අත්‍යාවශ්‍ය ඖෂධ 125ක් රෝහල්වල නෑ...

මහරගම අපේක්ෂා රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, ඇතුළු රට පුරා ලොකු කඩා සියළු රෝහල්වලත්, වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුව, ජාතික ඖෂධ සංචිතය ඇතුළු සියලු ගබඩාවලත් මේ වන විට අත්‍යවශ්‍ය හා අධි සංවේදී ඖෂධ වර්ග 125ක් මුළුමනින්ම තොග අවසන් වී, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්ව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි...

Oct 6, 2026 - 17:27
 77
අත්‍යාවශ්‍ය ඖෂධ 125ක් රෝහල්වල නෑ...

අත්‍යාවශ්‍ය ඖෂධ


125ක් රෝහල්වල නෑ...


වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේත්

තොග අවසන්


රෝහල් බලධාරීන් වෙබ් අඩවිතුළ

පරිත්‍යාගශීලීන්ගේ සහය පතයි...


සෞඛ්‍ය බලධාරීන් 

වෙබ් අඩවි මකයි...

හිග ඖෂධ ලැයිස්තු පහතින්  දැක්වේ...

මහරගම අපේක්ෂා රෝහල, බොරැල්ල රිජ්වේ  ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, ඇතුළු රට පුරා ලොකු කඩා සියළු රෝහල්වලත්, වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුව, ජාතික ඖෂධ සංචිතය ඇතුළු සියලු ගබඩාවලත් මේ වන විට  අත්‍යවශ්‍ය හා අධි සංවේදී ඖෂධ වර්ග 125ක් මුළුමනින්ම තොග අවසන් වී, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්ව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි...

මෙම තත්ත්වය මත ඇතැම් ප්‍රධාන පෙළේ සංවේදී රෝහල් තම රෝහල්වලට අයත් වෙබ් අඩවි මාර්ගයෙන් පරිත්‍යාගශීලීන්ගෙන් අත්‍යවශ්‍ය ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ හා රසායනාගාර උපකරණ ඉල්ලා දැන්වීම් හා ප්‍රවෘත්ති පළ කර ඇතැයි වාර්තා වී තිබේ.

විශේෂයෙන්ම පසුගිය දිනවල කොළඹ අපේක්ෂා රෝහල මෙන්ම බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලද තම වෙබ් අඩවි මගින්  මෙසේ පරිත්‍යාගශීලීන්ගෙන් අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය වෛද්‍ය උපකරණ, රසායනාගාර උපකරණ පරිත්‍යාග කරන්නැයි ඉල්ලා ඇත. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල එසේ පළ කර තිබූ වෙබ් අඩවි දැන්වීමක, අත්‍යවශ්‍ය ඖෂධ 43ක්, ශල්‍ය වෛද්‍ය උපකරණ 61ක් හා රසායනාගාර ද්‍රව්‍ය 25ක් පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇත. එම ඉල්ලීම උපුටා දක්වමින් සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (05) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වී රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ් අඩවිය තාවකාලිකව මකා දමා ඇතැයිද වාර්තා වී තිබේ.

ඒ අයුරින්ම කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක් ඉදිරිපිට දැන්වීම් පුවරුවේ යම්කිසි වෛද්‍යවරයෙකු විසින් 06 වනදා උදෑසන, එහි ශල්‍යකර්ම කටයුතු කිරීමේදී අත්‍යාවශ්‍යව ඇති ඖෂධ හා උපකරණ නොමැති බව දන්වමින් අලවා තිබූ දැන්වීමක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම දැන්වීම මෙසේය...          

     

ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වන අත්‍යාවශ්‍ය හා සංවේදී ඖෂධ ඉදිරියටත් මාස තුනක කාලයක් සඳහා තොග පවත්වා ගත යුතු බවට වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් පැවරුණු වගකීමක් ඇතත් දැන් වසරක පමණ කාලයක පටන්  එසේ තොග පවත්වා ගැනීම ක්‍රමක්‍රමයෙන් අසීරු අර්බුදයක් බවට වර්ධනය වී ගියබව සෞඛ්‍ය සැපයුම් දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි... 

ඊට හේතුව එම ඖෂධ වර්ග හා උපකරණ හිඟයකින් තොරව පවත්වාගෙන යන්නට ඇනවුම් කිරීමට බලය ඇති නිලධාරීන් සුවිශේෂී හේතූන් මත ඇනවුම් කිරීමේ වගකීම බාර නොගැනීම බව වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි. 


