15 හැවිරිදි ඉන්දීය සුපිරි තරුව, වයිභව් සූර්යවංශි ලංකාවට එයි!
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ සුවිශේෂීම සහ ලාබාලතම ක්‍රිකට් ආශ්චර්‍යය ලෙස සැලකෙන 15 හැවිරිදි වයිභව් සූර්යවංශි (Vaibhav Suryavanshi) පිළිබඳව මේ වන විට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම දැඩි අවධානයක් යොමුව තිබේ. ඒ, 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී ප්‍රධාන පෙළේ සම්මාන රැසක් තමන් සතු කරගනිමින් තැබූ අදහාගත නොහැකි වාර්තා සමුදාය නිසාය.
IPL වාර්තා සුනු විසුණු කරමින්
ක්‍රිකට් ලොව කැළඹූ
15 හැවිරිදි ඉන්දීය සුපිරි තරුව,
වයිභව් සූර්යවංශි ලංකාවට එයි!
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ සුවිශේෂීම සහ ලාබාලතම ක්‍රිකට් ආශ්චර්‍යය ලෙස සැලකෙන 15 හැවිරිදි වයිභව් සූර්යවංශි (Vaibhav Suryavanshi) පිළිබඳව මේ වන විට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම දැඩි අවධානයක් යොමුව තිබේ. ඒ, 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී ප්‍රධාන පෙළේ සම්මාන රැසක් තමන් සතු කරගනිමින් තැබූ අදහාගත නොහැකි වාර්තා සමුදාය නිසාය.
මෙම සුපිරි ක්‍රීඩකයා ඇතුළු ඉන්දීය 'ඒ' (India A) ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය (Tri-Series) සඳහා ඊයේ (ජූනි 6 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
වයිභව් වෙනුවෙන් BCCI වෙතින් විශේෂ අවසරයක්!
මෙවර ලංකා සංචාරයේදී වයිභව් පිළිබඳව තවත් සුවිශේෂී පුවතක් වාර්තා වේ. 15 හැවිරිදි වියේ පසුවන වයිභව්, ඊයේ දිනයේම ඉන්දීය ජාතික විස්සයි-20 (T20I) සංචිතයට ද ප්‍රථම වතාවට තේරී පත් විය. ඔහු තවමත් බාලවයස්කාරයෙකු බැවින්, වැඩිහිටි ක්‍රීඩකයන් සමඟ ලංකාවේ සංචාරය කරන මෙම කාලය තුළ ඔහුගේ සහයට කණ්ඩායම සමඟ රැඳී සිටීමට ඔහුගේ දෙමාපියන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විශේෂ අවසරයක් ලබා දී ඇත. ඒ අනුව ඔහුගේ පියා ද අද (ජූනි 7) ලංකාවට පැමිණීමට නියමිතය.
2026 IPL තරගාවලියේදී වයිභව් ලැබූ සම්මාන 5
රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායම නියෝජනය කළ වයිභව්, මෙවර IPL තරගාවලියේ ප්‍රධාන සම්මාන 5ක් තමන් සතු කරගත්තේය:
1. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා (Orange Cap) - ලකුණු 766
2. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (MVP)
3. තරගාවලියේ සුපිරි ප්‍රහාරකයා (Super Striker of the Season)
4. තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා (Emerging Player)
5. තරගාවලියේ වැඩිම 6 පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරු (6 පහරවල් 72)
(මීට අමතරව එක් තරගයක වැඩිම 6 පහර සංඛ්‍යාවක් (12ක්) එල්ල කළ පිතිකරු වාර්තාව ද ඔහු සතුය.)
