අපිි මාක්ස්වාදියෝ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ අංශාධිපති මහාචාර්ය අරවින්ද සමරනායක අපේ පවුලේ හිතවතකු වූයේ දේශපාලනය නිසාය. මගේ සැමියා වන නිරන්ජන් බණ්ඩාරනායක ඔහු යටතේ දේශපාලන විද්‍යාව හැදෑරූ ගෝලයකු වූවත්, මහාචාර්ය සමරනායක අපේ ගෙදර ආව ගියේ ගුරු ගෝල සම්බන්ධය නිසා නොව, නිරන්ජන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකු වූ “සිරි විමලසූරියගේ” පුද්ගලික ලේකම්වරයා වූ නිසාය.

Mar 7, 2026 - 09:27
 61
අපිි මාක්ස්වාදියෝ...


අපිි මාක්ස්වාදියෝ...

ශ්‍යාමලී රත්නායක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ අංශාධිපති මහාචාර්ය අරවින්ද සමරනායක අපේ පවුලේ හිතවතකු වූයේ දේශපාලනය නිසාය. මගේ සැමියා වන නිරන්ජන් බණ්ඩාරනායක ඔහු යටතේ දේශපාලන විද්‍යාව හැදෑරූ ගෝලයකු වූවත්, මහාචාර්ය සමරනායක අපේ ගෙදර ආව ගියේ ගුරු ගෝල සම්බන්ධය නිසා නොව, නිරන්ජන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකු වූ “සිරි විමලසූරියගේ” පුද්ගලික ලේකම්වරයා වූ නිසාය.


අමාත්‍ය සිරි විමලසූරිය රටේ ආණ්ඩු බලය හොබවන එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ උප නායකයා නිසා එම පක්‍ෂයේම දේශපාලන න්‍යායාචාර්යවරයකු ලෙස කටයුතු කළ මහාචාර්ය සමරනායක පක්‍ෂයේ වැඩකටයුතුවලට කොළඹ පැමිණි සෑම දිනකම රාත්‍රී නවාතැන් ගන්නට පැමිණියේ අප නිවසටය.


මේ නිසා නිරන්ජන්ගේත් මහාචාර්ය සමරනායකගේත් ගුරු ගෝල සම්බන්ධතාවය ඊට එහාටත් වර්ධනය වී ළඟම මිතුරන් දෙදෙනකු අතර සම්බන්ධයක් හා සමානව පැවතිණි.


මහාචාර්ය සමරනායක කොළඹ පැමිණ පක්‍ෂයේ රැස්වීම් සාකච්ඡා හා සමිති සමාගම්වල වැඩකටයුතු ඉවර වී අතිශයින් වෙහෙසව අපේ ගෙදර එන්නට අනිත් හේතුව වූයේ නිරන්ජන්ගේත් මගේත් අඩුවක් නැති ආගන්තුක සත්කාරයයි. ඒ සත්කාරය තුළ මහාචාර්ය සමරනායකට වෙනමම කාමරයක් වෙනමම ඇඳක් වෙනමම සරමක් වෙනමම තුවායක් පමණක් නොව වෙනම බුරුසුවක් රේසරයක් පවා අප නිවසේ සුරැකිව වෙන්කර තිබිණි.


ඒ සියල්ලටම වඩා සමරනායක ප්‍රිය කළේ හැන්දෑවට ඇඟපත සෝදාගෙන නිවසේ සුව පහසු ආලින්දයට පැමිණි විට නිරන්ජන් සූදානම් කර තබන මධුවිත හා රසමසවුළු භුක්ති විඳිමින් දොඩමලූ වන්නටය.


