බදු පැනවීමට පෙරදින රහසින් විවෘත කළ LC 380 ක මහා බදු මංකොල්ලය මෙන්න!

වත්මන් රජය විසින් වාහන ආනයනය සඳහා පැනවීමට තීරණය කර තිබූ 50%ක විශේෂ අධිභාර (Surcharge) බද්ද පිළිබඳ රහසිගත තොරතුරු, බද්ද ක්‍රියාත්මක කිරීමට පෙරදිනම රජයේ ඉහළ පෙළින් තෝරාගත් ගජමිතුරු ව්‍යාපාරිකයන් වෙත කාන්දු කර (ඔත්තු දී) රුපියල් බිලියන 10කට වඩා අධික රාජ්‍ය බදු ආදායමක් මංකොල්ලකෑමට ඉඩ සලසා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සෘජු චෝදනාවක් එල්ල කරයි.

May 24, 2026 - 14:41
 115
බදු පැනවීමට පෙරදින රහසින් විවෘත කළ LC 380 ක  මහා බදු මංකොල්ලය මෙන්න!

බදු පැනවීමට පෙරදින 

රහසින් විවෘත කළ LC 380 ක 

මහා බදු මංකොල්ලය මෙන්න!  


50%ක වාහන අධිභාරයෙන්

ධම්මික පෙරේරාගේ හේලීස් සමාගම ඇතුළු ගජමිතුරන්ට

බිලියන 10ක අයුතු ලාභයක්... 


විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක්...

 දේශපාලන වාර්තාකරු


ත්මන් රජය විසින් වාහන ආනයනය සඳහා පැනවීමට තීරණය කර තිබූ 50%ක විශේෂ අධිභාර (Surcharge) බද්ද පිළිබඳ රහසිගත තොරතුරු, බද්ද ක්‍රියාත්මක කිරීමට පෙරදිනම රජයේ ඉහළ පෙළින් තෝරාගත් ගජමිතුරු ව්‍යාපාරිකයන් වෙත කාන්දු කර (ඔත්තු දී) රුපියල් බිලියන 10කට වඩා අධික රාජ්‍ය බදු ආදායමක් මංකොල්ලකෑමට ඉඩ සලසා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සෘජු චෝදනාවක් එල්ල කරයි.

ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම මහා පරිමාණ බදු වංචාවේ ප්‍රධානතම සහ වැඩිම වාසිය ලබාගෙන ඇත්තේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් ‘හේලීස් මොබිලිටි’ (Hayleys Mobility) සමාගම ඇතුළු චෞර ව්‍යාපාරික වළල්ලක් විසින් බවයි.

පැය 24ක "බදු ඔත්තුවේ" ක්‍රියාවලිය

විමල් වීරවංශ මහතා කරුණු සහිතව අනාවරණය කළ පරිදි, රජය විසින් වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට තීරණය කර තිබුණේ මැයි මස 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදිය. එහෙත්, මෙම බදු පැනවීමේ තොරතුර මැයි මස 15 වැනිදා (බද්ද පැනවීමට පෙරදින) රජයේ අනුදැනුම මත ව්‍යාපාරික ගජමිතුරන් අතට පත් වී තිබේ.

එම රහසිගත තොරතුර (ඔත්තුව) ලැබුණු සැණින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ව්‍යාපාරිකයන්, මැයි 15 වැනිදා එකම දිනයක් තුළ පමණක් බැංකු හරහා ණයවර ලිපි (LC) 380ක් විවෘත කිරීමට කටයුතු කර ඇත. මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්ම පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇති පරිදි, මැයි 15 වැනිදා පමණක් විවෘත කර ඇති මෙම ණයවර ලිපි ප්‍රමාණය වෙනුවෙන් මෙරටින් ඩොලර් මිලියන 30කට වඩා අධික මුදලක් එළියට ගොස් තිබේ.

නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ දත්ත මුසාවක්?

මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ මෙම ණයවර ලිපි 380 මඟින් ලංකාවට ආනයනය කරන්නේ වාහන 1782ක් පමණක් බවයි. එහෙත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ දත්ත උපුටා දක්වමින් විමල් වීරවංශ මහතා එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය එකක් බව පෙන්වා දුන්නේය.

