මොලමුරේගේ වාර්තාව ජගත් බිද දමයිද...
මොලමුරේගේ වාර්තාව
ජගත් බිද දමයිද...
අහන්නකෝ වැඩක්... පහුගිය බදාදා තව දෙයක් සිද්ධ වෙලා. චමින්ද කුලරත්න ඉන්නවා නේද. අපේ හිටපු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්තුමා. ඔන්න එතුමට එදා උදේ අල්ලස් කොමිසමේ පෙනී හිටින්න එන්න කියලා...
මේ අව් අස්සේ චමින්දත් සුදු පාට කාරයකින් ඇවිත් බැහැලා පයිල් මිටියක් කර ගහන් අල්ලස් කොමිසමේ ගේට්ටුවෙන් ඇතුලට යනවා ඔන්න නිවුස් වලටත් පෙන්නලා.
නීතිඥයෝ වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් ඔන්න ඔය නිවුස් එක දැකලා ඔය ගැන කතාව.
ජනාධිපතිගේයි නීතිඥ සංගමයේ යි ලොකු ලොකු කතා මැද්දෙ මේවත් ඉතින් පුංචි පුංචි ආතල් කතානේ. ඔන්න ඕක ගැනත් මන්ත්‍රීවරු සංවාදයක් ඇදගෙන.. එහෙමනේ ඕවා අපට ආරංචි වෙන්නේ..
බැලින්නම් මොකටද දන්නවද මේ කැඳවලා තියෙන්නේ. පහුගිය පෙබරවාරි මාසේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා අටක් ඉදිරිපත් කරමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා චමින්දම දමාපු පැමිණිල්ලකට... ඔව් අල්ලස් කොමිසමට.
පැමිණිල්ල පෙබරවාරි මාසේ. මාස 6ක් ගතවෙලා. මෙච්චර කාලයක් මීක් කියලා සද්දයක් තිබිලා නෑ.
හැබැයි හිටපු ගමන් මේ විදිහට අල්ලස් කොමිසම පරීක්ෂණය ආරම්භ කළේ මොකද කියන එක ගැනයි තමයි මන්ත්‍රීවරුන්ගෙ කතාව.
පොඩි පහේ වෙලාවක් එහෙම නෙවෙයි. උදේ නමයට විතර ගේට්ටුවෙන් ඇතුලට ගිය චමින්ද ඒ පයිල් මිටිය අරගෙන ආපහු ඇවිල්ලා තියෙනවයි කියන්නේ හැන්දෑවේ හතරට විතර. ආරංචියේ හැටියට සාක්කි විභාගයම පැය පහකට වැඩිලු...
සෙල්ලමක් නෙවෙයිනෙ අනේ! චෝදනාම අටක්නෙ. චමින්දම දාපු චෝදනා. අහන්නකෝ ඒ ටික එකින් එක...
පළවෙනි එක වාහන අවභාවිතාව... පාර්ලිමේන්තුවේ කතානායක විදියට තමන්ට හිමි නිල වාහන දෙකත් ලබාගෙන ඒකට ලබා ගන්නා ඉන්ධන ලීටර් 900ත් ලබාගෙන තව අමතර වාහනයකුත් අරගෙන. ඒකටත් ඉන්ධන පාර්ලිමේන්තුවේන්. ඔන්න ඉතින් පළවෙනි චෝදනාව දූෂණය නැමැති වරද.
දෙවෙනි එක නීති විරෝධී ලෙස ඉන්ධන ලබා ගැනීම. කථානායක විදියට හිමි ඉන්ධන ලීටර් නමසීයක් අරගෙන අමතර වාහනේටත් ඉන්ධන අරගෙන පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විදිහටත් තව ලීටර් 568ක් මාසිකව ලබාගත් බව ඒ පෙත්සම කියනවා. නැවතත් ඉතින් දූෂණය නැමැති වරද.
එතන ඉඳලා පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය...
නියමිත මුදල් නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අඅමතර දිවා ආහාර පහසුකම...
නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීම හා ආහාර, ප්‍රවාහන පහසුකම් සපයා දීම...
නීති විරෝධී ලෙස රජයට අයත් නිවාස දෙකක් පාවිච්චි කිරීම...
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදී තම දූෂණ වංචා සඟවා ගැනීමට උත්සාහ කිරීම...
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම....
විපක්ෂයේ අපේ හිතවත් මන්ත්‍රීවරයෙක් නම් මේ කතාවට මුල පිරුවේ අල්ලස් කොමිසමේ මේ වගේ තවත් පැමිණිලි ගණනාවක් තියෙනවා කියලයි. හැබැයි ඒගොල්ලෝ ඒ ෆයිල් අතට ගන්නේ කාගෙන් හරි බලපෑමක් මතලු.
ඕකට බලපෑම් කරන්න කාටද අනේ පුළුවන්. ඇරත් අර රංග දිසානායක වගේ අයට. එහෙම බලපෑම් ආවොත් ඉතින් හොඳ එකෙන් කන්න වෙන්නේ...
