"නඩු භාණ්ඩ මාරුවීම" අත්වැරදීමක් බව පිලිගෙන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මහාධිකරණයෙන් සමාව ඉල්ලයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ මතභේදාත්මක සිද්ධියට අදාළ නඩු විභාගයේදී පැමිණිල්ල පාර්ශ්වය නියෝජනය කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන සාක්ෂි මෙවලමකට (සැනෙලි ධාවකයක/Pen Drive) අදාළ තොරතුරු සම්බන්ධයෙන් බරපතළ ව්‍යාකූලත්වයක් හෙළි වී තිබේ. තමන් පෙර දින අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවල වරදක් ඇති බවත්, එය අත්වැරදීමකින් සිදු වූවක් බවත් ප්‍රකාශ කරමින් ඇය අධිකරණයෙන් සමාව අයැද සිටි නමුත්, ඊට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

Jun 4, 2026 - 13:48
Jun 4, 2026 - 17:15
 114
"නඩු භාණ්ඩ මාරුවීම"   අත්වැරදීමක් බව පිලිගෙන   නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය   මහාධිකරණයෙන් සමාව ඉල්ලයි

2026 ජුනි මස 02වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය

"නඩු භාණ්ඩ මාරුවීම"
 
අත්වැරදීමක් බව පිලිගෙන
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය
 
මහාධිකරණයෙන් සමාව ඉල්ලයි...

සමාව ඉල්ලීමට

විත්තියේ නීතිඥයන්ගෙන් 

දැඩි විරෝධයක්!

අධිකරණ වාර්තාකරු

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ මතභේදාත්මක සිද්ධියට අදාළ නඩු විභාගයේදී පැමිණිල්ල පාර්ශ්වය නියෝජනය කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන සාක්ෂි මෙවලමකට (සැනෙලි ධාවකයක/Pen Drive) අදාළ තොරතුරු සම්බන්ධයෙන් බරපතළ ව්‍යාකූලත්වයක් හෙළි වී තිබේ. තමන් පෙර දින අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවල වරදක් ඇති බවත්, එය අත්වැරදීමකින් සිදු වූවක් බවත් ප්‍රකාශ කරමින් ඇය අධිකරණයෙන් සමාව අයැද සිටි නමුත්, ඊට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.


මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය විය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට සිදු වූ බරපතළ වරද

රජයේ රස පරීක්ෂකවරයාගේ සාක්ෂි විමසීමට අදාළව ඉදිරිපත් කර ඇති රස පරීක්ෂණ වාර්තා සහ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මීට පෙර අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ, “p194” ලෙස නම් කර ඇති සැනෙලි ධාවකය (Pen Drive) මෙම නඩුවේ 8 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දුන් එකක් බවයි. එමෙන්ම එහි වීඩියෝ පට 7ක් අඩංගු බවද ඇය මුලදී කියා සිටියාය.


කෙසේ වෙතත්, විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නීතිඥවරයා විසින් තමන් ලබා දුන් සැනෙලි ධාවකයේ ඇත්තේ වීඩියෝ දර්ශන 2ක් පමණක් බව පෙන්වා දීමෙන් පසු, රජයේ රස පරීක්ෂකවරයා සමග පැමිණිල්ල සිදු කළ නැවත සොයා බැලීමකදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට තම බරපතළ වරද වටහා ගැනීමට සිදු විය.


එහිදී අනාවරණය වී ඇත්තේ p194 දරණ සැනෙලි ධාවකය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දුන් එකක් නොව, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිලධාරීන් විසින් 'අයිසොලෙස් බයෝ ටෙක් පාමා' ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේදී ලබාගත් වීඩියෝ පට 7ක් ඇතුළත් එකක් බවයි. 8 වැනි විත්තිකරු ලබා දී ඇති සැනෙලි ධාවකයේ ඇත්තේ වීඩියෝ පට 2ක් පමණක් බවත්, ඒවා 72 සහ 73 වන නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති බවත් ඇය පසුව පිළිගත්තාය.


තමන් අතින් සිදුවූයේ අංක පිළිබඳ පටලැවිල්ලක් (අත්වැරදීමක්) පමණක් බව පවසමින්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියාය.


