සාක්ෂියට කැදවන්නේ ප්‍රධානියාද හත් වැන්නාද...

ආන්දෝලනාත්මක බාල ඖෂධ මිලදී ගැනීම පිළිබඳ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කර ඇති පරිගණක දත්ත පද්ධතියේ විශ්වසනීයත්වය (Integrity) සහ සාක්ෂි කැඳවීමේදී රාජ්‍ය ආයතනික ධුරාවලිය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් විත්ති පාර්ශවයේ නීතිඥවරුන් සහ පැමිණිල්ල පාර්ශවය නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අතර දැඩි නීතිමය වාද විවාද සහ හරස් ප්‍රශ්න මතු විය.

Jun 6, 2026 - 13:46
 102
සාක්ෂියට කැදවන්නේ  ප්‍රධානියාද හත් වැන්නාද...

2026 ජුනි මස 04 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය

සාක්ෂියට කැදවන්නේ

ප්‍රධානියාද හත් වැන්නාද...


බාල ඖෂධ නඩුවේ පරිගණක දත්තවල 

ඒකාග්‍රතාව සහ ධූරාවලිය ඉක්මවා යෑම ගැන 

උසාවියේදී උණුසුම් තර්ක

අධිකරණ වාර්තාකරු

ආන්දෝලනාත්මක බාල ඖෂධ මිලදී ගැනීම පිළිබඳ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කර ඇති පරිගණක දත්ත පද්ධතියේ විශ්වසනීයත්වය (Integrity) සහ සාක්ෂි කැඳවීමේදී රාජ්‍ය ආයතනික ධුරාවලිය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් විත්ති පාර්ශවයේ නීතිඥවරුන් සහ පැමිණිල්ල පාර්ශවය නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අතර දැඩි නීතිමය වාද විවාද සහ හරස් ප්‍රශ්න මතු විය.

එහිදී 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විසින්, රජයේ සැකකටයුතු ලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.ටී.ඊ. උඩංගමුව මහතාගෙන් සිව්වන දිනටත් හරස් ප්‍රශ්න ඇසීම සිදු කරන ලදී.


නිල ධුරාවලිය සහ මහේස්ත්‍රාත් නියෝගයේ රහස

විත්ති පාර්ශවයේ නීතිඥවරයා මෙහිදී මතු කළ ප්‍රධානතම තර්කයක් වූයේ, වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතු ඉහළම තනතුරක් පවතින පසුබිමක, 2024 වසර වන විට දෙපාර්තමේන්තු ධුරාවලියේ 7 වැනි ස්ථානයේ සහ වසර 8ක සේවා කාලයක් පමණක් සපුරා සිටි සාක්ෂිකාර උඩංගමුව මහතා වෙත පුද්ගලිකවම මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය විසින් ප්‍රශ්නාවලියක් යොමු කළේ මන්ද යන්නයි. සාමාන්‍ය රාජකාරී ක්‍රමවේදයට අනුව මෙවැනි ඉල්ලීමක් මුලින්ම යොමු විය යුත්තේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙතය.

මෙම ප්‍රශ්න කිරීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය දැඩි විරෝධය පළ කළාය. කෙසේ වෙතත්, සාක්ෂිකරු පිළිතුරු දෙමින් කියා සිටියේ, මීට පෙර අධිකරණය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවකට එවකට සිටි දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් තමන්ව නම් කර තිබූ බැවින්, මහේස්ත්‍රාත්තුමිය තමාගේ නමටම එම ප්‍රශ්නාවලිය පෞද්ගලිකව එවන්නට ඇති බවයි.

නීතිඥ ; මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය ඔබගෙන්ම මේ ඉල්ලීම කරලා තියෙන්නේ ඇයි? එවකට ප්‍රධානියා කවුද?

සාක්ෂිකරු ; ජේ. ආර්. එම්. ජයසුන්දර මහතා.

නීතිඥ ; මීට වසරකට පෙර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා. එතකොට ඔබ මේ ධූරාවලියේ සිටියේ කොතැනද?

සාක්ෂිකරු ; ඒ වන විට හත්වන ස්ථානයේ.

නීතිඥ ; ඉහළම තනතුරට එන්න අවුරුදු විසිපහක් විතර යනවා. 2024 වන විට ධුරාවලියේ 7 වැනි තැන සිටි, සේවා කාලය වසර අටක් වූ ඔබට පුද්ගලිකව එම ප්‍රශ්නාවලිය එව්වේ ඇයි?

සාක්ෂිකරු ; ඊට පෙර මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය විශේෂඥ කමිටුවකට කෙනෙක් නම් කරන ලෙස කළ නියෝගයක් අනුව ජයසුන්දර මහතා මා නම් කර තිබුණා. මා වෙත පෞද්ගලිකව එව්වේ ඒ නිසා විය යුතුයි.