ගහයි ගෙඩියි දෙකම දන්න මන්ත්‍රී කෙනෙක් ඔන්න ඔහොම කියලා. කොහොම හරි පරීක්ෂණය ආරම්භ කරපු එක ගැන නං විපක්ෂයේ මන්ත්‍රීවරු දෙන්න තුන්දෙනාම ආතල් එකේ... එයාලයි නම් ටික නම් දාන්න එපාලු.
කථානායකවරයෙකුට එරෙහිව පරීක්ෂණ කරන්න විමර්ශන ආයතනයක් මෙන්න මේ විදිහට පියවර අර ගැනීම ගැන ඉතිහාසය ඇද ඇද ඔන්න කට්ටිය දිගටෝම කතාව...
පරිණත දේශපාලඥයෙක් ඔතෙන්දි කිව්වේ ඉතිහාසයේ 1934ත් ඔන්න ඔය වගේ වැඩක් උනා කියලා. එතකොට පාර්ලිමේන්තුව නෑ. තිබුනෙ “රාජ්‍ය මන්ත්‍රණ සභාව”. ඒකෙ කතා නායක හිටිය සර් පැන්සිස් මොලමුරේ...
මොලමුරේ මහතාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සාවද්‍ය සාපරාදී මුදල් පරිහරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා. ඒකෙන් වරදකරුවෙලා මාස 12කට හිරේටත් යනවා... අන්න ඉතිහාසය...
ඊට පස්සේ දන්නවනේ දේශපාලනයෙන් වෙන දේ. එතුමා එහෙම කියනකොට තව කෙනෙක් කිව්වේ හැබැයි ඊට පස්සේත් එයා පාර්ලිමේන්තුත් ආවා නේද..? කියලා...
ඔව් ඔව්... 1948 දී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවටම තේරී පත්වෙලා ආවා. ඓතිහාසික පොරක්. ඉතිහාසයේ මුල්ම වතාවට හිරේ ගිය කතානායක වගේම. ඉතිහාසයේ අපේ පළමුවෙනි පාර්ලිමේන්තුවේත් කතානායකත් ඔහු.
දන්නවද මොලමුරේ ඊළඟට තියපු වාර්තාව. පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල්ම වතාවට කතානායක තනතුරේ ඉද්දි කතානායක පුටුව මත මියගිය කතානායකත් මොළමුරේ. වාර්තා තිය තිය ඉඳලා අන්තිමේ වාර්තාවකින්ම උන්නැහේ අවසන් ගමනක් ගියා...
පරිණත දේශපාලනඥයා මේවා විස්තර කරනකොට ඔන්න අනිත් දෙතුන් දෙනා නං අහගෙන හිටියේ කට ඇරගෙනලු...
එහෙමනම් අපේ මෑනුත් තරගයක් දෙයිද...
ඔවුනේ... එයා දැන් තරගෙට එන්ටර්... කථානායක කෙනෙකුට එරෙහිව මොලමුරේගේ පරීක්ෂණය කළාට අවුරුදු 92කට පස්සේ තමයි මේ පරීක්ෂණය කෙරෙන්නේ...
එහෙනම් මේකත් වාර්තාවක්...
නැතුව... සමහරවිට මේකේ ප්‍රතිඵලයත් වාර්තාවක් වෙන්න බැරි නෑ. මොකද අපිට ආරංචි විදියට මේ පරීක්ෂණය කරන්න කියලා බලපෑම ඇවිල්ල තියෙන්නෙත් උඩින්ලු....
එහෙනම් එහෙමත් ප්‍රශ්න මෙතන නියෙනවා....
මොකද නැත්තේ... පිල් දෙකක්නේ. මතවාද දෙකක්. දෙගොල්ලා දෙවිදියක්...
කතානායක කෙනෙක් ගැන පරීක්ෂණයක් කෙරිලා තියෙන්නේ 1934 නම්, අල්ලස් කොමිසම ඒවගේ පරීක්ෂණයක් ආරම්භ කළාය කියන්නෙම දැන් එතකොට ඒ වාර්තාව බිඳලානේ. අවුරුදු 92ට පස්සෙ ඒ වාර්තාව බිඳුණයි කියමුකෝ. හැබැයි එතනින් එහාටත් ඒවම වෙයිද කියලා අපට හිතන්න බෑනේ. සමහරවිට ඔය සියළු චෝදනාවලින් එතුමා නිදහස් වෙන්නත් බැරි නෑ... එතකොට ඉතින් ලෙඩත් සුද්දයි ලෙඩාගේ බඩත් සුද්දයිනේ...
ඔව් ඔව් විමර්ශන කියන ඒවා ගැන අපිට කල්තියා නිගමන දෙන්ඩ බෑ... මොකද මේක ඒගොල්ලන්ගේ ආණ්ඩුව... අල්ලස් කොමිසම පරීක්ෂණය කරාටක් තීන්දු ගන්නේ උසාවියනේ...
ඔන්න ඔය විදිහට ඔය ප්‍රශ්නෙ ගැන අනිත් පැත්තෙන් බලන මන්ත්‍රීවරුත් ඔතන හිටියා.... හොඳේ.
ඔන්න ඔහොමලු ඔන්න ඔය කතා බහ අන්තිමේ මන්ත්‍රීවරු හමාර කළාය කියන්නේ...
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

