වට්ටක්කයා කවුරු වුණත් නඩුවේ වාසිය දයාසිරිටලු...

පහුගිය දවසක අපේ චාමර සම්පත් ලොක්කා ගාලු ගිහිල්ලා කරපු කතාවකදී දෙතුන් දෙනෙකුටම ඇදල ඇරිය නේ... ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා කියලා... ඕන් ඔතන එක්කෙනෙක් තමයි සරත් ෆොන්සේකා. සරත් ෆොන්සේකා මේ ආණ්ඩුව එන්න කලින් ඉඳලම සමාජ දේශපාලනේ කරළියේ කතාබහ කරද්දී අනිත් අය ඔක්කොටම දමල ගහද්දි ආණ්ඩුවට සාක්කුවේ තියෙන ඔක්කොම ලකුණු ටික දීලා දැම්මා...

Sep 5, 2026 - 17:45
 28
වට්ටක්කයා කවුරු වුණත් නඩුවේ වාසිය දයාසිරිටලු...

වට්ටක්කයා කවුරු වුණත්

නඩුවේ වාසිය දයාසිරිටලු...


පහුගිය දවසක අපේ චාමර සම්පත් ලොක්කා ගාලු ගිහිල්ලා කරපු කතාවකදී දෙතුන් දෙනෙකුටම ඇදල ඇරිය නේ... ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා කියලා...


ඕන් ඔතන එක්කෙනෙක් තමයි සරත් ෆොන්සේකා. සරත් ෆොන්සේකා මේ ආණ්ඩුව එන්න කලින් ඉඳලම සමාජ දේශපාලනේ කරළියේ කතාබහ කරද්දී අනිත් අය ඔක්කොටම දමල ගහද්දි ආණ්ඩුවට සාක්කුවේ තියෙන ඔක්කොම ලකුණු ටික දීලා දැම්මා...


මොකක් හරි අලුත් ප්‍රශ්නයක් ආවම ඒ හැම තැනක්දිම සරත් ෆොන්සේකා ගත්තේ ආණ්ඩුව ගන්න ස්ථාවරය. ඒක ටිකක් අමුතුයිනේ. ඒක නිසා සරත් ෆොන්සේකා විපක්ෂය ඇතුලේ කැපිලා පේන හාදයෙක් වුනා...


පහුගිය දවස්වල කතාවක් ගිය සරත් ෆොන්සේකා දැන් ඔන්න විපක්ෂයට නායකත්වය දෙන්න කැමැත්ත පළ කරලා කියලා. ඒ අස්සේ ඔන්න ෆොන්සේකා පොහොට්ටුවට එකතු වෙන්න සාකච්ඡා කරනවා කියලත් කතාවක් නම් පැතිරිලා ගියා... ඒත් ඉතින් සතා කවුද කියලා දන්න අය ඔය පොට්ටුව ඇතුළේ නැතුවා නොවෙයිනේ... ඉතින් ගනී කියලා තමයි බය.... 


ඕක තමයි චාමර ගාල්ලෙදි විවිවේචනය කරපු කතාව. බලාගෙන හිටියලු ආණ්ඩුවෙන් මොනවා හරි දෙයක් ලැබෙයි කියලා. ආණ්ඩුවේ එවුන් එයාව පයිසෙකට මායිම් කලේ නෑලූ... දැන් ඔන්න අනිත් පැත්ත ගහලාලු. විපක්ෂයට නායකත්වය දෙන්න කැමතියි කියනවාලු. කාමර අහන්නේ මෙයා හමුදාව ඉඳිද්දි නම් එක එක රෙජීමේන්තුව ළඟ වැඩ කළා.. හැබැයි ඉතින් විපක්ෂයට නායකත්වය දෙන්න මෙයා ඉගෙන ගත්ත රෙජීමේන්තුව මොකක්ද කියලා...


ඔය අතර චාමරයා ඇදලා ඇරියෙ නැද්ද අර එස් බී ටත්... එස් බී මේ දවස් වල හොයාගෙන ගිහිල්ලා ආණ්ඩුවේ වාසියට කතා දාන්න පටන් අරන්නේ. එස් බී මේ දවස්වල කතා කරන්නේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන විපුල පල ප්‍රයෝජන ගැන... ඔන්න චාමර මෙයාටත් නෙළුවා... 


ඊළඟට කවුදෝ වට්ටක්කයා කියලා කෙනෙකුටත් බනින්න ගත්තා රත්නපුර පැත්තේ...


කවුද අනේ වට්ටක්කයා ආණ්ඩුවට කඩේ යන, කියලා හැමෝම ඔන්න පන දාගෙන හොයනවා...


