අම්මා
මරා දමා තිබුණේ අවුරුදු තිස් පහක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙකි. ඔහු මරා දමා තිබුණේ කෙසේදැයි හරියටම පැහැදිළි නැත. මළ සිරුරේ බෙල්ලේත්, සිරුර පුරාමත් නිල්-දම් පැහැයට හැරෙමින් තිබුණු තැළුම් ලකුණුය. අත පය අස්වාභාවික අයුුරින් ඇඹරී ගොසිනි. ඒ් සියල්ලටම වඩා දරුණු ලෙසින් දිස් වූූයේ සිරුර පුරා වූ කැපුම් සළකුණුය. ඒවා ආයුුධයකින් සිදු කළ තුවාලවලට වඩා සමාන වූයේ සතෙකුගේ තියුණු නියවලින් සිදු කරන ලද මාරාන්තික තුවාලවලට ය. තුවාලවලින් ගලා ගිය ලේ ඒ වන විටත් වියැලී තිබුණේ නැත.
වෙබ් කෙටිකතාව
....අම්මා....
“සර්, මේ ඉන්නෙ අබේගෙ කෙල්ල..”
ඒ තරබාරු ගැහැණිය, කොහේදෝ සිට නැවතත් එතැනට ආවේ අවුරුදු හතක පමණ දැරියකගේ අතින් අල්ලාගෙනය. ඇය ඒ දැරියගේ අතින් ඇදගෙන ආවා කිව්වොත් වඩාත් නිවැරදිය.
“අද උදේ පාන්දර අපේ ගෙදෙට්ට ආවා... හැබැයි අපිත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.. මොකද වුණේ කියල ඇහුවට කිව්වෙත් නෑ.. ඒ පාර තමයි අපි මේ ගෙදෙට්ට ඇවිල්ල බැලුවෙ...”
පොලිස් කොස්තාපල් සමරසිංහ දැරිය සමග සිනාසුණේය. ඇය සිනාසුණේ නැත. විසල් දෑසින් ඔහු දෙස බලා සිටියා පමණකි. සමරසිංහ මැදිවයසත් පසුකරමින් උන් කාරුණික මිනිසෙකි. ඔහු කොහොමත් දරුවන්ට ආදරේය. මේ දැරිය දුටුවිටත් ඔහුට මතක් වුණේ තමන්ගේ දියණියව ය. ඔහු දැරියගේ හිස අත ගෑවේය.
එහෙත් ඉන්ස්පෙක්ටර් ජානකට නම් ඇය ගැන ඇතිවූයේ ප්‍රසන්න හැගීමක් නොවේ. ඇය ඇදගෙන උන්නේ කිළිටි ගොමස්කඩ ගවුම් කඩමාල්ලකි. ඒ මදිවාට එහි තැනින් තැන ඉරී ගොසිනි. ඇය වෙතින් නික්මුණේ දැඩි දුර්ගන්ධයකි. ඒ දුර්ගන්ධය මිනී කුණු ගදකට සමානය. ජානකට මහත් අපුලක්ද, හිස කරකැවිල්ලක්ද දැනිණ.
මෙතැනට ආ වෙලාවේ දැනුණේ ඉවසන්නට නොහැකි අමු ලේ ගදකි. දැන් මේ මිනී කුණු ගද.. මිනීමැරුමක් සිදුවුණු තැනකට ගොස් පරික්ෂණ කටයුතු කිරීම ඉන්ස්පෙක්ටර් ජානකට නුහුරු දෙයක් නොවේ. වසර අටක රාජකාරි දිවිය තුළ ඔහු අනන්තවත් එවැනි තැන්වලට ගොසින් ඇත. එහෙත් මෙවැනි බිහිසුණු මිනීමැරුමක් ඔහු දුටුවේ පළමු වතාවටය.
