ආණ්ඩුව ඇතුළේ ව්‍යවස්ථාපිත ඒකාධිපතියෙක්..!
පාලන බලය ලබාගෙන දෙවසරක් ගතවී ඇති මුත් රටට දුන් පොරොන්දු කිසිවක් ඉටුකරන්නට නොහැකි වූ අසමත් ආණ්ඩුවේ අමන තකතිරු පාවාදීම් වලට එරෙහිව නැගී සිටින විපක්ෂයේ ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයින් දඩයම් කරන්නට වත්මන් රාජ්‍ය නායකයා සිය "ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය" පාවිච්චි කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි.
ආණ්ඩුව ඇතුළේ
ව්‍යවස්ථාපිත
ඒකාධිපතියෙක්..!
ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන
විමල් වීරවංශගේ හෙලිදරව්ව.
පාලන බලය ලබාගෙන දෙවසරක් ගතවී ඇති මුත් රටට දුන් පොරොන්දු කිසිවක් ඉටුකරන්නට නොහැකි වූ අසමත් ආණ්ඩුවේ අමන තකතිරු පාවාදීම් වලට එරෙහිව නැගී සිටින විපක්ෂයේ ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයින් දඩයම් කරන්නට වත්මන් රාජ්‍ය නායකයා සිය "ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය" පාවිච්චි කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි...
මේ රට වසර හැත්තෑ හයක සාපයක් ඔස්සේ පැවත ආ "අපරාධ රාජ්‍යයකැයි" නම් කරන වත්මන් ආණ්ඩුව තම වසර දෙකක ආණ්ඩු කාලයේ "ශේෂ පත්‍රය" ගැන කියන්නට රට වටා රැස්වීම් මාලාවක් පවත්වමින්, නැති ජන මතයක් ඇතිකර ගන්නට උත්සාහ කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල පසෙක දමා ඩඩ්ලි සිරිසේන, ධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (05) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, රනිල් වික්‍රමසිංහ මහතා ඉතා අසීරුවෙන් හා නොන්ඩි ගගහා ගිය IMF සහ බටහිර ගැති අති-ධනපති ආර්ථික ගමන්මඟ, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉතා ලේසියෙන් සහ පහසුවෙන් ඊටත් වඩා වේගයෙන් ඉදිරියට ගෙන යන බවයි. මෙම මාධ්‍ය හමුවේදී වීරවංශ මහතා වත්මන් පාලනයේ දෙවසරක ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
වත්මන් අනුර කුමාර මහතාගේ දෙවසරක පාලනය සමපාත වන්නේ වෙනිසියුලාවේ අන්තරකාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ගේ පාලනයට බව පෙන්වා දුන් වීරවංශ මහතා, ජාතික සම්පත් විදේශයන්ට පාවාදීමේ නින්දිත ක්‍රියාවලියක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවට චෝදනා කළේය.
"වෙනිසියුලාවේ නිකොලස් මදුරෝව ඇමෙරිකානු බලකායන් විසින් පැහැරගෙන යාමෙන් පසු බලයට ආ ඩෙල්සි රොඩ්‍රිගස්, හියුගෝ චාවේස්ගේ සහ මදුරෝගේ පින්තූර පිටුපස තියාගෙන වෙනිසියුලාවේ තෙල් සම්පතෙන් 20%ක් සහ තෙල් නිධි 17ක් අවුරුදු 100කට ඇමෙරිකාවට පාවලා දුන්නා. අද ලංකාවේ වෙන්නෙත් ඒකමයි. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සටන් කර දිවිපිදූ රෝහණ විජේවීර සහෝදරයාගේත්, මාක්ස්-ලෙනින්ලාගේත් පින්තූර උඩින් තියාගෙන “මෙහේ ලෝකල් ඩෙල්සි” හෙවත් අනුර කුමාර කරන්නේ ඉන්දියාව සමඟ රහස් ගිවිසුම් 7ක් අත්සන් කරමින් රටේ පරමාධිපත්‍යයත්, ජාතික ආරක්ෂාවත්, ඛනිජ සම්පත් සහ ඖෂධ වෙළඳපොළත් ඉන්දියාවට පාවාදීමයි. ජේ.ආර්. ජයවර්ධන පවා ඉන්දු-ලංකා ගිවිසුම රටට පෙන්නුවා. නමුත් මේ ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම් අධිකරණය ඉල්ලද්දීත් ඉන්දියාවේ අවසර නැතුව පෙන්නන්න බෑ කියන තරමට රටේ ස්වාධීනත්වය පාවලා දීලා," යැයිද ඔහු පැවසීය.
ඩෙල්සි රොඩ්‍රිගස්
ආණ්ඩුවේ නින්දිත පාවාදීම්වලට එරෙහිවන සිංහල සහ බෞද්ධ නායකයන්, හමුදා නිලධාරීන් මෙන්ම දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා අලුත් පනත් සහ සංශෝධන ගෙනෙමින් පවතින බවත්, නාමල් රාජපක්ෂ වැනි අය සිරගත කරමින් "පාතාල රාජ්‍යය" ලෙස අලුත් සතුරන් මවාපෑමට ආණ්ඩුව උත්සාහ කරන බවත් වීරවංශ මහතා චෝදනා කළේය.
එමෙන්ම, මීට පෙර ප්‍රභූ ආරක්ෂාව සහ පාරවල් වැසීම දැඩි ලෙස විවේචනය කළ අනුර කුමාර ජනාධිපතිවරයා අද බේරුවල රැස්වීම් සඳහා යන විට, ජනාධිපතිගේ ආරක්ෂාව උදෙසා ධීවරයන්ට වරායට ඒම පවා තහනම් කරමින් පැය ගණන් මුහුදේ රඳවා තැබීමට තරම් “ප්‍රභූ මානසිකත්වයකට” වැටී ඇති බවද ඔහු හෙළිදරව් කළේය.
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විමල් වීරවංශ පැවසූයේ අනාගත නායකත්වය සඳහා ආණ්ඩුවට සහ ආණ්ඩුවේ නායකයන්ට අභියෝගයක් වනු ඇතැයි විශ්වාස කරන සියලුම සිංහල බෞද්ධ නායකයෝ මේ ආණ්ඩුවෙන් අතිශයින් පරිස්සම් විය යුතු බවයි. මද්ද මන්ද ඔවුන් වෙත කුමන හෝ තරාතිරමක චෝදනාවක් එල්ල කරමින් යළි දේශපාලන කටයුතු වල නිරතවිය නොහැකි වන සේ යම් යම් වැරදි වලට පටලවා හිරේ විලංගුවේ දැමීම මේ ආණ්ඩුවෙහි න්‍යාය පත්‍රයේ කොටසක් වී ඇතැයි වීරවංශ මහතා පෙන්වා දෙයි. මෙම අවදානම ඇත්තේ සිංහල බෞද්ධ නායකයින්ට පමණක් වන බව පෙන්වා දෙන විමල් වීරවංශ මහතා මේ රටේ මෙපමණ කලක් ආණ්ඩු සමග කටයුතු කළ වෙනත් බෞද්ධ නොවූ නායකයන්ට එවන් කිසිදු අවදානමක් ආණ්ඩුව තුළ උදාවන්නේ නැතැයි පෙන්වා දුන්නේ මෙසේ උදාහරණද සමඟය...
