පිරිවිතර මගහැර බාල බෙහෙත් වංගු ගසයි
බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (05) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේදී පැවැත්වුණු අතර එය මුළුවනින්ම පැමිණිල්ල මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ උගත් තරුණ නීතීඥවරියත් නව සාක්ෂිකරුත් අතර උණුසුම් සංවාදයක් ලෙසින් එය දවස පුරා ඇදී ගියේය. එහිදී වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන තොග සැපයුම් නිලධාරී හේරත් මුදියන්සේලාගේ ධනේෂ් බණ්ඩාර මහතා දෙවන දිනටත් සාක්ෂි ලබා දෙමින්, 2022 වසරේ පැවති ඖෂධ හිඟය කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කළේය.
2026 ජුනි මස 05 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය
පිරිවිතර මගහැර
බාල බෙහෙත් වංගු ගසයි...
ඖෂධ හිඟය සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ
තීරණාත්මක තොරතුරු සාක්ෂිකරු අනාවරණය කරයි...
අධිකරණ වාර්තාකරු
බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (05) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේදී පැවැත්වුණු අතර එය මුළුවනින්ම පැමිණිල්ල මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ උගත් තරුණ නීතීඥවරියත් නව සාක්ෂිකරුත් අතර උණුසුම් සංවාදයක් ලෙසින් එය දවස පුරා ඇදී ගියේය. එහිදී වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන තොග සැපයුම් නිලධාරී හේරත් මුදියන්සේලාගේ ධනේෂ් බණ්ඩාර මහතා දෙවන දිනටත් සාක්ෂි ලබා දෙමින්, 2022 වසරේ පැවති ඖෂධ හිඟය කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් බණ්ඩාර මහතා කියා සිටියේ, සාමාන්‍ය ඖෂධ ඇස්තමේන්තු කිරීමේ ක්‍රියාවලිය වසරකට පෙර ආරම්භ වන නමුත්, 2022 වසරේදී පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට බාධා එල්ල වූ බවයි. මේ හේතුවෙන්, ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව ඔහු පැහැදිලි කළේය.
හදිසි ප්‍රසම්පාදනයේ ප්‍රමාදයන්:
හදිසි ප්‍රසම්පාදනයක් මඟින් ඖෂධ ලබා ගැනීමට සාමාන්‍යයෙන් මාස තුනක පමණ කාලයක් ගත වන බව සාක්ෂිකරු හෙළි කළේය. මෙය සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියට වඩා වේගවත් වුවද, ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් නොවන බව ඔහුගේ සාක්ෂියෙන් ගම්‍ය විය. විශේෂයෙන්ම, "freshly manufactured stock" (අලුතින් නිෂ්පාදනය කරන ලද තොග) ලබා දෙන ලෙස සැපයුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බැවින්, නිෂ්පාදනය සඳහා ගත වන කාලය ද මෙයට ඇතුළත් වේ.
ප්‍රමුඛතා ලැයිස්තුව සහ දේශීය සැපයුම්කරුවන්:
ඖෂධ හිඟය කළමනාකරණය කිරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය මඟින් "ප්‍රමුඛතා ලැයිස්තුවක්" සකස් කළ බව බණ්ඩාර මහතා පැවසීය. මෙම ලැයිස්තුව ඖෂධවල තොග මට්ටම මත පදනම්ව කාණ්ඩ හතරකට බෙදා තිබුණි. මාසයකට අඩු තොග පවතින ඖෂධ පළමු ප්‍රමුඛතාවය ලෙස සලකා ඇති අතර, මාස හයකට වැඩි තොග පවතින ඖෂධ හතරවන ප්‍රමුඛතාවය ලෙස සලකා ඇත.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී දේශීය සැපයුම්කරුවන් ද සහභාගී වූ බව සාක්ෂිකරු පැවසීය. මෙම රැස්වීමේදී ප්‍රමුඛතා ලැයිස්තුව පිළිබඳව සාකච්ඡා නොවූවත්, දේශීය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් හුවමාරු වූ බව ඔහු ප්‍රකාශ කළේය. දේශීය සැපයුම්කරුවන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි වී සිටිය යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පවතින "Buy Back" ගිවිසුම යටතේ ඔවුන්ගෙන් ඖෂධ මිලදී ගන්නා බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
සාක්ෂි හඳුනා ගැනීම:
සාක්ෂි විභාගය අතරතුර, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන රැසක් බණ්ඩාර මහතා විසින් හඳුනා ගන්නා ලදී. තොග පාලන නිලධාරීන්ගේ රාජකාරි ලැයිස්තුව, ඖෂධ ඇණවුම් ලේඛන, සහ ඖෂධ ප්‍රමාණයන් වැඩි කිරීම සඳහා වෛද්‍ය විද්‍යාලවලින් ලැබුණු ඉල්ලීම් ඇතුළත් ඊමේල් පණිවිඩ ඒ අතර විය. විශේෂයෙන්ම, ඖෂධ ඇණවුම් ලේඛනවල පවතින අත්සන් සහ සටහන්, නඩුවේ චූදිතයන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ අනෙකුත් නිලධාරීන්ගේ බව ඔහු තහවුරු කළේය.
