හිරේ ඉන්න දේශපාලනඥයෝ ඔන්න දැන් කියන කතා...

දන්නවද මේ දවස් දවස්වල අපේ දේශපාලන කරළියේ හීනියට කතාබහ වෙන අලුත්ම කතාව. මේ දවස්වල වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ පහුගිය ආණ්ඩුවල සහ විපක්ෂයේ හිටපු දේශපාලනඥයෝ බර ගණනක් ඉන්නවනේ. සමහරු අදටත් මන්ත්‍රීවරු. සමහරු ගිය ආණ්ඩුවල ඇමතිවරු. ඒගොල්ලො යටතේ වැඩ කරපු නිලධාරියොත් රොත්තක්ම ඔතන.

Aug 18, 2026 - 02:13
 83
හිරේ ඉන්න දේශපාලනඥයෝ  ඔන්න දැන් කියන කතා...

හිරේ ඉන්න දේශපාලනඥයෝ

ඔන්න දැන් කියන කතා...

දන්නවද මේ දවස් දවස්වල අපේ දේශපාලන කරළියේ හීනියට කතාබහ වෙන අලුත්ම කතාව.


මේ දවස්වල වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ පහුගිය ආණ්ඩුවල සහ විපක්ෂයේ හිටපු දේශපාලනඥයෝ බර ගණනක් ඉන්නවනේ. සමහරු අදටත් මන්ත්‍රීවරු. සමහරු ගිය ආණ්ඩුවල ඇමතිවරු. ඒගොල්ලො යටතේ වැඩ කරපු නිලධාරියොත් රොත්තක්ම ඔතන.


එච්චරක් විතරක් නෙවෙයිනේ.. සමහර අය දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිකයින්... හැබැයි මේ ඔක්කොටම පොදු ලක්ෂණය තමයි අද වෙනකොට මේගොල්ලෝ ඔක්කොම එක පොදියට ඉන්නේ විපක්ෂයේ. ඒ කිව්වේ මාලිමාවේ ආණ්ඩුවට විරුද්ධ පොදු මතයෙ...


සාමාන්‍යයෙන් ඉතින් කවුරුත් දන්න දෙයක් තියනවනේ... වැලිකඩ බන්ධනාගාරය කොටස් දෙකකින් සමන්විතයි. එක පැත්තක රිමාන්ඩ් සැකකරුවෝ. අනිත් පැත්තෙන් ඉන්නෙ දඩුවම් හිමි වෙච්ච වැරදිකාරයෝ.


ඔන්න බලන්නකෝ දඩුවම් විඳින පැත්තෙ ඉන්න දේශපාලනයේ පට්ටපොරවල් ටික. ඊයේ පෙරදා ඇතුලට ගිය චමින්ද විජේසිරි. එයා බදුල්ලේ බන්ධනාගාරෙට ගියත් පාර්ලිමේන්තු යන පහසුව මත ඔන්න දැන් මෙහෙ ගෙනත් දාලා. නැත්තං ඉතින් හැමදාම බස් එකකින් එයාව මෙහාට ගේන්නයි ගෙනියන්නයි මල වාතෙනේ. අනිත් එක යන වියදම.


ඕකට පිළියමක් වශයෙන් එයා දැන් ඉන්නේ මෙහේ. ඉස්සර එයාගේ විරුද්ධවාදියෝ වෙන මහින්දානන්ද අලුත්ගමගේත් ඔතන. ඊළඟට ඉන්නේ නලින් ප්‍රනාන්දු. ඒ මදිවට සරණ ගුණවර්ධන. ඊට අමතරව ඔන්න නිලධාරියො දෙන්නකුත්... පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු...


විනෝදෙට වගේ ඕන නම් ඕක ඇතුලේ මේ කට්ටියට එකතු වෙලා එකතුවෙලා වොලි බෝල්ටීම් එකක් වුණත් හදන්න පුළුවන් කියලයි යාළුවෙක් කිව්වේ.  මොකද ඔය පූජිතලා හේමසිරිලා හොඳ ක්‍රීඩකයෝ. ඇයි මහින්දානන්ද. royal එකෙත් වොලි බෝල්ටීම් එකේ වොලි බෝල් ගහලා. අර සියඹලාපිටියලා ඩිලාන්ලා මහින්දානන්දල royal එකේ ඒ දවස්වල වොලිවෝල්ටීම් එකක් හැදුවනේ... සරණත් සියනෑ එකට සම්බන්ධයි. චමින්දත් වොලිබෝල් කාරයාලු...