“කලින් ආණ්ඩුවල ඇමති වෙලා හිටපු රිෂාඩ් බදියුදීන් වගේ අයට විරුද්ධව අඩු ගානේ පොඩි වේවැලක්වත් අරන් තියෙනවද? එයා නීතියට අනුකූලව ශාන්ත දාන්ත විදිහට වැඩ කරපු කෙනෙක්ද? අල්ලස් කොමිසමට එයා ගැන කිසිම පැමිණිල්ලක් ඇවිල්ලා නැද්ද? මම මේ උදාහරණයකට කියන්නේ. මෙතන ඉලක්ක කරන්නේ ඉදිරියේදී මේ දුෂ්ට ක්‍රියාදාමයට විරුද්ධ වෙන්න ඉන්න බෞද්ධ නායකයන් සහ සිංහල නායකයන්ව තෝරාගෙන මර්දනයේ ගිලටීනයට ගොදුරු කරන්නයි. මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන.”
එසේම ඉදිරියේදී අධිකරණ බලය විධායකට යටපත් කරගත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරියේදී දිගින් දිගටම බලයේ රැඳීම සඳහා මේ රටේ බෙදුම් වාදය හා වර්ගවාදය පෝෂණය කරන ආකාරයට කටයුතු කරමින්, සිංහල බෞද්ධයන්ගේ අතීත උරුමයන් අකා මකා දැමීමට පුරාවිද්‍යා පනත් හා විහාර දේවාලගම් පනත් පවා සංශෝධනයට කටයුතු කරන බව පෙන්නා දුන් විමල් වීරවංශ මහතා ඒ පිළිබඳව විරෝධය පාමින් අධිකරණයට යාමට මෙතෙක් කල් ජනතාවට තිබූ ඉඩ ප්‍රස්ථාවන් පවා 22 වන සංශෝධනයෙන් පසු ජනතාවට අහිමි වී යනු ඇති බව පෙන්වා දුන්නේය..
“ඒ අතරේ උතුර සහ නැගෙනහිර අද දෙමළ බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රයට යටත් කරලා තියෙනවා. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන, හින්දු පුරාවිද්‍යාත්මක ස්ථාන බවට ලේබල් කරමින් යනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කරලා, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ පනතක් හදලා ඒ විෂය පළාත් සභා විෂයක් බවට බෙදන්න හදනවා. උතුරු පළාතට එක පුරාවිද්‍යාවක්, නැගෙනහිරට තව පුරාවිද්‍යාවක්, අනෙකුත් පළාත්වලටත් එහෙම වෙන් කරලා, උතුර සහ නැගෙනහිර බෞද්ධ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන අහිමි කරන කලාපයක් බවට නීතියෙන්ම පත් කිරීමට යනවා.
එපමණක් නෙවෙයි, විහාර දේවාලගම් පනත ගැන බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කියනවා ඉඩම් අඩුයි, විහාර දේවාලගම් පනතට ඉඩම් ගොඩක් අයිතියි කියලා. දැන් ඒ මොකද කියන්නේ? ඊළඟට අතතියන්න යන්නේ 22 වෙනි සංශෝධනය තුනෙන් දෙකෙන් සම්මත කරගත්තට පස්සේ විහාර දේවාලගම් පනතටයි. අධිකරණය තමන්ගේ පාලනයට නතු කරගන්නේ විහාර දේවාලගම් පනතට සහ පුරාවිද්‍යා පනතට වැඩේ දෙන්නයි; බෙදුම්වාදයට බාධාවක් වී තියෙන සියලු නීතිරීති දියකර හරින්නයි.
ඒ මගින් අනාගතයේ උතුරු සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ පවත්වා, ඒ එන මහ ඇමතිට ඕන කරන ආණ්ඩුකාරවරයා දාලා, එතැනින් ප්‍රඥප්ති සම්මත කරගෙන, ඊට පස්සේ ජනමත විචාරණයකින් උතුර සහ නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස වෙන්වීමට තියෙන තත්ත්වයකට ගෙනයෑමයි මෙතන සිදුවෙමින් පවතින්නේ. ඒ නිසා ඒ න්‍යාය පත්‍රයත් මොවුන් හොඳට කරගෙන යනවා.
විපක්ෂයට ඒකට එරෙහිව කටක් හොලවන්න බැරිවෙලා තියෙනවා. වෙනිසියුලාවේ මරියා කොරීනාගේ වැඩේ මරියාටත් වඩා හොඳින් කෙරෙනකොට මරියා අන්දමන්ද වෙනවා වගේ, මෙහේ අනුර කුමාර, රනිල් වික්‍රමසිංහගේ තිබිච්ච න්‍යාය පත්‍රය ඊටත් වඩා හයියෙන් කරගෙන යනකොට, මෙහේ විපක්ෂයට ඒකට ප්‍රතිවිරුද්ධව හිටගන්න සටන් පාඨයක් හොයාගන්න බැරුව ලතවෙන මට්ටමකට ඇවිත් තියෙනවා."
ඒ අයුරින් තරුණු පැහැදිළි කළ විමල් වීරවංශ අවසාන වශයෙන් පෙන්වා දුන්නේ "වසර දෙකයි රටට සුබයි" කියමින් ජනතාවට සුබ බව පෙන්වන්නට ජනාධිපති ගමින් ගම ගියත් ජනතාව මේ වන විටක් තමන්ගේ හා තම රටේ ඉරණම හොදාකාරවම තේරුම් ගෙන ඇති බවයි...
“ඉතින් ඒ නිසා ජනතාවට අද හොඳටම තේරෙනවා මේ "වසර දෙකයි රටට සුබයි" කියන එක ජනතාවට නෙවෙයි, ආණ්ඩුවේ ඉන්න යහළුවන්ට, හිතවතුන්ට සහ ඒ අයට කඩේ යන ව්‍යාපාරික පැලැන්තියට විතරයි සුබ වෙලා තියෙන්නේ කියලා. අද රටේ සාමාන්‍ය මිනිහට, ගොවියට, ධීවරයට, සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයාට වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරුව අතිශය අසරණ තත්ත්වයකට පත් වෙන්න.”
ඩඩ්ලි සිරිසේන සැබට සැපේ....
විමල් වීරවංශ පුවත්පත් සාකච්ඡාවේ
කළ සම්පූර්ණ කතාව මෙසේය...
සුබ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට.
අද මා සමග මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙනවා ජාතික නිදහස් පෙරමුණේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ මැතිතුමත්, ඒ වගේම කඩුවෙල අපේ ආසනයේ සංවිධායක බුද්ධික ප්‍රියදර්ශන මැතිතුමත් මේ අවස්ථාවේ මේකට සහභාගි වෙනවා.
ඔබ කවුරුත් දන්නවා ජනාධිපති අනුර කුමාරගේ පාලනයට වසර දෙකක් සම්පූර්ණ වෙන්නේ මේ මාසේ 23 වෙනිදට. ඒ වසර දෙක සම්පූර්ණ වීම නිමිති කොටගෙන කරපු දෙයක් ගැන කියන්න කතාවක් අලුතෙන් නැති නිසා මොනවා හෝ කතාවක් කරන්න, මොනවා හෝ චූන් පාන් ටිකක් විකුණන්න ජනාධිපති අනුර කුමාර රැස්වීම් පවත්වන්න පටන් අරන් තියෙනවා රට හතරවටේ යමින්.
