ප්‍රයිම් ලෑන්ඩ්ස්ලාගේ “VENEZIA – NEGAMBO” නිවාස ව්‍යාපෘතියට රජයේ නිසි අවසර නෑලු...

මීගමුව කුරන පාරේ සී එම් ප්‍රනාන්දු මාවත ඔස්සේ ඉදිරියට යන විට අපට හමුවන්නේ මනරම් පරිසර දසුනකට ආසන්නයේ ඇති නිස්කලංක භූමි භාගයකි. අක්කර 8ක් පමණ වූ මෙම භූමිය යම්කිසි ඉදිකිරීමක් බලාපොරොත්තුවෙන් පහත් බිම් ගොඩකර උස්තැන් මට්ටම් කොට සමබිමක් වශයෙන් සංවර්ධන කටයුත්තකට යොදා ගන්නට සූදානම් වෙමින් සිටින බව පෙනේ....

Mar 19, 2026 - 19:36
 40
ප්‍රයිම් ලෑන්ඩ්ස්ලාගේ “VENEZIA – NEGAMBO”  නිවාස ව්‍යාපෘතියට රජයේ නිසි අවසර නෑලු...

ප්‍රයිම් ලෑන්ඩ්ස්ලාගේ

“VENEZIA – NEGAMBO” 

නිවාස ව්‍යාපෘතියට

රජයේ නිසි අවසර නෑලු...


පරිසර වාර්තාකරු


මීගමුව කුරන පාරේ සී එම් ප්‍රනාන්දු මාවත ඔස්සේ ඉදිරියට යන විට අපට හමුවන්නේ මනරම් පරිසර දසුනකට ආසන්නයේ ඇති නිස්කලංක භූමි භාගයකි. අක්කර 8ක් පමණ වූ මෙම භූමිය යම්කිසි ඉදිකිරීමක් බලාපොරොත්තුවෙන් පහත් බිම් ගොඩකර උස්තැන් මට්ටම් කොට සමබිමක් වශයෙන් සංවර්ධන කටයුත්තකට යොදා ගන්නට සූදානම් වෙමින් සිටින බව පෙනේ....

ඊට එපිටින් ඇත්තේ කඩොලානයෙන් වට වූ ලංකාවේ තිබෙන සුවිශේෂීම සංවේදීම පරිසර පද්ධතියක වූ මීගමු කලපුවයි. ඉඩමේ සංවර්ධන කටයුතු නිසා කලපුවත් ඉඩමත් අතර ඇති හරිත පැහැගත් වටිනා කඩොලාන වගාවට (bufer zone) යම් යම් හානි සිදුවී ඇති බවත් විශ්වාස කරන්නට කරුණු තිබේ...

අපට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව දැන් මේ භූමිය සංවර්ධනය කරමින් පවතින්නේ නිවාස ඉදිකරන “ප්‍රයිම් ලෑන්ඩ්ස්” නමින් හැඳින්වෙන ආයතනයක් මෙම ඉඩම කැබැලිවලට කට්ටිකොට නිවාස සාදා විකිණීම සඳහාය...

අපදන්නා පරිදි “ප්‍රයිම් ලෑන්ඩ්” ඉතා හොඳින් රාජකාරිය ඉටු කරන කීර්තිමත් ආයතනයක් බව සැබෑය. එහෙත් ගුරුන්ටත් අකුරු වරදින අවස්ථා තිබෙ. එබැවින් මේ ඉඩම සම්බන්ධයෙන් වී ඇති සන්තෑසිය කුමක්දැයි කියා ගැඹුරින් සොයා බලන්නට අප කල්පනා කළෙමුු... 

මෙම “ කලපුවට යාබද” උක්ත සංවේදී පරිසර කලාපය තුළ යම් යම් ඉදිකිරීම් කරන්නටත්, සංවර්ධන කටයුතු ඉටු කරන්නටත් ව්‍යවසායන් පවත්වාගෙන යන්නටත් අත්‍යවශ්‍ය අනිවාර්ය කටයුත්තක් ලෙස පවතින්නේ රජයේ වගකිවයුතු ආයතනවලින් පරිසර සක්‍යතා වාර්තාවක් ලබා ගැනීමයි...  එම ප්‍රධාන අවශ්‍යතාවයට පසු තවත් ආයතන ගණනාවක අනුමැතිය මෙවන් විශාල නිවාස ව්‍යාපෘතියක් සෑදීම සඳහා ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.  එනමුත් කඩොලාන වනයක් මැද, කඩොලානයට හානි වන සේ, කඩලානය ගොඩ කර සංවර්ධනය කරන ලද ඉඩමකට පරිසර වාර්තාවක් කෙසේ නම් දෙන්නදැයි සිතා ගත නොහේ...

මෙම අක්කර අටක භූමි භාගය පුරා නිවාස ව්‍යාපෘතියක් සාදා ගැනීම සඳහා පිඹුරු පත් සකසන ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය ඒ සඳහා අලංකාර නමක් ද යොදා ප්‍රචාරක සන්නිවේදන කටයුතු ආරම්භ කරන ලද්දේ 2024 වසරේ මැද භාගයේ පටන්ය...