(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මහත්මිය එම ප්‍රශ්නය පිළිබඳ විරෝධය පළ කරයි)

බාහිර පුද්ගලයන්ගෙන් පිළිතුරු ගැනීම සහ අත්සන් නැති වාර්තා

විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය ඉදිරියේ තහවුරු කිරීමට උත්සාහ කළ තවත් ප්‍රබල කරුණක් වූයේ, මහේස්ත්‍රාත්තුමිය විසින් විශේෂඥ කමිටුව වෙත යොමු කළ 6, 7, 8 සහ 9 යන ඉතා වැදගත් ප්‍රශ්න හතරට පිළිතුරු සපයා ඇත්තේ කමිටුවේ සාමාජිකයකු නොවන E -wis ආයතනයේ නාලක රණසිංහ නැමැති බාහිර පුද්ගලයකු විසින් බවයි. අධිකරණ නියෝගයකින් පරිබාහිරව ගොස් මෙලෙස බාහිර පාර්ශවයන්ගෙන් පිළිතුරු ලබාගෙන වාර්තා සැකසීම නීත්‍යානුකූලදැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය.

එමෙන්ම, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවේ වාර්තාවට අත්සන් තබා ඇත්තේ සාමාජිකයන් තිදෙනෙකු පමණක් බවත්, එහි නිල මුද්‍රාවක් පවා නොමැති බවත් ආරක්ෂක පාර්ශවය පෙන්වා දුන්නේය. සාක්ෂිකරු එය පිළිගනිමින් කියා සිටියේ, 'Ewis' ආයතනය වෙනම වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නිසා ඔවුන් යළි මෙම වාර්තාවට අත්සන් නොතැබූ බවයි.


ඩිජිටල් නඩු භාණ්ඩවල සුරක්ෂිතතාව සහ 'රෝ කවුන්ට්' (Row Count)

නඩු භාණ්ඩයක් ලෙස වෛද්‍ය සැපයුම් අංශයෙන් රැගෙන ආ පරිගණක සර්වරයේ සහ දෘඪ තැටිවල (Hard Disks) සුරක්ෂිතතාවය (Chain of Custody) පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි. වෛද්‍ය සැපයුම් අංශයෙන් පරිගණකය රැගෙන යාමට පෙර එහි නිලධාරීන් ඉදිරියේ මුද්‍රා තැබීමක් සිදු නොවීමත්, පොලිසිය භාරයට ගැනීමෙන් පසු මුද්‍රා තැබීමත් පිළිබඳව විත්ති පාර්ශවය ප්‍රශ්න කළේය.

මීට පිළිතුරු දෙමින් සහ පැමිණිල්ලේ මෙහෙයවීම යටතේ කරුණු දක්වමින් සාක්ෂිකාර උඩංගමුව මහතා කියා සිටියේ, ද්‍රව්‍යමය නඩු භාණ්ඩ සහ ඩිජිටල් දත්ත ඇතුළත් නඩු භාණ්ඩවල ඒකාග්‍රතාවය පරීක්ෂා කරන ක්‍රමවේද එකිනෙකට වෙනස් බවයි. සක්‍රීය පද්ධතියකින් (Live System) දත්ත ලබා ගැනීමේදී, මුල් පරිගණකයේ තිබූ දත්ත ප්‍රමාණය සහ පිටපත් කරන ලද බැකප් පද්ධතියේ දත්ත ප්‍රමාණය සමානදැයි 'රෝ කවුන්ට්' (Row Count - දත්ත පේළි ගණනය කිරීම) මඟින් නිවැරදිව තහවුරු කරගත් බව හෙතෙම සඳහන් කළේය. බලයලත් මුරපදයකින් (Password) තොරව එම දත්ත පද්ධතියට ඇතුළු වී වෙනස්කම්, එකතු කිරීම් හෝ මකා දැමීම් සිදු කළ නොහැකි බැවින් දත්තවල ආරක්ෂාව සියයට සියයක්ම තහවුරු කර ඇති බව රස පරීක්ෂක නිලධාරියා අවධාරණය කළේය.

අධිකරණ සාක්ෂි සටහන (සවිස්තරාත්මක වාර්තාව)

බාල ඖෂධ මිලදී ගැනීම පිළිබඳ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි දීම සඳහා සිව්වන දිනටත් පෙනී සිටි සැකකටයුතු ලේඛන පිළිබඳ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.ටී.ඊ. උඩංගමුව මහතාගෙන් 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ ; මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය ඔබ වෙත එවූ ප්‍රශ්නාවලිය මට පෙන්විය හැකිද?

(නීතිඥවරයා එම ලිපිය ලබාගෙන පරීක්ෂා කරයි)

නීතිඥ ; මෙය ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක වශයෙන් ඔබට පෞද්ගලිකව කර ඇති ඉල්ලීමක්. ඔබ වසර කීයක් සේවය කර තිබෙනවාද?

සාක්ෂිකරු ; වසර දහයක්.

නීතිඥ ; එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ පසු ඒ ගැන සලකා බලා කටයුතු කරන්නේ කෙසේද?

සාක්ෂිකරු ; විශ්ලේෂණ වර්ගය අනුව අදාළ විද්‍යාගාරයට යවනවා. රස පරීක්ෂකවරයා විසින් නම් කිරීමක් කරන්නේ නැහැ.

නීතිඥ ; දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් වූ විට අදාළ විෂයට නිපුණතා ඇති නිලධාරියා නම් කරනවා.

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.

නීතිඥ ; මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය ඔබගෙන්ම මේ ඉල්ලීම කරලා තියෙන්නේ ඇයි? එවකට ප්‍රධානියා කවුද?

