බාල ඖෂධ නඩුවේ “බෆර් ස්ටොක්” ප්‍රශ්නය අධිකරණය උණුසුම් කරයි:
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විශේෂ විනිසුරු මඬුල්ල හමුවේ පසුගිය 27 වනදා පැවැති නඩු විභාගය අතරතුර, පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සහ සාක්ෂිකරු අතර ඇති වූ දැඩි ප්‍රශ්න කිරීම් රටාව හේතුවෙන් අධිකරණ ශාලාව තුළ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හට ගත්තේය. එහිදී විත්තියේ නීතිඥවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ සභාපති විනිසුරුවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට විවෘත අධිකරණයේදීම දැඩි ලෙස අවවාද කරනු ලැබීය.
2026 මැයි මස 27 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය
බාල ඖෂධ නඩුවේ “බෆර් ස්ටොක්”
ප්‍රශ්නය අධිකරණය උණුසුම් කරයි:
නිලධාරියා කොටු කරන්න ගිය
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට
විනිසුරු මඬුල්ලෙන් විවෘත අවවාදයක්!
අධිකරණ වාර්තාකරු
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විශේෂ විනිසුරු මඬුල්ල හමුවේ පසුගිය 27 වනදා පැවැති නඩු විභාගය අතරතුර, පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සහ සාක්ෂිකරු අතර ඇති වූ දැඩි ප්‍රශ්න කිරීම් රටාව හේතුවෙන් අධිකරණ ශාලාව තුළ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හට ගත්තේය. එහිදී විත්තියේ නීතිඥවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ සභාපති විනිසුරුවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට විවෘත අධිකරණයේදීම දැඩි ලෙස අවවාද කරනු ලැබීය.
ඊයේ දින නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් හිජාස් අබ්දුල් කාදර් මහතාගෙන් වෛද්‍ය සැපයුම් අංශයේ “ප්‍රොන්ටෝ” (Pronto) පරිගණක පද්ධතිය සහ දත්ත කළමනාකරණය පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකළාය.
උණුසුම් වීමට හේතු වූ ‘බෆර් ස්ටොක්’ වාදය.
නඩු විභාගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් සාක්ෂිකාර තොරතුරු තාක්ෂණ නිලධාරියාගෙන් අතිරික්ත සුරක්ෂිත ඖෂධ තොග (Buffer Stock) පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමඟය. අධිකරණ සභා ගර්භය තුළ දෙපාර්ශවය අතර සිදුවූ සජීවී වාදය මෙසේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය: (සාක්ෂිකරු වෙත හැරෙමින් තදින්) “ඔබෙන් මීට කලිනුත් 'බෆර් ස්ටොක්' (Buffer Stock) ගැන ඇහුවා නේද? මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ?”
සාක්ෂිකරු (IT නිලධාරී): “ඒ ගැන මම මොනවත් දන්නේ නැහැ ස්වාමීනි.”
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: (සාක්ෂිකරුගේ පිළිතුර නොතකා, එම ප්‍රශ්නයම තවදුරටත් දැඩි ස්වරූපයෙන් වෙනත් අයුරකින් නැවතත් විමසා සිටියි...)
විත්තියේ නීතිඥවරයා අසුනෙන් නැගිටියි: “ජීවිතේට මෙහෙම දෙයක් දැකලා නැහැ!”
පැමිණිල්ලේ මෙම ප්‍රශ්න කිරීම් රටාව හමුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා වහා අසුනෙන් නැගී සිටිමින් සිය දැඩි විරෝධය පළ කළේය.
නීතිඥ අමිත ආරියරත්න මහතා: “ස්වාමීනි, මම මේ ප්‍රශ්න ඇසීමේ රටාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි! (නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දෙසට හැරෙමින්) නැවත ප්‍රශ්න ඇසීමේදී ඔහොම අහන්න එපා! මම මගේ මුළු ජීවිතේට උසාවියක මෙහෙම බලහත්කාරී ලෙස ප්‍රශ්න ඇහිල්ලක් දැකලා නැහැ!”
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය: (සිය ස්ථාවරය ආරක්ෂා කරගනිමින්) “ස්වාමීනි, මම නඩු විභාගයට අදාළ සත්‍ය කරුණු පැහැදිලි කරගැනීමටයි මේ උත්සාහ කරන්නේ...”
සභාපති විනිසුරුවරයාගෙන් පැමිණිල්ලට අවවාදයක්
දෙපාර්ශවයේ නීතිඥවරුන් අතර ඇති වූ මෙම උණුසුම් වාද විවාදය මධ්‍යයේ වහා මැදිහත් වූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා, විත්තියේ විරෝධතාවය පිළිගනිමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට මෙසේ අවවාද කළේය.