විත්තියට වන අගතිය සහ විත්ති පාර්ශ්වයේ දැඩි විරෝධය

මෙම වරද හුදු අංක පටලැවිල්ලක් ලෙස බැහැර කළ නොහැකි බවත්, ඉන් විත්ති පාර්ශ්වයට බරපතළ අගතියක් සිදු වන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ තර්ක කළහ.


10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා:

“ස්වාමීනී, උගත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊයේ දිනයේත් සපථ කළා ඇය ඉදිරිපත් කළ අංක නිවැරදියි කියලා. විත්ති පාර්ශ්වය නිදහසට කරුණු (විත්තිවාචක) සකස් කරගන්නේ පැමිණිල්ල ලබාදෙන මෙම දත්ත පදනම් කරගෙනයි. පැමිණිල්ලටවත් තමන් ඉදිරිපත් කරන උපාංග සහ සාක්ෂි ගැන අවබෝධයක් නැති බව අද පැහැදිලියි. මෙය සමාව ඉල්ලා නිම කළ හැකි සරල වරදක් නෙමෙයි. මෙවැනි තත්ත්වයන් නඩු වාර්තාවට ඇතුළත් වීම සමස්ත නඩු විභාගයටම ගැටලුවක්. පැමිණිල්ල තමන්ගේ සාක්ෂි ගැන නොදන්නේ නම්, විත්තිය ඒ ගැන දැනගන්නේ කෙසේද?”


මෙම සැනෙලි ධාවකය 8 වැනි විත්තිකරු සම්බන්ධ වුවද, ඉන් සමස්ත නඩුවටම සහ අනෙකුත් විත්තිකරුවන්ට වන බලපෑම පිළිබඳව පැමිණිල්ලට අවබෝධයක් තිබිය යුතු බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.


8 වන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි

නීතිඥ නයන්ත විජේසුන්දර මහතා:

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් විත්තිකරුවන්ට අදාළ සැනෙලි ධාවකයට ප්‍රවේශය දීමට නෛතික හැකියාවක් නැතැයි කීම ප්‍රතික්ෂේප කරමින් නීතිඥවරයා කියා සිටියේ, 8 වැනි විත්තිකරු මෙම සැනෙලි ධාවකය CID එකට ලබා දුන්නේ 2023 දෙසැම්බර් තරම් මුල් කාලයකදී බවයි. එකල ඔහු සැකකරුවෙකු ලෙසවත් නම් කර නොසිටි අතර, ඔහු විමර්ශනවලට උපරිම සහාය දැක්වීමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සතු වූ මෙම වීඩියෝව ලබා දී තිබුණි. විමර්ශකයන්ට අවශ්‍යතාවයක් තිබුණේ නම් එම දර්ශන ලබාගත් කැමරාව කුමක්දැයි සෙවීමට ඕනෑතරම් කල් තිබූ බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.


2 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා:

පැමිණිල්ලේ ප්‍රකාශවල පරස්පරතාවය පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, පෙර දින පැමිණිල්ල කළ දැනුම්දීම මත විශ්වාසය තබා අද දින සාක්ෂි විමසීමට මුහුණ දීමට තමන් සූදානම් වී පැමිණි බවයි. නමුත් පැමිණිල්ල එකවරම ස්ථාවරය වෙනස් කර ඇති බවත්, සාක්ෂි විධාන විශේෂ පනත ප්‍රකාරව මෙවැනි පටිගත කිරීම් ඉදිරිපත් කිරීමේදී තිබිය යුතු නිසි දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කර තිබේදැයි සැක සහිත බවත් ඔහු පැවසීය.


උණුසුම් වචන හුවමාරුව

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් විත්තියේ නීතිඥවරුන්ගේ තර්ක හමුවේ ප්‍රකාශ කළේ, අදාළ වීඩියෝවේ සම්පූර්ණ පිටපත පසුව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයෙන් සොයාගෙන තැටි දෙකකට ගෙන ඇති බවත්, එය පැමිණිල්ල විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන අතර විත්තිකරුවන්ට ඊට ප්‍රවේශය දී ඇති බවත්ය.


