සුරේෂ් සලේට ඔස්කාර් සම්මාන! දිලීප පීරිස්ගෙන් නිර්දේශයක්...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (04) නියෝග කළේය.

Jun 5, 2026 - 12:45
 37
සුරේෂ් සලේට ඔස්කාර් සම්මාන!  දිලීප පීරිස්ගෙන් නිර්දේශයක්...
සුරේෂ් සලේට ඔස්කාර් සම්මාන!
දිලීප පීරිස්ගෙන් නිර්දේශයක්...
සුරේෂ් සලේගේ මානසික තත්ත්වය පිළිබඳ
නියෝගය ලබන 10 වැනිදාට.
වෛද්‍ය වාර්තාව ගැන නීතිපති සහ
විත්තිය අතර උණුසුම් තර්ක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (04) නියෝග කළේය.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් ගොනු කළ මෝසමක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණයේ පෙනී සිටියහ.
“සැකකරු සිටින්නේ සියදිවි නසාගැනීමේ
දැඩි අවදානමක” - විත්තියේ නීතිඥවරු
නඩු විභාගයේදී විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, අධිකරණ නියෝග මත මුල්ලේරියාව මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය සී.ටී.කේ. ප්‍රනාන්දු මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් (වෛද්‍යවරුන් වන ඩී.එස්.කේ.කේ. බස්නායක, සී.එන්. ඉඹුලාන, එන්.පී.ආර්.වයි. අබේසිංහ සහ යූ.ටී. කාරියවසම්) විසින් සැකකරු පරීක්ෂා කර ස්වාධීන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.
එම වාර්තාවට අනුව, රැඳවුම් භාරයට පත්වන තෙක් කිසිදු මානසික ආබාධයක් නොතිබූ සුරේෂ් සලේ මහතා, වත්මන් රැඳවුම් ස්ථානයේ පවතින අමානුෂික සහ නින්දාසහගත සැලකීම් හේතුවෙන් දැඩි ආතති තත්ත්වයකින් සහ උග්‍ර සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවකින් පසුවන බව නීතිඥවරයා පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා:
“සැකකරුගෙන් ඇඳුම් ගලවා පරීක්ෂා කර සතෙකුට මෙන් සලකා තිබෙනවා. හිරු එළිය සහ විදුලිපංකා නොමැති කුඩා කුටියක මීයන්ගෙන් සිදුවන කරදර මැද ඔහු රඳවා සිටිනවා. වෛද්‍යවරුන් නියම කළ පෝෂණීය ආහාර වේල හෝ විනාඩි 30ක කාලයක් එළිමහනට දැමීමේ අධිකරණ නියෝග ක්‍රියාත්මක වී නැහැ. වත්මන් පරිසරය තුළ ප්‍රතිකාර කළමනාකරණය කළ නොහැකි බැවින් ඔහුගේ රැඳවුම් ස්ථානය වහාම වෙනස් කළ යුතුයි.”
“සලේ කියන්නේ ඔස්කාර් සම්මාන ලැබිය යුතු රංගධරයෙක්”
- පැමිණිල්ල චෝදනා කරයි
මේ පිළිබඳව දැඩි විරෝධය පළ කරමින් කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීිරිස් මහතා, දැනට ඉදිරිපත් කර ඇති මානසික වෛද්‍ය වාර්තා පිළිගත නොහැකි බවත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා පත්කරන නව වෛද්‍ය මණ්ඩලයක් වෙත සැකකරු යොමු කළ යුතු බවත් ඉල්ලා සිටියේය.
රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ මෙසේ පැවසීය:
“මොහු 2017 සිට ජනාධිපතිවරණය දක්වා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 8 දෙනෙකුගේ මානසිකත්වය පාලනය කරමින් (බැලන්ස් කරමින්) තබාගත් හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙක්. එතකොට නැතිවුණු මානසිකත්වය දැන් ප්‍රශ්න කරනකොට 'මතකය නැහැ' (Memory Loss) කියමින් රඟපානවා. ලැප්ටොප් සහ දුරකථන මුරපද (Passwords) දෙන්නේ නැහැ. මොහුට ඔස්කාර් සම්මානයක් දිය යුතුයි. පැටිස්, කේක්, ෆිෂ් ඔයිල්, එග් රයිස් ඇතුළු ඉහළම කෑම වර්ග මොහුට ලබා දී තිබෙනවා. අහුන්ගල්ල හෝටලයේ විස්තර එළියට එනකොටයි මෙයා අඬන්න පටන් ගත්තේ. විමර්ශන මඟහැරීමට කරන මේ බොරු රංගනයන්ට රැවටිය යුතු නැහැ.”
අගතියට පත් පාර්ශ්වයේ ස්ථාවරය
කාදිනල්තුමන් සහ පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ද සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හොඳින් සිටි සැකකරු, විමර්ශනවලදී කරුණු අනාවරණය වන විට මෙලෙස ආතති තත්ත්වයන් මතු කරන බවයි. ඕනෑම අයෙකු අත්අඩංගුවට පත් වූ විට මෙවැනි ආතතීන් ඇතිවීම සාමාන්‍ය ස්වභාවයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වයේම දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, සුරේෂ් සලේ මහතාගේ මානසික රෝගී තත්ත්වය සහ වෛද්‍ය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් වන අවසන් නියෝගය ලබන ජූනි 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
එම නඩුකරය කැඳවූ අවස්තාවේදී වැඩි දුරටත් කරුණු දක්වමින් තෙවන සැකකරු තුවාන් සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
“ස්වාමීනි, පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා මාර්තු 26 වැනිදා මේ සැකකරු පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. ඊට අදාළව ප්‍රශ්න උත්තර ද සටහන් යොදා තිබෙනවා. එහිදී තමන්ට මොනවද ප්‍රශ්න යැයි විමසා තිබෙනවා. 
ස්වාමීනී පෙබරවාරි 29 වැනිදා මාව ගෙනාවා. මම ඉරුවාරදය ඇති රෝගියෙක්. රාත්‍රී 3ක් විදුලිපංකා, හිරු එළිය නැති කිසිම පහසුකමක් නැතිව හිටියා. සුදු ඇඳගෙන පැමිණ පිරිසක් මගේ ඇඳුම් ඉවත්කරන්න කීවා.මම වසර 24ක සේවා කාලයක් තිබෙන නිලධාරියෙක්. ඔවුන් ඉරුවා රදයට බෙහෙත් දුන්නා. මට ගෙදරින් ගෙනාපු බෙහෙත් තිබුණා. රාත්‍රී 10ට වැසිකිලි යන්න බෑ. මීයන්ගෙන් විශාල කරදර තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා වෙනත් යමක් කීමට ඇත්දැයි විමසා තිබේ. 
ස්වාමීනී, විමර්ශන නිලධාරින් හොඳට සලකනවා යැයි වාර්තාවේ සඳහන් වෙනවා. එසේම අප්‍රේල් 22 වැනිදා තුන්වන සැකකරු වෙනුවෙන් ගොනුකළ මෝෂම සලකා බලා නොපමාව අක්ෂි, පෝෂණ, මානසික වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කරන්න. ඉන් පසු එම වෛද්‍ය වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා. අද වෙනකම් පෝෂණවේදී වෛද්‍යවරයා ලබාදී ඇති ආහාර වට්ටෝරුවට අදාළ ආහාර ලබාදී නැහැ. සැකකරු උදේ 10 සිට 3 දක්වා කාලය තුළ විනාඩි 30ක් එළියට දාන්න ඕන කියා  කියා තිබෙනවා. අධිකරණ නියෝග ප්‍රකාරව පොලීසියේ ප්‍රධානියා අධිකරණ වෛද්‍ය නිලධාරියාට සැකකරු යොදා තිබෙනවා. අනිත් වෛද්‍යවරුන්ටත් යොමුකරලා. 