මරා දමා තිබුණේ අවුරුදු තිස් පහක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙකි. ඔහු මරා දමා තිබුණේ කෙසේදැයි හරියටම පැහැදිළි නැත. මළ සිරුරේ බෙල්ලේත්, සිරුර පුරාමත් නිල්-දම් පැහැයට හැරෙමින් තිබුණු තැළුම් ලකුණුය. අත පය අස්වාභාවික අයුුරින් ඇඹරී ගොසිනි. ඒ් සියල්ලටම වඩා දරුණු ලෙසින් දිස් වූූයේ සිරුර පුරා වූ කැපුම් සළකුණුය. ඒවා ආයුුධයකින් සිදු කළ තුවාලවලට වඩා සමාන වූයේ සතෙකුගේ තියුණු නියවලින් සිදු කරන ලද මාරාන්තික තුවාලවලට ය. තුවාලවලින් ගලා ගිය ලේ ඒ වන විටත් වියැලී තිබුණේ නැත.
මේ තරම් දරුණු විදිහට කිසිවෙකු ඔහුට පහර දුන්නා නම් ඒ බව සනාථ කෙරෙන සළකුණු වටපිටාවේ තිබිය යුතුය. එහෙත් එවැන්නක් දකින්නට නැත. ඔවුන් සමග ආ අනෙක් පොළිස් නිලධාරීන් දෙදෙනා මේ වන විටත් එවැනි සළකුණු කිසිවක් වේදැයි සොයා ගන්නට අපරාධ ස්ථානය පරික්ෂා කරමින් සිටිති. කහ කළු පටියෙන් වටවුණු නිවස වටා ගම් වැසියෝ රැස්ව බලා හිදිති.
“මේ ළමයගෙන් දැන්ම මොකුත් අහල වැඩක් නෑ. සමහර විට සිද්ධිය ඇස් දෙකෙන් දකින්ඩ ඇති. ඒ නිසා ෂොක් වෙලා ඇත්තෙ.. මේ ළමයව එක්කගෙන යන්ඩ ඩබ්ලිව් පී සී කෙනෙක් එවන්ඩ කියලා මං කෝල් එකක් දෙන්නං.. එතකල් සමරසිංහ මෙයාගෙ ස්ටේට්මන්ට් එක ලියාගන්ඩ..” කියූ ඉන්ස්පෙක්ටර් ජානක, ජංගම දුරකථනය අතට ගනිමින් එතැනින් ඉවතට ඇදුණේය.
“හරි සර්..” සමරසිංහ කඩදාසි ගොනුවත් පෑනත් සූදානම් කර ගනිමින්ම කීවේය.
“ඉතින්.. ඕගොල්ලො මෙතනට ආවෙ කීයට විතරද. .?” ඔහු දරුවාව කැදවාගෙන ආ තරබාරු අසල්වැසි කාන්තාවගේ විස්තර සටහන් කර ගැනීමෙන් පසුව ඇසුවේය.
“පාන්දර තුනට තුනහමාරට විතර ඇති සර්.. අපි නින්දෙ හිටියෙ.. මට දොරට තට්ටු කරන සද්දයක් ඇහුණ.. මං ඇහැරුනේත් ඒ සද්දෙට.. මං කවුද.. කවුද.. කියලා කතා කරාට කවුරුවත් කතා කරේ නෑ. පස්සෙ මං අපේ ලොකු ළමයවත් ඇහැරවගෙන ගිහින් දොර ඇරිය.. එතකොට මේ ළමය දොර ළග හිටියා..” අසල්වැසි නිවසේ කාන්තාව කියාගෙන ගියාය. කොස්තාපල් සමරසිංහ ඒ වේගයෙන්ම ඇගේ ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටියේය.
“මං කතා කරාට මේ ළමය කතා කරේම නෑ. මං හිතුවෙ මේ දරුව හීනෙන් ඇවිදගෙන ඇවිත් කියලා.. මං එහෙම්මම දරුවවත් එක්කගෙන මෙහෙට්ට ආවා.. දරුවව ගෙදෙට්ට බාර දීලා යන්ඩ.. එතකොට තමයි දැක්කෙ.. එතකොට තමයි දැක්කෙ අබේ අයියා මෙතන වැටිලා ඉන්න හැටි..”
ඒ වන විට දැරිය උන්නේ බිමට යොමා ගත් නෙතින් යුතුවය.
“එතකොට මේ ගෙදර වෙන කවුරුවත් නැද්ද.? මේ ළමයගෙ අම්ම කෝ..?”