සාක්ෂිකරු ; ජේ. ආර්. එම්. ජයසුන්දර මහතා.

නීතිඥ ; මීට වසරකට පෙර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා. එතකොට ඔබ මේ ධූරාවලියේ සිටියේ කොතැනද?

සාක්ෂිකරු ; ඒ වන විට හත්වන ස්ථානයේ.

නීතිඥ ; ඉහළම තනතුරට එන්න අවුරුදු විසිපහක් විතර යනවා. 2024 වන විට ධුරාවලියේ 7 වැනි තැන සිටි, සේවා කාලය වසර අටක් වූ ඔබට පුද්ගලිකව එම ප්‍රශ්නාවලිය එව්වේ ඇයි?

සාක්ෂිකරු ; ඊට පෙර මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය විශේෂඥ කමිටුවකට කෙනෙක් නම් කරන ලෙස කළ නියෝගයක් අනුව ජයසුන්දර මහතා මා නම් කර තිබුණා. මා වෙත පෞද්ගලිකව එව්වේ ඒ නිසා විය යුතුයි.

(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මහත්මිය එම ප්‍රශ්නය පිළිබඳ විරෝධය පළ කරයි)

නීතිඥ ; මෙම කමිටුව පත් කළේ මහේස්ත්‍රාත්තුමියද?

සාක්ෂිකරු ; මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

නීතිඥ ; එම පත්කිරීමෙන් පසු කරුණු නමයක් ගැන ඉල්ලීමක් කර තිබුණා. එහි ඔබ විසින් වාර්තා කළ යුතු කරුණු අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් ඉල්ලා තිබුණා නේද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.

නීතිඥ ; ඔබ වෛද්‍ය සැපයුම් අංශයට ගියා. යන්න පෙර හොයලා බැලුවද එම අංශය ගැන?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නීතිඥ ; එහි යන්න පෙර කමිටුවක් ලෙස සාකච්ඡා කළාද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

නීතිඥ ; 2024 මාර්තු 14 වැනිදා වෛද්‍ය සැපයුම් අංශයට යන විට කමිටුව මේ ගැන මූලික අවබෝධයක් අරගෙනද ගියේ?

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; වෛද්‍ය සැපයුම් ඒකකය අයත් වන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් බව දන්නවද?

සාක්ෂිකරු ; දැන සිටියා, නමුත් ඔහුගේ සේවා ධාරිතාව දැන සිටියේ නැහැ.

නීතිඥ ; ඔබ දන්නවාද වෛද්‍ය සැපයුම් අංශය භාරව යම් නිශ්චිත අධ්‍යක්ෂවරයෙක් සිටින බව?

සාක්ෂිකරු ; දන්නවා, නමුත් ඔහුගේ ධුරාවලිය දැන සිටියේ නැහැ ස්වාමීනී.

නීතිඥ ; 2024 මාර්තු වන විට වෛද්‍ය සැපයුම් ඒකකය භාරව වැඩබලන අධ්‍යක්ෂවරයෙක් සිටි බව දන්නවද?

සාක්ෂිකරු ; ආයතන ප්‍රධානියෙක් සිටින බව දැන සිටියත් ඔහු කවුද යන්න පෙර දැන සිටියේ නැහැ. මා ලියූ ලියුමකට වැඩබලන අධ්‍යක්ෂකගෙන් පිළිතුරු ලැබුණු නිසා පසුව දැනගත්තා.

නීතිඥ ; පැ 297 වාර්තාව හදන විටත් ඔබ වෛද්‍ය සැපයීම් ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ගැන නොදන්නා බවද කියන්නේ?

සාක්ෂිකරු ; මගේ වාර්තාව 2024 මාර්තු 14 දිනටයි ස්වාමීනී.

නීතිඥ ; ඔබ යද්දි වෛද්‍ය සැපයීම් ඒකකයේ අධ්‍යක්ෂ ගැන දන්නේ නැද්ද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නීතිඥ ; වෛද්‍ය සැපයුම් අංශයට ගිහින් කවුද සම්බන්ධ කර ගත්තේ?

සාක්ෂිකරු ; 2024/03/14 දින කමිටුවක් ලෙස එහි යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවෙන් අප යන විටත් අදාළ ආයතන ප්‍රධානීන් අවශ්‍ය පහසුකම් සලසා තිබුණා. මේ නිසා විශේෂයෙන් කිසිවෙකු හමුවුණේ නැහැ.

නීතිඥ ; ඒ වන විට පරිගණක අංශ භාර නිලධාරීන් ඉන්නා බව දැන සිටියාද?

සාක්ෂිකරු ; නිලධාරීන් සිටිය යුතු බව දැන සිටියා ස්වාමීනී.

නීතිඥ ; ඔවුන් හා සාකච්ඡා කර තොරතුරු සොයා බැලුවාද?

සාක්ෂිකරු ; කමිටු සාමාජිකයන්ට වෛද්‍ය සැපයීම් අංශයේ සම්බන්ධ කරගත යුතු අය දන්වා තිබුණා.

නීතිඥ ; එහි තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ සන්දපෙරුම මහතා හමුවුණාද?