එහිදී ඇය වැඩිදුරටත් චෝදනා කරමින් කියා සිටියේ, “විත්තියේ නීතිඥවරුන් මෙම දේශන ඉදිරිපත් කරන්නේ නඩුවෙන් බැහැර වෙනත් වෙනත් අරමුණු ඉටු කර ගැනීමට” බවයි. අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට ප්‍රවේශ වීමට දින තුනක් ලබා දී, එය භුක්ති විඳ මාස හයකට පසු මෙලෙස පැමිණිලි කිරීම ගැන ඇය විරෝධය පළ කළාය.


මෙම ප්‍රකාශයට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගෙන් දැඩි සහ උණුසුම් විරෝධයක් එල්ල වූ අතර, පැමිණිල්ල විසින් එල්ල කරන පදනම් විරහිත චෝදනාවලට අධිකරණය කිසිදු අවස්ථාවක ඉඩ නොදිය යුතු බව ඔවුහු අවධාරණය කළහ.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගෙන් විමසා සිටියේ මතභේදයට තුඩු දුන් 8 වැනි විත්තිකරුගේ සැනෙලි ධාවකය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන්නේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ඇය එය සාක්ෂියක් ලෙස ඉදිරිපත් නොකරන බව ස්ථිරවම ප්‍රකාශ කළාය.


ඒ අනුව සභාපති විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් කියා සිටියේ, පැමිණිල්ල විසින් පෙර දින සිදු කළ කරුණු දැක්වීමේදී අංකවල වෙනස් වීමක් හැර වෙනත් කිසිදු අන්තර්ගතමය වෙනසක් සිදුව නොමැති බවයි. විත්තිය විරෝධය පළ කරන සැනෙලි ධාවකය පැමිණිල්ල විසින් සාක්ෂියක් ලෙස ඉදිරිපත් නොකරන බවට සහතික වන බැවින්, ඊට ප්‍රවේශය නොදීමෙන් විත්තිකරුවන්ගේ විත්තිවාචකයට (නිදහසට කරුණුවලට) හානියක් හෝ බලපෑමක් නොවන බව විනිසුරු මඩුල්ල තීන්දු කළේය.


ඒ අනුව, “198” ලෙස නම් කර ඇති වාර්තාව නඩු පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් නොකෙරේ. කෙසේ වෙතත්, “194, 197 සහ 294” ලෙස නම් කර ඇති වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ගැටලුවක් නොමැති බවත්, ඒවායේ නෛතික අවශ්‍යතා සපුරා ඇති බැවින් එම සාක්ෂි ඉදිරිපත් කිරීමට කිසිදු නෛතික බාධාවක් නොමැති බවත් අධිකරණය නිගමනය කළේය.


එම නියෝගයෙන් අනතුරුව, නඩුවේ 285 වැනි සාක්ෂිකරු වන ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.පී.ඊ. උඩංගමුව මහතාගෙන් වැඩිදුර සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් දිගටම කරගෙන යන ලදී.


එතැන් විට ජුනි 03 වැනිදා සිදුවූ නඩු විභාගයේ

සාක්ෂි විභාගය මෙසේය.‍

2022 සැප්තැම්බර් 2 සිට 2023 සැප්තැම්බර් 4 අතර කාලය තුළ කොළඹ දී හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොප්සිමැබ් යන ඖෂධ ව්‍යාජ ලෙස සකසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදී රුපියල් 144293357. 32 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය සඳහා කුමන්ත්‍රණ කිරීම, එම මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා 14 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව ‌චෝදනා නගමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ ඇත.


මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති ), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව විභාග විය.


අයිසොලෙස් බයොටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු, ඖෂධ සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,  වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් දේවශාන්තිනි සොලමන්ස්,  වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී මරක්කල මානගේ නිරාන් ධනංජය, එම ඒ්කකයේ තොග පාලක නිලධාරි මහ මදාච්චි වසන්ත කුමාර, ඒවකට හිටපු සෞඛ්‍ය ලේකම් සීමා හේවගේ ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්,  හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඖෂධ සැපයුම් ඒකකයේ වෛද්‍ය නිලධාරි බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්, ඖෂධ නියාමන හා සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් රත්නායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරඹෙගෙදර තුසිත සුදර්ශන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන පිරිස පිළිවෙලින් විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.


අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂක ඒකනායක මුදියන්සේලාගේ. දිනේෂ් තික්ෂණ ඒකනායක උඩංගමුව මහතා මෙසේ පැවසීය.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දත්ත හඳුනා ගැනීමක් යනු කුමක්ද?

සාක්ෂිකරු ; ආවරණ ලිපියක් හරහා පරීක්ෂණයක් ඉල්ලුවොත් අවශ්‍ය දත්ත හඳුනා ගැනීමයි. උදාහරණයක් ලෙස කඩයක මෘදුකාංගයක් ගැන සිතන්න, එහිදී යම් සැකකටයුතු දෙයක් සිදුවී ඇත්නම් තොග දත්ත, ඉන්වොයිස් දත්ත වගේ දත්ත හඳුනා ගන්නවා. ඒවා පද්ධතිය හරහායි හඳුනාගන්නේ. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෙනත් ක්‍රමත් තිබෙනවාද?

සාක්ෂිකරු ; ක්‍රියාත්මක සර්වර් එකකින් මෘදුකාංගයක්  ගත හැකි නම් පිටපත් කරගන්නවා. නැත්නම් HQL 'ක්වොරි' හරහා ගන්නවා. වඩාත් ප්‍රායෝගික බැකප් සෙරවර් පරිගණකය නඩු භාණ්ඩ ලෙස විද්‍යාගාරයට ගෙන ගොස් පර්යේෂණයට ලක් කිරීමයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; backup server කියන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; මෘදුකාංගයක් ක්‍රියාත්මක වන අවස්ථාවක ප්‍රයිමර් සර්වර් එක අක්‍රිය විය හැකියි. ව්‍යාපාරික කටයුතු නැවතීම වැළැක්වීමට සර්වර් පරිගණකයක් ක්‍රියාත්මක කරනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සජීවීව යන සර්වරයකට උපකාර ලෙස බැකප් එකක් රන් කරනවා කිව්වොත් හරිද?

සාක්ෂිකරු ; එකඟයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ දෙකේ තොරතුරු එක හා සමානද? 

සාක්ෂිකරු ; තොරතුරු ප්‍රමාණය සමානද යන්න සෙවීමට තොරතුරු ඇතුළත් පේලි ගණන ගණන් කර සමානදැයි බැලිය හැකියි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; verification එකක් යනුකුමක්ද? 

සාක්ෂිකරු ; එකමද සමානද යන්න පරීක්ෂා කරන ක්‍රමයක්. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; බැකප් එක පරීක්ෂණාගාරයට ගෙන යාම වඩාත් සුදුසු ඇයි? 

සාක්ෂිකරු ; වැඩිදුරටත් කරුණු හැදෑරීමට පරිශ්‍රයට ගොස් දත්ත පරීක්ෂා කරනවාට වඩා පරීක්ෂණාගාරයේදී කාලය අරන් එය පරීක්ෂා කළ හැකියි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; backup එකට දත්ත ගෙන එන්නේ කෙසේද? 

සාක්ෂිකරු ; විවිධ ආයතන විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම දත්ත ඇතුළත් කරන්නන්ට ඒවා වෙනස් කිරීමේ බලතල තිබේද?

සාක්ෂිකරු ; වෙනස් කිරීමේ හෝ ඉවත් කිරීමේ බලතල දත්ත ඇතුළත් කරන්නන්ට නැහැ. තාක්ෂණ අංශයේ නිලධාරීන්ට පවා දී  තිබුණේ දත්ත බැලීමේ පහසුකම පමණයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; HQL කොරියක් හරහා දත්ත උඩුගත කළ හැකිද? 

සාක්ෂිකරු ; පුළුවන් මෙම දත්ත පද්ධතියේ පැවැති මන්දගාමී තත්ත්වය නිසා දත්ත උඩුගත කිරීමට පැය පහකට වඩා ගියත් බැරිවුණා. පසුව යටිතල පහසුකම් පරීක්ෂා කර වෛද්‍ය සැපයුම් අංශයේ ලයිට් සර්වර් එකට ගියා. ඒ අනුවයි බැකප් එක හා HQL කොරි මගින් ලයිට් සෙරවර් එකේ පිටපතක් බැකප් සර්වර් එකට යොදා පරීක්ෂා කළේ.