“ළමයගෙ අම්මා වෙන මනුස්සයෙක් එක්ක පැනල ගිහිල්ල සර්..”
ගැහැණිය කියද්දී, දැරිය එක් වරම බිමට යොමාගෙන උන් දෑස් ඔසවා සමරසිංහ දෙස බැලුවාය. මොකක්දෝ කියන්නට මෙන් යන්තමට මුව විවර කළ මුත් ඇය යළිත් නිහඩව බිම බලා ගත්තාය. දැරිය ගැන හොද අවධානයෙන් උන් සමරසිංහගේ දෑසට ඒ වෙනස හසුවුණු මුත් අසල්වැසි ගැහැණිය එය නොදුටුවාය. ඇය නැවතත් විස්තර කරන්නට පටන් ගත්තාය.
“ඒක වෙලත් වැඩි දවසක් නෑ සර්. දැන් සුමානයක් ඇති.. ගිය සුමානෙ දවසක මං කොස් පලුවක් දීලා යන්ඩ ආපු වෙලාවක තමයි අබේ අයියා කිව්වෙ කාන්ති වෙන මිනිහෙක් එක්ක පැනල ගිහිල්ලා කියලා..”
කොස්තාපල් සමරසිංහ යාබද නිවසේ ගැහැණිය ලලිතාගෙන් තවත් ප්‍රශ්න කීපයක් අසා සටහන් කර ගැනීමෙන් පසුව ඇයට යන්නට අවසර දුන්නේය.
තවත් අසල්වැසියන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් සමරසිංහ ඉන්ස්පෙක්ටර් ජානක කොහිදැයි සොයා වටපිට බැලුවේය. ජානක ඒ වන විටත් දුරකථන ඇමතුමකය. සමරසිංහ අත් ඔරලෝසුව බැලුවේය. උදෑසන දහයත් පසුවී ඇත. මළ සිරුර ගෙන යන්නට එවන්නැයි කී ගිලන් රිය තවමත් නැත. මිනිය ඉටි රෙද්දකින් වසා දැමූ ගමන්ය. ඉතින් දැරිය කැදවාගෙන යන්නට එන කාන්තා පොලිස් නිලධාරිණිය එන්නටත් තව පැයක්වත් ගත වනු ඇත. මේ ගම තිබෙන්නේ නගරයෙන් ඒ තරම් ඈතකට වෙන්නටය.
ඔහු යළිත් දැරිය දෙස බැලුවේය. ඒ මුහුණ මලානිකය.
ඊයෙ රෑට කෑවට පස්සෙ මොකුත් කන්ඩත් නැතිව ඇති.. පොඩි දරුවො කොහොමද මෙච්චර වෙලා බඩගින්නෙ ඉන්නෙ ඉතින්... ඔහු තමාටම කියා ගත්තේය.
“බඩගිනිද පුතේ..?” ඔහු කාරුණික හඩින් දැරියගෙන් විමසීය. දැරිය ඔව් කියන්නට මෙන් යන්තමට හිස වැනුවාය. කහ කළු පටිය මායිමට ගිය කොස්තාපල් සමරසිංහ ඒ අසල බලා උන් කොළු ගැටයෙකුට කතා කළේය.
“මේ ලගක කඩයක් තියෙනවද.?”
“ඔව් සර්..”
“එහෙනම් මට බනිස් ගෙඩි දෙකක් ගෙනත් දෙන්ඩ පුතා..” සමරසිංහ තම පසුම්බියෙන් ගත් මුදල් නෝට්ටුවක් කොළුවා අත තබමින් කීය.
දැරිය බනිස් ගෙඩි දෙක අතට ගත්තේ නොඉවසිල්ලෙනි. ඇය එය කාගෙන කාගෙන ගියේ හත් වේලක් කුසගින්නේ උන් අයෙකු මෙනි.
“පුතා ඊයෙ රෑට කෑවෙත් නැද්ද..?” ඇය නෑ කියන්නට හිස දෙපසට වැනුවාය.
“දවස් තුනක්.. නෑ හතරක්.. කෑවෙ නෑ..” දැරිය පළමු වරට කතා කළාය.
