අවසර දුන්නේ ඖෂධ රටින් ගෙන්වන්න.. ලංකාවේ නිපදවන්න නොවේ...

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අප විසින් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළේ ප්‍රශ්නගත “හියුමන් ඉමියුනොග්ලෝබියුලින්” හා “රිටොක්සිමැබ්” ප්‍රතිදේහ එන්නත් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මිස කිසි ලෙසකත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර සැපයීම සඳහා නොවන බව මුදල් අමාත්‍යංශයෙහි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පට්ටිය ආරච්චිලාගේ සුසන්ත අතුල කුමාර මහතා පවසයි...

May 23, 2026 - 22:26
 91
අවසර දුන්නේ ඖෂධ රටින් ගෙන්වන්න..  ලංකාවේ නිපදවන්න නොවේ...

2026 මැයි මස 21 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය


අවසර දුන්නේ ඖෂධ රටින් ගෙන්වන්න..

ලංකාවේ නිපදවන්න නොවේ...

අධිකරණ වාර්තාකරු


න්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අප විසින් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළේ ප්‍රශ්නගත “හියුමන් ඉමියුනොග්ලෝබියුලින්” හා “රිටොක්සිමැබ්” ප්‍රතිදේහ එන්නත් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මිස කිසි ලෙසකත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර සැපයීම සඳහා නොවන බව මුදල් අමාත්‍යංශයෙහි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පට්ටිය ආරච්චිලාගේ සුසන්ත අතුල කුමාර මහතා පවසයි...

පසුගිය 21 වනදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ඉදිරියේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ සාක්ෂි ලබාදෙමින් සුසන්ත අතුල කුමාර මහතා මේ අදහස ප්‍රකාශ කළේ එම ඖෂධ ගෙන්වීමේ දී රාජ්‍ය සේවය අනුගමනය කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥ රාහුල් ජයතිලක මහතාගේ දීර්ඝ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු ලබාදෙමිනි...

නීතිඥ රාහුල් ජයතිලක නඩුකරයේ නම වැනි විත්තිකාර බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයාය... පැමිණිල්ලේ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී රාහුල් ඇතුළු විත්තියේ නීතිඥවරුන්ගේ වැඩි අවධානය යොමුවූ විශේෂ කාරණා තුනක් තිබිණි...

රට තුළ පැවැති දැඩි ඖෂධ හිඟයක් හා හදිසි අවශ්‍යතාවය සලකා දීර්ඝ ලිපි ගොනු පරීක්ෂා කිරීමෙන් වැළකුණු බව සාක්ෂිකරු ප්‍රකාශ කිරීම...,
දීර්ඝ ලිපි ගොණු දැඩි ලෙස පරීක්ෂාවක් සඳහා ලැබී තිබුණු කාලය සීමිත බව ප්‍රකාශ කිරීම.
අවිශ්වාසයක් නොමැති බැවින් “විශ්වාසය මත පදනම්ව” තීරණාත්මක ප්‍රසම්පාදන ලිපි සඳහා අත්සන් යෙදීමට තීරණය කළ බව ප්‍රකාශ කිරීම යනාදී කරුණු ප්‍රසම්පාදනයේදී කමිටුව අතින් සිදුවූ බරපතළ දුර්වලතා බව විත්තියේ නීතීඥවරුන්ගේ ඒකමතික අදහස වූහ.

ආයතන සංග්‍රහය (Establishments Code) සහ මුදල් රෙගුලාසි (Financial Regulations) අනුව, රාජ්‍ය මුදල් පරිහරණය කිරීමේදී “විශ්වාසය” යන්න නෛතික ආරක්ෂාවක් නොවේ. නිලධාරියෙකු තමන් අත්සන් තබන ලේඛනයක වගකීම සම්පූර්ණයෙන් දැරිය යුතුය. විශේෂයෙන්ම රුපියල් මිලියන 144 ක මහජන මුදලක් සම්බන්ධ ප්‍රසම්පාදනයකදී, “විශාල ලිපිගොනු පරීක්ෂා නොකිරීම” සහ අනෙකුත් නිලධාරීන් ගෙනෙන ලේඛන ඒ අයුරින්ම පිළිගැනීම රාජ්‍ය තන්ත්‍රයේ පවතින පද්ධතිමය බිඳවැටීම (Systemic Failure) මනාව පෙන්නුම් කරන බව නීතීඥවරුන්ගේ විශ්වාසය වූහ.

මෙම නඩුවේ වඩාත්ම බිහිසුණු සහ සාපරාධී පැත්ත වන්නේ, වංචා කර ඇති මුදලට වඩා, එම මුදලින් සෞඛ්‍ය පද්ධතියට මුදාහැර ඇති ඖෂධවල ස්වභාවයයි. "හියුමන් ඉමියුනොග්ලෝබියුලීන්" යනු ජීවිතාරක්ෂක ද්‍රව ප්ලාස්මා ඖෂධයකි. එය ව්‍යාජ ලෙස සකස් කර (ලංකාවේ සේලයින් ජලය යොදා සකස් කළ බවට චෝදනා එල්ල විය) එම ඖෂධ රෝගීන්ට ලබා දීම මගින් මිනිස් ජීවිත සෘජු අවදානමකට ලක් කර ඇති බවට ‍ෙ.

කමිටුවේ නිල තීරණය වී ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනය කිරීම වුවද, විත්තිකාර "අයිසොලෙස් බයෝටෙක් ෆාමා" (Isolez Biotech Pharma) සමාගම විසින් දේශීයව ව්‍යාජ ලෙස සකස් කළ ඖෂධ සැපයීමට ඉඩ ලැබුණේ කෙසේද යන්න මෙහි ඇති ප්‍රධානතම අභිරහසයි. ප්‍රසම්පාදන කමිටුවේ ඉහළම නිලධාරීන් "අත්සන් තැබූ ලේඛනවලින් ඔබ්බට" ක්ෂේත්‍රයේ සිදුවන දේ පිළිබඳව කිසිදු අධීක්ෂණයක් (Oversight) සිදු කර නොමැති බව නීති ක්ෂේත්‍රයේ අද කාගේත්  අවධානයට ලක්ව ඇති කරුණක් විය.

මෙම නඩු විභාගය ශ්‍රී ලාංකීය සමාජයට දෙන පණිවිඩය ඉතා ප්‍රබලය. එනම්, රටක ආර්ථික සහ දේශපාලන අර්බුද පවතින අවස්ථාවලදී, පරිපාලන පද්ධතියේ පවතින "හදිසි ප්‍රතිපාදන" මුවාවෙන් සිදුවන දූෂණය මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා අහිමි කරන තත්ත්වයට පත්විය හැකි බවයි. ඉහළ රාජ්‍ය නිලධාරීන් "පද්ධතිය කෙරෙහි තැබූ සාධාරණ විශ්වාසය" නමැති ලේබලයෙන් තමන්ගේ වගකීමෙන් මිදීමට උත්සාහ කළද, අවසාන විග්‍රහයේදී මහජන මුදල් සහ මහජන ජීවිත විනාශ වීමට ඔවුන්ගේ එම "නොසලකිලිමත් අත්සන" ද දායක වන්නට ඇති බව මෙම අධිකරණ වාර්තාවෙන් අනාවරණය වේ.


මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව විභාග වූහ.

නඩු විභාගය ආරම්භයේදීම මෙම නඩුවේ තෙවන විත්තිකාර පීස් දේවශාන්තිනි සොලමන්ස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන විනිසුරු මඩුල්ල වෙත දන්වා සිටියේ තම සේවා දායිකාව සහ ඇයගේ දියණිය ඩෙංගු රෝගයෙන් පෙළෙන බවය.