2024/03/4 දිනට අදාලව අපි බැකප් පිටපතක් 2024/03/04 දිනට අදාළව හඳුනා ගත්තා. data server එකේ රෝ කවුන්ට් හා බැකප් එකක් රෝ කවුන්ට් සමාන බව හඳුනා ගත්තා. 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඉන් පසුවද විද්‍යාගාරයට ගෙන යන්න තීරණය කලේ ? 

සාක්ෂිකරු ; ඔව් 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම පරීක්ෂණයේදී නඩු භාණ්ඩ හතරක් එනම් බැකප් සර්වර්, දෘඪ තැටිය, යතුර හා තවත් එකක් ඉදිරිපත් වෙනවා. මොකක්ද ඒ අනෙක් එක. 

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයීම් අංශයේ. බැකප් සෙරවර් ක්‍රියාත්මක කළ යුතු ප්‍රොන්ටෝ මැනුවල් යූසර් එකක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; යතුරක් නඩු භාණ්ඩයක් ලෙස ගත්තාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. 

දිවා විවේකයෙන් පසුව නඩුව ආරම්භ වූ අවස්ථාවේ 12 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි. නීතිඥවරිය කියා සිටියේ තම සේවාදායකයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙට දිනයේ ජාතික රෝහලේ සායනයකට යාමට අවසර පතන බවය.

ඊට අවසර ලබා දුන් අධිකරණය දන්වා සිටියේ, ඒ සම්බන්ධ විධිමත් ඉල්ලීමක් හෙට දිනයේ කරන ලෙසය. 

සාක්ෂිකරු යළි සාක්ෂි දීම අරඹයි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 297 සංදේශය යටතේ නඩු භාණ්ඩ භාර ගැනීම ගැන සාක්ෂි ලබා දුන්නා. ඔබ 2024/04/08 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කිව්වද විද්‍යාගාරයට එවන්න කියා. 297 ඒ සංදේශයේ මොනවද තියෙන්නේ?

සාක්ෂිකරු ; M1 ලෙස පෙන්වන්නේ සර්වර පරිගණකයේ M2 එහි යතුරයි. M3 අංශික බාහිර දෘඪ තැටියයි. M4 යනු සීඩී තැටියයි. M3 හි වරදක් දැක නිවැරදි කර ලබා ගත්තා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නඩු භාණ්ඩ භාරගත්තේ කොතනදීද?

සාක්ෂිකරු ; රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අනෙක් විද්‍යාගාරවල නඩු භාණ්ඩ  මුද්‍රා තබා බාර ගන්නවා. නමුත් ඩිජිටල් අංශයේ නඩු භාණ්ඩ භාර ගන්නේ අපේ විද්‍යාගාරයට ඒවා රැගෙන එන නිලධාරීන් ඉදිරිපිට මුද්‍රා කඩා පරීක්ෂා කර සංදේශ නිකුත් කිරීමෙනුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2024/04/08 ඔබ පරීක්ෂා කළ නඩු භාණ්ඩවල සීරියල් අංක තිබුනද?

සාක්ෂිකරු ; ඔව් ඕනෑම නඩු භාණ්ඩයක් අප විසින් ගත්තත් පොලිසිය ගත්තත් සීරියල් අංක ඇතිව ගන්නේ. සීරියල් අංක මුද්‍රණ දෝෂ සහිතව ටයිප් කර තිබුණොත් නඩු භාණ්ඩයේ ඇති අංක සහිතව සංදේශය නිකුත් කරනවා. අධිකරණයෙන් ඒවා තිබූ ආවරණ ලිපියේ මුද්‍රණ දෝෂ තිබුණා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; නඩු භාණ්ඩ ඇසුරින් දත්ත පිටපත් කිරීම ඇරඹුවේ කවදාද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් ලබා දුන් උපදෙස් පරිදි 2024/04/17 න් පසු එය පටන් ගත්තා. ' ක්වරි ' නිර්මාණය කර පිටපත් කරගත් දත්ත කියවා බලා වටහාගත හැකි පරිදි සකසා ගත්තා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ 182ක් ගැන ඔබ පරීක්ෂණ පටන් ගත්තා.

