගය සඳහා යොමු කරන ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා සිය ලිපිය මගින් ඉල්ලා සිටී. මෙම ලිපියේ පිටපතක් ඉදිරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත ද යොමුකර ඇත.
දයාසිරි යවනලද සම්පූර්ණ ලිපිය මෙසේය.
2026 සැප්තැම්බර් 09 වන දින
ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
ගරු කථානායකතුමනි,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් පවතින අවස්ථාවක කථානායක ධුරය දැරීම, පාර්ලිමේන්තු කටයුතුවල මුලසුන දැරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පැන නගින නීතිමය, සාදාචාරාත්මක හා ආයතනික විශ්වාසවන්තභාවය පිළිබඳ ඉදිරිපත් කරනු ලබන වරප්‍රසාද ප්‍රශ්නයයි.
1953 අංක අංක 21 පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් 2018 මාර්තු මස 07 වන දින අනුමත කරනු ලදුව, 2018 අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක විය යුතුයැයි සම්මත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය හා 2026 අප්‍රේල් මස 07 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අනුමත කර සම්මත කරන ලද ස්ථාවර නියෝග 29 යටතේ පහත සඳහන් වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මා විසින් මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේ එකම අරමුණ වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෞරවය, ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය, විනිවිදභාවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමයි.
මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ඒසී/0356/2026 බී-206 යන ගොනු අංකය යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් කථානායක ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී භාවිතා කරනු ලබන රාජ්‍ය සම්පත් සහ පහසුකම් භාවිතයේදී සිදුකරන ලදැයි කියනු ලබන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයක් සිදුකරමින් පවතින බව 2026 සැප්තැම්බර් මස 04 වන දින ‘ලංකාදීප, DAILY MIRROR හා දිනමිණ’ පුවත් පත් මඟින් වාර්තා කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් පැවැත්වීම මඟින් කිසිදු පුද්ගලයකු වරදකරුවකු බවට පත් නොවන බවත්, නීත්‍යානුකූල ක්‍රියාදාමය අවසන් වන තුරු අදාළ පුද්ගලයාට නිර්දෝෂීභාවයේ උපකල්පනය හිමිවන බවත් මෙහිදී මුලින්ම පැහැදිළිව සඳහන් කළ යුතුය.
එබැවින්, මෙම වරප්‍රසාද ප්‍රශ්නය මඟින් ගරු කථානායකතුමා කිසියම් වරදකට වගකිව යුතු බවට පූර්ව නිගමනයක් ලබාදීමට හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයේ ප්‍රතිඵලය පූර්වයෙන් තීරණය කිරීමට කිසිදු උත්සාහයක් නොගනිමි.
එහෙත්, අල්ලස්, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක් විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින අවස්ථාවක, එම විමර්ශනයට අදාළ පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා ඉහළ නිලධාරීන් පත්කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම සහ එකී විමර්ශනයට සම්බන්ධ සාක්ෂි සහ තොරතුරු ලබා දෙනු ලබන මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් තවදුරටත් කටයුතු කිරීම හේතුවෙන් නීතිමය, සදාචාරාත්මක, ආයතනික විශ්වාසවන්තභාවය සහ මහජන විශ්වාසය සම්බන්ධයෙන් පහත සඳහන් වැදගත් ප්‍රශ්න මතු වේ.
1. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ කථානායකවරයාගේ වගකීම
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 162 වගන්තිය යටතේ ඇති “රජයේ සේවකයා” යන අර්ථ දැක්වීමට කථානායවරයා ද ඇතුළත් වේ.
එම පනතේ 2 වන වගන්තියේ සඳහන් පරමාර්ථ අතර අල්ලස් හා දූෂණ වැලක්වීම හා තුරන් කිරීම, පාලනයේ විනිවිධභාවය වර්ධනය කිරීම, පාලනයේ අවංකභාවය ශක්තිමත් කිරීම, වගකිව යුතුබව වැඩි කිරීම, ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ දූෂණය තුරන් කිරීම සඳහා වන මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීම ඇතුළත් වේ.