තෙවන දිනටත් සාක්ෂි දුන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පට්ටිය ආරච්චිලාගේ සුසන්ත අතුල කුමාර මහතා විත්තියේ නීතිඥ අමිත ආරියරත්නගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද කීවේය.

නීතිඥ:           HSEPPC කමිටුව ආරම්භයේදී ලිපිගොනු ලැබිලා තිබුණද?
සාක්ෂිකරු:     නැහැ. ලැබී තිබුණේ නැහැ. නමුත් ඔක්තෝබර් 18 වැනිදා ගෙනත් තිබුණා.

නීතිඥ:           සාකච්ඡා කළා නේද.
සාක්ෂිකරු:     සාකච්ඡා කරන වෙලාවේ එකට හිඳ සාකච්ඡා කළේ.

නීතිඥ:           ගොනු පරීක්ෂාවට බාධාවක් තිබුණේ නැද්ද?
සාක්ෂිකරු:     අපි ගොනු බැලුවේ නැහැ.

නීතිඥ:           මා අහන්නේ ඔබ ඉදිරියේ තිබියදී එම ගොනු පරීක්ෂාවට බාධාවක් තිබුණේ නැද්ද කියලයි.
සාක්ෂිකරු:     නැහැ. ඇත්තටම තිබුණේ ගොනු නොවෙයි. ලේඛනයක්. පසුව තවත් ලොකු ලේඛනයක් ගෙනාවා. ඒ අනුව ලේඛන                           දෙකක් පමණයි තිබුණේ. ලොකු ගොනු තිබුණේ නැහැ.

නීතිඥ:           ඔබට කමිටුවට ලිඛිත පත්වීමක් ලැබිලා තිබුණද?
සාක්ෂිකරු:     ඔව් ලැබිලා තිබුණා.

නීතිඥ:           ඔබ කමිටුවට සහභාගි වුණේ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නේද?
සාක්ෂිකරු:     මාව නම් කළේ මුදල් අමාත්‍යාංශය.

නීතිඥ:           තාක්ෂණ කමිටුවේ අනුමැතියට යටත්ව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නේද මේ ඖෂධ සම්බන්ධ කටයුත්ත                           කෙරුණේ?
සාක්ෂිකරු:     අපි එද්දී ඒ යටතේ තමයි මිල දී ගැනීම් කරන බව දන්වලා තිබුණේ.

නීතිඥ:           ඖෂධ ප්‍රසම්පාදනයේදී ආනයනික ඉන්දියානු ඖෂධ ලංකාවට ආනයනය කිරීමයි සිදුවිය යුතුව තිබුණේ.
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනී.

නීතිඥ:           ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යටතේ තිබුණේ?
සාක්ෂිකරු:     ඒ ගැන මට අදහසක් නැහැ.

නීතිඥ:           ඖෂධ සැපයීම දැඩි අධීක්ෂණයක් යටතේ තිබුණා.
සාක්ෂිකරු:     එහෙම දැනීමක් නැහැ.

නීතිඥ:           එහි තිබුණු අධීක්ෂණ භාවය නිසා ඖෂධ ගුණාත්මක භාවයකින් ලැබෙන්න තිබුණා.
සාක්ෂිකරු:     ඔව් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහතිකය සහිතව ලබාගත හැකිව තිබුණා.

නීතිඥ:           ඖෂධයක ගුණාත්මක භාවය, මිල සහ කාලය මත පදනම්ව ඖෂධ ගෙන්වන බව කලින්  ඔබ කීවා ඖෂධ නියාමන                             අධිකාරියේ සහතිකය ලැබීමට ලියකියවිලි විශාල ප්‍රමාණයක් දිය යුතුයි.
සාක්ෂිකරු:     මම දන්නේ නැහැ.

නීතිඥ:           එම සහතිකය නැතිව ඖෂධ ගේන්න තාක්ෂණ කමිටුව ඉඩ දුන්නේ නැහැ.
සාක්ෂිකරු:     එහෙම තමයි කියන්නේ.

නීතිඥ:           කමිටුවේ කටයුතු කරද්දී යම් ලේඛනයක පවතින තොරතුරු ඌනතාවයක් තිබුණත් අවශ්‍ය පරිදි ප්‍රශ්න කළ හැකියි.

සාක්ෂිකරු:     ඔව් කාලය තමයි ප්‍රශ්නය.    

නීතිඥ:           කාලය ගැන හිතා වගකීම් පැහැර හරින්න පුළුවන්ද?
සාක්ෂිකරු:     අපට ලොකු වගකීමක් තිබුණා ඖෂධ හිඟය පියවීම ගැන. ඒ නිසා ප්‍රධාන කාරණා තුන සලකා බැලුවා.

නීතිඥ:           සැපයිය යුතු සමහර ඖෂධවල තොග ශූන්‍ය වී ඇතැයි දැනගත්තාද?
සාක්ෂිකරු:     ඔව් වෛද්‍ය ජයනාත් කිව්වා ශූන්‍ය වන ඖෂධ ගැන. ඒවා හදිසියි කීවා.

නීතිඥ:           ඒ තොරතුරු ගන්නේ ප්‍රොන්ටෝ පද්ධතිය හරහා කියල ඔබ දන්නවාද?
සාක්ෂිකරු:     ඒ ගැන දන්නේ නැහැ ස්වාමීනී.

නීතිඥ:           අගැයීම් කමිටුව පත් කිරීම ගැන ඔබ මොනවාද දන්නේ?
සාක්ෂිකරු:     මම එන්න පෙර ඒ කමිටුව පත් කර තිබුණා. ඒ හැර වෙන දෙයක් දන්නේ නැහැ.

නමවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක

සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.

නීතිඥ:           ඔබ විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරියෙක්. ඊට පෙර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. එම තනතුරට සුදුසුකම් සපුරා තිබෙනවා. ඒ                           වගේම ඔබ වරලත් ගණකාධිකාරීවරයෙක්. ඔබට ගණකාධිකරණය ගැන දැනුමකුත් තිබෙනවා.
සාක්ෂිකරු:     එහෙමයි ස්වාමීනි.

නීතිඥ:           ඔබ විශේෂඥ කමිටුවලත් සිටියාද?
සාක්ෂිකරු:     විශේෂඥ කමිටු කිව්වේ.
නීතිඥ:           ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂඥ කමිටුව වැනි කමිටුවල. ප්‍රසම්පාදන තාක්ෂණ අගැයීම් කමිටුව වැනි කමිටුවල.
සාක්ෂිකරු:     මතකයක් නැහැ ස්වාමීනි.

නීතිඥ:           ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රසම්පාදන මණ්ඩලය.
සාක්ෂිකරු:     තාක්ෂණ කමිටුවක්ද ප්‍රසම්පාදන කමිටුවක්ද මතක නැහැ ස්වාමීනි.

නීතිඥ:           ඔබ කටයුතු කර ඇති ආයතන හෝ මණ්ඩල ගැන කියන්න.
සාක්ෂිකරු:     වරාය අධිකාරිය, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, සිලෝන් ඇග්‍රෝ, පිඟන් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනවල ඉඳලා                            තියෙනවා ස්වාමීනි.

නීතිඥ:           එම තැන්වලදී වගවීම හා වගකීම කාටද?
සාක්ෂිකරු:     ශ්‍රී ලංකා රජයට ස්වාමීනි.