"සාමාන්‍ය වාහන ආනයනකරුවෙකු ණයවර ලිපියක් (LC) විවෘත කළහොත්, එමඟින් ගෙන්විය හැක්කේ වාහන එකක්, දෙකක් හෝ උපරිම වුවහොත් වාහන 10ක් පමණි. එහෙත් මහා පරිමාණ වාහන නියෝජිත සමාගම්වලට (Agents) එම සීමාවන් අදාළ නොවේ. ඔවුන්ට එකම ණයවර ලිපියක් භාවිත කරමින් වාහන 100, 200, 500, 1000 හෝ ඊටත් වඩා වැඩි වාහන සංඛ්‍යාවක් වුවද එකවර ඇණවුම් කිරීමේ නෛතික හැකියාව පවතී. එබැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන වාහන සංඛ්‍යාවට වඩා දස ගුණයක වාහන ප්‍රමාණයක් මෙම LC හරහා මෙරටට ගලා ඒමට නියමිතය," යැයි වීරවංශ මහතා පැහැදිලි කළේය.

වසර දෙකක බදු සහන මංකොල්ලය

මෙහි ඇති වඩාත්ම භයානක තත්ත්වය වන්නේ මෙම ණයවර ලිපිවල වළංගු කාලසීමාවයි. සාමාන්‍ය වාහන ආනයනකරුවෙකුගේ ණයවර ලිපියක වළංගු කාලය මාස 3ක් වුවද, මහා පරිමාණ ප්‍රධාන වාහන නියෝජිත සමාගම් සතු ණයවර ලිපිවල වළංගු කාලය වසර එකහමාරක් හෝ වසර දෙකක් වැනි දිගු කාලයක් දක්වා විහිදේ.

මේ හේතුවෙන්, මැයි 15 වැනිදා (බද්දට පෙරදින) විවෘත කරන ලද එකම ණයවර ලිපියක් භාවිත කරමින්, අදාළ ප්‍රධාන ව්‍යාපාරික සමාගම්වලට ඉදිරි වසර එකහමාරක් හෝ දෙකක් යන තෙක්ම අඛණ්ඩව වාහන ආනයනය කිරීමට අවස්ථාව ලැබී ඇත. එලෙස ඉදිරි වසර දෙක තුළ ඔවුන් ගෙන්වන කිසිදු වාහනයකට රජය අලුතින් පැනවූ 50%ක අධිභාර බද්ද අදාළ වන්නේ නැත. ඔවුන් එම බද්දෙන් මුළුමනින්ම නිදහස් වේ. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පවා නොදන්නා තරම් සුවිශාල වාහන තොගයක් ඉදිරියේදී බදු රහිතව මෙරටට පැමිණෙන්නේ මේ අනුවය.

ධම්මික පෙරේරා සහ "හේලීස් මොබිලිටි" භූමිකාව

මෙම මහා පරිමාණ බදු වංචාවෙන් වැඩිම ලාභයක් උපයාගත් ව්‍යාපාරිකයා කවුදැයි සෘජුවම අනාවරණය කළ විමල් වීරවංශ මහතා, මෙලෙස බද්ද පැනවීමට පෙරදින වැඩිම ණයවර ලිපි (LC) ප්‍රමාණයක් විවෘත කර ඇත්තේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් "හේලීස් මොබිලිටි" (Hayleys Mobility) ආයතනය බව ප්‍රකාශ කළේය.

"මේ ගජමිතුරු චෞර රැලට, හේලීස් මොබිලිටි ආයතනය ඇතුළු පිරිසට ගහන්න නියමිත අධිභාරය ගැන කලින්ම ඔත්තුව දුන්නේ කවුද? ඒ ඔත්තුව ලබා දුන්නාට පාලකයින් ලබාගත් කප්පම කීයද? ඒ කප්පම වගේද මෙයින් රටට අහිමි වී ගිය බදු ආදායම? රුපියල් බිලියන 10කට වඩා වැඩි රාජ්‍ය ධනයක් මේ හරහා රටට අහිමි කර තිබෙනවා," යැයි වීරවංශ මහතා ප්‍රශ්න කර සිටියේය.