ඒ අනුව අදාළ වාර්තා අධිකරණයට යොමුකර තිබෙනවා. ඔවුන්ට රැඳවුම් නියෝග දෙන තෙක් ඔහුට මානසික ආබාධයක් තිබුණේ නැති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා. එදා සිට අද දක්වා ඔහු සීඅයිඩී භාරයේ ඉන්නේ. පූර්ණ අමානුෂික සහ නින්දාසහගත ලෙස සලකා ඇති බව වාර්තාවේ සඳහන්. ඒ වගකීම සියයට සියයක් බාරගන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවේ ස්ථාන හතර සඳහන් කර තිබෙනවා. මුල්ලේරියාව මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය සී.ටී.කේ. ප්‍රනාන්දු වෛද්‍යවරයා ඔහු ඉහළ ආතති තත්ත්වයකින් සිටින බවට වාර්තාවේ සඳහන් කර තිබෙනවා. දැන් ඉන්න තැන ආරක්ෂිතව ප්‍රතිකාරයක් නොමැති බව නිගමනය කර තිබෙනවා. ප්‍රතිකාර කිරීමේදී කළමනාකරණය කිරීමට පහසුකම් නැති නිසා ප්‍රතිකාර දීමට බාධාවක් බව ද එහි සඳහන්. එම හේතුව මත ඔහු සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව උග්‍රවී ඇති බවද එහි සඳහන් වෙනවා.”
මහේස්ත්‍රාත්වරයා  - නිලධාරින් හොඳට සළකනවා කියා තිබෙනවා නේද?
ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා - අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකළේ අධිකරණ නියෝග මත. සීඅයිඩී. එක වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ගොනුකර තිබෙන්නේ. අපි එය ගත්තේ මෝසමක් මඟින්. මේ වාර්තාවට අපේ සම්බන්ධයක් නැහැ. මෙය ස්වාධීන වෛද්‍ය මතයක්. ගරු ස්වාමීනි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ සංශෝධිත වගන්ති කෙරෙහි අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා. සැකකරු වෛද්‍ය මණ්ඩලය හමුවේ පවසා තිබෙනවා මට යන්න බැහැ. 
අඩි හයයි හතරේ තැනකට මම කොහොමඳ යන්නේ.  වඳ හිංසාවට ලක්වීමේදී මෙසේ සඳහන් කිරීම සාමාන්‍ය ප්‍රතිචාරයක් බවද වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඔහු වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා “මට ඇඳුම් ගලවන්න කීවා, අත් දෙක දිගාරින්න කීවා. ඉතුරුටික කියන්න ලැජ්ජයි. මම සතෙක් ද?”
ස්වාමීනි, ඔහුගේ හැසිරීම, කතාකිරීම නිරීක්ෂණය අනුව දැඩි ආතති තත්ත්වයක් ඇති බවත්, සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවත් වෛද්‍ය වාර්තාවේ සඳහන්. ඒ අනුව වදහිංසාවට, කෲර සැලකීමට ලක්ව ඇතිබව පැහැදිලියි. 1994 සම්මුති පනතේ කෲර වද හිංසාව ගැන සඳහන්. ලංකාව මේ පනතට අත්සන් කිරීමෙන් එහි වගකීම අපට පැවරී තිබෙනවා. මේ තත්ත්වය පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලයට යොමුකරන්න කියන එක වෛද්‍ය මතයයි.
මහේස්ත්‍රාත්වරයා - අධිකරණ වෛද්‍ය වරයෙක් වෙත යොමුකිරීම නියෝග කර තිබෙනවාද?
ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා -  ඒක කරලා තියෙන්නේ අපි නෙවෙයි. සී.අයි.ඩිය. එසේ කරුණු දක්වා ඇති අවස්ථාවක මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙනවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන්න. එසේම පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න නියෝගයක් නිකුත්කරන්න හැකියි. ඊටපසු නීතිපති ස්වාධීනව ඒ සාක්ෂි පරීක්ෂාකර වරදකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකරන්න ඕන. අදටත් නීතිපති ඉන්නේ සී අයි ඩී එක සමඟ. කොහොමද නීතිපතිට ඇති වගකීම ස්වාධීනව කරන්නේ. නීතිපතිවරයාට ඇති බලය හබ කරන්න බැහැ. එහෙත් මහජනතාව අතර විශ්වාසය තියන්න ඕන. එක පැත්තකින් වැරදිකරුවන් සමඟ සිටගන්නවා. අනෙක් පැත්තෙන්. වද හිංසා දුන්නු අයට නඩු පැවරීමට කටයුතු කරන්න ඕන. මේකෙන් තැලෙන්නේ නීතිපතිතුමා. වද හිංසාවට ලක්වුණේ සීඅයිඩිය බාරයේ. 
2026 අප්‍රේල් 26 දා සැකකරුගේ බිරිය සීඅයිඩී එකේ ඩීඅයිජීට ඊමේල් පණිවිඩයක් යොමුකර සී.සී.ටී.වී. වාර්තා සංරක්ෂණය කරන්න කියා ඉල්ලා තිබෙනවා. අද වනතුරු පිළිතුරක් නැහැ. නීතිපතිවරයා සීඅයිඩී එක සමඟ අද වනවිට පෙනී සිටින්නේ නොමැති බව මා වගකීමෙන් කියනවා. සැකකරු රඳවා ඉන්න තැන තමයි වද හිංසාවට ලක්ව තිබෙන්නේ. එම ස්ථානය වෙනස් කරන්න ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රතිකාර කිරීමට සුදුසු පරිසරයක් නැති නිසා ප්‍රතිකාර පටන් ගැනීමට නොහැකි බව වෛද්‍ය වාර්තා කියා තිබෙනවා. ඉන් ජීවිත අවධානම වැඩියි. ඔහු වෛද්‍ය ආවරණ යටතේ සිටිය යුතුයි. අධිකරණයටත් වගකීමක් තිබෙනවා ඔහුට යම් දෙයක් සිදුවුවහොත්. රජයටත් වගකීමක් තිබෙනවා. වැඩක් වෙලා වැඩක් නැහැ.
රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා - සැකකරු 2/25 රැඳවුම් භාරයට පත්වන්නේ. සම්ප්‍රදායෙන් බැහැරව අධිකරණයට පමුණුවන්න නියෝග නිකුත් කෙරෙනවා. එදින සිට අවස්ථා දෙකක් අධිකරණයට ආවා. ඒ ආවේ මේ වේදිකාව සකස් කරගන්න. ඔහු බලන්න බිරිය යනවා, සහෝදරයන් යනවා, නීතිඥවරු යනවා. සීඅයිඩී එකේ ශානි අබේසේකර මාරු කරන්න කියනවා. මේ වදහිංසා ගැන අධිකරණයට වචනයක්වත් කීවාද? සැකකරුට ඔස්කාර් සම්මානය දෙන්න ඕන. 2017 සිට ජනාධිපතිවරණය තෙක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 8ක් බැලන්ස් කරපු කෙනෙක්. හමුදා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියෙක්. 8 දෙනා වෙලාව එනකම් තියන් හිටියා. එතකොට කොහොමද මානසිකත්වය. මට ගැහුවා කියලා අධිකරණයට කිව්වාද? නඩුව තිබුණේ මැයි 20. ඊයේ තමයි මෝෂන් දැම්මේ.
