ලංකාවේ බිහි වූ සරලම ජනාධිපති අනුරද ගෝඨාභයද එසේත් නැත්නම් ඩිංගිරි බණ්ඩා විජේතුංගද..?

ලංකාවේ සරලම ජනාධිපති කවුරුන්ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි වුවත්, ඩිංගිරි බණ්ඩා විජේතුංග බොහෝ දෙනාගේ මතය අනුව නිහතමානී දිවි පෙවෙත හේතුවෙන් සරලම තැනැත්තා වන අතර, අනුර කුමාර දිසානායක වර්තමාන දේශපාලන ක්‍රමයේ සරලත්වය සහ අලුත් බව නියෝජනය කරයි.

Sep 29, 2025 - 16:31
 19
ලංකාවේ බිහි වූ  සරලම ජනාධිපති  අනුරද ගෝඨාභයද  එසේත් නැත්නම්  ඩිංගිරි බණ්ඩා විජේතුංගද..?
ලංකාවේ බිහි වූ  සරලම ජනාධිපති  අනුරද ගෝඨාභයද  එසේත් නැත්නම්  ඩිංගිරි බණ්ඩා විජේතුංගද..?
ලංකාවේ බිහි වූ  සරලම ජනාධිපති  අනුරද ගෝඨාභයද  එසේත් නැත්නම්  ඩිංගිරි බණ්ඩා විජේතුංගද..?
ලංකාවේ බිහි වූ  සරලම ජනාධිපති  අනුරද ගෝඨාභයද  එසේත් නැත්නම්  ඩිංගිරි බණ්ඩා විජේතුංගද..?