අපි කිව්වේ ආතල් එකට කරනවා නම් ඔන්න හොඳ වැඩක්...


මෙන්න මේ යාළුවො ටික ඔක්කොම ඔතන හින්ද හින්දා දැන් ඉතින් දේශපාලඥයෝ මේගොල්ලන්ව විසිට් කරන්න හරියට යන්න පටන් අරන් ලු...


පහුගිය සතියේ සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි සමගි ජන බලවේගයේ දේශපාලඥයෝ ගණනාවක්ම ඔතනට ගිහිල්ලා. චමින්ද විජේසිරිව බලන්න ඔතෙන්ට ගියාට ඒ අයට එදා චමින්දව විතරක් නෙවෙයි, අනිත් අයවත් හමුවෙලා. ඒ අය එක්කත් කතා කරන්න ඔන්න අවස්ථාවක් උදාවෙලා...


සජබේ අය විතරක් නෙමෙයිනේ. ඔන්න යූඑන්පී එකේ දෙතුන් දෙනෙකුත් මේ විසිට් වලට සම්බන්ධ වෙලා....


සමහරුන්ට මේ ඔක්කොම එක්ක එක පාර කතා කරන්නත් අවස්ථාව උදා වෙලා කියලයි කියන්නේ. ඔන්න අහන්නකෝ ඒ අවස්ථාව භුක්ති විඳලා ආපු ඒගොල්ලෝ කියන කතා. හැබැයි ඒ කවුද කියල නම් ටික නම් අහන්න එපා. මොකද ඒවා කියන්න එපා කියලා ඒ ගොල්ලොම කියනවා....


හිරේ ඉන්න මේ දේශපාලනඥයෝ ඔක්කොගෙම ජනප්‍රිය මාතෘකාව වත් මං දේශපාලනය ලු. අතන මොකද වුනේ මෙතන මොකද වුණේ කියන ඒවලු පිපාසයෙන් වගේ අහනවා කියන්නේ...


හිර ගෙවල් ඇතුළේ ඉන්න කුඩුකාරයන්ට ව්‍යාපාරිකයින්ට තක්කඩියන්ට ඕනතරම් ෆේස්බුක් බලන්න යූටියුබ් යන්න ස්මාර්ට් ෆෝන් ළඟටම ගිහින් දෙන හිත හොඳ නිලධාරියො කොච්චර හිටියත් මේ දේශපාලංඥයින්ට ඉතින් ඒ වගේ චාන්ස් නෑ...


මහින්දානන්ද පිටතින් එන අයත් එක්ක වැඩිපුරම කතා කළා කියලා කියන්නේ දේශපාලන ජීවිතයේදී තමන්ට වෙච්ච අත් වැරදීම් ගැන. ඒ කියන්නේ එයා දැන් ඉන්නේ පසුතැවිල්ලෙන්. ඔව් ඉතින් හිරේ යන හැම කෙනෙක්ගෙම අන්තිමේ ආගම වෙන්නේ පසුතැවීම. ඒක අපි දන්නවනේ..


හැබැයි මහින්දානන්ද නං ඔය අවුරුදු 20 විස්ස ජීවත් වුණොත් දඬුවම ගෙවලා එළියට ඇවිල්ලා අන්තිම මොහොතේ හරි ඒ අත්වැරදීම නිවැරදි කර ගන්නවා කියලා ලු කියන්නේ...


පූජිතත් හේමසිරිත් බොහෝ වෙලාවට සංවේදීව අදහස් ප්‍රකාශ කරපු අයලු. ඕගොල්ලොන්ට ලැබිච්ච දඬුවම් ගැන සමාජයත් බොහොම සංවේදීව ඉන්නේ කියලා ගිය අය ඒගොල්ලන්ගේ හිත හදලා...


චමින්ද විජේසිරි නම් හරියට දුක් වෙලා තියෙන්නේ දරුවෝ තුන්දෙනා ගැන. එයාට ඉන්නේ පුංචි ගෑණු දරුවෝ තුන්දෙනෙක්ලු. ගෙදර ඉන්න හැම දවසකම ඒගොල්ලන්ට කෑම කවනවා කියන්නේ චමින්ද....


