මාධ්‍ය නොමැතිව නඩු ඇසීමේ අභිලාෂය කාගේද..?

එක් අතකින් බලන විට එය එසේම නම් නීතිඥවරුන්ගේ ක්‍රියා කලාපයේ ඇති වරදක්ද මාධ්‍ය වලට නොපෙනේ. මන්ද උසාවියක් තුළ සටන්කාමීව නීතිඥවරු නීති තර්ක ගෙන එමින් හඹවන ආකාරයන් දැක බලා ගැනීමට හා පුවත්පතක් මගින් කියවීමට ප්‍රේක්ෂකයා උනන්දු බවත් ඒ දෙස ප්‍රේක්ෂකයා හෝ පාඨකයා ප්‍රහර්ෂයෙන් යුතුව බලන බවත් මාධ්‍යවේදී වාර්තාකරුවන් හොඳින් දනී. එබැවින් ඔවුන් මේ උසාවියේ ජවනිකා රස ගන්වා වාර්තාකරණය කිරීමේ වරදක් තිබේද... මෙම නඩුකරයේ විත්තිකරුවන් දොළොස් දෙනකු වෙනුවෙන් පැමිණෙන අති දක්ෂ නීතිඥයෙන් දොළොස් දෙනකු සමග නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණෙන උගත් බුද්ධිමත් රූමත් අතිරේක සොලිසිටර් ජෙනරාල් තුමිය කිසිදු චකිතයකින් තොරව සටන්කාමීව හබ වන ආකාරය පොදු ජනතාව වෙනුවෙන් වාර්තාකරණයේ යෙදෙන්නේද මාධ්‍යවේදීන්ය...

Mar 5, 2026 - 12:58
Mar 5, 2026 - 12:59
 63
මාධ්‍ය නොමැතිව  නඩු ඇසීමේ  අභිලාෂය කාගේද..?

මාධ්‍ය නොමැතිව 

නඩු ඇසීමේ 

අභිලාෂය කාගේද..?

පුවත්පත් ආයතනයකින් හෝ මොනයම් විද්‍යුත් මාධ්‍ය ආයතනයකින් වාර්තාකරුවකු ලෙස මාධ්‍යවේදියෙක් උසාවියට එවන්නේ එම දිනයේ පවතින ඉතා වැදගත් මෙන්ම, රටේ පාඨක ප්‍රේක්ෂක ජනතාවගේ අවධානය වැඩිපුර දිනාගත් “ජනප්‍රිය නඩු කටයුතු” පිළිබඳ හැකි තරම් තොරතුරු මාධ්‍ය ආයතනය වෙත වාර්තා කිරීම සඳහා ය...


කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයට එසේ පැමිණෙන මාධ්‍යවේදියා සතු වගකීම් බොහෝය. මන්ද එහි දිනපතාම ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණ ආදී උසාවි රැසක නඩු කටයුතු ගණනාවක් එකවර විභාග කෙරෙමින් පවතින නිසාය. 


මාධ්‍ය ආයතනයකින් එවන මාධ්‍යවේදියාට හෝ දෙදෙනාට එම සෑම උසාවියකම නඩු කටයුතු වාර්තා කිරීම පහසු නොවේ. එම අවස්ථාවල ඔවුන් කරන්නේ තම සහෝදර මාධ්‍යවේදීන් සමඟ ආසන්න අනෙකුත් උසාවිවල නඩු කටයුතු පිළිබද තොරතුරු සහෝදරත්වයෙන් හුවමාරු කර ගැනීමේ උපක්‍රමය භාවිත කිරීමයි... ඒ සඳහා අත්‍යාවශ්‍යම උපකරණය වූයේ ජංගම දුරකථනයයි...


එහෙත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරුණු හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab) ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩු කටයුත්ත ආරම්භයේ පටන් එසේ තොරතුරු හුවමාරු ක්‍රමය යටතේ වත් වාර්තාකරණය කිරීම පහසු වූයේ නැත. මන්ද එය එක් අතකින් සතියේ දින පහ තුළම දිනපතා දවස පුරාම ඇසෙන නඩු කටයුත්තකි. අනිත් විශේෂත්වය වූයේ ආරම්භයේදීම අධිකරණ ශාලාවට මාධ්‍යවේදීන්ට දුරකථන රැගෙන ඒම තහනම් කර තිබීමයි...