නීතිඥ:           රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ තිබූ වගකීම කුමක්ද?
සාක්ෂිකරු:     රාජ්‍ය ව්‍යාපාර කාර්ය මණ්ඩල, ගිණුම් කටයුතු ආදිය සොයා බැලුවා. අදාළ අංශ ගැන පමණක් තීරණ ගත හැකියි. ඒවා                        නොපිරිහෙළා ඉටු කළා.

නීතිඥ:           ඔබට ඇති වගකීම බලතල වෙනත් කෙනෙකුට භාර දුන්නාද?
සාක්ෂිකරු:     නැහැ ස්වාමීනි එහෙම කරන්නේ නැහැ.

නීතිඥ:           වාර්තා කිරීම් ගැන හොයලා බලනවාද නැත්නම් වෙනත් නිලධාරියෙකුට භාර දෙනවාද?
සාක්ෂිකරු:     අදාළ නිලධාරියා වගකීමෙන් බැඳෙනවා ස්වාමීනි. සැකයක් ඇත්නම් බලනවා.

නීතිඥ:           සැක නැත්නම් බලන්නේ නැද්ද? සේවකයන් විශ්වාස කරනවාද?
සාක්ෂිකරු:     රාජ්‍ය ව්‍යාපාර විශාල ගණනක් තියෙනවා. ඒ සියල්ලේම සියලු දේ සොයන්න බැහැ. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩල හා ප්‍                       රධානීන් පත් කර තියෙනවා.

නීතිඥ:           ඔබ ඔබේ වගකීම දන්නවාද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනි.

නීතිඥ:            ඔබෙන් අවසර ඉල්ලන ලේඛන ඇවිත් තිබෙනවාද?
සාක්ෂිකරු:     ඔව් අවශ්‍යනම් බලනවා. අත්සන් කරනවා.

නීතිඥ:           ඇයි අත්සන් කරන්නේ?
සාක්ෂිකරු:     අපි වග කියන බවට.

නීතිඥ:           ඔබ කොවිඩ් හදිසි ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු කළා.
සාක්ෂිකරු:     එසේය ස්වාමීනි.

නීතිඥ:           මේ කමිටුවේ කටයුතු කරද්දී බැලුවේ අයිතම වශයෙන්ද?
සාක්ෂිකරු:     ඔව්. වෙලාවත් එක්ක ඔක්කොම බලන්න බැහැ.

නීතිඥ:           වෙලාව මදි කියා ඔබ හැමවෙලේම කියනවා. අධිකරණය හැර වෙනත් තැන්වලත් කියා තිබෙනවාද?
සාක්ෂිකරු:     ඔව් අවස්ථාව ලැබුණු තැන්වල කියා තිබෙනවා.

නීතිඥ:           කොහේදීද?
සාක්ෂිකරු:     තැන් මතක නැහැ.

නීතිඥ:           අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වාද?
සාක්ෂිකරු:     අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇහුව දේවල්වලට උත්තර දුන්නා.

නීතිඥ:           කාලය මදි බව කිව්වාද?
සාක්ෂිකරු:     වටපිටාව ගැන කියනවා පමණයි.    

නීතිඥ:           මම යෝජනා කරනවා මේ කාලය මදි බව කියන්නේ පළමු වතාවටයි. ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්                           ප්‍රකාශවල කොතැනකවත් කිව්වේ නැහැ.
සාක්ෂිකරු:     කිව්වාද කියලා මට මතක නැහැ.

නීතිඥ:           කාලය මදි යන්න ඌනතාවයක් ලෙස පෙන්වා දෙනවා ස්වාමීනි.

නීතිඥ:           කොවිඩ් ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු කරද්දී වගකීම් මොනවාද?
සාක්ෂිකරු:     ගයිඩ්ලයින් එකේ තිබුණු විදියට මිල දී ගැනීම්.

නීතිඥ:           ඒ වගකීම් මොන වගේද?
සාක්ෂිකරු:     අවශ්‍ය සැපයුම්කරුවන් මිල ගණන් කැඳවා අනුමත කිරීමේ වගකීම.

නීතිඥ:           කමිටුවලදී අවශ්‍ය ලේඛන බැලිය හැකිද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනි.

නීතිඥ:           හදිසි මිල දී ගැනීම්වල ප්‍රසම්පාදන කටයුතුවලදී ඒ සම්බන්ධව ලේඛන පරීක්ෂාවට බාධා තිබුණාද?
සාක්ෂිකරු:     ඉක්මනින් කටයුතු කිරීමේ උවමනාව තිබුණා. කමිටු පිහිටුවලා තියෙන්නේ ඒකටයි කියන වගකීමෙන් අපි බැඳෙනවා. ඒ                       ගැන අවබෝධයෙන් ඉන්නවා.

නීතිඥ:           මේ HSEPC කමිටුවේ තවත් සාමාජිකයින් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් හා කටයුතු කරද්දී තීරණ ලබාදීමේ                                       අවස්ථාවන්හිදී විරෝධතා දැක්වූ අවස්ථා තිබේද?
සාක්ෂිකරු:     නැත ස්වාමීනි.

නීතිඥ:           කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්න දත්ත ලැබුණාද?
සාක්ෂිකරු:     පළමු වතාවට ගියා නම් තොරතුරු ලබාගන්නවා. බලන්නේ අවිශ්වාස නැත්නම් අපි බලන්නේ නැහැ.

නීතිඥ:           මම යෝජනා කරනවා 13, 18, 25 දින තුනේම සියලුම ලේඛන ඉදිරිපත් කර තිබුණා කියා.
සාක්ෂිකරු:     ලේඛනයක විශේෂ අවශ්‍යතාවයක් දැක්කේ නැහැ.

නීතිඥ:           ඔබට තිබුණු විනය පරීක්ෂණය කුමක්ද? කුමන වසරේද?
සාක්ෂිකරු:     2023 වසරේ. මට චෝදනා පත්‍රයක් ලැබුණා.

නීතිඥ:           2023 දෙසැම්බර් 5 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශයේදී සියලුම ලේඛන ලැබුණේ නැහැ                               කිව්වාද?
සාක්ෂිකරු:     මතක නැහැ.

නීතිඥ:          කිසිම අවස්ථාවක සී අයි ඩියට කියා නැහැ සියලුම ලේඛන නිවැරදිව ලැබුණේ නැහැ කියා.
සාක්ෂිකරු:     එහෙම කියන්න අවශ්‍යතාවයක් වුණේ නැහැ.

නීතිඥ:           සාක්ෂිකරු සී අයි ඩියට කිව්වේ නැහැ ප්‍රසම්පාදන ලේඛන ලැබුණේ නැහැ කියන කාරණය. ඒ නිසා එම කාරණය                                ඌණතාවක් ලෙස පෙන්වා දෙනවා ස්වාමීනි.

නීතිඥ:           කමිටුව රැස්වීමේදී අදාළ සාකච්ඡා කරගෙන ඇවිත් තිබුණා කියා කීවාද?
සාක්ෂිකරු:     මම එහෙම කිව්වේ නැහැ.

නීතිඥ:           ඔබ දිගින් දිගටම කිව්වා අදාළ සැපයුම් ගැන කිව්වා කියා. මම යෝජනා කරනවා සියලු ලිපි ලේඛන වෛද්‍ය ජයනාත්                          බුත්පිටිය මගින් ඉදිරිපත් කළා කියා.
සාක්ෂිකරු:     පළමු අවස්ථාවේ අතින් ලියූ කොළ ආවා.