 "මෙන්න පුනරුදය!" - සාමාන්‍ය වැසියාට TIN; ගජමිතුරන්ට LC

රජයේ මෙම ද්විත්ව ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කළ හිටපු මන්ත්‍රීවරයා, රටේ හෙට උපදින දරුවාට සහ අවුරුදු 18 පිරෙන තරුණයාට "ටින් නම්බර්" (TIN Number) එකක් ලබාගෙන බදු ගෙවන ලෙස බලකරන වත්මන් පාලනය, ධම්මික පෙරේරා වැනි මහා පරිමාණ කෝටිපතියන්ට බදු මඟහැරීම සඳහා පෙරදිනම LC විවෘත කිරීමට දොරටු විවෘත කර දී ඇති බව පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ගමේ සිටින අහිංසක පාක්ෂිකයන්, හරියාකාරව කෑමක් බීමක් නොමැතිව, දහඩිය පෙරාගෙන පෝස්ටර් අලවමින්, නිදි මරාගෙන "විප්ලවය" සහ "සමාජවාදය" හිතේ තබාගෙන වැඩ කළේ අන්තිමේදී ධම්මික පෙරේරලාට කෝටි ප්‍රකෝටි ගණනින් අයුතු ලාභ උපයා දීමට දැයි ඔහු ප්‍රශ්න කළේය. ප්‍රභූ පන්තිය එළවා දමා බලය ගත් බව කියන නිර්ප්‍රභූ පාලකයින්, අද ව්‍යාපාරික ප්‍රභූන්ගේ රූකඩ බවට පත්ව "නව වාම ප්‍රභූ පන්තියක්" නිර්මාණය කරමින් සිටින බවද ඔහු කීවේය.

අනාගත පාලනයකදී නීතිය ඉදිරියට

මෙම මහා පරිමාණ චෞර ක්‍රියාව කිසිසේත්ම සැඟවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ විමල් වීරවංශ මහතා, වාහන අධිභාරය පනවන්නට යෙදුණු මැයි 16 වැනිදාට පෙරදින (මැයි 15) හදිසියේ ණයවර ලිපි විවෘත කරමින් රටේ බදු මුදල් කොල්ලකෑ සියලුම මහා පරිමාණ සමාගම් පිළිබඳව ඉදිරියේදී පිහිටුවන ජාතිකවාදී පාලනයක් යටතේ විධිමත් පරීක්ෂණ පවත්වා ඔවුන්ව නීතිය ඉදිරියට පමුණුවන බවට දැඩි අනතුරු ඇඟවීමක් කළේය.

එමෙන්ම, මෙම ව්‍යාපාරිකයන්ට බදු පිළිබඳව කලින්ම රහසිගත ඔත්තුව ලබා දුන් දේශපාලන සහ රාජ්‍ය බලධාරීන්ට ද ඊට සෘජුවම උත්තර බැඳීමට සිදුවන බව පවසමින් විමල් වීරවංශ මහතා සිය අනාවරණය අවසන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 
විසින් පවත්වන ලද එම දේශනය.

"සුභ උදෑසනක් මාධ්‍ය වේදී ඔබ සියලු දෙනාට. මේ මාධ්‍ය සාකච්ඡාව ප්‍රධාන කරුණු දෙකක් මුල් කොටගෙන පැවැත්වීමට අපි තීරණය කළේ කාලීන වශයෙන් මේ රටේ පොදු ජනතාව මේ කරුණු දෙක පිළිබඳව දැනුවත් කිරීම අවශ්‍යයි කියලා අපි විශ්වාස කරන නිසා. 

පළවෙනි එක තමයි එදා මැයි මාසේ 18 වෙනිදා රණවිරු ස්මාරකයට මල් තියන්න ගිය අපි, රණවිරු ස්මාරකය අභියසට ගිහිල්ලා ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ට උත්තමාචාර පුද කිරීම සඳහා අපට තියෙන අයිතිය අනුව ක්‍රියා කරපු අපිට දැන් දැනුම් දීලා තියෙනවා තලංගම පොලිසියට වහාම පැමිණෙන්න කියලා. ඒ අනුව අපි දන්වලා තිබෙනවා ලබන සඳුදා පෙරවරු 10 වෙනකොට අපි තලංගම පොලිසියට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට දැන් අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වාණයේ අර කුප්‍රකට මන්දිරය, ඒකට ඇතුල් වුණා පැලවත්තට අයිති අන්තරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක්. ඒගොල්ලෝ දවස් ගණන් කකා බිබී නටා ගයා ඒක ඇතුලේ වෙලා හිටියා. පොලීසිය පැත්තවත් බැලුවේ නැහැ. ඒක රාජ්‍ය දේපලකට බලහත්කාරයෙන් ඇතුළු වීමක්, අත්පත් කර ගැනීමක්. ඒ ගැන කිසිම පොලිස් ක්‍රියා මාර්ගයක් නැහැ. ප්‍රාදේශීය ලේකම්වරයා ඒ ප්‍රදේශයේ පැමිණිල්ලක් පවා කරලා තිබුණා.