සාක්ෂිකරු ; ඔහු 2024 මාර්තු 14 වැනිදා පැමිණ සිටියා. පසුව ඔහු ගියා.

නීතිඥ ; මොහොමඩ් හිජාස් නැමැති නිලධාරියා සම්බන්ධ කර ගත්තද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී, ඔවුන් අපට අවශ්‍ය තොරතුරු ලබා දුන්නා.

නීතිඥ ; මෙම ඖෂධ සැපයීම් අංශය දිවයින පුරා රෝහල් 1159 කට ඖෂධ සපයන බව දැන සිටියාද?

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; රස පරීක්ෂක නිලධාරියෙක් වශයෙන් දන්නවා සෞඛ්‍ය පවත්වාගෙන යාමේ වැදගත්කම?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.

නීතිඥ ; ඔබ වාර්තාව ලිව්වේ වගකීමෙන්?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; 2024 මාර්තු 14දා එහි ගිය විට කමිටුව තීරණය කළා බැකප් සර්වර් (Backup Server) එකක් ගෙන යා යුතුය කියා?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; එය ගෙන ගියේ කවුද?

සාක්ෂිකරු ; විද්‍යාගාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් භාරදී තිබුණා.

නීතිඥ ; ඊට අදාළ ලියවිල්ලක් තිබේද?

සාක්ෂිකරු ; සංදේශය භාරදී ඇති ස්වාමීනී.

නීතිඥ ; ඔබ කියනවා ඔබ දෙපාර්තමේන්තුව භාරගන්නා ලද වෛද්‍ය සැපයුම් අංශයේ සර්වරය ඇතුළු භාණ්ඩ ගැන නිකුත් කළ සංදේශය 'පැ 297A' හි 'M3' ලෙස අංකිත සීරියල් අංකය (Serial Number) නිරීක්ෂණය වූ බව මුල් පිටපතේ තියෙනවා කියලා. එහි දෘඪ තැටිය (Hard Disk) ගැන සඳහනක් නැහැ.

සාක්ෂිකරු ; 'M3' ලෙස සඳහන් වන්නේ දෘඪ තැටියයි. මුල් අවස්ථාවේ වෙනත් සීරියල් අංකයක් සඳහන් වුණු බව දුටු නිසා අප එය සඳහන් කර තිබෙනවා. එහි අංකය ලෙස ලේඛනයේ තිබුණේ 61060-442 නමුත් එහි සඳහන් වූ සීරියල් අංකය 61060-0462 බව නිරීක්ෂණය වුණා. මම එය මුද්‍රණ දෝෂයක් බව දැනගත්තේ මා විසින් වෛද්‍ය සැපයුම් ඒකකයේදී මගේ සටහන් පොතේ ලියාගෙන තිබූ සීරියල් අංකය හා සැසඳීමෙන්.

නීතිඥ ; කවුද එය මුද්‍රා තබා තිබුණේ?

සාක්ෂිකරු ; මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

නීතිඥ ; වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ගනිද්දී මුද්‍රා තැබුවේ කවුද?

සාක්ෂිකරු ; අප දුටුවේ නැහැ. නමුත් අප වෙත ගෙන එද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබුණා.

නීතිඥ ; අධිකරණයෙන් ආ මුද්‍රා කාගේද?

සාක්ෂිකරු ; මහේස්ත්‍රාත් අධිකරණයේ ඒවා.

නීතිඥ ; මුද්‍රා සැසඳුවාද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී, අධිකරණයෙන් මුද්‍රා තබා දුන් බව අපි නිරීක්ෂණය කළා.

නීතිඥ ; එතකොට වෛද්‍ය සැපයුම් ඒකකයෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යද්දී මුද්‍රා තැබුවාද යන්න දන්නවද?

සාක්ෂිකරු ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් ක්‍රමවේදයක් අනුව ගෙනගියා විය හැකියි.

නීතිඥ ; පරිගණකය ගෙන යන්න 03/14 දින තීරණය කර තිබුණා. Data backup කර install කරපු එකද අප්‍රේල් 8 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ?

සාක්ෂිකරු ; අප කමිටු සාමාජිකයින් භාර දුන්නේ.

නීතිඥ ; ඔබ භාර ගත්තා කියා වෛද්‍ය සැපයුම් අංශයේ කොහොමද සටහන් වන්නේ? ඔබ පරීක්ෂා කළාද සුරක්ෂිත කළේ කොහොමද කියා?

සාක්ෂිකරු ; Row count (රෝ කවුන්ට්) මඟින් තහවුරු කර ගත්තා.

නීතිඥ ; ඒක ඒ ආකාරයෙන්ම පවතින බවට මුද්‍රා තැබුවාද?

සාක්ෂිකරු ; නිසි පරිදි ක්‍රියා විරහිත කොට අක්‍රිය කළා.

විනිසුරු ; ඉන්පසු පරිගණක දත්ත වලට ප්‍රවිශ්ට විය හැකිද?

සාක්ෂිකරු ; නොහැකියි ස්වාමීනී.

නීතිඥ ; ඔබ එය හරි හැටි කළ බව කියන්න සමකාලීන වාර්තා තිබිය යුතුයි.