මේ වන විට  අත්‍යවශ්‍ය ඖෂධ 243 කින් 125ක් නැත්තටම නැති වී යනතුරු යළි ඇනවුම් කළේ නැති බව පවසන බලධාරීන් පෙන්වා දෙන්නේ තව නොබෝ දිනකින් ඉතිරි ඖෂධ කාණ්ඩ වලටද මෙම ඉරණම අත්වීමට ඉඩ පැවතීම වැළකිය නොහාකි බවයි...

අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟවන්නට නොදී ඇනවුන් නොකරන්නේ මන්දැයි, බලධාරීන් මෙසේ වගකීම් විරහිතව කටයුතු කර ඇත්තේ මන්දැයි කියා මාධ්‍ය විමසන විට ලංකාවේ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයකු තම නම හෙළි නොකරන්නයි ඉල්ලමින් කියා සිටියේ  පහුගිය කාලයේ මෙසේ හිඟයකින් තොරව තොග සපයා ගනිමින් කටයුතු කළ  සෞඛ්‍ය බලධාරීන්ට මුහුණ පෑමට සිදුවූ නඩු හබ හා පරීක්ෂණ කටයුතු හේතුවෙන් කිසිදු සංකීර්ණ වෛද්‍ය උපකරණයක් හෝ ඖෂධ තොගයක් ඇනවුම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගන්නා බවයි..

එවන් බාරදූර වගකිවයුතු කර්තව්‍යයන් ඉටුකරන විශේෂඥ වෛද්‍යවරුන්ට හා ඖෂධ විශේෂඥයන්ට රජයන් ඔවුන් කරන සේවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් රැකවරණයක් සැලසිය යුතු වුවත්, යම් යම් අවස්ථාවල  නඩු කටයුතුදී ඔවුන් රාජකාරි මට්ටමින් අපහසුතාවන්ට ලක්වන බව පෙන්වා දුන් වෛද්‍යරයා කීවේ මෙම තත්ත්වය මත කිසිදු බලධාරියෙක් හෝ විශේෂඥයෙක් සංවේදී බෙහෙත් වර්ග මේ රටට ගෙන්වීමට හෝ ආනයනය කිරීමට තම අනුමැතිය හෝ අත්සන ලබා නොදෙන බවයි...

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙවන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හිඟය නිසා විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඇතුළුව පිළිකා රෝග වලට ප්‍රතිකාර කරන රෝහල් වල විශේෂඥ වෛද්‍යවරු හා බලධාරීන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව සෞඛ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි...

ඇතැම් රෝහල් හා රෝහල් බලධාරීන් පරිත්‍යාගශීලීන්ගෙන් යම් යම් ඖෂධ ඉල්ලන්නට අන්තර්ජාල පහසුකම් භාවිතා කරමින් පියවර ගෙන ඇතත් එහිදී ජාතික ඖෂධ නියාමන අ්ධිකාරිය (NMRA) විසින් අනුමත කරන ලද ඖෂධ සපයන්නට කාරුණික වන්නේ යැයි පැවසීමෙන්ම බලධාරීන් මේ සම්බන්ධයෙන් කොයිතරම් දුරට පරිස්සම් වන්නට  වග බලාගෙන ඇද්දයි රෝහල් බලධාරීන් පෙන්වා දෙයි...

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය එන්න එන්නම මේ ආකාරයෙන් බරපතල අර්බුදයක් කරා ගමන් කරමින් තිබුණත් උද්දච්ච ඇමතිවරු හා  ඇතැම් නිලධාරීන් තම ආඩම්බරකම් හා අනුවණකම් පෙන්නමින් තවමත් වහසි බස් දොඩවමින් පසුවන බව වෛද්‍ය වෘත්තිකයින් පවසයි. එහෙත් ඒ වන විට රෝහල්වල තත්ත්වය හා පිළිකා රෝගීන් වැනි ප්‍රතිජීවක ඖෂධ වර්ග අත්‍යවශ්‍ය බරපතල රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බවද එම වෛද්‍යවරු මාධ්‍යවලට පවසයි.

