සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිලදී ගන්න රජයේ මුදල් වංචනිකව ලබාගෙන...

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව විභාග වන බාල ඖෂධ නඩුවේදී, 2026 ඔක්තෝබර් 16 වැනිදා විමර්ශන නිලධාරියාගෙන් පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ ප්‍රශ්න කිරීම්වලදී කැබිනට් සංදේශයක ලේඛන, ඖෂධ භාරගැනීමේ ක්‍රියාවලිය, සැපයුම්කරුට ගෙවීම් සඳහා ප්‍රමුඛතාව ලබාදීම සහ විමර්ශනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ කරුණු රැසක් මතු විය. එහිදී ඇතැම් ප්‍රශ්න කිරීම්වලට විත්තියේ නීතිඥවරුන් විරෝධය පළ කිරීමත් සමඟ අධිකරණය තුළ උණුසුම් සංවාදයක්ද ඇති විය.

Oct 22, 2026 - 23:55
 59
සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිලදී ගන්න  රජයේ මුදල් වංචනිකව ලබාගෙන...

සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිලදී ගන්න

රජයේ මුදල් වංචනිකව ලබාගෙන... 

එන්නත් 22,500ක් දිය යුතු තැනකට

3,350ක් වරින් වර දීලා.

ඔහු සැපයුම් ජාලයේ සිටින

සැපයුම්කරුවෙක් නොවෙයි...

විමර්ශන නිලධාරියාගේ අඩුපාඩු හදන

ලක්මිණිට එරෙහිව අසේල හා නයන්ත...

(අධිකරණ වාර්තාකරු)


ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව විභාග වන බාල ඖෂධ නඩුවේදී, 2026 ඔක්තෝබර් 16 වැනිදා විමර්ශන නිලධාරියාගෙන් පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ ප්‍රශ්න කිරීම්වලදී කැබිනට් සංදේශයක ලේඛන, ඖෂධ භාරගැනීමේ ක්‍රියාවලිය, සැපයුම්කරුට ගෙවීම් සඳහා ප්‍රමුඛතාව ලබාදීම සහ විමර්ශනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ කරුණු රැසක් මතු විය. එහිදී ඇතැම් ප්‍රශ්න කිරීම්වලට විත්තියේ නීතිඥවරුන් විරෝධය පළ කිරීමත් සමඟ අධිකරණය තුළ උණුසුම් සංවාදයක්ද ඇති විය.


කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර මහතා ඇතුළු විනිසුරු මඩුල්ල හමුවේ පැවැති මෙම නඩු විභාගයේදී පැමිණිල්ලේ 339 වැනි සාක්ෂිකරු ලෙස විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා සාක්ෂි ලබා දුන්නේය. විත්තියේ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව එදින ඔහුගෙන් වැඩිදුර සාක්ෂි සමාලෝචනය කිරීම සිදු කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසිනි.


කැබිනට් සංදේශයේ ලේඛන, අත්සන් සහ පසුව මතු වූ සටහන්


සාක්ෂි විභාගයේදී එදින මුලින්ම අවධානය යොමු වූයේ 2022 සැප්තැම්බර් 26 වැනිදාට අදාළ කැබිනට් සංදේශය සකස් කිරීමේදී භාවිත කළ ලේඛන වෙතය. එම ලේඛන ලබාගත් ආකාරය, මුල් ලේඛන හා ඡායා පිටපත් අතර වෙනස්කම් තිබුණේද යන්න සහ අමාත්‍යවරයාගේ අත්සන හෝ නිල මුද්‍රාව යොදා තිබූ ආකාරය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසුවාය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “2022 සැප්තැම්බර් 26 වැනි දින කැබිනට් සංදේශය සකස් කිරීමට අදාළ ලේඛන ඔබේ භාරයට ගත් බව ඔබ කිව්වා. ඒවා අධිකරණයට ඉදිරිපත් කළ බවත් කිව්වා.”


සාක්ෂිකරු: “ස්වාමීනී, 2023/12/19 දින එහි ඡායා පිටපත් දහවැනි චූදිතගෙන් ලබා ගැනීමක් සිදු කළා. එහි මුල් ගොනුව 2024/02/14 දින ලබා ගැනීමක් සිදු කළා. ඒ බව මහේස්ත්‍රාත්තුමියට දැනුම් දීමක් වැඩිදුර වාර්තාවක් මගින් සිදු කළා.”