සාක්ෂිකරු ; අපි කළ කටයුතු වෙනම සටහන් කර ගත්තා. ඒ ඇසුරින් වාර්තාව සකස් කළේ පරිගණකය නඩු භාණ්ඩයක් වශයෙන් අරගෙන යන බව දැනුවත් කරලයි බැකප් පටන් ගත්තේ. අප්‍රේල් 8 වැනිදා වන විට එම කටයුතු අවසන්. මගේ දත්ත පිටපත් වූ පසු විශේෂ ක්‍රියාමාර්ග අරගෙන ක්‍රියා විරහිත කළා. අනතුරුව නඩු භාණ්ඩයක් ලෙස එහි සිටි නිලධාරීන්ට දුන්නා. ඔවුන් මුද්‍රා තබනවා අප දුටුවේ නැහැ. එය නිත්‍යානුකූලව කරන්න ඇති කියා අපි උපකල්පනය කරනවා.

නීතිඥ ; එහි වෛද්‍ය සැපයුම් අංශයේ අයත් සිටියද?

සාක්ෂිකරු ; හිජාස් සහ සන්දරප්පෙරුම මහත්වරු සිටියා.

නීතිඥ ; පරිගණක ආශ්‍රිත කටයුතු කරන දෙපළක් ඔවුන්. ඔවුන්ගෙන් අත්සන් ගත්තද?

සාක්ෂිකරු ; නැහැ.

නීතිඥ ; ඔවුන් භාරයේ තිබී ලබාගත් පරිගණකය ඔවුන්ගේ මුද්‍රාවලින් මුද්‍රා තැබුවෙත් නැහැ.

සාක්ෂිකරු ; එතනින් එහාට කටයුතු කළේ පොලිසිය.

නීතිඥ ; මහේස්ත්‍රාත් අධිකරණයේ මුද්‍රා තබා එවපු පරිගණකය ඇතුළු දේපළ වලින් 297A වාර්තාව දුන්නා කිව්වා. වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඉවත් කිරීමට පෙර එහි නිලධාරීන් ඉදිරියේ මුද්‍රා තැබීමක් කර තිබුණු බව හෙළි වුණාද?

සාක්ෂිකරු ; මා එහිදී පරීක්ෂා කළේ නැහැ. පොලිසියට බාර දී අප පැත්තකට වුණා. නඩු භාණ්ඩ අප විද්‍යාගාරයට ආවාම එහි මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මුද්‍රාව සහ පොලිස් මුද්‍රාවක් තිබූ බව දැක්කා.

නීතිඥ ; 4/17 වෛද්‍ය පර්යේෂණ අංශයෙන් තැබූ මුද්‍රාවක් නොතිබූ බව පිළිගන්නවද?

සාක්ෂිකරු ; පිළිගන්නවා ස්වාමීනී.

නීතිඥ ; ඔබ වාර්තාවේ ආවරණ ලිපියක් උක්ත හතර ඡේදයේ වාර්තාව මේ සමග එවමි කියනවා. එහි කමිටු සාමාජිකයන් වන උඩංගමුව, සඳගිරි, අමරජීව, අනුජා ජයසිංහ යන අය සාමාජිකයින්. ප්‍රධානියා කවුද?

සාක්ෂිකරු ; මා නමට අධිකරණය ආමන්ත්‍රණය කර තිබූ නිසා මම ප්‍රධානියා සේ කටයුතු කළා. නියෝගය අනුව මා ප්‍රධානත්වය දැරිය යුතු බව කමිටු සාමාජිකයින් තීරණය කළා. ඔවුන්ට ලැබී තිබුණේ ලිපියේ පිටපත්.

නීතිඥ ; හතර ඡේදයේ සඳහන් වාර්තාව කෝ?

සාක්ෂිකරු ; වාර්තාව එහි අමුණා තිබෙනවා.

නීතිඥ ; මේ වාර්තාවේ නම නොමැති Ewis අයගෙන් සහය ලබාගෙන තිබෙනවා.

සාක්ෂිකරු ; මමත් සඳගිරි මහතාත් අධිකරණ දත්ත බලාගෙන හැකි සේ සැකසුවා. අපේ විද්‍යාගාරයේ කළ ඒ කටයුත්තට සඳගිරි මහතා ආවා.

නීතිඥ ; සාමාජිකයන් පස්දෙනෙක් ඉන්නවා. නම් කර ඇත්තේ ඔබත් සඳගිරිත් පමණයි. 4 ඡේදයේ අනික් අයගේ නම් නැහැ.

සාක්ෂිකරු ; අනෙක් අයත් සහභාගී වුණා. නමුත් Ewis අය වෙනම වාර්තාවක් යවා ඇති නිසා ජයසිංහ, සඳගිරි හා මගේ අත්සන පමණක් තැබුවා.

නීතිඥ ; වාර්තාව යැයි හඳුන්වන ලේඛනයේ පිටු තුනයි. එය සම්බන්ධ කළේ කොතැනින්ද?

සාක්ෂිකරු ; 6 ඡේදයෙන්.

නීතිඥ ; අත්සන් කරලා තියෙන්නේ පස් දෙනෙකුගෙන් තුන්දෙනයි.

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; නිල මුද්‍රාවක් නැහැ?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.