මගේ දරුවෝ තුන්දෙනාට හැමදාම ගෙදර හිටියොත් කෑම කවන්නේ මම. මම කෑම කැව්වෙ නැත්තං ඒ තුන්දෙනාම කන්නේ නෑ. ඔහොම කිය කිය චමින්ද පිට අල්ලෙන් ඇස් දෙක පිහිදලා.. .


පහුගිය දවසක මම පාර්ලිමේන්තු යනකොට අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මගේ නෝනවයි දරුවෝ තුන්දෙනාවයි පාර්ලිමේන්තුවට ගෙන්නලා. ඇත්තටම මට ඒක අදහගන්න බැරි වුණා. මම සජිත් මැතිතුමාට ඒ වෙලාවෙම පින් දුන්නා. මාව පාර්ලිමේන්තුවට ගෙන්න ගන්නත් සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු විපක්ෂයේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු පුදුමාකාර ෆයිට් එකක් දීලා තිබුණා. කථානායකත් එක්ක.


මගේ අතිනුත් සජිත්ට වැරදි ගොඩක් සිදුවෙලා තියෙනවා... චමින්දා අන්තිමේ ඔන්න ඔහොමත්කියලා


ඔන්න ඔය වෙලාවෙත් චමින්ද තව කාරණාවක් කියලා... ඒ සරණ ගුණවර්ධන ගැන. පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට මේ දෙන්නා වැඩ කළා කියන්නෙ ණයයි මුගටියයි වගේලු. දැං ඒ අතීතය මතක් කර කර දෙන්නමම හිනා වෙනවලු. හිරේ ඇතුළෙදි මේ දෙන්නා නම් දැන් රට කජු ඇටෙත් දෙකට පලාගෙන කණ ජාතියේ කුළුපගම මිත්‍රයෝ වෙලාලු...


කොටින්ම කියනවා නං චමින්ද හිරේට ආපු වෙලාවේ නිදාගන්න බිමට එලන්න ඔලුව තියන්න ආම්පන්න පවා දීලා තියෙන්නෙ සරණලු...


ඔන්න ඔහොම මහ හිර ගෙදරට ගිහිල්ලා මෙන්න මේ අයත් එක්ක කතා බහකරපු අපේ විපක්ෂයේ දේශපාලනඥයෝ ඊළඟට රිමාන්ඩ් බන්ධනාගාරය පැත්තෙ ගිහිල්ලා අකිලලාගේ සුවදුක් බලන්නත් අමතක කරලා නැහැලු.


අකිල ඔය වෙලාවෙ ඉතාම සංවේදී කාරණාවක් කිව්වලු. අකිල රිමාන්ඩ් කරන්න නියම වෙනකොට අකිලගේ දුව ඉඳලා තියෙන්නේ පහ වසර ශිෂ්‍යත්වයට ලියන්න සූදානම් වෙමින්ලු. ඔන්න ඔය ප්‍රශ්නය දියණියට බලපාලා. ඇය ශිෂ්‍යත්වයට ලියන්න බැහැම කියලා.


අන්තිමේ අකිල ඇයට කොහොම හරි ශිෂ්‍යත්වයට ලියන්න. වෙලාවේ තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම යුතුකම අන්න ඒක කියන පණිවිඩය බිරිඳ අතේ දියණියට යවලා...


අපහසුතා මැද්දෙ වුනත් දියණිය ශිෂ්‍යත්වයට වාඩි කිරීමත් තමන්ට මේ වෙලාවේ හැටියට සතුටට කාරණයක් කියලා අකිල කිව්වලු...


ඔන්න ඕවා තමයි හිර ගෙවල් ඇතුලෙ ඇහෙන කතා. හිර ගෙවල් ඇතුළේ මේ වරප්‍රසාද ලත් පිරිසගේ කතා ඕවා වුනත් ඔයිට වඩාත් සංවේදී තව කොච්චර කතා ඇද්ද කියන්නකෝ... අන්න ඒවා ඉතින් ජනතාව අතරට ගේන්න නම් ඉතින් අපිත් හිරේ යන්න වෙනවා...

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0