වර්තමානයේ විශේෂඥ වෛද්‍යවරුන් ඖෂධ ආනයන කටයුතුවලට මැදිහත් වීමේදී විශේෂඥ ඥානය සපයමින් කරන සේවය ගැන වැඩිදුරටත් විස්තර කරමින් එක් විශේෂඥ වෛද්‍යවරයෙක්, තම රහස්‍යභාවය ආරක්ෂා කරන්නැයි පවසමින් වැඩිදුරටත් අප හමුවේ මෙසේ වර්තමානයේ තම වෘත්තීයේ ඇති අවදානම් හා කණගාටුදායක තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළේය... 

“කවුරු පිළිගත්තත් නැතත් වෛද්‍යවරු කියල කියන්නේ රටකට ජාතික සම්පතක්. ඒගොල්ලෝ ඉගෙනගන්නේ අපේ රට වගේ රටවල්වල මහජන මුදල් වලින්. එහෙම කැප කිරීම් කරල ඉගෙනගෙන ඇවිල්ල නැවත සේවය කරන්නෙත් මහජනතාවට. ඒගොල්ලො කිසි කෙනෙක් වැරදි වැඩක්වත් හොර වැඩවත් කරන්න වෘත්තීය බලපෑමක් සහිතව එන අය නෙවෙයි. වෛද්‍යවරුන්ට හොරකම් කරන්න ඕන නෑ. ඒගොල්ලෝ පමණට උපයාගෙන හොඳින් සතුටින් ජීවත් වන්න ඉගෙනගෙන තියෙනවා.

හැබැයි ඒගොල්ලොන්ට යම් යම් ආයතන මගින් ශිෂ්‍යත්ව, යම් යම් විදේශ සංචාර, ප්‍රතිලාභ ලබා දෙන බව ඇත්ත. ඒත් ඒ ඇතැම් වෛද්‍යවරුන්ට විතරයි. හැමෝටම නෙවෙයි.  ඒ හැරුණාම රෝගීන්ගේ ජීවිත බිල්ලට තබාගෙන වැරදි වැඩ කරන්න වෛද්‍යවරු පෙළඹෙන්නේ නෑ. ඒ උණත් පහුගිය කාලයේ වෛද්‍යවරයාට වෘත්තීමය වශයෙන් තිබෙන වටිනාකම අඩුකරන සහ නොසලකා හරින තත්ත්වයේ වැඩ රාජ්‍ය අනග්‍රහයෙන් පවා සිද්ධ වුණා...

අපි දැක්කා තමන් නොකළ වැරදිවලට සමහර වෛද්‍යවරු උසාවි ගානේ රස්තියාදු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අවංකව සේවය කරපු කිසිදු වරදක් නොකරපු වෛද්‍යවරු පවා සමහර අවස්ථාවල අනුන් කළ වැරදිවලට අසාමාන්‍ය වන්දි ගෙවනවා. ඒ වගේ අනාරක්ෂිත තත්ත්වයක් යටතේ මම නම් හිතන්නෑ වෛද්‍යවරුන් කවුරුවත් මින් පස්සේ ඖෂධ ආනයනය වගේ කටයුතුවලදී වගකීම් ගන්න පෙළඹෙයි කියලා. 

අනික මේක තනි කෙනෙක්ගෙ වගකීමක් නෙමෙයි සාමූහිකව වග කියන වැඩක්.  මේ ක්ෂේත්‍රයේ වෛද්‍ය උපකරණ හා ඖෂධ ඇනුවුම් කිරීමේ දී තනි තනිව තීන්දු ගන්න කාටවත් බෑ. කමිටු තියනවා. ඒක තේරුම්ගත යුතුයි.  විශේෂඥ වෛද්‍යවරයාට හා ඒ පිළිබඳ විශේෂඥයන්ට ආරක්ෂාවක් නිසි පරිදි සැලසෙන තෙක් මං හිතන්නේ වෛද්‍යවරු ඔය අවදානම් සහගත වැඩවලට මීට පස්සේ අත ගහයි කියලා..”

නර්මදා ආශිර්වාදිනී ගම්ලත්.

පහත සඳහන් රූප සටහන්වල පළමු තීරුවේ ඖෂධ කාණ්ඩයේ අංකයත්, දෙවන තීරුවේ ඖෂධ නාමයත්, තුන්වන තීරුවේ වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ ඇති ඖෂධ ඒකක සංඛ්‍යාවත්, හතරවන තීරුවේ අනෙකුත් රෝහල්වල ඇති ඖෂධ තොගයේ එකතුවත් අවසාන තීරුවේ ජාතික පද්ධතිය තුළ ඇති ඖෂධ ප්‍රමාණයත් සඳහන් කර ඇත... 

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0