ඔවුන් එම නිවාස ව්‍යාපෘතියට “VENEZIA – NEGAMBO” යනුවෙන් ආකර්ෂණීය වෙළඳ නාමයක් ද එක් කොට තිබේ. එසේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් 2024 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම නිවාස ව්‍යාපෘතියේ වාණිජ කටයුතු ආරම්භ කළ අදාළ සමාගම ඉතා වේගයෙන් ඔවුන් සාදන්නට සැලසුම් කරන නිවාස ඒකක විශාල ගණනාවක් අලොවි කරන්නටද සමත් වූහ.

තතු දත් ආරංචි මාර්ග පවසනුයේ අදාළ නිවාස ව්‍යාපෘතියේ විවිධ මිල ගණන් යටතේ වූ කාණ්ඩ කිහිපයකට අදාල නිවාස වලින් 78%ට ආසන්න ප්‍රමාණයක් විකුණා දමන්නට ආයතනය සමත් වූ බවය...

සාමාන්‍යයෙන් එම නිවසක් සාදා අවසන් කළ පසු වටිනාකම පන් කෝටි අසූ ලක්ෂයේ සිට (58 000 000.) ඉහළට මිල ගණන් නියම වන බව කියති. වර්ග අඩිගණන හා සැපපහසුව අනුව මිලද වෙනස්වනු ලබයි.

2024 සිට අලෙවි කටයුතු ආරම්භ කර ඇතත් prime lands ආයතනයට මෙම නිවාස ව්‍යාපෘතිය ඉඳිකිරීම සඳහා තවමත් වෙරළ සංරක්ෂණ පරිසර ආදී වූ කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතිය ලබාදී නැති බව කියති.

ඊට බලපානා ලද හේතු ගණනාවක්ම ඇතැයි අප දැනුවත් කළෝ "දේශය සුරැකීමේ සිවිල් සන්විධානය" නමින් ප්‍රචලිතව ඇති ස්වභාවික සම්පත් සහ පරිසරය සුරැකීමේ කටයුතු වෙනුවෙන් ක්‍රියා කරන ස්වේච්ඡා සංවිධානයකි.

මෙම සංවිධානය මෙකී ඉඩම, මෙම නිවාස ව්‍යාපෘතිය තුළින් මේ සංවේදී පරිසර පද්ධතියටත් ඊට මේපිටින් දිවි ගෙවන පදිංචිකාර ප්‍රදේශවාසීන්ටත් නිවාස මිලදී ගැනීම නිසා ගනුදෙනු කරුවන්ටත් සිදුවිය හැකි අනර්ථයන් විස්තර කරමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවට යවා ඇති විරෝධතා ලිපියෙහි පිටපතක්ද අප වෙත ලැබී ඇත...

ප්‍රදේශවාසීන් පවසන පරිදිත් එම ලිපියේ පෙන්වා දෙන පරිදිත් මෙම නිවාස ව්‍යාපෘතියට අනුමැතිය ලබා ගත නොහැකි දුර්වලතා හා හේතු කාරණා රාශියක්ම තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මීගමුව කලපුව හා කඩොලානය වැනි අධි සංවේදී පරිසර පද්ධතියක් මෙම නිවාස ව්‍යාපෘතිය මගින් බලපෑමට ලක්වීමයි..

මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා වෙන්කරන ඉඩම අක්කර අටක් පමණ වී ඇතත් එම භූමි භාගයට ඇතුළත් වන ප්‍රවේශ මාර්ගය අඩි දොළහක් තරම් පටු වීම ඊළඟට බලපානා තවත් විශාලතම ප්‍රශ්නයකි...

රුපියල් කෝටි පහක් ඉක්මවූ වටිනාකම ඇති නිවාස සිය ගණනක් මේ භූමියේ ඉදිකළ හැකි බව මුසාවක් නොවේ. පර්චස් 10 බැගින් බෙදා ගත් විට තනි තට්ටුවේ නිවාස ඒකක 120 ගණනක් සාදා නිම කළ හැක. පර්චස් පහක් බැගින් ගෙන බලන විට එම නිවාස ප්‍රමාණය දෙගුණයක් බවට පත්වෙයි. මෙහි ඉදිකෙරෙන නිවාස ප්‍රමාණය ඊට වඩා වැඩි බව කියති.

එවන් විශාල නිවාස සංකීර්ණයකට ඉදිකිරීම් සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ඒම වෙනුවෙන් හා පදිංචි වූ පසු ඔවුන්ගේ ගමනාගමනය වෙනුවෙන් අඩි දොළහක් පළල මාවතක් ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය පැන නැගිනි. මෙවන් ව්‍යාපෟතියකට අඩුම තරමින් එම ප්‍රවේශ මාර්ගය අඩි තිහක්වත් පළල විය යුතු බව ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ මතයයි...