මේ රටේ පහළ වූ සැබෑම සරල ජනාධිපතිවරයා කවුදැයි ඔබෙන් ඇසුවහොත් ඉතිහාසය දන්නා ඔබේ සිහියට එකවර පහළවන නම ඩිගිරි බණ්ඩා විජයතුංග බව අවිවාදිතය. ඒ නිසා ඔහුට ඔබ තුළ ඇති ජනප්‍රසාදය කවරේදැයි මම දනිමිි. ඔබ ගෝඨාභය රාජපක්ෂට ගරු කළේද ඔහුද අප දන්නා ඉතිහාසයේ ජනාධිපති ලෙස වැඩ පටන් ගත්තේ සරල ජනාධිපති කෙනෙකු ලෙස ජීවත් වන්නටය. හමුදා හා අමාත්‍යංශ නිලධාරියෙකු ව සිටියදී මොනතරම් ඉහළ වරප්‍රසාද භුක්ති වින්දත් ජනාධිපති වූ පසුව ඔහු අනුගමනය කරන්නට වූ සරල දිවි පෙවෙත, ජීවන රටාව හා රටේ නායකයා ලෙස භුක්ති විඳින ලද්දා වූ අවම වරප්‍රසාද ප්‍රමාණය ගැන ගැන රට නොදන්නවා නොවේ .
ඔහු ජනාධිපති කාර්යාලයේ සේවක සංඛ්‍යාව මහා පරිමාණයෙන් අඩු කර ගත්තේය. ජනාධිපති ආරක්ෂාව මහා පරිමාණයෙන් අඩුකර භාගෙන් භාගයටත් වඩා සීමා කර ගත්තේය. ජනාධිපතිගේ පුද්ගලික වියහියදම් හා ජනාධිපති තනතුරේ රාජ්‍යතාන්ත්‍රික වියහියදම් පැහැදිලිවම දෙකට වෙන් කරගෙන පුද්ගලික විය පැහැදැම් සියල්ල තෙමේ විසින්ම දරනු ලැබුවේය. ජනාධිපති රාජකාරි කටයුතු කාර්යාලයේ කරමින් පුද්ගලික ජීවිතය මිරිහානේ ඔහුගේ බිරිඳට අයත් පුංචි නිවසේ ගත කරන්නට සැලසුම් කළේය. රාජ්‍ය උත්සවවලදී පවා උත්කර්ෂවත් වියහියදම්වලට නොගොස් චරල සාම් හා ගෞරවණීය ලෙස ඒවාට සහභාගී වන්නට කටයුතු කළේය. 
ඔහු මේ සියල්ල කළේ ජනාධිපතිවරයා හා ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් මේ රටේ භයානක යුධ සමයේ පටන් වෙන්ව තිබූ අසාමාන්‍ය අතිවිශාල වැය ශීර්ෂය රටට දැනෙන අගයකින් අඩු කර ගැනීමට බව මේරටේ සර්ව සාධාරණව හිතන පතන පොදු ජනතාවට රහසක් නොවූහ.
එහෙත් ඒ ජනාධිපතිවරයාට එරෙහිව පවා ජනතාවට පෙළ ගැසෙන්නට වෙනත් හේතු කාරණා තිබුණු බව ඇත්තය. ජනතාව අවසානයේ ඔහුව පන්නා දමා ජනතාවගේ (අරගලකරුවන්ගේ) රජයක් පත් කර ගැනීමට උත්සාහ කළත් රටේ කුමක්දෝ පිනකට එය වැළකී ගොස් යළි ආපස්සට කැරකී ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත වෙත තල්ලු වී ගියේය.
ඉන්පසු රටේ පොදු ජනමතය නියෝජනය කරන්නට ඊටත් වඩා සරල ජනාධිපති යෝජකයකු කරළියට ආවේ පොදු ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් තමන් ලබා නොගන්නා බවට බරපතළ විශ්වාසයක් හා බලාපොරොත්තුවක් ජනතාව තුළ දල්වා තබමිනි. හේ අද අප කතා නායකයා වන අනුර කුමාර දිසානායකයි.
ගෝඨාභය සරල බව ඇත්තය. ඒත් ඔහු රාජපක්ෂ කෙනෙකි. දූෂිතයයි රට හමුවේ පොදු පිළිගැනීමකට ලක් වූ රාජපක්ෂලා හා රාජපක්ෂ පරපුර මෙන්ම ඔවුන්ගේ පැලැන්තියේ මුර දේවතාවෙකි. එහෙයින් රටට අවශ්‍ය රාජපක්ෂලා රකින තවත් රාජපක්ෂ කෙනෙකු වූ සරල ජනාධිපති කෙනෙකු නොව, පොදු ජනතාවට යුක්තිය ඉටුකරන පොදු ජනතාව අතරින්ම පිළිපන් පොදු ජනතාවගේ සරල මිනිසෙකු ජනාධිපති කරවීමට ය. 
ඒ ජනාධිපති අපේක්ෂකයා රට හමුවේ, ජනතාව හමුවේ දල්වා තැබූ බලාපොරොත්තු කොතරම් සරලද බලන්න. කොතරම් සාධාරණද බලන්න. ඉතින් එවන් ජනාධිපති කෙනෙක් රටට එන්නට සූදානම් ව සිටින්නේ නම් රාජපක්ෂලා ගැන සිතීම කවර අනුවනකමක්ද. 
නිසැකවම රට භාරදිය යුතු සරල නායකයා අනුර කුමාර දිසානායක යැයි ජනතාව තීරණය කරාට කිසිදු වරදක් නැත. ඊට හේතු මෙන්න මේවාය.