සභාපති විනිසුරුවරයා: “නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, විත්තියේ නීතිඥවරයාගේ විරෝධතාවයේ සාධාරණත්වයක් තිබෙනවා. සාක්ෂිකරු තමන් ඒ පිළිබඳව නොදන්නා බව පවසා තිබියදී නැවත නැවතත් එම ප්‍රශ්නයම ඇසීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මේ ආකාරයෙන් (සාක්ෂිකරු පීඩනයට පත් කරමින්) ප්‍රශ්න කිරීම් සිදුකරන්න එපා කියලා මම ඔබට අවවාද කරනවා!”
සභාපති විනිසුරුවරයාගේ මෙම දැඩි අවවාදයත් සමඟ අධිකරණ ශාලාව තුළ ටික වේලාවකට දැඩි නිශ්ශබ්දතාවයක් පැවති අතර, ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් පරිගණක පද්ධතියේ සෙවුම් (Search) ක්‍රමවේද පිළිබඳව සාමාන්‍ය ප්‍රශ්න කිහිපයක් අසමින් සාක්ෂි විමසීම ඉදිරියට ගෙන ගියාය.
රටම සසල කළ මූල්‍ය බිඳවැටීම:
ඖෂධ සංස්ථාව බිලියන 40ක් ණයයි; මසකට මිලියන 300ක පොලියක්!
මීළඟ සාක්ෂිකාරිය ලෙස කැඳවනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරී (ආදායම්) ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මියයි. (ඇය මීට පෙර සාක්ෂි දී තිබුණද, ලේඛන භාරදීමේදී සාක්ෂි විධිවිධාන පනත ප්‍රකාරව කටයුතු කර නොතිබීම හේතුවෙන් පෙර සාක්ෂි අවලංගු කර නැවත මුල සිට සාක්ෂි මෙහෙයවීමට විනිසුරු මඬුල්ල නියෝග කර තිබුණි).
ඇයගෙන් විත්තියේ නීතිඥ නයන්ත විජේසේකර මහතා සිදුකළ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ 2022 වසරේ මෙරට පැවති ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ සැපයුම් පද්ධතිය මුළුමනින්ම බිඳවැටීමේ දාරයට පැමිණ තිබූ අන්දම මෙසේ රට හමුවේ අනාවරණය විය.
ඩොලර් හිඟයේ බලපෑම: ඖෂධ ආනයනය කරන සැපයුම්කරුවන්ට ගෙවීමට බැංකුවල පවා ඩොලර් නොතිබූ අතර, එම තත්ත්වය මාස 4-5ක් පුරා දරුණුවට පැවතුණි. 2022 මාර්තු - අප්‍රේල් මාසවලදී ණයවර ලිපි (LC) විවෘත කර ඩොලර් ඉල්ලා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබූ බව ඕ අනාවරණය කළාය.
රුපියල් මිලියන 16,000ක බැංකු අයිරා: 2022 ඔක්තෝබර් වන විට ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙතින් ලබාගෙන තිබූ බැංකු අයිරා ප්‍රමාණය රුපියල් මිලියන 16,000ක් (බිලියන 16ක්) විය.
දැරිය නොහැකි පොලී බර: 2022 අගෝස්තු වන විට මෙම බැංකු අයිරා සඳහා පමණක් ගෙවිය යුතු පොලිය රුපියල් මිලියන 1,668ක් වූ අතර, 2023 මාර්තු වන විට සංස්ථාවට මසකට රුපියල් මිලියන 300ක දැවැන්ත පොලියක් ගෙවීමට සිදුව තිබුණියි ඕ පෙන්වා දුන්නාය.
වැඩිදුර විභාගය එළඹෙන ජුනි මස 01 වැනිදා දක්වා කල් තැබීමට
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව විභාග වේ.
2022 සැප්තැම්බර් 2 සිට 2023 සැප්තැම්බර් 4 අතර කාලය තුළ කොළඹ දී හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) සහ රිටොක්සිමැබ් (Rituximab) සහ යන ඖෂධ ව්‍යාජ ලෙස සකසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් 144,293,357.32 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය සඳහා කුමන්ත්‍රණ කිරීම, එම මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
අයිසොලෙස් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු, ඖෂධ සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් දේවශාන්තිනි සොලමන්ස්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී මරක්කල මානගේ නිරාන් ධනංජය, එම ඒකකයේ තොග පාලක නිලධාරි මහ මදාච්චි වසන්ත කුමාර, එවකට හිටපු සෞඛ්‍ය ලේකම් සීමා හේවගේ ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඖෂධ සැපයුම් ඒකකයේ වෛද්‍ය නිලධාරි බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්, ඖෂධ නියාමන හා සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් රත්නායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරඹෙගෙදර තුසිත සුදර්ශන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන පිරිස පිළිවෙළින් විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
27 වන දින කොළඹ ස්තිර ත්‍රිපුද්ගල මහාධිකරණය
හමුවේ විමසුනු නඩු විභාගය මෙසේය...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් හිජාස් අබ්දුල් කාදර් මහතා සාක්ෂි දීමට පැමිණ සිටි අතර විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම අවසන් වූ බැවින් පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළාය.