නීතිඥ:           ප්‍රසම්පාදන කමිටුවේ අනෙක් සාමාජිකයෝ කවුද?
සාක්ෂිකරු:     චන්ද්‍රගුප්ත මහතා, වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය ජයනාත් ඇතුළු නිලධාරීන් හිටියා.

නීතිඥ:           ඒ අය හඳුනාගත හැකිද?
සාක්ෂිකරු:     හරියට මතක නැහැ.

නීතිඥ:           කොවිඩ් ප්‍රසම්පාදනය පටන් ගන්න කලින් පුහුණුවක් දුන්නාද?
සාක්ෂිකරු:     මතක නැහැ.

නීතිඥ:           රැස්වීම තිබුණු ආකාරය කියන්න.
සාක්ෂිකරු:     ලොකු කාමරයක්. එහි ලොකු මේසයක් තිබුණා.

නීතිඥ:           එහි සභාපති ලෙස ඉඳගත්තේ එවකට ලේකම් චන්ද්‍රගුප්ත?
සාක්ෂිකරු:     ඉස්සරහ වාඩි වුණේ රත්නායක මහතා, දකුණු පැත්තේ ජයනාත් මහතා.

නීතිඥ:           පිටුපසත් පුටු තිබුණාද?
සාක්ෂිකරු:     මතක නැහැ.

නීතිඥ:           සැපයුම්කරුවන් ඇවිත් සිටි බව කීවා.
සාක්ෂිකරු:     ඔව්. ඔවුන් සමග සාකච්ඡා කළා. සමහර අවස්ථාවල දුරකතනයෙනුත් සාකච්ඡා කළා.

නීතිඥ:           2023 දෙසැම්බර් 5 සී අයි ඩියට දුන් ප්‍රකාශයේ සැපයුම්කරුවන් ඇවිත් සිටි බව නොකී බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු:     ඔය වචනවලින්ම කිව්වාද කියල නම් මට අමතකයි.

නීතිඥ:           දුරකතනයෙනුත් අදාළ නිගෝෂියේෂන් කළාද?
සාක්ෂිකරු:     පැමිණ නැත්නම් තෝරාගත් අයෙක් අපි කමිටුව වශයෙන් දුරකතනයෙන් කතා කර තිබෙනවා. බොහෝ වෙලාවට කතා                       කරන්නේ මම.

නීතිඥ:           ඔබ කමිටු සාමාජිකයෙක්. ප්‍රධාන තිදෙනාගෙන් අයෙක්. විශේෂ කරුණු ගැන සටහන් තබාගත්තාද?
සාක්ෂිකරු:     මම පරීක්ෂා කළේ නැහැ.

නීතිඥ:           සාමූහික තීන්දු ගන්නේ ප්‍රධාන තිදෙනාද?
සාක්ෂිකරු:     තීන්දු ගැනීමේ වගකීම වෙනත් කාටවත් පවරන්නේ නැහැ. අපි කමිටුවේ ප්‍රධාන සාමාජිකයින් අතරයි එය සිදුවන්නේ.

නීතිඥ:           තීන්දු ගැනීමට වෙන හේතු ගැන සැළකිලිමත් වෙනවාද? (පැ.259 ලේඛනය පෙන්වයි.)

නීතිඥ:           මෙම ලේඛනය මතකද?
සාක්ෂිකරු:     ඔව්. අපි වගකීම භාරගනිමින් අත්සන් කළ ලේඛනය. අපේ ඍජු දැනීම සම්බන්ධව ක්‍රියාපටිපාටිය වගකීම් අරන් අත්සන් කළ එකක්.

නීතිඥ:           සත්‍ය නිසාද?
සාක්ෂිකරු:     සත්‍ය බවට විශ්වාස නිසා. අපි රාජ්‍ය සේවයට එද්දී පොරොන්දු දී තිබෙනවා. අපි එද්දී දැනුවත් වී සිටි කරුණු නිසා                               ඉලක්කම් ගැන අවබෝධයක් නැතත් වගකීම් මතින් බැඳී සිටිනවා.

නීතිඥ:           1.4 හි ඇති වෛද්‍ය සැපයුම් ඒකකය ගැන මතකද?
සාක්ෂිකරු:     මට මතක නැහැ.

නීතිඥ:           1.6 හි ඇමුණුමක් තියෙනවා.
සාක්ෂිකරු:     එය ලැබුණේ නැහැ. කැබිනට් පේපර් එකක් දානවා කී නිසා අත්සන් කළා.

නීතිඥ:           ලේඛනයකට අත්සන් කරන්නේ වගකීම දරාගෙන නේද?
සාක්ෂිකරු:     මට විශ්වාසයි බොරුවක් කියලා නැහැ කියා.

නීතිඥ:           හැම එකකටම ඒ විශ්වාසය තියෙනවාද?
සාක්ෂිකරු:     අපි මිල ප්‍රමාණය හා ක්‍රයිටීරියා හදලා තියෙන නිසා බය නැතිව අත්සන් කළා. හදිසිභාවය ප්‍රධානයි. ඒ නිසා                                         සැපයුම්කරුවන්ට අවස්ථාව දුන්නා. ආපු ලංසුවල මිල ගණන්, කෙටි කාලයකින් ගෙන්වා දෙන්න පුළුවන්ද බලලා ආදී                         නිර්දේශ බලලයි අපි තීන්දු ගන්නේ.

නීතිඥ:           ලිපි ලේඛන අතට අරන් බලන්න බාධාවක් තියෙනවාද?
සාක්ෂිකරු:     සමහර විට ඒවාත් බලනවා.

නීතිඥ:           ඔබ කියන්නේ සමරි ෂීට් බලනවා වගේම ලංසු ලේඛනත් පරීක්ෂා කරනවා කියලද?
සාක්ෂිකරු:     නැහැ ස්වාමීනි.

නීතිඥ:           මම යෝජනා කරනවා අදාළ බෙහෙත්වලට අදාළ ලිපි ලේඛන කමිටුවට භාර දීලා තිබුණා කියලා.
සාක්ෂිකරු:     මම පිළිගන්නේ නැහැ.

නීතිඥ:           ඒවා ඔබ ළඟ තබාගෙන දවස් කිහිපයකින් අත්සන් කර දුන්නා.
සාක්ෂිකරු:     නැහැ වෛද්‍ය ජයනාත් පැමිණ අත්සන් ලබාගෙන එවෙලේම අරන් ගියා.

නීතිඥ:           ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2023 දෙසැම්බර් 5 සහ 2024 නොවැම්බර් 1 යන දෙදින දුන් ප්‍රකාශවලින්                         පැ.259 ලේඛනයට අත්සන් ගන්න වෛද්‍ය ජයනාත් ආ බව කීවාද?
සාක්ෂිකරු:     ඔව් මම කිව්වා.

නීතිඥ:           ඔබ පළමුවරට කියන්නේ වෛද්‍ය ජයනාත් කාර්යාලයට ආ බව.
සාක්ෂිකරු:     අනිවාර්යයෙන් ආවා.

නීතිඥ:           වෛද්‍ය ජයනාත් කාර්යාලයට ආ බව කියන එක ඌනතාවයක් ලෙස පෙන්වා දෙනවා. ඔබ මේ ලේඛනය දින දෙකක්                           තබාගත් බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු:     නැහැ, ඇවිත් අත්සන් කර අරන් ගියා.

නීතිඥ:            ගොනුවේ පැ. 261 ලේඛනය බලන්න. එහි අත්සන් කළාද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනී.