බණ්ඩාර මහතාගෙන් වැඩිදුර සාක්ෂි ලබා ගැනීම සඳහා නඩු විභාගය මේ මස 8 වැනිදාට කල් තැබිණි. මෙම සාක්ෂි මඟින්, බාල ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේදී සිදුව ඇති අක්‍රමිකතා සහ ඊට වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව තීරණාත්මක තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩු විභාගය අද (05) ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය ඉදිරියේ විභාග වූ අවස්ථාවේ දෙවන දිනටත් සාක්ෂි සඳහා කැඳවා තිබූ වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන තොග සැපයුම් නිලධාරී හේරත් මුදියන්සේලාගේ ධනේෂ් බණ්ඩාර සාක්ෂි දීම ආරම්භ කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු මෙසේද කීවේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2015 ට පෙර තිබුණේ “ඔරැකල්” මෘදුකාංගය. 2015න් පසු “ප්‍රොන්ටෝ” පද්ධතිය ආවා. ඔරැකල් තිබියදී ආයතන ජාලය සම්බන්ධ කළ නොහැකි. ප්‍රොන්ටෝ මෘදුකාංගය යටතේ ආයතන ජාලගත කලා. ඔබ සඳහන් කරන්නේ එහෙමද?
සාක්ෂිකරු ; එසේය ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එතකොට ආයතන සම්බන්ධ කරගත හැකි වුණ නිසා ඉතිරි තොග බලා ගත හැකි වුණාද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; ප්‍රාදේශීය අංශ එක්කත් සම්බන්ධ වුණාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රොන්ටෝ පද්ධතිය ක්‍රියාත්මක වූ 2020 වසර උදාහරණයකට ගනිමු. එම වසරට ඇස්තමේන්තු ගත්තේ කොයි කාලෙද?
සාක්ෂිකරු ; අගෝස්තු මාසයේ පමණ. වට්ටෝරු සමාලෝචන කමිටු හඳුන්වා දුන් ලැයිස්තුව ඉස්සරහට ක්‍රියාත්මක කරනවා. නොවැම්බර් අග අවසන් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මධ්‍ය අගය ගණනය කර අත ඇති තොගය අනුවද මේ වන විටත් ඇස්තමේන්තු ගන්නේ?
සාක්ෂිකරු ; දැන් බලා ගත හැකි නිසා මාසික සැපයුම ඔවුන් කියනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ඒ ආයතන මාසික අවශ්‍යතාව කියනවා.
සාක්‍ෂිකරු ; ආයතන මගින් දත්ත ලබා දෙනවා. අපි ඒක එකතු කරලා ඇනවුම් හදනවා. වර්ග කළ නොහැකි ඒවා සැලකිල්ලට ගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අදාල අයිතමය සම්බන්ධයෙන් ආයතනවලින් ආ ඇනවුම් ගන්නවා. 2020 නොවැම්බරයේ ඒ කර්තව්‍යය අවසන් කරනවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; තොග පාලකගේ රාජකාරිය කුමක්ද?