ඔබ කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් මිනිස්සු චූන් පාන් කන්නේ ඉතුරු වේල් ටිකට හොඳට කාලා හිටියොත් තමයි. හවසට චූන් පාන් කාරයා එන්නේ හැන්දෑවට ඕන කෙටි ආහාරයක් ලබා දීම සඳහා. උදේටත් බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට, දවලටත් බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට හවසට චූන් පාන් කාරයා ආවට ඒකේ කිසි ලොල් එකක් නෑ, ලල් එකක් නෑ.
දැන් මේ රටේ අනෙකුත් කිසිම ප්‍රශ්නයක් විසඳන්නේ නැති ජනාධිපති අනුර කුමාර තමන් මොක්කුද හොරු ටිකක් ඇල්ලුවයි කියලා කියන එක පාරම්බාන්න විතරක්, ඒ චූන් පාන් විකුණන්න විතරක් රැලි තියාගෙන යනවා, ඒකෙන් තමන්ගේ දෙවසරක අස්වැන්න පෙන්නන්න පුළුවන් වෙයි කියලා හිතලා.
නමුත් බදු පිට බදු බර පටවාගෙන ගැලවීමක් නැතුව අසරණව ඉන්න මේ රටේ පොදු ජනතාවට, ජීවන බරෙන් පිරී ඉතිරී යන අතිශය විශාල පීඩනයකට ගොදුරු වෙලා ඉන්න මේ රටේ පොදු ජනතාවට, ව්‍යාපාර කඩා වැටිලා අපා දුකක වැටිලා ඉන්න මේ රටේ මැද පන්තියට, ඒ වගේම මේ රටේ ගොවි ජනතාවට අද අනුර කුමාර ජනාධිපතිගේ චූන් පාන් කාලා චූන් වෙන්න කිසිම හේතුවක් ඇත්තේ නෑ.
ඒ නිසා අපි ජනාධිපති අනුර කුමාරට කියනවා ජනාධිපතිවරණයට පෙර චූන් පාන් විකුණුවාම ගන්න මිනිස්සු හිටියට, දෙවසරක බලයේ කෙළවර ඔබේ චූන් පාන් කන්න මේ රටේ පොදු ජනතාව තවදුරටත් ලෑස්ති නෑ කියලා.
අනිත් එක තමයි මේ ජනාධිපතිගේ දෙවසරක පාලන කාලය කොහොමද ලෝකයේ වෙනත් රටක තියෙන පාලනයකට ගැලපෙන්නේ කියලා බැලුවාම අපට පෙනෙන හොඳම සමපාත වීම තියෙන්නේ වෙනිසියුලාවේ අන්තරකාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්ගේ පාලනයට.
ඔබ දන්නවා වෙනිසියුලාවේ “හියුගෝ චාවේස්” සිටියා. ඔහුව පිළිකා රෝගය වැළඳිලා මිය ගියා, සමහරු කියනවා පිළිකා රෝගය හදවලා මැරුවයි කියලා. කෙසේ වෙතත් ඔහු මිය ගියා. ඊට පස්සේ මදුරෝ, නිකොලස් මදුරෝගේ පාලනය ස්ථාපිත වුණා. ඒ පාලනය තමයි 2026 ජනවාරියේ නිකොලස් මදුරෝව ඇමෙරිකානු විශේෂ බලකාය විසින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් මුහුදු කොල්ලකාරයෝ කණ්ඩායමක් වගේ හැසිරෙමින් නිකොලස් මදුරෝව පැහැරගෙන ගියා, ඇමෙරිකාවට අරගෙන ගියා.
ඊට පස්සේ තමයි මේ අන්තරකාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්ගේ පාලන තන්ත්‍රය ආරම්භ වෙන්නේ.
අපට පෙනෙන්නේ ඩෙල්සි රොඩ්‍රිගස්ගේ පාලනයයි, ජනාධිපති අනුර කුමාරගේ පාලනයයි එක හා සමානයි. සමහර කරුණු අතින් ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා ඉදිරියට ගිය පාලනයක්.
දැන් ඔබ දන්නවා මෙතනත් ජනාධිපති අනුර ජේවීපී නායකයා වෙන්නේ සෝමවංශ අමරසිංහ නායකයා වුණාට පස්සේ, සෝමවංශ අමරසිංහව එළියට වට්ටනවා. අර මදුරෝව ඉස්සුවා වගේ අමරසිංහව එළියට වට්ටනවා. එතන මදුරෝව ඇමෙරිකාවෙන් උස්සනවා, මෙතන අමරසිංහව එළියට දානවා. සහ එළියට යන තත්ත්වයකට පත් කරනවා.
ඊට පස්සේ සුක්කානම පූර්ණ වශයෙන් අනුර කුමාර අතට අරගන්නවා. ඒ අරගැනීම මගින් අර හරියට වෙනිසියුලාවේ මදුරෝව පාලනය, මදුරෝව උස්සන් ගියාට පස්සේ ඩෙල්සි රොඩ්‍රිගස්ගේ පාලනය ස්ථාපිත කරලා ඇය මගින් එක්සත් ජනපදයට ඕන කරන සියලු දේවල් කරගැනීමේ තත්ත්වයක් අද උද්ගත වෙලා තියෙනවා.
ට්‍රම්ප් ජනාධිපති කියනවා ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම අත්සන් කළා කියලා වෙනිසියුලාවත් එක්ක. මදුරෝව උස්සන් ගිහිල්ලා ඩෙල්සි රොඩ්‍රිගස්ව බලයට ගෙනල්ලා, එන්න ඉඩහැරලා, ඇමෙරිකාව ඊට පස්සේ මොකද කරන්නේ?
වෙනිසියුලාවේ සනාථ කරලා තියෙන සමස්ත ඛනිජ තෙල් සංචිත වලින් පහෙන් එකක්, 20%ක්, ඒ කියන්නේ තෙල් බැරල් බිලියන 65ක් ප්‍රමාණයක් පාලනය, බලය සම්පූර්ණයෙන් ඇමෙරිකාව අතට ගන්නවා. ඒ වගේම ඒ රටේ තියෙන උපයෝගීතා තෙල් නිධි 17ක්, ඒවා මෙහෙයවීම අවුරුදු 100කට ඇමෙරිකානු සමාගම් අතට ගන්නවා.
ඒ වගේම නිෂ්පාදනය කරන තෙල් වලින් 20%ක් නිෂ්පාදන පිරිවැයටම ඇමෙරිකාවට විකුණන්න ඕනේ කියලා ඒ ගිවිසුමේ තියෙනවා. ඉතිරි 80%ත් මිලදී ගැනීමේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ඇමෙරිකාවට කියලා ඒකේ තියෙනවා.
ඉතින් එතකොට බලන්න. දැන් මේ තෙල් සම්පත ජනසතු කරලා වෙනිසියුලානු ජනතාවගේ සම්පතක් හැටියට තියාගැනීම තමයි හියුගෝ චාවේස්ගේ දහම වුණේ, නිකොලස් මදුරෝගේ දහම වුණේ.