ආරම්භ වූ අවස්ථාවේ 9 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතාගේ උපදෙස් මත නීතිඥ චරිතා මධුවන්ති පෙනී සිටියාය.
නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතා දැඩි ලෙස ගිලන්ව සිටින බැවින් තමන් ඔහු වෙනුවෙන් පෙනී සිටින නමුත් විත්තියේ හරස් ප්‍රශ්න නොඅසන බවත් විත්තිය වෙනුවෙන් අසා ඇති ප්‍රශ්න මත රඳා පවතින බවත්ය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 4 වන චූදිත වෙනුවෙන් හරස් ප්‍රශ්න අසන අවස්ථාවේ 10 v 44 ලේඛනය පෙන්වා සිටියා එහි මිලදී ගත් ඒකක පෙන්නුවා. අයිසොලෙස් බයෝ ෆාමා එහි ඇතුලත් වී ඇති බව කීවා. වෛද්‍ය සැපයුම් ඒකකය මේ ලේඛනය හදා ඇති බව කීවා. මෙහි මොඩියුල් එකේ සීල් තබා ඇති අන්දම පෙර සාක්ෂිවල කීවා. මිලදී ගැනීම් ඒකක ...... කියන තැනට නම ඇතුළත් කරන හැටි කීවා. පද්ධති ඇතුළත් නම් ඩ්‍රොප් බොක්ස් එකෙන් ගන්න පුළුවන් බව කිව්වා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ලියාපදිංචි වී නැති සැපයුම්කරුවෙකු පද්ධතියට ඇතුළත් කළ නොහැකිද?
සාක්ෂිකරු ; නොහැකි ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අලුත්ම සැපයුම් කරුවෙකු. ඇතුල් කරන ක්‍රමවේදය කුමක්ද?
සාක්ෂිකරු ; ඔහු අලුත් සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි කර ඉන්පසු ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකට ඇතුළත් කළ යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කාටද අලුත් සැපයුම් කරුවෙකු ලියාපදිංචිය කළ හැක්කේ?
සාක්ෂිකරු ; ඖෂධ සංස්ථාවට හා වෛද්‍ය සැපයුම් අංශයට පුළුවන් සැපයුම්කරුවන් ලැයිස්තුව ගැන මට දැනුමක් නැහැ. කවුද ඉන්නේ? කවුද නැත්තෙ කියා මම දන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අලුත් නමක් නම් ලියාපදිංචිය කරන්නම ඕනද නැත්නම් ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් පෙන්වන්නේ නැද්ද?
සාක්ෂිකරු ; පෙන්වන්නෙ නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ප්‍රොන්ටො පද්ධතියට ඇතුල්විය හැක්කේ කාටද? තත්ත්ව පරීක්ෂාවට පමණ ද ඔවුන්ට ඇතුල් විය හැක්කේ?
සාක්ෂිකරු ; තත්ත්ව පරීක්ෂාවක් කර නුසුදුසු නම් ඉවත් කරලා ඔවුන් “බ්ලොක් කළ” හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට ඉහලින් සහකාර අධ්‍යක්ෂ කෙනෙක් ඉන්න බවත් ඔහු සන්දරප්පෙරුම මහතා බවත් ඔබ කීවා. දෙවැනියා කවුද?
සාක්ෂිකරු ; අපි 6 දෙනෙක් ඉන්නවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වැඩිම පලපුරුද්ද තියෙන්නේ කාටද?
සාක්ෂිකරු ; මට
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට වාර්තා හදන්න බලය දුන්නේ කවුද?
සාක්ෂිකරු ; මට හදන්න කිව්වා. ඒ කාලෙ වාර්තා හදන්න දන්නේ මම විතරයි. දැන් තව කෙනෙක් පුරුදු කරන්න මට කලින් කෙනෙක් හිටියා. මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඔහු දැන් නැහැ. මාරු වෙලා ගියා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයූම් අංශයටත් ඔබ වාර්තා හදලා තියෙනවද?
සාක්ෂිකරු ; ඔව් හදලා තියෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒවාට අත්සන් කරනවද?