ඒ පැමිණිල්ලට අනුව අඩුගානේ කටඋත්තරයක් ගැනීමක්වත් නැහැ. එතන හිටියා ආණ්ඩුවේ නුවර ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක්ගේ පුතෙකුත්. ඉතින් ඒ ඇවිල්ලා පැලවත්තේ රූකඩ කල්ලියක්. ඒ පැලවත්තේ රූකඩ කල්ලිය නීතිය අතට අරන් ක්‍රියා කරලා කිසිම ආකාරයක ඊට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයක් නැහැ. එතකොට පොලිසිය අන්ධයි. හැබැයි මේ රටේ සියලු වැසියන්ට තියෙන අයිතිය අනුව රණවිරු ස්මාරකය ගාවට ගිහිල්ලා මල් ටිකක් තියලා වීරෝධාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පල කරන්න අපට තියෙන අයිතිය, ඒකට බාධා කරා. බාධා කරලා දැන් අපිට කියනවා පොලීසියට එන්න ප්‍රකාශයක් ගන්න කියලා. ඉතින් අපි දැන් ඒ අනුව සඳුදා උදේ යනවා තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න. ජනාධිපතිවරයා කියනවනේ නීතිය කාටත් එක හා සමානයි කියලා. හැබැයි අර අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගත්තු කට්ටියට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැනේ. අපි ගියේ මොකක්වත් අත්පත් කරගන්න නෙවෙයිනේ. අපි ගියේ මහජනයට විවෘත පොදු ස්ථානයකට ගිහිල්ලා මල් ටික තියලා ආචාරය පුද කරන්න. ඒ ස්මාරකය හැදුවේ මහජනයට ඒ වැඩේ කරන්න. ඊට කලින් අවුරුද්දෙත් අපි ගියා.

එතකොට අපට නීතිය එක විදියකුත්, අන්තරයේ පැටවු ටික අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වාණේ මන්දිරය අත්පත් කරගන්නකොට නීතිය ගොළුයි, නීතිය අකර්මන්‍යයි, නීතිය ගර්හිතයි. ඉතින් ඒ නිසා මේ තමයි ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන විදිහ. අපි ඒ පිළිබඳව අපේ පිළිකුල අප්‍රසාදය පළමු කොටම පල කරනවා. අනිත් වැදගත් කාරණය තමයි ඔබ දන්නවා අපි මීට පෙරත් සඳහන් කළා වගේ අපේ රට ආර්ථික වශයෙන් අපි ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දීලා ඉන්න රටක්. ඒ දුෂ්කර තත්ත්වයකට මුහුණ දීලා ඉන්න රට ඔබ කවුරුත් දන්නවා පසුගිය දිනවල වේගයෙන් අපේ දේශීය මුදල් ඒකකයේ අගය, රුපියල බිඳ වැටෙන්න, දුර්වල වෙන්න, අවප්‍රමාණය වෙන්න පටන් ගත්තා. ආණ්ඩුව පැහැදිලි කරනවා වරින් වර මේ රුපියල දුර්වල වෙන්නේ බිඳ වැටෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි, මේකට එකම හේතුව මැද පෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය කියලා. දැන් මැද පෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය නිසා තමයි දැන් මේ සිද්ධ වෙන සියලු රුපියල අවප්‍රමාණය වීම්, මිල වැඩිවීම්, උද්ධමනය ඉහළ යාම මේ සියල්ලටම හේතුව හැටියට පෙන්නන්න හදන්නේ.

මැද පෙරදිග තත්ත්වය සමස්තයක් හැටියට එකම බලපෑම්කාරී හේතුව නම් ඒ හේතුව අනිත් රටවල් වලටත් අපිට හා සමානවම දැනෙන්න ඕනේ. මම ඔබට පෙන්නන්නම් මේ ප්‍රස්ථාරය දිහා බැලුවම ඔබට පෙනේවි මේ දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීම සිදුවෙන්නේ එක හා සමාන වේගයකින් නෙවෙයි. මේක දිහා අවධානය යොමු කරන්න. මේ උඩම ඉන්නේ ශ්‍රී ලංකාව. දෙවෙනියට ඉන්නේ පකිස්තානය. සිංගප්පූරුව තියෙන්නේ යටම. එතකොට ඉන්දියාව තියෙන්නෙත් බංග්ලාදේශයටත් යටින්. එතකොට පේනවා 120කින් ලංකාවේ මුදල් ඒකකය අවප්‍රමාණය වෙනවා. අනිත් කිසිම රටක් ඒ ප්‍රමාණයෙන් අවප්‍රමාණය වෙලා නැහැ. අපි ලංකාවේ රුපියල් 120කින් අවප්‍රමාණය වෙනවා. ඊළඟට දෙවෙනියට තියෙන රට පකිස්තානය, එතන අවප්‍රමාණය වෙලා තියෙන්නේ 111කින්. එතකොට මෙච්චර අධි ප්‍රමාණයකින් ලංකාවේ රුපියල අවප්‍රමාණය වෙන්නේ මැද පෙරදිග තත්ත්වය හින්දද? එහෙමනම් මැද පෙරදිග තත්ත්වය හැම රටටම එකාකාරී ලෙස බලපාන නිසා මේ අනිත් රටවල් වල මුදල් ඒකකයත් මේ හා සමාන අනුපාතයකින් දුර්වල වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ.

