සිංහල සාහිත්‍යයයේ “අමර මග”.
සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 96 වැනි ජන්ම දිනය නිමිතිකොටගෙන "ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන 2025" උළෙලට සමගාමීව පසුගිය සතියේ "ද ලීඩර් වෙබ් අඩවියේ" පළව තිබූ අනුස්මරණ ලිපිය උපුටාගෙන නැවත පළ කරන ලද්දකි.
ගුණදාස අමරසේකර
සිංහල සාහිත්‍යයයේ “අමර මග”
1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ සහ මුල්ගුරුතුමියක ගේ දෙවන දරුවා ලෙස ඉපදුණ ගුණදාස අමරසේකර අද අපගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය.
යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව සහ රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරගයක පුමුඛ ස්ථානය ලබා ගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්‍ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.
අමරසේකර ගේ පළමු පද්‍ය කෘතිය වූ 'භාවගීත' (1955) සිංහල කවියෙහි ද, දෙ වන කෙටිකතා සංග්‍රහය වූ 'ජීවින සුවඳ' (1956) සිංහල කෙටිකතාවෙහි ද මග සලකුණු තැබූ කෘති බවට පත් විය. ඒ සමග ම ඔහු ගේ පළමු නවකතාව වූ 'කරුමක්කාරයෝ' (1955) සිංහල පාඨක ලෝකයට නවමු අත්දැකීමක් ගෙන ආ අතර, දොන් පේද්‍රික් සම්මානය දිනාගැනීමට ද සමත් විය. ඉන්පසු අමරසේකර අතින් නිර්මාණය කෙරුණු 'උයනක හිඳ ලියූ කවි' (1957) පද්‍ය සංග්‍රහයෙහි මෙන් ම පසුකලක අසාර්ථක නිර්මාණ ලෙස ඔහු ම ප්‍රතික්ෂේප කළ 'යළි උපන්නෙමි' (1960) සහ 'දෙපා නොලද්දෝ' (1962) කෘතිවල, මේ පොළවෙහි නොපිහිටි පේරාදෙණියෙහි (අප ගේ විශ්වවිද්‍යාලවල) ආභාෂය දැකගත හැකි ය.
1951-57 කාලයේ අමරසේකර දන්ත වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය සරසවියෙහි ගතකළ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඇසුරෙහි පේරාදෙණිය ගුරුකුලයෙහි ප්‍රමුඛ සාමාජිකයෙක් බවට ද පත්වීය. ඒ, පේරාදෙණියේ බලපෑමට නතු අවධියේ දී පවා, ඔහු ගේ හදවත ඊට ගොදුරු නොවූ බව පේරාදෙණිය මුල් කරගෙන ලියූ 'පුදුම රට' කාව්‍යය කියාපායි. 'උයනක හිඳ ලියු කවි' කාව්‍ය සංග්‍රහයේ එන 'පුදුම රට' නිබන්ධනය ඇරැඹෙන්නේ මෙසේ ය:
ඉස්සර කාලේ තිබුණා
හරි ම පුදුම විදියෙ රටක්
එහි ගිය අය ගියා මිසක්
ගිය ලෙස නම් ආවේ නෑ
එහි විසුවා පුදුම සතෙක්
ඌ එන අය එකකු නෑර
රසය උරාගෙන බීලා
රොඩ්ඩ පමණි වැමෑරුවේ
ගම්දනවුවලින් සරසවියට එන තරුණ-තරුණියන් ගේ ආත්මය හප කෙරෙන අයුරු චිත්‍රණය කෙරෙන පද්‍යාවලිය අවසන් කෙරෙන්නේ මෙ ලෙස ය:
කළු ඇඳන් බෙර දවුල් පත්‍රිකා ධජ රැගෙන
කළු කබා තොප්පි ලා හෙමි හෙමින් අඩි තියන
අවමඟුල් පෙරහැරකි සුසානය වෙත ඇදෙන
'උපන්නේ පනස් එක - මිය ගියේ පනස් පහ'
'ආත්මය නැති වීම සතුටු විය යුතු දෙයකි'
කට කොනින් ඇද වැටුණු
රොඩ්ඩ ඉවතට ඇදෙයි
මිනී පෙට්ටියෙහි ඇණ තද කරන හඬ ඇසෙයි
එ සේ නමුත් නොබෝ කලකින් ම 'අමල් බිසෝ' (1960) සහ 'ගරුළු වත' (1962, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) ඔස්සේ යළි සිංහල කාව්‍යයෙහි ප්‍රගමනයට දායකවීමට ද, 'එක ම කතාව' (1969) කෙටිකතා සංග්‍රහය මඟින් යළි ජීවන සුවඳ සොයා යෑමට ද, 'ගන්ධබ්බ අපදානය' (1966) මඟින් යළි යථාර්ථවාදී නවකතාව වෙත පිවිසීමට ද, අමරසේකර සමත් විය. එහි දී දන්ත ශෛල්‍ය වෛද්‍යවරයකු ලෙස මෙ රට ජනජීවිතය සමග ගණුදෙනු කරන්නට ලද අවකාශය ද, පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීම මගින් පේරාදෙණියෙහි දී උසස් ය යි වර්ණිත බටහිර ජීවිතය අත්විඳි එහි සැබෑව දැකගැනීමට ලැබීම ද, මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පේරාදෙණි සාහිත්‍යය අරඹයා කළ විවේචනය ද ඔහුට ප්‍රමුඛ ලෙස බලපෑ බව පෙනේ.
1971 කැරැල්ල අමරසේකරව කම්පාවට පත් කළේ ය. මේ, 'සංස්කෘති' සඟරාවේ දස අවුරුදු සංවත්සර කලාපයට 'මෙ රට අනාගතය බාරගත යුත්තේ උගත් ගැමි තරුණයන් ය' යැයි ඔහු නියත විවරණ දුන් පරපුර යි. 'ආවර්ජනා' (1975, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) කාව්‍ය සංග්‍රහයෙහි දී මෙන් ම 'එක්ටැමෙන් පොළොවට' (1972, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) සහ 'කතා පහක්' (1975) කෙටිකතා කෘතිවල දී ද තමන්ට ප්‍රහේළිකාවක් වූ මේ තරුණ ජීවිත, තරුණ හදවත් අවබෝධ කරගැනීමට අවංක, දෘඪතර ප්‍රයත්නයක අමරසේකර නිතර විය. එහි ප්‍රතිඵල ලෙස, සිංහල කෙටිකතාව ඒ තාක් ලබාගත් ඉහළ ම ජයග්‍රහණ අපට මේ කතා සංග්‍රහයන්හි එන 'එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරණිය', 'දිසොන්චිනාහාමි', 'කලානිධි - පච වෙදා' හා 'සමරසිංහ වෙද මහතා', 'වර්තා සටහන්' ආදි කෙටිකතාවන්හි දී දැකගත හැකි වේ.
"මේ වතාවේ නම් අමරසේකර යථානුභූත වාදය හෝ ධනේෂ්වර මනෝ විද්‍යාව සාධනය කිරීමට කතා රචනා නොකරයි. 'තොප නොදන්නා ලෝකයක් ඇත; එයට මුහුණ දෙව!' යනුවෙන් ඔහු ඒ සියල්ලට ම අභියෝග කරයි", යනු මේ නිර්මාණ අරබයා කීර්ති බාලසූරිය හා මහාචාර්ය සුචරිත ගම්ලත් දක්වා ඇති අදහස යි.