සාක්ෂිකරු ; ඉල්ලුවොත් මම හදලා අත්සන් කරලා දෙනවා. නැත්නම් පිටපත යවනවා. අල්ලස් කොමිසම වගේ තැනකට යවන්න නම් සන්දරප්පෙරුම මහතා අත්සන් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔහුට මේ පද්ධතියට ඇතුල් වී කොරි එකක් ලියා ලියා පද්ධතියේ තොරතුරු ලබාගත හැකිද?
සාක්ෂිකරු ; බැහැ මට විතරයි පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 293 වාර්තාවේ ප්‍රොන්ටෝ පද්ධතියෙන් දත්ත ලබාගත් බව ලියල නැහැ කිව්වා.
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ මේක හැදුවේ 2020 සැප්තැම්බර් දත්ත පදනම් කරගෙන. 2023 මැයි දක්වා වෛද්‍ය සැපයුම් ඒකකයට තිබුන පද්ධතිය කුමක්ද?
සාක්ෂිකරු ; ප්‍රොන්ටො පද්ධතිය
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ඊයේ කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවූ ලියුමේ දිනයක් නැහැ කියලා. නමුත් ලැබුණු බවට අත්සන් කළ තැන දිනයක් තියෙනවා. ඒ ඔබේ අත්සනද?
සාක්ෂිකරු ; ඔව්
(එම කරුණ සම්බන්ධව විත්තියේ නීතිඥවරයාගේ විරෝධය මතුවේ.)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පෙන්වූ ලිපියට අත්සන සහිතව දිනයක් දමා තිබෙනවා.
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ සකස් කල යුතු මොනවාදැයි කියලා තියෙනවා.
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඉල්ලූ දේවල්ද හැදුවේ.?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ලිපිය ලබා දුන්නද? ලිපිය සමඟ ප්‍රකාශයකුත් දුන්නද?
සාක්ෂිකරු ; දුන්නා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 294 ලේඛනය පරිගණකයෙන් ජෙනරේට් කළ එකක් බව කීවා. කොරි එකක් ලියා පැ 293 ට මේ වගේ එකක් හැදුවේ නැත්තේ ඇයි. ?
සාක්ෂිකරු ; තීරු ටික නිසා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මොන තීරුද?
සාක්ෂිකරු ; සැපයුම් කරුගේ නම, GRN ප්‍රමාණය, ආදිය ප්‍රොන්ටෝ එකේ තිබුණේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; පැ 293 2,3,4,5 තීරුවලට තොරතුරු ගත්තේ කොහෙන්ද?
සාක්ෂිකරු ; ඒවා ගත්තේ පොරොත්තු ලේඛන බලලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ 182 ක ලැයිස්තුවක් තිබුණද?
සාක්ෂිකරු ; ඔව් ඒ අයිතම වලට අදාලව 2,3,4,5;තීරු මැනුවල් ලයිස්තුවෙනුත් බලා ගත හැකි වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 294 ලේඛනයේ පළමු පිටුවේ තිබෙන්නේ දෛනික තොග ලැයිස්තුව. මාසේ පළමු වැනිදා සිට 30 වැනිදා දක්වා ද තියෙන්නේ?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 7,8 තීරු වලට තොරතුරු ගන්නේ කොහෙන්ද?
සාක්ෂිකරු ; මැනුවෙල් චෙක් කරලා ගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ලැබුණු දිනය ගන්නේ කොහොමද?
සාක්ෂිකරු ; ප්‍රොන්ටෝ පද්ධතියෙන්...
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 සම්පූර්ණයෙන්ම ජෙනරේට්මද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 293 හා පැ 294 ලේඛනවල අත්සන් කාගෙද?
සාක්ෂිකරු ; මගේ ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලන නිලධාරීට පද්ධතියට ඇතුළු විය හැකිද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි, ඔහුට බලන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මිලදී ගැනීම් ඇනවුම බැලිය හැකිද?
සාක්ෂිකරු ; සියලු තොරතුරු බැලිය හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අයට අවශ්‍ය අවස්ථාවල ඔබ ගිහින් උදව් කරනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; award price වලට ඔබට ඇතුළුවිය හැකිද?
සාක්ෂිකරු ; නැහැ. මම ඒක දැක නැහැ ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කිසිම තැනක මිල ගණන් දැක නැද්ද?
සාක්ෂිකරු ; නැත
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; Audit log ගැන ප්‍රශ්න ඇසුවා. ඔබ කිව්වා ඒ මෙම පද්ධතිය ඇතුලෙ තියෙන Active log එක කියලා මේ පද්ධතිය භාවිතා කරන්නන්ට එහි ඇතුල් කළ දත්ත පරීක්ෂා කරන්න හැකියාවක් තිබේද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය; වැරදි දත්ත ඇතුල් වුණොත් නිවැරදි කළ හැකි “වෙරිෆිකේෂන්” ටීම් එකට ඇතුළු විය හැකිද?