 සති දෙකක් ගියා. රිට් නඩුව එනකම් හිටියේ. අභියාචනාව අද විසිකරා. රිට් නඩුව ගැන අධිකරණයට කීවා ද? පදනම් විරහිත රඟපාන රංගධරයෙක්ගේ මෝෂන් එකක් මේක. මුලු කාලය පුරාම අඬමින් ඉන්නේ කියා සඳහන් වෙනවා. බබා... රංඟන දානවා. මේ අය ට්‍රේනින් කරලා ඉන්නේ. බ්‍රේන්වොෂ් කරන්න හොඳට පුළුවන්. එහෙනම් අධිකරණයේ ඉඳලත් අඬන්න ඕන. කලින් පිස්සු තිබුණේ නැහැ කියලා තියෙනවා. මේ හදන්නේ නඩුවේ පසුබිම හදාගන්න. අපරාධකරුවන්ට තිබෙන අමතකවීමේ රෝගය මොහුටත් තිබෙනවා. ප්‍රශ්න කරනකොට මෙමරි ලොස්ට්. මේ හදන්නේ විමර්ශන නිලධාරීන්ට පෙන්වන්න මතක නැහැ කියලා. ලැප්ටොප්, ටෙලිෆෝන් පාස්වඩ් දුන්නේ නැහැ. මතක නැහැ. අපි සොයාගත්තා. මේ මනෝ වෛද්‍ය වාර්තා පිලිගන්නේ නැහැ. 
ඇඳුම් ගලවන්න කීවා. අත් උස්සන්න කීවා, පහර දුන්නා. ඉතිරිටික ලැජ්ජයිලු. මොකක්ද ලැජ්ජාව. කවුද ගැහුවේ. විමර්ශන නිලධාරින් මොකුත් කළේ නැහැ කියලා කියනවා. එහෙනම් කවුද ගැහුවේ? මේ වෛද්‍යවරයා හිස්ට්‍රියක් දීලා තියෙන්නේ. 26 වැනිදා සිට පැටිස්, මිල්ක් පැකට්, ෆිෂ්ඔයිල්, විටමින් සී, අයිසිම් කේක්, එග් රයිස්, මිල්ක් ටොෆි, පොල් ටොෆි ඇතුළු කෑම දී තිබෙනවා. මේවා කිව්වාද? අධිකරණය නොමග යවන මේ අය පිළිබඳ පියවර ගන්න. අධිකරණයේ කාලය නාස්ති කරවාට. සත්තු කතාවක් ජේඑම්ඕට කිව්වාද? මේ උගන්වලා තියෙන ඒවා. මේ වෛද්‍යවරයා ගැන අධිකරණ නියෝගයක් තියෙනවා. 2025 දුන්න ඔයවගේම වෛද්‍ය වාර්තාවක් ගැන. 
ත්‍රස්තවාදය බැලන්ස් කරපු කෙනාට මේ වෛද්‍ය වාර්තා මොකක් ද? ත්‍රස්තවාදීන්ගේ ඔලුව බැලන්ස් කරපු කෙනෙක් මේ. ප්‍රනාන්දු වෛද්‍ය වාර්තා පිළිගන්න බැහැ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හරහා පිළිගත් වෛද්‍ය මණ්ඩලයක්  පත්කරන්න මේ ක්‍රියාවලිය පරීක්ෂා කරන්න. පතෝලයෙක් ද? යුද විරුවෙක් ද? මැරෙන්න කියලා හිතෙනවා ද? සියදිවි නසාගන්න දෙන්නේ නැහැ. මොහු ගෙනියනකොට නිලධාරින් 25ක් ජීප් රථ දෙකක්, බයික් 4ක් ආරක්ෂාවට යවන්න ඕන. සරල ක්‍රියාවලියක් නෙවෙයි. බිරිය, පුතා සිකුරාදා දිනවල ස්ථාවර දුරකථනයෙන් කථා කරන්න දෙනවා. පසුගියදා එහා ගෙදර ඉන්න අම්මාටත් දෙනවා. 
වැඩිය රඟනකොට හිරවෙනවා. ශානි අබේසේකරත් හිටියා මාස 10ක්. විසිනව වතාවක් ඔහුව පරීක්ෂා කළා. හීන පේන එක කාවත් නවත්වන්න බැහැ. කරපුවා විඳවන්න වෙනවා. හීන පේනවා. පසුගිය 22දා පැයකට වඩා ඇඬුවා. අහුන්ගල්ලේ හේටලේ විස්තරේ එළියට ආවහම තමයි ඇඬුවේ. යම් යම් අරමුණු සඳහා ගොනුකළ මෝෂන් පත්‍රයට විරුද්ධයි. බොරු මෝෂන් දුන්නාට පියවර ගන්න.