  • මෙතැන් පටන් රටේ VIP කියා ජාතියක් නැත. VIP වරප්‍රසාද කියා ජාතියක්ද නැත. VIP වන්නේ ඇම්බියුලන්ස් පමණි.
  • පොදු ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් රටේ ජනාධිපතිට හෝ කවර නායකයකුටවත් නැත. රටේ පාලකයෝ හා ජනතාව එක හා සමානය.
  • රටේ දේශපාලනඥයෝ කිසිවෙකුටත් පොදු ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන නිල නිවාස කියා දෙයක් අවශ්‍ය නැත...
  • කොළඹ ජනාධිපති මන්දිරය සංචාරක කේන්ද්‍රස්ථානයක් කරනවාය. රට පුරා පවතින අනෙකුත් ජනාධිපති මන්දිර වැඩිහිට නිවාස හෝ ළමා නිවාස බවට පත් කරනවාය.
  • රටේ නායකයාට ගමන් බිමන් යන්නට වෙඩි නොවදින ඉහළ පන්තියේ සුඛෝපභෝගී වාහන දෙකක් හෝ කිහිපයක් අවශ්‍ය නැත. සාමාන්‍ය නිල රථයක් පමණක් ප්‍රමාණවත්ය.
  • රටේ පොදු ජනතාවට නොමැති කිසිදු ආරක්ෂාවක් රටේ නායකයාට හිමිවිය යුතු නැත...
  • රටේ නායකයා මීට පෙර බිමින් ගමන් ගියේ වාහන දෙකකිනි. එකක් කැඩුණහොත් අනෙකට ගොඩ වෙනවා යැයි තර්ක කළ හැකිය. එහෙත් එදා රටේ නායකයා හෙලිකෝටර් දෙකකින් ගමන් බිමන් ගියේ එකක් කැඩුණොත් අනෙකට පනින්න හිතාගෙනද..?
  • හෙලිකොප්ටර් ගමන් බිමන් රාජ්‍ය නායකයාට අවශ්‍ය ම නැත.
  • මාධ්‍ය පිරිවරාගෙන දළදා වහන්සේ වඳින්නට යන්නේ නැත...
  • මාධ්‍ය පිරිවරාගෙන මහා නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් හමුවන්නට යන්නේ නැත..
  • අනවශ්‍ය පරිදි විදේශ සංචාරයන් යන්නේ නැත. ආරක්ෂකයින් හෝ හිතවතුන් පිරිවරාගෙන විදේශ සංචාරයන් කිසිවක් නැත.
  • ජනාධිපති කාර්යාලයට හෝ වෙනත් රජයේ ආයතනවලට ජනාධිපතිගේ පවුලේ උදවිය හෝ හිතවතුන් පත් කරන්නේ නැත. ඥාති මිත්‍ර සංග්‍රහයන් අවසන්ය.
  • අතීතයේ මෙන් එක් එක් විෂය පථයන්ට සියලු වරප්‍රසාද භුක්ති විඳින මහජන බදු මුදලින් පඩි ලබන ජනාධිපති උපදේශකයින් පත්කරන්නේ නැත.
  • පෙර ජනාධිපතිවරු කළා සේ ජනාධිපති අරමුදලින් අනවශ්‍ය පරිදි දේශපාලඥයන්ට හා දේශපාලඥයන්ගේ හිතවතුන්ට වරදාන වරප්‍රසාද මින් පසු ලබාදෙන්නේ නැත...