තවද, පනතේ 3(4) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්වකීය බලතල හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී කොමිෂන් සභාව සම්බන්ධයෙන් විධාන කිරීම හෝ අධීක්ෂණය කිරීම සඳහා නීතිය යටතේ හිමිකම් ලැබූ අධිකරණයක් හෝ විනිශ්චයාධිකරණයක් හැර වෙනත් යම් තැනැත්තෙකු විසින් කරනු ලබන යම් විධානයක් හෝ වෙනත් යම් මැදිහත් වීමකින් තොරව ස්වකීය බලතල හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ කිරීම කරනු ලැබිය යුතුය.
2. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 107 වන වගන්තිය – ළබැඳියාවන් අතර ගැටුම් පිළිබඳ විශේෂ නීතිමය වගකීම
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 107(1) හා 107(2) වගන්ති අනුව, යම් රජයේ සේවකයෙකු පොදු අධිකරියක් හෝ එම අධිකාරිය විසින් ගනු ලබන තීරණයක් සම්බන්ධයෙන් තමාට සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති අවස්ථාවකදී ඒ රජයේ සේවකයා විසින් ඒ තීරණයට අදාළ පොදු අධිකාරියේ යම් කටයුත්තකදී ඡන්දය දීම හෝ ඒ කටයුත්ත සඳහා සහභාගී වීම නොකල යුතුය.
නමුත්, මෙම පාර්ලිමේන්තුව හමුවේ දූෂණ විරෝධී පනත සඳහා සංශෝධනයක් ඉදිරිපත් වී ඇති අතර, එය මේ වන විට 2026 අගෝස්තු මස 19 වන දින ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් පළමු වන වර කියවන ලද අතර, එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මූලාසනයේ සිටින ලද්දේ ඔබතුමා වේ. මා විසින් ඉහතින් දක්වන ලද දූෂණ විරෝධී පනතේ 107 වගන්තිය යටතේ එකී පනත යටතේ විමර්ශනයක් සිදුකරනු ලබන අවස්ථාවකදී විමර්ශනයට භාජනය වන තැනැත්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා සම්බන්ධ කිසිඳු කටයුත්තකට මැදිහත් විය නොහැක. එසේ තිබියදී කථානායකතුමා විසින් දූෂණ විරෝධී පනතේ එකී වගන්තිය උල්ලංගනය කර ඇත.
මෙකී සංශෝධනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරියේදී ලැබීමට නියමිතය. ඒ අනුව ඉදිරියේදී මෙම පාර්ලිමේන්තුව හමුවේ විවාද කිරීමට නියමිත එකී දූෂණ විරෝධී පනතේ සංශෝධනය සම්බන්ධ කිසිඳු කටයුත්තකට එකී පනතේ ඉහත ප්‍රතිපාදන ප්‍රකාරව වර්තමාන කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහභාගී විය නොහැක.
එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සෑම පනත් කෙටුම්පතකම කථානායකවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සහතිකයක් සටහන් කල යුතුය. නමුත් මෙම දූෂණ විරෝධී පනතේ සංශෝධනය මෙම පාර්ලිමේන්තුව විසින් සම්මත කල හොත් වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හට දූෂණ විරෝධී පනතේ 107 වන වගන්තිය අනුව එකී සහතිකය සටහන් කිරීමට නොහැකිය.
තවද, 2026.09.08 වන දින මෙම පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර ගරු කථානායකතුමා විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31(1)(ආ) වගන්තිය ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව, මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද සමඟ ඉදිරිපත් කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව සභාගත කරන ලදී. තමා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් ක්‍රියාත්මක කරන අවස්ථාවක කොමිෂන් සභාව සම්බන්ධ කිසිඳු කාර්යයකට එතුමාහට සම්බන්ධ විය නොහැකි බව ඉහතින් දක්වන ලද දූෂණ විරෝධී පනතේ 107 වගන්තියේ පැහැදිළිව දක්වා ඇත. එසේ තිබියදී ඔබතුමා විසින් හිතාමතා හා දැන දැනම එකී වගන්තිය උල්ලංගනය කර ඇත.