අනතුරුව ලේඛන ලබාගත් ආයතනය පිළිබඳවද ප්‍රශ්න කෙරිණි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “එම ගොනුව ලබාගත් ‘සැප්තැම්බර් 26 දිනැති කැබිනට් මණ්ඩල සංදේශය’ සකස් කිරීමට අදාළව PSRP කාර්යාලයේ තිබූ ගොනුවක් භාර ගැනීමක් සිදුකළ බවත් ඔබ කිව්වා. කැබිනට් අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් ලබාගත්තාද?”


සාක්ෂිකරු: ලේඛන අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් ලබාගැනීමට කටයුතු කළා.. 

අනතුරුව එම ලේඛනවල අත්සන් පිළිබඳව විමසීමේදී සාක්ෂිකරු සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් ලබාගත් ගොනුවේ මුල් ලේඛන තිබූ බවය. අධිකරණයට ඉදිරිපත් කළ සහතික පිටපත්වල ඉංග්‍රීසි පිටපතේ අමාත්‍යවරයාගේ අත්සන තිබූ බවත්, සිංහල සහ දෙමළ පිටපත්වල අමාත්‍යවරයාගේ නිල මුද්‍රාව තිබූ බවත් ඔහු පැවසීය. අදාළ අත්සන පිළිබඳව වැඩිදුර වාර්තා මගින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

මෙහිදී තවත් වැදගත් කරුණක් වූයේ සිංහල මුල් පිටපතේ තිබූ ප්‍රශ්නාර්ථ ලකුණු සහ පැති සටහන්ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “2023/12/19 දින එම ඡායා පිටපත් භාරගන්නා විට එහි ප්‍රශ්නාර්ථ ලකුණු සහ පැති සටහන් තිබුණාද?”

සාක්ෂිකරු: එවැනි සටහන් කිසිවක් ඒවායේ සටහන්ව තිබුණේ නැහැ... 

මෙම ප්‍රශ්න කිරීම්වලින් පැහැදිලි වූයේ කැබිනට් සංදේශයට අදාළ ලේඛන ලබාගත් ආකාරය සහ ඒවායේ තිබූ සටහන් පිළිබඳව විමර්ශනයේදී අවධානය යොමු කර තිබූ බවය. එහෙත් එම ලේඛන සම්බන්ධයෙන් අවසන් නීතිමය නිගමනයක් මෙම සාක්ෂියෙන් පමණක් ලබාගත නොහැකිය.

ඖෂධ භාරගැනීමේදී අනුමැතිය ලබාදිය යුත්තේ කවුද?

නඩුවේ තවත් වැදගත් ප්‍රස්තුතයක් වූයේ වෛද්‍ය සැපයුම් අංශයට ලැබෙන ඖෂධ භාරගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියයි. විමර්ශනයට අනුව අදාළ ඖෂධ භාරගැනීම එක් නිලධාරියකුගේ තනි තීරණයක් මත සිදු නොවන බවත්, විවිධ මට්ටම්වල අනුමැතීන් අවශ්‍ය වූ බවත් සාක්ෂිකරුගෙන් ප්‍රකාශ කෙරිණි.

දර්ශන බණ්ඩාර නමැති නිලධාරියාගේ රාජකාරිය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසුවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “දර්ශන බණ්ඩාරගේ රාජකාරිය සම්බන්ධයෙන් කට උත්තරයක් ගත්තාද?”

සාක්ෂිකරු: ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා....

විමර්ශනයේදී අනාවරණය වූ කරුණු පැහැදිලි කරමින් සාක්ෂිකරු සඳහන් කළේ පළමුවන චූදිත විසින් සෘජුව භාරදෙන දෙයක් දර්ශන බණ්ඩාරට භාරගැනීමට හැකියාවක් නොතිබූ බවය. අදාළ ඖෂධ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් ඒවා භාරගැනීම සිදුකරන බවද ඔහු පැවසීය.

තවද අදාළ ඖෂධ භෞතිකව පරීක්ෂා කිරීම, එම කාර්යය අධීක්ෂණය කිරීම සඳහා මාණ්ඩලික නිලධාරියකු සිටීම සහ භාණ්ඩ භාරදීමේ ඉන්වොයිසියට අදාළ අනුමැතිය ලබාදීම යන කරුණුද විමර්ශනයේදී අනාවරණය වී තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය භාරගැනීමේදී අවශ්‍ය අනුමැතීන් පිළිබඳවද ඇය විමසුවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “මෙහිදී හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් තොග පාලක නිලධාරී සහ සහකාර අධ්‍යක්ෂවරියගේ අනුමැතිය පමණද ලැබී තිබුණේ?”

