ගැටමාන්නගේ කුටුම්භය...
මහාචාර්ය පීටර් ගැටමාන්න රටම දන්නා, කාගේත් ගෞරව ආදර බහුමානයට පාත්‍ර වූ උගතෙක් වූවාට සාමාන්‍ය ජීවිතයේදී මහ බොළඳ හා අදූරදර්ශී තීන්දු තීරණ ගන්නා අයකු බව මට සිතුන වාර අනන්තය. ඒ මේ සමාජයේ කොයි කාටත් වඩා ඔහු සමග එකට ජීවත් වූ, දුක සැප සමසේ බෙදාගත් ඔහුගේ ජීවිතයේ පංගුකාරිය මා වන නිසා ය.
කෙටි කතාව
ගැටමාන්නගේ කුටුම්භය...
මහාචාර්ය පීටර් ගැටමාන්න රටම දන්නා, කාගේත් ගෞරව ආදර බහුමානයට පාත්‍ර වූ උගතෙක් වූවාට සාමාන්‍ය ජීවිතයේදී මහ බොළඳ හා අදූරදර්ශී තීන්දු තීරණ ගන්නා අයකු බව මට සිතුන වාර අනන්තය. ඒ මේ සමාජයේ කොයි කාටත් වඩා ඔහු සමග එකට ජීවත් වූ, දුක සැප සමසේ බෙදාගත් ඔහුගේ ජීවිතයේ පංගුකාරිය මා වන නිසා ය.
එබැවින් ඔහුගේ ජීවිතයේ සීමිත සාර්ථක පක්‍ෂයන් මෙන්ම අසීමිත දුර්වල පක්‍ෂයන් මටත් වඩා අවබෝධයෙන් හඳුනාගත් මිහිපිට තවත් කෙනකු නැතැයි මම සිතමි.
මහාචාර්ය ගැටමාන්න මට මුණගැසෙන්නේ මීට අවුරුදු තිහකට පමණ පෙර මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපීඨයේ කලා අංශයේ ශිෂ්‍යාවකව ඉගෙන ගන්නා අතරතුරය. හේ මට මුලින්ම හමුවන්නේ සම්භාව්‍ය සිහල පද්‍ය සාහිත්‍යය පිළිබඳ කණ්ඩායම් දේශනයකදී ය.
කව් සිළුමිණ වැනි ඉපැරැණි පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල ස්ත්‍රිත්වය හා ස්ත්‍රි පුරුෂ මානවීය සම්බන්ධතා මෙන්ම ශෘංගාරය රූපණය කර ඇති ආකාරය චිත්තාකර්ශනීය ලෙස විවරණය කරමින් පීටර් ඒ දේශනය කළ ආකාරය මට තවම මතකය.
යසෝමා උඩතලවින්න ලෙස කියවුණ මගේ නම අසා අපි අද ඉඳලා මෙයාට ‘සෝමා’ කියමු යැයි පීටර් සර් මට විහිළු කළ අයුරු මා මතකයට නැගෙයි.
පේරාදෙණිය සිංහල අංශයට කතිකාචාර්යවරයකු ලෙස අලුතින් පැමිණ තරුණ විද්‍යාර්ථීන්ගේ ආදර ගෞරව බහුමානය දිනාගෙන විශ්වවිද්‍යාල සිසුන්ගේ ආර්ථික සමාජ දේශපාලන ප්‍රශ්නවලදී ඔවුන් සමග එකට සිට ගනිමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ ද අවධානය දිනාගත් මේ උස හීන්දෑරි කොණ්ඩය පිටුපසට පීරූ උපැස් යුවලක් ද පළඳින “කුර්තාකාරයා” දෙස මම එවකටත් මහ අමුතු විදියට බලමින් උනන්දු වන්නට පටන් ගත්තේ ඇයි...
මගේ ජීවිතයේදී මට එසේ සිතුනු වාර අනන්තය. කිසි ලෞකික සැප සම්පතකට දියුණුවකට භෞතික වස්තූන්වලට ආදරයක් නොමැතිව ලද දෙයින් පසිඳුරන් පමණක් පිනවමින් ජීවත් වෙන්නට සිතූ මේ මිනිසා මහා ආත්මාර්ථකාමී සත්වයෙකුයි මට සිතුනේ විශ්වවිද්‍යාල ආදරයෙන් පටන්ගෙන විශ්වවිද්‍යාල සමය නිමවා ගුරුවරියක ලෙස රැකියාවක් ද ලැබ ඔහු සමග විවාහ වූවාටත් කලකට පසුවය.
ඒ විවාහයද සිදුවූයේ මහ අමුතුම තාලයකට බව මට මතකය...
“සෝමා...”
“ඇයි සර්...”
“ඇයි මං දිහා ඔය විදියට බලන්නේ...”
“අපි දෙන්නගේ මේ ආදර සම්බන්ධතාවය කෙළවර මොන වගේ ගමනාන්තයක් තියෙයි කියලද ඔයා හිතන්නේ.”