බැලූ බැල්මට ආකර්ෂණීය වූත් වටිනා වූත් පොරොන්දු ජනතාවගේ බලාපොරොත්තු ලෙස ලබාදී අනුර කුමාර දිසානායක පොදු ජනතාව අතර වීරයකු ලෙස නැගී සිටියේය. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරයා ඉදිරියටම ආවේ ලංකාවේ බිහිවන සරලම ජනාධිපතිවරයා හා හොඳම ජනාධිපතිවරයා 2024 වර්ෂයේ සප්තැම්බර් මාසයෙන් පසුව ලංකාවේ බිහිවනු ඇතැයි පොදු ජනතාවට ඉතා වැදගත් පොරොන්දුවක් ලබා දෙමිනි. පොදු ජනතාවගේ පැතුම වූයේ ද එයයි. පොදු ජනතාවට වඩාත් කිට්ටු සාමාන්‍ය පැලැන්තියේ අයෙක්, ගමේ උපන් අයෙක්, සාමාන්‍ය පාසලක ඉගෙන ගෙන විශ්ව විද්‍යාලය දක්වා ගිය ගොවි පුතෙක්, භෞතික විද්‍යා උපාධියක් ජාතික විශ්වවිද්‍යාලයකින් ලබාගෙන දේශපාලනඥයෙකු වූ නායකයෙක් මේ රටේ ජනාධිපති වෙනවාට අකමැති කවුදැයි ජනතාව තුලනාත්මකව කල්පනා කළාට වරදක් නැත. මේ රටේ ජනතාව 57 ලක්ෂයක් එකට එකතු වී 1924 සැප්තැම්බර් 23 වැනිදා අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපතිවරයා කරවූයේ ඒ නිසාය.
මේ වනවිට 2025 අගෝස්තු මාසය ටිකෙන් ටික ගෙවී යමින් උදාවන්නේ සැප්තැම්බර් මාසයයි. සරල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයෙන් පහෙන් එකක් ලබන මස 23 වනදා වනවට ගෙවී අවසන්ය. එහෙත් ඔහු එදා බලය ගන්නට පෙර ජනතාව හමුවේ "නැද්ද හා" කියමින් දුන් පොරොන්දු කොපමණ තිබේද. ඉහත කී පොරොන්දු අතරින් එක් පොරොන්දුවක් හෝ මේ වසර ඇතුළත ඉටුකර තිබේද.
පක්ෂග්‍රාහී නොවී ජනතාවට විවෘතව හිතා බලන්නට මේ අයුරින් කරුණු කාරණා පෙළගස්වන්නට මම කැමතිය...

  • අද VIP වී ඇත්තේ ඇම්බියුලන්ස්ම පමණක්ද...?
  • ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් භුක්ති විදින්නේ පොදු ජනතාවට අයිති වරප්‍රසාද පමණක්ද...?
  • කොළඹ ජනාධිපති මන්දිරය මේ වන විට සංචාරක කේන්ද්‍රස්ථානයක් වී තිබේද..?
  • කොළඹ හැරුණු විට මහනුවර, නුවරඑළිය, යාපනය, අනුරාධපුර, මහියංගනය, කතරගම ආදී තැන්වල පිහිටා තිබෙන ජනාධිපති මන්දිර අද වැඩිහිටි නිවාස හෝ ළමා නිවාස බවට පත් වී තිබේද..
  • රටේ නායකයා හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යන්නේ නැතිද..?
  • මාධ්‍ය පිරිවරාගෙන දළදා වහන්සේ වදින්නට හෝ මහානායක හිමිවරු මෙන්ම කාදිනල් තුමා වඳින්නට යන්නේ නැතිද..?
  • ප්‍රභූ ආරක්ෂාව දැන් ඔහු ලබා ගන්නේ නැතිද..?
  • ජනාධිපතිවරයා විදේශ සංචාරයන්හිදී අර කියූ පරිදි පරිස්සම් වන්නේද...?
  • පත්වීම් ලබාදීමේදී හෝ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පත් කිරීමේදී ඥාති මිත්‍ර සංග්‍රහයන් පවත්වන්නේ නැතිද..?
  • පත්වීම් ලබාදීමේදී නියම සුදුස්සන්ටම සුදුසු තැන් ලබා දී තිබේද...? 