සාක්ෂිකරු: ඔව්... අධ්‍යක්ෂවරයාගේද අනුමැතිය ලැබී තිබූ බව පැහැදිළි වුණා.

ඉන් අනතුරුව භාණ්ඩ තොගය භාරගැනීමේදී ඉදිරිපත් කළ WOR සහ CAO ලේඛන පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “තොගය භාරගැනීමේදී ඒ සමග ඉදිරිපත් කළ WOR සහ CAO පතට තොග පාලක නිලධාරීවරයාගේ අවධානය යොමු වූ බවක් අනාවරණය වුණාද?” ඒ සම්බන්ධයෙන් තුන්වැනි චූදිත වෙත සහ අධ්‍යක්ෂවරයා වෙත යොමු කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

තුන්වැනි චූදිත විසින් ලේඛන පරීක්ෂා කර නිර්දේශය ලබාදී තිබූ අතර දෙවැනි චූදිත විසින් එය අනුමත කර තිබූ බවද ඔහු පැවසීය. ඉන් අනතුරුව පමණක් තොගය ගබඩාවට ඇතුළත් කර ප්‍රොන්ටෝ පද්ධතියට අදාළ තොරතුරු ඇතුළත් කරන බවද සාක්ෂිකරු පැහැදිලි කළේය.

මෙම සාක්ෂියෙන් මතු වූ මූලික කරුණ වූයේ ඖෂධ භාරගැනීම සඳහා අනුගමනය කළ යුතු නිල ක්‍රියාවලිය සහ එහිදී විවිධ නිලධාරීන්ට පැවරී තිබූ වගකීම්ය.

ගෙවීම්වලට ප්‍රමුඛතාව දුන්නේ ඇයි? මාස දෙකකදී මිලියන 100ක්!

නඩු විභාගයේ වඩාත් අවධානයට ලක්වූ කරුණක් වූයේ රිටොක්සිමැබ් ඖෂධය සැපයූ සමාගමට ගෙවීම් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදීම සම්බන්ධයෙනි. වෙනත් සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය සහ මෙම සැපයුම්කරුට ප්‍රමුඛතාව ලබාදුන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “පොරොත්තු ලේඛනයෙන් පිට ගෙවීම් සිදුකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස කර තිබූ නිර්දේශ පිළිබඳව සොයා බැලුවාද?”

සාක්ෂිකරු: “ඒ පිළිබඳව සොයා බැලීමක් කළා ස්වාමීනී, අනෙකුත් සැපයුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට වැඩිය මෙම තත්ත්වය වෙනස්. රිටොක්සිමැබ් ඖෂධය සඳහා 2022/11/30 ලබාදුන් ප්‍රදානය අනුව 2023/12/07 දින ඖෂධ සැපයීමට නියමිතව තිබුණා. නමුත් අදාළ ඖෂධ සපයා තිබුණේ 2023/05/11 වැනි දින. එම ඖෂධ ලබාදිය යුතු කාලය මාස පහක් පමණ ගතවී තිබූ බව තමයි අනාවරණය වුණේ. සැපයුම්කරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊට පෙර ඖෂධ සපයා තිබූ බවක් අනාවරණය වුණේ නෑ. මීට පෙර ඖෂධ ලබාදී තිබූ ඖෂධ සැපයුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව සඳහන් වුණා.”

සාක්ෂිකරුගේ එම පිළිතුරෙන් පසුව ගෙවීම් ප්‍රමාණය පිළිබඳවද කරුණු මතු විය.

සාක්ෂිකරු: “සැපයුම්කරුට රිටොක්සිමැබ් ඖෂධය සඳහා මාස දෙකක් තුළ මිලියන සීයක් ලබාදී ඇති බවත්, හයවන චූදිතගේ නිර්දේශය අනුව එම කටයුතු සිදුකළ බවත් අනාවරණය වුණා.”