නීතිඥ ; මහේස්ත්‍රාත්ගේ 6,7,8,9, ප්‍රශ්න වලට ඔබ පිළිතුරු සැපයිය යුතුයි.

සාක්ෂිකරු ; මෙම වාර්තාව සම්පාදනය කරන විට කමිටුවක් ලෙස ලබාදිය යුතු පිළිතුරු සාකච්ඡා කර තිබුණා. ඉවිස් (Ewis) ආයතනයෙන් තොරතුරු ඉල්ලූ විට ඔවුන් අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කළ නිසා යළි අපේ වාර්තාවට අත්සන් කළ යුතු නැති බව දැන්වුවා.

නීතිඥ ; පස්වන ඡේදයේ 6,7,8,9, ප්‍රශ්න වලට පිළිතුරු සපයා තිබුණේ නාලක රණසිංහ නමැත්තෙක්. වැදගත් ප්‍රශ්න හතරකට කමිටු සාමාජිකයෙක් නොවන අයෙකුගෙන්, මහේස්ත්‍රාත් නියෝගයෙන් පිටගොස් මහේස්ත්‍රාත්තුමියගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඔබට පුළුවන්ද?

සාක්ෂිකරු ; ඔවුන් එවූ කරුණු ඇතුළත් කර මම වාර්තාව සකස් කළා.

නීතිඥ ; කමිටුවට ඇතුළත් නොවන්නෙක් 6,7,8,9, ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව ඔබ පිළිගන්නවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. (සාක්ෂිකරුගේ අවධානය මහේස්ත්‍රාත්තුමියගේ ප්‍රශ්නාවලියට යොමු කරවයි)

නීතිඥ ; ඖෂධ 182කට අදාළව ජාතික තොගය අහලා තියෙනවා නේද?

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; ජාතික තොගය ගැන දෙවැනි ප්‍රශ්නයෙනුත් අහනවා. ජාතික තොගය ලෙස සඳහන් වන්නේ රට පුරා මධ්‍යස්ථාන 1159 ක ඇති ප්‍රමාණයයි. වෛද්‍ය සැපයුම් අංශය එහි කේන්ද්‍රස්ථානයයි. ඔබ එම අංශයේ තොග ගැන බැලුවද?

සාක්ෂිකරු ; නියෝගයේ ඉල්ලා ඇති පරිදි ලබා ගත්තා.

නීතිඥ ; දිවයින පුරා ඇති තොගයට වඩා යම් ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ පවත්වාගෙන යන බව දැන සිටියාද? එම ප්‍රමාණය සාපේක්ෂව වැඩි බව දුටුවාද?

සාක්ෂිකරු ; අධිකරණය ඉල්ලූ දත්ත ලබාදෙන්න අපි උනන්දු වුණා.

නීතිඥ ; දත්ත වලට පිවිසිය නොහැකිව තිබුණාද කියලා අහලා තිබුණා නේද?

සාක්ෂිකරු ; හේතු දක්වන්න කියලා තිබුණා නොහැකි නම්. හැකිවුණු නිසා හේතු දැක්වූයේ නැහැ.

නීතිඥ ; ඖෂධ 182 කට අදාළව හතරකට එස් ආර් (SR) අංක තිබුණේ නැහැ කිව්වා.

සාක්ෂිකරු ; ඔව් පද්ධතිය තුළ එස් ආර් අංක නැති බව හෙළිවුණේ, 00904302, 00903201, 00901401 සහ 00300602 යන ඒවායි.

නීතිඥ ; ඔබ වෙත එවූ ලැයිස්තුවේ, ඖෂධ වල නම් හා අංක තිබුණද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

(10V37 හා 10V43 දක්වා ලේඛනවලට සාක්ෂිකරුගේ අවධානය යොමු කරයි. පැමිණිල්ල ඊට විරුද්ධ වෙයි)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ස්වාමීනි, මේ අවස්ථාවේ සාමාන්‍ය රාජකාරී අතරේ තොග පාලන නිලධාරීන් සැකසූ වාර්තාවක් ගැන විශේෂඥ සාක්ෂි දෙන්නෙකු වන මෙම සාක්ෂිකරු සතුව දත්ත නැති බැවින් පැමිණිල්ල විරෝධය පළ කරනවා.

විනිසුරු ; මෙම ලේඛනය ලකුණු කර ඇති බැවින් සාක්ෂිකරුගේ දැනුම අනුව සාක්ෂි දිය හැකියි.

නීතිඥ ; 10V38 බලන්න. අනු අංක 365 යටතේ ඔබ සඳහන් කළ SR අංකය ඇතුළත්ද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

(මෙසේ තොග පාලන නිලධාරීන් සැකසූ 10V38, 10V39, 10V40, 10V41 ලෙස ලකුණු කරන ලද ලේඛන පෙන්වා සාක්ෂිකරුගේ ලේඛනයේ නැති ඖෂධ එහි තිබේදැයි විමසනු ලැබූ අතර ඒවා එම ලේඛනවල ඇතැයි සාක්ෂිකරු පිළිගත්තේය)

(පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය හරස් ප්‍රශ්න ඇසීම අරඹන ලදී)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 10V38, 10V40, 10V41 ලේඛනවලට මම ඔබේ අවධානය යොමු කරවනවා. 10V38I හී අවසානයේ ඇති SR අංක ගැන ප්‍රශ්න කළා නේද?