නීතිඥ:           ඒ අත්සන් කළේ ප්‍රසම්පාදන කටයුතුවලට තීරණ දෙන්න සෑහීමකට පත්වුණ නිසාද?
සාක්ෂිකරු:     ඔව්. දත්තවල නිවැරදි භාවයක් තියෙනවා කියා සිතනවා.

නීතිඥ:           ලැබුණු දත්ත තහවුරු කරගන්න තැනක් තිබුණාද?
සාක්ෂිකරු:     නැහැ ස්වාමීනි. එවැනි ලේඛන තහවුරු කරන්න ලේඛන ලැබුණේ නැහැ.

නීතිඥ:           ඔබට ලැබුණු තොරතුරු සම්බන්ධ නිරවද්‍යතාව තවදුරටත් බලන්න ක්‍රමයක් තිබුණාද?
සාක්ෂිකරු:     නැහැ ස්වාමීනී.

නීතිඥ:           ජයනාත් බුත්පිටිය පැමිණ අත්සන් ගත් බව කීවා. සී අයි ඩියට ප්‍රකාශ දුන් දින දෙකේ ඒ බව කීවාද?
සාක්ෂිකරු:     මට මතක හැටියට කීවා.

නීතිඥ:           ඒ කාරණාව කියලා නැහැ කියා මා යෝජනා කරනවා.
සාක්ෂිකරු:     ඇහුවා නම් කියලා ඇති.

නීතිඥ:           අත්සන ගන්න ජයනාත් ආ බව කීම ඌණතාවයක් ලෙස මම ප්‍රකාශ කරනවා.
සාක්ෂිකරු:     ඔහු ආ බව මට මතකයි.

නීතිඥ:           පැ. 261 හි 2 පිටුවේ හා 5 පිටුවේ ඇති ඇමුණුම් ඔබට ලැබුණු බව මම යෝජනා කරනවා.
සාක්ෂිකරු:     මට ලැබුණේ ඇමුණුම් දෙකයි.

නීතිඥ:           පැ. 261 සහ පැ. 259 ලේඛනවලට අත්සන් ලබාගැනීමට 9 වන චූදිත කාර්යාලයට පැමිණ ඇති බව පළමු ප්‍රකාශයේ                           පවසා නැතත් දෙවන ප්‍රකාශයේ අවධානයට යොමු කර ඇති බව අධිකරණයේ අවධානයට යොමු වේ. ඒ අනුව එහි                            ඌනතා නිශ්චය කරගැනීමට පමණක් එනම් නඩු විභාග කිරීම සඳහා සාක්ෂිකරුවන් දුන් ප්‍රකාශය පරීක්ෂා කරනු ලබයි.                        දෙවන ප්‍රකාශයේ පැ. 259 සහ පැ. 261 ලේඛන 9 චූදිත කාර්යාලයට රැගෙන විත් ඇති බව හා කමිටු වාර්තාවට අත්සන්                      ලබාගෙන ඇත.

නීතිඥ:           ඔබ මූලික සාක්ෂියේදී වෛද්‍ය ජයනාත් SPC වලට ප්‍රසම්පාදන කරන්න බැරි බව කීවාද?
සාක්ෂිකරු:     SPC යනුවෙන් නම් කළා යැයි මට මතක නැහැ.

නීතිඥ:           පැ. 72 ගොනුවේ 259 ලේඛනයේ 53 පිටුවේ 2/25 ට අවධානය යොමු කරන්න. හියුමන් ඉමියුනොග්ලොබියුලින් සඳහා                       ඔබේ අත්සන යෙදුවාද?
සාක්ෂිකරු:     ඔව්. 22500 ක් ඒකක එම බෙහෙතින් අයිසොලෙක් බයෝ ෆාමා වෙතින් මිල දී ගන්නට කියා.

නීතිඥ:           ඔබ කොතැනකවත් ලංකාවේ නිෂ්පාදන සපයන්න කියා කියලා නැහැ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ                                   ගෙන්වන්නයි නිර්දේශ දුන්නේ. එම තීරණය වෙනස් කළාද?
සාක්ෂිකරු:     නැත ස්වාමීනි. එය සාමූහික තීරණයක්.

නීතිඥ:           මේ තොරතුරු හා දත්ත මත WoR එකට යටත්ව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ   ගෙන්වන්න මිස ලංකාවේ                          නිපදවන්න තීරණය කරලා නැහැ.
සාක්ෂිකරු:     එසේය ස්වාමීනි.

නීතිඥ:           ඒක දත්ත මත පදනම්ව ගත් තීරණයක්.
සාක්ෂිකරු:     ලංකාවේ හදන්න කවුරුවත් කීවේ නැහැ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගන්නයි තීරණය වුණේ.

නීතිඥ:          මම යෝජනා කරනවා කමිටු තීරණ ගැනීමට ප්‍රසම්පාදන ඒකකය විසින් ප්‍රසම්පාදන දැන්වීම ඉදිරිපත් කළා කියලා.
සාක්ෂිකරු:     නැහැ දැන්වීම ඉදිරිපත් කළේ නැහැ.

නීතිඥ:           අගැයුම් කමිටුවේ වාර්තාව ඉදිරිපත් වුණාද?
සාක්ෂිකරු:     ඉදිරිපත් වුණා.

නීතිඥ:           කමිටුවට වාර්තා ඉල්ලා බැලීමට බාධා තිබුණාද?
සාක්ෂිකරු:     නැහැ.

නීතිඥ:           කමිටු සාමාජිකයෙක් ලෙස සෞඛ්‍ය ලේකම් විසින් ලංසු කැඳවන මෙන් කිව්වේ නැද්ද?
සාක්ෂිකරු:     එසේ කටයුතු යොදා ඇති බව වෛද්‍ය ජයනාත් කිව්වා.

නීතිඥ:           මම යෝජනා කරනවා නිසි දැනුම් දීමක් කළා කියලා.
සාක්ෂිකරු:     සමහර විට ෆෝන් එකෙන් කියනවා. නමුත් මේ ගැන එතනට ගියාමයි දැනගත්තේ.

නීතිඥ:           ලිඛිත දැනුම් දීමක් අවශ්‍යද ලංසු කැඳවීමට.
සාක්ෂිකරු:     අවසානයේ එකඟ වෙනවා මිස ලේඛන හදා අපට ඉදිරිපත් කරන්නේ නැහැ.

නීතිඥ:           මෙම නඩුවට පාදක ප්‍රසම්පාදන කමිටුවට ලංසු කැඳවන්න කලින් ඔබ ලංසු ගැන දැනුවත් කළාය කියා මම යෝජනා කරනවා.
නීතිඥ:           දෙසැම්බර් 5 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශයට ඇතුළත් කරුණුවලට වඩා තොරතුරු දෙවන                                   ප්‍රකාශයේ ප්‍රකාශ කර තිබෙනවාය කියා කිව්වොත්?

සාක්ෂිකරු:     ප්‍රකාශ කරන්න ඇති ස්වාමීනි.

නීතිඥ:           මෙම ප්‍රකාශ දෙක අතර කාලයේයි විනය පරීක්ෂණය සිද්ධ වුණේ.
සාක්ෂිකරු:     මම විශ්‍රාම යන්න ආසන්නයේ විනය පරීක්ෂණය පැවැත්වුණේ. ඒ නිසා මම ඒ කරුණ පිළිගන්නේ නැහැ.

නීතිඥ:           ඔබ නිසි ලෙස ලේඛන පරීක්ෂා කර තීරණවලට එළඹුණා කියා සිතනවා.
සාක්ෂිකරු:     නැහැ ස්වාමීනි.