නිරන්ජන් මධුවිතක් කටක අහලකවත් නොතියන අමධ්‍යපයෙකු වුවත් සිය ගුරුවරයාට මෙන්ම පක්‍ෂයේ න්‍යායාචාර්යවරයාට උපරිමයෙන් සලකන්නට ඉස්තරම් “රට බීම වර්ග” හා ඉස්තරම් “බයිට්” වර්ග ගෙනෙන්නට ලෝභ නැත... එවිට අපගේ මුළුතැන්ගේ අරක්කැමියා වන “ජේසුදාසන්”ටද විවේකයක් නැත. තෝර මාළු පෙති බදින්නට, ඉස්සන් තෙල්දමන්නට, දැල්ලන් ඩෙවල් දමන්නට, බිත්තර ඔම්ලට් දමන්නට ජේසුදාසන්ට අණ දෙන්නේ මා වත් නිරන්ජන්වත් නොව, මහාචාර්ය සමරනායකය.


මහාචාර්යවරයා යමක් කී සැණින් ඉතා උනන්දුවෙන් විනාඩි කිහිපයකින් සුවඳ හමන උණු උණු රස මසවුළු තසිමක් සාලයේ ටීපෝව මත තබන හැම මොහොතකම ජේසුගේ වීදුරුවට ද “විස්කි ඩ‍්‍රෑමයක්” දමන්නට තරම් අප මහාචාර්යවරයා කාරුණිකය...


‘‘ෂාහ්.. පංකාදු පහයි මාළු බැදුම. අයිෂේ... ජේසු සහෝදරයා... ගන්නවා තමුසෙගේ වීදුරුව... දාගන්නවා තව ඩ‍්‍රෑම් එකක්... මේවා විස්කි... ඈ. දන්නවානේ අපි මාක්ස්වාදියෝනේ...’’ කියමින් ජේසු විස්කි බෝතලය අල්ලන්නට පෙර තමන්ම ඉදිරිපත්ව වීදුරුවේ අඩිය තෙමෙන්නට විස්කි වඩියක් වත් කිරීම සමරනායකගේ සාමාන්‍ය සිරිතයි.


රටේ තිබෙන අන්ත දක්ෂිණාංශික, වෙළෙඳපොළ ආර්ථිකය පිළිගන්නා පක්‍ෂයක න්‍යායාචාර්යවරයකු වුවත් මධුවිතක් තොලගා භාවයන් සියුම් වූ පසු “මාක්ස්වාදියකු” වන කලාව ලෝකෙන්ම දන්නේ මහාචාර්ය සමරනායක පමණක් යැයි මට සිතෙයි. දුප්පතුන්, දුක් විඳින මිනිසුන්, වැඩ කරන මිනිසුන් සමඟ එකට කෑම බීම ගැනීම්, ඔවුන් එක සමානයන් ලෙස සමානාත්මතාවයෙන් සැලකීම් හා විශ්ව සාධාරණ සහෝදරකම් මහාචාර්ය සමරනායකට ආරූඪ වන්නේ මධුවිතත් සමඟය. මධුවිතෙන් සන්තර්පනය වී හොඳ නින්දකට වැටී පසුදා ඇහැඇරී වතුර නා පිරිසිදු වූ පසු නැවතත් අර පරණ පුරුදු මහාචාර්ය අරවින්ද සමරනායක නම් සාඩම්බර මිනිසා මතුව එයි...


ඒ මහාචාර්ය සමරනායකගේ හැටිය. සමරනායක එහෙමය. කවුරුත් ඔහු ගැන මොනවා කීවත් නිරන්ජන්ට නම් සමරනායක තරම් උගතකු බුද්ධිමතෙකු මහා ප‍්‍රාඥයකු දාර්ශනිකයකු තවත් නැති තරම්ය. ගුරු ගෞරවය ඉහ මුදුනින්ම පිළිගන්නා නිරන්ජන්  ඕනෑම සභාවක  ඕනෑම තැනක  ඕනෑම විටෙක තම ගුරුවරුන්ට දණ ගසා වඳින්නට තරම් දේශපාලන විඤ්ඤානයෙන් අගතැන්පත්ය...
මා මහාචාර්ය සමරනායක ගැන මේ තරම් විස්තරයක් කළේ ඔහුගේ ඊළඟ පරිච්ඡේදය තේරුම් ගැනීමට නම් ඔහුගේ චරිත ස්වභාවය හා ඇවතුම් පැවතුම් ගැන හොඳ දැනුමක් කෙනකුට අවශ්‍ය නිසාය. ඔහු තේරුම් ගත හැකි වන්නේ එවිටය.