සාක්ෂිකරු ; ඖෂධ භාවිතය වන රටාව ගැන කටයුතු කිරීම. රෝග වැඩිවීම සිදුවෙනවා භාවිතය අඩු වැඩි වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පුරෝකතනයෙන් පසු තොග පාලන නිලධාරිගේ රාජකාරිය කුමක්ද?
සාක්ෂිකරු ; ප්‍රධාන තොග පාලන නිලධාරී යටතේ පවතින දත්ත සහකාර අධ්‍යක්ෂ වෙත ලබා දෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සහකාර අධ්‍යක්ෂ වෙත යොමුවූ පසු තොගය ගණනය කරන්නේ කොහොමද?
සාක්ෂිකරු ; පෙර කී පරිදි 12 න් බෙදා මාසික අවශ්‍යතාව බලලා ආයතනවල තියෙන තොග ප්‍රමාණය බලනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මුළු අවශ්‍යතාව සොයාගත් පසු මොකද කරන්නේ?
සාක්ෂිකරු ; ඇනවුම් ක්‍රියාවලියට අවතීර්ණ වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊයේ බැලූ පැ 298 හි පහ පරිච්ඡේදයේ ස්වාරක්ෂක තොගය සමග මේ තොගය සමපාත බව කිව්වා. එය රාජකාරි ලැයිස්තුවෙන් පවරපු රාජකාරියක්ද ?
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලන නිලධාරි විසින් ඵලදායී පාලනයක් පවත්වා ගත යුතුය කිව්වා. කුමක්ද මේ පලදායී පාලනය?
සාක්ෂිකරු ; රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඇනවුම් ලබා දී නිසි කලට විධිමත් ලෙස ඇනවුම් සපුරා ගැනීම්, එහිදී වැඩිපුර ඇනවුම් නොකිරීම, ප්‍රමාණවත් වන පරිදි ඇනවුම් කිරීම ආදිය එයින් අදහස් වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 වසර වෙනුවෙන් දැමූ ඇනවුම් ක්‍රියාත්මකද? එය පැහැදිලි කරන්න.
සාක්ෂිකරු ; ඔව් 2021 ට ලැබුණු තොග ඉදිරියට යමින් පැවතියා. 2021 දී 2022 සඳහා ලබාදුන් ඇනවුමක් ලැබුණා. ඒ අනුව ක්‍රමානුකූලව ඉදිරියට ගියා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 ආරම්භ වෙද්දී ස්වාරක්ෂක තොග හා වාර්ෂික තොග තිබුණාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් කරන තොගය ලබා ගැනීම තොග පාලන නිලධාරීගේ වගකීමක්ද? එය තහවුරු කරන්නේ කෙසේද?
සාක්ෂිකරු ; විද්‍යුත් පණිවුඩ ඔස්සේ ඖෂධ සංස්ථාව හරහා ලබා ගන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 ජනවාරි ඇනවුම් නොලැබුණොත් ස්වාරක්ෂක තොගය ඔබ සතු නිසා ආරක්ෂිතද? තොගය ලැබී සක්‍රීය වෙන්නේ කොයි කාලෙද?
සාක්ෂිකරු ; delivery schedule එකට බැඳිලා ඉන්නවා. ලිපි රහිත නම් ලිපියකින් දන්වලා යවනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; හදිසි ප්‍රසම්පාදන කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; හිඟවන ප්‍රමාණය ලබා ගැනීමට ඖෂධ සංස්ථාවට ඇණවුමක් දීමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; හදිසි ප්‍රසම්පාදනයකදී ප්‍රශස්ත ලෙස හදිසි අනවුම ලැබෙනවාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රශස්ත කාලය තීරණය වන අවස්ථා මොනවාද?
සාක්ෂිකරු ; ටෙන්ඩරයෙන් කෝල් කරන්න යන කාලය. අපි කියන්නේ freshly manufactured stock දෙන්න කියලයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; හදිසි ප්‍රසම්පාදන තොග ලැබෙන්න කොපමණ කල් යනවද?