මහාර්ඝ නිර්මාණ ද්වයක්
පේරාදෙණියේ දී තමා දැරූ සාහිත්‍ය මතවාද ප්‍රශ්න කිරීමට යොමු වූ අමරසේකර, එහි දී සාහිත්‍යය සහ සමාජය අරබයා ගැඹුරු අධ්‍යයනයකට යොමු වූ අතර ඒ සමඟ ම මෙ රට සමාජ විකාශනය අවබෝධ කරගැනීමෙහි ලා දෘඪතර වූ ප්‍රයත්නයක ද නිරත වීය. එහි දී අමරසේකර මෙ රට ජනජීවිතය පෙළන්නා වූ නන්විධ සමාජ අර්බුද අවබෝධ කරගැනීමෙහි ද, ඒවාට විසඳුම් ලබාගැනීමෙහි ද, අව්‍යාජ වූ අවශ්‍යතාවයකින් ප්‍රේරිතව ක්‍රියා කළ බව පෙනේ. මේ ප්‍රයත්නයෙහි එක් මහඟු ඵලයක් නම් එකිනෙක සමග බැඳුණු 'අසත්‍ය කතාවක්' (1977) සහ 'ප්‍රේමයේ සත්‍ය කතාව' (1978) නවකතා ද්වය යි.
මේ කෘති ද්වය සිංහල නවකතාවෙහි උසස් ම නිර්මාණ අතර ද, ප්‍රමුඛස්ථානයකට හිමිකම් කියා සිටී. මේ නවකතා ද්වය පිළිබඳ ව පසුකාලිනව විචාරයක් ලියමින් ආචාර්ය ලක්ෂ්මී ද සිල්වා සඳහන් කර ඇත්තේ, රුසියානු සාහිත්‍යය විචාරක බුක්තීන් ගේ නවකතාව පිළිබඳ විචාර චින්තාවන් ගෙන් ආලෝකය ලබන තෙක් තමනට ග්‍රහණය කරගත නොහැකි වූ, යුගයට පෙර කෙරුණු මහාර්ඝ නිර්මාණ ලෙස ය. ඒ, 2003 දී ඉහත කෘති ඉංග්‍රීසියට නැඟුණු අවස්ථාවේ දී ය. ඒ පරිවර්තනය ග්‍රේෂන් සම්මානයෙන් පිදිණි.
ඒ හා සමග ම 'අබුද්දස්ස යුගයක්' (1975), 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' (1980) සහ 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු' (1988) කෘති ඔස්සේ ඔහු ජාතික චින්තනය පිළිබඳ සංවාදයට මඟ පෑදුවේ ය. මෙ රට මැද පන්තිය පහළවීම සහ විකාශනය අළලා කෙරෙන දැවැන්ත නිර්මාණයක් 'ගමනක මුල' (1984) හා 'ගම්දොරින් එළියට' (1985) කෘති මඟින් ඇරැඹී ඔහු 'ඉණි මඟේ ඉහළට' (1992), 'වංකගිරියක' (1993), 'යළි මඟ වෙත' (1993) 'දුරු රටක දුකට කිරියක' (2001), 'ගමනක මැද', 'අතරමඟ', 'ගමනක අග' කෘති මඟින් පාඨක සමාජය හමුවේ තැබීය. මෙ රට සමාජ-දේශපාලන තීන්දු තීරණ විෂයෙහි ප්‍රධාන ම ජනසංඝය පිළිබඳ සාහිත කැටපත නිර්මාණය වූයේ ඒ මඟිනි.
ඒ අතර 'එක ම කතාවක්' හා 'එක්ටැමෙන් පොළොවට' කෙටිකතා සංග්‍රහයන්හි දී ගත් මග, අතීතය වෙනුවට ඒ ගෙවන මොහොත ම නිරූපණය කිරීමක් දක්වා වර්ධනය කිරීමට 'ගල් පිළිමය හා බෝල් පිළිමය' (1988) සහ 'මරණ මංචකයේ දුටු සිහිනය' (1998) කෙටිකතා සංග්‍රහයන්හි දී සමත් වී ය. 'විල්තෙර මරණය' හා 'කියනු මැන දිවි අරුත' (රාජ්‍ය සම්මාන) කෙටිකතා සංග්‍රහ මගින් මෙන් ම 'රූපාන්තරණය' සහ 'ධාතුසේන' නවකතා මගින්, අමරසේකර, ඒ මොහොතේ සමාජ-දේශපාලන චරිත නොවේ නම් සංසිද්ධීන් කලාත්මක පරිපකල්පනයෙන් ප්‍රතිනිර්මාණය කර පාඨක සමාජයට අභිමුබ කිරීමෙහි ලා සමත් විය.