නෙරන්ජනුත් මමත් අපගේ රියැදුරු තැන වන “පොඩිමහත්තයාත්” පසුගිය සති අන්තයේ හිටි හැටියේම කතරගම ගියේ නිරන්ජන්ගේ ස්වාමියා වන සිරි විමලසූරිය අමාත්‍යවරයාගේ දේශපාලන කටයුත්තකටය. ඒ සඳහා දින තුනක් මිඩංගු කළ අපි ආපසු කොළඹ එන්නට පටන් ගත්තේ සඳුදා හවස් වරුවේය...


අපි හම්බන්තොට හරියෙන් පැමිණෙන විට නෙරන්ජන්ගේ දුරකථනයට ඇමතුමක් පැමිණියේය. ඇමතුම මහාචාර්ය අරවින්ද සමරනායකගේ බව, නෙරන්ජන් එකත්පස්ව ඉඳ උත්තර දෙන්නට සූදානම් වන ආකාරයෙන්ම මට වැටහී ගියේය.


‘‘සර්... මම මේ කතරගම ඇවිත් ඉන්නේ සර්... ඔව් සර්... ඔව් සර්... දැන් මේ එන ගමන් සර්... අයියෝ... හරි වැඬේ සර්... අපි තවම එනවනේ සර්...  ඕ කේ..  ඕ කේ හරි සර්... මම කෝල් එකක් දෙන්නම් සර්... දැන්ම දැන්ම...’’ නෙරන්ජන් දුරකථනය විසන්ධි කර මා දෙස බැලූවේය.


‘‘මොකද කරන්නේ... ප්‍රොෆෙසර් සමරනායක ඇවිල්ලා... ඔෆීස් එකේ වැඩ ඉවරවෙලා ගෙදර එන්න අහනවා.’’
‘‘ඉතින් සර්ට වෙනදා වගේ ගෙදරට යන්න කියන්න... ජේසුට කතා කරල කියන්න කාමරය හදල දීල සර්ට උවමනා දේවල් හදල දෙන්න කියලා. ජේසුට ඊළඟට උයන්න කියන්න අපටත් එක්ක... සර් ඇගපත සෝදාගෙන සාලෙට එනකොට ජේසු උවමනා දේවල් හදල දෙයි. එතකොට අපිත් කොළඹට කිට්ටුකරල ඉදියිනේ...’’


‘‘හරි... එහෙම කරමු...’’ කී නිරන්ජන් වහාම මහාචාර්යවරයාට ඇමතුමක් ගත්තේය.


‘‘සර්... අපි තව පැය 3 කින් කොළඹට එනවා. සර් කලබල වෙන්න එපා. සර් පුරදු විදියටම බත්තරමුල්ලේ ගෙදරට යන්න. ජේසුදාසන් ඉන්නවා. එයා සර්ට උවමනා දේවල් පිළියෙළ කරල දේවි. සර් දැන් ඔහොමම ගෙදරට යන්න...’’


මහාචාර්යවරයාට එසේ කී නෙරන්ජන් ඊළඟට ගෙදරට ඇමතුමක් ගත්තේය. ගෙදරින් කතා කළේ ජේසුදාසන්ය.