හැබැයි මදුරෝව උස්සනවා, මෙතන සෝමවංශව එළියට දානවා වගේ අතන මදුරෝව උස්සනවා. උස්සලා එන්නේ ඊට පස්සේ අන්තරකාලීන ජනාධිපතිනි ඩෙල්සි. ඩෙල්සි මොකද කරන්නේ? ඩෙල්සි රොඩ්‍රිගස් ඇවිල්ලා, රොඩ්‍රිගස් ඇවිල්ලා චාවේස්ගේ පින්තූරෙත් තියාගෙන, මදුරෝගේ පින්තූරෙත් තියාගෙන, සිමොන් බොලිවර්ගේ පින්තූරෙත් තියාගෙන, චාවේස්ලා හිතපු ප්‍රතිපත්තියට, හිටිය ප්‍රතිපත්තියට සම්පූර්ණ පටහැනිව වෙනිසියුලාවේ තෙල් සම්පත අමු අමුවේ කොල්ලකන්න ඇමෙරිකාවට අවස්ථාව හදලා දෙනවා.
දැන් මෙහෙත් එහෙම නෙවෙයිද වුණේ? මෙහෙත් එහෙම නෙවෙයිද වුණේ?
මෙහෙ වුණේ ඔබ දන්නවා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කටමැත දොඩෝපු, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සටන් කරපු, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව ජීවිත දන්දීපු දේශපාලන ව්‍යාපාරයක නායකයාගේ, රෝහණ විජේවීරගේ පින්තූරෙත් උඩින් තියාගෙන, මාක්ස්, එංගල්ස්, ලෙනින්ගේ පින්තූරත් උඩින් තියාගෙන ආපහු ගමන් කළේ ඉන්දියාවත් සමග ගිවිසුම් හතක් අත්සන් කරලා, පරමාධිපත්‍ය බලයෙහි හිමි මේ රටේ මහා ජනතාව අදත් දන්නේ නෑ ඒ මොනවාද ගිවිසුම් කියලා.
මේ තමයි විදේශ රටක් එක්ක අත්සන් කරපු ගිවිසුම් මහා ජනයාට නොපෙන්වා සිටිය ප්‍රථම පාලනය අනුර කුමාරගේ දෙවසරක පාලනය. ඒ කියන්නේ පරමාධිපත්‍ය බලය තම්බ සතයකට සලකුවේ නැති පාලනය තමයි. ජේ.ආර්.ත් ඉන්දු-ලංකා ගිවිසුම ගැහුවා, රටට පෙන්නුවා. පරමාධිපත්‍ය බලයට හිස් නැමුවා. මේක පරමාධිපත්‍ය බලය හිමි, උසාවි ගියා, අධිකරණයට මිනිස්සු ගියා ඒ ගිවිසුම් ඉල්ලලා. අන්තිමේදී අධිකරණයේ නීතිපති ඇවිල්ලා කියනවා ඉන්දියාව අවසරයකින් තොරව මේවා පෙන්නන්න බෑ කියලා.
ඒ විදියට මේ රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනයාව ඉන්දියානු අවසරයට යටත් කළා. ඒ තරම් නින්දිත පාවාදීමක් මීට කලින් හිටිය ඉන්දීය ගැතියි කියන පාලන තන්ත්‍රවත් කරලා නෑ.
දැන් ඉන්දීය විරෝධී සන්නාමයක් සහිත ජේවීපී කොඩිය යටතේ බලයට ආපු ලංකාවේ ඩෙල්සි, හෙවත් අනුර කුමාර අන්න ඒ විදියට තමයි ඉන්දියාවට ගිවිසුම් හතක් අත්සන් කරලා මේ රටේ ස්වාධීනත්වය, ආරක්ෂක ගිවිසුමක් ඇතුළුව පාවලා දුන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා එතෙක් සිටිය කිසිම පාලනයක් මේ රටේ ඖෂධ වෙළඳපොළ ඉන්දියානු ප්‍රමිතියට පහත් කළේ නෑ.
ඉන්දියානු පාමසුටිකල් බාල කර ගත්තේ නෑ. බ්‍රිතාන්‍ය හෝ ඊට උසස් ප්‍රමිතිය තමයි අපේ රටේ ඖෂධ ප්‍රමිතිය වුණේ. නමුත් ඉන්දීය විරෝධී, ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි සන්නාමයක් සහිතව බලය ගත්තු ජේවීපී නායකයා, “මෙහේ ඩෙල්සි” අන්තිමට ලංකාවේ බෙහෙත් පෙත්තත් ඉන්දියානු බාල බෙහෙත් පෙත්තේ ප්‍රමිතියට පල්ලෙහාට දැම්මා.
දැන් බෙහෙත් බිව්වත් හොඳ වෙන්නේ නැති ලෙඩ්ඩුන්ගෙන් පිරිච්ච රටක් බවට මේ රට පත් වෙලා ඉවරයි.
එතැනට වැට්ටුවා. අන්න බලන්න. අතන චාවේස්ගේ පින්තූරෙ තියාගෙන, සිමොන් බොලිවර්ගේ පින්තූරෙ තියාගෙන ඩෙල්සි ඇමෙරිකානු, ඇමෙරිකාවට සියලුම තෙල් සම්පත පාවලා දෙනවා වගේ, මෙතන විජේවීරගේ පින්තූරෙ තියාගෙන, මාක්ස්, එංගල්ස්, ලෙනින්ගේ පින්තූරෙ තියාගෙන මේ ඩෙල්සි හෙවත් අනුර කුමාර ඉන්දියානු උවමනාවන්ට ගිවිසුම් හතක් අත්සන් කරලා, අපේ ඖෂධ වෙළඳපොළත් ඒ ප්‍රමිතියට පල්ලෙහාට වට්ටලා පාවලා දීලා තියෙනවා.
ඒ විතරක් නෙවෙයි, දැන් මෙහේ විපක්ෂයට වෙලා තියෙන්නෙත් එහේ මරියාගේ විපක්ෂයට වෙච්ච වැඩේ, මරියා කොරීනාගේ විපක්ෂයට වෙච්ච වැඩේ.
මොකද මරියා කොරීනා තමයි ඇමෙරිකානු ගැති බවේ හිටියේ. ඇමෙරිකානු ගැති බවේ හිටපු මරියා කොරීනාව ගෙනල්ලා, බලයට ගෙනල්ලා තමයි මේ වැඩ කරගන්න හිතන් හිටියේ ඇමෙරිකාව.
හැබැයි ඊට වඩා වාසියි... මරියා කොරීනාව බලයට ගෙනල්ලා මේ වැඩ කරනකොට, එතන ඩෙල්සිලගේ පක්ෂය, මදුරෝගේ පක්ෂය, හියුගෝ චාවේස්ගේ පක්ෂය විපක්ෂයේ ඉන්නවා. එතකොට ඒවට එරෙහි වෙනවා, වීදි සටන් එනවා, පෙළපාලි එනවා, ගැඹුරු ජනතා විරෝධයක් ප්‍රකාශිතයට පත් වෙනවා.
එහෙම කරනවාට වඩා ඩෙල්සිව පාවිච්චි කරලා ඕන වැඩේ, මරියාගෙන් කරගන්න ඕන වැඩේ ඊටත් වඩා වැඩියෙන් කරගත්තම පාරේ විරෝධතත් නෑ, පෙළපාලිත් නෑ, වීදි සටනුත් නෑ, විරුද්ධ ජනමතයකුත් නෑ.
චාවේස්ගේ පින්තූරෙ තියාගෙන, මදුරෝගේ පින්තූරෙ තියාගෙන ඩෙල්සි අමු පාවාදීම කරනකොට, ඒක දිහා බලන් ඉන්නේ ඒ පාක්ෂිකයා මඤ්ඤං වෙලා ඉන්නවා මිසක් කරන්න කිසි දෙයක් නැතුව හෝන්දු මාන්දු වෙලා ඉන්න තත්ත්වයකට වැටෙනවා.