2015 විජාතික කුමන්ත්‍රණයක් ද...?
2015 විජාතික කුමන්ත්‍රණය ජයග්‍රාහීව වැජඹුණු මොහොතක, අමරසේකර 'සභ්‍යත්ව රාජ්‍යය' (2016) කෘතිය රචනා කරමින් ජාති මාමක බලවේග එක්රොක් විය යුත්තේ කුමක් සඳහා ද යන වග පෙන්වා දුන්නේ ය. එහෙත් හැටනව ලක්ෂයක ජනවරමකින් සමාජය උද්දාම වෙද්දී ඔහු අප හමුවේ තැබුවේ 'සංක්‍රාන්ති සමය' කෙටි නවකතාව ය.
එහි දී ඔහු නැකත්වලින් තොර සංක්‍රාන්ති සමයක් ගැන කතා කළ ද සුවිශාල බලාපොරොත්තුවලින් හිස පුරවාගෙන සිටි අප එය නිසි ගැඹුරින් කියවීමට අසමත් වීමු. ඉන්පසු ඔහු අතින් නිර්මාණය කෙරුණේ 'මහගෙදර' කෙටි නවකතාව ය. නිසි පියවර නොගතහොත් ජාතියට අත්විය හැකි ඛේදජනක අනාගතය එහි ලා චිත්‍රණය කෙරේ.
මවුබිමේ අනාගතය වෙනුවෙන් දැනුම නිර්මාණයට...
අප ගමනක අවසානය කරා එළඹ ඇද්ද? 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' කෘතිය අප හමුවේ තබමින් අපට පැවැත්ම උදෙසා, යළි නැඟී සිටිම උදෙසා, ඔහු විප්ලවීය පරීවර්තන යෝජනා කරයි. සුද්දා අපට දායාද කළ පක්ෂ දේශපාලනය, වෙස්මිනිස්ටර් ප්‍රාජතාන්ත්‍රවාදය අත්හැරීමට යෝජනා කරයි.
යළි පක්ෂ භේදයෙන් තොර ව ගම ම එකතු කරන 'ගම් සභාව' කරා යන ලෙස ඉල්ලා සිටියි. මේ, 48 නිදහස් උලෙළ, 56 පෙරළිය, 71 කැරැල්ල, අප රට ජනරජයක් වීම, 77 විවෘත ආර්ථිකය වැලඳගැනීම, කොටි ත්‍රස්‌තවාදය, ඉන්දු-ලංකා ගිවිසුම, ත්‍රස්‌තවාදය පරාජය කිරීම ඈ සියල්ලෙහි සාක්ෂිකරුවෙකි.
ඒ බොහෝ සිද්ධිවලට සක්‍රීය ව දායක වූවෙකි. ඒ සියල්ල පිළිබඳ සාහිත කැඩපත නිර්මාණය කර දීමට අප්‍රමාණ වෙහෙසක් දැරූවෙකි. මවුබිමේ අනාගතය වෙනුවෙන් දැනුම නිර්මාණයට අපමණ වෙහෙසක් දැරූවෙකි.
ඔහු ගේ යෝජනාව, රජය, අනෙකුත් දේශපාලන පක්ෂ හා ජනතාව බරපතළ ලෙස සළකා බැලිය යුතු ය.
(සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 96 වැනි ජන්ම දිනය නිමිතිකොටගෙන "ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන 2025" උළෙලට සමගාමීව පසුගිය සතියේ "ද ලීඩර් වෙබ් අඩවියේ" පළව තිබූ අනුස්මරණ ලිපිය උපුටාගෙන නැවත පළ කරන ලද්දකි.)
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