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ පිළිගන්නවද ඔබට 297 A I හි සොයාගන්නට බැරිවුණු ඖෂධ එහි ඇති බව?

සාක්ෂිකරු ; මෙය මට ආගන්තුක ලේඛනයක්. SR අංක වලට අදාළව පමණක් මම පිළිතුරු දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙය දෘඪ පිටපතක් (Hard copy). ඔබ ඩේටාබේස් (Database) එකෙන් වාර්තාව හැදුවේ. අධිකරණය හඳුනාගත් පැ 229E 3 හා 229 E4 දත්ත පිටපත් කර දෙන්න කියා තිබුණා. ඒ 2022 සැප්තැම්බර් 01 සිට 30 දක්වා. 10V 38 හි දිනය බලන්න.

සාක්ෂිකරු ; එහි දිනය 2022 ජුනි 19.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 10V39 ලේඛනයේ දිනය 22/6/17. 10V41 ට දිනයක් නැහැ.

සාක්ෂිකරු ; නිවැරදියි ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 10V 40 හදා තිබුණේ කවර දිනයකටද?

සාක්ෂිකරු ; 2022/7/23 දින.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 10V42 ඊමේල් පණිවිඩයේ දිනය කවදාද?

සාක්ෂිකරු ; 2022/06/26.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ සියල්ල ඔබට වාර්තාවක් හැදීමට දුන් දිනවලට පෙර දිනවල් නේද?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නඩු භාණ්ඩයක ඒකාග්‍රතාව ප්‍රශ්න කළා. මෙම නඩු භාණ්ඩ ද්‍රව්‍යමයද ඩිජිටල්ද?

සාක්ෂිකරු ; ස්වාමීනි, ඒවා ඩිජිටල් දත්ත ඇතුළත් නඩු භාණ්ඩ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ද්‍රව්‍යමය ඒවා විදිහට ගන්න පුළුවන්ද?

සාක්ෂිකරු ; ද්‍රව්‍යමය ඒකාග්‍රතාව විදිහට ඩිජිටල් ඒවා දිහා බලන්න බැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සක්‍රීය ප්‍රොන්ටෝ පද්ධතියකින් (Pronto System) සර්වර් දත්ත ලබා ගැනීම තීරණය කළ අවස්ථාවේ එහි දත්තවල ඒකාග්‍රතාව පරීක්ෂා කළේ කෙසේද?

සාක්ෂිකරු ; එහි දත්ත දෘඪ තැටියකට ගෙන යළි බැකප් එකට සහ එතැනින් වෝහාරික පරීක්ෂණයකට ගෙන යන නිසා පිටපත් වුණාද බලන්න යළිත් මුල් පරිගණකයේ Row count (රෝ කවුන්ට්) බලා, බැකප් එකේ Row count බලා තහවුරු කර ගත්තා.

විනිසුරු ; වෛද්‍ය පර්යේෂණ ඒකකයේ සිට පරීක්ෂා කර තිබෙන කාලය දක්වා ප්‍රවේශයක් (Access) වෙලා තිබෙනවාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී, එහෙම කරන්න Password (මුරපදය), User name (පරිශීලක නාමය) අවශ්‍යයි. දත්ත බැලීම සහ වෙනස් කිරීම සඳහා බලය ලත් මුරපදයක් විය යුතුයි. එවැන්නක් වෙලා නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; Live (සක්‍රීය) පරිගණකයක බැකප් එක රෝ කවුන්ට් එකකින් සනාථ කරගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම ඩේටාබේස් එකට ඇති ආරක්ෂාව කියන්න.

සාක්ෂිකරු ; පරිශීලකයන්ට පවා ඩේටාබේස් එකක් බලන්න විතරයි අවසර තියෙන්නේ. එහි වෙනස් කිරීම්, එකතු කිරීම් හෝ මකා දැමීම් කළ නොහැකි බව නිරීක්ෂණය කළා. අප විද්‍යාගාර විවෘත කළ 2016 සිට මේ දක්වා විමර්ශන නිලධාරීන් සමග නඩු භාණ්ඩ ලබාගෙන මුද්‍රා තබා තිබෙනවා. අපරාධ ස්ථානවලදී නඩු භාණ්ඩ අරන් එන්නේ නැහැ. එය පොලිසියට පවරනවා. ඔවුන් භාරයට ගෙන අධිකරණ නියෝගය සමඟ අපට එවන්න කියනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඒ දත්ත වලට ප්‍රවේශ වීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ප්‍රවේශ ඉල්ලා සිටියා. ඔබට මුරපදය ලැබුණු පසු ඒවා පරීක්ෂා කළාද?

සාක්ෂිකරු ; මෙම දත්ත පද්ධතියට ප්‍රවිශ්ට වීමට අවශ්‍ය පරිශීලක දත්ත වෙනස් කළ නොහැකියි. වෛද්‍ය සැපයුම් අංශයෙන් පරිගණකය රැගෙන ඒමෙන් පසු පරීක්ෂණ කටයුතුවලට පෙර රෝ කවුන්ට් සමඟ සසඳා බැලුවා. අනතුරුව පරීක්ෂණ දින කිහිපයක් කළා. Restart කරන්නත් වුණා. අවසන් අවස්ථාවෙත් අපි රෝ කවුන්ට් වලින් දත්ත සමාන බව තහවුරු කළා. එම දත්ත මේ වනතුරුත් වෙනස් වෙලා නැහැ.