සමරසිංහගේ හදවත අනුකම්පාවෙන් බර විය. අම්මත් නෑනෙ.. තාත්තා හරියට සලකන්ඩත් නැතිව ඇති. අම්මා නැති කල අප්පා කවර කල කියල කතාවටත් කියනවනෙ.. ඔහු සිතුවේය.
“පුතාට තව බනිස් ඕනද.?” ඔහු ඇසුවේය.
“නෑ.. මට ඇති..” දැරිය කීවාය. ඉන්පසු ඇය වටපිට බැලුවාය. කහපාට පටියට මෙතැන් සිට අඩි පනහක පමණ දුරකි. ඇහෙන මානයේ කවුරුවත් නැති බව දැනගත් විට දැරියගේ බියපත් බව නැතිව ගිය බවක් පෙනිණ.
සමරසිංහගේ සිතට අලුත් සිතිවිල්ලක් පැමිණියේය. ඉන්ස්පෙක්ටර් ජානක කීවේ දැරියගෙන් දැන්ම ප්‍රශ්න අහන්නට එපා යැයි කියාය. එහෙත් දැරිය දැනටම තමා ගැන විශ්වාසයක් තබා ඇති බවක් පෙනෙයි. ඉතින් වචනයක් දෙකක් ඉස්සර කර බැලීමේ වරද කුමක්ද.?
“පුතාට දුකයිද..?” ඔහු දැරියගේ හිස අතගා ඇසුවේය.
“නෑ..” දැරිය ගත් කටටම කීවාය. එය නොතේරුම් කමට කියන දෙයක් විය යුතුය. සමරසිංහ යළිත් කතා කළේය.
“පුතා දැක්කද තාත්තව..?” දැරිය හිස හරවා වසා ඇති මළමිණිය දෙස බැලුවාය.
“ඔව්.. එයා මැරිලනෙ..”
“පුතා දන්නවද මැරිලා කියන්නෙ මොකක්ද කියලා..?”
“ඔව්.. මැරුණම ආයෙත් එන්නෙ නෑනෙ. තාත්තා ආයෙත් එන්නෙ නැති එක හොදයි..”
“ඇයි ඒ..?”
“තාත්තා බීලා ඇවිත් අම්මට ගහනවා.. ඊට පස්සෙ අම්මව ගෙයින් එළියට ඇදලා දාලා දොර වහනවා... මං ඒකට බයයි.. අම්ම නැතුව ගෙදර ඉන්ඩ මං බයයි.. මං තාත්තටත් බයයි.. තාත්තා මට රිද්දනවා..” දැරිය එක දිගට කියවාගෙන ගියාය.
සමරසිංහගේ හිත මොහොතකට වේදනාවෙන් කීරි ගැසිණ. මේ කතාව අහන්නට ඉන්ස්පෙක්ටර් ජානකද මෙතැන සිටියා නම් හොදය. එහෙත් ඔහු පෙනෙන්නට නැත.
*********
දුරකථන ඇමතුම ගෙන නිමා කළ ඉන්ස්පෙක්ටර් ජානක හිස ඔසවා වටපිට බැලුවේය. මියගිය තැනැත්තාගේ නිවස කටුමැටි ගැසූ කුඩා පැල්පතකි. එහෙත් ඒ නිවස ඇති ඉඩම නම් සාමාන්‍යයෙන් පිටිසර ගෙදරකදී දැකිය හැකි හොදින් ඉඩකඩ ඇති, ගහකොළ වලින් සෙවණ වුණු ප්‍රමාණයෙන් විශාල ඉඩමකි. වත්තේ එක් කෙළවරක, නිවස පේන තෙක් මානයේ දුරක විසල් කොහොඹ ගසක් විය. ඒ ගස යට අබලන් ලී බංකුවකි.
මළ සිරුර ගෙන යන්නට එන්නැයි කී ගිලන් රථය තවමත් නැත. කොහොමත් කාන්තා පොලිස් නිලධාරිණියක් පැමිණෙන්නටත් තව සෑහෙන වෙලාවක් ගත වනු ඇත. අනෙක් කොස්තාපල්වරුන් දෙදෙනාගේ පරික්ෂණ කටයුතුත් තවමත් කෙරෙන බව පෙනෙයි. කොහොමත් ඔහුට තවත් දුරකථන ඇමතුම් කිහිපයක්ම ගන්නට තිබේ. ඉන්ස්පෙක්ටර් ජානක කොහොඹ ගස අසලට ගොස් එතැන වූ බංකුවේ හිද ගත්තේය.