මෙම ප්‍රකාශය මගින් ප්‍රමුඛතාව ලබාදීමේ පදනම, සැපයුම්කරුගේ පෙර සැපයුම් ඉතිහාසය සහ ගෙවීම් සිදුකළ ආකාරය පිළිබඳ ප්‍රශ්න මතු විය. කෙසේ වෙතත්, ප්‍රමුඛතාව ලබාදීමම නීතිවිරෝධී ක්‍රියාවක් බවට මෙයින් පමණක් නිගමනය කළ නොහැකිය. එහි නීත්‍යනුකූලභාවය තීරණය කිරීම සඳහා අදාළ ලේඛන සහ සම්පූර්ණ සාක්ෂි සලකා බැලීම අවශ්‍ය වේ.

 ඔහු සැපයුම් ජාලයේ සිටින සැපයුම්කරුවෙක් නොවෙයි

ප්‍රශ්නගත ඖෂධ සැපයීමේදී පළමුවන චූදිතගේ තත්ත්වය පිළිබඳවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසුවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “පළමුවන චූදිත සැපයුම් ජාලයේ සිටින සැපයුම්කරුවෙක් බවට අනාවරණයක් වුණාද?”

සාක්ෂිකරු: “ස්වාමීනී, පළමුවරට මේ අවස්ථාවේදී තමයි ලියාපදිංචියක් නොමැතිව ඖෂධ සපයා ඇති බව තමයි අනාවරණය වුණේ. ඔහු සැපයුම් ජාලයේ සිටින සැපයුම්කරුවෙකු නොවෙයි.”

මෙම ප්‍රකාශය නඩුවේ වැදගත් ප්‍රස්තුතයක් බවට පත්වූයේ ප්‍රශ්නගත ඖෂධ සැපයූ ආයතනයේ ලියාපදිංචිය සහ එහි සැපයුම් සුදුසුකම් පිළිබඳව විමර්ශනයේදී අවධානය යොමු කර තිබූ බැවිනි.

නඩුවේ චෝදනා සම්බන්ධයෙන් මෙම කරුණේ වැදගත්කම වන්නේ, සැපයුම්කරුට අවශ්‍ය ලියාපදිංචිය සහ සුදුසුකම් තිබුණේද යන්නත්, අදාළ මිලදී ගැනීම සිදුකළේ කුමන පදනමකින්ද යන්නත් සලකා බැලීමට සිදුවීමයි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඒකක 22,500ක් වෙනුවට ලබාදී තිබුණේ කොපමණද?

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ සැපයීමේ ප්‍රමාණය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ ප්‍රශ්න කිරීම්වලදී සැපයුම් කොන්දේසි සහ සැබෑවට ලැබී තිබූ ප්‍රමාණය අතර වෙනස මතු විය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් අනාවරණය වූයේ කුමක්ද?”

සාක්ෂිකරු: 2020 ජනවාරි 23 වැනිදා වන විට ඖෂධ ඒකක 22,500ක් සැපයිය යුතුව තිබූණා...

එහෙත් 2023 මැයි 6 වැනිදා ඒකක 900ක්, ජූලි 18 වැනිදා ඒකක 750ක්, ජූලි 27 වැනිදා ඒකක 750ක්, අගෝස්තු 11 වැනිදා ඒකක 250ක්, අගෝස්තු 25 වැනිදා ඒකක 750ක් සහ සැප්තැම්බර් 6 වැනිදා ඒකක 585ක් වශයෙන්, එම දිනවලට අදාළව එකතුව ඒකක 3,985ක් ලැබී තිබූ බවට වාර්තාවේ සඳහන් සංඛ්‍යා අනුව පෙනී යයි. කෙසේ වෙතත්, සාක්ෂිකරුගේ පිළිතුරේ එම එකතුව ඒකක 3,350ක් ලෙස සඳහන් විය. 

ඉන් අනතුරුව සැපයුම් කොන්දේසි අනුව ඖෂධ එකවර ලබාදිය යුතුද, කුඩා කොටස් වශයෙන් භාරගැනීමට අවසර තිබුණේද යන්න පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “සැපයුම් කොන්දේසියක් මගින් 22,500ක් එකවර ලබාදිය යුතු බවට තෝරාගෙන තිබූ අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒජී ලිමිටඩ් සමාගම කුඩා කොටස්වලින් ඖෂධ සැපයීම සිදුකර තිබෙනවා. අනිත් සැපයුම්කරුවනුත් එසේ කටයුතු කර තිබෙනවාද?”