මෙම කරුණ හුදෙක් ව්‍යවස්ථාමය ගැටලුවක් පමණක් නොව, ළබැඳියාවන් පිළිබඳ ඝට්ටනයන් සම්බන්ධ නෛතික කරුණක් මෙන්ම සදාචාරාක්මකභාවය සම්බන්ධ කරුණක් ද වේ.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සභාපතිවරයා ලෙස කථානායකවරයාගේ භූමිකාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(2) ව්‍යවස්ථාව අනුව ගරු කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සභාපතිවරයා වේ.
(අ)අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සභාපතිවරයා සහ සාමාජිකයින් පත් කිරීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාවේ උපලේඛනය අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සභාපතිවරයා සහ සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරයක් වේ.
තවද, දූෂණ විරෝධී පනතෙහි 4 වන වගන්තිය අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සාමාජිකයින් තිදෙනා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පත් කරනු ලබන අතර, 17 වන වගන්තිය අනුව අධ්‍යක්ෂ ජනරාල් පත් කරනු ලබන්නේ ද ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත වේ.
මා දන්නා පරිදි ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් ධූරයක පුරප්පාඩුවක් ඇති වීමට නියමිත අතර, එකී පුරප්පාඩුව පිරවීම සඳහා ගරු ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කල යුත්තේ කථානායකතුමා සභාපතීත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වේ. ඒ අනුව තම සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින අවස්ථාවකදී එකී විමර්ශනය සම්බන්ධ අවසාන තීරණය ගනු ලබන ආයතනයේ සාමාජිකයෙකු පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා දායකවීම දූෂණ විරෝධී පනතේ 107 වගන්තිය ප්‍රකාරව සිදු නොකල යුතු බරපතල වරදකි.
මෙය ආයතනික ළබැඳියාවන් අතර ගැටුමක් මෙන්ම පාලනයේ විනිවිදභාවය පිළිබඳ මහජන විශ්වාසය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් ද මතු කරයි.
(ආ)අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් ද පත් කිරීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි නිල කාර්යයන් අතර 41ඇ උපලේඛනයේ පළමු වන කොටසේ සඳහන් පරිදි අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් ද පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරනු ලබන නිර්දේශයන් අනුමත කිරීම ඇතුලත්ය.
දූෂණ විරෝධී පනතේ 160(1) වගන්තිය යටතේ කිසියම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් ගනු ලබන තීරණයක් පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සහනයක් අපේක්ෂාවෙන් කොමිෂන් සභාවට එරෙහිව අදාළ ඉල්ලීම ඉදිරිපත් කල යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වේ.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තමා සම්බන්ධයෙන් කරනු ලබන් විමර්ශනයේ ප්‍රතිඵලය පිළිබඳව යම් හෙයකින් කථානායකතුමාට සෑහීමකට පත්වීමට නොහැකි වුවහොත් ඒ සම්බන්ධයෙන් සහනයක් අපේක්ෂාවෙන් යා යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතය. තමා සභාපතීත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කිරීම අනුමත කරනු ලබන ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමන්ලා ඉදිරියේ සහනයක් අපේක්ෂාවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සිදු වුවහොත් එය ළබැඳියාවන් අතර ගැටුමක් මෙන්ම බරපතල සදාචාරාත්මක ගැටලුවක් ද, අපක්ෂපාතීත්වය හා විනිවිදභාවය පිළිබඳ මහජන විශ්වාසය කඩ කිරීමක් ද වේ.
4. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයේ සාක්ෂිකරුවන් පාර්ලිමේන්තු නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් වීම හා ඊට අදාළ තොරතුරු හා ලේඛන පාර්ලිමේන්තුව භාරයේ පැවතීම.