සාක්ෂිකරු ; එහෙම එන්න බැහැ. අපි එයාලට කිව්වොත් පමණයි ඔවුන් එන්නේ. එහෙම ලිව්වම එයාලා දිනයක් දෙනවා එන බව කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ හරහාද ඒ අවසර ගන්නේ?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; Audit log එක බැලුවම පද්ධතියේ .... කරලා තිබේදැයි බැලිය හැකිද?
සාක්ෂිකරු ; පෙර තොරතුරු ( history ) බලන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඉදිරිපත් කළ වාර්තාවේ නිවැරදි බව Audit log එකෙන් බලන්න බැරිද?
සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊ විස් සමාගමට බැරිද වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත වලට ඇතුල් වෙන්න?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පොරොත්තු ඇනවුම් වල තොරතුරු ගැන වෛද්‍ය සැපයුම් ඒකකයේ බලන්නේ කවුද?
සාක්ෂිකරු ; තොග පාලන නිලධාරී
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; පැ 293 ලේඛනයේ 2v 28 තීරයේ 6 හි 2022 සැප්තැම්බර් 30 වෙනිදා වන විට ඖෂධ ඒකක 4500ක් තිබිලා තියෙනවා.
සාක්ෂිකරු ; ඔව්.
2022 ඔක්තෝම්බර් 30 වෙද්දි 9111 ක් තිබිලා. මාසෙකට ඕන 7500යි.
සාක්ෂිකරු ; ඔව් නොවැම්බර් අන්තිම වෙද්දි 1500 ක් තිබිලා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 16557 ඉතිරි වෙලා තිබිලා තියෙනවා නේද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; හැම මාසයකම අවසන් දිනයේදී රටේම තියන ප්‍රමාණය පෙන්වා දෙනවද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; buffer stock ගැන ඇහුව නේද?
සාක්ෂිකරු ; ඒ ගැන මම මොනවත් දන්නේ නැහැ.
(විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා එම ප්‍රශ්නය ගැන විරෝධය පළ කරයි)
නීතිඥ ; නැවත ප්‍රශ්න ඇසීමේදී ඔහොම අහන්න එපා. මම ජීවිතේට උසාවියක මෙහෙම ප්‍රශ්න ඇහිල්ලක් දැකලා නැහැ.
මෙහිදී සභාපති විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට අවවාද කළේය.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; සැපයුම්කරුවන් ගන්න පද්ධතියෙන් drop down කරලා විතරද ගන්න පුළුවන්?
සාක්ෂිකරු ; නැහැ, සර්ච් කරන්න පුළුවන්. find කියලා බොත්තමක් තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඕඩර් ලිස්ට් එකේ v අකුර කුමක්ද? කවුද එය ක්‍රියේට් කළේ ?
සාක්ෂිකරු ; ewis ආයතනය. අපේ ආයතනයේ 2022 දී පමණ මගේ අනෙක් නිලධාරියාගේ ඉල්ලීමකට.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ඝණකාධිකාරී (ආදායම්) ඩයනා නිශාන්ති, දේව සුරේන්ද්‍ර මහත්මිය සාක්ෂි දීම සඳහා කැඳවන ලදී.
සාක්ෂිකාරියගෙන් මීට පෙර සාක්ෂි ලබාගෙන තිබුණද ඇය මගින් අධිකරණයට භාරදෙන ලේඛන සාක්ෂි විධි විධාන පනත ප්‍රකාරව ආරම්භ කර නොමැති බැවින් පෙර සාක්ෂිය සම්පූර්ණයෙන් නොසලකා සාක්ෂිකාරියගෙන් නැවත සාක්ෂි ආරම්භ කිරීමට විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ මොන වර්ෂයේද පත්වීම ලැබුවේ.?
සාක්ෂිකරු ; 2000 වසරේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෙනත් ආයතනයකත් සේවය කළාද?
සාක්ෂිකරු ; නැහැ, සංස්ථාවටමයි ආවේ. ආදායම් අංශයටයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊට අදාළ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
සාක්ෂිකරු ; වරලත් ගණකාධිකාරී, වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ඒ සුදුසුකම ලබා ගත්තේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ සංස්ථා ආදායම් අංශය තුළ තවත් අංශ තිබේද?
සාක්ෂිකරු ; නැහැ මම මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ගිණුම් අංශය තුළ ඇති තවත් අංශ මොනවාද?
සාක්ෂිකරු ; ගෙවීම් අංශය, ඔසුසල මෙහෙයුම්, වැටුප් ආදායම් ඇතුළු අංශ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ගෙවීම් අංශයේ ප්‍රධාන කාරණය කුමක්ද?