ආණ්ඩුවට කඩේ යන විපක්ෂයේ එකෙක් රත්නපුරේ හොයා ගන්න බෑනේ. ඉතින් ඕක ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සරය පැවැත්තුණු වෙලාවෙත් කතාබහට ලක්වෙලා තිබුණා...


ඕඩියන්ස් එකේ හිටපු කට්ටියක් ඕක ගැන කතා කරනකොට ඕකේ මුල මැද අග පාදලා දුන්නේ ඩිලාන්...


“අයියෝ චාමරයා ඔය කියන්නේ අර වාසුදේව නානායක්කාරටනේ... හරි පව් වැඩේ ඒකනම්. වාසුලා රතුපාට කණ්ඩායමක් ආණ්ඩු බලය හොබවන එක ගැන සතුටු වෙනවා. මිනිහට තියෙන්නේ ඒ චූන් එක විතරයි. ඒ මේයි කියලා වාසු කාටවත් කඩේ යනවා නෙවෙයි. එහෙම තමයි පරණ අවංක වාමාංශිකයන්ගේ හැටි... දැන් මගේ තාත්තා මාෂල් පෙරේරා අද හිටියා නං එයත් බොක්කෙන්ම මේ අනුරගේ ආණ්ඩුවට උදව් කරනවා... මං ඉන්නේ ඕක ගැන පොඩ්ඩක් චාමරට පැහැදිලි කරලා කියන්න...”


“ඉතින් කවුරුවත් වාසුට වට්ටක්කයා කියන්නේ නෑනේ....” ඔන්න ඔතන හිටපු කෙනෙක් ඇහුවා...


“ඕක පරණ කතාවක්. එකපාරක් පාර්ලිමේන්තුවේදී රනිලුයි වාසුයි ඇර ගත්තා. ඔය වෙලාවේ තමයි රනිල් වට්ටක්කයා කියලා වාසුට නමක් හැදුවේ...”


"ආ ඒ වෙලාවේ නේද වාසු අර “අකුරු තුනක කුණුහරපයක්” කියලා රනිල්ට ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවේ බැන්නේ..."


“ඔව්... අන්න සිද්ධිය ඒක තමයි...”

ඔන්න ඔය විදිහට කට්ටියට එකතුවෙලා පරණ දේවල් ගැන කතාබහ කරන්න චාන්ස් එක ලැබුණේ ඊයේ හවස කොළඹ තලවතුගොඩ මොනාක් ඉම්පිරියල් හෝටලේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන සංවත්සරයේදී...


මේ ඉතින් සැප්තැම්බර් මාසෙනේ. අපේ රටේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක්ම ආරම්භ කරපු මාසේ තමයි සැපසැප්තැම්බර්...


ශ්‍රී ලංකා එක වගේම යූ එන් පී එකත් සැප්තැම්බර් මාසේ. ඒකෙ උත්සවයත් හෙට අනිද්දා තියෙන්න බැරි නෑ...


කොහොම හරි මේ වගේ උත්සව ශ්‍රී ලංකා එක ඉස්සර නම් පවත්වන්නේ අතිවිශාල සෙනඟක් එක් රැස් කරන්න පුළුවන් එළිමහන් පිට්ටනියක. එහෙම නැත්නම් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ.


හැබැයි ඉතින් මේ පාර ඊට වඩා ඇඩ්වාන්ස්. මොකද හෝටලයක මේ වැඩේ කරන්න ලේසි නෑනේ. වියදනුත් අහස උසට යනවනේ. කොහොම හරි නිමල් සිරිපාලයි දුමින්ද දිසානායකයි ගේම ගහලා ටොප් එකටම වැඩේ කළා... ඇයි ලසන්ත... එයානේ බඩගරික....


මේකට ඉතින් පිටස්තර පක්ෂ නායකයින්ටත් ආරාධනා කරලා. ඔය හිටියේ මහාචාර්ය ජී. එල්. ලා වජිරලා චම්පිකලා වගේ පක්ෂ නායකයෝ බර ගානක්... 


වෘත්තිය වේදීන් දෙන්නෙක් කතා කළා. නීතිඥයෝ වෙනුවෙන් තරුණ ලෝයර් කෙනෙක් කරපු කතාව නම් ටොපේ ටොප් කියලා කවුරුත් කිව්වා...