සාක්ෂිකරු ; මාස තුනක් පමණ යනවා.
(පැ 5.1 ලේඛනය පෙන්වයි)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලේඛනය හඳුනාගත හැකිද බලන්න?
සාක්ෂිකරු ; ඔව් මේ තොග පාලන නිලධාරීන්ගේ රාජකාරි ලැයිස්තුව. මෙය 2011 දි වෛද්‍ය සැපයුම් අංශය විසින් තොග පාලන නිලධාරීන්ගේ රාජකාරී සඳහා ලබා දුන් එකක්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; කවුද මේක සකස් කරලා තියෙන්නේ?
සාක්ෂිකරු ; අධ්‍යක්ෂ H N K වික්‍රමනායක වෛද්‍යතුමා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඔහු දන්නවද ?
සාක්ෂිකරු ; මම එතුමා යටතේ සේවය කර තිබෙනවා (සාක්ෂිකරු වෛද්‍ය වික්‍රමනායක (දෙවන චූදිත) හඳුනා ගනියි)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලකගේ රාජකාරී ලැයිස්තුව අනුව ජාතික ලැයිස්තුව සැකසීමට කටයුතු කළ යුතු බව මෙහි සඳහන් ද?
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වාර්ෂික ඇරඹුම් නිකුත් කළ යුතුය කියා මෙහි කොතැනද සඳහන් වෙන්නේ?
සාක්ෂිකරු ; අංක 6 යටතේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇණවුම් ලැබෙනවාද බැලීම සක්‍රිය තොග ආශ්‍රයෙන් බැලිය යුතුයි කියලත් තියෙනවා නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී, අංක 7 යටතේ සඳහන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇස්තමේන්තු හරියට සකස් නොකිරීම, විද්‍යානුකූල නොවීම, තමන් විසින් වියදම් දැරීමට සිදුවන කාරණයක් බව ඔබ කීවා. එම වගකීම අඛණ්ඩව රැකීමට තොග පාලන නිලධාරීට වගකීමක් තිබේද?
සාක්ෂිකරු ; ඔව්, දත්ත මතයි ඒක කෙරෙන්නේ. තොග පාලන නිලධාරින් ඇතුළුව සාමූහිකව තීරණ අරන් උත්සාහ කරන්නේ ක්‍රියාවලිය හරියට කරන්නයි. නැත්නම් විශාල නාස්තියක් වෙනවා. රජය වෙන්කළ ප්‍රතිපාදන නිසා ලොකු අවදානමක් අරන් කටයුතු කරන්නේ.
පැ 171-I ලේඛනය සාක්ෂිකරුට පෙන්වයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කුමක්ද මේ ලේඛනය ?
සාක්ෂිකරු ; ඇනවුමක්...
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේකද ඔබලා ඖෂධ සපයා ගැනීමට ඉදිරිපත් කරන්නේ ?
සාක්ෂිකරු ; ඔව් ඖෂධ වට්ටෝරු සමාලෝචන කමිටුව අනුමත කළ එකක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ දත්ත ප්‍රොන්ටෝ මෘදුකාංගයේ තිබියදී තොග පාලන නිලධාරි මුලින්ම කළ යුත්තේ කුමක්ද?
සාක්ෂිකරු; ඕඩර් ලිස්ට් එකක් create කරන එක. පද්ධතියට ඇතුල් වීමට තොග පාලන නිලධාරීට පාස්වර්ඩ් දීලා තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එතකොට ස්ක්‍රීන් එකේ දත්තද පෙන්වන්නේ?
(පැ 172 ලේඛනය සාක්ෂිකරුට පෙන්වයි)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; specification කියා තියෙන්නේ කුමන අංකය යටතේද?
සාක්ෂිකරු ; අංක 9 යටතේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කොහොමද එය ඇතුළත් කරන්නේ?
සාක්ෂිකරු ; ඉලක්කම් 8කින් යුත් ඕඩරය ටයිප් කරලා ඇතුල් කළ යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඉන්පසු දින යොදනවාද?