එබැවින් මෙම නඩුවට යම් මාධ්‍යවේදියෙක් පැමිණියහොත් ඔහුට හෝ ඇයට එම නඩු කටයුත්ත වාර්තා කරනවා හැරුණු විට අනෙකුත් උසාවි ගණනාවකම නඩු කටයුතු වාර්තා කිරීම මගහැරී ගියේය. එබැවින්  ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුව මුල සිටම දැක්කේ මාධ්‍යවේදීන්ට වාර්තාකරණය පිණිස බාධාකාරී අභිලාෂයන් පෙරදැරි කරගත් නඩුකටයුත්තක් හැටියටය...


එහෙත් පසුකාලීනව එම නඩු කටයුත්තේ ප්‍රබලත්වය හා එහි විභාග වන වැදගත් තොරතුරුවල වටිනාකම සලකා බැලූ මාධ්‍ය කණ්ඩායම් අනෙක් උසාවිවල නඩු කටයුතු පසෙක තබා මෙම උසාවියේ නඩු කටයුත්ත වාර්තා කරන්නට තීරණය කළහ. මාධ්‍යවේදීන්ගේ යුක්ති සහගත ඉල්ලීම්වලට ඇහුම්කන් දුන් ගරුතර විනිසුරුතුමන්ලා දුරකථන රැගෙන ඒමේ පහසුවද සලසා දුන් බව ස්තුති පූර්වකව පැවසිය යුතුය...


එහෙත් මෙම නඩු කටයුත්ත ආරම්භයේ පටන්ම නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය කෙරෙහි දක්වා තිබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. කොටින්ම කියන්නේ නම් එම නඩු කටයුත්ත වාර්තා කිරීමට මාධ්‍යවේදීන් පැමිණීම ඔවුන්ගේ හිත සුව පිණිස පිණිස නොවන බව පෙනෙන්නට විය...


මෙම නඩුකරයේ පැමිණිල්ල ලෙස කටයුතු කරන, පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිපති දෙපාර්තමේන්තුව හා එහි සොලිස්ටර් ජෙනරාල්වරිය මේ නඩුව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ගේ පැමිණීම හිසරදයක් සේ දකින්නට හේතු පාදක කරගෙන ඇත්තේ කුමක්ද...


පසුගිය තුන් වැනිදා නඩුකරය විමසන අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමිය වක්‍රාණුසාරයෙන් මාධ්‍යවලට චෝදනාවක් එල්ල කළාය...


ඇය පෙන්වා දුන්නේ විත්තියේ නීතිඥයෝ මේ තරම් ප්‍රාණවත් වී දැඩි ලෙස තර්ක විතර්ක ගෙන එමින් සටන්කාමී ලෙස ප්‍රශ්න අසන්නේ මාධ්‍යවලට පෙනෙන්නට බවයි. මාධ්‍ය ඉදිරියේ වීරයන් වන්නට බවයි.


එක් අතකින් බලන විට එය එසේම නම් නීතිඥවරුන්ගේ ක්‍රියා කලාපයේ ඇති වරදක්ද මාධ්‍ය වලට නොපෙනේ. මන්ද උසාවියක් තුළ සටන්කාමීව නීතිඥවරු නීති තර්ක ගෙන එමින් හඹවන ආකාරයන් දැක බලා ගැනීමට හා පුවත්පතක් මගින් කියවීමට ප්‍රේක්ෂකයා උනන්දු බවත් ඒ දෙස ප්‍රේක්ෂකයා හෝ පාඨකයා ප්‍රහර්ෂයෙන් යුතුව බලන බවත් මාධ්‍යවේදී වාර්තාකරුවන් හොඳින් දනී. එබැවින් ඔවුන් මේ උසාවියේ ජවනිකා රස ගන්වා වාර්තාකරණය කිරීමේ වරදක් තිබේද...


මෙම නඩුකරයේ විත්තිකරුවන් දොළොස් දෙනකු වෙනුවෙන් පැමිණෙන අති දක්ෂ නීතිඥයෙන් දොළොස් දෙනකු සමග නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණෙන උගත් බුද්ධිමත් රූමත් අතිරේක සොලිසිටර් ජෙනරාල් තුමිය කිසිදු චකිතයකින් තොරව සටන්කාමීව හබ වන ආකාරය පොදු ජනතාව වෙනුවෙන් වාර්තාකරණයේ යෙදෙන්නේද මාධ්‍යවේදීන්ය... 


ඉතින් එය වරදක් වන්නේ කෙසේද... ඒ සඳහා ගරු විනිසුරුතුමන්ලා හොඳම උත්තරය ලබා දෙමින් නඩු කටයුත්ත බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන්නට කල්පනා කිරීම පිළිබඳ මාධ්‍යවේදීන් හැටියට අපට ඇත්තේ, අපි සර්වබල නීතිය මෙහෙයවන ආයතන හා විනිසුරුතුමන්ලා ගැන ඉමහත් ආඩම්බරයකි...