දේශීය සුරැකීමේ සිවිල් සංවිධානය පෙන්වා දී ඇත්තේ අදාළ ඉඩමට පිවිසීමට ඇති අඩි දොළහක මාර්ගය දිගේ ඉදිකිරීම් අමු ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා එහි අවශ්‍යතා සපුරා ගැනීමට යාමෙන් ඇතිවෙන රතවාහන තදබදය  දැනට මේ ප්‍රදේශයේ ජීවත්වන ප්‍රදේශවාසීන්ට ද ලොකු ගැටලුවක් උද්ගත කරනු ඇති බවය. මෙතරම් විශාල නිවාස සංඛ්‍යාවක් විසින් දිනපතා මුදා හරින අපජලය කවර නම් තැනකට මුදා හැරීම නිර්දේශ කළහැකිද... කලපුවට හැරවීම කෙසේ නම් රාජ්‍ය ආයතනයක් නිර්දේශ කරන්නද...

කෙසේ වෙතත් 2024 සිට මේ දක්වා මෙම නිවාස යෝජනා ක්‍රමය වෙනුවෙන් සකස් කරන ලද ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයේ ප්‍රචාරක උපක්‍රම වලට හසුවීමෙන් ඉදිකිරීම ආරම්භ කරන්නටත් පෙර නිවාස ඒකක විශාල ගණනක් විකිණි ඇති බව රහසක් නොවේ.

ගනුදෙනුකරුවන් එසේ නිවාස මිලදී ගෙන ඇත්තේ එම නිවාස සංකීර්ණයේ ඉඳිකිරීම් කෙරෙහි මෙවන් බරපතල ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇති බව නොදැනය. එසේම නිවාස ව්‍යාපෘතියක් තනා නිම කිරීම සඳහා රජයේ පරිසර ආයතන වලින් හා ප්‍රාදේශීය ආයතන වලින් ලබා ගත යුතු අවසර පත් හා නිසි අවසරය ලබා ගෙන නොමැති බවද නොදැනය..

මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් කතා බහ කරන තොරතුරු තුළින් මෙම නිවාස ව්‍යාපෘතිය ගැන වැඩිදුර විස්තර දැනගත් ගනුදෙනු කරුවන් යම් පිරිසක් වහා ඉදිරිපත් වී තමන් විසින් ආයතනයට ලබා දෙන ලද අත්තිකාරම් මුදල් නැවත ලබාගෙන ඇති බවද වාර්තා වී තිබේ..

තවත් ගනුදෙනුකරුවන් රැසක් එම මුදල් නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති බවද වාර්තා වේ...

prime lands ලංකාවේ කීර්තිමත් ඉඩම් කොටස් විකිණීමේ ආයතනයක් බවත් එමගින් රට පුරාම නිවාස විවාපෘති හා ඉඩම් විකිණීමේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සාර්ථකව ඉටුකර ගෙන ඇති බවත් රහසක් නොවේ. යම් යම් අවස්ථාවල මෙවන් දුර්වලතා පැන නැගුණු අවස්ථාද නැතුවාම නොවේ...

එහෙත් මීගමුව කුරන සී එම් ප්‍රනාන්දු මාවතේ කලපුවට මායිම් වූ මෙම අධි සංවේදී ඉඩම සම්බන්ධයෙන් ඇති වී තිබෙන පාරිසරික ගැටලුව හා ප්‍රශ්නය බරපතලය...

prime lands සමූහයේ සභාපති වරයා වන්නේ බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් නම් ප්‍රකට ව්‍යාපාරිකයෙකි. එහි සමූහ සම සභාපතිනිය ලෙස සඳමිනි පෙරේරා කටයුතු කරයි. නලින්ද හීනටිගල, අනුර පතිරගේ, දිනූෂා ප්‍රනාන්දු හා ෂෙහානා බ්‍රාහ්මණගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරති...

එසේම prime residence ආයතනයේද වෙනම අධ්‍යක්ෂවරුන් සිටිති. මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහාචාර්ය සම්පත් අමරතුංග ධම්මික කලපුගේ හා දීපාල් සූරියාරච්චි වැනි අය අධ්‍යක්ෂවරුය. සමාජයේ කීර්තිමත් පුද්ගලයින් ලෙස කැපී පෙනෙන මොවුන්ගේ කීර්තිය ආයතනයේ විශ්වාශනීයත්වය තහවුරු වීම සම්බන්ධයෙන් ද බලපා ඇති බව ගනුදෙනුකරුවන්ගේ මතයයි..

කෙසේ වුවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලබා දී නැතත් ඔවුන්ගෙන් කිසිවෙකුත් මාධ්‍ය වලින් මේ පිළිබඳ විමසන විටදීත් තොරතුරු ලබාදීමට කැමැත්තක් නොදක්වයි...

මේ පිළිබඳ සත්‍ය තොරතුරු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් ලබාගත හැකි බව ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කළත් ඔහු මාධ්‍යවලට පිළිතුරු දීමෙන් වැළකී සිටින බව අප කළ උත්සාහයන් කිහිපයකදී තහවුරු විය... 

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0