ඒ නිසා තමන්ගේ තියෙන ද්‍රෝහිකම්, මේ රටේ ආර්ථිකයට කරපු හානිය, බාල ගල් අඟුරු ගෙනල්ලා කරපු හානිය, මේ හොරකම් වලින් වැරදි ගිණුම් වලට සල්ලි දාලා කරපු හානිය, මේ හානියේ බලපෑම වහන්න මැද පෙරදිගට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. දැන් බලන්න අලුත්ම ක්‍රමය තමයි ආණ්ඩුව ගහන්න නියමිත බද්දක් ගැන තොරතුරු කලින් දීලා තමන්ගේ ගජමිතුරු චෞර රැලට අයුතු වාසි ගන්න ඉඩ සලසා දීම. මේ වනවිට මේ ගැන බොහෝ පාර්ශ්ව කරුණු අනාවරණය කරලා තිබෙනවා. අපි දන්නවා මැයි 16 සිට බලපැවැත්වෙන පරිදි තමයි අධිභාරයක් පැනෙව්වේ වාහන ආනයනයට. වාහන ආනයනයට පනවපු අධිභාරය 150%ක. ඒක ක්‍රියාත්මක වෙන්නේ මැයි 16 ඉඳලා. මැයි 15 වෙනිදා මේ තොරතුර කලින් දැනගත්තු කට්ටිය, දැන් මුදල් අමාත්‍යංශ නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව ණයවර ලිපි (LC) 380ක් විවෘත කරලා තියෙනවා ඊට කලින් දවසේ. එතකොට ඔහු කියන්නේ මේ ණයවර ලිපි 380ෙන් ගේන්නේ වාහන 1882යි කියලා. අපි දන්නවා වාහන ආනයනකරුවන්ගේ සංගමය මේ වනවිට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ දත්ත වලංගු නැහැ කියලා.

ඒ කියන්නේ එක එල්සී (LC) එකකින් සාමාන්‍ය වාහන ආනයනකරුවෙක් නම් ඔහු විවෘත කරන එක ණයවර ලිපියකට වාහන ගේන්න පුළුවන් එකක් දෙකක්, වැඩිමනොත් 10ක්. හැබැයි අපි දන්නවා වාහන නියෝජිත සමාගම්, ඒජන්ට්ලා, ඒගොල්ලොන්ට ඒ සීමාව නැහැ. එක ණයවර ලිපියකින් ඒගොල්ලොන්ට වාහන 100, 200, 1000 වුණත් ගේන්න පුළුවන්. ඒ නිසා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාට කියන්න බැහැ මේ නිකුත් කරලා තියෙන ණයවර ලිපි 380ෙන් වාහන එන්නේ අහවල් ප්‍රමාණයයි කියලා. මොකද හේතුව සාමාන්‍ය ආනයනකරුවෝ නම් මේ ණයවර ලිපි නිකුත් කළේ ඒ කියන කතාව හරි. එතකොට අනිවාර්යයෙන් එක ණයවර ලිපියකින් වාහන දෙකක්, පහක්, දහයක්, වැඩිමනොත් 100ක්. නමුත් නියෝජිතායතන, වාහන ප්‍රධාන නියෝජිත සමාගම්, ඒජන්ට් එකම ණයවර ලිපියකට පුළුවන් වාහන 3000, 4000, 5000 නෙවෙයි ඊටත් වඩා වුණත් ගේන්න. දැන් ඒ අධිභාරයෙන් බේරෙන්න මැයි 15 පමණක් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාම කියන ආකාරයට ඩොලර් මිලියන 30කට වඩා මුදලක් එළියට ගිහිල්ලා තියෙනවා, ණයවර ලිපි නිකුත් කරලා තියෙනවා. සාමාන්‍ය වාහන ආනයනකරුවකුගේ ණයවර ලිපියක වළංගු කාලය මාස තුනයි.