‘‘ජේසු... තව ටිකකින් අපේ ගෙදරට අපේ සර් ඒවි. ඉස්සෙල්ලම සර්ට කාමරය හදල දෙන්න. සර්ගේ සරම බැනියම තුවාය බාත් රූම් එකේ තියන්න. සර් බාත් රූම් ගියාම ඉක්මනට “බයිට්” එකක් දෙකක් හදන්න. මස් මාළු ෆි‍රිජ් එකේ උඩ කෑල්ලේ ඇති. ඊළඟට මගේ කාමරයේ මේසෙ පිටිපස්සේ බීම පෙට්ටි දෙකක් ඇති. එතන විස්කි බෝතල් දෙකක් තියෙන්නේ. එකක් අරගෙන ගිහින් සාලේ ටීපෝ එක උඩ තියලා වෙනදා වගේ හදල දෙන්න... සර් බාත්රූම් එකෙන් එන කොට ඔක්කොම කරල තියලා අපි ඔක්කොටම ?ට කන්න ෆ‍්‍රයිඞ් රයිස් එකක් හදන්න... තේරුණා නේද අප්පුට... උදව්වට එහා ගෙදර මුර උන්නැහේ ඉන්නවා නම් ටිකක් කතාකර ගන්න...’’


‘‘මොකටද මුර උන්නැහේට එන්න කිව්වේ. දැන් සර් තනියටත් එක්ක මිනිහව හවුල්කර ගනීවි බොන්න. ඊට පස්සේ මොන ජල්ලියක් අල්ලයිද දන්නේ නැහැ.’’ මම කීවෙමි.


‘‘නැහැ... මුර උන්නැහේ බොන්නේ නැහැ. ප‍්‍රශ්නේ තියෙන්නේ සර්... ”අපි මාක්ස්වාදියෝනේ” කිය කිය ජේසුදාසන්ට  ඕනවට වඩා බොන්න දුන්නොත් උයන එක පැත්තක දාල ඌත් බි බී ඉඳියි... අපට ගිහින් කන්න වෙන්නේ දත්මිටි තමයි...’’


‘‘කමක් නෑ... අපි ඉක්මනට කොළඹට යනවනේ...’’


අපේ රියදුරු පොඩි මහත්තයා දැන් වාහනය එළවන්නේ ඔහු සාමාන්‍යයෙන් එළවනවාට වඩා හුඟක් වැඩි වේගයකිනි. මේ වේගය දිගටම පැවතුන හොත් තව පැයක් යන විට කොළඹට යාගත හැකි බව නෙරන්ජන් කීවේය.


කාලය ගෙවී ගියේය. අපේ වාහනය හංවැල්ල පසුකරමින් ඉදිරියට ඇදෙමින් තිබිණි. ඒ මොහොතේ නෙරන්ජන්ගේ දුරකථනයට මහාචාර්ය සමරනායකගෙන් නැවත ඇමතුමක් පැමිණියේය...


‘‘ඇයි සර් මොකක්ද ප‍්‍රශ්නය... සර්ට ගැහුවා... වෙන්න බෑ... මොනවා... මිනිහ එහෙම කළාද... දැන් කෝ මිනිහා... කාමරය ඇතුළේ... දොරත් වහගෙන... හරි සර්... පැය භාගයක් යන්න කලින් අපි කොළඹ... ඔව් සර්... එළවන්නම්. නෑ... නෑ... සර් වටිනවා සර්... සර් වටිනවා... හරි... මම ඔක්කොම බලාගන්නම්...’’


නෙරන්ජන් දුරකථනය විසන්ධි කර ඔලූවේ අත ගසා ගත්තේය. 


‘‘මේ මනුස්සයා අර ජේසුදාසන් එක්ක ගහගෙනද කොහෙද.... දැන් අඬ අඬ ඉන්නවා ජේසු ගැහුවා කියලා.’’


‘‘මම හිතුවා... සහෝදරය කිය කියා උන්ව සැටියට අරන් බොන්න දෙනවනේ මාක්ස්වාදය ඔළුවට ගහලා. ඔහොම වෙලා මදි එයාට. දැන් ජේසු කොහේද...?’’


‘‘කාමරයට වෙලා දෙර වහගෙන ඉන්නවලූ...’’


‘‘මොනවා... එහෙනම් උයලත් නැතුව ඇති... හරි වැඬේ තමයි අපිට උනේ...’’මම කීවෙමි.