සාක්ෂිකරු ; ඩේටා බේස් එකේ තමයි මේවා තිබුනේ. කලින් දිනක වෛද්‍ය සැපයුම් ඒකකයේදී රන් කරන්න හැදුවා. පසුව පරිගණකයක් ඇති තවත් ඒවාද පසුව එක්සෙල් ෆයිල් වලට අප් කලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; බැකප් පරිගණකය අප්කලා කිව්වේ කුමක්ද?

සාක්ෂිකරු ; දත්ත ලබාගත හැකි පරිදි උසස් කර ගත්තා.

නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල් වරිය ; මොන තොරතුරුද මහෙස්ත්‍රාත්තුමිය ඔබෙන් ඉල්ලා සිටියේ?

සාක්ෂිකරු ; SR ලෙස හඳුනාගත් අංකයන් හී ඇති ඖෂධ 182ක් ගැන. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මොකක්ද ඒ සඳහා ඔබේ ක්‍රමවේදය?

සාක්ෂිකරු ; අපට එකවර කරන්න බැහැ. වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබුණ හා පිටවුණු තොග ලෙස එකතු කළ යුතුයි.

HD 219/24 ලෙසින් නම් කරනු ලැබ ඇති වෛද්‍ය සැපයීම ඒකකයේ සර්වර පරිගණකය විනිසුරු මඩුල්ල ඉදිරියේ විවෘත කරන ලදී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; M1 බැකප් පරිගණකයද කියා පරීක්ෂා කිරීමේදී බැලුවද?

සාක්ෂිකරු; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම සීරියල් ලංකය ගැලපුණාද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ප්‍රොන්ටෝ පද්ධතියේ බැකෝ පරිගණකයමද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; M3 දෘඪතැටිය හඳුනාගතත හැකිද?

සාක්ෂිකරු ; සීරියල් අංකයෙන් හඳුනාගතත හැකියි. කේබලය, යතුර හා සීඩී තැටියද සාක්ෂිකරු විසින් හඳුනාගන්නා ලදී.

පැ 297 I වශයෙන් සීඩී තැටියක අන්තර්ගතව ඇති සාක්ෂිකරු විසින් සකස් කරන ලද වාර්තාව ලැප්ටොප් පරිගණකයක් හරහා අධිකරණයේ සියලු දෙනාට බලා ගත හැකි පරිදි ඩිජිටල් සැපයුම් තිර මත ප්‍රදර්ශනය කරන ලදී. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම වාර්තාවේ ඇති ෆයිල් දෙක මොනවාද?

සාක්ෂිකරු ; දෛනික තොග වාර්තාව සහ මාසික තොග වාර්තාව.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පළමු ෆෝල්ඩරයේ ඇති. දෛනික තොග වාර්තාවේ පරීක්ෂණ මොනවාද. ? 

මේ අවස්ථාවේ විත්තියේ නීතිඥවරුන් අධිකරණය වෙත කියා සිටියේ. තම සේවාදායකයින්ට ඩිජිටල් තිරය නොපෙනෙන බැවින් ඔවුන්ට තමන් වෙත ඉදිරි උපදෙස් දිය නොහැකි වන බවය. ඒ අනුව චූදිතයන්ට තිරය පෙනෙන ස්ථානයක හිඳ ගැනීමට  දීමෙන් පසු යළි නඩු විභාගය ඇරඹිණි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙහි ටැබ් හතරක් යටතේ දත්ත තිබෙනවා. ඒමොනවාද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් අංශයේ 2022 සැප්තැම්බර් 01 සිට 30 දක්වා දෛනික තොගය (1), එම කාලයට අදාලව ආයතනිකව තිබූ තොගය (2), වෛද්‍ය සැපයීම් අංශයේ ආයතනිකව තිබූ තොගය (ජාතික තොගය) (3) සහ ආරක්ෂාකාරී පියවරක් ලෙස පරිගණක දෝෂ මතුවීම වැළැක්වීමට ටැබ් එකක්. 

තවදුරටත් එකී ටැබ් හතර පිළිබඳ සාක්ෂි ලබාගත් අතර

හෙට (03) පෙරවරු 10 දක්වා නඩුව කල් තැබිණි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0