නමුත් ප්‍රධාන වාහන නියෝජිත සමාගම් වල ණයවර ලිපියක වළංගු කාලය වසර එකහමාරක් දෙකක් අරන් දිගු කාලයක් දක්වා යනවා. ඒ කියන්නේ මොකක්ද? අර බද්ද, අධිභාරය පනවන්න කලින් දවසේ නිකුත් කරපු එක ණයවර ලිපියකින් ඒ වාහන නියෝජිත ආයතන වලට අවුරුදු එකහමාරක් දෙකක් පමණ යනකන්ම වාහන ගේන්න පුළුවන්. ඒ අවුරුදු එකහමාරක් දෙකක් පමණ යනකන්ම ගේන සෑම වාහනයකටම අර අධිභාරය අදාල වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ අනුව මේ මහා පරිමාණ සමාගම් අධිභාරය ගෙවීමකින් තොරව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයත් නොදන්නා තරම් ප්‍රමාණයක් ඉදිරි අවුරුදු එකහමාර දෙක අතර කාලය ඇතුළත මේ රටට ගෙනෙන්න පුළුවන් 150%ක අධිභාරයෙන් මිදිලා. දැන් මේකේ ප්‍රධානම, වැඩිම ණයවර ලිපි නිකුත් කරපු එක්කෙනා තමයි හේලීස් මොබිලිටි (Hayleys Mobility).

හේලීස් මොබිලිටි කියන්නේ ධම්මික පෙරේරාගේ ආයතනය. මේ ගජමිතුරු චෞර රැලට, ඒ හේලීස් මොබිලිටි ඇතුළු ගජමිතුරු චෞර රැලට ගහන අධිභාරය පිළිබඳ ඔත්තුව කලින් දීලා, ඔත්තුව ලබා දුන්නට ගන්න කප්පම කීයද? ඒ කප්පම වගේද එඟින් මේ රටට නැතිවී යන බදු ආදායම? රුපියල් බිලියන 10කට වැඩියි. මේ රටේ හෙට ඉපදෙන, අවුරුදු 18 අයට කියනවා ටින් නම්බර් (TIN Number) එකක් ගන්න කියලා. කොල්ලෝ ටින් නම්බර් ගන්න ඕනා. හේලීස්ට ගජමිතුරු අධිභාරයට කලින් දවසේ වාහන ආනයනය කරන්න එල්සී (LC) ඕපන් කරන්න ගජමිතුරු චෞර රැලට ඉඩකඩ හදලා දෙනවා. මෙන්න පුනරුදය! මේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ උදවියට, හරියට කෑමක් නැතුව දහඩිය පෙරාගෙන පෝස්ටර් අලවගෙන නිදි මරාගෙන "විප්ලවය" කියලා එකක් හිතේ තියාගෙන "සමාජවාදය" කියලා එකක් හිතේ තියාගෙන දරු පවුල ගැන නොසලකා වැඩ කරපු මිනිහගේ දාඩිය බිඳුයි අද ධම්මික පෙරේරලාට කෝටි ප්‍රකෝටි ගානින් අයුතු ලාභ ලබන්න ඉඩකඩ හදලා දීලා තියෙන්නේ. අන්තිමට ඒ මිනිස්සු කැපවෙලා තියෙන්නේ, මැරිලා මැරලා වැඩ කරලා තියෙන්නේ, දාඩිය හලලා තියෙන්නේ, ෆුල් ටයිම් වැඩ කරලා තියෙන්නේ ධම්මික පෙරේරලාට ලාභ උපද්දවලා දෙන්න.

අනිත් අයට නොලබන අතිශය විශාල ලාභ පංගු ධම්මික පෙරේරලාට උපද්දලා දෙන්න. මේක තමයි දැන් මෙතන තියෙනවා ප්‍රභූ පන්තියෙන් බලය ගන්න ඕනේ කිව්වේ නිර්ප්‍රභූ පන්තිය. දැන් නිර්ප්‍රභූ පන්තිය බලය අරන් ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියත් එක්ක අලුත් ප්‍රභූ පන්තියක් හදනවා, අලුත් වාම ප්‍රභූ පන්තියක් හදනවා. ගමේ පෝස්ටර් අලවපු මිනිහා තාම ඉන්නේ හාමතේ. ප්‍රභූ පන්තිය එලවලා බලය ගත්තු නිර්ප්‍රභූන් අද ව්‍යාපාරික ප්‍රභූන්ගේ රූකඩ බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට පේනවා මේ චෞර ගජමිතුරු වලල්ලට ඕන කරන විදිහටයි මේ රට අද පාලනය කරන්නේ. අනිත් පැත්තෙන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන කරන විදිහට. ඊයේ පෙරේදා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියනවා "ඔව් ණය ගන්න ඕන, ණය නැතුව රටක ආර්ථිකයක් ගෙනියන්න බැහැ, ණය මරු" කියලා. එහෙම නෙවෙයි කලින් තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ. ඔය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකේ පූර්ණකාලීන සාමාජිකයෙක්වත් මධ්‍යම කමිටු සාමාජිකයෙක්වත් නෙවෙයි.