ඒ නිසා විරෝධය පාන්න හිටිය බලවේගය සීතල කරලා, විරෝධය පාන්න හිටිය බලවේගය යටත් කරලා තමයි ඩෙල්සි එතනදී වෙනිසියුලානු ස්වාධීපත්‍යය ආරක්ෂා කිරීම කියන ලේබල් එක ඉස්සරහට දාගෙන ඔය පාවාදීම කරන්නේ...
ඒ පාවාදීම මේ අපේ ඩෙල්සි මෙතන කරන්නේ ඒ විද්‍යාවම පාවච්චි කරලා තමයි.
ඒ පාක්ෂිකයා හිතනවා, වගේම අද අපේ ජේ වී පී පාක්ෂිකයාත් හිතනවා... "නැහැ, අපේ නායකයා එහෙම පාවාදීමක් කරන්නේ නැහැ. අපේ නායකයා එහෙම වෙන්නේ නැහැ. රෝහණ විජේවීර සහෝදරයාගෙන් පැවතෙන අපේ පක්ෂ නායකයෝ එහෙම කරන්නේ නැහැ" කියලා. අන්න එහෙම කියලා අර විරෝධාකල්ප සහිත කොටස එතැනින් සීතල වෙනවා.
ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා දැන් මන්නාරම් සහ කාවේරි ද්‍රෝණියේ තියෙන තෙල් සහ ගෑස් නිධි කඩිමුඩියේ වෙන්දේසි කරන්න ලෑස්ති වෙනවා. අපිට තියෙන තොරතුරු අනුව ඒ වෙන මොකටවත් නෙවෙයි, ඉන්දියානු සහ බටහිර සමාගම්වලට ඒ ටික ඉතා කුණු කොල්ලයට කොල්ලකෑමේ අවස්ථාව හදලා දෙන්නයි.
එපමණක් නෙවෙයි, අපේ රටේ ගොඩබිම සහ මුහුදේ තියෙන සියලුම ඛනිජ සම්පත් ඉන්දියානු රාජ්‍ය සහ පෞද්ගලික සමාගම්වලට කොල්ලකන්න ඕන කරන මූලික අවබෝධතා ගිවිසුම් අර කර්මාන්ත ඇමති හදුන්නෙත්ති අත්සන් කරලා ඉවරයි. ඒවත් ඒ විදිහටම ඉදිරියට යනවා. ඒ විතරක් නෙවෙයි, මේ අවුරුදු දෙක ඇතුළත ආර්ථික පරාධීනත්වයෙන් එළියට එන්න එක අඟලක් හරි ඉස්සරහට ගියාද? එක පුංචි තීරණයක් හරි ගත්තද? අඩු ගානේ ඊනියා ස්වාධීනත්වයට යටත් කරලා තියෙන මහ බැංකුව නැවත පූර්ව තත්ත්වයට ගන්න, එහෙම නැත්නම් රවි කරුණානායක සංශෝධනය කරපු විදේශ විනිමය පනත නැවත පූර්ව තත්ත්වයට ගන්න කටයුතු කළාද? ආර්ථික පරාධීනත්වයෙන් මිදෙන්න එක අඟලක පියවරක් ඉදිරියට තියන්න මොවුන්ට බැරි වෙලා තියෙනවා.
ඇත්ත කතාව ගත්තොත්, රනිල් වික්‍රමසිංහ කජු සීයා නොන්ඩි ගගහා ගිය පාරේ මේගොල්ලෝ ඊටත් වඩා වේගයෙන් යන එකයි කරන්නේ. ඒකනේ අර පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට කියන්න වෙලා තියෙන්නේ, "මාර්තුවලින් පස්සේ අපි IMF එකෙන් ඉවත් වෙනවා, ඊට පස්සේ අපිට පුළුවන් සහන ගොඩක් දෙන්න" කියලා. අපි පුළුවන් නම් ජනාධිපතිට හරි මාධ්‍ය ප්‍රකාශකට හරි අභියෝග කරනවා, ඒ පොළොන්නරුවේ රාජ්‍ය නායකයා කරපු ප්‍රකාශය හරිද වැරදිද කියලා කියන්න කියලා.
කොන්දක් නැහැ! කොන්දක් තියෙනවා නම් ඔය රැස්වීම්වල කියන්න, "ලබන අවුරුද්දේ මාර්තුවලින් පස්සේ අපි IMF න්‍යාය පත්‍රයෙන් එළියට එනවා" කියලා. අර පොළොන්නරුවේ නායකයා නොදන්නකමට කිව්වට, මොවුන්ට එහෙම කියන්නවත් කොන්දක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ.
දැන් බලන්න, වෙනිසියුලාවේ විපක්ෂ නායක මරියා කොරීනා ඇමෙරිකාවට ගැති වෙලා හිටියා. දැන් මරියා කොරීනාට විරුද්ධ වෙන්න බැහැ ඇමෙරිකාවට තෙල් සම්පත පාවලා දෙනකොට. ඇය දේශපාලනිකව ලොක් වෙනවා. දැන් මෙතනත් වෙන්නේ අර දකුණේ දක්ෂිණාංශික න්‍යාය පත්‍රයමයි. බලන්න, සුරේෂ් සලේට 3 වෙනි වතාවටත් රැඳවුම් නියෝග ගහලා තවදුරටත් තියාගෙන ඉන්නේ මොකටද? මේ රටේ ආරක්ෂක හමුදාවේ මානසිකත්වය කොඳු කඩලා බිඳවට්ටන්නයි. මේක සුරේෂ්ට දෙන දඬුවමක් විතරක් නෙවෙයි, මේ රටේ ආරක්ෂක හමුදාවන්ට දෙන දඬුවමක්. මේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීම පිළිබඳ තියෙන කේන්තිය සහ වෛරය තමයි සුරේෂ්ට දෙන පලිගැනීම්වලින් පිටවෙන්නේ.
අනිත් එක තමයි “චෙම්මනී මිනීවලවල් හාරනවා”. ඒක හමුදාවෙන් කරපු මහා සමූහ මිනී සංහාරයක් හැටියට හුවා දක්වනවා. අපේ රටේ පොලිසියේ සිය දහස් ගණන් එක තැන මරලා දැම්මා, වළලා දැම්මා. ඒවා එකක්වත් හාරන්නේ නැහැ. දැන් අතුරුදහන වූවන්ගේ කාර්යාලය හරහා තවත් එහෙම මිනීවලවල් හාරන්න ලෑස්ති වෙනවා. චෙම්මනී මිනීවලවල් හාරන තැන බලන්න, යුරෝපා තානාපතිවරු තොග පිටින් යනවා. බටහිර මාධ්‍යවල මේවා ඉතා ඉහළින් උස්සලා දක්වනවා.
ඒ අතරේ උතුර සහ නැගෙනහිර අද දෙමළ බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රයට යටත් කරලා තියෙනවා. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන, හින්දු පුරාවිද්‍යාත්මක ස්ථාන බවට ලේබල් කරමින් යනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කරලා, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ පනතක් හදලා ඒ විෂය පළාත් සභා විෂයක් බවට බෙදන්න හදනවා. උතුරු පළාතට එක පුරාවිද්‍යාවක්, නැගෙනහිරට තව පුරාවිද්‍යාවක්, අනෙකුත් පළාත්වලටත් එහෙම වෙන් කරලා, උතුර සහ නැගෙනහිර බෞද්ධ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන අහිමි කරන කලාපයක් බවට නීතියෙන්ම පත් කිරීමට යනවා.