කාදිනල්වරයා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මෙසේ පැවසීය.
“අත්අඩංගුවට ගන්නකොට හොඳට හිටියා. කරුණු එළියට එනකොට තමයි මේ තත්ත්වය පටන්ගන්නේ. 2019.04.21 අනිත් අය විඳවපු හැටි මතක් කරන්න ඕන. වසර 6ක් ගියා පටන්ගන්න. ඇරෙස්ට් වුණාම ඕනම කෙනෙකුට මේ ආතති තත්ත්වය ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ශානි අබේසේකර අත්අඩංගුවට ගත්තාමත් එහෙම දැනෙන්න ඇති. මම ගත්තොත් මටක් ඒක දැනේවි.
ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා - දිලීප පීරිස් මහතා කිව්වු කුමන්ත්‍රණයක් කරලා පෙත්සම ඉලක්ක කර දාපු මෝෂන් එකක් කියලා. නඩුව මැයි 20 තිබුණේ. අධිකරණ වෛද්‍ය වාර්තා ඇවිත් තියෙනවා කිව්වම මැයි 21 මෝසමක් මඟින් ඉල්ලුවා. ලැබුණේ මැයි 29ය. බදාදා තමයි සී.අයි.ඩී. මෝෂන් දමන්න පුළුවන්. අපි ඊමේල් මඟින්, දුරකතන පනිවුඩ මඟින් පාර්ශ්වයන්ට දැනුම් දුන්නා. කිසිම කුමන්ත්‍රණයක් තිබුණේ නැහැ. ප්‍රමාද වුණේ නැත්නම් ලැබුණ පළමුවෙනි අවස්ථාවේම කරනවා. මේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂඥ වෛද්‍ය මඬුල්ලක් මඟින්. එහි ඩී.එස්.කේ.කේ. බස්නායක, සී.එන්. ඉඹුලාන, එන්.පී.ආර්.වයි. අබේසිංහ, යූ.ටී. කාරියවසම් යන වෛද්‍යවරුන් සිටිනවා. ඔවුන් සකස්කළ වෛද්‍ය වාර්තාවල කරුණු හබ කරන්නේ කවුද? ජනාධිපති නීතිඥවරුන් දෙන්නා මේක හබ කරනවා. වෛද්‍ය කරුණුත් හදාරලාද දන්නේ නැහැ. 
මේ විදිහට වෛද්‍ය කරුණු ගැන විවේචනය කරන්න පුළුවන් ද? නව වෛද්‍යවරුන් පිටරටන් ගෙනල්ලා හරි මේවා පරීක්ෂා කරන්න. ඔස්කාර් සම්මානය දෙන්න ඕන කිවුවා. ලැබිය යුත්තේ කාටද කියලා මේ අධිකරණයේ හැමෝම දන්නවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇමැතිවරයා පත්කරන්නේ. ප්‍රධාන අධිකරණ වෛද්‍ය වරයාට යොමුකරන්නේ මේ වෛද්‍ය කමිටුව පත්කරන්න කියලා. මේ ක්‍රියාවලිය නිසා සමස්ත සමාජයටම නීතිපතිවරයා කෙරෙහි තිබෙන විශ්වාසය නැතිවෙනවා. මම වගකීමෙන් කියන්නේ. මමත් වසර 30ක් සේවය කළා. අදත් ගරු කරනවා. ඒ තත්ත්වය අද සම්පූර්ණයෙන් බිඳවැටී තිබෙනවා.
මෙම අවස්ථාවේ ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේට ඇති මානසික රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නියෝගය ලබන 10 තෙක් කල් තැබීය. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0