සාක්ෂිකරු ;ප්‍රසම්පාදනයේදී ලබාදිය යුතු දිනය යොදනවා. අදාල අයිතමය දෙන දිනය. වර්ෂයකට අදාළව නම් ඒ මාසය හා දිනය ඇතුල් කළ යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ලේඛනයේ ATI යනුවෙන් සඳහන් වන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වල අන්තර්ගත විය යුතු ප්‍රමාණය ගැන දී ඇති පිරිවිතරය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ පිරිවිතර සම්බන්ධ වට්ටෝරු සමාලෝචනයක් සිදුවෙනවාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ලේඛනයේ 2022 කියන්නේ මොකක්ද?
සාක්ෂිකරු ; ප්‍රසම්පාදන කරන අංශයේ ඇතුල ලේඛනය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේක වෛද්‍ය සැපයුම් අංශයට යන්නේ කොයි වෙලාවෙද?
සාක්ෂිකරු ; දේශීය නිෂ්පාදකයින්ගෙන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇණවුම් ලැයිස්තු සකසද්දී තොග පාලන නිලධාරියෙකුට එය සැකසිය හැකිද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලේඛනයේ හතර දෙනකුගේ අත්සන් තියෙනවා.
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පියවර වශයෙන් කියන්න.
සාක්ෂිකරු ; තොග පාලන නිලධාරී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ඔබ checked by කියන තැන.
සාක්ෂිකරු ; ඔව් මම.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඒ සඳහා පද්ධතියට ඇතුල් වන්නේ කෙසේද?
සාක්ෂිකරු ; මුර පදය යොදලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට ප්‍රින්ට් කළ හැකිද?
සාක්ෂිකරු ; බැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැපයුම් කොන්දේසි අයත් ලේඛනය කුමක්ද?
සාක්ෂිකරු ; කන්ඩිෂන් සහ සප්ලයි කියන ලේඛනය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සාමාන්‍ය ප්‍රසම්පාදනයකදී condition සහ සප්ලයි පෙන්නුවොත් හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; N කියන්නේ වාර්ෂික ඇණවූම කියන එකද?
සාක්ෂිකරු ; වාර්ෂික ඇනවුම ඇතුළත් මෘදුකාංගය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; (පැ 260 ලේඛනයෙන් 5 පිටුව පෙන්වමින් ) මෙතනත් කන්ඩිෂන් ඔෆ් සප්ලයි කියා තැනක් තියෙනවා නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 5 පිටුවේ කන්ඩිෂන් ඔෆ් සප්ලයි හඳුනා ගන්නේ කෙසේද?
සාක්ෂිකරු ; හදිසි ප්‍රසම්පාදන වලදී කන්ඩිෂන් දානවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ( පැ 127 ගොනුව පෙන්වමින්) මෙවැනි ලේඛන දැකල පුරුදු ද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකය සහතික කළ ලේඛන ලෙස ඒවා හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ලේඛනය එන වෛද්‍ය සැපයුම් ඒකකයේ මුද්‍රා තබා ඇතැයි ඔබ දුටුවාද ?
සාක්ෂිකරු ; ඔව් දුටුවා ස්වාමීනි අපට ලැබෙන ලිපිවල තිබෙන මුද්‍රා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම මුද්‍රා රාජකාරී ලිපිවල භාවිතා වෙනවාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි අමාත්‍යාංශයෙන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයෙනුත් ලැබෙනවද?
සාක්ෂිකරු ; මුද්‍රාව තියෙනවද කියලා මතක නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; (පැ 299A හි ලේඛනයක් පෙන්වයි )
මේ ලේඛනයේ දිනයට යටින්, order increasd කියලා ලියල තියන අකුරු කාගෙද?
සාක්ෂිකරු : මේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගේ අකුරු.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නම කියන්න.
සාක්ෂිකරු ; හේරත් වෛද්‍ය තුමාගේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; SPO / Sender SPO please oder කියා ලියා තියෙන්නේ කවුද?
