''ලෝක විනාශයේ සෙවණැල්ලෙන් මිදෙමු... න්‍යෂ්ටික අවි එපා!''

''න්‍යෂ්ටික අවි භාවිතය ලොවින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම පිළබද ජාත්‍යන්තර දිනය'' සැප්තැම්බර් 26 වන දිනට යෙදෙයි. මේ එම දිනය නිමිත්තෙන් සකසන ලද ලිපියකි.

Sep 29, 2025 - 15:11
 5
''ලෝක විනාශයේ සෙවණැල්ලෙන් මිදෙමු...  න්‍යෂ්ටික අවි එපා!''

ශ්‍යාමලී රත්නායක

පානයේ හිරෝෂීමා හා නාගසාකි නගරවලට බෝම්බ හෙළා ''න්‍යෂ්ටික බෝම්බ'' පිළිබඳ අත්දැකීම ලෝකයට දායාද කළේ ඇමෙරිකාව වුවත් අද වන විට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇමෙරිකාව සිටින්නේ බරපතළ නිහඬියාවකය. න්‍යෂ්ටික අවි කියා දෙයක් ගැන තමන් දන්නේවත් නැති තරමටම ඔවුන් නිහඬය. මේ නිසා අද මුළු මහත් ලෝකයේම අවධානය න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය සම්බන්ධයෙන් යොමුව පවතින්නේ රටවල් දෙකක් කෙරෙහිය. සැබවින්ම එය රහසක් නොවේ. එම රටවල් දෙක උතුරු කොරියාව හා ඉරානයයි. අවි ආයුධ නිෂ්පාදනය සම්බන්ධයෙන් නමක් දිනා සිටින ඊශ්‍රායලය පවා මේ සම්බන්ධයෙන් නිහඩය. එහෙත් මේ නම් කියූ සෑම රටක්ම න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය සම්බන්ධයෙන් හා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දක්වන නිහඬියාව පිටුපස ඇති භයානක කතන්දරය ලෝකයා නොදන්නා නොවේ.
මහා බලවතුන් ඔවුන්ගේ ආරක්‍ෂාවට හා ලෝකයේ පැවැත්ම තමන් සතු කර ගැනීමට මෙවන් භයානක අවි ආයුධ තමන් සන්තකයේ තබා ගනිමින් හෝ නිෂ්පාදනය කරමින්, ලොවට වෙනත් චිත්‍රයක් පෙන්වමින් නිහඬව සිටින්නේ නම් අපවන් සෙසු රටවලට කළ හැක්කේ කුමක් ද... ''න්‍යෂ්ටික අවි ආයුධ එපා'' යනුවෙන් සටන් පාඨයක් කියමින් ඒ පිළිබඳ බිය මුසු විරෝධය පළ කරනවා හැර සෙසු රටවල් වෙන කුමක් කරන්නද...  
 තත්ත්වය එසේ වුවත් න්‍යෂ්ටික අවි ආයුධ යනු මොනවාද යන්න අප හොඳින් දැන සිටිය යුතු යැයි අපි විශ්වාස කරමු. එනමුත් න්‍යෂ්ටික අවි කියන්නේ ඇත්තටම මොනවාදැයි බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති තරම්ය? ඒ ගැන සරලව තේරුම් ගනිමින් අපි මේ ගැන කතා කරන්නට පටන් ගනිමු.... 