සාක්ෂිකරු: “ස්වාමීනී, මෙම ඖෂධයේ මාසික අවශ්‍යතාවය 7,500ක් බවට අනාවරණය වුණා. මෙම ඖෂධ කුඩා කොටස්වලට භාරගැනීමක් නොකෙරෙන බවත් අනාවරණය වුණා.”

මෙහිදී නීතිමය සංවාදයක්ද ඇති විය. දෙවැනි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා එම ප්‍රශ්න කිරීමේ විෂය පථය සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.

නීතිඥ අසේල සේරසිංහ මහතා: “ස්වාමීනී, බාධා කිරීමකට නෙමෙයි. නමුත් මෙම කෑලි කෑලි ලබාදෙන එක ගැන කවුරුත් හරස් ප්‍රශ්නවලදී ඇහුවේ නෑ. මේ කරන ප්‍රශ්න කිරීම වැරදියි.”

නීතිඥ නයන්ත විජේසුන්දර මහතා: “ප්‍රමුඛතාවය ගැන ප්‍රශ්න කළා. එහෙත් කොටස් වශයෙන් භාරදීමක් ගැන ප්‍රශ්න කිරීමක් කළේ නෑ.”

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: “ප්‍රමුඛතාවය ගැන ප්‍රශ්න ඇහුවා. එය හරි. එය හරස් ප්‍රශ්නවලදී අනාවරණය කර අහපු කාරණයක්.”

නීතිඥ අසේල සේරසිංහ මහතා: “ස්වාමීනී, ප්‍රමුඛතාවය ගැන ප්‍රශ්න ඇහුවා. කොටස් වශයෙන් භාරදීමක් ගැන ඇහුවේ නෑ. ඒ ගැන කවුරුවත්ම සාක්ෂි දීලා නැහැ.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “හයවන චූදිත වෙනුවෙන් තමයි ඒ ප්‍රශ්නය ඇහුවේ. ප්‍රමුඛතාවය දෙන්නේ අඛණ්ඩ සැපයුම් සේවයක් පවත්වාගෙන යාමට බව. 22,500ක් ලබාදිය යුතු අවස්ථාවක 3,350ක් වරින් වර ලබාදීම ගැන තමයි ඇහුවේ.”

නීතිඥ අසේල සේරසිංහ මහතා: “කොටස් වශයෙන් ඖෂධ භාරදුන් අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ඕන තරම් හරස් ප්‍රශ්න අහන්න පුළුවන්. එවැනි අවස්ථාවන් ඕන තරම් පෙන්වන්නත් පුළුවන්.”

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: “ප්‍රමුඛතාවයට සම්බන්ධ ප්‍රශ්න අහන්න පුළුවන්. හරස් ප්‍රශ්නවලදී ඉදිරිපත් නොකළ දේ අහනවා නම් හරස් ප්‍රශ්නවලට නැවත වරක් ඉඩ දෙනවා.”

මෙම සංවාදය නඩු විභාගයේදී වැදගත් වූයේ ඖෂධ සැපයීමේ ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයට අමතරව, සාක්ෂිකරුවකුගෙන් නැවත ප්‍රශ්න කිරීමේදී නීතිමය සීමා සහ විත්තියට ඇති සාධාරණ අවස්ථාව පිළිබඳ ගැටලුවක්ද මතුවූ බැවිනි.

එම සංවාදයෙන් පසුව නැවත සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, ප්‍රමුඛතාව ලබාදුන් ඖෂධයෙන් මාසික අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තොගයක් සැපයුණේදැයි විමසුවාය.

සාක්ෂිකරු: එවැනි ප්‍රමාණයක් සපයා නොතිබූ බවත්, ඖෂධයේ මාසික අවශ්‍යතාව ඒකක 7,500ක් බවත් ඔහු පැවසීය.

“SPC ආයතනය ප්‍රසම්පාදනයට සම්බන්ධ වුණාද?”

ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සහ එහි නිලධාරීන්ගේ සම්බන්ධය පිළිබඳවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “SPC ආයතනයේ දිනූෂ දසනායක සහ සරත් විජේසිංහගේ ප්‍රකාශ සටහන් කරගැනීමක් ගැන ඇහුවා. මෙහිදී ලංසු කැඳවීමට හෝ ඇගයීමට SPC ආයතනයේ සභාපති සහභාගි වී සිටියාද?”