සාක්ෂිකරු ; සහකාර අධ්‍යක්‍ෂිකා සොලමන්ස් මහත්මියගේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කොතරම් කල් ඇය අඳුනනවද?
සාක්ෂිකරු ; අවුරුදු පහළොවක් පමණ ඇය හා සේවය කළා...
(මේ අන්දමින් ලේඛනවල අත්සන් හා අකුරු මගින් 5 වන චූදිත සහ 6 වන චූදිත අත් අකුරු හා අත්සන් මගින් හඳුනාගනු ලැබූූ අතර 8 වන චූදිත හා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද හඳුනා ගත්තේය.)
(Polio 189 ලේඛනය සාක්ෂිකරුට පෙන්වයි)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ඉමියුනෝග්ලොබියුලීන් ඇනවුමක් ගැන ඖෂධයට අදාල ?
සාක්‍ෂිකරු ; 40000ක ඇනවුම, ඒකක 10000 ක් දී ඉතිරිය 2024 දෙන්නට වෛද්‍ය සැපයූම් ඒකකයෙන් අහලා තිබුනා. ඒක තමයි අනෙක් මිනිට් එකේ සඳහන් වෙන්නේ. සහකාර අධ්‍යක්ෂ සොලමන්ස් මහත්මියට මේ බව දැනුම් දී තිබුනා. ජාතික මට්ටමෙන් මාස 2 කට තොග තිබෙන බව දන්වා තිබුනා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; D M S D කියන්නේ කවුද ?
සාක්‍ෂිකරු ; අධ්‍යක්ෂ වෛද්‍ය සැපයූම් අංශය.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; කවුද එවකට හිටියේ ?
සාක්ෂිකරු ; කපිල වික්‍රමනායක වෛද්‍යතුමා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔහු තුන්වන චූදිත, කුමක්ද සටහන් කර ඇත්තේ?
සාක්ෂිකරු ; AAIB ආයතනය මගින් 2023/04/06 පසු මාස දෙකහමාරකට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ලබාදීමට හා අනතුරුව 17000ක් ලබාදීමට හැකි බව එය ඉදිරියට ක්‍රියාත්මක කරන්න කියා උපදෙස් දී අත්සන් කර තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් අංශයට මොන මොන ආයතන වලින්ද ඇනවූම් ලැබෙන්නේ?
සාක්ෂිකරු ; SPC , SPMC, ADB, UNOPS ආදියෙන් හා දේශීය නිෂ්පාදකයින්ගෙන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෙලාවට තොග එව්වෙ නැත්නම් කුමක්ද කළ හැක්කේ?
සාක්ෂිකරු ; එතනදි ඩිලිවරි ෂෙඩියුල් අනුව දඩ අය කළ හැකියි. සැපයුම්කරුට පැනල්ටි ගහන්න හෝ භාර නොගෙන ඉන්න SPC එකට පුළුවන්. ඒ වගේම වෛද්‍ය සැපයුම් අංශයට පුළුවන් SPC එකට එහෙම කරන්න.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; LCDS කියන්නේ මොකක්ද?
සාක්ෂිකරු ; ලංකාවේ ඉන්න නියෝජිතයා ඇනවුම් සැකසුම නිකුත් කලාට අදාළ විදේශ සමාගමට පුළුවන් කෙලින්ම වෛද්‍ය සැපයුම් ඒකකයට අයිතමය ලබා දෙන්න.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; භාරදීමට පෙර වෛද්‍ය සැපයුම් අංශය මගින් තොග පාලන නිලධාරී කළ යුතු යමක් වේද?
සාක්ෂිකරු ; සාම්පල රැගෙන එන විට ඉන්වොයිස් , ඉන්ඩන්ට්, ලියාපදිංචියේ සහතිකය, WoR ආදිය රැගෙන ආ යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ මුල් පිටපත්ද?
සාක්ෂිකරු ; ඡායා පිටපත්...
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ලේඛන එක්ක සාම්පල පාවිච්චි කරලා තොග පාලන නිලධාරි කුමක්ද කරන්නේ?