ඔහු ජංගම දුරකථනයේ තමාට අවශ්‍ය වූ තවත් අංකයක් සොයා ගන්නට වෑයම් කරමින් සිටියේය. එක් වරම නුහුරු සීතලක් ඔහුගේ කොදුනාරටිය දිගේ දිව ගියේය. අර දුර්ගන්ධය නැවතත් දැනිණ. ඒ අර දැරිය අසලින් හැමූ දුර්ගන්ධයමය. ඔහු නැහැය හකුළුවා හුස්මක් පිට කළේය. කවුරුන් හෝ තමා ඉදිරිපිට සිටගෙන, තමා දෙසම බලා සිටින වගක් ඔහුට දැනුණි. හෙතෙම ජංගම දුරකථනයට යොමාගෙන උන් දෑස් ඔසවා ඉදිරිය බැලුවේය.
ඒ ගැහැණියකි. එක් වරම ඔහුගේ හිත ගැස්සිණ. ඇගේ පෙනුම කෙනෙක් තිගස්සවන සුළුය. හිසකෙස් අවුල් වී ගොසිනි. කඩා දමාගෙන උන් ඇගේ කෙස් වැටිය අදක ඊයේක පනාවක් දුටු බවක් පෙනෙන්නට නැත. ඇගේ මුහුණද කිළිටිය. වියලි මඩ, පස් හෝ දැළි විය හැකි දුඹුරු අළු දුහුවිල්ලක් තැවරුණු ඇගේ කම්මුල් දිගේ කදුළු වැල් ගලා ගිය පාරවල් ඇත. ඇය ඇදගෙන උන්නේ චීත්තයක් හා හැට්ටයකි. කිළිටි වුවත් ඒ චීත්තය මල් වැටුණු දම් පැහැති රෙද්දක් බව අදුනා ගන්නට හැකිය. හැට්ටය ඒ චීත්තයට කොහෙත්ම නොගැලපෙන කහ දුඹුරු පාටක එකකි. ඇගේ දෑස් ඔහු වෙතින් එක තත්පරයකටවත් ඉවත් වූයේ නැත. ඒ දෑසෙහි වූයේ කෝපයක්ද, ශෝකයක්දැයි ඔහුට තේරුම් ගත නොහැකි විය.
“ඇයි.?” ඉන්ස්පෙක්ටර් ජානක ඇගෙන් ඇසුවේය. ඇය තවත් මොහොතක් නිහඩව ඔහු දෙස බලාගෙන සිටියාය.
“කවුද තමුන්..? ඇයි මෙතන හිටගෙන ඉන්නෙ.. අර කහපාට පටියෙන් මේ පැත්තට එන්ඩ එපා කිව්වා නේද තමුන්ලට.?” ඉන්ස්පෙක්ටර් ජානක මෙවර සැරෙන් ඇසුවේය
ඇය මොනවදෝ කියන්නට සැරසෙන බව පෙනිණ.
“මහත්තයො මං...” ඇය කතා කළේ රහසක් කියන්නාක් බදු හීන් හඩකින් වුවත්, ඒ හඩ බැරෑඩි ය.
“මං අබේපාලගෙ ගෑනි..”
********
සමරසිංහ යළිත් දැරිය දෙසට හැරුණේය.
“අම්ම නැතුව තනියෙන් ගෙදර ඉන්ඩ බයයි නං, අම්ම ගියාට පස්සෙ පුතා ගෙදර හිටියෙ කොහොමද.?”
“මං හිටියෙ අම්ම ගාව..”
“අම්ම ගාව..?” සමරසිංහ කුතුහලයෙන් ඇසුවේය. සමහර විට මේ දැරියගේ අම්මා ඇත්තේ මේ අහල පහළම විය යුතුය. දැරියගෙන් ඒ විස්තරය අසා ගත්තා නම් ඇයව සොයාගෙන ගොස් තොරතුරක් දැනගත හැකිය.