සාක්ෂිකරු ; ඖෂධ සංස්ථාවේ සියලු ගෙවීම් අංශයෙන් කරන්නේ. චෙක් පත් මගින් ගෙවීම් කරන එක. ගෙවීම් චෙක් පත් මඟින් ණයවර ලිපි සඳහා ගෙවීම් කරනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; මොන ඔපරේෂන් සඳහාද?
සාක්ෂිකරු ; රජයට බෙහෙත් සපයන ක්‍රියාවලිය සහ විවෘත වෙළඳපොළ සම්බන්ධ ක්‍රියාවලිය සඳහා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ සඳහා මුදල් කොයින්ද?
සාක්ෂිකරු ; අයවැයෙන් වෛද්‍ය සැපයුම් සඳහා මුදල් වෙන් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය සෘජුවම මහා භාණ්ඩාගාරයෙන් ඔබට දෙනව
සාක්ෂිකරු ; 2014 ට පෙර සෘජුවම දුන්නා. දීලා රේඛීය අමාත්‍යාංශය දැනුවත් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එක අවස්ථාවක මහා භාණ්ඩාගාරයෙන් ලැබුණ බව කිව්වා නේද?
සාක්ෂිකරු ; මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් නිකුත් කරනවා. මහා භාණ්ඩාගාරයෙන් 2023 දක්වා අපේ ගිණුමට මාසිකව මුදල් දැම්මා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; විවෘත වෙළඳපොළ මෙහෙයුම් සඳහා මුදල් කොයින්ද?
සාක්ෂිකරු ; අපි කිසිම අවස්ථාවක විවෘත වෙළඳපොළ මෙහෙයුම් සඳහා රජයේ මුදල් යොදවන්නේ නැහැ. ඒවාට සංස්ථා ඉපැයීම් යොදවනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැපයුම්කරුවන්ට කරන ගෙවීම් ආරම්භ වෙන්නේ කොහොමද? මම අහන්නේ ආනයන කරන ඒවා නෙමෙයි. චෙක්පත්වලින් කරන දේශීය ගෙවීම්.
සාක්ෂිකරු ; ප්‍රසම්පාදන අංශය විසින් ගෙවීම් කළ හැකි ඒවා කරන්න කියනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ සඳහා ලිපිගොනු සකසන්නේ කොහේද?
සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් අංශයට අපි හරපතක් දෙනවා. ඒක ඉන්වොයිසියක් හා සමානයි. පසුව බෙදා හැරීමේ අංශයට යවනවා. ඒ සමගම බඩු බෙදා හැරලද කියලා තහවුරු කරගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; හර පත් එකතු කිරීමකදී ගෙවීම් අංශයේ රාජකාරිය කුමක්ද?
සාක්ෂිකරු ; අපි ලැබීම් ගිණුම යථාවත් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; හැම මාසයක් අවසානයේම හරපත්වල වටිනාකම ඇතුල් කරනවද?
සාක්ෂිකරු; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; හර පත්වලට ගගෙවීම් ලැබෙන්නේ වසර අවසානයේද?
සාක්ෂිකරු ; නැහැ, වසර පුරාම.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; හරපත්වල සියලු වටිනාකම්වලට අනුව සියල්ල ලැබිලද කියල බලනවද?
සාක්ෂිකරු ; හැම වෙලේම ලැබිය යුතු ශේෂය වැඩියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊට හේතුව කුමක්ද? ඌණතාවක් පෙන්වනවද?
සාක්ෂිකරු ; ඔව් ඒක ඉදිරියට යනවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; යම් වසරක අලුත් සැපයීම් කරන්නත් සිද්ධ වෙනවද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දෙද්දී ලැබීම් ගැන කරුණු කිව්වද?
සාක්ෂිකරු ; ලැබිය යුතු ශේෂය ආදිය කිව්වා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වාර්තාවට ඉදිරි වර්ෂයේ ගේන ශේෂය හදල තියෙනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සංස්ථාව වෛද්‍ය සැපයීම් කරන්නේ ඉල්ලීම්වලටද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අදාළ වර්ෂයේදී වෛද්‍ය සැපයුම් ඒකකය ඉල්ලන ඖෂධ ඔක්කොම දෙනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැපයුම්කරුවන්ට මුදල් ගෙවිය යුතුයිනේ. ඒවා කරන්නේ ඔබ ආයතනයෙන්ද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මිලදී ගන්න මුදල් නැත්නම් මොකද කරන්නේ?
සාක්ෂිකරු ; බැංකු අයිරා පහසුකම් ලබාගන්නවා. එයට රේඛීය අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගතයුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබලා එය දැනුම් දෙන්නේ කාටද?