දැන් එයා ඔහොම කිව්වට එයා නොදන්න ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මේ ණය උගුලක ලංකාව හිර කරනවා කියලා. ට්‍රිලියන 28යි වසර 76ක ණය ප්‍රමාණය. මේ අවුරුදු එකහමාරට අනුර කුමාර දිසානායක අරන් තියෙනවා ට්‍රිලියන පහක්. මේ ණය උගුලෙන්ද මේ රට ගොඩගන්නේ? දැන් කියනවා ඩොලර් මිලියන 700ක් අපිට මූල්‍ය අරමුදලෙන් හම්බවෙන්න නියමිතයිලු. ඒ 700 නිකන් හම්බවෙන්නේ නැහැ. මේ 25 වෙනිදා වෙනකොට අපිට ආරංචි හැටියට තෙල් මිල ආයේ වටයකින් ඉතා විශාල ගණනකින් ඉහළ දාන්න නියමිතයි. නැවත වටයකින් විදුලි මිල ඉහළ දාන්න නියමිතයි. ඒ ටික ඒ විදිහට කරොත් විතරයි මූල්‍ය අරමුදල ඔය කියන ඩොලර් මිලියන 700 දෙන්නේ. ඩොලර් මිලියන 700 කියන්නේ තෙල් නැව් තුනකට සමාන අගයක්. තෙල් නැව් තුනකට බිල ගෙව්වාම මේ සල්ලි හොයාගන්න නැහැ. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මූල්‍ය අරමුදල එක පැත්තකින් දේශීය නිෂ්පාදන අධෛර්යයට පත් කරන නීති රීති වලට ආණ්ඩුව තල්ලු කරලා තියෙනවා. ඒ කියන්නේ සෙස් බද්ද (Cess tax) අයින් කරනවා. සෙස් බද්ද කියන්නේ විදේශයෙන් එන තරඟකාරී නිෂ්පාදන වල මිල අපේ වෙළඳපොළ ඇතුලේ පොඩ්ඩක් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගහන බද්ද. ඒකෙන් දේශීය නිෂ්පාදකයා රකිනවා.

දැන් මූල්‍ය අරමුදල සෙස් බද්ද අයින් කරන්න කියනවා. ආණ්ඩුව දැන් සෙස් බද්ද ක්‍රමානුකූලව ඉදිරි අවුරුදු හතර ඇතුළත සම්පූර්ණයෙන් අයින් කරනවා. පළවෙනි කොටස අයින් කරා. ඒකෙන් වෙන්නේ ආනයන දිරිගැන්වෙනවා, දේශීය නිෂ්පාදන අධෛර්යයට පත් වෙනවා. ඒක එක උපායක්. ඒකෙන් වෙන්නේ මොකද? අපට එන ආදායම අඩුවෙනවා, දේශීය නිෂ්පාදන බිඳ වැටෙනවා. එතකොට ඩොලර් එන්නේ නැහැ, තියෙන ඩොලර් ටිකත් නැතිවෙනවා. ඊළඟට මොකද කරන්නේ? විදේශ ආයෝජන වලට දෙන බදු සහන නතර කරලා තියෙන්නේ. සිනොපැක් (Sinopec) ආයතනය ඩොලර් මිලියන 300කට වැඩි ආයෝජනයක් කරන්න සූදානම් වුණා හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් පිරිපහදුවකට. ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා චීනයේ ගිය වෙලාවේ ගිවිසුම් අත්සන් කරලා ඒක කරන්න එකඟ වුණා. ඒකට බදු සහන දෙන්න තීරණය කරනකොට මූල්‍ය අරමුදල කිව්වා "බැහැ, බදු සහන දෙන්න බැහැ" කියලා. අන්න විදේශ ආයෝජන අධෛර්යයට පත් කරනවා. ඒවා ආකර්ෂණය කරගන්න දෙන්නේ නැහැ. පෝට් සිටියට (Port City) එන ආයෝජන වලට දෙන බදු සහන දිගු කිරීම අධෛර්යයට පත් කරනවා. ඒවා දෙන්න බැහැ කියනවා. ඒ මගින් වෙන්නේ දේශීය නිෂ්පාදන පද්ධතිය වට්ටනවා, විදේශීය ආනයනය මත තවදුරටත් අපිව ගැට ගහනවා. අනිත් පැත්තෙන් විදේශීය ආයෝජන දිරිගන්වන්න තියෙන හැකියාවත් නැති කරනවා.