න්‍යෂ්ටික අවි අතර කාගේත් අවධානය දිනාගත් ප්‍රමුඛම අවිය වන්නේ න්‍යෂ්ටික බෝම්බයයි. සාමාන්‍ය බෝම්බයක් යනු වෙඩි බෙහෙත් හෝ පුපුරණ ද්‍රව්‍ය එකතු කර තෙරපන ලද බඳුනක් මංජුසාවක් හෝ බහාලුමක් සැලසුම් සහගතව පුපුරුවා හැරීමක් බව රහසක් නොවේ. සරල අත්බෝම්බයේ සිට ප්‍රමාණයෙන් බලයෙන් අමුද්‍රව්‍යවලින් හා පුපුරන ආකාරයෙන් එකිනෙකට වෙනස්කම් ඇති එවන් බෝම්බ පිළිබඳ නොයෙකුත් විස්තර ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඒත් න්‍යෂ්ටික අවියක් ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. හරියට එය පරමාණුවක ගබඩා වෙලා තියෙන අතිවිශාල ශක්තියක් එක මොහොතකදී පුපුරුවා හැරීමක් වගේය. න්‍යෂ්ටික පිපිරීමක් යනු අප අත්දකින අන්දමේ සාමාන්‍ය පිපිරීමක් නෙවේ, එය සාමාන්‍ය බෝම්බ පිපිරීමකට වඩා දහස් ගුණයක් බලවත් පිපිරීමක බලයක් හා විනාශයක් ලොවට අත්පත් කර දෙනු ලබයි.
1945 දී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙළපු බෝම්බ ගැන ඔබ අසා ඇත. ඒ පිපිරීම්වලින් නගර දෙකම අළු දූලි බවට පත්ව ගියේය. එදා එවන් විනාශයක් කළ ඒ බෝම්බ දෙක නිසා ඇති වූ විනාශයේ ප්‍රතිඵල හා අතුරුඵල ඊට අවුරුදු ගණනාවක් පසුපසටත් ජපානයට පමණක් නොව, මුළු මහත් ලෝකයටම බලපෑවේය. එහෙත් නූතන තාක්ෂණයට හා විද්‍යාවට අනුව නිපදවූ වර්තමාන න්‍යෂ්ටික අවි ඊට වඩා දහස් ගුණයකින් බලවත්ය. එක් කුඩා බෝම්බයකින් මුළුමහත් නගරයක්ම සුනුවිසුනු කර දමන්නට සමත්ය. යුරේනියම් - 235 හෝ ප්ලූටෝනියම් - 239 වැනි බර පරමාණුක න්‍යෂ්ටීන් කුඩා කොටස්වලට බෙදීමේදී එමගින් විශාල ශක්තියක් මුදා හැරේ. 1945 දී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලනු ලැබූ පරමාණු බෝම්බ එම මූලධර්ම මත පදනම් වූයේය. එසේ නම් ඉන් වසර 80කට පසුව ලොව පවතින  නූතන විද්‍යාවේ හා තාක්ෂණයේ බලමහිමයෙන් නිපදවන ලද නූතන න්‍යෂ්ටික අවියේ හැකියාව ශක්තිය හා විනාශයේ තරම කුමන ආකාරයක් ගනීද. ඒ ගැන ඔබට සිතන්නටවත් හැකි දැයි මම නොදනිමි. එම නිසා න්‍යෂ්ටික අවිවල තරම වටහා ගන්නට අපි මේ කරුණු සාකච්ඡා කරන්නට උත්සාහ කරමු...  
 ''න්‍යෂ්ටික අවිවල භයානකකම''
න්‍යෂ්ටික පිපිරීමක් කියන්නේ එක මොහොතකදී අවසන් වන සිදුවීමක් නෙවේ. එය අදියර කීපයකින් සිදුවන විනාශයකි. පිපිරීමෙන් පසු වායුගෝලයට මුදා හැරෙන විකිරණශීලී අංශු සුළඟ මගින් විශාල ප්‍රදේශයක් පුරා පැතිර යයි. මෙම විකිරණශීලී දූවිලි (fallout) ශරීරගත වීමෙන් හෝ ආග්‍රහණය වීමෙන් පිළිකා, ජාන විකෘතිතා සහ වෙනත් බරපතල රෝගාබාධ ඇතිවේ. මෙම බලපෑම දශක ගණනාවක් තිස්සේ පැවතිය හැකිය. මෙම විනාශය ආකාර කිහිපයකින් අපට දැක බලා ගැනීමට හැකියාව ඇත. 