‘‘සර් අහනවා... නෙරන්ජන්... තමුසෙට ඌද ලොකු මං ද ලොකු. ඌ මගේ ලේ හෙල්ලූවා. එහෙම එකෙක් මගේ ගෝලයෙක්ගේ ගෙදර තියාගන්න බෑ. අදම ඌව ගෙදර එලවන්න  ඕන කියලා...’’


‘‘ඉතින් ඔයා හා කිව්වද...?’’


‘‘ඔව් ඉතින්... වෙන මොනව කරන්නද.. කමක් නැහැ. ගිහින් බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා...’’


අපි තවත් විනාඩි 20 කින් පමණ නිවසට ළඟා උනෙමු. අප යන විට මහාචාර්ය සමරනායක එළියේ දොර පඩිය උඩ වාඩි වී විස්කි බෝතලයත් ළඟ තබාගෙන බොමින් සිටියේය... බයිට් පිගන් තැන් තැන් වලය. මහාචාර්ය සමරනායකගේ නලලේ යන්තම් සීරීම් තුවාලයක සලකුණ පෙනෙයි. ඉන් යාන්තමට ලේ බින්දුවක් වෑහුණු සලකුණු පෙනෙන්නට විය.


නෙරන්ජන් වාහනයෙන් බැසගත් ගමන් මහාචාර්ය සමරනායකට දණ ගසා වැන්දේය.


‘‘සර් මට සමාවෙන්න. මොනව හරි ප‍්‍රශ්නයක් වුණා නම් මම වෙනුවෙන් සමාව දෙන්න...’’


‘‘නෙරන්ජන්... අරූ මගේ ලේ හෙල්ලූවා... මම මේක හෙට උදේ නායකතුමාටත් කියනවා. ඌ කවුද මට ගහන්න. මම කවුද කියල ඌ දන්නේ නෑ...’’සර් ගුගුරයි.


‘‘සර්... ඌ නූගත් අහිංසක දෙමළ මිනිහෙක්නේ සර්. අපේ ගෙදර උයන මිනිහා. උගෙන් උයවගන්න වැඬේ කරගන්නේ නැතුව සර් මොකටද ඌත් එක්ක හරි හරියට වාඩිවෙලා බොන්න ගියේ...’’


‘‘තමුසෙටත් නෙරන්ජන් මුල අමතකයි. තමුසේ අද ඔතන ඉන්නේ කවුරු නිසාද. කවුද තමුසෙව රෙකමන්ඞ් කළේ. තමුසෙට ලොකු ඌ ද මාවද... අදම තීරණයක් ගන්නවා. දැන් මේ ගෙදරින් ඌව එලෙව්වේ නැත්නම් මං එක මොහොතක් මේ වහල යට ඉන්නේ නෑ... ඔව්... මම දැන් යනවා පාරට බැහැලා. මට පුළුවන් ගහක් යට වුණත් නිදාගන්න. අපි මාක්ස්වාදියෝනේ... අපි කාටද බය...’’


‘‘සර් කොහේවත් යන්න  ඕන නැහැ. මම දැන්ම මිනිහව මේ ගෙදරින් යවන්නම්. හරි සර්... මට ප‍්‍රශ්නය ඉවර කරන්න විනාඩි 10 ක් දෙන්න...’’


නෙරන්ජන් එසේ කියා ගේ ඇතුළේ ජේසු සිටින කාමරයට එන විට මම ජේසුගෙන් සම්පූර්ණ විස්තරය අසාගෙන සිටියෙමි. ජේසුගේ වරදක් නැත. ජේසු වෙනදාටත් වඩා පදම වැඩිවෙන්න මත්පැන් බී ඇති බවක් පෙනේ.


‘‘බලන්න නෙරන්ජන්. සර් මේ මිනිහට කිව්වලූ දෙන්න එක්ක බොමු... බීල ඉවරවෙලා උයමු කියලා... ඊට පස්සේ මේ මෝඩයත් එතන වාඩිවෙලා හරි හරියට බයිට් කකා බීලා.’’ මම එසේ කියන විට ජේසුදාසන් නෙරන්ජන්ගේ කකුල් දෙක බදාගෙන අඬන්නට පටන් ගත්තේය...