ඒකත් වළක්වනවා. අනිත් පැත්තෙන් ආනයන මත ගහලා තියෙන සෙස් බද්ද අයින් කරනවා. ඒ නිසා ආනයනය දිරිගැන්වීම සිද්ධ කරනවා. ඒ ආනයනය දිරිගැන්වීම වනාහි විදේශ විනිමය වැඩි වැඩියෙන් රටෙන් එළියට යාම. රටෙන් එළියට විදේශ විනිමය වැඩි වැඩියෙන් යාම වනාහි වෙළඳ පරතරය පුළුල් වීම. වෙළඳ පරතරය පුළුල් වීම වනාහි තව තවත් විදේශ ණය මත යැපෙන දීන ඉරණමකට රාජ්‍යය ගොදුරු කිරීම. දැන් මේ යන්නේ විෂම චක්‍රය. සංචාරක ව්‍යාපාරය පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් අපිට කක්කල් කැස්ස හැදෙන්නේ ඒකයි. මොනවාහරි ලෝක පරිමාණ වසංගතයක් ආවොත් අපිට නිව්මෝනියාව හැදෙන්නේ ඒකයි. ඒ නිසා මේ තමයි මූල්‍ය අරමුදලේ උපාය මාර්ගය. දැන් ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මේ ගහලා තියෙන අවුරුදු හතරේ එකඟතාවය ඉවරයි. අපි අහනවා මේ ආණ්ඩුවට න්‍යාය පත්‍රයක් තියෙනවද? උපාය මාර්ගයක් තියෙනවද? ඕනකමක් තියෙනවද? ශක්තියක් තියෙනවද ඒ ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට අවසන් වෙන මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් එළියට එන්න? මේ යන විදිහට ගියොත් මුල්‍ය අරමුදලේ මීටත් වඩා භයානක එකඟතාවන් සහිත නව ගිවිසුමකට යටත්වෙන මාවතේ තමයි මේ රට ඇදගෙන යන්නේ.

ඒ නිසා අපි ඉතා බලවත් ලෙස අනතුරු අඟවනවා. මේ රට වැටිලා තියෙන තැනින් ගොඩගන්නම් කියන බලාපොරොත්තුව මහජනතාව තුළ දීලා, එක පැත්තකින් නීල කාස බොරු කියලා, දැන් නීල කාස හොරු රැලක් තමන්ගේ ගජමිතුරු චෞර වලල්ලත් එක්ක හොරු රැලක් බවට පරිවර්තනය වී තිබෙනවා. මේ නීල කාස බොරු කියපු, ඒ චෞර වලල්ලත් එක්ක රටේ ධනය මංකොල්ලකන මේ හොර රැලට කිසි ලෙසකින්වත් උපායමාර්ගික දැක්මක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. මූල්‍ය අරමුදලේ පදයට නට නට මහජනයා මත බර පටවන එක ඇරෙන්න, දේශීය නිෂ්පාදන වල පිරිවැය ඉහළ දාන එක ඇරෙන්න, විදුලි බිල වැඩි කරන එක ඇරෙන්න, තෙල් මිල වැඩි කරන එක ඇරෙන්න, ඔක්කොම අපරාධ කරලා මැද පෙරදිගට ඇඟිල්ල දික් කරලා බේරෙන්න හදන එක ඇරෙන්න වෙන කිසිම හැකියාවක් මේ නීල කාස හොරු රැල අද පෙන්නලා නැහැ. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් අවධාරණය කරනවා මේ වාහන අධිභාරය පනවන්න කලින් දවසේ එල්සී (LC) විවෘත කරපු සියලු සමාගම් වලට අනාගත අපේ පාලනයක් යටතේ නීතිය ඉදිරියට ගේනවා. උත්තර දෙන්න වෙනවා. කවුද ඔත්තුව දුන්නේ කියන එකට උත්තර දෙන්න වෙනවා. ඔත්තුව දුන්නු උදවියට ඒකට උත්තර දෙන්න වෙනවා.

අපි අනිවාර්යයෙන් මේ චෞර වලල්ලේ සියලු නීල කාස හොරකම් එක දිගට අනාවරණය කරනවා."

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0