''ක්ෂණික විනාශය''
පිපිරීම සිදුවන තැන ඉබේම ගිනිදැල් සහ දැඩි සුළි සුළං ඇතිවේ. ඊට හස්වන සියල්ල ක්ෂණිකව උණු වී වාෂ්ප වී යයි. ගොඩනැගිලි, ගස්, සතුන්, මිනිසුන් ඇතුළු මේ මෙහි පිට පවතින වස්තූන් සියල්ල දැවී අළු බවට පත් වී යයි.
''විකිරණශීලී වසංගත''
පිපිරීමෙන් පසු විකිරණශීලී අංශු වාතයට මුසුවේ. මෙය හරියට විෂ සහිත දූවිලි වසංගතයක් වාගේය. සුළඟත් සමඟ සුවිසල් ප්‍රදේශයක් පුරා මේ විෂ සහිත දූවිලි පැතිර යයි. මේ විකිරණ නිසා පිළිකා, ජානමය රෝග වගේ බරපතල ලෙඩ රෝග හැදෙන්නට පටන් ගනියි.  මේවායින් දශක ගණනාවක් තිස්සේ ඉදිරියටත් මිනිස්සු විඳවමින් ජීවත් වන්නට පටන් ගනියි. 
''පෘථිවියම ශීතල වීම'' 
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත්, අහසට යන දුමාරය සහ අළු නිසා ''සූර්යාලෝකය පොළොවට'' එන අවකාශය අවහිර වෙයි. සූර්යයා පත්තුවන බල්බයක් යයි සිතන්න. එය නියා දැමුවහොත් කෙසේද. මේ විනාශයද ''සූර්යයා නිවා දැමුවා'' වාගේය. ඒ නිසා මුළු පෘථිවියම ශීත කාලයකට ඇතුළු වෙන්නට පුළුවන. මෙය ''න්‍යෂ්ටික ශීත කාලයක්'' ලෙස හඳුන්වනු ලබයි. එවිට මිනිසාට ඒ නිසා කෘෂිකර්මාන්තය නැති වී, සාගත ඇති වී, මුළු ලෝකයටම ලෝක පැවැත්ම නැතිවීමේ වන්දිය ගෙවන්නට සිදුවෙයි. 
''න්‍යෂ්ටික අවි අපිට අවශ්‍ය නැත්තේ ඇයි?''
මහද්වීප පහකින් හා සාගර පහකින් මෙන්ම ඒවාට යාබද දූපත් සමූහයකින් යුතුව පවතින අප සැවොම ජීවත්වන ලෝකය තුළ විවිධතා හා විෂමතා කොතෙකුත් පවතී. එක් එක් කලාපවල ජීවත්වන මානව වර්ගයාද රූපයෙන් වර්ගයෙන් හැඩගෙන් පැහැයෙන් ගුණයෙන් ලොකු කුඩා භාවයෙන් මෙන්ම විවිධ හැකියාවන්ගෙන් ද විෂමතා පෙන්නුම් කරයි. මෙම විවිධතා හා විෂමතා කොතෙකුත් තිබුණත් අපටම අනන්‍ය වූ භූමි තලයන්වල නිදහසේ හා නිවහල්ව ජීවත් වීමට අයිතිය අප කාටත් උරුමව ඇත. 

එහෙත් මේ පොලෝ තලයේ ජීවත් වන අප විවිධ හේතූන් මත විවිධ අනන්‍යතා මත බෙදී වෙන් වී වෙන වෙනම බල කඳවුරුවල ජීවත්වන්නට උත්සාහ ගනිමින් සිටින නිසා මේ ලෝකයේ යුද්ධ නිර්මාණය ව පවතී. ලෝකයේ යම් යම් භූමි ප්‍රදේශවලට කලාපවලට වෙන වෙනම අයිතිකාරයෝ බිහිවී අයිතිය තහවුරු කරගන්නට සටන් වදියි. මෙවන් යුද්ධ නිසා අයිතිවාසිකම් රැකෙනවාට වඩා අද සිදුව ඇත්තේ මානව සංහතියේ පැවැත්ම  අභියෝගයට ලක්වීම නොවේද . 