මම ඒ මහත්තියාට ගැහුවේ නෑ මාතියා. ඒ මාතියා තමයි මට්ට ගැව්වා. මම දන්නේ නැති දේවල් මගෙන් ආනවා. දන්නේ නේ කිව්වාම මට බනිනවා. මට ගානවා ස ඕදරයා ස ඕදරයා කිය කියා බනිනවා... බෙරිම තැන තමයි මම ආවා... මට යන්න එපා කියලත් ගාන්න හදනකොට තමයි මාතියා වෙටුනා...’’


‘‘හරි... හරි... තමුසෙ දැන් නැගිටිනවා. ඉක්මනට බඩු ටික ලෑස්ති කරන් දැන් ගෙදර යනවා.’’ 


නෙරන්ජන් එසේ කියන විට ඔහු තව තවත් වේගයෙන් අඬන්න පටන් ගත්තේය... නෙරන්ජන් පර්ස් එක එළියට ගෙන ඉන් දාහේ කොළ 10 ක් රැගෙන ජේසු අත තැබුවේය.


‘‘ජේසු... මේ වෙලාවේ මට මේ උදව්ව කරන්න. දැන් මේකත් අරන් ගෙදර යන්න ලෑස්ති වෙන්න... ප්‍රොෆෙසර් මහත්තයාට ප‍්‍රශ්නය අමතක වුණාම මම එන්නම් ආපහු එක්ක එන්න... දැන් හොඳ මනුස්සයා වගේ ෂර්ට් එකක් දාගෙන ඇඳුම් ටිකත් අරන් යන්න පිටකොටුවට...’’


‘‘පොඩි මහත්තයා... මෙන්න මේ ජේසුව කොටුව බස් හෝල්ට් එකට ගිහින් හැටන් බස් එකකට නග්ලලාම එන්න. එන ගමන් අපි හතරදෙනාට කනන්න බිත්තර ආප්පයි කට්ට සම්බලූයි ටිකක් අරන් එන්න...’’
ජේසුදාසන් මහත් අකමැත්තෙන් බෑගයත් රැගෙන මටත් නෙරන්ජන්ටත් වැඳ අවසර ගෙන අප ජීප් රියේ පිටිපස අසුණින් වාඩි වූයේය... පොඩි මහත්තයා රථය පණගන්වාගෙන ඔහු රැගෙන ගියේය...


‘‘අපරාදේ... කටට රසට කෑම ටික හදන කිසි කරදරයක් නැති මනුස්සයා...’’ මම ලොකු සුසුමක් හෙළමින් කීවෙමි...


‘‘මොනව කරන්නද... ඔක්කොටම මම මුහුණ දෙන්න එපායැ...’’ නෙරන්ජන් කීවේය.
‘‘වෙල්ඩන් රන්ජන්... අන්න එහෙම තමයි කෙළින් වැඩ කරන හොඳ මාක්ස්වාදී මිනිස්සු... තීන්දු ගන්න  ඕන හරියට ස්ටාලින් වගේ. වැනි වැනි ඉඳල බෑ... වැරැද්දක් කළා නම් කවුරු හරි... ඒකට දඬුවම් දෙන්න  ඕන... ඒකයි මාක්ස්වාදීන්ගේ සිරිත... අපි මාක්ස්වාදියෝනේ නෙරන්ජන්...’’


ප්‍රොෆෙසර් සමරනායකගේ මාක්සාවාදී පම්පෝරිය කියමින් ඔහු තව තවත් දොඩමළු වෙද්දී මේසය මත වූ වතුර වීදුරුවත් රැගෙන මම හිමිහිට තරප්පු පෙළ දිගේ උඩු මහලට නැග්ගේ ටිකක් ඇහැපියා ගන්නට හිතාගෙනය...

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0