“ඔව්. ලලිත නැන්දට තාත්ත කිව්වෙ බොරු. අම්මා කාත් එක්කවත් ගියේ නෑ. අම්මා මාව දාල යන්නෙ නෑ කිව්වනෙ.. තාත්ත තමයි අම්මට කැත්තෙන් කෙටුවෙ...”
“තාත්තා අම්මට කැත්තෙන් කෙටුවා..?”
“ඔව්.. එදා ලලිත නැන්ද ආපු දවසට කලින් දවසෙ හැන්දෑවෙ.. එදාත් තාත්තා බීලා ආවෙ.. ඇවිල්ල අම්මත් එක්ක රණ්ඩු වුණා.. ඊට පස්සෙ අම්මගෙ කොණ්ඩෙන් ඇදගෙන ගිහින් එළියට දාලා දොර වැහුව.. ඊට පස්සෙ තාත්තා මාව අල්ලගන්ඩ හදනකොටම.. අම්මා කැත්තකුත් අරගෙන, දොරත් ඇරගෙන ගෙට පැන්නා. අම්මා තාත්තට කැත්තෙන් කොටන්ඩ හැදුවෙ.. ඒ උනාට තාත්තා අම්මව අල්ල ගත්තා.. ඊට පස්සෙ අම්මගෙ අත අඹරවලා කැත්ත ගත්තා. තාත්තා අම්මව තල්ලු කරපු පාර අම්ම බිම වැටුණා. වැටුණ ගමන් තාත්තා පැනලා අම්මට කැත්තෙන් කෙටුවා...” දැරිය කතාව නවත්වා වේගයෙන් හුස්මක් ඉහළට ගත්තාය.
“දෙයියනේ..” සමරසිංහට කියැවිණ. “ඊට පස්සෙ මොකද වුණේ පුතේ..?”
“ලේ ගොඩක් ආවා.. අම්ම නැගිට්ටෙ නෑ.. මං ඇඩුවා.. තාත්තා අම්මව ඇදගෙන ගියා...”
“එතකොට දැන් අම්ම කෝ..?”
“අම්ම ඉන්නව.. කැලේ.. කරුවල වෙනකොට අම්ම එනව මාව අම්ම ගාවට එක්කගෙන යන්ඩ.. මං නිදාගන්නෙ අම්ම ගාව..”
“කැලේ..?”
“ඔව්. කැලේ උනාට අම්ම මගේ ලග ඉන්නවනෙ..”
******
ඉන්ස්පෙක්ටර් ජානක ඒ ගැහැණියගේ හිසේ සිට දෙපතුළ දක්වා විමසුම් බැල්මක් හෙළුවේය. ඇයත් නොසෙල්වෙන දෑසින් ඔහු දෙසම බලාගෙන සිටියාය. ඉන්පසුව යලිත් කතා කරන්නට පටන් ගත්තාය.
“මහත්තයො, මට කියන්ඩ දෙයක් තියෙනව..” ඇගෙන් ප්‍රශ්න අහන්නට පෙර, ඇය කියන්නට යන දෙයට ඇහුම්කන් දීම හොද යැයි ජානකට සිතිණ.
“හොදයි කියන්ඩකො..”
“අබේපාල.. මගේ කසාද මිනිහ.. හැබැයි මිනිහෙක් නෙවෙයි ඌ තිරිසනෙක්.. ගිනිවතුර තමයි ඒ මිනිහව තිරිසනෙක් කරේ.. හැමදාම බීල ඇවිල්ල.. ගෙදර ජල්ලි අල්ලනව.. මගෙ කෙල්ල ගාවින් මාව පන්න ගන්ඩ මට ගහල ගහල ගෙයින් දොට්ට දානව.. වෙන මොකකටවත් නෙවෙයි.. තමුන්ගෙම ලෙයින් උපන්න කෙල්ලව අඹුකමට ගන්ඩ.. අර හය හතර නොතේරෙන කිරි සප්පයව..”