නීතිඥ:           බිය නිසා එහෙම කියනවා නේද?
සාක්ෂිකරු:     බිය විය යුතු නැහැ.

නීතිඥ:           මේ සිද්ධිය ගැන විනය පරීක්ෂණයේ ඇහුවාද?
සාක්ෂිකරු:     මේ කරුණු නෙවෙයි එතනදී ඇහුවේ.

නීතිඥ:           ඒ ලේඛන වලින් අලුත් කරුණු දැනගත්තාද?
සාක්ෂිකරු:     අලුත් කරුණු විදියට දැනගන්න තිබුණා.

නීතිඥ:           ඔබේ ගැලවීම පිණිස ලේඛන පරීක්ෂා නොකළ බව කියනවා.
සාක්ෂිකරු:     මට ඕන නම් ඉල්ලා බැලිය හැකිව තිබුණා. නමුත් මම එසේ කළේ නැහැ. අවිශ්වාසයක් නැති නිසා.


10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත නාවාන

මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.

නීතිඥ:           ඔබට මේ රටේ රාජ්‍ය ආයතන ගණනාවක් පිළිබඳ විශාල වගකීමක් පැවරී තිබුණා. එය ඉටු කිරීමේදී නිසි අවධානය                              සැලකිල්ල යොමු කළ යුතුයි නේද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනි.

නීතිඥ:           රාජ්‍ය නිලධාරියෙකුගේ සැලකිල්ල ගැන ඔබ දන්නවාද? අනවධානය හා නොසලකිල්ල නෙරපා හැරීමට හේතුවක්                               වෙනවා. ආයතන සංග්‍රහයේද ඒ බව සඳහන්.
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනි.

නීතිඥ:           එසේ කරන නිලධාරියෙක් එයින් රාජ්‍ය සේවය අපකීර්තියට පත් කරන බවයි සැලකෙන්නේ.
සාක්ෂිකරු:     එසේය ස්වාමීනි.

නීතිඥ:           ඒවා දඬුවම් ලැබිය හැකි වැරදි.
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           අවධානය හා සැලකිල්ල කියන්නේ තමන් කරන සියලු කටයුතුවලදී සියලු කරුණු සලකා බලා තීරණ ගැනීමයි. එහෙම                       නේද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමිනී.


නීතිඥ:           අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්ව සිටියදී 2021 දී කොවිඩ් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ කමිටුවේ කටයුතු කරනු ලැබුවා.
සාක්ෂිකරු:     එහෙමයි.

නීතිඥ:           එය සැකසුවේ මුදල් අමාත්‍යාංශය මගින්. ඒ ගැන ඔබ දන්නවා.
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනී.

නීතිඥ:           එහි අනෙක් සාමාජිකයන් වුණේ සෞඛ්‍ය ලේකම් හා ඖෂධ සංස්ථා සභාපති.
සාක්ෂිකරු:     ඔව් දිගටම එහෙමයි.

නීතිඥ:            ඔබ මේ කමිටුවේ මුල් පැවැත්මේ සිට කමිටුව අවසන් කරන තෙක් සිටියා.
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනි.

නීතිඥ:            කොවිඩ් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වාර්තාවලටත් දේශනවලටත් සහභාගි වුණා.
සාක්ෂිකරු:     ඔව් එහිදී හරියාකාරව මධ්‍යස්ථව කටයුතු කළා.

නීතිඥ:           මේ ප්‍රසම්පාදනය මුදල් හා සම්බන්ධ නිසා විශේෂයි. හරියාකාරව කටයුතු කිරීම විශේෂයි.
සාක්ෂිකරු:     ඔව් මම අවධානය යොමු කළා.

නීතිඥ:           ඔබ සාක්ෂි දුන්නා 10/20 ලේඛනය සම්බන්ධයෙන්. එහි ඔබේ අත්සන තිබෙනවාද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           ඒ අනුව මේවා ඔබේ ප්‍රසම්පාදන තීරණ?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           මේ කමිටුවේ සම්බන්ධීකරණ කටයුතු කරන ලද්දේ කවුද?
සාක්ෂිකරු:     නවාවි මහතා.

නීතිඥ:           ඔහු ලේඛන හදන්න දැනුවත් කරන්න සම්බන්ධීකරණය කරන්න කටයුතු කළා.
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනී.

නීතිඥ:           එවැනි ලේඛන විශාල වශයෙන් හදන්න අවශ්‍යයි.
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනී.

නීතිඥ:           එම ලේඛන ඉදිරිපත් වුණාම සලකා බැලීම්වලට යටත්ව තීරණ ගන්නවා.
සාක්ෂිකරු:     ඔව් සවාමීනී.

නීතිඥ:           ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ කමිටුවේ වෛද්‍ය අතපත්තු, හා තවත් දෙදෙනෙක්ද සොලමන්ස් මහත්මියද නවාවි                             මහතාද සහභාගි වී තිබෙනවා 10/28 ඖෂධය සඳහා අනුමැතිය දීමට. එය සාමූහික තීරණයක්ද?
සාක්ෂිකරු:     ඔව් සවාමීනී.

නීතිඥ:          “සෝඩියම් වැල්ප්‍රොඒට්” පෙති මිල දී ගැනීම සඳහා දුන් ප්‍රදානයක් තියෙනවා. එය දුන්නේ කාටද?
සාක්ෂිකරු:     යාඩන් ඉන්ටර්නැෂනල්.

නීතිඥ:           ඔබ කලින් සාම්පල් කතාවක් කිව්වා. යාඩන් සමාගම දුන්නාද සාම්පල්?
සාක්ෂිකරු:     නැහැ ස්වාමීනී.

නීතිඥ:           සාම්පල් ඉදිරිපත් නොකළ යාඩන් ඉන්ටර්නැෂනල් වෙත ඇණවුම් දුන්නා. එම තීරණ ගැනීමේදී මිල ගැන කතා කරන                           විට අඩුම කාලයකින් ඖෂධ ගෙන එන්න පොරොන්දු වීම හේතුවෙන් එම ප්‍රදානය කළා විය හැකිද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනී.

නීතිඥ:           අංක 12 සම්බන්ධව බලද්දී සමාගමට සැපයූ තොරතුරු මත මේ ප්‍රදානය දී තිබෙනවා. අංක 12 යටතේ ALSO                                   යනුවෙන් සටහනක් යොදා ඇති සටහන බලන්න. එහි ලංසුකරු කවුද?
සාක්ෂිකරු:     මෙහි කියා ඇත්තේ යාඩෙන් සමාගම බවයි.

නීතිඥ:           මෙම තීරණය කමිටුව මගින් සාමූහිකව ගෙන ඇත්ද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           10/17 ට අවධානය යොමු කරන්න. මෙයත් හදිසි ප්‍රසම්පාදන කමිටුව ගත් තීරණයක්ද?
සාක්ෂිකරු:     ඔව් අත්සන් තිබෙනවා ඒ බවට.

නීතිඥ:           පයිතොමෙඩින් එන්නත් ඒකක 25000ක් ගන්න අනුමැතිය දී තිබෙනවා.
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           මේ ටෙක් කමිටුවේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවාද?
සාක්ෂිකරු:     විශේෂඥ වෛද්‍යවරුන් නැහැ.
නීතිඥ:           මේ ප්‍රසම්පාදන තීරණයේදී අගැයීමට ඇතුළත් දත්ත සහිත වගුවක් තිබෙනවා. ඒ අනුව මේ ඖෂධයට සාම්පල සැපයුවාද?
සාක්ෂිකරු:     නැහැ සාම්පල තියෙනවාද කියලවත් අහලා නැහැ.