සාක්ෂිකරු: “නැත ස්වාමීනී.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “HSEPC කමිටුවේ සරත් විජේසිංහ මහතා සාමාජිකයකු සිටින බව ඔබ කිව්වා. එම රාජකාරිය සිදුකිරීමේදී SPC ආයතනය ප්‍රසම්පාදන අස්ථිතිය ලෙස කටයුතු කළාද?”

සාක්ෂිකරු: “නැත ස්වාමීනී.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “එම ප්‍රශ්නගත ප්‍රසම්පාදනයට අදාළ ඖෂධ සම්බන්ධයෙන් එම ඖෂධ භාරගැනීම හෝ මුදල් ගෙවීම SPC ආයතනය මගින් සිදුකර තිබෙනවාද?”

සාක්ෂිකරු: “නැත ස්වාමීනී.”

මෙම ප්‍රශ්න කිරීම්වලින් SPC ආයතනයේ භූමිකාව පිළිබඳ විමර්ශනයේදී අනාවරණය වූ සීමාවන් පැහැදිලි කිරීමට උත්සාහ කළ බව පෙනේ. එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා අත්සන් කළ ලේඛන පිළිබඳවද ප්‍රශ්න කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් අත්සන් කරන ලද නිල ලේඛන මොනවාද කියලා සොයා බැලුවද?”

සාක්ෂිකරු: කමිටුව හරහා ගන්නා තීරණ දැනුම්දීමට අත්සන් යොදන බවත්, එම තීරණ විද්‍යුත් තැපෑලෙන් දැනුම්දීමේදී ඊමේල් සඳහාද ඔහුගේ අත්සන යොදන බවත් අනාවරණය වූ බව සාක්ෂිකරු පැවසීය.

මෙහිදීද විත්තියේ නීතිඥවරයා විරෝධය පළ කළේය.

නීතිඥ අසේල සේරසිංහ මහතා: “ස්වාමීනී, ඊමේල් පිළිබඳව ප්‍රශ්න අහන්න බෑ. මම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇහුවේ නෑ.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “දෙවැනි චූදිත හරස් ප්‍රශ්නවලදී ඇහුවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් අත්සන් කරන ලේඛන නිල ලේඛනද කියලා. ඊමේල් පත නිල ලේඛනයක්ද කියලා තමයි මම අහන්න යන්නේ.”

මෙම සංවාදයෙන්ද මතු වූයේ විමර්ශනයේදී ඉදිරිපත් කරන ලේඛනවල ස්වභාවය සහ ඒවා පිළිබඳ නැවත ප්‍රශ්න කිරීමේ සීමාවන්ය.

 “ඔබට කැමති කැමති ආකාරයට විමර්ශනය කරන්න පුළුවන්ද?”

නඩු විභාගයේ අවසන් අදියරේදී වැඩිම අවධානයක් යොමු වූයේ විමර්ශන නිලධාරියාගේ කාර්යභාරය සහ විමර්ශනයේ සාධාරණත්වය පිළිබඳවය. විත්තියේ හරස් ප්‍රශ්නවලදී ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නැවත ප්‍රශ්න කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “ඔබට චෝදනා කළා ඔබ තෝරාගත් ලේඛන තමයි ඉදිරිපත් කළේ කියලා. ඔබට අවශ්‍යතාවයක් තිබුණද ලේඛන තෝරාගැනීම සිදුකිරීමට? එසේ නැත්නම් සාක්ෂිකරුවන් විසින් දෙන ලේඛනද ඔබ ඉදිරිපත් කළේ?”

සාක්ෂිකරු: සාක්ෂිකරුවන් විසින් ලබාදුන් ලේඛන ඉදිරිපත් කළ බව ඔහු පැවසීය. විමර්ශනයේදී අනාවරණය වූ කරුණු සහ අධිකරණ නියෝග අනුව ලබාදිය යුතු ලේඛන භාරගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව විමර්ශනය අත්තනෝමතිකව සිදුකළේද යන්න පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “ඔබට චෝදනා කළා පුද්ගලයන්ට හිරිහැර වන ආකාරයට, කැමති කැමති ආකාරයට විමර්ශනය කරන බවට. එසේ විමර්ශනයක් කළ හැකිද?”