ජානකට ඇගේ මුහුණ දෙස බැලුණේ ඉබේටමය. ඇගේ දෑස්වල බිය සිතෙන තරම් වෛරයක් පිරී තිබිණ.
“මං කොහොම හරි මගේ කෙල්ලව රැක ගත්ත... ඒත් එක දවසක්.. ඌ මගෙ කෙල්ලව අල්ල ගත්ත.. එදා නම් මං හිතුවෙ මේ කරුමෙ ඉවරයක් කරනවමයි කියල.. ඒත් එදා ඌ ඉස්සර වුණා.. ඌ මට කැත්තෙන් කෙටුව... මේ බලන්ඩ මහත්තයො..” ඇය කඩා විහිදාගෙන උන් කෙස් වැටිය මෑත් කොට ගෙළ පෙන්වූවාය. එහි ගැඹුරු කැපුම් තුවාලයකි. එතරම් ගැඹුරු තුවාලයක් ඇතිව ඇය මේ අයුරින් සිටගෙන ඉන්නේ කෙසේදැයි ජානකට සිතා ගත නොහැකි විය. එය මරණීය තුවාලයකි.
“ඇයි මනුස්සයො.. ඔය තුවාලෙ...” ජානකට කියන්නට ගිය ටික කියාගන්නට ලැබුණේ නැත.
“ඒකට කමක් නෑ මහත්තයො.. තුවාලෙට වඩා කැක්කුම් දෙන්නෙ මගෙ පපුව.. අර කෙල්ලව මතක් වෙනකොට.. මං පුළුවන් තරම් කෙල්ලව රැක්ක.. ඒත් ඊයෙ රෑ..”
“ඔව් ඊයෙ රෑ..? ඊයෙ රෑ මොකද වුණේ..? ඒ අපරාධෙ සිද්ධ වෙනකොට තමුන් එතන හිටියද..?” ජානක ඇසුවේ අබේපාලගේ ඝාතනය ගැනය.
“ඔව් මහත්තයො.. ඒ අපරාදෙ වෙන්ඩ කළින් මං එතනට ආවා.. මං ඒ අපරාධෙ සිද්ධ වෙන්ඩ ඉඩ දුන්නෙ නෑ.. ඌ මගේ කෙල්ලට කිට්ටු වෙනකොටම.. මං ඒ මැද්දට ආව... මං ඌව ඉවරයක් කරා.. මරලම දැම්ම.. ආයෙත් ඌ මගේ කෙල්ලට කරදර කරන්ඩ එන එකක් නෑ...” විස පිඹින හැපින්නක මෙන් පිඹිමින් ගැහැණිය කියා දැම්මාය.
ඉන්ස්පෙක්ටර් ජානක මොහොතක් නිහඩව සිටියේය. මේ තරම් ඉක්මනින් මිනීමරුවාම පැමිණ පාපොච්චාරණය කළ එක හොදය. දැන් ඉතින් තියෙන්නේ ඇයව අත් අඩංගුවට ගන්නට පමණකි.
“තමුන් ඇවිත් මේක කිව්ව එක හොදයි. ඔය කිව්ව කාරණා සලකලා බලනකොට තමුන්ට නීතියෙන් මොකක් හරි සහනයක් ලැබෙයි. දැන් තමුන්ට සිද්ද වෙනව අපිත් එක්ක පොලීසියට යන්ඩ..” ජානක ඒ ගැහැණියට කීවේය.
“දැන් මාව ගෙනිච්ච කියල වැඩක් තියෙනවද මහත්තයො..” ගැහැණිය ශෝකාකූල හඩින් කීවාය.
“මහත්තයලට පුලුවන්නං මගේ කෙල්ලට ඉන්ඩ පරිස්සං ඇති තැනක් හොයල දෙන්ඩ..”
ඉන්ස්පෙක්ටර් ජානක අනෙක් පසට හැරුණේ තම නිලධාරින්ගෙන් කවුරුන් හෝ මෙතැනට කැදවන්නටය. මේ ගැහැණියට මාංචු දමන ලෙස ඔවුන්ට කියන්නටය.
“සර්..” ඔහු නොදැනුවත්වම කොස්තාපල් සමරසිංහ ඒ අසලටම පැමිණ සිටියේය. ඔහු ඇවිදින් උන්නේ අර දැරියත් සමගමය.