යුද්ධ කෙසේ වෙතත් න්‍යෂ්ටික යුද්ධ මේ ලොවේ ඇතිවුවහොත් අවසානයේ මේ පොලෝ තලයට අයිතිවාසිකම් කියන්නටවත් යමෙක් ඉතුරු නොවන බව නම් නිසැකය.  
''අපේ පැවැත්මට තර්ජනයක්'' 
න්‍යෂ්ටික අවි යනු අපේම විනාශය පිණිස අපි විසින්ම අපේම අතින් හදාගත්තු මර උගුලක් වැනිය. එක රටක් මේ අවි භාවිතා කළොත්, ඒක දාම ප්‍රතික්‍රියාවක් විදියට පැතිරිලා මුළු ලෝකයටම විනාශයක් ගෙනෙන්නට පුළුවන. අත්වැරැද්දකින් වුවත් අනතුරක් සිදුවිය හැකිය. පරිගණක දෝෂයක්, මිනිස් අතපසුවීමක් හෝ ත්‍රස්තවාදීන්ගේ අතට මේවා පත් වුණොත්, අහම්බෙන් වුණත් මහා විනාශයක් ඇතිවෙන්නට පුළුවන.
''සල්ලි නාස්තියක් සාමයට බාධාවක්'' 
න්‍යෂ්ටික අවි හදන්න, නඩත්තු කරන්නට සහ ආරක්ෂා කරන්නට මෙන්ම අන්ලෝකයාගේ දැන ගැනීම වළක්වා ගන්නට, සඟවා තබන්නට විශාල මුදලක් සහ තාක්ෂණයක් වියපැහැදම් වෙයි. ඒ මුදල් රටක අත්‍යාවශ්‍ය කටයුතු වන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, සමාජ සේවය හා දරිද්‍රතාවය නැති කිරීම වැනි මිනිසුන්ට අවශ්‍යතා සඳහා යොදවන්නට හැකි නම් මේලොව මොනතරම් ලස්සන තැනක් වනු ඇතිද... 
න්‍යෂ්ටික අවි තිබෙන තාක්කල් රටවල් අතර විශ්වාසය නැති වී, බිය සහ සැකය පමණක් ඉතිරිව පවතී.  ඒ වෙනුවට ලෝකයෙන් මේ න්‍යෂ්ටික අවි නම් වසංගතය ලොවින් තුරන් කළහොත් ලෝක සාමය සහ සහයෝගීතාවය ගොඩනගන්නට කිසිදු බාධාවක් නැත්තේය. 
මේ නිසා, න්‍යෂ්ටික අවි කියන්නේ අපේ පැවැත්මටම තර්ජනයක් වන මහා විනාශකාරී බලවේගයකි. න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ලෝකයේ සියලුම රටවල් එක්සත් විය යුතුය. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්, සාමකාමී ලෝකයක් බිහි කිරීම අපේ යුතුකමකි. න්‍යෂ්ටික අවි තිබීම ජාත්‍යන්තර සබඳතාවල අවිශ්වාසය සහ නොසන්සුන් බව ඇති කරවයි. න්‍යෂ්ටික අවි තුරන් කිරීමෙන් ජාත්‍යන්තර සාමය සහ සහයෝගීතාවය තහවුරු කරගත හැකිය.
මේ සියල්ල සලකා බලන විට, න්‍යෂ්ටික අවි යනු මානව වර්ගයා විසින්ම නිර්මාණය කරගත් මානව වර්ගයාගේ පැවැත්ම අවහිර කරවන විශාලතම විනාශකාරී බලවේගය බව පැහැදිලිය. එම නිසා, න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ලෝක ප්‍රජාවට පවතින සදාචාරාත්මක වගකීම අතිමහත්ය. මෙම උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා ජාත්‍යන්තර සම්මුති, සාකච්ඡා සහ සාමකාමී විසඳුම් අත්‍යවශ්‍ය වේ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0