නීතිඥ:           මේ අනුව 10/17 සහ 10/20 සිට 28 දක්වා ලේඛනවල සඳහන් ප්‍රසම්පාදනයට සහය වීමට අගැයීම් කිරීමට වෛද්‍යවරු සිටියාද?
සාක්ෂිකරු:     ඔව් ඒත් විශේෂඥ වෛද්‍යවරු හිටියේ නැහැ.

නීතිඥ:           ඒ වගුවේ තොරතුරුත් සලකා බලලාද අනුමැතිය දුන්නේ?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           සාම්පල් ලබාගැනීම හෝ සාම්පල් අදාළ තොරතුරු ලබා ගැනීම් සටහන් වන්නේ නැද්ද? නවාවි මහතා කළ ඖෂධ 66                        ක සම්පාදනය ගැන පෙර ඔබ කීවා. ඒ අතර ඇති ඖෂධ අතර මෙම ඖෂධත් තිබෙන බව පිළිගන්නවාද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           නවාවි මහතා සමග ප්‍රසම්පාදනය කළ ඖෂධ 66 ම සම්බන්ධව මේ වගේ අගැයීමක් කළාද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           මේ... ප්‍රසම්පාදන තීරණ ගනු ලැබුයේ 2022 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළදීද?
සාක්ෂිකරු:     ඔව්.

මේ අවස්ථාවේ තෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන තම සේවා දායිකාවගේ රෝග තත්ත්වය වැඩි වී ඇති බැවින් අධිකරණයෙන් නික්ම යන්නට අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමට යටත්ව අධිකරණයෙන් පිටත්ව යාමට ඇයට අවසර ලැබිණි. නැවත සාක්ෂි විභාගය ඇරඹිණි.

නීතිඥ:            ඔබෙන් කවුරු හරි ඉල්ලීමක් කළාද මේවා දෙන්න මේවා එපා කියා.
සාක්ෂිකරු:     නැහැ.

නීතිඥ:            එම ඖෂධ 66ට අදාළ ප්‍රසම්පාදනයේදී කොවිඩ් සම්පාදන ක්‍රියාවලිය තුළ පැවති අත්දැකීම් උපකාර වුණාද?
සාක්ෂිකරු:     ඔව්..

නීතිඥ:            අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන සඳහා ඔබෙන් විමසුවාද? ඒ ප්‍රසම්පාදනය 2022 ඔක්තෝබර් 13, 18,                25 යන දිනවල මේ ඖෂධ 66ට අදාළව ලද අත්දැකීම් උපකාර වුණාද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:            2022 දී ප්‍රසම්පාදන තීරණ ගැනීමට සම්බන්ධවන විට ප්‍රසම්පාදනයට අවශ්‍ය කාරණා අදාළ දත්ත උපකාර වුණාද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           සෞඛ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතුවලදී අවස්ථා කීයකදී සහභාගි වුණාද?
සාක්ෂිකරු:     20කට 30කට පමණ.

නීතිඥ:            මේ ප්‍රසම්පාදන තීරණයේදී ඔබ මේ කෙටි අත්සන් හා පූර්ණ අත්සන තබා එකඟතාව පළ කර තිබෙනවා. සාමූහික                               තීරණයක් ලෙස පැ. 259 පෙන්වා දිය හැකියි.
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           මෙහි අනෙක් නිලධාරීන් ලෙස 12 දෙනෙක් ඉන්නවා. එයින් 10 වන චූදිත ලෙස හඳුනාගත් වෛද්‍ය රත්නායකත් ඉන්නවා.
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:            වැරදි උපදෙස් දුන්නාද නැත්නම් බලපෑම් කළාද?
සාක්ෂිකරු:     නැහැ. එහෙම කළත් අවනත වෙන්නෙත් නැහැ.

නීතිඥ:           මේ ලේඛනයේ ප්‍රසම්පාදන තීරණ ගැනීම සඳහා අගැයීම් කමිටුවේ තීරණ යොදාගත්තා කියන පිටු අංක 151 ඇමුණුම 2                       කියා වෙබ් තුළ ප්‍රසම්පාදනය කර තිබෙනවා. ඔක්. 6, 7, 10, 11, 12, 13 දිනවල අදාළ ඖෂධ වලට අදාළ අගැයීම්                             තිබෙනවා. එහි නිර්දේශත් තිබෙනවා.
සාක්ෂිකරු:     ඔව්. තීරණ ගැනීමේදී භාවිතා කළේ මේක තමයි. නිර්දේශ බලන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ප්‍රසම්පාදන කමිටුව ඉදිරියට ගියා.

නීතිඥ:           ප්‍රසම්පාදන කමිටුව ඉතා ප්‍රබලයි.
සාක්ෂිකරු:     ඔව්. 7500 ක් රෙකමදාරු කළ ඖෂධය 22500 ක් ගන්න තීරණය කළා. නිර්දේශය ආපමණින් තීරණය වුණා. කරුණු බලලා ගත්තා.

නීතිඥ:           මෙවැනි අවම ලංසුවට තීරණය වුණ තවත් අවස්ථා තිබෙනවා. නීතිඥ: පිටු අංක 62 හි ඔබේ නිර්දේශ මත                                          ප්‍රසම්පාදනයට කටයුතු කළ අවස්ථා කොපමණ තිබෙනවාද?
සාක්ෂිකරු:     62, 63, 65, 69, 71, 72, 73, 74, 75 අදාළ ඖෂධ අවම මිල හා WR තිබෙනවා. 62 පිටුවේ අවම ලංසුකරුට ඖෂධ 10 ක් ප්‍රදානය කර තිබෙනවාද?

නීතිඥ:            සාක්ෂිකරුට 58 පිටුව පෙන්වයි. මෙහි අවම ලංසුවට WR සහිතව කොපමණ ඖෂධ තිබෙනවාද?
සාක්ෂිකරු:     135, 136, 137, 139, 141, 142, 143, 144, 145, 146 යන අංකයැති ඖෂධ තිබෙනවා.

නීතිඥ:            පිටු අංක 59 බලන්න. 2/250 ට අදාළ ඖෂධ තිබෙනවාද?
සාක්ෂිකරු:     තිබෙනවා. 91, 96, 97, 98, 101, 102, 103, 107 යන අංකැති ඖෂධ. ඖෂධ අධිකාරියේ අවසර ඇති අවම ලංසුව ඇති               ඖෂධ මේවායි.

නීතිඥ:           මෙවැනි අවස්ථා රාශියක් ඇති බව පිළිගන්නවාද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           83 ගොනුව පිටු අංකය 67 බලන්න. පැ. 261 ලෙස ලකුණු කර ඇති මේ ලේඛනය කමිටුව ගත් තීරණ බව                                         පිළිගන්නවාද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනි.

නීතිඥ:           මේ අවස්ථාවට වෛද්‍ය රත්නායක හා වෛද්‍ය නවාවි සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් තීරණවලට මැදිහත් වුණාද?
සාක්ෂිකරු:     නැහැ ස්වාමීනි.

නීතිඥ:           ඔවුන් ඉල්ලන්නේ වැරදි දෙයක් කරන්න කියාද?
සාක්ෂිකරු:     නැහැ ස්වාමීනි.