සාක්ෂිකරු ; ඔහු spc එකට ගෙන යනවා. මෙම ක්‍රියාවලියේදී වෛද්‍ය සැපයුම් අංශයේ සිට spc එකට ගෙන යනතුරු අපට ඒක බලාගන්න බැහැ. තොගය බාරගන්න බැහැ. නැවත වෛද්‍ය සැපයුම් අංශයට තොගය ගෙනෙනතුරු සිටිය යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ADB, ALIB මගිනුත් එහෙමද?
ඒවා බාරගන්නේ කොහෙටද?
සාක්ෂිකරු ; අපි ඒවාට බාර දීලා තියෙන අයිතම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාරදුන්නම ඇනවුම් ලැයිස්තුව අත්සන් කරලා බාරගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; WB, UNPOS ආදියෙනුත් ලබා ගන්නට කීවා. ඒත් එහෙමද?
සාක්ෂිකරු ; ඔව්...
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද ගේන්නේ??
සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් අංශයේ, වාප්පු අංශයෙන් නිවැරදිතාව පරීක්ෂා කරලා බාරගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; SPMC සහ දේශීය ව්‍යාපාරිකයන්ගෙන් ගන්නේ කොහොමද?
සාක්ෂිකරු ; SPMC කියන්නේ ලංකාවේ රාජ්‍ය අංශයේ ඖෂධ නිෂ්පාදනය කරන එකම ආයතනය. NMRA හි SPC සහතික ඇතිවයි නිපදවන්නේ. දේශීය සැපයුම්කරුවන් කියන්නේ SPMC වගේම දේශීයව ඖෂධ නිෂ්පාදනය කරන අය. එවැනි පහළොවක් ඉන්නවා. ඔවුන් NMRA එකේ ලියාපදිංචි වෙලා ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ BUY BACK ගිවිසුම යටතේ ඒවා මිලදී ගන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම ගිවිසුම කොපමණ කල් බලාත්මකද?
සාක්ෂිකරු ; වසර දහයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම ඖෂධ මිලදී ගැනීම් වලට කමිටුවක් ගැන කියන්නේ, ඒ මොකක්ද?
සාක්ෂිකරු ; මිල නියම කිරීමේ කමිටුව. මාස හයකට වතාවක් රැස් වෙනවා. ඒ වන විට නිෂ්පාදන වියදම සහිත ලියවිල්ලක් ඉදිරිපත් කළ යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රමුඛතා ලැයිස්තුව කියන්නේ මොකක්ද?
සාක්ෂිකරු ; මූලික ලැයිස්තුවෙන් වෙන්කර ප්‍රමුඛත්වයදී ප්‍රසංපාදනය කළ යුතු ඖෂධ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය සකසද්දී තොග ගැන බලනවද?
සාක්ෂිකරු ; අවශ්‍ය වන එක බලනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; ප්‍රමුඛතා ලැයිස්තුව කාණ්ඩ කීයක් මත බලනවද?
සාක්ෂිකරු ; 1 2 3 4 වශයෙන් අඩුම තොග තත්වය අනුව කාණ්ඩ ගත කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මොන තොග මට්ටමද?
සාක්ෂිකරු ; ලබා දෙන උපදෙස් මත...
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රමුඛතා බලන්නේ කොහොමද?
සාක්ෂිකරු ; අංක එක වන්නේ මාසයකට අඩු තොග පවතින ඖෂධ, මාස 3ක් සඳහා ප්‍රමාණවත් තොග අංක 2 වෙනවා. අංක 3 වෙන්නේ මාස 3-6 අතර තොග පවතින ඖෂධ. අංක 4 මාස 6 ට වැඩි තොග ඇති ඖෂධ.
පැ 192-1 (311 පිටුව) පෙන්වයි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි ප්‍රමුඛතා 1 2 3 වශයෙන් සඳහන් කර තිබෙනවා. මේ ප්‍රමුඛතා වෛද්‍ය සැපයුම් ඒකකයෙන් හදපු එකක්ද?