එපමණක් නෙවෙයි, විහාර දේවාලගම් පනත ගැන බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කියනවා ඉඩම් අඩුයි, විහාර දේවාලගම් පනතට ඉඩම් ගොඩක් අයිතියි කියලා. දැන් ඒ මොකද කියන්නේ? ඊළඟට අතතියන්න යන්නේ 22 වෙනි සංශෝධනය තුනෙන් දෙකෙන් සම්මත කරගත්තට පස්සේ විහාර දේවාලගම් පනතටයි. අධිකරණය තමන්ගේ පාලනයට නතු කරගන්නේ විහාර දේවාලගම් පනතට සහ පුරාවිද්‍යා පනතට වැඩේ දෙන්නයි; බෙදුම්වාදයට බාධාවක් වී තියෙන සියලු නීතිරීති දියකර හරින්නයි.
ඒ මගින් අනාගතයේ උතුරු සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ පවත්වා, ඒ එන මහ ඇමතිට ඕන කරන ආණ්ඩුකාරවරයා දාලා, එතැනින් ප්‍රඥප්ති සම්මත කරගෙන, ඊට පස්සේ ජනමත විචාරණයකින් උතුර සහ නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස වෙන්වීමට තියෙන තත්ත්වයකට ගෙනයෑමයි මෙතන සිදුවෙමින් පවතින්නේ. ඒ නිසා ඒ න්‍යාය පත්‍රයත් මොවුන් හොඳට කරගෙන යනවා. විපක්ෂයට ඒකට එරෙහිව කටක් හොලවන්න බැරිවෙලා තියෙනවා. වෙනිසියුලාවේ මරියා කොරීනාගේ වැඩේ මරියාටත් වඩා හොඳින් කෙරෙනකොට මරියා අන්දමන්ද වෙනවා වගේ, මෙහේ අනුර කුමාර, රනිල් වික්‍රමසිංහගේ තිබිච්ච න්‍යාය පත්‍රය ඊටත් වඩා හයියෙන් කරගෙන යනකොට, මෙහේ විපක්ෂයට ඒකට ප්‍රතිවිරුද්ධව හිටගන්න සටන් පාඨයක් හොයාගන්න බැරුව ලතවෙන මට්ටමකට ඇවිත් තියෙනවා.
ඒ නිසා ඒ බෙදුම්වාදය පිනවීමේ සියලු පාවාදීම් සහ දුෂ්ට මෙහෙයුම අද සිදුකරන්නේ, බෙදුම්වාදයට එරෙහිව 'ජාතික ප්‍රශ්නයට අපේ විසඳුම' කියලා පොතක් ලියපු රෝහණ විජේවීරගේ පින්තූරය උඩින් තියාගෙනයි. දැන් මේවට විරුද්ධ වන අයව හිරේ දාන්න ඕන. ඒකට අධිකරණය තමන්ට අවනත කරගන්න ඕන. ඒ සඳහා අලුතෙන් නීති ගේනවා. අර දූෂණ මර්දන පනතට අලුත් සංශෝධන ගේනවා. හොරකමකට සම්බන්ධ වෙච්ච කෙනෙක් ප්‍රධාන හොරාව පාවලා දුන්නොත්, එයා අඩුගානේ චූදිතයෙක් බවටවත් පත්නොවන තත්ත්වයක් හදන්න අලුත් නීති ගේනවා. ඒ කියන්නේ ආණ්ඩුවට ඕන කෙනා පාවලා දුන්නොත්, අනික් අය හොරු නෙවෙයි කියන තත්ත්වයට පත්කරනවා. හොරු කොටසක් නිදහස් කරලා, ආණ්ඩුවට ඕන අය විතරක් හොරා කරලා ඇතුළට දාන්න පුළුවන් වෙන විදිහට නීතිය නමනවා. මේ මගින් මෙම පාවාදීමේ මෙහෙයුමට විරුද්ධ වන නායකයන්ව සහ මිනිස්සුන්ව හිරේ දාන්න හදනවා.
කලින් ආණ්ඩුවල ඇමති වෙලා හිටපු රිෂාඩ් බදියුදීන් වගේ අයට විරුද්ධව අඩු ගානේ පොඩි වේවැලක්වත් අරන් තියෙනවද? එයා නීතියට අනුකූලව ශාන්ත දාන්ත විදිහට වැඩ කරපු කෙනෙක්ද? අල්ලස් කොමිසමට එයා ගැන කිසිම පැමිණිල්ලක් ඇවිල්ලා නැද්ද? මම මේ උදාහරණයකට කියන්නේ. මෙතන ඉලක්ක කරන්නේ ඉදිරියේදී මේ දුෂ්ට ක්‍රියාදාමයට විරුද්ධ වෙන්න ඉන්න බෞද්ධ නායකයන් සහ සිංහල නායකයන්ව තෝරාගෙන මර්දනයේ ගිලටීනයට ගොදුරු කරන්නයි. මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන.
අනුර කුමාර ඉදිරියට ගැනීමට නියමිත පාවාදීමේ පියවරවලදී ඊට එරෙහිව නැගිටින්න ඉන්න නායකයන්ව, 'හොරු' කියන ලේබලය ගහලා, කාගේ හරි කටඋත්තරයක් අරගෙන දඩයම් කිරීමයි මේ සිදුවෙන්නේ. මේ දෙවසරක ගමන ගැන අපිට කියන්න තියෙන්නේ: "ඩඩ්ලි සැපේ - ගොවියා දුකේ, ධම්මිකලා සැපේ - ෆුල් ටයිමර්ලා දුකේ, අනුර සැපේ - ගමේ ජෙප්පෝ දුකේ!"
මේක තමයි දෙවසරක් ඇතුළත ජේවීපී ප්‍රතිපත්තිය ඔලුවෙන් හිටවලා, ජේවීපී ප්‍රතිපත්තිය නිරුවත් කරලා, ඊට සම්පූර්ණයෙන්ම පටහැණි ප්‍රතිපත්තියක ඉඳගෙන රටට උගන්වපු පාඩම. මේ ගැන කතා පවත්වන්න නැවත රැස්වීම්වලට රට වටේ ගිහින් 'චූන් පාන්' විකුණුවට, මේ ප්‍රතිපත්තිමය පොලා පැනිල්ලෙන් ගැලවීමට මේ පුද්ගලයාට හෝ ඒ පක්ෂයට කිසිම හැකියාවක් ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ.
(මෙහිදී මාධ්‍යවේදීන් විමල්ගේ කතාවට අනුකූලව
ප්‍රශ්න විමසනු ලැබුවේ මෙසේය...)
ප්‍රශ්නය - සුබ නැකතට - රට අනුරට කියලා ආවා, දැන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි, එහෙමයි යන්නේ ස්ලෝගන් එක.... මොකක්ද ඒ ස්ලෝගන් එක?
විමල් වීරවංශ මහතා: ඔව්, වසර දෙකයි ඩඩ්ලිලාට සුබයි. වසර දෙකයි ධම්මිකලාට සුබයි. වසර දෙකයි ඉෂාරලාට සුබයි. වසර දෙකයි උඩ පැලැන්තියට සුබයි. මැදටයි, යටටයි දුකේ දුකයි.