සාක්ෂිකරු ; අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ හරහා අමාත්‍යවරයාට මුලදී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අයිරා පහසුකම් වැඩිකර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. තීරණය අරන් ඇමතිතුමාට යවනවා. ඒ අනුමැතිය මහා භාණ්ඩාගාරයට යවනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකය ඉල්ලුවම අයිරා පහසුකම් මත හෝ ඔබ එය කරනවා.
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022 වසරේ ආරම්භක ශේෂය වශයෙන් රුපියල් මිලියන 52639ක් තිබිලා. ඒ වසරේ රුපියල් මිලියන 40627ක් සැපයුම් කරලා. එම හරපත් සඳහා රුපියල් මිලියන 41,886ක් ඔබට ලැබී තිබෙනවා.
සාක්ෂිකරු ; මෙහි ණය ගැති මුදල 52639ක් සමුච්චිත අගය දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු අගයකි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ලේඛනයේ යටින් ඇති කොටුවේ සඳහන් අගයන් මොනවාද?
සාක්ෂිකරු ; term loan, (2017-2018 දී ඇති වූ ඩිපෝසිට් මත ඇති වූ එකක්) කැබිනට් මණ්ඩල තීරණයක් මත ණය මුදලක් බවට පත් කළා. එය වාරිකව ලැබුණේ කොටස් ලෙස ගෙවාගෙන ගියා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ලෝක බැංකු ආධාරත් ලැබිලා තිබෙනවා. එයා අඩු කර තිබෙන්නේ ඇයි?
සාක්ෂිකරු ; ලෝක බැංකුවෙන් අපේ සැපයුම්කරුවන්ට ගෙවනවා. ඒ නිසා ඒවාත් ලැබීම් සේ සලකනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022-2023 වසර වලට අදාලව වෛද්‍ය සැපයුම් ඒකකය ඇනවුම්වලට අමතරව සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම් ගැන ගැටලුවක් තිබුණද?
සාක්ෂිකරු ; ගෙවීම් කරන්නේ ලැබෙන මුදල් වලින් දෙසැම්බර් බැංකු අයිරාව වැඩි කරගෙන තිබුණා. ලැබුණු මුදල වැය කළා.
(8 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසේකර හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)
නීතිඥ ; රටේ පැවති අර්බුදය සංස්ථාවට බලපෑවේ කොහොමද?
සාක්ෂිකරු ; ආනයනය කර සපයන සැපයුම්කරුවන්ට ඩොලර් ගෙවිය යුතුයි. බැංකුවල පවා ඩොලර් තිබුනෙ නැහැ.
නීතිඥ ; ඩොලර් හිඟය කොපමණ කල් බලපෑවද?
සාක්ෂිකරු ; මාස හතරක් පහක්. අපි විසඳුම් සොයා ගත්තා. අපි ණයවර ලිපි ලියා ඩොලර් ඉල්ලා ගත්තා.
නීතිඥ ; කොයි කාලෙද?
සාක්ෂිකරු ; 2022 මාර්තු අප්‍රේල් වගේ
නීතිඥ ; එවකට සභාපතිවරයා සරත් ලියනගේ මහතාද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔහු කොපමණ කල් වැඩ කළාද?
සාක්ෂිකරු ; අවුරුද්දක් පමණ
නීතිඥ ; ඒ කාලයේ ඔහු හා වැඩ කරද්දී රාජකාරිමය ලිපි ගනුදෙනු වුනාද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔබට ඔහුගේ අත්සන දැකල පුරුදු ඇති.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; 2022 ඔක්තෝබර් 04 දිනැති ලිපියක් තිබෙනවා. එයා අත්සන් කර ඇත්තේ කවුද?
සාක්ෂිකරු ; එවකට සභාපති, සරත් ලියනගේ මහතා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ඇමතිවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට යැවූ එකක්.
නීතිඥ ; ඔය ලියුමේ පළමු ඡේදයේ සඳහන් එය ලියන්නේ සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අපහසුතා ගැන දැනුවත් කිරීමට බව.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; එහි තුන්වන ඡේදයේ සඳහන් ඒ අවස්ථාව වන විට සංස්ථාව මිලියන 16000ක බැංකු අයිරා මත සිටි බව.
සාක්ෂිකරු ; ඔව් ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබා ගත් බැංකු අයිරා දෙකක එකතුව.
නීතිඥ ; 2022 අගෝස්තු වන විට බැංකු අයිරාවේ පොලිය පමණක් රුපියල් මිලියන 1668 ක් ගෙවිය යුතු බව සඳහන්.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; මෙය ආයතනයට දැරිය නොහැකි වියදමක්.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; මහා භාණ්ඩාගාරයෙන් නිසි පරිදි ප්‍රතිපාදන නොලැබෙන බව කියැවෙනවා. එය පැහැදිලි කරන්න.