ක්‍රිස් ගේල් සහ යූසුෆ් පතාන් පරදා තැබූ වේගවත්ම ශතක වාර්තා
2025 වසරේදී IPL ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි වයිභව්, 2025 අප්‍රේල් 28 වන දා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 38කදී ලකුණු 101ක් රැස් කරමින් නව වාර්තා 3ක් පිහිටුවීය:
T20 තරගයකදී ශතකයක් රැස් කළ ළාබාලතම පිතිකරු (වයස අවුරුදු 14 දී)
IPL තරගයකදී ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම ශතකය (පන්දු 35)
IPL තරග ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය. (පළමු ස්ථානයේ පන්දු 30කින් ශතකය ලැබූ ක්‍රිස් ගේල් පසුවේ. මීට පෙර පන්දු 37කින් වේගවත්ම ඉන්දීය ශතකය ලබා සිටි යූසුෆ් පතාන් ද වයිභව්ගේ මෙම ඉනිම අගය කර තිබුණි).
එමෙන්ම, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී, සුපිරි පන්දු යවන ෂර්දුල් තාකූර් එවන ලද තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීමට වයිභව් සමත් විය. එහිදී ඔහු පන්දු 20කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් රැස් කළේය.
ළාබාලතම IPL ක්‍රීඩකයාගේ ඉතිහාසය
වයිභව් සිය පළමු IPL තරගය ක්‍රීඩා කරන විට ඔහුගේ වයස “අවුරුදු 14යි දින 23ක්” පමණි. ඔහු එහිදී බිඳ දැමුවේ 2019 වසරේදී RCB කණ්ඩායම වෙනුවෙන් වයස අවුරුදු 16යි දින 154කින් ක්‍රීඩා කළ ප්‍රයාස් රායි බර්මන්ගේ වාර්තාවයි.
ඉඩම විකුණා පුතා ක්‍රිකට් තරුවක් කළ
පියා සහ දිනකට පන්දු 600ක කැපවීම
වයිභව් සූර්යවංශිගේ මෙම සාර්ථකත්වය පිටුපස ඇත්තේ දැඩි කැපවීමක් සහ දුෂ්කර කතාවකි. ඔහුගේ පියා වන සංජීව් සූර්යවංශි ගොවිතැන් කටයුතුවල නිරතවන අයෙකු වන අතර, ඔහු සිය ඉඩම පවා විකුණා සිය පුත්‍රයාව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කර තිබේ.
වයස අවුරුදු 8 දී ඔහුව පුහුණුවීම් සඳහා භාරගත්
පැට්නාහි ක්‍රිකට් පුහුණුකරු මනීෂ් ඕජා පවසන්නේ මෙවැනි කතාවකි:
“අනෙක් පිතිකරුවන් දවසකට පන්දු 50කට මුහුණ දෙනවා නම්, වෛභව් දිනපතාම පුහුණුවීම්වලදී පන්දු 600කට මුහුණ දෙනවා. වයිභාව් වැඩිපුර කාලයක් පුහුණුවීම්වල යෙදෙන නිසා ඔහුගේ පියා කෑම පාර්සල් 10ක් විතර හදාගෙන එනවා. ඒ, පුහුණු කරන කාල සීමාවේදී වයිභව්ට පන්දු යවන්න එන අනෙක් පන්දු යවන්නන්ටත් එක්කයි.”
මීට පෙර 2024 සැප්තැම්බර් මාසයේදී ඉන්දීය U-19 කණ්ඩායම සමඟ ලංකාවට පැමිණ දඹුල්ලේදී පන්දු 58කින් ලකුණු 104ක් ලබා ශ්‍රී ලංකා U-19 කණ්ඩායම ද මවිත කළ වයිභව්, මෙවර ඉන්දීය 'ඒ' කණ්ඩායම සමඟ ජූනි 9 සිට 21 දක්වා දඹුල්ල සහ ගාල්ල පිටිවලදී ක්‍රීඩා කිරීමට නියමිතය. ලාබාලතම සුපිරි තරුවකගේ සුපිරි පිතිහරඹයක් සජීවීව දැකබලා ගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට මෙයින් කදිම අවස්ථාවක් හිමිවනු ඇත.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