නීතිඥ:           අගැයුම් කමිටු නිර්දේශ මේ ගොනුවේ ඇතුළත් වෙනවාද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           ප්‍රසම්පාදන තීරණ දෙන්න ලේඛන සලකා බලපු අවස්ථාවේ වෛද්‍යවරුන් දෙදෙනෙක්, ඖෂධවේදය හා සම්බන්ධ                               නිලධාරියෙක් සහ අභ්‍යන්තර විගණකවරයාත් ඉඳලා තියෙනවා.
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           මේ අවස්ථාවේ ප්‍රසම්පාදන තීරණ 30/35 පිටුවල ඇතුළත් නේද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනි.

නීතිඥ:           ඖෂධවලට අදාළ තීරණ 83 ගොනුවේ 30 පිටුවෙහි බලන්න. රිටොක්සිමැබ් එහි සඳහන් නේද? එහි ප්‍රදානය දී                                   තිබෙන්නේ අයිසොලෙස් ෆාමා සමාගමට නේද?
සාක්ෂිකරු:     ඔව් අඩුම මිල සහ සහතිකය සහිත සමාගමට දීලා තියෙන්නේ.

නීතිඥ:            යොමු අංක 99 හි දැක්වෙන ඖෂධය කුමක්ද?
සාක්ෂිකරු:     රිටොක්සිමැබ් එන්නත.


නීතිඥ:            මෙහි නිර්දේශය සම්බන්ධ හදිසි ප්‍රසම්පාදනයක් සිදුවුණාද?
සාක්ෂිකරු:     මේ තීන්දුවට ඇවිත් තිබෙන්නේ කමිටුව වශයෙන් ප්‍රසම්පාදන අවස්ථා සලකා බලා කමිටුව ගත් තීරණයක් වශයෙන්.
නීතිඥ:           දෙවනුවට මිල අඩු WOR සහතිකය සහිත ඖෂධය වන පිටු අංක 30 යටතේ අංක 4 හි සඳහන් ඖෂධය බලන්න.
සාක්ෂිකරු:     ඔව් එයත් අඩුම මිල හා WOR සහතිකයට යටත්.

නීතිඥ:          මේ අතරේ තුන්වැනියට අඩු ලංසු හා ඇති ඖෂධය ගන්න ප්‍රසම්පාදන කමිටුව තීරණය කරනවා. එය අන්ධ අ                                      නුකරණයෙන් අනුමත කළාද?
සාක්ෂිකරු:    අගැයීම් කරද්දී ලැබෙන නිර්දේශය අප හොඳින් විමසා බලා අත්සන් කර ඇති.

නීතිඥ:           ඔබේ නිර්දේශ ඇතුළත් ලේඛනයේ 92 පිටුවේ අංක 68 යටතේ ක්ලෝරයිඩ් සෝඩියම් නමැති ඖෂධය බලන්න.                               අයිසොලෙස් ෆාමා වෙත අඩුම ලංසුව WOR සහිතව දෙන්න තීරණය කරලා තියෙනවාද?
සාක්ෂිකරු:   මෙහි දක්වා නැහැ.

නීතිඥ:           ඔබ ඔක්තෝබර් 25 දුන් නිර්දේශ ලෙස බලන්න. පිටු අංක 30/35 එහි තිබෙනවාද?
සාක්ෂිකරු:     ඒකෙ නැහැ.

නීතිඥ:           ක්ලෝරයිඩ් සෝඩියම් සම්බන්ධ ප්‍රදානයක් දෙන්න තීරණය කර නැහැ. තොග ආවා නම් නොදෙන අවස්ථා තිබුණා                               නේද. අගැයීම් කමිටුව නිර්දේශ කළත් දෙන්න.
සාක්ෂිකරු:     ලිස්ට් එකේ නැහැ.

නීතිඥ:           තොග ආවා නම් නොදෙන අවස්ථා තිබුණත් අගැයීම් කමිටුවේ නිර්දේශ ඇති 97 පිටුවේ අංක 93 යටතේ ඇති                                     ඩොක්සිටැක්සිල් එන්නත බලන්න. ඔබ නිර්දේශ කර තිබේද?
සාක්ෂිකරු:     ඔව්.

නීතිඥ:           ප්‍රසම්පාදන තීරණවල මේ ඖෂධයට අදාළ තීරණ තිබේද?
සාක්ෂිකරු:     නැහැ.

නීතිඥ:           ඇවිත් නැත්නම් ප්‍රශ්න කරන්න තිබුණා නේද?
සාක්ෂිකරු:     ලියවිලි තිබුණා නම් විමසන්න තිබුණා. ප්‍රසම්පාදන තීරණ ඇතුළත් වෙලා නැහැ.

නීතිඥ:           93 ගොනුවේ Dry factor vii 1000 mg සම්බන්ධ නිර්දේශයක් තිබේද?
සාක්ෂිකරු:     ඔව් ස්වාමීනී.

නීතිඥ:           මිල ගණන්වලට යටත්ව එය දෙන්න නිර්දේශ කළාද?
සාක්ෂිකරු:     ඔව්.    

නීතිඥ:            බලන්න එයට අයිසොලෙක් ෆාමා වෙත නිර්දේශයක් තිබේද කියා?
සාක්ෂිකරු:     නැහැ.

නීතිඥ:            එකම ලංසුකරු ප්‍රසම්පාදන කමිටුවේ නැති බවයි ඔබ කියන්නේ.
සාක්ෂිකරු:     අගැයීම් වාර්තාව තිබුණේ වෛද්‍ය ජයනාත් ළඟ.

නීතිඥ:            2023 ප්‍රසම්පාදන කමිටුවක් ලෙස ගත් තීරණ අතර ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් යන ඖෂධ තිබුණා.
සාක්ෂිකරු:     ඒවාත් නැහැ.

නීතිඥ:           72 ගොනුවේ 62 පිටුව බලන්න. එහි පී 1/ 52 වශයෙන් හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත කාටද දීලා                                     තියෙන්නේ?
සාක්ෂිකරු:     ඒ බී සී ෆාමා එකම ලංසුකරු WOR සහිතව.

නීතිඥ:           පී 1/53 හියුමන් ඉමියුනොග්ලොබියුලින් කාටද ප්‍රසම්පාදන කමිටුව දීලා තියෙන්නේ.
සාක්ෂිකරු:     ඒ බී සී ෆාමා එකට, WOR සහිතව.

නීතිඥ:           ප්‍රසම්පාදනය සම්බන්ධව ප්‍රසම්පාදන කොමිසමට පැමිණිල්ලක් කළාද?
සාක්ෂිකරු:     නැහැ.

2022 සැප්තැම්බර් 2 සිට 2023 සැප්තැම්බර් 4 අතර කාලය තුළ “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ්” ඖෂධ ව්‍යාජ ලෙස සකසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදී රුපියල් 144293357.32 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය සඳහා කුමන්ත්‍රණය කිරීම, එම මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා 14 ක් යටතේ විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව චෝදනා නගමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

අයිසොලෙස් බයෝටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු, ඖෂධ සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් දේවශාන්තිනි සොලමන්ස්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී මරක්කල මානගේ නිරාන් ධනංජය, එම ඒකකයේ තොග පාලක නිලධාරි මහමදාච්චි වසන්ත කුමාර, එවකට හිටපු සෞඛ්‍ය ලේකම් සීමා හේවගේ ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඖෂධ සැපයුම් ඒකකයේ වෛද්‍ය නිලධාරි බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්, ඖෂධ නියාමන හා සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් රත්නායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරඹෙගෙදර තුසිත සුදර්ශන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන පිරිස පිළිවෙලින් විත්තිකරුවන් ලෙස නම් කර සිටිති.

සාක්ෂි විභාගය 22 දිනට කල් තැබිණි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0