සාක්ෂිකරු ; මෙම ප්‍රමුඛතා ලැයිස්තුවෙහි වෛද්‍ය සැපයුම් ඒකකය සඳහන් කරන සාමාන්‍යයෙන් හදන ලැයිස්තුවක් වගේ නෙවෙයි. බර ප්‍රමාණය මාත්‍රාව ආදිය නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම කාල වකවානුවේ ප්‍රමුඛතා ලැයිස්තු සකස් කළාද?
සාක්ෂිකරු ; ඔව්...
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අමාත්‍යාංශයද, වෛද්‍ය සැපයුම් ඒකකයද?
සාක්ෂිකරු ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ගැන රැස්වීමක් පැවැත්වුණා. එයට ලැයිස්තුවක් එවන්න කීවා. ඊට අනුව ප්‍රමුඛතා ලැයිස්තුවක් හැදුවා. පසුව දිනක යළි 2022 සැප්තැම්බර් 22 පැවැති රැස්වීමකටත් ඉදිරිපත් කලා. ඒකත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් පැවැත්වූ එකක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද පැවැත්වුවේ?
සාක්ෂිකරු ; කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කවුද කිව්වේ හදන්න කියලා.
සාක්ෂිකරු ; එවකට හිටි අධ්‍යක්ෂ චන්දන විජේසිංහ වෛද්‍යතුමා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ලැයිස්තුව තිබුනේ කොහොමද?
සාක්ෂිකරු ; දෘඪ පිටපත් වෛද්‍ය විජේසිංහට දුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබෙන් කරුණු විමසීමක් කළාද? අමාත්‍යවරයා, සංස්ථාවේ අය අමාත්‍යාංශයේ අය හැරුනම කවුද හිටියේ??
සාක්ෂිකරු ; සැපයුම්කරුවන්, දේශීය සැපයුම්කරුවන් ඒ අය අපට ඖෂධ සපයන අය හිටියා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබෙන් මත විමසීමක් කළේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ...
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ සැකසූ ලැයිස්තුව ඒ සාකච්ඡාවේදී සාකච්ඡා කළාද?
සාක්ෂිකරු ; නැහැ...
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එම ලැයිස්තුව ඔබට හඳුනාගත හැකිද?
(සාක්‍ෂිකරු එම ලේඛනය හඳුනා ගනී) මේ දෘඪ පිටපත හැර මෘදු පිටපත් කාට හරි දුන්නද?
සාක්ෂිකරු ; ඔව් සමන් රත්නායක මහතාට දුන්නා. ඊමේල් කලා.
(57 ගොනුවේ ඇති. ඊමේල් පණිවිඩය සාක්ෂිකරුට පෙන්වයි.)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවදද මේක යැව්වේ.?
සාක්ෂිකරු ; රැස්වීම තිබුණු දා හවස...
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ඒ ඊමේල් එකමද?
සාක්ෂිකරු ; ඔව්..
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ යැව්වේ වෛද්‍ය රත්නායකගේ ඊමේල් එකටද?
සාක්ෂිකරු ; ඔව්, මීට පෙර ඔහුට ඊමේල් යවා තිබුන නිසා මා ළඟ තිබුනා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ICL කියා ඔබ සටහන් කර ඇත්තේ ඇයි?
සාක්ෂිකරු ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුවෙන කටයුත්තක් නිසා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ යැවූ ලැයිස්තුවමද මේකේ තියෙන්නේ?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; (පැ 302 හා 302 ඒ හි ලේඛන 85 ගොනුවේ පිටු අංක 11 සිට 15 දක්වා සාක්ෂිකරුට පරීක්ෂා කිරීමට දෙයි) ඔබේ ඊමේල් එක මෙහි තිබෙනවාද?
සාක්ෂිකරු ; එය මා මුලින් කී මා සැකසූ ලයිස්තුවටම අදාළව 2023 වසරට ඖෂධ ප්‍රමාණය වැඩි කරන්න කියා ඒ ඒ වෛද්‍ය විද්‍යාල ඉල්ලීම් කළා.
(සාක්ෂිකරුගෙන් තවදුරටත් සාක්‍ෂි ලබා ගැනීමට නියමිතය. නඩුව මේ මස 8 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිත විය.)
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