සාක්ෂිකරු: “එසේ කරන්න බෑ ස්වාමීනී, විමර්ශනයේදී අනාවරණය කරුණු මත තමයි වැඩිදුර විමර්ශනය කළේ. ඒවා අධිකරණයට වාර්තා කළා. අධිකරණ නියෝග මත ලබාදෙන භාණ්ඩ හා ලේඛන භාරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එම නියෝගවලින් පිටත කටයුතු කිරීමේ හැකියාවක් නෑ.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “ඔබට හැකියාවක් තිබෙනවාද සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන සාක්ෂිවලට අර්ථ නිරූපණයක් කිරීමට?”

සාක්ෂිකරු: “එසේ හැකියාවක් නෑ ස්වාමීනී, සාක්ෂිකරුවන් විසින් ලබාදෙන සාක්ෂි මත තමයි විමර්ශනය සිදු කළේ.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “ඔබගේ අර්ථකථනය වැදගත්ද මේ විමර්ශනයට?”

සාක්ෂිකරු: “නැත ස්වාමීනී, සාක්ෂි මඟින් අනාවරණය කරුණු තමයි වැදගත් වන්නේ. ස්වාමීනී, විමර්ශනයේදී අනාවරණය කරගත්තා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ඖෂධ මිලදී ගැනීමට රජයේ මුදල් වංචනිකව ලබාගෙන ඇති බව. රුපියල් 25,000කට වැඩි අගයක් ඇති බව අනාවරණය වුණා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය යටතේ පොදු දේපළ පනතට අදාළව අධිකරණයට කරුණු වාර්තා කළා. එම ලේඛන උගත් මහේස්ත්‍රාත්තුමියගේ අවධානයට යොමු කළා. මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය පරිදි නඩු භාණ්ඩ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළා.”

මෙම පිළිතුරෙන් පසුව විමර්ශනයේ සම්පූර්ණත්වය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම පිළිබඳවද ප්‍රශ්න කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “ලේඛනයක තිබූ මිනිට් සටහනක් කියවා ගැනීමට ඔබට නොහැකි වීම සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමේදී ඔබෙන් ඇහුවා. පූර්ණ විමර්ශනයක් සිදුකර නොමැති බවට ඔබට චෝදනා කළා. එම ලේඛන නීතිපතිවරයා වෙත යොමු කළාද?”

සාක්ෂිකරු: “එසේය ස්වාමීනී, ලේඛන අනුව විමර්ශන කළා. සම්පූර්ණ වශයෙන්ම මෙම විමර්ශනය කිරීමට බාධාවන් ඇති වූයේ නැහැ. ඇතැම් අවස්ථාවලදී පැහැදිලි කරගැනීම සිදු කළා. අවස්ථානුකූලව නීතිපති උපදෙස් ලැබුණා. අංශයේ නිලධාරීන්ගෙන් අවශ්‍ය උපදෙස් සහ සහයෝගයත් ලබාගැනීම සිදුකළා.”

අනතුරුව විමර්ශනයේ ප්‍රගතිය ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වූයේද යන්න පිළිබඳවද ඇය විමසුවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “විමර්ශනයේ ප්‍රගතිය ස්ථානාධිපතිවරයා මගින් සහකාර පොලිස් අධිකාරීවරයා මගින් අධ්‍යක්ෂවරයාට දැනුම්දීමට ඔබ බැඳී සිටිනවාද?”

සාක්ෂිකරු: “එසේය ස්වාමීනී.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “එම කරුණු එම නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වුණාද?”

සාක්ෂිකරු: “එසේය ස්වාමීනී.”

මෙම පිළිතුරු සමඟ විමර්ශන නිලධාරියාගෙන් නැවත ප්‍රශ්න කිරීම අවසන් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.


මෙම නඩුවෙන් විමර්ශනයට ලක්වන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ වෙනුවට වෙනත් ද්‍රව්‍ය අඩංගු කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම සම්බන්ධයෙන් රජයේ මුදල් වංක ලෙස පරිහරණය කිරීම සහ ඊට අදාළ කුමන්ත්‍රණය හා ආධාර අනුබල දීම යන චෝදනාය. නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 13ක් ගොනු කර ඇති අතර, චෝදනාවලට අදාළ මුදල රුපියල් ලක්ෂ 1,444ක් ලෙස සඳහන් වේ.

විත්තිකරුවන් අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ පී.එස්. ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ තවත් අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාද ඇතුළත් වෙති.

නඩුවට අදාළව සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0