එම ආඩම්බරය ඔස්සේ අපි තවත් දවසක (04 වැනිදා) නඩු කටයුත්ත මෙසේ වාර්තාකාරණය කොට තබන්නට ඉදිරිපත් වී ඇත්තෙමු...


රටේ දැඩි ඖෂධ හිඟයක් පවතින අවස්ථාවලදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා ලියාපදිංචිය මගහැර ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ රටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පෙර ලියාපදිංචිය ලබා ඇති හෝ නැති පුද්ගලික සැපයුම්කරුවන්ට පවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දෙන්නේ යැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍යය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (04) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් පැවසීය. 


මින් පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා ඇති සැපයුම්කරුවන්ගේ පෙර දැනුම හා පලපුරුද්ද මෙන්ම ඔවුන්ගේ පෙර යහපත් ක්‍රියා කලාපය කෙරෙහි අවධානය යොමු කර තම අධිකාරිය එලෙස කටයුතු කරනා බවත් ඖෂධ නියාමන පනත ප්‍රකාරව පැවරී ඇති. බලතල අනුව ලියාපදිංචිය නොමැති සැපයුම්කරුවන්ට පවා එම අවස්ථාව හිමිකර දෙන බවත් පැවසූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් ඖෂධ සැපයුම් කටයුතු සිදුකළ යුත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධීක්ෂණය හා සුපරික්ෂාකාරීත්වයන් යටතේ වන්නේ යැයි යැයිද පැවසීය. ලියාපදිංචිය මගහැරීමේ ක්‍රමවේදය යටතේ හදිසි අවස්ථාවලදී එකී අවසරය ලබා දුන්නත් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව තමා දන්නා බවත් එලෙස සපයනු ලබන ඖෂධ වල ගුණාත්මක භාවය ඇතුළු කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කරන්නේ යයිද පැවසීය. 


ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීම් සහ රිටක්සිටැබ් එන්නත් කුප්පි 6195 ක් සපයා රජයට අයත් රුපියල් කෝටි දාහතරකට අධික මුදලක් වංක ලෙස ව්‍යාපහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (04) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.


පැමිණිල්ල ; ඔබ කිවූ පරිදි  හදිසි අවස්ථාවලදී ලියාපදිංචිය බැහැර කිරීමේ ක්‍රමවේදය යටතේ ඖෂධ සපයා ගැනීමේ දී ලියාපදිංචි ඖෂධය සැපයුම්කරුවන් කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නේ ඇයි කියලා ගරු අධිකරණයට පහදා දෙන්න. 


සාක්ෂිකරු ; ඒ අයගේ පලපුරුද්ද මෙන්ම ඔවුන් ලියාපදිංචිය ලබාගෙන මින් පෙර සපයා තිබූ ඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳවත් දැඩි අවධානය යොමු කරනවා. අපි එහෙම කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු වගකීම තහවුරු කිරීමේ අරමුණින්. සැපයුම්කරු සපයන ඖෂධ ඇගයීමකටත් ලක් කරනවා. ඖෂධ නිෂ්පාදකයා ගැන මෙන්ම සැපයුම්කරු පිළිබඳවත් දැනගැනීම ඖෂධයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමට වැදගත් වෙනවා. නීතිය ලිහිල් කළ එවැනි හදිසි අවස්ථාවලදී අපි ලබාදෙන එම අවසරය පිළිබඳව රජය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ සැපයුම් අංශය වැනි ආයතන දැනුම්වත් කිරීමට පියවර ගන්නවා.


පැමිණිල්ල ; මෙම නඩුවට පාදක වූ යම් කරුණක් ගැන තහවුරු කර ගැනීමට අවශ්‍ය ලේඛන සපයන්න කියා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස ඔබට යම් නියෝගයක් ලබා දුන්නාද? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියකට අදාළව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසට මට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලැබුණා. මම ඒ අනුව ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව තිබූ ලේඛන හා දත්ත පද්ධතිය අනුව සොයා බැලීම් සිදුකර එකී ලිපියට අදාලව ඖෂධ නිෂ්පාදකයන් හා ආනයනකරුවන් පිළිබඳව තොරතුරු ලබා දුන්නා. 