මාධ්‍යවේදියා: ඒ කියන්නේ ස්ලෝගන් එක වෙනස්?
විමල් වීරවංශ මහතා: ඇත්ත ස්ලෝගන් එක මං කිව්වේ. මහා ජනයාගෙන් ගන්න ඕන ස්ලෝගන් එක ඕක තමයි.
මාධ්‍යවේදියා: දැන් ඉතින් ඇත්තටම අද ගිහින්.... ඔබතුමාලගේ ඒකට හිටපු කට්ටියනේ... අද ඉදලා රට වටේ ගිහින් මොනවා කියයිද?
විමල් වීරවංශ මහතා: මම හිතන්නේ නාමල් රාජපක්ෂව හිරේ දාපු එක. ඒක ඒක ඒක වෙන කවුරුවත් හිටියා නම් කරන්නේ නෑ. මේ වමේ එඩිතර බලවේගය බලවට ආපු නිසයි මේ ක කළේ. අද මොකක්ද කියනවානේ අර “පාතාල රාජ්‍යයද මොකක්ද තිබුණා” කියන්නේ, දැන් “පාතාල රාජ්‍යය” දැන් අලුත් සතුරෙක් ඕනා. පාතාල රාජ්‍යය අලුත් සතුරෙක්.
දැන් අධිරාජ්‍යවාදය සතුරා නෙවෙයි. බෙදුම්වාදය සතුරා නෙවෙයි. ලිබරල්වාදය සතුරා නෙවෙයි. සතුරෙක් නැතුව පවතින්නත් බෑ. ඒකට ඕනා මොකක්ද? අලුත් සතුරෙක්, පාතාල රාජ්‍යය.
අපි දැන් පාතාල රාජ්‍යය නැති කරගෙන යනවා. ආන්න ඒකට... අලුත් උදාහරණයක් එපැයි. අද වේදිකාවට නගිනකොට පරණ උදාහරණ ටික කියලා වැඩක් නෑනේ, අලුත් එකක් ඕනා. අන්න අපි නාමල් රාජපක්ෂවත් ඇතුළට දැම්මා. දැන්, අන්න බලන්න.
ඉතින් අර ඔය චූන් පාන්නේ, ඔය චූන් පාන් වලින් චූන් වෙන එක චුට්ටක් අය මේ රටේ ඇති. මහ ගොඩක් නෑ.
මාධ්‍යවේදියා: දැන් ඒ වුණාට... දැන් වසන්ත සමරසිංහ මහත්තයා කියලා තිබ්බේ... අපි මේවා කියන්න ඕන, දැන් අපි අවුරුදු දෙකක් රටට කරපුවා තියෙනවා, දවස් 300යේ අස්වැන්න, අභියෝග ජය පනිපුවා තියනවනේ කියන්න...
විමල් වීරවංශ මහතා: ඔව් ඔව්..., හරියට තියනවා. අපි දවස් 300කට සරිලන්න ඉන්දියාවෙන් හාල් ගෙනාවා මේ අවුරුදු දෙක ඇතුළත. ඒ නිසා වී ගොවියාගේ අස්වැන්න දාගන්න ගබඩාවල ඉඩ නෑ කියලා ඩඩ්ලි අඬනවා. තව අනිත් හාල් මෝල් හිමියොත් කියනවා... අපේ ගබඩා ඉඩත් නෑ කියලා. වී ගොවියාට මිල නැතුව ගොවියා ඉන්නවා දුකේ.
ඕවා තමයි වසන්ත සමරසිංහ මහත්තයාලට “දෙවසරක අස්වැන්න” කියලා කියන්න තියෙන්නේ. වෙන මොනවත් කියන්න නෑ. ඒ දවස් 300කට සරිලන්න ඉන්දියාවෙන් අඩු මිලට හාල් ගෙනල්ලා වැඩි මිලට විකුණලා හොඳ ගතමනාවක් අපේ සාක්කුවලට පිරුණා. අපේ සාක්කු පිරී ඉතිරී ගියා. ඒක තමයි වසන්ත සමරසිංහලාට කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නෑ. වෙන මොනවා කියන්නද?
මාධ්‍යවේදියා: දැන් මේ 22 වෙනි සංශෝධනය ගැන කතා කරන්නේ නැද්ද, ඒක කතා කරන්නයි තිබ්බේ. ඒකනේ දැන් ප්‍රධාන මාතෘකාව?
විමල් වීරවංශ මහතා: ඒක මං හිතන්නේ ඉතින් කතා කරන්න දෙයක් නෑනේ, ඔක්කොම තීරණය වෙලා ඉවරයිනේ.
මාධ්‍යවේදියා: ඒ කියන්නේ වැඩේ හරි?
විමල් වීරවංශ මහතා: ඔව් ඔව්, ඒගොල්ලොන්ට ඕන විදියට ඒක හරියයි.
මාධ්‍යවේදියා: ඒක සැකයක් , එතකොට මැතිවරණය තියෙන්න තීරණය කළොත්, තාම මේක විවෘතයි. ඔබතුමාට එහෙම කියන්න බෑ?
විමල් වීරවංශ මහතා: මට කියන්න බෑ, ඉතින්. නමුත් මට හිතන්න පුළුවන්.
මාධ්‍යවේදියා: ඒ කියන්නේ ජනමත විචාරණයකට යන් නෑ?
විමල් වීරවංශ මහතා: මට හිතන්න බැරිකමක් නෑනේ, ඒකට මට අයිතිය තියෙනවනේ. ඉතින් මම හිතන දේ මං කිව්වේ.
මාධ්‍යවේදියා: ඒ කියන්නේ ජනමත විචාරණයකට යන එකක් නෑ?
විමල් වීරවංශ මහතා: මම නම් හිතන්නේ නෑ.
මාධ්‍යවේදියා: දැන් මේ යන්නේ මැතිවරණෙට. රටවටේ යන්නේ ඒකටද?
විමල් වීරවංශ මහතා: නෑ නෑ නෑ. ජනමත විචාරණයකට නම් කොහෙත්ම යයි කියලා මම නම් හිතන්නේ නෑ. ජනමතයක් නැති හින්දා දැන් ජනමතයක් අලුතෙන් හදාගන්න දරන උත්සාහයක් හැටියට තමයි ඔය රැස්වීම් ටික මං දකින්නේ. නැති ජනමතයක් ඇති කර ගැනීමට.
දැන් බේරුවල රැලිය තියන්න තීරණය වෙන්නේ මොකද? ගාල්ලෙන් ගේන්න ලේසියි, කොළඹින් ගෙනියන්න ලේසියි, කළුතරින් අදින්න ලේසියි. කොහෙද තව තියෙන්නේ, හඳපාන්ගොඩ නේද? නෑ නෑ කොහෙද මේ හොරණ පැත්තේ.
මාධ්‍යවේදියා: බුලත්සිංහල.
විමල් වීරවංශ මහතා: බුලත්සිංහල, ඒකට රත්නපුරෙන් ගේන්න ලේසියි, කෑගල්ලෙන් ගේන්න ලේසියි, හෝමාගම අර පැත්තෙන් අදින්නත් ලේසියි. ඉතින් මහින්ද ජනාධිපතිතුමා ඔය හයිවේ හරි මෙහෙ හදලා තියෙන හින්දා ඒ විදියට තැන් තීරණය කරලා තියෙනවා.