“මට හිතෙනවා විවාහයක්...” මම කීවෙමි.
“ඊට පස්සේ...?”
“ඊට පස්සේද... ඊට පස්සේ මෙච්චර කලක් දෙපැත්තකින් දෙවිදියක ගමන් දෙකක් ගියපු අපි දෙන්නා එතන ඉදලා එකම ගමනක් යාවි...”
“එහෙම නම් ඔයා සතුටු නැද්ද ඒ අලුත් ගමනට ආරම්භය අදම තියන්න...?”
“මම සතුටුයි...”
විශ්වවිද්‍යාලයේ තවත් හිතවතුන් දෙදෙනකුගේ සාක්‍ෂි මැද අපි දෙදෙනා මේ අද යන ගමන අහම්බෙන් පටන් ගත්තේ අන්න එදා ය. ඒ මීට හරියටම අවුරුදු විසි පහකට පමණ පෙර දිනක බව අමතක වන්නේ නැත...
එදා පටන් අද දක්වා කිසිම දෙයක් බරක් පතලක් ලෙස නොගන්නා, කිසිවකට ආසාවක් නැති මේ අරුම පුදුම සත්වයා හා මම මොන තරම් නම් වේදනාබර ජීවිතයක් ගෙවන්නට ඇද්ද...?
ජීවිතයේ සැප, සතුට කියා දෙයක් බලාපොරොත්තු හැටියට මට තිබුණ ද මහාචාර්ය පීටර් ගැටමාන්නගේ සාංකල්පික ලෝකය තුළ එබඳු කිසිවක් නොවීය. ඔහුගේ ඒ අරුම පුදුම “සාන්දෘෂ්ඨිකවාදී සංකල්පය” මත ලියවුණ පොත පත ලංකාවේ මතු නොව, වෙනත් භාෂා ගණනාවකට පෙරලෙමින් විශ්ව සාහිත්‍ය තුළ ද ඉමහත් සම්භාවනාවට ලක්වූ කෘති ලෙස සැලකුණ ද මට නම් ඒ කිසිවක් තුට්ටුවක් වටින්නේ නැත...
දිවයිනේ ප්‍රකට කාන්තා විද්‍යාලයක මුල් ගුරුවරියකව මම අද ගෙවන ජීවිතයේදී තනිවම උපයා සපයා ගත් සියල්ල භෞතික වස්තූන් ලෙස මා අවට ගොඩගැසී පෙනෙන්නට තිබුණත් අවුරුදු 35 ක පමණ විශ්වවිද්‍යාල ජීවිතයේ සහාය කථිකාචාර්ය වරයකුව පටන්ගෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුව විශ්‍රාම ගිය ජීවිතයෙන් ඔහු ලද භෞතික වස්තූන් කිසිවක් නැත. අද ඔහු නම කියූ පමණින් අසියාකරයේම ඉමහත් කීර්තියට පත් උගතෙකු බව සැබෑය. එහෙත් ඒ කීර්තිය තුළ පුස්තකාලයක් පිරෙන්නට පවතින මහා පොත් ගොන්න හැරුණ විට පුටුවක්, මේසයක්, ඇඳක් අල්මාරියක් තබා බයිසිකලයක් කාරයක් කියා දෙයක් තිබේද... නැත...
පේරාදෙණියෙන් කොළඹට පැමිණ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුව සිටිමින් අවුරුදු විසි ගණනක් සේවය කරද්දී ජීවත් වූ නාරාහේන්පිට නිවසද අපි කොළඹ ආවේලාවේ මගේ තාත්තලා අයියලා මට සාදා දුන්නකි. අදට අප පාවිච්චි කරන කාරය ද ඊට පෙර තිබූ කාරය ද ඊටත් පෙර තිබූ කාරය ද ඔහු නොව මම වෙර වීරියෙන් හරිහම්බ කළ දේ හරහා අමාරුවෙන් මිලට ගත් භෞතික සම්පත්ය.
විවාහ දිවියකදී භෞතික සම්පත් හරහා ලබන සතුට කාන්තාවන්ට කොතරම් ආත්ම ශක්තියක් දැයි අමුතුවෙන් කිව යුතුද. එහෙත් ඒ කිසිවක මිහිරක් නැති මේ අරුම පුදුම මහාචාර්යවරයා ලබන සතුට කුමක් දැයි විග්‍රහ කර විශ්ලේෂණය කිරිමම මට මහත් ගැටලුවකි.
ස්ත්‍රී පුරුෂ සම්භෝගය හරහා ගොඩනැගෙන ආදරය ආරක්‍ෂාව හෝ ආදරය ආරක්‍ෂාව හරහා ගොඩනැගෙන ස්ත්‍රී පුරුෂ සම්භෝගය හරහා කුටුම්භය පවත්වා ගැනීම ඔහු දකින්නේ අමුතුම ක්‍රමයකටය... ආරක්‍ෂාව ආදරය හරහා සහජීවනය තුළ ගොඩනැගෙන ශෲංගාර රසය ඔහුට හුදු ආශාවන් සන්තර්පනය කර ගැනීමේ කලාවක්ම පමණි...