මේ ආකාරයෙන් වන්නේ ඔවුන් එදා ලබා දුන් පොරොන්දු සංස්කෘතිය අතරින් හීනියට පෙරා ගත් ආකර්ෂණීය පොරොන්දු කිහිපයක් පමණි. ඒ ඒ ක්ෂේත්‍රයන් ගැන කතා කරන්නට යන විට මෙවන් පොරොන්දු ලැයිස්තු ගණනින් පොදු ජනතාව වෙත ලබා දුන් අවස්ථා ගණනාවක් ඇති බව අපට මතකය. 
උතුරට ගොස් උතුරේදී දෙමළෙන් ලබා දෙන පොරොන්දු දකුණ දන්නේ නැත. දකුණට සිංහලෙන් දෙන පොරොන්දු උතුර දන්නේ නැත. නැගෙනහිරට හෝ කන්ද උඩරටට දෙන පොරොන්දු බස්නාහිර හෝ උතුරු මැද පළාතේ ජනතාව නොදනිති. විටින් විට පිටරට යමින් මුණ ගැසී ආපසු එන ඩයස්පෝරාවේ අන්තර්ජාතික ක්‍රියාකාරකයින් හමු වී යම් යම් පොරොන්දු ලබා දුන්නැයි අර්චුනා චෝදනා කරති. අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කීවද කරුණු නොදැන අපිට ඒ ගැන කියන්නටට නොහැකිය. ඒ ඒ පලාතෙන් පළාතට ලබාදෙන පොරොන්දුවලද ඇත්තේ විවිධත්වයකි. ඒ අපි දන්නා ප්‍රමාණයන්ය. 
චීනයට හොරෙන් ඉන්දියාවට දුන් පොරොන්දු ගැන අපි දන්නේ නැත. ඉන්දියාවට හොරෙන් චීනය සනසන්නට දුන් පොරොන්දු කවරේදැයි කිව නොහැක. මේ සියල්ලන්ටම රහසක්ව තබා ගනිමින් ඇමරිකන් තානාපතිනී ජූලි චන් නෝනාට කොතරම් පොරොන්දු ලබා දුන්නා විය හැකිද. ජාත්‍යන්තර කරුණු කාරණා හා අන්තර්ජාතික කටයුතුවලදී රජය ක්‍රියාකරන හා හිතන පතන ආකාරය අනුව ඒවා සම්බන්ධයෙන් පවතින කුකුස නිරාකරණය කරගැනීමට අපට මගක් නැත. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කොන්දේසි ඉටු කිරීමේදී අපට ඒ ගැන යම් යම් ඡායාමාත්‍රයක් ලැබෙතත් කරුණු නොමැතිව සිතන්නට තරම් ඉක්මන් වීම අපගේ දේශපාලන සෞඛ්‍යයට අහිතකරය. 
පොදු ජනතාවට පොරොන්දු ලබාදී ඒවා ගැන නොදන්නවා සේ සිටියාට මහා බලවතුන්ට ලබා දෙන පොරොන්දු ඉටු නොකළහොත් පුද්ගලිකව ජනාධිපතිවරයාට පමණක් නොව, පොදුවේ ඔහුව තෝරා ගත් පොදු ජනතාවටද වන්දි ගෙවන්නට සිදුවන බව නොකිවමනාය. වන්දි ගෙවන්න වෙන්නේ රටටය.
ඒ පොරොන්දු දේශපාලනය ගැන කතා කරන්නට දැන් පොත් ගණන් ලියන්නට කරුණු ඇති බව කියනු කැමැත්තෙමි. එහෙත් ඒවා ගැන කිය කියා පොදු ජනතාවගේ අහිංසක සරල සිහින හා පොදු ජන ප්‍රාර්ථනා සිඳ බිඳ දමන්නට අප සූදානම් නැත. 
එහෙත් ජනතාවට සිහින දකින්නට කැමැති යැයි සිත සිතා ඊට සූදානම් ව සැමදා නිදා සිටින්නට නොහැකි බව රට කරවන පාලකයෝ හොඳින් වටහා ගත යුතු වන්නේය. මන්ද වසර පහකට සැරයක් රටට පාලකයා තෝරන රිමෝඩ් කොන්ට්‍රෝලරය තවමත් ඇත්තේ පොදු ජනතාව අත බව අප අමතක කළ යුතු නැත.

බුලිත ප්‍රදීප් කුමාර.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී.
bulitha@gmail.com

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 1
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0