මාධ්‍යවේදියා: නෑ, ඕකේ පොඩ්ඩක් හිතන්න, අනුර දිසානායක මහත්තයා ඉන්නවා නේද? එතුමා ජනප්‍රියයි. අලුත් අය කැමතියි. සෙනග අදින්න ඕන නැහැ. ඒ පලාත්වල ජනතාව ඉන්නවනේ...
විමල් වීරවංශ මහතා : ගිහිල්ලා බලන්නකෝ බස් ටික කොහේ ඩිපෝ වලින්ද ආපුවාද තියෙන්නේ කියලා. අපි ආරාධනා කරනවා මාධ්‍ය ආයතනවලට ඒකට වෙනම කැමරාකරුවෙක් දාන්න.... දාන්න. බස් ටික ඇවිල්ලා තියෙන ඩිපෝ ටික හොයාගන්නකෝ, එතකොට හරි.
මාධ්‍යවේදියා: දැන් නාමල් රාජපක්ෂ මහත්තයා ඇතුලට ගියා. දැන් සමහරු කියන්නේ පවුලේම කට්ටිය යන්න ඉන්නවා, ඇප සහ ඇප පිට තමයි ඉන්න වෙන්නේ. ඊළඟට ඔබතුමාටත් එහෙම වෙයිද?
විමල් වීරවංශ මහතා: මමත්, මගේ ප්‍රකාශයේදී කිව්වේ දැන් මේ කෙරීගෙන යන අමන තකතීරු පාවාදීමේ මෙහෙයුමට එරෙහිව කවුද සිංහල නායකයෝ සියලු දෙනාම මොකක් හෝ චෝදනාවක් වරගන්නලා ව්‍යවස්ථානුකූල ඒකාධිපතියෙක් හැටියට ඒ සියලු දෙනාම සිරගත කිරීම තමයි ආණ්ඩුවේ උවමනාව වී තිබෙන්නේ. ඒකට මමත් අයිති ඇති.
මාධ්‍යවේදියා: 12 වෙනිදා තියෙන රැස්වීමට ඔබතුමා සහභාගි වෙනවාද?
විමල් වීරවංශ මහතා: මට ඔය අත්අඩංගුවට පත්වීමට පෙර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මට කතා කරලා ඉල්ලීමක් කළා. මම ඒ වෙලාවේ කිව්වේ මේ ඒ ගැන මට තනියෙන් තීරණයක් දෙන්න බෑ, අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වෙලා කතා කරලා මම කියන්නම් කියලා. අපේ දේශපාලන මණ්ඩලය තව නොදුරු දිනකදී රැස්වෙනවා. ඒ ගැන අපි එතැනදී කතා කරනවා. ඊට පස්සේ තමයි අපි ඒකට සහභාගි වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ.
මාධ්‍යවේදියා: මහ සෙනගක් එයිද? නොඑයිද?
විමල් වීරවංශ මහතා: කොයිකටද?
මාධ්‍යවේදියා: 12 වෙනිදා? අනුරාධපුරේට?
විමල් වීරවංශ මහතා: එයි නේද? අනුරාධපුරේ ඉන්නවා මං හිතන්නේ අනුරාධපුරේ... කළුතර ඉන්නවා නම් අනුරාධපුරෙත් ඉන්න එපැයි.
මාධ්‍යවේදියා: ඔය දෙක දෙකක්... කියන්න. දෙකක් නෙවෙයිද?
විමල් වීරවංශ මහතා: මෙහෙමනේ, ඒ අයට ඒකේ පිට්ටනියක්වත් නොදී හිටියානේ. දැන් බලන්නකෝ බේරුවල වරාය ළඟ ක්‍රීඩාංගනයට ජනාධිපති එන්නේ. දැන් පොලීසියෙන් නියෝගයක් දීලා තියෙනවා 5:30යි 7:30යි වෙනකම් ධීවර බෝට්ටු වලට වරායට එන්න දෙන්න එපා. ගැඹුරු මුහුදට කරලා තියාගනිල්ලා කියලා, ජනාධිපතිගේ ආරක්ෂාවට. කොහොමද ප්‍රභූ ආරක්ෂාව?
ඕක තමයි තත්ත්වය. අද යනවා වාහන පෝලිමක්.... හැත්තබුරුත්ත පෝලිමේ යන්නේ. අර මුල් මාස හයේ තිබ්බ සිල්පද එකක්වත් දැන් ආරක්ෂා කරන්නේ නැහැ. දැන් ලැජ්ජ බය ගිහිල්ලා තියෙන්නේ කට්ටියේ. ඉතින් ඒ නිසා අද ධීවරයට පහමාරයි හතාමාරයි අතර ධීවරයාට වරායට එන්න බැහැ. බෙරුවල මුහුදේ ඉන්න වෙන්නේ. මාළු ටිකක් තියාගෙන.
කලින් ජනාධිපතිලා ජනතාව පීඩාවට පත් කරමින්, පාරවල් වහගෙන, ප්‍රභූ ආරක්ෂාව ගත්ත හැටි විවේචනය කරපු ජනාධිපති අනුර කුමාර, අද ධීවරයාට තමන්ගේ අස්වැන්න අරන් වරායට එන්න තියෙන අයිතිය පවා අහුරලා, ආරක්ෂාව වෙනුවෙන් පැය ගාණක් මුහුදේ තියන්න නියෝග කරන තත්ත්වයට වැටිලා තියෙනවා.
ඔන්න බලන්න අද ප්‍රභූ ආරක්ෂාවේ තියෙන වෙනස. එතකොට මේ සියල්ලෙන්ම පෙනී යන්නේ මොකක්ද? ජනාධිපතිවරණයට කලින් කියපු කතා, දුන්න පොරොන්දු සියල්ල අද බල්ලට ගිහිල්ලා.
ඉතින් ඒ නිසා ජනතාවට අද හොඳටම තේරෙනවා මේ "වසර දෙකයි රටට සුබයි" කියන එක ජනතාවට නෙවෙයි, ආණ්ඩුවේ ඉන්න යහළුවන්ට, හිතවතුන්ට සහ ඒ අයට කඩේ යන ව්‍යාපාරික පැලැන්තියට විතරයි සුබ වෙලා තියෙන්නේ කියලා. අද රටේ සාමාන්‍ය මිනිහට, ගොවියට, ධීවරයට, සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයාට වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරුව අතිශය අසරණ තත්ත්වයකට පත් වෙන්න.
ඒ නිසා අද මේ පවත්වන රැස්වීම්වලින්, මේ දාන සන්දර්ශනවලින් ජනතාව මුලා කරන්න තවදුරටත් ආණ්ඩුවට පුළුවන්කමක් නෑ. මේ රටේ ජනතාව තමන්ට මුහුණ දෙන්න වෙලා තියෙන ඇත්ත පීඩනය තේරුම් අරගෙන ඉවරයි.
අපේ පක්ෂයක් විදිහට, ජාතික නිදහස් පෙරමුණ විදිහට අපි කියන්නේ, මේ අමන, තකතීරු, ජාතික සම්පත් පාවාදීමේ සහ ඉන්දියානු ගැති, ඇමෙරිකානු ගැති පාලන තන්ත්‍රයට එරෙහිව සියලුම දේශප්‍රේමී බලවේග එකතු විය යුතුයි. ඒ වෙනුවෙන් වන සටන අපි ඉදිරියටත් නොනවත්වාම ගෙනියනවා.
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