“ඔව් සමරසිංහ.. හොද වෙලාවට ආවෙ. මං කතා කරන්ඩ හැදුවෙ..” ජානක කීවේය.
“සර්.. මේ දරුව කියනව.. එයාගෙ අම්ම ඉන්නවලු...” සමරසිංහ කීවේය.
“මං දන්නව.. සේරම විස්තරේ දන්නව..” ජානක අර කාන්තාව උන් දෙසට හැරුණේය. පුදුමයකි. ඇය එතැන නැත. ඔහු වටපිට බැලුවේය. ඇය පෙනෙන තෙක් මානයක නැත.
“කොහෙ අතුරුදහන් වුණාද මේ මනුස්සය...?” ඉන්ස්පෙක්ටර් ජානක තනිවම මුමුණා ගත්තේය. එහෙත් එය සමරසිංහට ඇසී තිබිණ.
“කවුද සර්..?”
“මේ ළමයගෙ අම්ම.. අර මැරිච්ච මනුස්සයගෙ පවුල..” ජානක හතර අත නෙත් යවන ගමන්ම කීවේය.
“දැන් මෙතන හිටියනෙ...”
“මෙතන..? මෙතන කවුරුත් හිටියෙ නෑනෙ...?” සමරසිංහ විස්මයෙන් ඇසුවේය.
“නෑ. මේ දැන් මෙතන හිටිය.. මට සේරම විස්තරේ කිව්වා. එහෙම නං ඒ මනුස්සය මෙතනින් පැනගන්ඩ ඇති. පොලිසියට බාර වෙන්ඩ කිව්වම බය වෙන්ඩ ඇති..”
“අම්ම කැලේට යන්ඩ ඇති..” ඔවුන් දෙස බලාගෙන උන් දැරිය කීවාය.
“පුතා දන්නවද අම්ම ඉන්න තැන.? පුතාට පුළුවන්ද අපට එතන පෙන්නන්ඩ..?” සමරසිංහ දැරියගේ හිස අතගා ඇසුවේය. දැරිය හා කියන්නට හිස වැනුවාය.
*********
දැරියව ඉස්සර කරගත් පොලිස් නිලධාරින් හතර දෙනාම ඒ නිවසට යාබද වන ලැහැබ තුළට ඇදුණහ. ගම් වැසියන්ගෙන් දහ දොළොස් දෙනෙකුද ඔවුන් පසුපසම ඇදුණේ අනාරාධිතවමය.
මීටර් දෙසීයක් පමණ යන විට මහත් දුර්ගන්ධයක් දැනෙන්නට විය. එය සතෙකු මැරී කුණු වන විට දැනෙන දුර්ගන්ධයකට සමානය. තවත් ටික දුරක් යද්දී, නිලමැස්සන් රෑනකගේ හීන් කෑ ගෑම් ඇසෙන්නට විය.
දැරිය එක තැනකට ලං වූ විට.. එතැන උන් නිල මැසි රෑනක් කළබල වී ඉහළට නැගුණහ.
“මේ ඉන්නෙ අම්මා..” දැරිය අත දිගු කොට පෙන්වූවාය. එදෙසට නෙත් හෙළූ පළමු තත්පරයේම කොස්තාපල් සමරසිංහත්, ඉන්ස්පෙක්ටර් ජානකත් හිටි අඩියේම නතර වූහ.
ඒ මළමිණියකි. කුණු වී ඕජස් වැගිරෙමින් තිබුණු ගැහැණු මළසිරුරකි.
ඒ ගැහැණු මළ සිරුරේ දැවටී තිබුණු ඇදුම් දුටු ඉන්ස්පෙක්ටර් ජානකගේ දෑස් භීතියෙන්ද විස්මයෙන්ද විශාල වීය. ඒ දම් පැහැති මල් වැටුණු චීත්තයත්, කහ දුඹුරු හැට්ටයත් ඉන්ස්පෙක්ටර් ජානක එසැණින්ම අදුනා ගත්තේය.
-----නිම්මි මුදිතා හේරත්----
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
1