ගරු කථානායකතුමා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු, ලේඛන සහ ප්‍රකාශ ලබාදීමට කැඳවා ඇති හෝ කැඳවිය හැකි පුද්ගලයන් අතර ප්‍රධාන වශයෙන්ම සිටිනු ලබනුයේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වේ.
එමෙන්ම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සාක්ෂි ලෙස විමර්ශනය කරන හෝ විමර්ශනය කිරීමට බලාපොරොත්තුවන ලිපි ලේඛන බෙහෝමයක් ඇත්තේ මෙම පාර්ලිමේන්තුව සතුව වේ.
එබැවින්, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ගරු කථානායකතුමා යටතේ සේවය කරන නිලධාරීන්ට එතුමා සම්බන්ධයෙන් සාක්ෂි හා තොරතුරු ලබාදීමේදී අපක්ෂපාතී හා ස්වාධීනව කටයුතු කිරීමට හැක්වේ ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවිය හැක. ඊට හේතු වන්නේ ගරු කථානායකතුමා හෝ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වෙතින් අදාළ විමර්ශනය සඳහා තොරතුරු හෝ සාක්ෂි ලබාදෙන පාර්ලිමේන්තු මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හට බලපෑමක් සිදු කිරීමට ඉඩකඩක් තිබීමය.
මේ බව තවදුරටත් තහවුරු වන්නේ කථානායකතුමා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ කරුණු වලට බලපෑම් විය හැකි ආකාරයෙන් මැදිහත්වීමක් කථානායකතුමාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන අය විසින් සිදුකර ඇති බවට ලිඛිත සාක්ෂි ඇති හෙයිනි. එම මැදිහත්වීම සිදුකර ඇත්තේ කථානායකවරයාගේ ද දැනුවත්භාවය මත බව ද වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එකී පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් AC/0695/2026 යන අංකය යටතේ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
මේ අනුව දැනටමත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ හා ඔහුගේ පෞද්ගලික ලේකම්ගේ නීතිවිරෝධී මැදිහත්වීම මෙම විමර්ශනය සඳහා සිදුවන බවට පැහැදිළි සාක්ෂි ඉදිරිපත් වී ඇත. තවද, මා වෙත දැනගැනීමට ලැබී ඇති ආකාරයට ගරු කථානායකතුමා හෝ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් මෙකී විමර්ශනයට අදාළව සාක්ෂි ලබාදෙන පාලන අංශයේ, මූල්‍ය අංශයේ හා ප්‍රවාහන අංශයේ නිලධාරීන් කථානායක කාර්යාලයට ගෙන්වා ගැනීමටත්, දුරකථන මාර්ගයෙන් ඔවුන් වෙත මෙකී විමර්ශනය සම්බන්ධයෙන් යම් යම් බලපෑම් සිදු කිරීමත් කරනු ලබන බවයි.
දූෂණ විරෝධී පනතේ 3(5) වගන්තිය යටතේ කොමිෂන් සභාවේ බලතල හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට හෝ කිරීමට මැදිහත් වන හෝ මැදිහත්වීමට තැත් කිරීම බරපතල වරදක් වේ. එම නිසා තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන අවස්ථාවකදී හා එකී විමර්ශනයට අවශ්‍ය තොරතුරු හා සාක්ෂි ලබාදෙන නිලධාරීන් තමා යටතේ සේවය කරනු ලබන අවස්ථාවකදී, එමෙන්ම එකී නිලධාරීන්ට සාක්ෂි සම්බන්ධයෙන් බලපෑම් සිදුවන බවට කරුණු පවතින අවස්ථාවකදී වර්තමාන කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තවදුරටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කථානායක ධූරය දැරීම සදාචාරාත්මක ද යන්න බරපතල ප්‍රශ්නයකි.
5. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය
1953 අංක අංක 21 පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් 2018 මාර්තු මස 07 වන දින අනුමත කරනු ලදුව, 2018 අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක විය යුතුයැයි සම්මත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ 7(ආ) වගන්තියේ මෙසේ දැක්වේ.