වැඩි කතා නෑ. නිමල් සිරිපාලයි, දුමින්දයි, අමරවීරයි, චාමරයි විතරයි. කොහොමටත් නිමල් සිරිපාලගේ කතාව කැපී පෙනුනේ එහි අදහස හා පණිවිඩය නිසා... එයා කිව්වෙ ශ්‍රී ලංකා එක මේ රටට නායකයෝ බිහිකරපු පක්ෂයක්. හැබැයි ඊළඟ ජනාධිපති සටනට නායකයෙක් ඉදිරිපත් කරලා විපක්ෂය බෙදන්න මේ පාර කටයුතු කරන්නේ නෑ. කවුරු හරි පොදු හතුරා පරාජය කරන්න පුළුවන් බලවේගයකින් ඉදිරිපත් වෙන නායකයාට උදව් කරන්න පක්ෂය පෙළ පෙළගස්සනවා කියලා...


තරුණ පරපුරට අනාගතය භාරදීලා හෙට උනත් දේශපාලනයෙන් යන්න තියෙන කැමැත්ත ගැන නිමල් අවංකව කිව්වා....


හැබැයි ඉතින් එහෙම කිව්වට කෝ මෙතන දයාසිරි. දයාසිරිනේ පක්ෂෙ මහලේකම් විදියට ඉදිරිපත් වුණු තරුණයා. කෝ එයාට ආරාධනා කිසිවක් නෑ... දෙගේල්ලා පට්ට කෝන්තරලු...


දයාසිරියට විතරක් නෙවෙයිනේ.. අර බෙත්මගේලා කීර්ති උඩවත්තලා ටිකිරිලා කාටවත් ආරාධනා නෑ... හතළිස් ගාණක් සංවිධායකයෝ කපා හැරලා... ඔන්න ඔය අඩුපාඩු දකින අයත් ඔතන නැතුවම නෙවෙයි...


හැබැයි ඉතින් මේ අස්සේ මරු වීඩියෝ එකක් ප්ලේබැක් උනාය කියන්නේ...


ඒකේ සම්පූර්ණයෙන්ම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවුරුදු 75 ඇතුළත මේ රට ගොඩනගන්න කරපු කියපු දේවල්... බණ්ඩාරනායක පටන් ගත්තාට රටට ගොඩක් වැඩ කළේ මැතිණි. රාජ්‍ය ව්‍යවසා ආයතන බිහි කිරීම, සංස්ථා මණ්ඩල බිහිකිරීම, ව්‍යවස්ථාව හැදීම, මේ රටට කර්මාන්ත බිහිකිරීම, වගේ ගොඩක් දේවල් මේක ඇතුළේ ලස්සනට පෙළ ගස්සලා තිබුණා...


මැතිනියගේ කාලෙනෙ මේ සංවර්ධන වැඩ ගොඩක් කෙරුනේ. මහවැලිය වුණත්... ඉතින් එතුමියට මුල් තැන. දෙවැනි තැන චන්ද්‍රිකාට. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් මේ රටට කරපු මෙහෙවරත් අමතක කරල නෑ...


ලස්සන අර්ථවත් ප්‍රෝග්‍රෑම් එක කියන කතාව හැමෝම කිව්වා...


මේ ආණ්ඩුව කියන්නේ අවුරුදු හැත්ත හය වසරක සාපයය ගැනනේ. හැබැයි ඒ අවුරුදු 76න් 75 ක් ශ්‍රී ලංකා එක මේ රටේ දේශපාලනය කරලා...


මේ ගොල්ලෝ මේ රටට මොනවද අවුරුදු 76 වසරක් කලේ කියලා 76 වසරක සාපය ගැන කතා කරන අයට මෙන්න මේ වීඩියෝ එක හොඳ උත්තරයක් කියලලු ඔතන හිටපු නායකයෝ අන්තිමේට් කතා වෙලා තිබුණේ...


දයාසිරිලා ඇතුළු කට්ටිය මෙතන නැති එකත් ලොකු මාතෘකවක් උනාය කියන්නකෝ...


පක්ෂයේ මහ නඩුවේ තීන්දුව මේ මාසේ 18 දෙනවනේ... ඒ කියන්නේ දයාසිරිලයි නිමල් සිරිපාලලයි දාගත්ත නඩුව... තීන්දුව දෙයි. ඊට පස්සේ මොනවා වෙයිද දන්නෑ... දයාසිරිට ලේකම්කම යන තත්වෙට තමයිලු වැඩේ යෙදිලා තියෙනවා කියන්නේ...


එහෙමනම් ඉතින් නරක නෑනේ... නිමල් සිරිපාලයි දයාසිරියි චාමරයි කියන්නේ හොඳට වැඩ කරන්න පුළුවන් තුන්දෙනෙක්. තුන්දෙනා එකතු වෙලා කා කොටා ගන්නේ නැතුව වැඩ කළොත් ඉතින් දුමින්දත් උදව් කරයි...


ඔන්න ඔහොමලු ඔය කතාබහ අන්තිමේ ශ්‍රී ලානීපෙ නායකයෙක් ඉඳලා කිව්වයි කියන්නේ....

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0