(මෙම සාක්ෂියට අදාළ සංයුක්ත තැටිය (පැ 297) ක්‍රියාත්මක කළ අවස්ථාවේ යම් යම් බාධා ඇතිවූ බැවින් එහි දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති පිටපත සුරක්ෂිතතාවය රැකෙන පරිදි තබන්නැයි නියෝග කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දුන්නේය)

(පස්වරුවේ සාක්ෂිය සඳහා වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලන නිලධාරී, හේරත් මුදියන්සේලාගේ මහේෂ් නන්දන බණ්ඩාර මහතා සාක්ෂි සඳහා කැඳවා තිබිණි)

(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරු මෙසේද කීය)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකය යනු කුමක්ද?

සාක්ෂිකරු ; රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත්, උපකරණ ආදිය ලබාදෙන ආයතනයයි. එහි අංශ රාශියක් තිබෙනවා. තොග පාලන, වාප්පු, මූල්‍ය, සැකසීම් ආදී අංශ මෙන්ම අභ්‍යන්තර ගබඩාද තිබෙනවා. එමෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නඩත්තු වන වාප්පු අංශයක්ද තිබෙනවා. මම 2010 දී තොග පාලන අංශයේ සේවයට බැඳුණු ඖෂධවේදියෙක්. දැනට එහි ප්‍රධාන තොග පාලක ලෙස කටයුතු කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග හඳුනා ගැනීමේ අංශයකුත් තිබේද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තවත් එහි සේවය කරන්නේ කවුද?

සාක්ෂිකරු ; තවත් තොග පාලන නිලධාරීන් දහතුන් දෙනෙක් සිටිනවා. මට ඉහළ නිලධාරීන් වන්නේ සහකාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදී ධූරාවලියයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සෘජු නියෝග ලැබෙනවද?

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලන නිලධාරියකුගේ රාජකාරිය කුමක්ද?

සාක්ෂිකරු ; ඇස්තමේන්තු පුරෝකථනය, වාර්ෂික අවශ්‍යතා, වාර්ෂික ඇණවුම් සකස් කිරීම, ඇණවුම්වලට අදාළව කාලසටහන් සකස් කිරීම ආදියයි. විවිධ කමිටුවලටත් සහභාගී වෙන්න සිදු වෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; විගණන විමසුම් කරනවද?

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වාර්ෂික ඇස්තමේන්තුව යනු කුමක්ද?

සාක්ෂිකරු ; රෝහල්වල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ගෙන එන ඖෂධ ඇස්තමේන්තුව සැකසීමයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයේ කමිටුවක් වට්ටෝරුවක් සකස් කළොත් එය ලබා දෙන්නේ කවුද?

සාක්ෂිකරු ; තත්ත්ව පාලන අංශය යටතේ ඒවා සිදුවන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ හා සම්බන්ධ SR අංකය කුමක්ද?

සාක්ෂිකරු ; ඉලක්කම් අටකින් යුත් මේ අංකය විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරන සෑම ඖෂධයකටම තිබෙනවා. මුල් ඉලක්කම් තුනෙන් අයත් වන රෝගය හැඳින්වෙනවා. උදාහරණ ලෙස 012 යටතේ පවතින්නේ මැලග්නන්ට් (Malignant) ඖෂධ. ඒවා පිළිකා රෝග සඳහායි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේවා තීරණය කරන්නේ කවුද?

සාක්ෂිකරු ; වට්ටෝරු සමාලෝචන අංශයෙන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඉතිරි අංක 5 මොනවාද?

සාක්ෂිකරු ; Dosage form (මාත්‍රා ආකාරය) එක, strength (සර්ව ශක්ති ප්‍රමාණය) එක ආදිය එම ඉලක්කම්වලින් කියවෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 වෙද්දි ඖෂධ සමාලෝචන කමිටුව රෝහල්වලට අවශ්‍ය ඖෂධ කීයක් හඳුනාගෙන තිබුණාද?

සාක්ෂිකරු ; 1346 ක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වර්ගීකරණ යටතේ කොපමණ තිබුණාද?

සාක්ෂිකරු ; ජීවිතාරක්ෂක 14, අත්‍යවශ්‍ය (Essential) 675, අත්‍යවශ්‍ය නොවන (Non-essential) 657 යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වර්ගීකරණය සඳහා වූ ලැයිස්තුව සකසන්නේ කවුද?

සාක්ෂිකරු ; තත්ත්ව පාලන ඒකකයෙන්. ඔවුන් දත්ත සකසා පරිගණක අංශයේ ඇස්තමේන්තු ක්‍රියාවලියට ඉදිරිපත් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ඖෂධ ලැයිස්තු ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට ඉදිරිපත් කර තිබුණාද?

සාක්ෂිකරු ; ඔව්.

(නඩු විභාගය ඉදිරි දිනයකට කල් තැබිණි)

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0