“කිසිම මන්ත්‍රීවරයකු සිය නිල කටයුතු කිරීමේ දී තමාට බලපෑමක් ඇති විය හැකි යම් ආකාරයකට යම් පිටස්තර පුද්ගලයකු හෝ සංවිධානයකට යම් මූල්‍යමය හෝ වෙනත් බැඳීමක් ඇති වන තත්ත්වයකට පත් නොවිය යුතු ය.”
එමෙන්ම, එකී ආචාරධර්ම සංග්‍රහයේ 19 වන වගන්තියේ මෙසේ දැක්වේ.
“පාර්ලිමේන්තුවේ හෝ එහි යම් කාරක සභාවක සලකා බැලීමට භාජනය වී ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයකුට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් යම් පෞද්ගලික හෝ මුල්‍යමය බැඳියාවක් ඇති අවස්ථාවක එම මන්ත්‍රීවරයා විසින් එම බැඳියාව මන්ත්‍රීවරයන්ගේ අදාළ ලේඛනයේ ලියාපදිංචි කර ඇත්තේ වුව ද, එය නොතකා, එම මන්ත්‍රීවරයා විසින් එම බැඳියාවේ ස්වභාවය ප්‍රකාශ කළ යුතු අතර, ඔහු විසින් මෙම වගන්තියේ නියම කොට ඇති ආකාරයට එම ප්‍රකාශය කර ඇත්නම් මිස පාර්ලිමේන්තුවේ හෝ එහි යම් කාරක සභාවක ඒ සම්බන්ධයෙන් කරනු ලබන කිසිම විවාදයකට ඔහුට සහභාගී විය නොහැකි ය.”
මේ අනුව මන්ත්‍රීවරයා යන්නට කථානායකවරයා ද ඇතුළත් වන හෙයින් එතුමා හට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හෝ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හා සම්බන්ධ කිසිඳු කටයුත්කට දායකත්ව ලබාදීමට නීත්‍යානුකූලව මෙන්ම සදාචාරත්මකවද අයිතියක් නොමැත.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය අනුව ගරු කථානායකතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා පත්කිරීම සම්බන්ධ කිසිඳු කටයුත්තකට ද සම්බන්ධ විය නොහැක.
මා විසින් ඉහතින් සඳහන් කරන ලද සියලු කරණු කාරණා අනුව 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි 107 වන වගන්තිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයෙහි 7(ආ) සහ 19 යන වගන්ති වල විධිවිධාන සලකා බැලීමේදී වර්තමාන කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතා හට තමා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවකදී මෙම උත්තරීතර ව්‍යවස්ථාදායකයේ මුලසුන දැරීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය දැරීමට නීත්‍යානුකූල මෙන්ම සදාචාරාත්මකව ද අයිතියක් නොමැත.
මා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරනු ලබනුයේ රටේ මහජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනයේ සාධාරණ අවශ්‍යතා සපුරාලීම පිණිස අල්ලස් හා දූෂණ වැලැක්වීම හා තුරන් කිරීම සඳහා ස්ථාපිත කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගෞරවය, ස්වාධීනත්වය, පාලනයේ විනිවිදභාවය වර්ධනය කිරීම, පාලනයේ අවංකභාවය ශක්තිමත් කිරීම හා වගකිවයුතු බව වැඩි කිරීම සහ ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ දූෂණය තුරන් කිරීම සඳහා වන මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීමේ ඒකායන අරමුණින්ම පමණක් වන බැව් අවසාන වශයෙන් සඳහන් කරමි.
මේ අනුව ඉහත කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් මා විසින් ගරු කථානායකතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙම වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විභාග කිරීම සඳහා යොමු කරන ලෙසයි.
විශ්වාසී,
නීතීඥ දයාසිරි ජයසේකර
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පිටපත : පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය- අවශ්‍ය කටයුතු සඳහා
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