සාක්ෂිකරු ; අපට රුපියල් මිලියන 45000 දීලා තිබුණා. එයට අදාලව මුදල් ලැබිය යුතු නමුත් මේ ලියුම ලියද්දිත් ලැබිලා නැහැ. මුදල් ලබා ගැනීමේ අරමුණින් ලියුම යැව්වා.
නීතිඥ ; 2022 ඔක්තෝම්බර් 04 වන විටත් එම වසරට ගෙවිය යුතු මුදල ලැබිලා නැහැ.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; රුපියල අවප්‍රමාණය වීමක් ගැන ද ගැන ද එහි සඳහන් වෙන්නේ? ඔබ ඒ ගැන දන්නවද?
සාක්ෂිකරු ; මෙය විදේශ මුදල් හිඟයක් ලෙස අපි දැක්කේ.
නීතිඥ ; මේ ලියුමේ 5 වන ඡේදය විස්තර කරන්න.
සාක්ෂිකරු ; මෙහි තියෙන්නේ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ප්‍රමාණයයි.
නීතිඥ ; සංස්ථාවට තවදුරටත් smooth supply කළ නොහැකියි කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; බාධාවකින් තොරව සැපයුමක් කළ නොහැකි බවයි.
නීතිඥ ; දැන් ඔබ ඉදිරියේ 2023 මාර්තු 16 දින එවකට සභාපතිවරයාගේ අත්සනින් යැවූ ලිපියක් තිබෙනවා. SPC ශීර්ෂය යටතේ තියෙන්නේ. 8v7 ලෙස සඳහන් ලිපියේ දකුණුපස ඉහළ කෙළවරේ අංකයක් තිබෙනවද?
සාක්ෂිකරු ; ගොනු ගත කළ අංකය.
නීතිඥ ; මූල්‍ය ප්‍රතිපාදන හා මූල්‍යමය තත්ත්වය ගැන ද එහි හෙළි කරන්නේ?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; 2022 දෙසැම්බර් 11 වන විට වෛද්‍ය සැපයුම් ඒකකය මගින් සංස්ථාවට රුපියල් බිලියන 51.3 ක හිඟයක් තිබෙනවා.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔය ලියුමේ දෙවන ඡේදයේ තිබෙන කරුණු අධිකරණයට කෙටියෙන් පැහැදිලි කරන්න.
සාක්ෂිකරු ; මේ පවතින තත්ත්වය හේතුවෙන් ආයතනය ලොස් වෙන්න පුළුවන්. බැංකුවලට රුපියල් බිලියන 40ක් ණයයි. බිලියනයක් කියන්නේ ලක්ෂ දස දහසක්. 2023මාර්තු වෙද්දි සෑම මසක මිලියන 300 ක් පොලී ලෙස ගෙවන්න වුණා. මේ නිසා ආයතනය පාඩු ලබන්න ඉඩ තිබෙනවා.
නීතිඥ ; ණයවර ලිපි ගන්න සංස්ථාවට බැරිකමක් තිබුණද?
සාක්ෂිකරු ; බැරිකමක් නැහැ
(දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ හරස් ප්‍රශ්න ඇසීම අරඹයි)
නීතිඥ ; ඉන්දියානු ණය ආධාර ක්‍රමවේදය දන්නවද?
සාක්ෂිකරු ; ඉන්දියාවේ සිට ආනයනය කරන සැපයුම්කරුවන්ට එම ණය ආධාර ක්‍රමය ඔස්සේ කෙලින්ම ගෙවීම් සිදුවෙයි.
නීතිඥ; දේශීය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙවනවද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ප්‍රතිපාදන නැති වුනොත් මොකද කරන්නේ?
සාක්ෂිකරු ; මුදල් නැති වුනොත් අමාත්‍යාංශය දැනුවත් කරනවා මුදල් ලබා දෙන්න කියලා. එවිට අමාත්‍යාංශය මැදිහත්ව මුදල් ලබා දෙනවා.
නීතිඥ ; මුදල් ගැන ඉහළම තනතුර අමාත්‍යාංශ ලේකම්. සැපයුම්කරුවන්ට ගෙවන්න ඔහුට මැදිහත් විය හැකිද?
සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී. භාණ්ඩාගාරයෙන් ඉල්ලන්න ලේකම්ට මැදිහත් විය හැකියි.
නීතිඥ ; ගෙවන්නේ නැතිව ඉන්න වෙලා තියෙනවද?
සාක්ෂිකරු ; එහෙම කරලා නැහැ.
නඩු විභාගය ජුනි පළමු වැනිදා යළි පැවැත්වීමට
විනිසුරු මඩුල්ල නියම කළහ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