(පැමිණිල්ල විසින් එම සාක්ෂිකරු අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන සාක්ෂිකරුට පෙන්වා දුන් අතර සාක්ෂිකරු එම ගොනුව හා එකී ලිපි හඳුනා ගනී)


සාක්ෂිකරු ; හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කොට තිබූ එම සංදේශයේ සඳහන් ඖෂධ සැපයුම සඳහා ලියාපදිංචි සැපයුම් සමාගම් කීපයක්ම තිබුණත් සමහර ඖෂධ සැපයීමේ ඇණවුම් භාරදී තිබුණේ ලියාපදිංචි නොවුන සැපයුම්කරුවන්ට. සමහර ඖෂධ නිෂ්පාදන සමාගම්වල නම් නිසියාකාරව සඳහන් වී තිබුණේ නෑ. ඒ වගේම ඉතාම ඖෂධීය වටිනාකමක් ඇති “මෙරෆනන්” එන්නත් වැනි ඉහළ මිලකින් යුත් සමහර ප්‍රතිජීවක ඖෂධ සපයා ලියාපදිංචි සැපයුම් කරුවන් රැසක් සිටියදී ඊට පරිබාහිර සැපයුම්කරුවන්ට ඒ සඳහා අවසර ලබා දී තිබූ බව ලිපිගොනු අධීක්ෂණය කිරීමේදී දක්නට ලැබුණා. ඖෂධ 131 කට ලියාපදිංචිය මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපිය මගින් නිර්දේශ ලබාදී තිබුණා. 


දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ අසේල සේරසිංහ මහතා; ඔබ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස 2023 මැයි ජූනි වන විට කටයුතු කළාද? 


සාක්ෂිකරු ; නෑ... මම 2023.11.01 වැනිදා තමයි එම තනතුරට පත්වුණේ. 


විත්තියේ නීතිඥ ; ප්‍රශ්නගත හියුමන් හිමියුනෝග්ලොභියුලීම්  හා රිටක්සිමැබ් යන ඖෂධ පිළිබඳ ඔබලා රසායනාගාර පරීක්ෂණයක් සිදු කළාද? එවැනි ඖෂධ පරීක්‍ෂා කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලයලත් නිලධාරීන්ට අවස්ථාවක් තිබූ බවට මා යෝජනා කරනවා. 


සාක්ෂිකරු ; මම ඒ ගැන දන්නේ නෑ. 


විත්තියේ නීතිඥ ; ඔබ ඒ ගැන දන්නේ නැත්තේ, ඔබ ඔබට පැවරී තිබූ රාජකාරී ඉටු නොකළ නිසයි කියලා මා යෝජනා කරනවා. 


සාක්ෂිකරු ; අධිකරණ මගින් යොමු කරන හා හදිසි පරීක්ෂණවලදී භාරයට ගන්නා සාම්පල් පරීක්ෂා කරනවා රසායනාගාරයට යවලා. මම මගේ රාජකාරිය ඉටු කරලා නෑ කියන එක ප්‍රතික්ෂේපප කරනවා. ජාතික තත්ත්වය පරීක්ෂණාගාරය ස්වාධීනව සාම්පල් අරගෙන පරීක්ෂණ සිදු නොකළත් පෙර තිබූ ක්‍රමවලට ලැබෙන සාම්පල් පරීක්ෂා කරනවා. 


විත්තිය නීතිඥ ; ඖෂධ සැපයුම් අංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම නිසා ඖෂධ සැපයුම් අංශයට ලැබෙන ඖෂධ තොග බාර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබීම නිසා නේද? ඔබ 2 වී 20 ලෙස ලකුණු කර ඇති ලිපිය ඖෂධ සැපයුම් අංශය වැනි අංශවලට යොමු කළේ? 


සාක්ෂිකරු ; එම කරුණුත් බලපෑවා.


ඊයේ (04) දිනයේ දිවා විවේකය සඳහා අධිකරණ කටයුතු තාවකාලිකව නැවැත් වූ අවස්ථාවේදී හයවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් 
ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ සමීප ඥාතියකුගේ විවාහ මංගල්‍යය උත්සවයක් කොළඹ ප්‍රධාන පෙළේ. හෝටලයක පැවැත්වෙන බැවින් දිවා විවේක කාලයට අමතරව තවත් පැයක කාලයක් ඔහුට අධිකරණයට නොපැමිණ සිටීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 


එවැනි අවසරයක් තම අධිකරණයට ලබාදිය හැක්කේ හදිසි රෝග තත්ත්වයක් හා විභාග කටයුත්තක් වැනි කරුණකදී පමණක් බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 


වැඩිදුර විභාගය අද (05) දක්වා කල් තැබිණි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0