පොත පතෙහි ගැලී ඒවායේ ගිලී දිවා කාලයම ශාස්ත්‍රීය කරුණු මත ගෙවා දමන මේ පුදුම මිනිසාට ආහාර අවශ්‍ය වන්නේ බඩගිනි වුණ වෙලාවටය. ඒ බඩගිනි එන්නේ උදේ ද දවල් ද රෑ ද කියා නියමයක් නැති බැවින් උදේට දවල්ට රෑට ආහාර ගන්නා සාම්ප්‍රදායික ජීවන චර්යාවකට ඔහු හා එකඟ විය නොහැකිය. ඒ නිසා තුන් වේලටම මම මහන්සි වී ආහාර පාන සෑදුවත් ඔහු කන්නේ එක වෙලාවකට ය. මම කන්නේ තවත් වෙලාවකටය...
ජීවිතයේ සවස් යාමයට ඔහුගේ නොවරදින දින චර්යාව අතර මධුවිතක පහස ලැබීම නොවරදින අංගයකි. මධුවිතෙහි අන්තයට නොයන මේ මිනිසා අන් පිරිමින් මෙන් නොව, වෙරි වී ඔළුව සාක්කුවේ වැටෙන තුරු නොබොන බේබද්දකු වීම මට මහත් සහනයකි. ඉන් පසුව මී විතයි ගීපොතයි අතර ඇති අවියෝජනීය සහ සම්බන්ධය මෙනෙහි කරන්නට දෝ ශාස්ත්‍රීය සංගීතයේ පිහිට පතයි... එහි කෙළවර ගැහැණියයි. මී විතයි ගීපොතයි ගැහැනියයි යන සංකල්පය ඔප්පු කරන්නටදෝ හේ ඒ යාමය වන විට මා සොයා නිදන කාමරයට පිවිසෙයි.
ජීවිතයේ ආයු කාලයෙන් අර්ධයකටත් වඩා ඒ ජීවන චර්යාවට නිසඟ ගොදුරක් වූ මම අද ද ඒ හිරිහැර ඉවසමින් ඔහු ඉදිරියේ යහනෙහි අප්‍රාණිකව උඩබැලි අතට නිරුවත්ව සිටිනවා හැර වෙන කුමක් කරන්නේ දැයි මම නොදනිමි...
මේ ආත්මාර්ථකාමී අරුම පුදුම සැමියාගේ මේ ජීවන චර්යාවට විරුද්ධ වුණේ හෝ එය ප්‍රතික්‍ෂේප නොකළේ මන්දැයි විටෙක මගේ හෘදය සාක්‍ෂිය මගෙන් විමසනු දැනෙයි. පෙරදිග සාම්ප්‍රදායික ගැහැණියකගේ ගති සොබාව ඒ යැයි සිතනවා හැර විප්ලවීය යමක් සිතන්නට මා සිත නොපෙළඹෙයි...
කුටුම්භය පවත්වාගෙන යෑමට දූ දරුවන් හැදීම මටත් අපේ නෑ හිතමිතුරන්ටත් අවශ්‍ය වූයේ මීට අවුරුදු විසි පහකට පමණ ඉස්සරය. එය කිසි විටෙකත් මහාචාර්ය පීටර් ගැටමාන්නට ජීවන අවශ්‍යතාවක් නොවූ නිසා මට තවමත් අම්මා කියා අමතන්නට මේ ලෝක ධාතුව තුළ මිහිපිට කිසිවකුත් නොසිටියි...
වටින් පිටින් බලන විට අගනුවර ප්‍රකට කාන්තා විද්‍යාලයක විදුහල්පතිනියක ව, වටපිටේ භෞතික සැප සම්පතින් ආඩ්‍යව, අගනුවර නාගරික සැප පහසු තෙමහල් නිවසක යාන වාහනද සහිතව සමාජ ගරු සැළකිලිවලද අඩුපාඩුවක් නොමැතිව දිවි ගෙවන සසෝමා ගැටමාන්න නමැති කුල කාන්තාව ගැන සමාජය තුළ ඇති තක්සේරුව කෙබඳුද...
එහෙත් ඒ සියල්ල යථාර්ථයට බොහෝ දුර ඈත තැනක වූ බොරුවක් විජ්ජාවක් ව්‍යාජයක් බව මට වඩා දන්නා තවත් කෙනෙක් සිටිත්ද...
පීටර් ගැටමාන්න මෙන්ම යසෝමා ගැටමාන්න වන මා ද ඒ ව්‍යාජය තුළ දෙපැත්තකට යන සරල රේඛා දෙකක් යැයි මට සිතෙයි...
ශ්‍යාමලී රත්නායක.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
1
Funny
0
Angry
0
Sad
0
Wow
0

